Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



කිරාංචි හන්දිය

හැම දේම සුදු පාටයි. බිත්ති, සිවිලිම, කොටිටෙ, ඇඳ රෙද්ද මේ හැම දෙයක්ම සුදු පාටයි. ඇඳ ළඟ ටීපෝ එක උඩ වතුර වීදුරුවක් සුදු පාට පීරිසියකින් වහලා. හැම දෙයක්ම විකාර විදියට පිරිසිදුයි, පිළිවෙලයි. සුදු පාට ජනෙල් රෙද්ද ජනේලෙන් එහා දේවල් මගෙ ඇස් වලින් හංගනවා. කාලයක් මං සුදු පාටට හිස් නිදහස් ඉඩට හුඟක් ආසා වෙලා හිටියා.

මගෙ කාමරේ කැලැන්ඩරයක්වත් එල්ලන්න මං කැමති වුණේ නැහැ. ඒත් දැන් ඒ සුදු පාට හිස් ඉඩ මට මහ වෙහෙසක් ගේනවා. ඔළුව ඇතුලෙ එක එක සද්ද මහ ගොඩක් දෝංකාර දෙනවා වගේ දැනෙනවා. ඒක වචනෙට ගන්න බැරි වේදනාවක්. උදේ මගෙ බෙහෙත් වේල ගත්තත් උණ අඩුවෙලා තිබුණෙ නැහැ. මගෙ කට ඇතුළෙ මැළියම් තට්ටුවක් බැඳිලා, කට තිත්තම තිත්තයි. නින්දත් නොනින්දත් අතරෙ පේන විකාර ඔළුවෙ බර ගතිය වැඩි කරනවා . මට අඬන්න ඕනෙ. කෑ ගහන්න ඕනෙ. මේ ජරා උණ වසංගතෙන් මාව මැරිලා යයි කියලා ලොකු බයක් හිතට එනවා. ඔක්කොටම වැඩිය දරන්න බැරි ඔළුව ඇතුළෙන් එන වේදනාව.

ඒක දූපතක්. මම හිතන්නෙ කිරංචි වල සිවපුරව් වෙරළට පේන දූපත. ඒ හීනෙ වටිටක්කා, වම්බටු, පතෝල, මෑ වැවිච්ච සාරවත් වගාවක් තිබුණා කියන්න මට හොඳටම මතකයි. තද කොළ පාට විසාල වටිටක්කා කොළ එක යායට හුළඟට පැද්දුනා. ඒවයෙ පිණි බිංඳු ඉර එළියට දිලිසුනා. දම් පාට ලොකු වම්බටු ගෙඩි වල කොළ පාට හීන් පනුවො ඇවිද්දා. කහපාට වට්ටක්කා මල් අතරෙ මී මැස්සො පියෑඹුවා. මමයි කෝප‍්‍රල් සමන් කුමාරයි බොලොක් ගල් වලින් බැඳපු, කපරාරු නොකරපු පොඩි ගෙයක් ඉස්සරහපිට ඉඳන් අපේ වගාව දිහා බලන් හිටියා. අපේ ඇස් දිලිසුනා. කෝප‍්‍රල් සමන් කුමාරගෙ මුණෙ තිබුණෙ මහ වල් දඩයක්කාර හිනාවක්. මගෙ මූණෙත් ලොකු හිනාවක් තිබුණා. කෝප‍්‍රල් සමන් කුමාර ජින්නා, මම උපාලි ගිනි වැල්ල. ඒක වචන වලින් කතා නොකලට ඒ හීනෙ අපි දෙන්නා උපාලියි ජින්නයි කියලා මට දැනුනා. පොඩි ළමයි වගේ නෙමේ මේ දැන් ඉන්න විදියටමයි අපි ඒ හීනෙ හිටියෙ. අපි දෙන්නගෙම මූණු වල ලාවට රැුවුල් කොට වැවිලා තිබුණා. අපේ ගෙදර බැල්ලි බ්ලැකී හෙළවෙන වට්ටක්කා කොළ ගොල්ලක් දිහාවට බුරමින් හිටියා. සමන්ගෙ ඇස් හීන් වුණා.

"ඉත්තෑවෙක්, ඕකුං අපේ වගා කාබාසිනියා කරනවා."

සමන් මගෙ කන ළඟට එයාගෙ ලොකු තොල් තියලා මිමිණුවා. සමන් තුවක්කුව ඇහැ ළඟට තියලා, ඇහැ හීන් කරලා කුරුමානම් ඇල්ලුවා. ඌ ඉත්තෑවෙක් නෙමේ හාවෙක්. ලොකු වට්ටක්කා කොළ උඩ ලේ බිංදු ඉහිලා. සමන් දඩයං දත් පේන විදියට ලොකුවට හිනා වුනා. මමත් හිනා වෙවී හිටියා කියන්න මට මතකයි. ඌ සෑහෙන්න විසාල අඳුරු පාට හාවෙක්. ඊට පස්සෙ හීනෙ කොටසක් අපැහැදිලියි.

ඊළඟට අපි හිටියෙ වෙරළක. ඈතින් හඳ එළියෙ මුහුද සන්සුන් විදියට නැළවුණා. අපි දෙන්නා එක ළඟින් වැතිරිලා හිටියා. තරමක ගිනි මැලයක් අපි ඉස්සරහ පට පට ගගා ඇවිලුනා. මං හිටියෙ රොබින්සන් කෲසෝගෙ කතාව සමන්ට කියලා දෙමින්. මගෙ රොබින්සන් කෲසෝ කතාවෙ ෆ‍්‍රයිඩේ හුඟක් කඩවසම් මිනිහෙක්. රොබින්සන් කෲසෝයි ෆ‍්‍රයිඩෙයි ජීවිත කාලෙම ඒ දූපතේ ඉන්න තීරණය කරනවා. මොකද ඒ දෙන්නට ඕනෙ විදියට ජීවත් වෙන්න ලෝකෙ කිසිම තැනක ඉඩක් නැහැ. ඒ දෙන්නා මිලේචිඡයොත් එක්ක සටන් කරනවා. කොටින්ම ෆ‍්‍රයිඩේ තමන්ගෙ නෑයන්ව මරනවා රොබින්සන් කෲසෝ වෙනුවෙන්. කෲසෝ තමන්ගෙ රටට අයිති නැව් දකිනකොට හැංගෙනවා. එයාලා වවනවා, එකට පීනනවා, දඩයම් කරනවා, සද්දෙට පිරිමි හඩින් හිනා වෙනවා. සමන් මගෙ ඇස් වලට එබිලා බලනවා. ඒ ඇස් තෙතයි, දිලිසෙනවා. එයාගෙ ඇඟ හරිම උණුසුම්. ලාවට රස්නයක් තියන වෙරළෙ වැලි තලාව උඩ අපි පෙරලෙනවා. සමන්ගෙ කොණ්ඩෙ තැවරිච්චි වැලි මම පිහදාන කොට සමන්ගෙ ඇස් වලට බැරෑරුම් පෙනුමක් එනවා. අපිට තව කී දවසක් මේ විදියට මේ දූපතේ ඉන්න ලැබෙයිද? අපේ උන් කොයි වෙලේ මේකට කඩාපාත් වෙයිද දන්නෙ නෑ. මම පාත් වෙලා සමන්ගෙ නළල ඉඹිනවා. එතකොට එයාගෙ ඇස් හීන් වෙනවා. එයා බිබී හිටපු සිගරට් එක සමන් මට දෙනවා. අපි උඩ බලාගෙන මාරුවෙන් මාරුවට සිගරට් එක උරනවා .

"අරක ඔරායන්, අර පේලියට තියන තරු තුන, ඔරායන්ගෙ බෙල්ට් එක."

සමන් මගෙ අත දිගේ තරු බලන ගමන් එක අතකින් මාව අත ගානවා. මාව ගිනියං වේගෙන එනවා.

"හපෝ තමුසෙ දන්න දේවල්, තරුයි , මාළුයි, ඉංගී‍්‍රසියි, දෙමළයි, හැම කෙහෙල්මල ම දන්නවා"

මටයි සමන්ටයි දෙන්නට ම හිනා යන්නෙ එකටමයි.
"මං වෙඩි තියන්න දන්නෙ නෑ, වගා කරන්න දන්නෙ නෑ" මම කියනවා.

"ඇයි මම උපාලි ගිනිවැල්ලෙ නොවී ජින්නා වුණේ ?"
සමන් එක පාරටම ඇහුවම මම අනිත් පැත්ත හැරිලා. සමන්ව තදින් බදා ගත්තත්, සමන් මාව තල්ලු කරනවා.

"තොපි ඔක්කොම එකයි, තෝත් මාව රවට්ටනවා. කියපිය තෝත් මාව රවට්ටනවා නේද?"

සමන්ගෙ දඩයං දත දිලිසෙනවා. මමත් සමන්ව තල්ලු කරනවා.
"උඔලා තමා රවට්ටන්නෙ, මට හැමදාම වුණේ රැවටෙන්න,"

අම්මා විනාකිරි පොඟොපු රෙදි කෑල්ලක් මගෙ නළලෙ එලනවා. ඒ රෙදි කෑල්ල සීතලයි.

"කැඳ ටිකක් ගේන්නද?"

"එපා, බොන්න බෑ, කට අප්පිරියයි"

"සැරට ලුණුමිරිසක් හදල පාන් කෑල්ලක් කමු, දැන් තියෙන්නෙ අසත්තිය. දවස් හතරකින් ඇඟට හරි හමන් කෑමක් වැටුණෙම නෑනෙ"

"කන්න බෑ, කට තිත්තයි අප්පිරියයි"

"එහෙම කියලා හරියන්නෙ නෑනෙ, එහෙනං ආයෙ හවසට දොස්තර මහත්තයා ගාවට යමු"

මම මුකුත් නොකියා රෙද්දෙන් මුණ වහ ගන්නවා. එතකොට අඳුරුයි. ආලෝකෙට දෙන්න බැරි සුවයක් පහසුවක් අන්දකාරෙ මට දෙනවා. අන්දකාරෙ ඇතුළෙදි කිසිම දෙයක් සුවිශේෂ නැහැ. කිසිම දෙයක් කැපිලා පේන්නෙ නැහැ. කිසිම දෙයක් දිහා බලන්න කියලා අපේ ඇස් අපිට බල කරන්නෙ නැහැ. ආලෝකෙ අරන් එන්නෙ නැති සිසිලක් පහසුවක් අන්දකාරෙ ගේනවා. රෙද්දෙන් ඔළුව වහ ගත්තම මට අම්මව පේන්නෙ නෑ. ඒත් එයා එතන ඉන්නවා කියලා මට තේරෙනවා. ටිකකින් එයා යනවා මට ඇහෙනවා. ආයෙමත් එළියට නිරාවරණය වෙන්න මට ඕනෙ නැහැ. මම රෙද්ද ඇතුළෙ ගුලි වෙනවා. ඔළුව එකම විදියට තියාගත්තම පහසුයි. එහාට මෙහාට හැරෙනකොට මගෙ සමතුලිතතාවෙ බිඳිලා ගිහිල්ලා විසාල ප‍්‍රපාතෙකට ඇදගෙන වැටෙනවා වගේ බයක් වේදනාවක් හිතට එනවා. නොහෙල්ලී මං අන්දකාරෙට ඇහුන්කන් දෙනවා.

මං යශෝධරන්ගෙ ගෙදරට ගියෙ තිලිත් එක්ක. තිලීබන් කියන නම කෙටි කරලා අපි හැමෝම එයාට කිව්වෙ තිලී කියලා. ඒ මම කිරාංචි ආව පළවෙනි වතාව. ඒ පාර අපි කිරාංචි ගියෙ මන්නාරාමෙන් විඩතලදිව් පහු කරලා වෙල්ලන්කුලම් වලින් හැරිලා මුලන්කාවිල් හරහා. කිරාංචි වල ඒ විසාල වගුරු බිම හරහා යද්දි මට මොකද්දො මහ අමුත්තක් දැණුනා. ඒක අහසට නිරාවරණය වෙච්ච මහ විසාල තැනිතලාවක්. ඒ මහා වගුර වේලිලා තිබුණෙ. වතුර ඉතුරු වෙලා තිබුණු තැන් තැන් වල එක එක වර්ග වල කොක්කු මාළු අල්ලමින් හිටියා. මට ඒ වගුරෙ පිංතූර ටිකක් ගන්න ඕන වුණත් කටිටිය චුරු චුරු ගාන්න පටන් ගත්තා. හැමෝටම ඕන වුණේ වැඩ ටික ඉක්මනට ඉක්මනට ඉවර කරලා කරුවල වැටෙන්න කලින් මන්නාරමේ අපි නතර වෙලා හිටපු හෝටලේට යන එක. යුද්දෙ ඉවරයි කිව්වට පහුගිය දවස් ටිකේ එහෙ මෙහෙ ගිය ටිකට අපිට දැනේනන පටන් අරන් තිබුණා අපි මේ කරක් ගහන්නේ වෙනම ම ලෝකෙක කියලා.

කිරංචි සිවපුරම් වල අපි මුලින්ම ගිය ගෙදර රෝස පාට පතුරු ගිය තනි බිත්තියකට පොල් අතු යාලත්තක් බාලා හදපු පොඩි පැලක. මිදුලෙ තුලාසි පඳුරක් වවලා. පැත්තක සමන් පිචිච පැලේ පීදිලා කියලා, හොඳට අතුගාපු මිදුලට ඇතුල් වෙනකොටම එන සුවඳින් දැණුනා. තිලී ඉස්සර වුණා වීඩුකාරෙංග? උච්චාරණේ හරි නැති වුණාට තිලී ඉන්දෙද්දිත් මම එහෙන් මෙහෙන් වැරදි දෙමළ කියෙව්වා. ඒ ගෙදර හිටියෙ කහ පාටට හුරු තැඹිලි පාට කිළුටු සාරියක් ඇඳ ගත්ත අම්මා කෙනෙකුයි, උස හීන්දෑරි කෙල්ලෙකුයි.

"අපි ....... විශ්ව විද්‍යාලෙන්, කිරාංචි කලපුවෙයි, වගුරු බිමෙයි, ඉන්න මාළු වර්ග ගැන පරීක්‍ෂණ වගයක් කරන්නයි යන්නෙ, ඒ වැඩේට අපිට ඔයාලගෙ උදව් ඕනා. අවුරුදු ගානකින් මේ පැත්තෙ ඉන්න මාළු ගැන කව්රුවත් පරීක්‍ෂණ කරලා නෑ. අපි විශේෂයෙන්ම හොයන්න බලාපොරොත්තු වෙන කාරණා දෙකක් තියනවා. එකක් තමා කලපු වතුරෙ මේ පැත්තට ආවේනික දැල්ලන් විශේෂ මොනවද කියන එක, අනික කිරංචි කලපුවෙ මාළුන්ගෙ ඇඟේ තියන රස දිය ප‍්‍රමාණ මනින එක. මේක අවුරුද්දක් විතර යන විශේෂ ව්‍යාපෘතියක්."

තිලී ලොකු ලස්සන හිනාවක් එක්ක දෙමලෙන් කියා ගෙන කියා ගෙන යනකොට අර අම්මයි, හීන්දෑරි කෙල්ලයි හිස් බැල්මකින් අපි දිහා බලන් හිටියා .

ඒ මුණු හිස්. ඒවයෙ සතුටක්වත්, වේදනාවක්වත්, අඩුම තරමෙ කිසිම දෙයක්වත් ඇඳිලා තිබුණෙ නැහැ. මිදුලෙ මල් හිටවන්න ඇත්තෙ ඒ දෙන්නා නෙමේ වෙන්න ඇති කියලා මගෙ හිත මට කිව්වා. යාපනෙන් ආපු තිලීගෙ මුණෙ මොට්ට පාට හිනාවක් ඇඳිලා තිබුණා. ඊළඟට කරන්නෙ මොකක් ද කියලා හිතා ගන්න බැරුව අපි මෝඩ විදියට හිටගෙන හිටියා.

"යං මහත්තයා" තිලී මගෙ කනට කෙඳිරුවා.

ඒ අම්මගෙ ඇස් වලින් එක පාරටම මොකක්දෝ තෙතක් දිස්නයක් කාන්දු වෙන්න ගත්තා. හැමදෙයක්ම හරි ඉක්මණට වුණේ. ඒ අම්මගෙ මූණෙ මහ විසාල හිනාවක් ඇඳුණා.

"යශෝ, යශෝ , එල්ලුඩය මගන්"
කෙල්ලගෙ ඇස් ලොකු වුණා. ඒකි තදින් අම්මගෙ අත අල්ල ගත්තා.

"අම්මා, අවන් යශෝ ඉල්ෙලෙ" ඒකි කෙඳිරුවා.

අම්මා එකපාරටම ඇවිත් මගෙ අතක් එයාගෙ අත් දෙකෙන්ම තද කරල අල්ල ගත්තා. මට වෙන්නෙ මොකක්ද කියලා හරියටම තේරුණේ නැතත්, මොකක් හරි මෝඩ චිත‍්‍රපටියක රඟපාමින් ඉන්නවා වගේ දැණුනා. තිලී පැනලා ඒ අම්මගෙ අත ගලවන්න හැදුවත්, තැඹිලි සාරි අම්මා මාව හිර කරලා අල්ලගෙනයි හිටියෙ. කෙට්ටු කෙල්ල හුස්ම අල්ල අල්ල මොනවදෝ වේගෙන් කියෙව්වා. ඒක යාතිකාවක් වාගේ . එහෙන් මෙහෙන් වචනයක් දෙකක් තේරුණත්, ඒකි වේගෙන් කියෝගෙන කියෝගෙන ගිය නිසා මට කිසිම දෙයක් හරියට තේරුණේ නැහැ. තිලී මට ඒකිව පරිවර්තනය කලා. යශෝ එයාගෙ අයියලු. එයා අතුරුදහන් වෙලාලු. තාත්තත් මැරිලලු.

"මැරිලද, මරලද?" මම ඇහුවා.

ඒක අහන්න ඕන නැති තරම් මෝඩ ප‍්‍රශ්නයක් කියලා මට තේරුණේ තිලී මං දිහා බලපු බැල්මෙන්. යශෝ කොයි වෙලේ හරි එයි කියලා මේ අම්මයි, දුවයි බලන් ඉන්නවා. අම්මගෙ ඔළුව ටිකක් හොඳ මදිලු. එයා දකින දකින කෙනාට යශෝ කියලා කතා කරනවලු. මේ කෙල්ල හිතනවලු යශෝ පණ පිටින් නැතුව ඇති කියලා මොකද එහෙම ඉන්නවා නම් ඇයි තාම නාවෙ කියලා එයා අහනවා? "වෙන රටක හරි, කඳවුරක හරි ඉන්නවා නමි ?" මං ඇහුවා. කෙල්ල ඒකිගෙ දුඹුරු පාට ගැහිචිච දත් පෙන්නලා ඔළුව වනලා හිනා වුණා.. "ඔයා මොනවද දන්නෙ අපි ගැන" වගේ දෙයක් ඒ හිනාව ඇතුළෙ තියෙන්න ඇති. එතකොටයි මම දැක්කෙ ඒකිගෙ කකුල්.

වළලුකරෙන් උඩ කොටස පිච්චිලා. හම ඇකිලිලා. ඒක වුණෙ කොහොමද කියලා අහන්න හදලත් මං ඒ ප‍්‍රශ්නෙ ගිල්ලා. යශෝගෙ අම්මගෙ ඇස් වල සුද බැඳීගෙන එනවා. ඒත් ඒ සුද පහු කරගෙන මොකක්දෝ තෙත කාන්තියකින් ඒ ඇස් දිලිසෙනවා. කෙල්ල අපිට ගෙට කතා කලා. මුළු ගෙදරම තිබුණු ප්ලාස්ටික් පුටු දෙකේ මමයි, තිලියි වාඩි වුණා. අනිත් කටිටිය කැමැත්තෙන්ම එළියෙ නතර වුණා. ලොකු ඇලුමිනියම් මුට්ටි දෙකකුයි, මදුරු දැලකුයි එක මුල්ලක තිබුණා. තවම පැකින් වත් කඩලා නැති මොකකදෝ උස දෙයක් බිත්තියකට හේත්තු කරලා තිබුණා. ඉන්දියන් රජයේ පරිත්‍යාගයක් කියලා බාසා තුනෙන්ම ඒ පාර්සලේ ගහලා. පුල්ලෙයාර් රූපයක් රෝස පාටට තීන්ත පතුරු යන බිත්තියෙ එල්ලුනා. සුදුපාට ප්ලාස්ටික් මල් මාලයක් දාලා තිබිච්ච පිංතූරෙ හිටිය මනුස්සය මේ කියන යශෝධරන්ගෙ තාත්තා වෙන්න ඇති කියලා මම අනුමාන කලා.

අපුරුම දේ තිබුණෙ රෝස පාටට පතුරු යන බිත්තියෙ පැස්ටල් වලින් ඇඳලා. ඒක බිත්තිය පිරෙන්න ඇඳපු දැවැන්ත චිත‍්‍රයක්. ඒකෙ හිටියෙ යෝධ ගිරව් දෙන්නෙක් මූණෙන් මුණ බලාගෙන. උන් වහලා හිටියෙ මල් වලින් බර වෙච්ච අත්තක. ඒ ගිරව් හරියට මැකෝ ගිරව් වගෙ. උන්ගෙ පිහාටු හැම පාටකින්ම පාට කරලා. අම්මා ඒ වෙනකොටත් මගෙ අත අතඇරලා තිබුණෙ නෑ. හරියට මම එයාව අත ඇරලා දුවයි වගේ. "ඕක ඇන්ඳෙ අපේ නිලාමදි" අම්මා දෙමළෙන් කිව්වා. ඒ කෙල්ලගෙ නම නිලාමදි.

නිලාමදි, අපිට කෝපි හදාගෙන ආවා. ඒ කෝපි එකෙන් කොත්තමල්ලි රසකුත් එනවා. ඒක නිසා කෝපි බොනකොට මොකක්දෝ අමුතු සිසිලක් දැනෙනවා. කෝපි කොටන කොට කොත්තමල්ලිත් දාලා කොටනවා ඇති කියලා හිතුවත් මං ඒක අහන්න ගියෙ නෑ. එතන හැදිලා තිබිච්ච නිස්සද්දතාව හරි ඝනකම්. එළියෙ ඉන්න අයට කෝපි දෙන්න කෝප්ප මදි නිසා නිලාමදි, මමයි තිලීයි තේ බීලා ඉවර වෙනකන් බලන් හිටියා. ඒත් එළියෙ හිටිය හතර දෙනාගෙන් තුන් දෙනෙක්ම මේ ගෙවල් වලින් වතුරවත් බොන්නෙ නැති බව මං දැනං හිටියා. "ඔයාද මේ චිත්‍රෙ ඇන්දෙ? හරි ලස්සනයිනෙ" මම දෙමලෙන් ඇහුවම කෙල්ලගෙ ඇස් දිලිසුනා.

"මම තමා ඇන්දෙ, මේ යශෝ, මේ වාකි" කෙල්ල ගිරව් දෙන්නට අත දික් කරලා පෙන්නුවා. තිලීටයි මටයි මූණෙන් මූණ බැලුනා. අම්මට වගෙ මේ කෙල්ලටත් ඔළුවෙ අමාරුවක් තියෙවා වගේ. ඒකි ආයෙමත් ආවේසෙකින් වගේ කියවන්න ගත්තා. ගොත ගගහ පැමිණිල්ලක් කරනවා වගේ ඒකි කියෙව්වෙ. ඒ වේගෙ අල්ල ගන්න බැරි නිසා මම වචන අල්ලන එක නතර කලා. නිලාමදි කියෙව්වෙ ඔළුව කහ කහ. එයාගෙ ඇස් ලොකු වෙන හැටි පුංචි වෙන හැටි, මූණ ඒ මේ අතට හරවන හැටි මං බලා හිටියා. ඒ කොණ්ඩෙ තඹ පාටක් ගැහිලා. අම්මා ඒ වෙද්දි මාව අත ඇරලා ගිහිල්ලා සුට් කේස් එකක් අවුස්ස අවුස්ස මොනවදෝ හොය හොය හිටියෙ. එළියෙ හිටිය අපේ කටිටිය සැරින් සැරේ ගෙට එබුණෙ යමු කියලා නොකියා කියමින්. නිලාමදි හෝ ගාලා කියවනවා.

අම්මා සුට්කේස් එකෙන් හොයාගෙන ආවෙ කළු සුදු පිංතූරයක්. ඒ පිංතූරෙ හිටියෙ මගෙ වයසෙම වගේ කොල්ලො දෙන්නෙක්. දෙන්නා කරවල් වල අත් දාගෙන. නිලාමදි ඇවිල්ලා තිලීටයි මටයි පිංතූරෙ ඉන්න අයව විස්තර කලා. ඉත්තෑකූරු කොණ්ඩයක් එක්ක ලොකු ඇස් දෙකක් තිබුණු කඩවසමි හාදයා යශෝධරන්. පොඩි ළමයෙකුගෙ හිනාවක් තිබුණු අනිත් කෙනා වාකීසන්. දෙන්නම ලොකුවට හිනා වෙනවා. මගෙයි යශෝධරන්ගෙයි සමාන කමකට තිබුණෙ ලොකු ඇසුයි, ලොකු තොලුයි විතරයි. ඒක අම්මෙක්ව රවටිටන්න පුළුවන් සමානකමක් නෙමේ. අපි ආපහු එන්න පිටත් වෙනකොට ඒ අම්මා ටිකක් සන්සුන් වෙලා හිටියෙ. එයා ටිකක් ඈතින් ඉදන් අපි දිහා බලන් හිටියා. ඒ ඇස් කියන දේවල් තේරුම් ගන්න උත්සහ කළත් සුද බැඳිචිච ඒ ඇස් මුකුත්ම කිව්වෙ නෑ.

"නොකිව්වට ඕකුං ඔක්කොම කොටි වෙන්න ඇති, දැක්කද ඒකිගෙ කොන්ඩෙ කොටට කපලා තිබිච්ච හැටි"

ජයේ කියන කොට තිලී මං දිහා බලලා හිනා වුණා. ඒ හිනාව මට තේරුණා. තිලී කැනඩාවට යන්න ඒ වෙන කොට හුඟක් මහන්සි වෙමින් හිටියෙ. ඒ අතරවාරෙ පොඩි පොඩි පරිවර්තන වැඩ කර කර හොයා ගන්න සල්ලි හරි පරිස්සමට ඉතුරු කලා. මූණට නොකිව්වට තිලී හරි කුණා කියලා අපේ කට්ටිය කතා වෙනවා මට කීප විටක්ම ඇහිලා තිබුණා.

"මොනවද ඒ කෙල්ල ආවේසෙන් වගේ දෙඩෙව්වෙ?" මම ඇහුවා තිලී අතීරණෙන් වගේ තත්පරයක් ඉඳල පිටිපස්ස හැරිලා ජයේ දිහා බලලයි කතා කරන්න ගත්තෙ.

නිලාමදි එයාගෙ අයියගෙ කතාවයි කිව්වෙ, අයියට ඕනෙ වුණේ සංගීතෙ ඉගෙන ගන්නලු. ගිටාර් ගැහුවලු. යාළුවොත් එක්ක ගෲප් එකකුත් පටන් ගත්තලු. එයාලම එකතු වෙලා ඩ‍්‍රව් සෙට් එකකුත් හැදුවලු. හොඳට සින්දු කිව්වලු. අයියා ඉංගී‍්‍රසි සිංදු කියන්නලු වැඩිය කැමති. අයියගෙ හොඳම යාළුවා, වාකිත් සිංදු කිව්වලු. ඒ දෙන්නා පොඩි කාලෙ ඉඳන්ම හොඳම යාළුවොලු. පස්සෙ පස්සෙ එයාලා සිංදු කියන එක නවත්තලා. මොකද වාකි නිතරම යශොත් එක්ක රංඩුවට ඇවිත්. වාකිත් එක්ක කතා කරන්න එපා, එයා කියන ඒවා විශ්වාස කරන්න එපා කියලා, යශෝ නිලාමදීටයි අම්මටයිත් නීති දාලා. ගෲප් එකේ අනිත් කොල්ලොත් හිටියෙ වාකිගෙ පැත්තෙලු. සංවිදානෙ හිටපු කමලා කියලා ගෑනියෙකුත් ඒ දවස් වල වාකිව මුණ ගැහෙනවා කියලා ආරංචි ආවලු. යශොයි, වාකියි තරහ වෙලා. වාකි සැරෙන් සැරේ යශෝව බලන්න ආවම යශෝ වාකිට බැනලා එලෝගෙන. දෙන්නා දරුණු විදියට රණ්ඩු කර ගත්තලු. ඊට ටික දවසකට පස්සෙ වාකි අතුරුදහන් වෙලා. යශෝ දවස් ගානක් නොකා නොබී බලාගත්තු අත බලාගෙන ඉඳලා. පස්සෙ එක රෑක ගෙදර කට්ටියට එයා ගැන ආයෙ හොයන්න එපා කියලා පොඩි ලියුමක් ලියලා තියලා අතුරුදහන් වෙලා. පස්සෙ කාලෙක නිලාමදිත් සංවිදානෙට බැඳුනට යශෝ ගැනවත් වාකි ගැනවත් කිසිම තොරතුරක් හොයාගන්න බැරි වෙලා. නිලාමදිලගෙ ලිඳ ගාවට හැමදාම හවසට ගිරව් දෙන්නෙක් එනවලු. උන් මාල ගිරව්. නිලාමදිලා උන්ට බත් දෙනවලු. උන් නිලාමදි දිහා බලන විදියට නිලාමදීට හිතෙන්නෙම ඒ කොහෙදි හරි මැරිච්ච යශෝයි වාකියි කියලාලු.

මගෙ ඔළුව ඇතුළෙ යශෝයි, වාකියි ගැන වෙනමම කතාවක් දළු දාන්න ගත්තත් මම ඒ දළු කඩලා විසි කලා. මට එක පාරටම මං ගැනම මහ හිරිකිතක් දැණුනා.

අම්මා වමනෙ දාන්න මගෙ ඇඳ ළඟ තියලා තිබුණු ටින් එක මම දැක්කෙ දෙකක් වගේ. වමනෙ ගියෙ මුහුදෙ රැළි ගහනවා වගේ. අන්තිමට ඇඟ දඟර ගගහා ඔක්කාරෙ කලත් එළියට දාන්න දෙයක් තිබුණෙ නැහැ. වමනෙ බිම හැම තැනම. ඔළුව ඇතුළෙන් එන වේදනාව දරන්න බැරි තරම්.

"කිලිනොච්චි කියන එකේ තේරැම දන්නවද? නික ගස් වල වහපු ගිරව්, මේ දම් පාටට පොඩි මල් පිපුණු, හීන් දිග කොළ තියන ජාතිය...." තිලී නික ගහක් දැකපු වෙලාවක කිව්වා. සට සට ග ගා ගිරව් පියාඹනවා.. උං හැමතැනම වහලා. යට ලීයෙ පෝළිමට. ජනෙල් පඩිය උඩ වහන්ඩ ඉඩ නැති උං කිරීස් ග ගා කෑ ගගහා පියාඹනවා. ආච්චිලගෙ වත්තෙ පොල් කඩපු අවුරුදු ගාණකට කලින් ගහකින් වැටිලා මැරිච්ච ජේමිස් සරම කැහැපොට ගහගෙන මයිල් පිරිච්ච කකුල් වන වන ගිරව් වහලා ඉන්න බාල්කෙක වාඩි වෙලා රතු ඇස් වලින් මගෙ දිහා බලන් ඉන්නවා. මම තද කරලා ඇස් පියා ගත්තා. තද කළු පාට අන්දකාරෙක ගිරව් ඉංගී‍්‍රසියෙන් සිංදු කිය කිය රවුමට රවුමට පියාඹනවා.

කිරාංචි වෙරළෙදි සමන් කුමාරව දැකපු ගමන් මගෙ ඔළුවෙ විදුලි කෙටුවා. එයාට තිබුණෙ ගොරෝසු ඇහි බැමි යටින් වෙඩි තියන ඇස් . මං එයා දිහා කෙලින් බැලුවෙ නැතුවට මාළු අල්ලන මිනිස්සු ගෙනාපු දැල්ලන්ව අපි මනින දිහා මිනිහා උනන්දුවෙන් බලන් ඉන්න හැටි පැත්තට දැක්කා.

"මහත්තෙලා මෙතන වැඩ කරන්ඩ අපේ බි‍්‍රගෙඩ් එකෙන් අවසර ගත්තද?"

මිනිහා ඇහුවෙ සෑහෙන වෙලාවකට පස්සෙ. මං ඔව් කිව්වම මිනිහා මගෙ කට වචනෙ විශ්වාස කළා.

"කට්ටියම සිංහලනෙ, අවුලක් නෑ"

ටිකක් ඈතින් තව ආමි කොල්ලො දෙන්නෙක්, ජයේ දැල්ලන්ගෙ සාම්පල් බෝතල් වලට දාන හැටි බලන් උන්නා. මං සිගරට් එකක් පත්තු කරගෙන හෙවණට ගියා. මාළුවා හැරිච්ච ගමන් මං ඔළුවෙන් කතා කරලා සිගරට් එක දික් කලා. මාළුවා ඇම ගිල්ලා. වෙඩි තියන ඇස් දෙක මගෙ ළඟට ආවා. තිලී අමුතු හිනාවක් එක්ක මට ඇහැක් ගහලා අහක බලා ගත්තා.

"මල්ලි, ගම් පළාත් කොහෙද?"

"මං එප්පාවල, එළියදිවුල්වැව අයියෙ"

මාළුවා ලොකු හිනාවක් එක්ක කිව්වා. තමන්ගෙ ඇස් වෙඩි තියන බව ඌ දන්නෙ නැහැ කියලා කට අරිනකොටම ඕනෙ කෙනෙක්ට තේරෙනවා. වෙඩි තියන ඇස් තිබිචිච මාළුවා දෙපාරක් ඇදලා ආයෙ සිගරට් එක මට දුන්නා.

"මල්ලිලා කි‍්‍රයාන්විතෙත් හිටිය ද ?"

"නැතුව අපි නන්දිකඩාල් වලත් හිටියා අයියෙ, ඒ දවස් වල මට කහ උනත් හැදුණා. හැමෝම හිතුවෙ මං මළා තමා කියලා. දවස් හතරක්ම සිහි නැතුව උන්නා. මංවත් හිතුවෙ නෑ ආයි බත් කයි කියලා. පුරුවෙ පිනක් තිබිලා බේරුණා. අයියා කොයි පළාතෙ ද?"

"මං පිළියන්දල, මෙහෙ හොඳයි ද?"

කොල්ලා හීනියට හිනා වුණා. වෙඩි තියන ඇස් දෙකකුයි ලොකු තොල් දෙකකුයි තිබුණට, ඌට තිබුණෙ පොඩි එකෙකුගෙ අහිංසක හිනාවක්. උල් දඩයං දත් නිසා ඒ හිනාව ඇතුළෙ වෙනම ලස්සනකුත් තිබුණා.

"දැන්නං ඉස්සර තරං නිවාඩු ගන්ඩ අමාරු නෑ. ඒත් ඉතිං ගම් පළාතෙ ඉන්නවා වගේ කොහෙද?"

"ඇයි ඒ, එහෙ දාලා එන්න බැරි කෙනෙක් ඉන්නවද?"

කොලුවට ආයෙමත් හිනා ගියා.

"තාම එයාව බැඳලා නෑ, එන අවුරුද්දෙ අපි බඳිනවා"

"මොකක්ද නම?"

"බට්ටි"

"බට්ටි?"

"ඇත්ත නම දමයන්ති, ගෙදෙට්ට කියන්නෙ බට්ටි කියලා"

"කවුද බට්ටි කියලා නම දැම්මෙ, ඔයාද?"

"නෑ, පොඩිකාලෙ එයාලෑ අම්මා දාන්න ඇති"

"දමයන්ති නං දම්මි කියන්න එපැයෑ, ඇයි බට්ටි කියන්නෙ?"

කෝප‍්‍රල් සමන් කුමාරට හිනා.

"ඒක මට නෙමේ, එයාලැයි අම්මට කියන්න"

"ඉතිං ඔයාවත් මීට පස්සෙ දම්මි කියන්න"

"මොන නම කිව්වම මොකෝ"

මං තණකොළ බිස්සෙ වාඩි වෙලා තවත් සිගරට් එකක් පත්තු කර ගත්තා. සමන්ටත් එකක් දුන්නා.

"කී දෙනෙක්ට වෙඩි තියලා තියනවද?"

සමන් ගැස්සුනා. මං දුං වලල්ලක් ඇරියා.

"අපි පංසල් ගිය, දංසැල් දුන්න කොල්ලො අයියෙ, මල් පුජා කරපු අත් වලින්ම පෙර කරුමෙකට තුවක්කු අල්ලන්න උනාට"

"අක්කරායන් වලදි හම්බ වෙච්ච ආමි මල්ලියෙක් අරුංගෙ කෑම්ප් එකකට ගහපු කරපු හැටි කිව්වා, උංගෙ එකෙක්ටවත් බේරිලා යන්න දීලා නෑ"
මං කිව්වම සමන් නිකට උස්සලා මගෙ දිහා බැලුවා.

"අපේ තාත්තා මැරෙන කොට මට අවුරුදු අටයි. අම්මා මල්ලිවයි, මාවයි මහණ කරන්න හැදුවා. මල්ලි මහණ වුණා. මං කෑ ගහල අඬලා ගෙදර නතර වුණා. මට තව නංගිලා දෙන්නෙකුයි, අක්කෙකුයි ඉන්නවා. අම්මා පොස්පේට් එකේ වැඩට ගියා. දැන් වකුගඩු අමාරුව. එක නංගි කෙනෙක් පැනලා ගියා. අනිත් නංගියි අක්කයි ගෙදර"

ඌ වෙඩි තියන ඇස් වලින් මගෙ දිහා බලාගෙන කියවගෙන කියවගෙන ගියා. ඒ ඇස් තව දුරටත් වෙඩි තියන්නෙ නැහැ.

මං තිලීට කතා කරලා අපි දෙන්නගෙ ෆොටෝ එකක් ගන්න කිව්වා. සමන් යුනිෆෝමි එකේ රැුලි අතින් හදලා මෝල් ගහක් වගේ හිටගෙන හරි කෙලින් කැමරාව දිහා බැලුවා. මං සමන්ගෙ කර වටේ අත දැම්මත්, සමන් මගෙ කර වටේ අත දැම්මෙ නැහැ. "හිනා වෙන්නකො රවං ඉන්න නැතුව" මම කිව්වම කොල්ලා සැර පෙනුම බහින්නෙ නැති වෙන්න හීන් හිනාවක් දැම්මා.

දවල්, නිලාමදි, වෙරළට ආවා අපි ගාව රස්සා තියනවද බලන්න.
අපි ගාව රස්සා තිබුණෙ නැහැ.
හවස අකුණු ගගහා වැස්සා. සමන්ලා පොයින්ට් එකේ තේ වක්කරලා අපිටත් බොන්න දුන්නා. සමන්ගෙන් විතරක් ඉල්ලන්න බැරි නිසා මම ආමි කොල්ලො තුන් දෙනාගෙම ටෙලිෆෝන් නොම්බර ඉල්ල ගත්තා.

ආපහු මන්නාරමට එද්දි වෙල්ලංකුලම් හරියෙදි වාහනේ මඩේ එරිලා, ඒක තල්ලු කරන්න ගිහින් අපි හැමෝම තෙමුණා. ළඟ ගෙදරක කොල්ලො ටිකක් අඬගහගෙනයි යාන්තං තල්ලුකර ගත්තෙ. මන්නාරමට එද්දි පාන්දර එකටත් ළඟයි.

සුබානිස් මාමා තාලෙට මතුර මතුර මගෙ ඔළුව වටේ කරකවලා ගිරෙන් කපන දෙහි ගෙඩි වල බෑ වතුර බේසමට වැටෙනවා. මගෙ ඔළුව ඇතුළෙ ඒ යාතිකාව දෝංකාර දෙනවා. ඇස් අරින්න බෑ ඇස් පිහාටු බරයි .

මම කිරංචි වෙරළෙ හිටගෙන ඉන්නවා. ඈතින් පේන දූපතේ ඉඳන් කවුදෝ අත වනනවා. එයාව බේරගන්න කියලා කෑ ගහනවා. ඒක බැරෑඬි වෙච්ච කටහඬක්. ඒ මම ද? වාකි ද? යශෝ ද? සමන් කුමාර ද? නැත්තං තිලී ද?

2011.03.25

ඉසුරු චාමර සෝමවීර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails