Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



"තමන් දන්නා සත්‍ය කථා කරන කුමන හෝ මුග්ධයෙකු සෑම පරම්පරාවකම සිටිය හැක" -බොරිස් පැස්ටර්නැක්

බොල්ෂෙවික් විප්ලවය පැවති අවධියේදී රුසියාවේ ඉහළ මධ්‍යම පාංතිය තුළ පැවති අවාසනාවන්ත ස්වභාවය පිළිබඳව අවධාරණය කරමින් "ඩොක්ටර් ෂිවාගෝ" නම් අර්බුදයට තුඩු දුන් නවකථාව රචනා කිරීම හේතුකොටගෙන නොබෙල් ත්‍යාගලාභී රුසියානු කවියෙකු හා ගත්කතුවරයෙකු වූ බොරිස් පැස්ටර්නැක් ලෝක ප‍්‍රසිද්ධියට පත්විය. පැස්ටර්නැක් "පරිකල්පනයට" අදාළ ශ්‍රේෂ්ඨ නිර්මාපකයෙකු විය. ඔහුගේ ශ්‍රේෂ්ඨ නවකථාව මානවවාදයෙන් පිරී ඇති අතර එහි චරිතයන් සකසා ඇත්තේ කාව්‍යාත්මක දැක්මකිනි. 1917 දී රුසියාවේ සිදුවූ දැවැන්ත සමාජ පෙරළිය ඔහු දුටුවේ නිරන්තරයෙන් වෙනස් වන සිත්ගන්නා රූ රටා මවන මානව ක‍්‍රීඩා භාණ්ඩයක් ලෙසිනි.

මෙම නවකථාව රචනා කරන ලද්දේ විප්ලවය හා බැදුණු (1910-1920 අතර) වර්ෂවල වුවද-

එය ප‍්‍රකාශයට පත්කරන ලද්දේ දශක කිහිපයකට පසුවය. බොල්ෂෙවික් විප්ලවයට අදාළ පැස්ටර්නැක්ගේ දැක්ම හා ජීවිතය කෙරේ මෙන්ම පුද්ගලයා කෙරේ ද දක්වන ලද දැඩි ඇල්ම මෙම නවකථාව තුළ ප‍්‍රශස්ත අන්දමින් ප‍්‍රකාශිත වී ඇත. එය රුසියානු ජීවිතය, රුසියානු විප්ලවය හා මුල් සෝවියට් යුගයට අදාළ ජීවිතය ද පිළිබඳ කදිම රූප රාමුවකි.

"ඩොක්ටර් ෂිවාගෝ" නම් ඔහුගේ මෙම ශ්‍රේෂ්ඨතම කෘතිය මගින් නූතන සමාජ දේශපාලනික පැවැත්ම සම්බන්ධ ගැටලු පැස්ටර්නැක් අවධානයට ලක් කරවයි. රුසියානු විප්ලවය පැවති අවධියේ හා ඉන් අනතුරුවද පැවති සමාජ කැළඹිල්ල හා රුසියාවේ ඉහළ මධ්‍යම පංතිය ඉන් ලද අහිතකර බලපෑම්ද විස්තර කෙරෙන මෙම කෘතිය පුළුල් දර්ශනයක් විදහා දක්වන සමාජ හා දේශපාලනමය වෘත්තාන්තයකි. පැස්ටර්නැක්ගේ හෙලිදරව්ව අනපේක්‍ෂිත ප‍්‍රශ්නයක් කෙරේ අවධානය යොමුකරවයි. එය "සමාජීය මතවාදයක් වෙනුවෙන් තම පෞද්ගලික නිදහස හා පෞද්ගලික ජීවිතය ද කැප කිරීම සාධාරණද?" යන්නයි.

"මතවාදය" (ideology) යන සංකල්පය සාමාන්‍යයෙන් සම්බන්ධ වී ඇත්තේ බලයට අදාළව වන අතර බොහෝ විට මිනිස් හැඟීම් කෙරේ සැලකිල්ලක් නොදක්වයි. මතවාදය යන්න මිනිසා ලෝකය ගැන සිතන ආකාරය හා ලොවෙහි ජීවත්විය යුත්තේ කෙසේද යන්න පිළිබඳව ඔවුන්ගේ පරමාදර්ශී සංකල්පය යනුවෙන් අර්ථකථනය කළ හැකිය. එය වුවමනාවෙන්ම ජනතාව මර්දනය කිරීමට හෝ ඔවුන්ගේ විඥානය වෙනස් කිරීමට තැත් කරන කණ්ඩායම් අතර පවත්නා බෙදී ගිය විශ්වාසයකි. මෙම ක‍්‍රියාවලියේදී ප‍්‍රචණ්ඩත්වය, කායික වදහිංසා පැමිණවීම, හා ත‍්‍රස්තවාදය වුවද යොදාගනු ලබන අතර, මිනිසුන් මනිනු ලබන්නේ ඔවුන්ගේ මතවාදී අදහස්වලට අනුවය.

රුසියානු සමාජ සංවිධානයට අදාළ වූ මූලික වෙනස්කමක් බොල්ෂෙවික් විප්ලවය මගින් සිදුකර ඇත. සමාජය ගොඩනැංවීම හරහා "නව මිනිසෙකු ගොඩනැංවීම" යන බොල්ෂෙවික් අදහස යුරි ෂිවාගෝ වැනි පුද්ගලයින් හට දුරාවබෝධවූ උත්තමාදර්ශයක් විය. එබදු මිනිසෙකු එක්කෝ එම සමාජ ක‍්‍රමයට අනුගත විය යුතුය. නැතහොත් විනාශවිය යුතු හෝ ඉන් ඉවත් විය යුතුය. ක‍්‍රියාශීලී සමාජ පෙරළියක් සිදුවන විට එය පෞද්ගලික හැඟීම්වලට තැනක් නොදෙන අතර සාමූහිකව ජීවත්වීමට සෑම කෙනෙකුට පුරුදු පුහුණු විය යුතුවේ. මතවාදය හා සටන්පාඨ ජීවිතයේ කේන්‍ද්‍රස්ථානයක් බවට පත්වේ. මිනිසුන් මනිනුයේ දේශපාලනමය වශයෙනි. එබඳු පරිසරයක පුද්ගලයන් හට ලැබෙනුයේ අවම වරණයන්ය. ඩොක්ටර් ෂිවාගේ වනාහි මෙබදු සමාජ ක‍්‍රමයකට ගොදුරු වූ ගැණිය නොහැකි තරම් වූ පුද්ගලයන්ගෙන් කෙනෙකි.

ලෙනින් ඔහුගේ පෞද්ගලික විවාහ ජීවිතය ක්රූප්ස්ක්යා සමගද, ස්ටාලින්, නාඩියා ඇලිලූයේවා සමගද සතුටින් ගත කළද යුරි ෂිවාගෝ සහ ලැරිසා ඇන්ටිපෝවා අතර පැවති පේ‍්‍රමය පෞද්ගලික කරුණක් වූ අතර බොල්ෂේවික් විප්ලවීය සංකල්පයන් තුල එයට ඉඩක් නොලැබිණ. රුසියාව තුල පෞද්ගලික ජීවිතය මියගොස් ඇති බව දැඩි රතු (කොමියුනිස්ට්) මතධාරියෙකු වන ස්ටෙ‍්‍රල්නිකොව් ප‍්‍රකාශ කළද මෙය සෑම කෙනෙකුටම අදාළ නොවිය.

වෛද්‍ය යුරි ෂිවාගෝ යනු, තමන්ගේ පාලනයට ඔබ්බෙන්වූ බලපෑම් හේතුවෙන් අනපේක්‍ෂික අන්දමට දෙපසට ඇදුනු වෛද්‍යවරයෙකු හා සංවේදි මිනිසෙකු විය. වෛද්‍ය ෂිවාගෝ පෞද්ගලික මෙන්ම සාමුහික දුක්ඛාන්තයක ගොදුරක් බවට පත්විය. ඔහු කුඩා දරුවෙකුව සිටියදී යුරිගේ මව මිය ගියාය. ඔහුට ඉතිරිවූයේ "බලලයිකාව" පමණකි. තරුණ යූරිව ඔහුගේ මාමා විසින් ඇති දැඩි කරගන්නා ලදී. මොස්කව් නගරයේ ජීවත්වන ඔහුට කාව්‍ය කලාව පිළිබඳව අසීමිත උනන්දුවක් ඇතිවිය. රුසියානු සමාජය තුළ වෛද්‍ය යුරි ෂිවාගෝව වෘත්තිකයෙකු මෙන්ම කවියෙකු ලෙසින්ද පිළිගන්නා ලදී. එහෙත් ඔහුගේ ජීවිතය ඔහුගේ බිරිඳ වූ ටානියා ග්රොමිකෝ සහ පෙම්වතිය වූ රූමත් හෙදියක වූ ලාරා ඇන්ටිපෝවා කෙරේ හටගත් ආදරය අතර ගැටලූවකට මැදිවී තිබුණි.

සිවිල් යුද්ධය අරුඹුනු පසුව රතු බෙදුම්වාදීන් විසින් වෛද්‍ය ෂිවාගෝව ඔහුගේ පවුලෙන් හා බිරිඳගෙන් බලයෙන්ම ඉවත් කරන ලද අතර, පසුව ඔහුගේ බිරිඳ වූ ටානියා තම දරුවන්ද සමගින් ප‍්‍රංශය වෙත පලාගියාය. ස්ටෙ‍්‍රලින්කෝව් අත්අඩංගුවට ගත් පසුව ලාරාගේ ජීවිතය අවදානමට ලක්වූ අතර, අවස්ථාවාදියෙකු හා අවකල් ක‍්‍රියාවෙන් යුත් මිනිසෙකු වූ වික්ටර් කමරොවොස්කි සමග යාමට ඇයට සිදුවිය. එනයින් වෛද්‍ය යුරි ෂිවාගොට ලාරා ද අහිමිව ඉතා දුබල පුද්ගලයෙකු බවටද පත්විය. ස්ටාලින් විසින් රුසියාවේ සිදුකල ගුලාර්ග් සංහාරයේදී ටානියා අතුරුදන් වූවාය. ආදරය හා අහිංසකත්වය අහිමි වූ ෂිවාගෝ අරමණුකින් තොර හිස් මිනිසෙකු බවට පත්විය. මොස්කව් නගරයේ වීදියක් දිගේ ලාරා යැයි සැක කළ කාන්තාවක් පසුපස හඹා යද්දී වෛද්‍ය ෂිවාගෝ හෘදයාබාධයකින් මිය යයි.

විප්ලවයත් සමගම ඔහු වෙත සාමූහික ඛේදාන්තය බලපෑවේය. ෂැම්පේන්, කේවියර්, සහ වොඞ්කා පානය කරමින් ගතකල සාම්ප‍්‍රදායික, මධ්‍යම පන්තික මොස්කව් වැසියන්ගේ ඉහළ මට්ටමේ ජීවන රටාව රුසියානු විප්ලවය සමගම නිමාවට පත්විය. ඔවුන්ගේ ජීවිත උඩු යටිකුරු විය. ෂිවාගෝගේ පවුලේ ධනය රාජසන්තක කරන ලද අතර නව සෝවියට් රජය මගින් ඔවුන්ගේ නිවාසය කුලී නිවාස පේළියක් බවට පත් කරන ලදී. ෂිවාගෝගේ පවුල කුඩා කාමරයකට කොටු කරන ලදී. ෂිවාගෝගේ සාම්ප‍්‍රදායික මධ්‍යම පන්තික මූලයන් නිසා බොල්ෂෙවික්වරුන් විසින් ඔහුව පිළිකුල් කරන ලදී. ඔහු ලියූ කවි, නොවැදගත් හා ආශාවන් සපුරාගනු පිණිස ලියූ ඒවා ලෙස සලකන ලදී.

විප්ලවය ඔවුන් වෙත අවාසනාව හා බලාපොරොත්තු කඩවීම් ද රැගෙන ආවේය. දහස් ගණන් දෙනා වෙඩිතබා මරා දමන ලදී. විප්ලවයට විරුද්ධ වී යැයි නම්කොට ඕනෑම කෙනෙකුව අත්අඩංගුවට ගැනීමට හෝ මරණයට පත් කිරීමට විප්ලවවාදී කමිටුවට බලය තිබුණි.

"කුලක්වරුන්" (Kulak) යනුවෙන් වර්ගීකරණය කොට ධනවත් ඉඩම්හිමියන්ව මුලුමනින්ම විනාශ කොට දමන ලදී. "කුලක්" යනුවෙන් හැඳින්වූවෙකු වෙන්කොට හඳුනාගත හැකි පැහැදිලි නිර්වචනයක් හෝ සලකුණු කිරීමක් නොතිබිණි. ඉඩම් හෙක්ටයාර් දහස් ගණනක් හිමි තැනැත්තෙකුව "කුලක්" කෙනෙකු ලෙස සලකන ලදී. ජෝසප් ස්ටැලින් යටතේ පැවති රාජ්‍ය ත‍්‍රස්තවාදයේ උච්ඡ අවස්ථාවේදි ධාන්‍ය රාත්තල් තුනක් අයිතිවූ ගොවියකු වුවද "කුලක්" වශයෙන් නම්කොට මරණීය දණ්ඩනයට පමුණුවන ලදී.

නමුත් "පරමාදර්ශී රාජ්‍යයට" යන මාවත සොයාගෙන ඇති බැව් බොල්ෂෙවික්වරු විශ්වාස කළහ. ඔම්ලට් එකක් සෑදීමට නම් බිත්තර කිහිපයක් බිඳිය යුතු යැයි පවසමින් ඔවුන් විප්ලවයෙන් පසුව පැවති බලවත් කම්පනය සාධාරණීකරණය කලහ. තම කාතිය වූ ඩොක්ටර් ෂිවාගෝ හරහා බොරිස් පැස්ටර්නැක් බොල්ෂෙවික්වරුන් වෙත ප‍්‍රශ්නය වක‍්‍ර අන්දමින් ඉදිරිපත් කළේය. "මම බිඳුණු බිත්තර දකිමි. එහෙත් ඔම්ලට් එක නොදුටුවෙමි" යනුවෙන් පැස්ටර්නැක් ප‍්‍රශ්න කරන්නේය.

විප්ලවවාදී මිණුම් දඬුවලට අනුව "නව මිනිසෙකු නිර්මාණය කිරීම" යන බොල්ෂෙවික් අදහස පැස්ටර්නැක් දැඩි ආවේගයෙන් යුතුව හෙළා දුටුවේය. එය ස්වභාවධර්මයට විරුද්ධ බව ඔහු දැන සිටියේය. "රෝගියාව ජීවත් කිරීමට හැකිවන්නේ නම් පමණක් පටකවල සැදී ඇති අසාධාරණය නමැති ගෙඩි ඉතා වේදනාකාරී ශල්‍යකර්මයක් මගින් කපා ඉවත් කළ හැකි බවට" ඔහු තර්ක කළේය.

ඩොක්ටර් ෂිවාගෝ නම් නවකථාව දිගු වෘත්තාන්තයකි. ඒ තුළ විවිධ විශ්වාසනීය චරිත හුවා දක්වමින් ෂිවාගෝගේ ජීවිතය, පුරාවටම පැතිර යයි. ඇලෙක්සැන්ඩර් බ්ලොක් නම් රුසියානු කවියාට, බොරිස් පැස්ටර්නැක් විසින් බෙහෙවින් ඇලුම් කරන ලදී. රුසියාව තුළ වඩාත්ම ජනප‍්‍රිය හා බලවත් කවියෙකු වූ බ්ලොක්ගේ සැබෑ ජීවිතයෙන් කොටසක් ඩොක්ටර් ෂිවාගෝ රචනා කිරීමේ දී පැස්ටර්නැක් විසින් පාදක කරන්නට ඇත. ඇලෙක්සැන්ඩර් බ්ලොක් වූ කලී දැඩි රූපාලංකාර සහිත භාෂාවක්, සරල, සුගම ලෙස යොදාගනිමින් පෞද්ගලික සංවේදී අත්දැකීම් ප‍්‍රකාශ කිරීමට උත්සාහ කළ සංකේතවාදී කවියෙකු විය. විප්ලවයට පසුව උදා වූ වසරවලදී බ්ලොක් සමාජීය හා දේශපාලනික ලේඛන කලාවේ හා විවේචනාත්මක ලේඛන කලාවේ දැඩි ලෙස නිරත වී සිටියේය. 1921 දී ඔහු විසින් රචිත "On the Poet's Calling" යන තියුණු හා ව්‍යක්ත රචනය මගින් සෝවියට් නිළධාරිවාදය හා වාරණයන් පිළිබඳව ඔහු තුළ පැවති කලකිරීම විදහා දැක්වින. වයස අවු. 37 දී බ්ලොක් මියගියේය. ඒ 1921 අගෝස්තු මස 01 වන දින Petrograd නගරයේදීය. ඩොක්ටර් යූරි ෂිවාගෝ නම් වෘත්තාන්ත චරිතය මෙන්ම බ්ලොක් ද මිය ගියේ දැඩි කළකිරීමකින් යුතුව සිට කායික හා මානසික අවපීඩනය හේතුකොටගෙනය.

මෙම නවකථාවේ ද්විතීය චරිතය වන පාවෙල් ඇන්ට්පොව් නැතහොත් ස්ටෙ‍්‍රල්නිකෝව්ගේ පෞරුෂත්වය, ලියොන් ට්‍රොස්කිට (Leo Davidovich Bronshtein) බෙහෙවින් සමානය. පාවෙල් ඇන්ටිපොව් දුම්රිය කම්කරුවෙකුගේ පුතෙකි. ඔහු ලාරා විවාහ කොටගෙන යුරල් කඳුවැටිය පෙදෙස වෙත ගියේය. පළවන ලෝක යුධ සමයේ දී යුධ හමුදාවට බැඳී ජර්මන් ඉදිරි ආරක්‍ෂක වළල්ලේ සටන් වැදුණේය. සටනේ දී තුවාළ ලද ඇන්ටිපොව්, මිය ගිය බවට විශ්වාස කළ ද , පසුව ඔහු ආපසු පැමිණේ. පූර්ණ පෞරුෂ වෙනස්වීමක් ද සහිතව ස්ටෙ‍්‍රලින්කොව් යන අනවර්ථ නාමය භාවිතා කළ ඔහු තවදුරටත් උණුසුම්, කරුණාවන්ත මිනිසෙකු නොවීය. ලේ පිපාසිත, මිලිටරි කොමිසර් කෙනෙකු බවට ඔහු පත්විය.

පාවෙල් ඇන්ටිපොව් මෙන්ම ලියොන් ට්‍රොස්කි ද මුල් අවධියේ දී බොල්ෂේවික්වරුන්ට විරුද්ධ වූ නමුදු පසුව බොල්ෂේවික්වාදය තරයේ වැළඳගත්තේය. සිවිල් යුද්ධයේ දී සුදු ආරක්‍ෂක හමුදාව සමඟ සටන් කළ රතු හමුදාව නිර්මාණය කළේ ලියොන් ට්‍රොට්ස්කිය. සිවිල් යුද්ධය පැවති අවධියේ දී නූතන සෝවියට් සංගමය හරහා දීර්ඝ ලෙස දුම්රියකින් ගමන් කළේය. නව කථාවට අනුව පාවෙල් ඇන්ටිපොව් නැතහොත් ස්ටෙ‍්‍රලින්කෝව් කුරිරු චරිතයකින් යුක්ත වූවෙකු වූ අතර ගම්මාන විනාශ කරමින් හා සුදු ‘‘හමුදාවන්ට උදව් උපකාර කළ මිනිසුන් සමූල ඝාතනය කරමින් විශේෂයෙන් ආරක්‍ෂිත වූ දුම්රියක ගමන් කළ පුද්ගලයෙකු ද විය.

ස්ටේ‍්‍රල්නිකෝව්ගේ හොඳින් ආරක්‍ෂිත වූ දුම්රිය අහම්බෙන් මෙන් වෛද්‍ය ෂිවාගේට මුණගැසුණු විට ඔහුව අත්අඩංගුවට ගෙන ස්ටෙ‍්‍රලින්කෝව් ඉදිරියට පමුණුවන ලදී. ස්ටේ‍්‍රල්නිකෝව්, ෂිවාගෝව දුටු විගසම මෙම ප‍්‍රකට රුසියානු කවියාව හඳුනාගත්තේය. ෂිවාගෝගේ කවි හෙළා දුටු අවස්ථාවේ ස්ටෙ‍්‍රලින්කෝව් භාවිතා කල වචන පහත දැක්වේ.

"මම ඔබගේ කවි අගය කරමින් සිටියෙමි. දැන් මවිසින් එසේ කළ යුතු නැත. අසම්මත ලෙස පෞද්ගලික වශයෙන් මා ඒවා දැකිය යුතු වේ. ඔබ එයට එකඟ නොවන්නේ ද? හැඟීම්, ප‍්‍රතිවේදයන්, ආදරය ....... මේවා දැන් හදිසියේම කුදු බවට පත්ව ඇත. මම ඔබට එකඟ නොවෙමි. ඔබ වැරදිය. රුසියාවේ පෞද්ගලික ජීවිතය මියගොස්ය. ඉතිහාසය විසින් එය මරා දමා ඇත. ඔබ මට ද්වේෂ කරනු ඇත්තේ මන්දැයි මට පෙනේ."

ලියොන් ට්‍රොට්ස්කි හා ස්ටෙ‍්‍රලින්කෝව් යන දෙදෙනාම එකම ඉරණමකට ගොදුරු වූහ. ඔවුන් දෙදෙනාම ජනප‍්‍රසාදයෙන් පහතටම ඇද වැටුණි. බොල්ෂේවික්වරුන් විසින් මේ දෙදෙනාවම අත්හැර දමන ලදී. වෙඩි තැබීමේ භට කඳවුරකට රැගෙන ගිය විට ස්ටෙ‍්‍රලින්කෝව් සියදිවි නසාගත් අතර මෙක්සිකෝ නගරයේ දී ට්‍රොට්ස්කිව ඝාතනය කරන ලදී.

මෙම නවකථාවේ දී පැස්ටර්නැක් හඳුන්වා දුන් තවත් චරිතයක් නම් යෙව්ග‍්‍රාෆ් (Yevgraf) ෂිවාගෝ නම් චරිතයයි. චෙකා රහස් පොලිසියට සේවය කරමින් සිටි යෙව්ග‍්‍රාෆ් වෛද්‍ය ෂිවාගෝගේ නීත්‍යානුකූල නොවූ සොහොයුරෙකි. "චෙකා" (Cheka) යනු විප්ලවයෙන් පසුව ඉක්මනින්ම අරඹන ලද රහස් පොලිස් බලකායකි. මිනිසුන් අත්අඩංගුවට ගැනීමේ බලය චෙකා සතු විය. මරණීය දණ්ඩනය ද ඇතුළුව සිරකරුවන්ට හා දඬුවම්වලට අදාළව වැරදිකරු බව හෝ නිවැරදි කරුබව තක්සේරු කිරීමේ කිසිඳු අධිකරණයමය ක‍්‍රියාවලියක් නොවීය. ඒවා අත්තනෝමතික ලෙස යොදාගන්නා ලදී. සුළු නඩු විභාග කිරීමේ හා මරණ දණ්ඩණය ක‍්‍රියාත්මක කිරීමේ බලය චෙකා බලකායට පවරා තිබුණි.

බොල්ෂෙවික් රහස් පොලිස් සේවය වූ චෙකා පෙලීසියේ නිර්මාතෘ වූ Feeliks Dzerzhinsky හා යෙව්ග‍්‍රාෆ් ෂිවාගෝ අතර බොහෝ සේ සමානකම් තිබිණි. Dzerzhinsky රුසියානු නොව පෝලන්ත ජාතිකයෙකු විය. පැස්ටර්නැක්ගේ කෘතියෙහි යෙව්ග‍්‍රාෆ් ෂිවාගෝ අවජාතකයෙකු බව සඳහන් වේ. (රුසියානු නොවන?) Dzerzhinsky මෙන්ම යෙව්රොව් ෂිවාගෝ ද සැකකරුවන් මරණයට පත් කරමින් අභ්‍යන්තර දේශපාලනික තර්ජන මර්ධනය කරයි. වරක් Dzerzhinsky "අප නියෝජනය කරන්නේ සංවිධානය වූ ත‍්‍රස්තවාදයයි. මෙය ඉතා පැහැදිලිව ප‍්‍රකාශ කර යුතුය." යනුවෙන් ප‍්‍රකාශ කළේය. එමෙන්ම "ත‍්‍රස්තවාදය, අත්අඩංගුවට ගැනීම් හා පංති වර්ගීකරණය හෝ ඔවුන්ගේ පූර්ව විප්ලවවාදී භූමිකාවන් අනුව සතුරන් සමූලඝාතනය කිරීම සිදුවේ." යනුවෙන් ප‍්‍රකාශ කළේය.

යෙව්රොව් ෂිවාගෝ ගේ වචන චෙකා සාමාජිකයන් සතුව පැවති බලයට අනුරූපී වේ.

"සැබැවින්ම පොලිස් නිළධාරියෙකු ලෙස මා පවසන්නේ මිනිසෙකුගේ සොහොයුරෙකු අල්ලා ගන්න. ඔබ අඩක් නිවස වෙත ලඟා වී ඇත. මෙය මට වඩා හොඳ මිනිසෙකුට කරන ප‍්‍රශංසාවක් ද නොවේ. ඔහු වඩාත් හොඳ මිනිසෙකු ලෙස මම නොසිතුවෙමි. ඒ හැර මම, මට වඩා හොඳ පුද්ගලයන් මගේ කුඩා පිස්තෝලයෙන් මරා දමා ඇත්තෙමි."

විශේෂයෙන් රුසියානු සිවිල් යුද්ධය පැවති අවධියේ තිබි ශාරීරික වධ හිංසා පැමිණවීම හා සමූහ ඝාතන ද ඇතුලු විශාල පරිමාණයේ මානව හිමිකම් උල්ලංඝණය කිරීම හේතුකොටගෙන "චෙකා" සංවිධානය අප‍්‍රසාදයට පත්විය.

මෙම නවකථාව තුළ සාපේක්‍ෂ වශයෙන් ගත් කළ සුළු එහෙත් ප‍්‍රබෝධමත් තවත් චරිතයක් හඳුන්වා දෙන ලදී. එනම් ලුතිනන් රාසින්ගේ චරිතයයි. රතු හමුදාවේ ගරිල්ලා ඒකකයෙන් වෛද්‍ය ෂිවාගෝව මුදාහැරීම සම්බන්ධයෙන් ඔහු නිශ්චිතවම විරුද්ධ විය. පොදු විවාදයකදී ඔහු තම අදහස පහත දැක්වෙන අන්දමින් විස්තර කරයි. හමුදා අරගලය එනම් යුද්ධය නිමාවට පත්වෙත්ම දේශපාලනික අරගලය ව්‍යාප්ත වේ. ජයග‍්‍රහණය ලද අවස්ථාවේදී හමුදාව එයට අවශ්‍ය කාර්යය ඉටුකර ඇත. අවසානයේදී ඔවුන්ගේ හමුදා වාර්තාවන් නොතකා ඔවුන්ව දේශපාලනමය අන්දමින් විනිශ්චය කරනු ඇත. (ශ‍්‍රී ලංකාවේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ හා ජෙනරාල් සරත් ෆොන්සේකා අතර පවත්නා බල අරගලය සමග මෙය සසඳන්න. පැස්ටර්නැත් අසාමාන්‍ය බුද්ධිමතෙකු වීද?)

ලුතිනන් රසීන් පළමු අශ්වාරෝහක බලකායේ කොමිසාර්වරයා වූ ක්ලිමන්ට් වොරෝෂිලොව් විය හැක. මොහු පසු කලෙක හමුදාවේ මහජන කොමසාරිස් හා සෝවියට් සමූහාණ්ඩුවේ විප්ලවවාදී මිලිටරි කවුන්සලයේ සභාපති බවට පත්විය. හමුදාවේ සේවය කළ ඔහුත් සමකාලීනයන් බොහෝ දෙනෙකුව හෙළා දකිමින් ඔහු 1930 සිදු කල ජෝසප් ස්ටාලින්ගේ මහා ශෝධනයට The Great Purge ඔහුගේ පූර්ණ සහයෝගය ලබා දුන්නේය.

ජෝන් ලොක් හා ජෙරම් බෙන්ත්හම් සමාජය විග‍්‍රහ කළේ අලෙවිකරණ සබඳතා හරහා එකිනෙකා හා ප‍්‍රතික‍්‍රියා කරන පුද්ගලයින්ගෙන් සෑදුනක් ලෙසය. කෙසේ වෙතත් බොල්ෂේවික්වරුන්ට තවදුරටත් ඉදිරියට ගොස් විප්ලවය හරහා සහ පසුව ස්ටැලින් වාදය හරහා සමාජවාදී පරමාදර්ශී රාජ්‍යයක් නිර්මාණය කිරීමට අවශ්‍ය විය. එනමුදු බොල්ෂෙවික් විප්ලවය කෲරත්වය හා මර්දනකාරිත්වය සංකේත කොටගත් ගුලාර්ග් ශ‍්‍රම කඳවුරුවලට මිනිසුන් මිලියන ගණනක් එක් රැස් කිරීමට සිදු කළ යෝධ සමාජීය තෙරපීමක් ලෙස පැස්ටර්නැක් දුටුවේය.

1957 දී පැස්ටර්නැක්ගේ නවකථාව වූ ඩොක්ටර් ෂිවාගෝ කෘතිය ප‍්‍රකාශයට පත් කිරීමට තැත් කළ අවස්ථාවේදී එම කෘතිය රුසියාවේ වසර 30 ක කාලයකට තහනම් කරන ලදී. එක් අවස්ථාවකදී සෝවියට් සමාජක‍්‍රමය මගින් පැස්ටර්නැක් බොල්ෂෙවික් සමාජයට නොගැළපෙන්නෙකු ලෙසින් සළකන ලදී. ද්‍රෝහියෙකු ලෙස සළකා රුසියානු බලධාරීන් විසින් ඔහුව වාරණයට ලක් කරන ලදී. 1958 වසරේ දී පැස්ටර්නැක් සාහිත්‍ය සඳහා නොබෙල් ත්‍යාගය දිනාගන්නා ලදමුත් සෝවියට් රාජ්‍ය පාලනය මගින් ඔහුට කරන ලද දැඩි බලපෑම හේතුකොටගෙන ඔහුට එය ප‍්‍රතික්ෂේප කිරීමට සිදු විය. 1987 දී සෝවියට් ලේඛකයන්ගේ සංගමය මගින් ඔහුගේ මරණයෙන් පසුව පැස්ටර්නැක්ව ඇගයීමට ලක් කලේය. අවසානයේ දී සෝවියට් සමූහාණ්ඩුව බිඳවැටීමෙන් පසුව 1988 දී ඩොක්ටර් ෂිවාගෝ කෘතිය රුසියාවේදී ප‍්‍රකාශයට පත් කරන ලදී.

පිළිතුරු සෙවීමට ඇති සංකීර්ණ සදාචාරාත්මක ප‍්‍රශ්න ඉතිරි කරමින් පැස්ටර්නැක් අප හැර ගියේය. එහෙත් විප්ලවයට අදාළ පැස්ටර්නැක්ගේ අභ්‍යන්තර අදහස් ඇලෙක්සැන්ඩර් බර්ක්මන්ගේ ප‍්‍රකාශ හා සැසඳේ. කිසිඳු විප්ලවයකින් මේ වනතෙක් නිදහසේ සත්‍ය ස්වභාවය සොයාගෙන නැත. කිසිඳු කෙනෙකු ඒ කෙරේ සෑහෙන විශ්වාසයක් තබා නැත. මර්දනය, වධහිංසා පැමිණවීම, පළිගැනීම හා ප‍්‍රචණ්ඩත්වය යන මේවා අතීතයේ සිදු වූ සියලූ විප්ලවයන්හි ගුණාංග ලෙස පැවති අතර විප්ලවයට අදාළ මුල් අරමුණු මින් පරාජය වී ඇත. නව ක‍්‍රම හා විධි අත්හදා බැලීමට කාලය එළඹ ඇත. සමාජ විප්ලවයක් යනු නිදහස හරහා මිනිසාගේ විමුක්තිය ළඟාකර ගැනීම වන අතර, නිදහස කෙරේ අප තුළ විශ්වාසයක් නොමැති නම් විප්ලවය යන්න ඒ තුළම අසත්‍යයක් හා පාවාදීමක් බවට පත්වෙනු ඇත.

["Boris Pasternak -the Man who saw the other side of the Bolshevik Revolution" ලිපියේ පරිවර්තනය.]

වෛද්‍ය රුවන් එම්. ජයතුංග
පරිවර්තනය - ඒ. එම්. වික්‍රමසිංහ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails