
සිහින් දෑකැති තලයකි
අඳුරු අහසේ ඇඳුණු
මලානික සඳ ඉරුව
ඉතා ඈතින් නිදන
සිඟිති තරුවක් දෙකක්
ඇස් ඇර බලති
ඉඳහිට
හුදෙකලාව ම වැදී සඳැල්ලට
රැඳී ඉමි
වම් පසින් පෙනෙන්නේ
පිළිස්සී
කලු ගැහුණු
වහලක් අහිමි
බිත්තිය
ඒ මැදින්
කලු පැහැ දුම් වළලූ
තවමත් නඟී
අහසට
ඒ
සාමා විසූ මැදුරය
රජ මිදුලෙන් ගලා එයි
උණු තෙලෙහි බැදි බැදී
පිළිස්සුණු
මිනී මස් වල දුගඳ
ඊයේ
අත රන් වනින්
පය රන් වනින්
බැබළුණු
සිහින් සියුමැලි ළඳගේ
ඈතින් පෙනේ
දහස් ගණනක් මිනිසුන්
එකට වැලලුණු
හිස් බිම
හිස තුළ ද
හිත තුළ ද
භ්රමණය වේ තවම
මිනිස් පොදියක මුවින්
එකවර නැඟී අවුදින්
වා ගැබට මුසුවුණු
කණ් රිදවන විලාපය
පුවත් නොමදැන බමන මත් හිසින්
සුරත් තඹරුව දිලෙන යුග නෙතින්
ඔහු ඇති
සුව යහන මත අවදිව
සුරා පිරි විත අතැතිව
ඇසෙත නූපුර හඬක්
වෙවුලාය බියපත් සිත
මිඩියක් ද ඒ මෙහි එන
ඔහුගෙන් කැඳවුමක් ගෙන
අදින් මතු
පෙර සේ වැළඳ ගෙන ගෙල
සිප ගත හැකිද ඒ වත
අනුරාගයේ මුල් පොත
කියා දුන් ඒ යුග නෙත
දකිනු හැකි වේවිද
යළි කිසි දිනෙක මාහට
සජීවනී කස්තුරිආරච්ච්
KAVI BOONDIYA | වාසුලදත්තාගේ නිහඬ සිතිවිල්ල - [සජීවනී කස්තුරිආරච්ච්]
Posted by
BoondiOnLine
4.20.2011



