Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



වසර කිහිපයකට පෙර බී. ඒ. ගෞරව උපාධියෙන් පළමු වැනි පන්තියේ සාමාර්ථයක් ලැබූ තවමත් ස්ථිර රැකියාවක් නැති, මාගේ දෙටු දියණිය එම්. ඒ. උපාධියක් කරන්නට සති අන්තයේ පන්ති වලට සහභාගි වන්නට තීරණය කළේ ස්ථිර රැකියාවකට එම්. ඒ. එකක් තිබීම වැඩිමනත් සුදුසුකමක් වන බවට තර්ක කිරීමෙන් පසුවය. වසරක් පමණ, විශ්ව විද්‍යාලයේ සති අන්ත දේශන වලට සහභාගි වූ ඇය කුමාරස්වාමි, කුමාරතුංග, වික්‍රමසිංහ-

හා පරණවිතාන ලියූ පොත පත ගැන විපරම් කරන්නට ගත්තේ ඒවා ගැන පැවරිම් ලියන්නට පැවරී ඇති බවට මැසිවිලි නගමිනි. පැවරුම් ලියන්නට හෝ මේ උගතුන්ගේ පොත්පත් ගැන සොයා බලන්නට ලැබීම සරසවි වරමක් ලැබීමක් යෑයි මා කී විට ඈ මට ද ගස්සා ගෙන ගියත් කොහෙන්දෝ සොයා ගත් පොත් දෙක තුනක් උදවු කර ගනිමින් පැවරුම් ද නියම වේලාවට බාර දුන් බව පස්වනක් ප්‍රීතියෙන් පිනා යමින් පැවසුවාය. ඉන් පසුව විභාගයට පාඩම් කරන්නට ගත්තේ පස්වැන්නේ ශිෂ්‍යත්වයට පෙනී සිටින දරුවකුටත් වඩා උනන්දුවෙනි. විභාගයට දින කිහිපයකට කලින් හොරගල් අහුලමින් මා වෙතට පැමිණි ඇය මගේ හිතමිත්‍ර කථිකාචාර්යවරයකුට කතා කර තමාට උදවුවක් ලබා දිය හැකි දැයි විමසුවාය. ඇයට පිළිතුරු අවශ්‍ය කර තිබුණේ අමුතු විදිහේ ප්‍රශ්නයකට බව මට පෙනී ගියේය. "සර් එම්. ඒ. එකෙයි එම්. එස්. සී. එකෙයි වෙනස තියෙන්නෙ උත්තර බලන විදිහෙද?" යනුවෙන් මගේ මිතුරු කථිකාචාර්යවරයා විමසූ විට ඇයට ඔහුගෙන් ලැබුණ පිළිතුර කුමක් වුවද, මම ඉන් පසුව ඇගෙන් ඒ ගැන විපරම් කර බැලුවෙමි.

"අපි කරන්නෙ එම්. ඒ. එකනෙ. ටික දෙනෙක් ඉන්නවා එම්. එස්. සී කරන. එම්. ඒ. අයගේ පේපර්ස් යන්තම් බළලා එම්. එස්. සී. පේපර්ස් හොඳට බලනවා කියලා ........... සර්රුයි, ........ සර්රුයි කිව්වා."

ඇය කිසියම් අන්ධභූතයක පැටලී සිටින බවක් මට පෙනී ගියේය.

"එම්. ඒ. හරි, එම්. එස්. සී. හරි කියන්නෙ මාස්ටර්ස් ඩිග්රි එකක්. ඕකෙ වෙනස කියන්නෙ අපේ විශ්ව විද්‍යාල වල එක අවුරුද්දෙ මාස්ටර්ස් තියෙනවා taught courses. පේපර්ස් ලියලා ඩිසටේෂන් එකක් කරන්න තියෙනවා. අවුරුදු දෙකේ රිසර්ච් මාස්ටර් එකේදි තියෙන්නෙ පේපර්ස් ලියලා රිසර්ච් ඩිසටේෂන් එකක් ලියන එක. ඒක සුපවයිසර් කෙනෙක් යටතේ කරන්න ඕනෙ." යි මේ ගැන විමසූ විට මගේ මිතුරු කථිකාචාර්යවරයා මට පහදා දුන්නේ ය.

"ඔය දෙකටම එකම පේපර් එක දෙනවද?" මම පැටලුම ලිහා ගන්නට තැත් කරමින් විමසුවෙමි.

"සමහර විට දෙන අවස්ථා තියෙනවා. එහෙම වුණහම ප්‍රශ්න පත්‍රයේ උපදෙස් දෙනවා අවුරුද්දෙ කෝස් එක කරන අය ප්‍රශ්න හතරකටයි දෙකේ අය ප්‍රශ්න පහකටයි ලියන්න කියලා. එහෙම නැත්නම් වෙනම වැඩිපුර කොටසක් ප්‍රශ්න පත්‍රයේ තියෙනවා. අවුරුදු දෙකේ කෝස් එක කරන අයට විතරක් පිළිතුරු ලියන්න දීපු."

ඒ හැරෙන්නට හොඳට බලා ලකුණු දෙන උපාධියක් හා යන්තමින් බලා පාස් කරන උපාධියක් කියා දෙකක් තමා නොදන්නා බව ඔහු මට සහතික ලෙස කියා සිටියේය.

එසේ නම් අපේ කෙලීට පැටලැවිල්ලක් වෙලා ඇතැයි මම හිත හදා ගත්තෙමි.

එහෙත් වැඩි හොඳට මේ ගැන සොයා බලන්නට මගේ හිත මට බල කළ බැවින් විශ්ව විද්‍යාල වල ලොකු තනතුරු දරන කිහිපදෙනකු හමු වී මේ පශ්චාත් උපාධි ගැන තව කරුණු දැන ගන්නට මට මඟක් පාදා ගත හැකි විය.

පශ්චාත් උපාධියක් යනු මුල් උපාධියෙන් නැත්නම් බැචිලර් උපාධියෙන් පසුව කළ හැකි උසස් විභාග ක්‍රමයකි. දැන් බොහෝ රටවල් එක අවුරුද්දේ එම්. ඒ, එම්. බී. ඒ, එම්. එස්. සී ආදිය දෙන්නේ නියමිත විෂය ඒකක ගණනක් හදාරා ප්‍රශ්න පත්‍ර කිහිපයකට පිළිතුරු ලියා ලබා ගන්නා ලකුණු අනුවය. තවත් සමහර රටවල් රිසර්ච් හෙවත් පර්යේෂණ සුදුසුකම් සලකා බලා උපාධි නිබන්ධයක් හෙවත් තීසීස් එකක් ලියවා පශ්චාත් උපාධි පිරිනමයි. ලංකාවේත් මේ ක්‍රම දෙකටම පශ්චාත් උපාධි ලබා ගත හැකිය.

පශ්චාත් උපාධි ලබා ගැනීමට යොමු වන අය කොටස් කිහිපයකට වර්ග කළ හැකිය. ඇතැම් අය විනෝදයට නැතිනම් ශාස්ත්‍ර කුතුහලයට පශ්චාත් උපාධි හදාරති. ඇතැම් වෛද්‍යවරුන් බෞද්ධ අධ්‍යයනයට අදාළ ආයතන වලින් පශ්චාත් උපාධි ලබා ගන්නා අවස්ථා මේ සඳහා නිදර්ශන වශයෙන් දැක්විය හැකිය. තවත් පිරිසක් සේවා උසස්වීම් සඳහා පශ්චාත් උපාධි සඳහා සූදානම් වෙති. ගුරුවරුන් මෙන්ම රජයේ ඉහළ නිලධාරීන් ද මේ ගණයේ ලා සැලකිය හැකිය. විශ්ව විද්‍යාල වල ආචාර්යවරුන් වශයෙන් සේවය කරන්නවුන් සඳහා ද පශ්චාත් උපාධි ලබා තිබීම අනිවාර්ය වෙයි. අවුරුදු 8 ක් 10 ක් සහකාර කථිකාචාර්යවරුන් වශයෙන් සේවය කර පශ්චාත් උපාධියක් නිම කර ගැනීමට නොහැකිව විශ්ව විද්‍යාල වලින් ඉවත් වන ආචාර්යවරු ද වෙති.

මේ බොහෝ දෙනාට පශ්චාත් උපාධි සුදුසුකම් ලබා ගැනීම සඳහා ශිෂ්‍යත්ව හා අධ්‍යයන නිවාඩු ආදිය හිමි වෙයි. ඒ සඳහා මහජන මුදල් වැය වන බැවින් මේ පශ්චාත් උපාධි වල තත්ත්වය ගැන කතා කිරීමට මහජනයාට අයිතියක් තිබේ. මේවායේ තත්ත්වය අපට දැක ගත හැකි වන අවස්ථා විරල ය. ඇතැම් ආචාර්ය මහාචාර්යවරුන් ජනමාධ්‍ය වලින් හා ප්‍රසිද්ධ සභා වලදී පවසන දෙයින් අපට ඔවුන්ගේ මට්ටම මැන ගත හැකි වෙයි. තවත් පිරිසක් තමන්ගේ උපාධි නිබන්ධන මුද්‍රණය කරවති. ඒවාහිද ඔවුන්ගේ මට්ටම පිළිබිඹු වෙයි.

මුද්‍රණය කරවන ලද මෙබඳු නිබන්ධන අතරින්, ඇතැම් ඒවා අති විශිෂ්ට ශාස්ත්‍රීය කෘති සේ පිළිගැනේ. වල්පොල රාහුල හිමියන්, නන්දදේව විඡේසේකර මහතා, ගුණපාල මලලසේකර මහතා හා ඊ. ඩබ්ලිව්. අදිකාරම් මහතා වැනි අය කිහිපදෙනකුගේ ආචාර්ය උපාධි නිබන්ධන 60 ගණන් වල මුල පටන් උගතුන්ගේ ප්‍රසාදයට පත් වී තිබුණු බව අපගේ මතකයේ පවතී. කොටගම වාචීස්සර හිමියන්ගේත්, ඇම්. බී. ආරියපාල හා හේම එල්ලාවල මහත්වරුන්ගේත් ආචාර්ය උපාධි නිබන්ධන ද 60 ගණන්වල අගදී ද, රණවීර ගුණවර්ධන මහතාගේ නිබන්ධනය 90 ගණන් වල මුලදී ද සිංහලයෙන් කියවන්නට ලැබිණි. මේවා පදනම් කර ගනිමින් ශිෂ්‍යයන් මෙන්ම ආචාර්යවරුන් ද පොත් හා ලිපි ලේඛන සෑහෙන සංඛ්‍යාවක් ලියා තිබීමෙන් ඒවායේ වැදගත්කම මැන ගත හැකිය. ඩී. වී. හපුආරච්චිගේ සිංහල නාට්‍ය ඉතිහාසයත්, විභාවි ශ්‍රී විජයවර්ධනගේ සිංහල භාෂා අධ්‍යයන ග්‍රන්ථත් මෑතදී පළවී තිබෙන හොඳ පශ්චාත් උපාධි නිබන්ධන දෙකක් බව මට පෙනී ගියේය.

ඒ අන්දමින් විශ්ව විද්‍යාල වලට ඉදිරිපත් කළ පර්යේෂණ මුද්‍රණය කර ඇති තවත් අවස්ථා කිහිපයක් මෑතදී දැකගත හැකි විය. ඉන් දෙකක් විශේෂයෙන් මගේ අවධානයට ලක් විය. එකක් සීගිරි චිත්‍ර පිළිබඳව ලියූවකි. (ගිරි බිතෙහි තී යනු ඒ පොතේ නමයි) එයට පී. එච්. ඩී. හෙවත් ආචාර්ය උපාධිය පිරිනමා ඇත. ශාස්ත්‍රීය අධ්‍යයනයකදී ඒ විෂය පිළිබඳව ලියවුණු වෙනත් ශාස්ත්‍රීය කෘති පදනම් කර ගැනීම මූල ධර්මයකි. එක පොතකින් පමණක් කරුණු ලබා ගනිමින් පොතක් ලිවීම සොරකමක් බව ද, පොත් ගණනාවකින් කරුණු ලබාගෙන ලියූ කල එය පර්යේෂණයක් බව ද කියන්නේ විහිළුවට නොවේ. එහෙත් මේ පොතට කරුණු ලබා ගෙන ඇත්තේ ශාස්ත්‍රීය ග්‍රන්ථවලින් නම් නොවේ. තරුණ ශිෂ්‍යයන් වෙසක් කලාප වලට ලියූ ලිපි ආදියෙනි. සීගිරි ගී ගැන මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා ලියූ Sigiri Graffiti පොත නොබලන මේ පර්යේෂකයා පරණවිතාන මහතාගේ පොත් වලින් කරුණු ගනිමින් වෙනත් අය ලියූ පොත් මේ උපුටා දක්වයි. මෙය පිළිගත් පර්යේෂණ ක්‍රමය නොවන මෙතුමාට උපදෙස් දුන් ආචාර්ය මහාචාර්යවරුන්ට පවා පෙනී නැත. අනුරාධපුර යුගයේ පිරිවෙන් හා සංඝයා ගැන තොරතුරු ඇතුළත් සෙල්ලිපියක් වන මිහින්තලා පුවරු ලිපි දෙකින් කරුණු දැක්වීමට මේ පර්යේෂකයා යන්නේ ඒ ගැන පළ වී ඇති පුරාවිද්‍යා මූලාශ්‍ර වලට නොවේ. සංස්කෘතික දෙපාර්තමේන්තුවේ සඟරාවක පළ වුණු පිටු හත අටක ලිපියකටයි. මේ මගේ අවධානයට ලක්වුණු දෙතුන් පළකි.

සිංහල සාහිත්‍යයේ හා භාෂාවේ දියුණුවට 19 වන සියවසේදී මහත් දායකත්වයක් දැක්වූ ඡේම්ස් ද අල්විස් පිළිබඳව විශ්ව විද්‍යාලයක ආචාර්යවරියක විසින් ලියන ලද පොතක් ද මෑතකදී මට කියවන්නට ලැබිණි. (නූතන සිංහල සාහිත්‍යයේ පුරෝගාමියා ඡේම්ස් ද අල්විස්) එය පර්යේෂණ ග්‍රන්ථයක් බව කර්තෘවරිය මෙන්ම පසුවදන සැපයූ මහාචාර්යවරයා ද පවසා තිබූ බැවින් මම එය මිලදී ගත්තෙමි. එය පළ කිරීමට විශ්ව විදයාලයෙන් පර්යේෂණ ආධාර ද ලැබුණු බව සඳහන් කොට තිබිණි. මෙහි කර්තෘ සිංහල අංශයක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක බව කියා තිබුණත් ඇගේ සිංහල දැනුම ගැන ද මට සැක පහළ වූයේ අක්ෂර වින්‍යාසය මෙන්ම උක්ත ආඛ්‍යාත සම්බන්ධය ද වැරැදි තැන් කීපයක්ම එහි තිබූ බැවිනි. පොත පළ වීමෙන් පසුව දැක ගැනීමට ලැබුණු නිසා හෝ නැත්නම් කවුරුන් හෝ පෙන්වා දුන් නිසාදෝ ඇතැම් වැරදි තැන් "ටිපෙක්ස්" ගා මකා පොත වෙළඳ පොළට දමා තිබූ බව පෙනී ගියේය. එහෙත් එහි ආ කරුණු වල වැරදි නම් ටිපෙක්ස් ගා මැකිය හැකි ඒවා නොවේ. එක් උදාහරණයක් නම් සිදත් සඟරාවට බටුවන්තුඩාවේ පඬිතුමා කළ සන්නසක් ගැන එහි සඳහන් වීමයි. මෙය එකම ඡේදයේ දෙපොළකම එන නිසා මුද්‍රණ දෝෂයක් විය නොහැකිය. සන්නසක් යනු රාජ මුද්‍රාව තැබූ ලියවිල්ලකි. එවැන්නක් දෙන්නේ රජු විසින් ගම්වරයක් පිරිනමනු ලබන අවස්ථාවකදීය. සිදත් සඟරාවට සන්නසක් ලියුවේ ඇයි දැයි පැහැදිලි නැත.

මෙහි ආ එක් රසවත් වාක්‍යයක් පාඨකයන්ගේ දැන ගැනීම පිණිස ඉදිරිපත් කරමි. "අල්විස් සිය පද්‍ය සාහිත්‍ය විචාරයට ක්‍රමයෙන් අවතීර්ණ වන්නේ යතෝක්ත සාහිත්‍යය පිළිබඳ හදවත පුරවා ගත් ප්‍රබල හැඟීමෙන් යුක්තවය." (107 පිටුව) පර්යේෂිකාව අල්විස්ගේ හැඟීම් ගැන අධ්‍යයනය කරන්නේ කෙසේද? "හදවත පුරවා ගත් ප්‍රබල හැඟීම්" යනු මොනවාද? හැඟීම් ඇතිවන්නේ හදවතේ යෑයි පවසන්නේ කවර මනෝවිද්‍යාඥයාගේ මතයක පිහිටාද? ඒ සියල්ලමට වඩා මෙහි ඇති ශාස්ත්‍රීය භාවය කුමක්ද?

මෙවැනි පොත් පශ්චාත් උපාධි පර්යේෂකයන්ට නම් වැදගත් වෙයි. ඒ පර්යේෂණ ග්‍රන්ථයක් නොලිය යුතු අන්දම ගැන මෙයින් උදාහරණ දැක්විය හැකි බැවිනි. පර්යේෂණයකදී ප්‍රාථමික මූලාශ්‍ර පරිශීලනය කළ යුතු යැයි ඉගැන්වෙයි. එහෙත් මේ ලේඛිකාව තමාගේ ප්‍රස්තුතයට අදාළව හෝ ප්‍රාථමික මූලාශ්‍ර පරිහරණය නොකරන බව පෙනේ. මේ කෘතිය ඡේම්ස් ද අල්විස්ගේ සිදත් සඟරා හැඳින්වීම ගැන අධ්‍යයනයකි. එහෙත් සිදත් සඟරා හැඳින්වීමෙහි ඡේම්ස් ද අල්විස් කියූ කරුණු ඇය ලබා ගන්නේ වෙනත් ලේඛකයන්ගේ පොත් වලිනි. මේ එවැනි එක් තැනකි. "අල්විස් ද මේ පුවත ඔහුගේ සිදත් සඟරා ප්‍රස්තාවනෙහි ගෙන හැර දක්වන බව විමල් බලගල්ලේ පෙන්වා දෙයි." (205 පිටුව)

තවත් තැනක් නම් ඡේම්ස් ද අල්විස් බුද්ධාගම ලක් පොළෝ තලයෙන් අතුගෑවී යන බව කියන තැනයි. කතුවරිය එය පළ වූ මුල් ස්ථානය නොදනී. තමාගේ අධ්‍යයනයට පාදක කර ගන්නා බව කියන පොතේ එය සඳහන් වන ස්ථානය නොදන්නා ඇය ඒ සටහනට අදාළව අධෝලිපියක් දක්වමින් මහාචාර්ය තිස්ස කාරියවසම් මහතා මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් ගැන ලියූ ලිපියක එය දැක්වෙන බව පවසයි. (33-34 පිටු)

මේ නිබන්ධනය සමෝධානය කරන අන්දම ද අපූරුය. මෙන්න ඡේම්ස් ද අල්විස් ගැන ඇගේ නිගමනය:

"ශත වර්ෂ එකහමාරක් ගතවී ඇතත් වත්මන සාහිත්‍ය අධ්‍යයනයක දී, කවර හෝ පාර්ශ්වයක් නියෝජනය කරන මහඟු මූලාශ්‍රයක් ලෙස අල්විස් තවමත් ජීවමාන බව සඳහන් කළ යුතුය."

මේ කියන "කවර හෝ පාර්ශ්වය" කුමක්ද? මෙය ශාස්ත්‍රීය නිගමනයක් වන්නේ කෙසේද? ඡේම්ස් ද අල්විස්ගේ දායකත්වය නූතන සාහිත්‍ය ක්ෂේත්‍රය සම්බන්ධ අධ්‍යයනයකදී නිශ්චිතව දක්වා ලීමට නොහැකි නම් මේ පර්යේෂණය කළේ කුමක් අරබයාද? මේ ප්‍රශ්න පාඨකයකු වශයෙන් මාහට ඇති ඒවාය.

කෙසේ වෙතත් මේ පොත් වලට විශ්ව විද්‍යාල වලින් උපාධි හිමිවී තිබේ. පර්යේෂණ ආධාරද ලැබී තිබේ. මේ "පර්යේෂණ" කරන කාලයේ ලැබුණු නිවාඩු වලටද රටේ දුප්පත් ජනයාගේ මුදල් වලින් වැටුප් ගෙවා තිබේ. මේ වා අවසන් කළ පසු උසස් වීම් හා වැටුප් වර්ධක ද ලැබෙන්නට ඇත. මුද්‍රණය කළ පොත් විකුණා ආදායමක් ද ලබා ගන්නට ඇත. මේ පොත් කොයි තරම් දුර්වල වූවත් දෙන ලද උපාධිය හෝ පර්යේෂණ ආධාර හෝ එකක්වත් ආපසු ගැනීමට විශ්ව විද්‍යාලයේ වැඩපිළිවෙළක් ඇත්දැයි අපි නොදනිමු. මේ අයගේ පර්යේෂණ වල තත්ත්වය මෙයාකාර නම් පිළිතුරුපත් හොඳින් බලා, එම්. එස්. සී. ද යන්තමින් බලා, එම්. ඒ. ද දෙනු ඇත්තේ මෙවැනිම ආචාර්ය - මහාචාර්යවරුන් විසින් විය යුතුය. විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ ගුණාත්මක භාවය ඉහළ නැංවීමට කතා කරන උසස් අධ්‍යාපන ඇමැතිතුමාගේ මෙන්ම ගරු ජනාධිපතිතුමාගේද අවධානය මේ "පශ්චාත් 1/2 උපාධි" දෙන්නන් හා ඒවා ලබා ගෙන වැජඹෙන්නන් කෙරෙහිද යොමු නොකළ හොත් රටේ අධ්‍යාපන මට්ටම ගැන කතා කිරීමට යමක් ඉතිරි නොවන දිනය වැඩි ඈතක නොවේ.

ආරියනන්ද සමරසිංහ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails