Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



මගේ බාලම පුතු අසාද් ඔහුගේ හතරවැනි වියේදී පමණ මගේ ඇස්වලට කඳුළු ගෙනා යමක් පැවසීය. මගේ දියණියන් දෙදෙනා, හැනා සහ ලයිලා, මාත් මගේ බිරිඳ ලොනීත් නැවතී සිටි, ලොස් ඇන්ජලීස් හී හෝටල් කාමරය තුළට යමින් සිටියහ. අසාද් ඔහුගේ මව සමග යහන මත කෙළි- කවටකමින් පසු විය. එය ගිම්හාන සමයයි. අසාද් මුළු සතියම පිහිනුමේ යෙදී සිටි බැවින් ඔහුගේ සම වඩාත් කළු වී තිබිණි.

කාමරයට ඇතුළු වූ ලයිලා, අසාද් දැක ඔහු වඩා ගෙන තදින් වැලඳ, සිඹ අහිංසක ලෙස මෙසේ කීවාය.

"ආ!... අසාද් ඔයා අද කළු වෙලා."
"මං කළු නෑ, මං පිරිසිදුයි." අසාදගේ පිළිතුර විය.

ඔහු කියූ දෙය, මා ඔහුගේ වයසේ වූ සමයත්, එදවස ලෝකය කෙතරම් වෙනස් වී ද යන්නත්, සිහිපත් කළේය. අසාද් තවමත් ලෝකයට අලුත් කෙනෙක් විය. ඔහු තවමත් වර්ණයේ සංකල්පය ඉගෙන නොතිබිණි. ඔහුගේ සිත හා හදවත තවමත් අහිංසක විය. ළාබාල වියේ අහිංසකත්වයේම ඇලී ගැලී ඉන්නට තිබුණා නම් කොතරම් අපූරු දැයි මම මටම සිතා ගතිමි.

1950, 60 දශකවල මා වැඩෙද්දී මගේ අහිංසකත්වයේම රැඳී සිටීම දුෂ්කර විය. මා වටා ඇති අසාධාරණය හා කොන් කිරීම වටහා ගැනීම ඇරඹුවෙමි. "සුදු අය පමණයි" සහ "කල්ලන්ට අවසර නැත" යනුවෙන් කියවෙන දැන්වීම් පුවරු සහිත ආපන ශාලා විය. කල්ලන්ට ඉඩ ලැබුණේ උල්පත්වලින් දිය බීමටත් "කල්ලන්ට" යන සඳහන සහිත විවේක ශාලා පරිහරණය කිරීමටත් පමණි. මගේ සහෝදරයාත්, මාත්, සුදු ළමයින් සමග කිසිදු ගැටුමකට නොගිය ද, "කල්ලා" යනුවෙන් අමතනු ලැබ, යම් අසල්වැසි සබඳතාවලින් අප දුරස් කරනු ලැබූ අවස්ථා තිබිණි. දකුණේ අනෙක් ප්‍රදේශවල බොහෝ කළු අය අත් විඳි අයුරේම සැහැසිකම් අප අත් නොවිඳිය ද ලුයිවිල් පෙදෙස කොන් කරනු ලැබිණි. නිවසේදී අභිමානයක් හා ස්වයං සවිඥානයක් සහිතව හදා වඩා ගැනෙන අතර, බැහැරේදී කළු මිනිසුන් දෙවැනි පංතියේ පුරවැසියන් ලෙස සැලකෙන ලෝකයකට යෑම අමුතු, නුහුරු දෙයක් විය. ලෝකයේ කුරිරුකම්වලින් අප රැක ගැනීමට මගේ දෙමව්පියන් සියලු වැර දැරූව ද සමහර ගැටලු නොවැළැක්විය හැකි ඒවා විය.


මැල්කම් එක්ස් සමග මොහොමඩ් අලි


මා අගතීන්වලට මුහුණ දුන් පළමු අවස්ථාවලින් එකක් සිදු වූයේ මතකයේ ද නොරැඳෙන තරම් කුඩා අවදියේය. එහෙත් අම්මා ඒ කතාව කියනු මම අසා ඇත්තෙමි. ඇයත්, මාත් බස් නැවතුමක සිටගෙන සිටියෙමු. එය බෙහෙවින් උණුසුම් දවසක් වූ අතර, මට දැඩි පිපාසයක් විය. එබැවින් අම්මා මා සමග ඒ ඉසව්වේ කුඩා බොජුන් හලකට ගොස් මා වෙනුවෙන් වතුර වීදුරුවක් ඉල්ලා සිටියාය. එහි සිටි තැනැත්තා එය ප්‍රතික්ෂේප කරමින් අපේ මුහුණටම දොර වැසීය. මට සිතින් මවා ගත හැක්කේ, ඒ මිනිසා මට වතුර වීදුරුවක් නොදුන්නේ මන්දැයි පැහැදිලි කරන්නට වචන සොයද්දී අම්මා විඳි වේදනාව පමණි. දැන් වුවද අම්මා කියන්නේ මෙසේය. "වෛර කිරීම වැරදි. වෛර කරන්නෙ කවුරුන්ද යන්න වැදගත් නෑ. එය සරලවම, පැහැදිලිවම වැරදි යි."

මා මඳක් වැඩුණු ළමයෙකු කාලයේදී මගේ වයසේම කිය හැකි එමිට් ටිල් (Emmett Till) නම් ළමයකුගේ කතා පුවතක් පත්තරයක මුල් පිටුවේම පළවී තිබෙනු දුටුවෙමි. මිසිසිපිහි නිවාඩුව ගත කරමින් සිටි ඔහු සුදු කාන්තාවක් එල්ලේ සිවුරුහන් බෑවේය යන්න මත, විභාගයකින් තොරව, වදයට ලක් කර මරා දමා තිබිණි. මිනී පෙට්ටියේ සැතපී ඉන්නා ඔහුගේ පින්තූරයක්, ඔහුට කළ දෑ පිළිබඳ බිහිසුනු විස්තරයක් සහිතව පත්තරයේ පළ කර තිබිණි. එය මා අසහනයටත් බියටත් පත් කළේය. මසිත ශෝකයෙන් හා අවුලෙන් පිරුණි. ඇතැම් මිනිසුන් කොපමණ වෛරී විය හැකි දැයි එදින වන තුරු මම වටහා ගෙන නොසිටියෙමි.


මා එමිට් ටිල් පුද්ගලිකව දැන හඳින නොසිටිය ද, එතැන් සිට සෑම කළු පිරිමි ළමයකු හා ගැහැනු ළමයකු තුළින් ඔහු දකින්නට වීමි. ඔහු සෙල්ලම් කරන හැටි, සිනාසෙන හැටි සිතින් මවා ගත්තෙමි. පත්තරයේ වූ ඔහුගේ පින්තූරය දෙස බලන විට මට හැඟුණේ, මෙය පහසුවෙන්ම මගේ හෝ මගේ සොහොයුරාගේ හෝ කතාව විය හැකිව තිබුණු බවයි. එය කළවුන් අල්ලා නඩු පවරනු ලැබූව ද, පූර්ණ සුදු ජාතික ජූරිය ඔවුන් නිදහස් කළේ ඔවුන් ළමයා පැහැර ගෙන යනු ඇසින් දුටු සාක්ෂිකරුවන් පවා ඉදිරිපත්ව සිටියදීය. එමිට්ගේ මව පැවසුවේ මෙයයි. "දකුණේ නීග්‍රෝවරුන්ට මෙවැනි දෙයක් සිදු වූ විට මා කීවේ, "ඒක සිද්ධ වුණේ ඒගොල්ලන්ට. මට නොවේ" කියලා. එදා මං කොතරම් වැරදි ද කියලා මට දැන් තේරෙනවා. අපේ කාට වුවත්, ලෝකයේ කොතැනක වුවත්, සිදු වන දෙය අප සියල්ලන්ටම අදාළ බව මගේ පුතාගේ මරණය මට පෙන්නල දීල තියෙනවා." මෙය සත්‍ය යැයි මම විශ්වාස කරමි.

බොහෝ වේදනාවන්, අවුල් හා අසාධාරණයන් සහිත ලොවක මගේ හදවත මුරණ්ඩු විය හැකි බව මම දැන සිටියෙමි. කෙසේ වුවත්, ජීවත් වනවා නම් දැඩි නොවිය යුතු බව මම දනිමි. මට පෙරළා ආදරය නොකරන අයට පවා ආදරය කරන්නට සිදුවනු ඇත. සමාව නොදෙන අයට පවා සමාව දීම ඉගෙන ගන්නට සිදු වනු ඇත. නැතහොත් මගේ හද වියළෙනු ඇත.

කැඩපතකින් බැලූ විට දුටු දෙය ගැන මම ආඩම්බර වීමි. එහෙත් තවදුරටත් කල්ලන් වීමට නොරිසි වූ බොහෝ කළු මිනිස්සු සිටියහ. කුඩා කළු ළමයින්ට පොදු ආදර්ශී චරිතයන් නොවිණි. පෙනුමෙන් අපට සමාන වීරයෝ අපට නොසිටියහ. තදාත්මිකව සලකනු ලබන්නට කිසිවෙකු අපට නොසිටි අතර අප ගැළපෙනුයේ කොතැනටදැයි අපි නොදත්තෙමු. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ රූප පවා නිබඳවම වූයේ සුදු පැහැයෙනි. ජේසුස්, දෙවියන් වහන්සේගේ පුත්‍රයා ලෙස මා ඉගෙන තිබූ අතර, දෙවියන් වහන්සේ ද ජේසුස්ගේ පෙනුමට සමාන වෙත් දැයි සැක කළෙමි. ජේසුස් හැම විටම නිරූපණය කෙරුණේ දිග, දුඹුරු පැහැ කෙස් සහ නිල්වන් දෙඇස් සහිතවයි. මගේ ඊළඟ නිරීක්ෂණය වූයේ පිංතූරවල සිටි සියළුම දෙවඟනන් සුදු වීමයි. කළු දෙවඟනකගේ පිංතූරයක් කිසිදා නොතිබිණි. අන්තිම රාත්‍රී භෝජනයට සිටි සියලුම දෙනා සුදු අය වූහ. එනිසා දිනක් මම අම්මාගෙන් මෙසේ ඇසුවෙමි.


"අපි මැරුණාම අපට මොකද වෙන්නේ? අපි දිව්‍යලෝකයට යනවාද?"
"ස්වාභාවයෙන්ම, අප දිව්‍යලෝකයට යනවා" ඇය පැවසුවාය.

"එහෙමනම් පින්තූර ගන්න කොට කළු දිව්‍යාංගනාවනට මොකද වුණේ? ආ.... මං දන්නවා. සුදු අය දිව්‍ය ලෝකයට යනවා නම් කළු දෙවඟනන් කුස්යේ කිරි- පැණි ලෑස්ති කරමින් ඉන්න ඇති."

කිරි- පැණි ගැන මගේ කිසිම කැමැත්තක් නොවූ නිසා එය මට කරුණක් නොවිණි. මට අවශ්‍ය වූයේ මොනවා හෝ පිළිතුරුය. සෑම හොඳ දෙයක්ම සුදෙන් දැක්වුණේ මන්ද යන්න දැන ගැනීම මට අවශ්‍ය විය. එක් "සියලු සාන්තුවර දින" සැඳෑවක (Halloween) එක් කුඩා කළු දැරියක් අසල්වැසියන්ට රැඟුම් පාමින් සිටියාය. ඇය සැරසී සිටියේ සුපිරි වීර චරිතයක ඇඳුමිනි. එහෙත් ඇගේ මුහුණේ සුදු වර්ණය ආලේප කර තිබිණි. ඒ ඇයි දැයි මා අයගෙන් විමසූ විට ඇය කීවේ, කළු සුපිරි වීරයෙකු ලෙස කෙනෙකු නැති බව ඇගේ සොයුරිය ඇයට කී බවයි. ඇය නිවැරදි වූවාය. මම රූපවාහිනිය දෙසට හැරුණෙමි. සෑම කෙනෙකුම, සෑම විටම සුදුය. සුපර්මෑන් සුදුය. නත්තල් සීයා සුදුය. ඔවුහු අප්‍රිකානු වනාන්තරයේ රජා වන ටාසන් පවා සුදු කළහ. නිබඳවම ඇමරිකානු රූ රැජිණත්, ඇමරිකානු ජනාධිපති නිල නිවසත් (ධවල මන්දිරය) සුදු බව මට පෙණිනි. කිසිදු හොඳ දෙයක් අපගේ රූපය පිළිබිඹු නොකළේය.

යමක් ඉතා වැරදි සහගතව පවතින බව ඒ කුඩා කාලයේදී මම දුටුවෙමි. ඒ කුමක්දැයි මට වැටහීමක් නොවිණි. මගේ සම ලස්සනය යැයි මම සිතුවෙමි. මගේ සමේ වර්ණය ගැන මම ආඩම්බර විමි. එහෙත් සෑම කළු දෙයක්ම පහත් සහ අයෝග්‍ය ලෙස සැලකිණි. හරියටම කළු බළලුන් අවාසනාව ගෙනෙනවා මෙනි. යක්ෂයා කෑවේ කළු කේක් වූ අතර, දෙවඟන කෑවේ සුදු කේක් ය. මේවා සියුම් පණිවුඩ වූවා විය හැකිය. එහෙත් බලපෑම තියුණු විය, මා තුළත්, සුදු නොවෙන අනෙක් ළමයි තුළත් අපම පිළිබඳව තිබූ ප්‍රතිරූපය මෙම පණිවුඩ මඟින් දිනපතා හැඩ ගැන්විණි. කෙසේදැයි නොදත්තෙමි. එහෙත් මම අපේ මිනිසුන්ට උපකාර කරන්නට එළඹෙමින් සිටි බව දත්තෙමි. මම කවර ආකාරයෙන් හෝ ලෝකයේ වෙනසක් කරන්නට එළඹෙමින් සිටියෙමි. අසාධාරණය වඩ වඩාත් දකිත්ම මගේ හැඟීම් වඩ වඩාත් ශක්තිමත්ව වැඩුණි. එය, මා මෙහි සිටියේ යම් හේතුවක් නිසා බව මට දැනවීය.

(ජගත් බොක්සිං ශූර, මොහොමඩ් අලි (කැෂියස් ක්ලේ) ගේ Do Blacks go to Heaven? ලියැවිල්ලේ පරිවර්තනයකි.)

මොහොමඩ් අලි
පරිවර්තනය - දේ. වි. ගාල්ලගේ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails