Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



ගම්භීර්ගේ ගොර බිරම් පිති ප්‍රහාරයෙන් ප්‍රේක්ෂකාශයේ මේඝ වලාවෝ සිදුරු ව ඇද හැළුණු සන්තෘෂ්ටියේ වර්ෂාවෙන් ජම්බුද්වීප ධරණි තලය තෙත් වන්නට වීයැ. ඒ මේ ගිගුමෙන් කම්පිතව, ආ අත් යන අත් නොදැන, ඔද තෙද බිඳී ගිය සහචර සකියන්ගෙන් ද පිහිටක් නොලද සංගක්කාර අසුර සෙන්පතියෝ, එතෙක් වත මඩල දුලවූ අකම්පිත හස- රැල්ල සඟවා කඩුළු මුවායේ හිස ගසාලන්නට වූහ. ළඟ ළඟම එන දිනුමේ උදාරම ජය පිරිතක්ව අවකාශයට නැගී වලා පල්ලේහි හැපී උපන් දෝංකාරය, දනන් මුව මුව නැගුණු ප්‍රීතියේ මුණු මුණුව හා මුසුව අරුම සංධ්වනියක් මවන්නට වීයැ.

සකලවිධ උපායෙන් ද උප්පරවැට්ටියෙන් ද මරගුලෙන් ද දමනය කළ නොහැකි වූ මුර්ග ෙසෙන්ධවයෙකු බැමි කඩා ඉහිරුවා සිය අපරිමිත ශක්තියෙන් ස්වකීය රක්ෂාස්ථානයකට පලා යන්නේ යම් සේ ද මහත් බැමි යොදා වළකන ලද ගංගාවක් දියෙන් මහත් ව බැමි පුපුරුවා ගම් බිම් යට කොට ගලා ගොස් සිඳු දිය හා මුහු වන්නේ යම් සේ ද එපරිද්දෙන්ම මේ ඉළන්දාරි බල සන්ධානය ද යුදෙන් දිනා ජය බිමට එළඹුණාහ. ඉදින් එකී චණ්ඩාශෝක මුණුපුරු සේනාවෝ පන්දුවෙන් පන්දුවට දෙව්පියතිස් මුණුපුරන්ගේ හදවත් නමැති ගම්බිම් ගිනි ලමින් අභිමානයේ මහල් සුණු විසුණු කරමින් ඉදිරියටම ඇදුණාහ. කෙළවර යුද බිමට පිළිපන් යුවරාජයන් සහ සුර සෙන්පති දෝණී විසින් එල්ල කරන ලද ගිණි පන්දම්වැදී, ක්ෂීර සාගරය පලා සුධාරසය මතු වන්නට වීයැ.

අමා බිඳක් තොල ගානු රිසින් රජ්ජුරුකරණය ද ඉනිම දෙකකට අත් හිටුවා ජය බිම කරා සැපත් වූ අසුර මිහිපල් නරෝත්තමයාණෝ ද අසුරයන් අමාව රැක ගත්තේ නම් සංගක්කාරයෝ සමග අමාව ගෙන රණබිම පැදකුණු කොටැ අයිපා දෙක රඟදක්වන්නට මහත් උද්යෝග පෙරදැරිව එහි සැපත් වූ වෙන්ඩ නරෝත්තමයාණෝ ද මේ අනපේක්ෂිත පරාජයෙන් සිහි එළවා ගත නොහී වික්ෂිප්ත වන්නට වූහ. මේ සංග්‍රාම වූකලී චිට් ද චීටිං ද පවුලිං ද යන මේ තුන් වැදෑරුම් ආණ්ඩුකරණ වේදයන්ගෙන් දිනිය නොහැකි රඹ පුෂ්පයක් නොවේදැයි අසල හුන් "නමට භාරත රැජිණ"ට සොරෙන් සොරෙන් සිතන්නාහු තවත් එක් මසක්වත් පිරිමසන්නට තිබූ "සරුවත්" නැළිය දෝණි වෘෂභයා විනාශ කරනු දැක මහත් ශෝකයට පැමිණියහ.


දිනුම ම මිස පැරදුමක් ගැන සිතීමට පවා මැළි වන ඒ අසුරවැසි රසික සජ්ජනයෝ සිදු වූ විපතින් දුර්මුඛව, සති ගණනාවක් ඇලී ගැලී වෙලී සිටි ස්වකීය සාධු සිහිනයට වෙඩි තැබූ ඒ ගොරතර සුර- චෞරයන්ට මහත් සේ සාප කරන්නටත්, රණ බිම මැද උඩු ගුවන් පන්දු අත හරිමින් ද එක පිට එක චපල පන්දු යවමින් ද පරාජය කඩිනම් කළ අසුර- පේඬීන්ට අක්‍රොෂ- පරිභව කරන්නත් වූහ. මුතු ඇටය වහ වහා කඳුළු බිඳක් බවට පෙරළිණ. නිශා වා ගැබට පැන ස්ඵෝටනය ව සිය පණ නසා ගන්නට හුන් රතිඤ්ඤාවෝ ද අහස් ගුණ්ඩු ද චීන පටස් ද මල් වෙඩි ද තම තමන්ගේ "ධූර කාලය" බක් මහ නැකත එන තෙක් දිගු කරගන්නට යෙදුනාහ.

අවසන් පොර කෙළිය ලෝකවසානය වේ දෝ හෝ සංකා සිතැත්තේ, සුරා සැල් අබියස ජය පැන් පවසින් ඇලලි ඇලලී තෙරපි තෙරපී මයිල ගණන් දිගු පෝලිම් වල මහත් රුජා විඳ පොරට වැටී කහවණු නැළියක් ගෙවා ගෙන ආ සුරා ඔඩම්.... අහා ඒවාට කුමක් වීද? "ධූර කාලය" දික් වීද? නැත්තේමය. පැරදුමෙන් නිෂ්පන්න වූ ඛේදයම බයිටයට ගෙන එකී ධූර්තයෝ සුරාමේරය මජ්ජ පමාවකින් පසු දෂ්ඨානා කරන්නට වූහ.


ඉදින්, ඒ අමිහිරි නිශා යම ගෙවි කෙළවර වීයැ. අසුර මිහිපල් මහෝත්තමයාණෝ දනන් නිදන සුව නින්දෙන් ඔවුන් නොමුදාම උන් හිස් පිරිමැද නළල් තල සිප අස්ථානගත පොරෝනා ස්ථානගත කොටැ උන් උන් සයන පිට බරු දරණු අස මහත් වූ තිළිණ රැසක් තබා ගොස් තිබුණාහ. පසුදින අසුරයෝ සුරා කෙඩෙත්තුවෙන් පරාජයේ කබ කඩ කඩා නිදි ගැට හැර පියා ඒ සා දීර්ඝ වූ ද සොමිකර වූ ද උද්වේගකර වූ ද සිහිනයෙන් ජීවිතයට ඇහැරුණාහ. දෙව් ලොව් කුසලානයෙන්.... "දිවි" ලොව් කුසලානයට.... !

සයනයෙන් නැගුණු දන මිහිපල් තිළිණ රැස දැක තැන තැන මෙසේ සිතන්නට වම් හ.

මේ වැනි නිරින්දා
පේමෙන් කවන හින්දා
නොකා බැරි හන්දා
දෙන්න තව ගුලි මගෙ රජින්දා.... !


හුදී ජනයාගේ කුසලාන රුජාව සුවපත් වීම කරණ කොටැ උපන් පහන් සංවේගයෙන් කක්ෂපුට විසින් ලියන ලද කිරිකැට් වග්ගය මෙයින් නිමියේයැ. ඔබට කිරිකැට් සරණයි.

කක්ෂපුට



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails