Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



නිමිත්ත: යුද්ධය නිමාවීමෙන් පසු සිදුවන සංවර්ධනය දකිනු පිණිස හා ඒ ගැන ලෝකයාට කියනු පිණිස දකුණේ මාධ්‍යවේදීන් පිරිසක් රාජ්‍ය අනුග්‍රහයෙන් උතුරේ සංචාරය කරයි

අහස් කුස සිඹින දූවිලි කඳු මැදින්
හද හදා කඩන කඩ කඩා හදන
ඒ-9 නම් පාර දිගේ
අධි සුඛෝපභෝගී බස් රියේ
අපි ආවා මේ බලන්න
යාපනයේ සීතල විඳින්න

අයියකච්චියෙන් පිරිසිදු වතුර බොන්න
කිළිනොච්චියේ බිඳුණු වතුර ටැංකිය දකින්න
සිඳුණු මතකයට පිටුපා ෆොටෝ එකක් ගන්න
මොන අපරාධයක්දැයි කියන්න ෆේස් බුක් එකට දාන්න

මුහමාලෙයි තාමත් බිම් බෝම්බ බව කියන්න
කහපාට පීත්ත පටියේ විෂූවල් අනිවාර්යයි ඔන්න
"පුපුරන සුළුයි"ළඟටම එපා කියනවා යන්න
පාරෙම ඉඳන් ගන්න හොඳටම "සූzම්" වෙනවා ඔන්න

මග දිගට වහල ගැලවුණු ගෙවල් ගණන් කරන්න
වෙඩි වැදුණු උණ්ඩවල සලකුණු ගලපන්න
කැලෑ වැදුණු ගම්බිම්වල "මිනිසුන් කෝ" එපා අහන්න
අඟලෙන් අඟලට හමුදා කඳවුරු තිබුණා ම මදි ද අභිමානය දෙන්න

ඒ-9 නම් පාරදිගේ
අධි සුඛෝපභෝගී බස් රියේ
අපි ආවා මේ බලන්න
යාපනයේ සීතල විඳින්න....

බුදුන් වැඩි නාගදීපයට ගන් බෝට්ටුවක යන්න
පන්සලේ ලොකු සාදුගෙන් වො‍යිස් කට් එකක් ගන්න
මුදාගත් පින්බිමක අසිරි ගැන අහන්න
ඉස්සර දුක- සැප බැලූ ද්‍රවිඩ දායකයො ගැන නොඅසන්න

සැබෑ හිමිකරුවන් නොමැති නිවසක නවාතැන් ගන්න
අලුයම හතරට නල්ලූර් දේව මෙහෙයට ඉන්න
උඩුකය නිරුවතින් ගොස් දෙවියන්ට වගතුග කියන්න
පුදබිමේ වැල්ල යට "කප්පරක් කඳුළු" එපා පසුතැවෙන්න

මග දෙපස ඇඩ්වර්ටයිසින් බෝඩ් පැටව් ගසයි හිඟ නොවෙන්න
පනම් අටක් හොයන්න ළඟම ෆැක්ටරියක් හැදෙනවා ඔන්න
යාපනයේ පොළේ රවුමක් ගිහින් මිදි වයින් බෝතලයක් ගන්න
කොට්ට කිලංගු එක්ක "නොතේරෙන දෙමළ" බයිට් එකට කන්න

ඒ-9 නම් පාරදිගේ
අධි සුඛෝපභෝගී බස් රියේ
අපි ආවා මේ බලන්න
යාපනයේ සීතල විඳින්න....

කන්දර් ඕඩෙයි "කදුරුගොඩ විහාරය" වෙලා හරි හැඩයි නේද.. ?
ත්‍රිවිධ බෝධියම ඔප්පුව සින්නකරයි සිංහල දකුණට
හාරන්න තව තව යටට උරුමය නියමිතයි හමුවෙන්න
ගඩොල් මිස රජ දවස ඇටකටු දුටුවේ නෑ මෙන්න කැට... !

ප්‍රභාගේ මාළිගය සෙල්වම්ගේ භූ ගත බංකරය
ඉරණමඩු වැව "පුල්ලි විදුලිය" බෙදුව රටකට
පෝලිමේ එන්න විත් නොමිලේ ම නරඹන්න
අද නැතත් හෙට ටිකට් ඕනවෙයි බලන්න

අළු යට ගිනි පුළිඟු දුටුවත් නොදුටු සේ ඉන්න
පොට්ටුවක් ඇති වයස අම්මෙකුට කිට්ටු වෙන්න
කටපුරා හිනැහෙන්න කියා ක්ලෝසප් එකක් ගන්න
"උතුර හරි සතුටින්"කියා ඇවිත් ලියන්න

ඒ-9 නම් පාරදිගේ
අධි සුඛෝපභෝගී බස් රියේ
අපි ආවා මේ බලන්න
යාපනයේ සීතල විඳින්න....

ප්‍රියාන් ආර්. විජේබණ්ඩාර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails