Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



සීතා, මම රාධා වෙමි.

වසර සිය දහස් ගණන් පැරණි කරන ලද කාව්‍යය තවමත් ගැයෙයි. මාවත් එළිපෙහෙළි කළ ද යළි, යළිත් වල් වැවී තිබේ. යන්තමින්වත් සළකුණු නො කරන ලද මාවතක යන අයුරු සිහිනෙන් දකිමි.

සිහිනය අවුල් වී ඇත. හෝපලු වන පෙතම සිපිරි ගෙයකි. ගින්න සරාගී වස්දඬු රාවයක් නඟයි.

සීතා, උන් නුඹ දවා හලු කර පසුව දේව නිමිති කියති. අසවලුන් දෙදෙනෙකු ගේ කාමයේ ගින්න නුඹගේ හෘදමාංශය උගුලුවා පුලුස්සා දමා සාපරාධී වේදනාවට පත් කළ බව සැබවක් ලෙස හඟිමි.

රමණයේ මෙවලම වන්නී ද, පරපුර වෙනුවෙන් උරුමකරුවන් දරන්නී ද, මා ම මිස, නුඹ ම මිස වෙන කව්ද?

තුරු වදුලු යට දී, ක්‍රිෂ්ණගේ කෲරතම අපේක්‍ෂාවන් මගේ ගෙලෙහි ද, දෑතෙහි ද, දෙ පයෙහි ද, ආභරණ කොට පැළැන්දෙමි. ස්ත්‍රියකගේ මුග්ධභාවය මත්තෙහි, පුරුෂත්වයේ මුග්ධභාවය කාණුවෙන් අසුලා ගන්නා ලද කඩතොළු කිරුළක් පැළඳ සිටිනු පෙනේ. හෝ! හෝ!! මේ මනුෂ්‍යයෝ ශුද්ධවන්ත වූ ප්‍රේමයට ගී ගයති. දෙ තොල, ළය, දෙ කලවා අනුස්මරණය කරති.

ගොලුවන් ම ගායනා කළ යුතු පැය ළං ළංව එයි.

නුඹ ළඟින් වැතිර සිටීමට කැමැත්තෙමි. නුඹ සුන්දර ද, අසුන්දර ද කියා නොව විඩාවට පත් වී ඇති සැටි හඳුනා ගැනීමට උවමනා ය. අවමානයේ කබ, කඳුළු පිරුණු දෙනුවන් පිස නුඹ අවදි කිරීමට උවමනාය. විනිශ්චයේ හංවඩුව තබන ලද නුඹේ කබොලු වූ දෙතොල සිප සුවපත් කිරීමට කැමැත්තෙමි.

ස්ත්‍රීත්වයේ ප්‍රේමය මා ය. ස්ත්‍රීත්වයේ පීඩාව නුඹ ය. ස්ත්‍රීත්වයේ පීඩාවට හැර අන් කිසිවකට ප්‍රේම කිරීමට අසමත්මි.

සරාගී වස්දඬු රාවයට කෙළ ගසමි.
මංගල යහනේ දී කිසිවක්ම ඔප්පු නො කළ මනාය.
විශ්වාසය සිඳ ගත් කෙළතොල්ලන්ම මොර ගෑවාවේ!

බත පිසෙන්නා වූ ලිප ද, සති පූජාවේ අර සෑය ද, එකම ගිනි පුපුරෙන් දැල්වෙන අයුරු බලනු. ඇඟ මස ඉරා බුදින ගිනිදැල්ල සියලු දුෂ්ටත්වයට සම වේ.

මගේ හෘදය මැද අලුත් ගිනි දැල්ලක් ඇවිලේ. කාම තෘෂ්ණාවේ කුරුබිලියවත් දාස භාවයේ අයිතිවාසිකමවත් අපගේ හෘද ගින්නේ පිළිස්සී විනාශ වී යා ද?

එසේ වන්නේ නම් ගිනිදැල්ල නො නිමෙනුයි කියමි.
අන්ධකාරයට පතුලක් නැතැයි කියති. හද ගින්න දෘෂ්ටිමය ඝනාන්ධකාරයේ පතුලක් සොයා යාවි ද?
එසේ වන්නේ නම් ගිනිදැල්ල නො නිමෙනුයි කියමි.
මගේ ආත්මය කැරලි ගැසීමක් ඉල්ලා සිටී.

අඳුරු මුත් හද, ගින්නෙන් ඒකාලෝක කරයි. මගේ ගායනය අසන්න, වසර සිය දහස් ගණන් පැරණි කරන ලද කාව්‍යය නොවේ.

නැගී එන්න!

කිළිටි කොට හිලව්වට ලබන්නා වූ අඩ දිවිය බිම හෙළා දෝතින් නෙළා ගන්නා දිවි අරුතම සොයා ගෙන යමු’යි ගයමු.

පීඩා ගස මත තබා ඇණ ගසන ලද ජීවමය ප්‍රේමයේ මේ කඳුළු ඉඳුල් නො කරන ලද්දේ වේ.

බලහත්කාරී ශිෂ්ඨාචාරයට හැරී යනුයි අණ නො කරමු ද? නිදහසට පිපාසිත ස්ත්‍රී ශිෂ්ඨාචාරයේ අරුණෝදය නැගෙව!

පීඩාව හා ප්‍රේමය නම් වන අප එක්ව පිය නඟන මාවත කල් තියා ලකුණු කොට නැත. අහසෙහි ද, පොළොවෙහි ද සැරිසරන අනන්ත අපරිමාණ ඇබිති ජීවීන් සේ, මගේ ලයේ කම්පාව බිඳි බිඳී කනින් කනට ඇසෙව’යි පතමි.

සීතා, ඉතිහාසය මත දරන ගසා සිටින දැවැන්ත සර්පයාට විෂ බඳින මන්ත්‍ර කරමුව!

ගර්හාවෙන් අප අශුද්ධ වන්නේ යටහත් පහත් වූ විට පමණ ය.

අපගේ හිස් මොළ මත පටවන්නා වූ ද, දෙ තොල, ළය, කුස මත පටවන්නා වූ ද, අන්ධ දුරාචාර විනිශ්චයන් පිළිකෙව් කරන්නට කල් ය.

සීතා, මම රාධා සේ විත් නුඹ ට අඬ ගසමි.

[ගර්හිතයාගේ නිදි නැති සිත - 1988]

ලීනා අයිරින් සපුතන්ත්‍රී



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails