Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



ජපානයේ උතුරු-ඊසානදිග පලාත් කීපයක් සුන්නද්දූලි කරමින් නොබෝදා සිදු වූ ටොහොකු භූමි කම්පාව හා තදනන්තරව පැන නැගි සුනාමි තත්ත්වය හේතුවෙන් මෙතෙක් මියගිය සංඛ්‍යාව දස දහස ඉක්මවා ඇත. තවත් විසි දහසක් පමන ජනයා අතුරුදන්ව ඇති අතර දේපල විනාශයෙහි වටිනාකම අමෙරිකානු ඩොලර් බිලියන 235 දක්වා ඉහල යනු ඇතැ යි ගනන් බලා ඇත.

මේ අභාග්‍යය සිදු වූයේ, ලොව ම කම්පාවට පත් කල ආසියානු සුනාමි ඛෙදවාචකය සිදු වී යන්තම් සය වසරක් ගත වූ තැන ය. 2004 නත්තල් උනුසුම නිවී යෑමටත් පෙර-

ශ්‍රී ලංකාව ඇතුලු රටවල් ගනනාවක් විපතෙහි හෙලමින් ගොඩ ගැලූ මුහුද ආපසු මහා සාගරය වෙත ඇදී ගියේ ලක්ශ සංඛ්‍යාත ජීවිත ද බිලි ගනිමිනි.

ආසියානු සුනාමියට වසරකට පෙර, එවකට ජපානයේ කල් ගෙවමින් සිටිය දී, කියෝතෝ අත්කම් මධ්‍යස්ථානයෙහි අලෙවියට තැබුනු පැරනි ජපන් සිතුවමක - ලී කැපුමක - අව්‍යාජ පිටපතක් (authentic print) මා නෙත ගැටින. මගේ පසුම්බියට ඔරොත්තු නොදෙන මුදලක් වැය කල යුතු වුව ද එම කලා කෘතිය කෙරෙහි කලෙක පටන් මා තුල පැවති අභිරුචිය නිසා ම එය මිල දී ගතිමි. 1829-32 වකවානුවෙහි බිහි වූ මේ කුඩා සිතුවම (10.1" x 14.9") වසරක් ඇවෑමෙන් පුලුල් කතාබහට ලක් වීමට නියමිත බැව් මම සිහිනෙකිනුදු නොසිතුවෙමි. එහෙත්, පශ්චාත්-සුනාමි සංස්කෘතික කතිකාව තුල මේ චිත්‍රය ආසියාතික කලා ලෝලීන් අතර කොතරම් ජනප්‍රිය වී ද යත් එයට සුනාමි සිතුවම යයි නමක් ද පටබැඳුනි. ජපානයට බලපෑ වත්මන් සෙන්ඩායි සුනාමියත් සමඟ රසික ජනයාගේ අවධානය යලිත් මේ සිතුවම කෙරෙහි යොමු වී ඇත.

සැබවින් ම, ඒ වනාහි ලෝක චිත්‍ර කලා වංශයෙහි නමගිය සිතුවමකි: කනගාවා වෙරලබඩ යෝධ රල (Great Waves off Kanagawa Coast) කීර්තිධර ජපන් සිත්තරෙකු වූ කත්සුශිකා හොකුසායි (1760-1849) විසින් අඳින ලද එය ජගත් චිත්‍ර කලා ඉතිහාසයෙහි වැඩිපුර ම ප්‍රතිනිර්මිත සිතුවම් අතරින් එකකි. හොකුසායි වූ කලි ජපන් සංස්කෘතික ජීවිතයෙහි රන් යුගයක් සලකුනු කෙරෙන එඩෝ (මෙවක තෝකියෝ) වකවානුවෙහි බිහි වූ කෘතහස්ත සිත්තරුන් කීපදෙනා අතර ප්‍රමුඛයෙකි. ස්වකීය දිගු ජීවිතය තුල, හෙතෙම විවිධාකාර නිර්මාන තිස් දහසක් පමන ලොවට දායාද කල අතර ප්‍රස්තුත ලී කැපුම (woodcut) ඔහුගේ අනර්ඝතම සිතුවම ලෙස සැලකේ. බීබීසී ආයතනය විසින් 2010 දී විකාශනය කෙරුනු The Private Life of a Masterpiece සහ A History of the World in 100 Objects යන ප්‍රකට වාර්තාමය මාලා වැඩසටහන් උදෙසා මේ චිත්‍රය ද තෝරා ගැනින.

උකියො-එ (Ukiyo-e) හෙවත් සම්ප්‍රදායික ජපන් ලී කැපුම රාජකීය එඩෝ යුගයෙහි ජපන් සිත්තරුන් අතර ඉතා ජනප්‍රිය වූවකි. චීන සම්භවයකින් යුත් එම ශිල්පක්‍රමය සාමූහික ප්‍රයත්නයකි. සිත්තරා, කැටයම්කරු සහ මුද්‍රන ශිල්පියා ඊට දායක වේ. ස්වකීය සිතුවම නිම කරන සිත්තරා එහි රේඛා සියල්ල ලැකි කඩදාසි (tracing papers) කීපයක පිටපත් කරයි. අනතුරුව, ඔහු ඒවා වෙන් වෙන් වසයෙන් වර්න ගන්වයි. මීලඟට, කැටයම්කරු, චෙරි පතුරින් තැනූ අච්චු මත එක් එක් කඩදාසිය තබා උචිත මෙවලම් අනුසාරයෙන් චිත්‍රය උත්කීරනය (engraving) කරයි. කෙලවර, මුද්‍රනකරු, මල්බෙරි ගසේ පොත්තෙන් සකසා ගත් කඩදාසිය වර්න ගැල්වූ ලී අච්චු මතින් පිලිවෙලින් යවා අවශ්‍ය පිටපත් ප්‍රමානය (woodblock prints) නිපදවයි. සුනාමි සිතුවම නිර්මානය වී තිබෙනුයේ ද ඒ අන්දමට ය.

පැසිෆික් සාගර වලල්ලෙහි භූ චලන හා සුනාමි අවදානම වැඩි කලාපයක පිහිටි ජපානය නිරන්තරයෙන් මුහුද ගොඩ ගැලීමේ අවස්ථාවන් හට මුහුන දෙන දේශයකි. තෝකියෝ නුවර කේන්ද්‍ර කොට ගනිමින් 1923 සිදු වූ කැන්ටෝ භූමි කම්පාවෙන් මිනිස්සු 150,000කට ආසන්න ප්‍රමානයක් ද, 1995 දී කෝබේ භූමි කම්පාවෙන් 6000ක් දෙනා ද ජීවිතක්ශයට පත් වූහ.


මුහුදේ කැලඹීම් එඩෝ සිත්තරුන් බොහොමයකගේ ආරම්මනය බවට පත් වුව ද එය සුවිශදව ප්‍රකාශ කෙරුනේ හොකුසායි අතිනි. හොකුසායිගේ ප්‍රකාශන ශෛලියෙහි අපූර්වත්වය පසුකාලීන ප්‍රංශ ධාරනාවාදය (impressionism) කෙරෙහි පවා බලපාන ලදැ යි විශ්වාස කෙරේ. සුනාමියකැ යි පොදුවේ සැලකුන ද ඔහුගේ වස්තු විශයය සැබෑ සුනාමි රල ද නැතහොත් උදම් තරංග (tidal waves) ද යන වග අවිනිශ්චිත ය (එම භූ විද්‍යාමය කාරනාව සිතුවම ඇගයීමෙහිලා එතරම් වැදගත් නොවේ). මෙහි විශේශත්වය නම්, සෙසු සමකාලීන ජපන් සිතුවම් මෙන් නොව, ජපානයට ආවේනික යයි කිව හැකි ලක්ශන කිසිවක් ඉන් ප්‍රකට නොවීම යි (කොටින් ම, සුනාමි යන ජපන් වදන පවා තවදුරටත් එරටට සීමා වී නැත). ෆූජියාමා ගිනි කන්ද වුව මෙහි චිත්‍රනය වී තිබෙනුයේ සාමාන්‍ය කඳු ගැටයක් විලසිනි. මෙය ජපන් සිතුවමකැ යි අප හඳුනා ගන්නේ හුදෙක් ඉහල වම් කෙලවර සිත්තරාගේ අත්සන සහිත ජපන් අක්ශර දැකීමෙනි. මේ කලා කෘතිය පිලිබඳව නොයෙක් තන්හි නොයෙක් දෑ ලියැවී ඇතත් එහි අන්තර්ගතය පිලිබඳ මනා විවරනයක් මෙතෙක් මට හමු වී නැත.

මේ චිත්‍රයෙහි දිස් වනුයේ ඉතා චාම් භූ දර්ශනයකි: මහ මුහුද, ඔරු ත්‍රිත්වයක්, කන්දක් හා අහස් කුස. ඵහෙත්, මේ අති සරල මූලිකාංග ඇසුරින් සිත්තරා ත්‍රාසජනක නිමේශයක් මවා පෙන්වයි. අසාමාන්‍ය ලෙස ඉහල නැගි මුහුදු රැල්ලෙහි යටි පැත්ත ඔහුගේ තියුනු නිරීක්ශනයට හසු විය. කඳු සා පරිමාන උස් රල ගෙඩි පෙරබිමෙහිත් කුඩා ගල් පරයක මට්ටමට සිඳුවන ලද ෆූජි කන්ද පසුබිමෙහිත් පිහිටුවමින් සිත්තරා තරංගයෙහි විශාලත්වය අවධාරනය කරයි. ප්‍රචන්ඩ රල පහර මැද හබල් ගා එන ධීවර ඔරු පෙලට තව මොහොතකින් අත්වන ඛෙදනීය ඉරනම නරඹන්නාට සක් සුදක් සේ පැහැදිලි ය. උස් දිය කඳ මුව විවර කර ගත් මිනී මෝරෙකු ලෙස නැතහොත් නිය විදා ගත් ගොරතර මුහුදු රාක්ශසයෙකු ලෙස ඔරුකාරයන් හට පෙනුනාට සැක නැත.

අනෙක් අතට, හොකුසායි, රල පහරෙහි භයංකර බව පමනක් ඉස්මතු කලේ නැත. ඊට සමගාමීව, ඔහු එහි රමනීයත්වය ද චිත්‍රනය කලේ ය. පසුබිමෙහි අඳුරු තානයට විපරීතව ඔහු පෙරබිමෙහි දීප්තිමත් නීල වර්නය සමඟ ධවල පැහැය යොදාගෙන තිබේ. මොහොතකට පෙර ජල රකුසාගේ උල් නිය ලෙස පෙනුනේ සුදෝසුදු පෙන පිඬු වග අපට පසක් වෙයි. සැඩ රල යනු ඊනියා දේව ශාපයක් නොව හුදු ස්වාභාවික (වෛශයික) සංසිද්ධියක් බව සිත්තරා පවසන අන්දම යි ඒ.

වසර අනූවක් පමන ආයු වැලඳූ හොකුසායි මිය යෑමට මඳ කලකට පෙර ලියූ මතු සඳහන් සටහන, ස්වකීය කලාව විශයයෙහි ඕනෑ ම බැරෑරුම් කලාකරුවෙකු තුල පවත්නා බලවත් අතෘප්තිය, අප්‍රතිහත ධෛර්යය, දෘඩතර කැපවීම හා නොහිම් ලාලසාව මොනවට කියාපායි: "වයස අවුරුදු හයේ සිට, ජීවිතයෙන් උපුටා ගත් වස්තූන් රූපයට නැගීමට පුරුදුව සිටි මම සිත්තරෙකු බවට පත් වීමි. වයස පනහ වන විට, මා කිසියම් කීර්තියක් දිනා සිටිය ද හැත්තෑව සපිරෙන තෙක් අවධානයට ලක් වීමට වටිනා තරමේ කිසිවක් මා නිර්මානය කොට නොතිබින. කෙලවර, වයස හැත්තෑ තුනේ දී, පක්ශීන්ගේ, වන සතුන්ගේ, කෘමීන්ගේ හා මත්ස්‍යයන්ගේ ව්‍යුහයන් ද හරිත ගහකොලවල වැඩීම ද ග්‍රහනය කිරීමට පටන් ගතිමි. දිගට ම වෑයම් කලොත්, වයස අසූ හය වන විට, මා නිසැකව ම මේවා වඩාත් මැනවින් තේරුම් ගනු ඇත. වයස අනූව වන විට, මා වස්තූන්හි සුවිශේශී ස්වභාවය විනිවිදිනු ඇත. වයස අවුරුදු සියය සම්පූර්න වන විට, මා සාධනීය වූ දිව්‍යමය අවබෝධයක් ලබනු ඇති අතර වයස එකසිය තිහේ දී, හතලිහේ දී නැතහොත් ඊටත් පසුව, මා අතින් ඇඳෙන සෑම තිතක් ම, සෑම රේඛාවක් ම, ඊට ම ආවේනික ජීවිත අත්පත් කර ගනු ඇත..." (නගාතා සෙයිජි, Hokusai: Genius of the Japanese Ukiyo-e, කොඩන්ශා ඉන්ටර්නැශනල්, තෝකියෝ, 1995)

සුනාමි සිතුවමෙහි මුල් පිටපත (original copy) හකොනේ කලාභවනෙහි තැන්පත්ව ඇති අතර ලොව ඇතැම් කලාගාරයන්හි මෙහි අනු පිටපත් ප්‍රදර්ශනය කෙරේ. තෝකියෝ නුවර ජාතික කෞතුකාගාරයෙහිත් එඩෝ කෞතුකාගාරයෙහිත් ජපන් ජන ජීවිතය නිරූපනය කෙරෙන මාහැඟි ලී කැපුම් දොලොස් දහසක් පමන සංරක්ශිතව ඇත. මේ සිතුවම් වරින් වර මහජන ප්‍රදර්ශනයට තැබෙන අතර ඉන් සමහරක් සීමිත පිටපත් සංඛ්‍යාවකින් යුතුව අලෙවිය පිනිස දැනටත් මුද්‍රනය කෙරේ. හොකුසායි හට උපහාර පිනිස, ලෝකයේ දිග ම මුහුදු උමග වන හොන්ශු සහ හොකයිඩෝ දූපත් යා කෙරෙන සෙයිකන් උමං මාර්ගයෙහි හමු වන මුහුද යට දුම්රිය නැවතුම්පොලෙහි සුනාමි සිතුවම ද ඇතුලු ඔහුගේ ෆූජියාමා කන්ද ආශ්‍රිත දසුන් තිස් හය (Thirty Six Views of Mount Fuji) පිඟන් ගඩොල් බිත්තිය මත ප්‍රතිනිර්මානය කෙරී ඇත.

කෙසේ වෙතත්, ස්වාභාවික විපත් හමුවේ මිනිසා අසරන ය යන චිරාගත (ප්‍රතිගාමී) දෘශ්ටිය ද මේ සිතුවමෙහි නැතුවා නොවේ. පරිසර විපර්යාස පිලිබඳ විද්‍යාත්මක පෙරදැකීම් තබා පනිවුඩ හුවමාරුව සිදු කෙරෙන රේඩියෝ සංඥා පද්ධතියක් වත් වර්ධනය වී නොතිබුනු අවධියක, එනම්, 18වන හා 19වන සියවස් අතරතුර විසූ හොකුසායි එබඳු ආස්ථානයක් දැරීම අපට තේරුම් ගත හැකි වුව ද වත්මන් ලෝක පාලකයන් හට ඊට කිසිදු සමාවක් හිමි නොවේ. සත්තකින් ම, මුහුදේ හැසිරීම කල් තබා හඳුනා ගත හැකි දියුනු ක්‍රමවේදයක් පැවති වකවානුවක සිදු වූ ජීවිත විනාශය සමූල ඝාතනයක් විනා අනෙකක් නොවේ. නවීන විද්‍යාවෙහි ජයග්‍රහන පොදු මහජනතාවන් හට අහිමි කරන ලද ලෝක ධනවාදයත් එහි කලාපීය ගෝලබාලයෝත් ඊට වගඋත්තරකරුවෝ වෙත්. එසේ ම, අතලොස්සකගේ ලාභ රේට්ටු තර කරන ධනේශ්වර නිශ්පාදනය විසින් මෙවක පෙර නොවූ විරූ පරිසර විපත් පවා නිර්මානය කෙරී ඇත: ගෝලීය උනුසුම (global warming).

සුනාමි අනතුරු ඇඟවීමෙහි තාක්ශනය වෙනුවෙන් වාර්ශිකව වැය කල යුතු මුදල දරා නොගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකාව ඇතුලු විපතට පත් අවවර්ධිත රටවල් වන්දි ගෙව්වේ තුන් ලක්ශයකට අධික ජීවිත සමූහයකිනි. 2004 සුනාමියෙන් දරුනු ලෙස බැට කෑ ඉන්දුනීසියාව මෑත දී යලි වතාවක් එම බිහිසුනු ඉරනමට මුහුන පෑ වග කවුරුත් දනිති. අනෙක් අතට, තාක්ශනයෙන් සන්නද්ධ ධනේශ්වර රාජ්‍යයන් පවා අනතුරු වලක්වා ගැනීම පැහැර හරිමින් සිටී. කැත්රිනා චන්ඩ මාරුතයෙන් අමෙරිකාවේ පලාත් කීපයක ජීවිත හා දේපල සුනුවිසුනු වන තෙක් එරට පාලන තන්ත්‍රය නිහඬව සිටි වග නොරහසකි. නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච්හි නොබෝදා සිදු වූ භූ චලනය ද එරට වැසියන් වෙත ගෙනාවේ ඛෙදනීය ජීවන කොන්දේසීන් ය.

ජපානය සැලකුවොත්, නවීන තාක්ශනයට පින් සිදුවන්ට, මහා කැන්ටෝ භූමි කම්පාවට සාපේක්ශව මෙදා අහිමි වූ ජීවිත ගනන අඩු වග සැබෑ ය. එහෙත්, ලෝකයේ හොඳ ම නිරාපද පිලිවෙත් (safety measures) හා ආපදා කලමනාකරනය තමන් සතු ය යන පුරාඡේරුව තිබියදීත් ජපන් පාලකයන් එරට ජනතාව බේරා ගැනීම කෙරෙහි උනන්දු නොවූ බවට චෝදනා නැගී ඇත. තෝකියෝ විදුලි සමාගමේ ධන ලාභය තකා න්‍යශ්ටික බලාගාරයෙහි නිරාපද පිලිවෙත් පසුවට කල් තබන ලදැ යි දැන් අනාවරනය වෙමින් ඇත. දිනපතා ඉහල නැංවෙන මරන ලැයිස්තුව මත් මෙයට සාක්ශි දරයි. පන් ලක්ශයකට උන්හිටිතැන් අහිමි වූ අතර තාවකාලික කඳවුරු තුල ගාල් වූ තුන් ලක්ශයක ජනකායක් තෙදිනකට පසුව පවා බීමට වතුර පොදක් නැතිව ලතැවුනු බව වාර්තා විය. සුනාමිය බලපෑ දිස්ත්‍රික්ක 18ක මිලියන 1.5ක් ජනතාවෝ අදටත් ජල හිඟයෙන් පීඩා විඳිත්. එසේ ම, ෆුකුශිමා න්‍යශ්ටික බලාගාරයෙන් විකිරනශීලී රසායන ද්‍රව්‍ය පරිසරයට කාන්දු වීම නිසා වඩා භයානක තර්ජනයක් දැන් මතුව තිබේ. මෙය හුදෙක් ජපානයට නොව සමස්ත ලෝකයට ම බලපාන්නා වූ උපද්‍රවයකි. අවදානම් කලාප තුල න්‍යශ්ටික බලාගාර ඉදි කිරීමට පියවර ගැනීම මත් ජනතාව දැන දැන ම අනතුරේ හෙලීමක් නොවේ ද? ජපානය අතීතයෙන් - යටත්පිරිසෙයින්, මෑත කෝබේ ව්‍යසනයෙන් වත් - පාඩම් උගෙන නැතැ යි එක් විදේශීය ලේඛකයෙක් චෝදනා කලේ ය. මේ අතර, ජපන් ධනපතීහු අවම වියදමකින් ගොඩ එන මං සොයමින් සිටිත්. රක්ශන සමාගම්වල පාඩුව ඩොලර් බිලියන 10ක් වුව භූ චලන උදෙසා රක්ශන ආවරන හිමිව ඇත්තේ ජනගහනයෙන් සියයට දහයකට පමනකැ යි පැවසේ.

සත්තකින් ම, ජපානය, මාල දිවයින සේ ම, මනුශ්‍ය වාසයට නුසුදුසු අවදානම්සහගත භූමි භාගයක් බැව් ඔප්පු වී හමාර ය. එහෙත්, ගත වූ වසර ගනනාව තුල ජපන් පාලකයන් මේ සම්බන්ධයෙන් යමක් සිදු කලේ නම්, ඒ, ජපන් දූපත් පෙලේ වක ගැසුනු හැඩයට සමාන ඉරියව්වකින් නිශ්චලව දියපිට දපා සිටින යෝධ මගුරෙකු තම කය මත ජපානය දරා සිටිතැ යි ද, මත්ස්‍යයා වරින් වර සිය වරල් සලන විට භූ කම්පන හට ගැනීම අතිශය සාමාන්‍ය දෙයකැයි ද යන එරට ජනතාව තුල මුල් බැස ගත් චිරාගත මිථ්‍යා විශ්වාසයට පලිප්පු ලෑම පමනි.

මූල්‍ය ආර්ථීකයන්හි කඩා වැටීම, අප්‍රිකානු හා මැද පෙරදිග විප්ලව පිපිරීම, පරිසර තර්ජන යනාදී ලෝක ධනවාදය අද මුහුන පා සිටින දැවැන්ත පරාජයන් හමුවේ, දශක දෙකකට පෙර නැගෙනහිර යුරෝපයේ ස්තාලින්වාදය බිඳ වැටෙනවාත් සමඟ, ඉතිහාසයේ අවසානය හා ධනේශ්වර ලිබරල්වාදයේ සදාතනික විජයග්‍රහනය නිවේදනය කිරීමට ඉක්මන් වූ ෆ්‍රැන්සිස් ෆුකුයාමා ප්‍රමුඛ ධනේශ්වර බුද්ධිජීවීහු ගලේ පැහැරූ බලලුන්ගේ තත්ත්වයට ඇද වැටී සිටිත්.

ආලින්දයෙහි එල්ලා ඇති විචිත්‍ර සුනාමි සිතුවම ඇස ගැටෙන වාරයක් වාරයක් පාසා, අද්‍යතන ධනේශ්වර පර්යාය නඩත්තු කරන්නන් කෙරෙහි බුරබුරා නැගෙන විරෝධය වඩාත් තීව්‍ර වනුයේ, මේ අන්තරායයන්ගෙන් මිදෙනු පිනිස ඇති ඒකායන මඟ පිලිබඳ ප්‍රබල ඒත්තු ගැනීමක් ද සමඟිනි: එක්කෝ සමාජවාදය නැතහොත් විනාශය!

දර්ශන මේදිස්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails