Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



සාමාජ මර්දනයන්, පීඩනයන් ඔස්සේ ඒ හා ගොඩනැගෙන සමාජ සන්දර්භය ආශ්‍රයෙන් නිර්මාණය වන්නාවූ කෘති ලෝක සාහිත්‍ය තුළ සුලභ වූවද ශ්‍රී ලංකීය සාහිත්‍ය තුළ එවන් කෘති අපට හමුවන්නේ ඉතා අල්ප වශයෙනි. එම කෘති සාහිත්‍ය ලෝකය තුළ අග්‍රගණ්‍ය නිර්මාණ බවට පත්වන්නේම, ඒ ඔස්සේ මහා සමාජ හෙලිදරව්වක් කරන හෙයිනි. ඇතැම් කෘති සමහර රටවලදී තහනමට පවා ලක්විය.

ඒවා ලියූ කතුවරුන් දේශදෝහීන් ලෙස හැඳින්විනි. නමුත් ඔවුන් මතුකරන සමාජ, දේශපාලනික යතාර්ථය අතිප්‍රබලය. මන්ද වර්තමානයේ තත්ත්වයන් විග්‍රහකර ගැනීමට ඒ අතීත සටහන් මහෝපකාරී වන හෙයිනි. ඒ නිසාම, විශේෂයෙන් ශ්‍රී ලංකාවේ දේශපාලන ගමන්මගේ දිශානතිය වෙනස් කළ, ඒ වගේම ලංකාව් ප්‍රථම සමාජ පිපිරීම වන 71 කැරැල්ල ආශ්‍රිත කෘති කීපයක් ඔස්සේ එහි දේශපාලනික හා සමාජීය විග්‍රහයන් සිදුකර තිබුණ ද ඒ අතරින් පාඨකයා වෙනත් මානයකට නැතිනම් 71 කැරැල්ල දෙස වෙනස්ම විග්‍රහයක් යෙදෙන කෘතියක තෙවන මුද්‍රණය 71 කැරැල්ලට වසර 40ක් පිරීමට සමගාමීව පාඨකයන් අතට පත්විය.

71 අප්‍රේල් 05 වන දින අත්අඩංගුවේ සිටි රෝහණ විඡේවීර යාපනය බන්ධනාගාරයෙන් මුදාගැනීමේ මෙහෙයුම සක්‍රීයව මෙහෙය වූ පුද්ගලයා (බර්ට් මහත්තයා) වන්නේ මෙම කෘතියේ කතුවරයා ය. එම මෙහෙයුමේදී අත්අඩංගුවට පත්වීම සහ ඉන් පසු හැමන් හිල් බන්ධනාගාරය තුළදී කතුවරයාට මුහුණ දෙන්න ට වූ අත්දැකීම් (කෲරත්වය) ඔස්සේ කෘතිය රචනා කර ඇත. 1998 වසරේදී රංජිත් හේනායකආරච්චි විසින් රචිත "බක්මහ කඳුළු" කෘතිය මඟින් මතුකරන කාරණා එදාටත් වඩා අදට කෙතරම් වලංගුදැයි කෘතිය විචාර බුද්ධියෙන් කියවන ඕනෑම කෙනෙක් හට හසුවනවා නොඅනුමානය. එදවස භූමියේ පැවති සමාජ දේශපාලනික පසුබිම මෙන්ම රාජ්‍ය මර්දනයේ කෲරත්වය සහ අනෙක් පසින් තමගේ ප්‍රාණය සමකර සැලකූ පක්ෂය විසින්ම එල්ල වන පීඩනය යන ද්වන්ධ පීඩනය ඔස්සේ කතුවරයාට මුහුණ දීමට සිදුවන අර්බුදය තමන්ටම අනන්‍ය වූ භාෂා භාවිතයක් ඔස්සේ මතුකර තිබීම මෙම කෘතියෙහි විශේෂත්වයකි.

කෘතියේ පරිච්ඡේද 6ක් පමණ වෙන්කර තිබෙන්නේ මිනිසෙක්ට දැරිය හැකිදැයි සිතෙන තරමට පවා අත්අඩංගුවට පත්වූ සැකකරුවන් නීතිය මගින් වැරදිකරුවෙකු කරන්නත් ප්‍රථම බන්ධනාගාරයක් තුළදී මුහුණ දෙන්නාවූ අමානුෂිකත්වය හුවාදැක්වීමටය. සමාජ අසාධාරණය නිසාම රාජ්‍යයට විරුද්ධවන කැරලි ගැසූ තරුණ පිරිසට එරෙහිව රාජ්‍ය විසින් මුදාහල කෲරත්වය ඇඟ කිලිපොලා යන තරම්මය.

14 වෙනි පිටුවෙහි අත්අඩංගුවට ගත්පසු මුහුණ දීමට සිදුවන අමානුෂිකත්වයේ පළමු පියවර මෙලෙස සටහන් වෙයි.

"මගේ ඔරලෝසුව ගලවා ඔහු අතට දුන් විට කිසි කතාවකින් තොරව ඔහු එය තම කාකි කලිසම් සාක්කුවට දමා ගත්තේය. ඒ සමඟම ඔහු රයිෆල් බටයෙන් අල්ලා එහි කඳින් මගේ හිසේ පැත්තකට පහරක් ගැසීය. හෙණ පහරක් වැඳුනා වැනි හැඟීමත් සමඟ කැරකී විසිවී ගිය මම ගොම තැම්බක් මෙන් බිම පතිත විමි. බිම පතිත වූ මගේ ඇෙඟ් හැමතැනකටම පොලු සහ තුවක්කු මිටෙන් කරන පහර දීම් පතිත වන්නට විය. මේ වන විට මගේ මිතුරන්ට ද ඒ ඉරණමට මුහුණ දෙන්නට සිදුවී තිබෙන බව ගුටිබැට අතරේ එහාට මෙහාට පෙරලෙන මට පෙනුනි. හිසෙන් ගලාගිය උණු ලෙය මගේ උරහිස් සහ පපු පෙදෙස උණුසුම් කළේය."
- 14 පිටුව -


මේ කියවෙන්නේ ප්‍රබන්ධයක් හෝ විදෙස් සිනමා පටයක දර්ශනයක් නොව කතුවරයා මුහුණ දුන් සත්‍ය සිදුවීම් පෙලෙහි ආරම්භයයි. ලංකාව වැනි තුන්වැනි ලෝකයේ රටක් තුළ සිරකරුවන් මුහුණ දෙන අමානුෂික සිද්ධි දාමයක් මෙම පොත හරහා හෙළිදරව් කරයි. කතුවරයා මෙයට මුහුණ දී වසර 40 ක් ඉක්මවූවද අද දවසේ පවා පොලිස් අත්අඩංගුවට පත්වන සැකකරුවකුගේ තත්ත්වය හා එදා තත්ත්වය අතර වැඩි වෙනසක් නොවෙයි. අද දවසේ සිදුව ඇත්තේ වඩාත් ක්‍රමානුකූලව නැතිනම් වඩාත් සංවිධිත ආකාරයකින් එම කෲරත්වය, අමානුෂිකත්වය ක්‍රියාත්මක වීමයි. එදා වන විට මානව හිමිකම්, සිරකරුවන්ගේ අයිතිවාසිකම් ආදිය ප්‍රධාන තලයේ සංවාදයේ යෙදෙන මාතෘකා නොවූවද එවැනි අයිතිවාසිකම් ප්‍රධාන මාතෘකා වන අද දවසේද ඒ සම්බන්ධයෙන් දැඩි අර්බුදයක් පවතී. කතුවරයා මතුකරන අමානුෂිකත්වය කාලාන්තරයක් පුරා අභ්‍යාස කිරීම නිසාම මේ මොහොත වන ලංකාවේ පවතින අර්බුද ගණනාවක මූලයන් මෙම කෘතිය මඟින් අනාවරණය කරනු ලබයි. මිනිසෙකුට තියා සතෙකුටවත් වාසය කළනොහැකි සිරකූඩු, කැසිකිළි වැසිකිළි පහසුකම් ගැන පමණක් නොව නිදාගැනීමට පවා තිබූ පහසුකම්වල අතිශය අභාග්‍ය සම්පන්න තත්ත්වය මේ කෘතිය මගින් සැබෑ ලෙසම පාඨකයා අභිමුව සේයා කොට දක්වයි.

"උඹලා මෙහේ ඉන්නේ හිරකාරයෝ විදිහට. උඹලා එළියේ දී කරපුවායින් අපට වැඩක් නෑ. ඉගෙන ගත්තුවා. උඹලට ඉල්ලීම් ඉල්ලන්න බෑ. අපි දෙන දේවල් උඹලා ගන්න ඕනේ. ඉල්ලීම් ඉල්ලන්න, අයිතිවාසිකම් කථාකරන්න මෙතන වෘත්තීය සමිතියක් නොවේ. වැඩි වැඩ බෑ. හරි. "
- පිටු අංක 76 -


එසේම විශේෂයෙන් එදා සිංහල ජන විඥානය විසින් දමිළ සමාජය විග්‍රහකරගත් ආකාරය මෙම කෘතිය ඔස්සේ එක් ඡේදයකින් මනාව ග්‍රහණය කරගැනීමට පුළුවන.

පොලිස් පරීක්ෂකවරයෙක් "... යකෝ තොපි සිංහල කොල්ලෝ නේද? ගහපියව්කෝ දෙමළුන්ට, එහෙනම් අපිත් සපෝට්නේ. තොපි මෙතැන අපිට ගහන්න එන්නේ... දෙමළුන්ට රජසැප. තොපිට හොඳ පාඩමක් උගන්නන් ඕනේ..." යැයි කියමින් පහරදුන් අයුරු මතකය.
- පිටු අංක 26 -


2009 වර්ෂය වන විට උත්කර්ෂයට පැමිණි සිංහල බෞද්ධ අධිපතිවාදයේ මුල් ස්වරූපය මේ හරහා මනාව වටහාගත හැකිය. අද දවසේ පවා දමිළ ව්‍යාපාරයට පහර දෙන්නට සමස්ථ දකුණම කොන්දේසි විරහිතව සහයෝගය පළකරයි. කුමන මතවාදී තලවල සිටිය ද දමිළ ජාතිය එතැන මාතෘකාව වූ කලි ඒ සියලු දෑ පසෙකලා දෙමළාට විරුද්ධව එක් පිලක් බවට පත්වෙයි. මේ කතාව එදාද වෙනසක් නොවුනු බව මෙම කෘතිය කියවාගෙන යද්දී මනාව පැහැදිලි වෙයි.

මේ පොත හරහා අනාවරණය වන අනෙක් කාරණා නම් ඉතාම සද්භාවයෙන් ජීවිත පරිත්‍යාගයෙන් තරුණ පිරිස් තම ජීවිතය කැපකර විමුක්ති ව්‍යාපාරය හා එක්වූවද කැරැල්ලේ තිබුණා වූ ළඳරු ස්භාවය සහ විඡේවීර වැනි ප්‍රධාන නායකයන්ගේ තිබූ වැඩවසම් මනෝභාවයන්ය. කෘතියේ අවසන් පරිච්ඡේද හරහා අනාවරණය වන්නේ ඒ කාරණාවන්ය.

"ජනතා සුභසිද්ධිය තකා ආත්මාර්ථය අතහැර දැමූ තරුණ කොටස් පරමාර්ථය උදෙසා සටන් වැද අවසානයේ තම සතුරා සහ මිතුරා හඳුනා ගතනොහැකි තරම් මුග්ධ අන්තයකට ඇද වැටිණි. ආදරය සහ සහජීවනය ඉවත්වූ මනස තුළ වෛරය සහ කෲරත්වය රජයන්නට විය. ඒ සඳහා දර්ශනයේ දිළිඳු බව කොතෙක් දුරට හේතුවන්නට ඇද්ද? "
- පිටු අංක 123 -


71 කැරැල්ල සහ ජනතා විමුක්ති පෙරමුණ ඊට පසු සිදුකළ දෙවන සන්නද්ධ කරැල්ල අසාර්ථකත්වය කරා මෙහයවීමටද ප්‍රධාන ලෙසින් බලපෑමේ ඔවුන්ගේ දර්ශනයේ දිළිදු භාවයයි. සිහින සමාජවාදී රාජ්‍යයන් තුළ ජීවිත් වෙමින් යතාර්ථය අමතක කර දැමීම නිසාම රටට වැඩදායී තරුණ ජීවිත දහ දහස් ගණනක් රටට අහිමි විය. ඉතිහාසය පුරා මෙවරද කරමින් සිටිනා ජවිපය උතුරේ කැරැල්ල විනාශ කිරීමට ප්‍රධාන මතවාදී දායකත්වය ලබාදීම හරහා ඉතිහාසයේ කිසිදා නිවැරදි කරගත නොහැකි වරදක් සිදුකර ගත්හ.

කෘතියෙහි අවසන මේ සඳහන වෙයි.

බසය පණ ගැන්විණි. සෙමින් බස් නැවතුමෙන් එළියට ඇදුණු බස් රථය රාත්‍රී පාලුපාරේ මීගමුව දෙසට ඇදෙන්නට විය.

ඒ පද අතර කැකෑරෙන හිස්කම පාඨකයාට දැනෙනු නොඅනුමානය. එදා ආරම්භවූ බක්මහේ කඳුළු තවමත් නොනැවතී ශ්‍රී ලංකාව පුරා නොනැවතී ගලායයි.

නිර්මාල් ඒකනායක



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails