Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



වික්ටර් අයිවන්ගේ දේශපාලන විග‍්‍රහයන්ට හසු නොවන කේෂ්ත‍්‍රයක් මෙරට නොමැති තරම්ය. මේ හැම ක්ෂේත‍්‍රයකදීම ඔහු උත්සාහ කරන්නේ තමන් ඒ පිළිබඳ ප‍්‍රාමාණික තලයේ බුද්ධිමතකු බව පෙන්වීමට ය. හැම කරුණක්ම සමස්තයක් ලෙස ගෙන විග‍්‍රහ කිරීමට උත්සාහ කරන ඔහු ශී‍්‍ර ලංකාව සම්බන්ධව එළඹෙන පොදු නිගමන මෙසේ සඳහන් කළ හැකි ය.

01. ජේ. ආර්. විසින් ස්ථාපිත කරන ලද දේශපාලන ක‍්‍රමය වහා ප‍්‍රතිසංවිධානය කළ යුතු ය.

02. එසේ ප‍්‍රතිසංවිධානයකින් තොරව රට තුළ පවතින කිසිදු ප‍්‍රශ්නයකට දීර්ඝකාලීන විසඳුම් ලබාගත නොහැකි ය. (එනම් දෙමළ ජාතික ප‍්‍රශ්නය, වැටුප් ප‍්‍රශ්න, අධ්‍යාපනික ප‍්‍රශ්න, තරුණ ප‍්‍රශ්න යන සියල්ලම)

03. ප‍්‍රභාකරන් විනාශ කිරීමෙන් පමණක් රට ඉදිරියට යන්නේ නැත. ජේ. ආර්. විසින් ස්ථාපිත කරන ලද විනාශකාරී දේශපාලන ක‍්‍රමය අවසන් කර රාජ්‍ය ශිලාචාර කළ යුතු ය.

04. රට තුළ පවතින ජනාධිපති තනතුර නීතියට ඉහළින් පවතින නිසා ඔහු පාලනය කිරීමට ගෙනෙන සංශෝධන පල රහිත ය. එම සංශෝධන කි‍්‍රයාත්මක නොකර සිටීමෙන් ඔහුට කළ හැකි දෙයක් නැත. 17වන සංශෝධනයට අත් වූ ඉරණම එවැනි දෙයකි. ජනාධිපති තනතුර නීතියට යටත්කොට තුලන හා සංවරණ තත්ත්වයක් ව්‍යවස්ථාව තුළ ඇති කළ යුතු ය.

05. ශී‍්‍ර ලංකාවේ රටේ පැවැත්මට ඔරොත්තු නොදෙන මට්ටමක දූෂණය පවතී.

06. අල්ලස දූෂණය රජකරවන නිසා රාජ්‍ය ආදායම අඩු වී ඇත. මේ මඟින් පොදු පහසුකම් සඳහා රජයට ලැබිය යුතු මුදල් අඩුවීම හේතු කොටගෙන මහජනයා මත බදු බර වැඩි වැඩියෙන් පටවන තත්වයක් පවතී.

07. රටේ සිටින උගත් සමාජය පවා එක් එක් ගැටළුවට වෙන වෙනම විසඳුම් සොයනවා විනා පවතින දේශපාලන ක‍්‍රමය ප‍්‍රතිසංවිධානය කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමුකර නැත.

08. වෘත්තීය සමිති, තරුණ සංවිධාන ආදිය තම ගැටළු විසඳා ගැනීමට හැම විටම වීදි සටන් ප‍්‍රවේශයට අවතීර්ණ නොවී පවතින දේශපාලන ක‍්‍රමය ප‍්‍රතිසංවිධානය වෙනුවෙන් කටයුතු කළ යුතු ය.

09. යුද්ධය ජයගැනීම වෙනුවෙන් ඇමරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල් සමඟ ඇතිකර ගත් අමනාපකම් ඉවත් කර රාජ්‍යතාන්ති‍්‍රකව ඉවසිලිවන්තව ලෙස පාලකයන් කටයුතු කළ යුතු ය.

1977න් පසු ජේ. ආර්. ජයවර්ධන මහතා විසින් ස්ථාපිත කරන ලද දේශපාලන ක‍්‍රමය මගින් රට තුළ ව්‍යවස්ථාමය ඒකාධිපතිවාදය හා චෞරවාදය, ස්ථාපිත කළ බව අයිවන් අවධාරණය කරයි. නීතියේ ස්වාධීනත්වය බිඳ දමා රාජ්‍ය ත‍්‍රස්තවාදය නීතිගත කර රට අල්ලස හා දූෂණයේ ක්ෂේමභූමියක් බවට පත් කළ බව අයිවන්ගේ මතය බව පෙනේ. රාජ්‍ය ප‍්‍රචණ්ඩත්වයට එරෙහිව රට තුළ උතුරේ හා දකුණේ ත‍්‍රස්තවාදය නිර්මාණය වී රට සමස්තයක් වශයෙන් විනාශ වූ බව අයිවන්ගේ තර්කවල පදනමයි.

මෙම තත්ත්වය තුළ ප‍්‍රභාකරන් විනාශ කළ පමණින් රට ඉදිරියට නොයන බව කියන අයිවන් ජේ. ආර්. ස්ථාපිත කළ දේශපාලන ක‍්‍රමය වහා ප‍්‍රතිසංවිධානය කිරීම රට ඉදිරියට ගෙන යාමේ මූලිකම කාරණය බව පෙන්වා දෙයි.

"බෙදුම්වාදී ත‍්‍රස්තවාදයෙන් රට ගලවා ගත් ගෞරවය ජනාධිපති රාජපක්‍ෂට හිමිවිය යුතුය. එම දුෂ්කර කඩුල්ල ජයගැනීමෙන් පසු අපට තෝරාගැනීමට විකල්ප 02ක් තිබුණි. ජේ. ආර්. ජයවර්ධන විසින් ඒකාධිපතිවාදයට හා චෞරවාදයකට බර තබා සකස් කර තිබූ රාජ්‍ය ශිලාචාර හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍යයක් බවට ප‍්‍රතිසංවිධානය කිරීමය. ඊළග විකල්පය වී තිබුණේ රාජ්‍ය ඒකාධිපති හා චෞර ස්වරූපය පූර්ණ කිරීමය. එහෙත් අපේ අවාසනාවකට ප‍්‍රභාකරන්ගේ බෙදුම්වාදී ත‍්‍රස්තවාදයෙන් රට ගලවා ගත් වීරයා තෝරාගෙන ඇත්තේ පළමු විකල්පය නොව දෙවැන්නයි." (සැප්. 05 රාවය ජේ. ආර්. ගේ රට ඒකාධිපතිත්වය යන විග‍්‍රහය)

යුද්ධයෙන් ලැබූ ජයග‍්‍රහණය එක්තරා ප‍්‍රමාණයකට ජනාධිපතිවරයා කෙරෙහි වීර වන්දනාවක් ඇති කිරීමට සමත් වී ඇති බව පෙන්වා දෙන අයිවන් මෙසේ ද සඳහන් කරයි.

‘වීර වන්දනාවේ යහපත් අංග තිබිය හැකිය. ඒ තුළ අයහපත් අංගද පවතී. විචාරයකින් තොරව වීරයකු පසු පස යන ගමන දිව්‍ය ලෝකයෙන් සේම නරකාදියෙන්ද කෙලවර විය හැකිය. (සැප්. 05 රාවය අයිවන්ගේ විග‍්‍රහය)

ජනාධිපතිවරයා හඳුන්වා දුන් 18වන සංශෝධනය ප‍්‍රජාතන්ත‍්‍රවාදී විරුද්ධ පක්ෂවලට තිබෙන වටිනාකම හීන වී ත‍්‍රස්තවාදී ව්‍යාපාරවලට ඇති වටිනාකමක් හා පිළිගැනීමක් ලැබෙන බව නොවැලැක්විය හැකි බව සැප්තැම්. 05 විග‍්‍රහය මගින් පෙන්වා දෙන අයිවන් එම විග‍්‍රහය අවසන් කරන්නේ බලය කොහොමටත් දූෂිතය පරම බලය අන්ත දූෂිතය යන ප‍්‍රකාශය සටහන් කරමිනි.

වික්ටර් අයිවන්ගේ විග‍්‍රහය තුළින් එළඹිය හැකි පොදු නිගමනය වන්නේ ජේ. ආර්. විසින් ස්ථාපිත කරන ලද දේශපාලන ක‍්‍රමයේ ප‍්‍රතිසංවිධානයකින් තොරව රට තුළ යහ පාලනයක් හා රට තුළ පවතින කිසිදු ප‍්‍රශ්නයක් සාර්ථකව විසඳිය නොහැකි බව ය. අයිවන්ට අනුව මහින්ද රාජපක්‍ෂ තෝරාගෙන ඇත්තේ ජේ. ආර්. නිර්මාණය කළ ඒකාධිපතිත්වය හා චෞරවාදය තවත් පරිපූර්ණ කිරීම ය. ජේ. ආර්. ඇති කළ දේශපාලන ක‍්‍රමය රට විනාශයට යන මඟක් මිස රට යහපත් දිසාවට හරවන මඟක් නොවන බව ඔහු පුන පුනා පෙන්වා දෙයි.

මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා විසින් 2010 සැප්තැම්බර් 07 වෙනි දින සම්මත කරගත් 18 වන සංශෝධනය රාජාණ්ඩු ඒකාධිපතිත්වයකට යන මඟක් මනාව ස්ථාපිත කර ගත් අතර එය ජේ. ආර්. ජයවර්ධන ද අභිබවා යාමකි. මුළු රටේම දේශපාලන බලය හා ආර්ථික බලය ජනාධිපතිවරයා හා ඔහුගේ පවුලේ සාමාජිකයින් අත පවතින දේශපාලන ක‍්‍රමයක් මහින්ද රාජපක්‍ෂ නිර්මාණය කර ඇත. රාජපක්‍ෂ රෙජිමයේ මෙම දේශපාලන ක‍්‍රමවේදය රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාමුව සහමුලින්ම බිඳ දමා ඇත. අල්ලස හා දූෂණය ඉහවහා ගොස් තිබේ. රටේ නීතිය ආණ්ඩු පක්‍ෂ සාමාජිකයන්ට හා හිතවතුන්ට අදාල නැති විරුද්ධ පක්ෂවලට පමණක් අදාල වන තත්ත්වයක පවතී. ආධිකරණ ක‍්‍රමය සහමුලින්ම සැහැල්ලූවට ලක් කර ඇත. රජයේ මුදල්වලින් 70%කට වඩා ජනාධිපතිවරයා හා ඔහුගේ සොහොයුරන්ගේ පාලනය යටතේ වන අමාත්‍යාංශ හා ආයතන සඳහා වෙන්කර ඇත. රාජ්‍ය සේවකයන් එහෙයියන් හා වහලූන් බවට පත්කර ඇති අතර ජනාධිපතිවරයා නියෝජනය කරන ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය නිවටයන්ගේ පක්ෂයක් බවට පත් කර තිබේ. වික්ටර් අයිවන්ගේ වචනවලින්ම කියන්නේ නම් මෙම සියලූ කාරණාවලින් පෙනීයන්නේ යුද්ධයෙන් ලබාගත් වීරත්වය තුළින් රාජපක්‍ෂ රෙජිමය රට නරකාදිය දක්වා ගෙන යන බවකි. නමුත් මෙම සියලූ කරුණු පිළිබඳ වික්ටර් අයිවන් බලන්නේ ඉතාම සැහැල්ලූ ආකාරයෙන් බව පෙනේ.

ජේ. ආර්. තුළින් දේශපාලන ක‍්‍රමය විග‍්‍රහ කරන විට ඉතාම රළු පරුෂ දරුණු ගනයේ විවේචනයක යෙදෙන අයිවන් ඔහුටම ද අනුව ජේ. ආර්වත් ඉක්මවා යමින් ජේ. ආර්ගේ ක‍්‍රමය කි‍්‍රයාවට නගන යුද්ධය දිනාගත් වීරයා වන රාජපක්‍ෂ සම්බන්ධ විවේචනයේ දී දක්වන්නේ ඉතාම මට සිලූටු බවකිි. එදා චන්ද්‍රිකා පාලනය සමයේ සරත් නන්ද සිල්වා අග‍්‍රවිනිශ්චයකාර තනතුරකට පත්කරන විට තම පුවත්පත වූ රාවය මුල් පිටුවේ සිටම කළු පාටින් මුද්‍රණය කරමින් නීතියේ අවසානය සටහන් වන බව පෙන් වූ අයිවන් මහින්දගේ 18 වන සංශෝධනය සම්බන්ධයෙන් දැක් වූ මේ ඉමහත් මටසිළුටු බව අපූර්වජනක ය.

අයිවන්ට අනුව මහින්ද තෝරා ගෙන ඇත්තේ ජේ. ආර්. විසින් ස්ථාපිත කරන ලද ඒකාධිපතිත්වය හා චෞරවාදය තව දුරටත් පරිපූර්ණ කිරීම නම් යුද වීරත්වය පසෙකලා මීට විරුද්ධව තදබල විරෝධයකට හා විවේචනයකට යාමට අයිවන් කළ යුතුව තිබුණි. රාවයේ වෙනත් ලේඛකයන් 18වෙනි සංශෝධනය ප‍්‍රබල ලෙස විවේචනය කරද්දී අයිවන් හැම විටම උත්සාහ කළේ නැගෙන විරෝධය සමනය කරන ආකාරයේ ලිපි ලිවීමට ය. මේ පිළිබඳව අයිවන්ගේ ක්ෂමාලාපය වන්නේ යුද්ධය ජය ගැනීමේ කඩුල්ල ජය ගත්තා සේ ම මහින්ද රාජපක්ෂට ආර්ථික සංවර්ධනයේ ඊළ`ග කඩුල්ල ජය ගැනීමේ හැකියාව තිබෙන බවත් ඒ නිසා මහින්ද කුමක් කළ ද මේ අවස්ථාවේ ඔහුව දැඩි විවේචනයට ලක් කිරීම වැරද්දක් වනු ඇති බවත් ය. ඒ අනුව අයිවන් කරන්නේ මහින්ද රාජපක්ෂ මොනවා කළත් විවේචනාත්මක බවක් පෙන්වමින් ඔහු ආරක්ෂා කිරීම ය. මහින්ද රෙජිමයේ ප‍්‍රතිපත්ති හා කි‍්‍රයාමාර්ගයන්ට එරෙහිව නැගිය හැකි ජනතා විරෝධය සමහන් කිරීමට සිය මාධ්‍යවේදී පෑන හැසිරවීම ය. මෙය පහතින් එන ප‍්‍රකාශයෙන් මනාව සනාථ වේ.

"ඉතාමත් කලාතුරකින් පමණක් පහළ විය හැකි දේශපාලන මුනිවරුන්ගේ ගණයෙහිලා සැලකිය හැකි දේශපාලන නායකයෙකු හැර මොනම දේශපාලන නායකයෙකුවත් බලය සිය කැමැත්තෙන් අඩුකර ගැනීමට හෝ බලය අතහැර යාමට කැමැති වන්නේ නැත. ජේ. ආර්. ගේ සිට චන්ද්‍රිකා කුමාරණතුංග දක්වා වන හැම ජනාධිපතිවරයෙකුම නීතියේ තිබූ සීමා ඉවත් කොට වැඩි වාර ගණනක් බලයේ සිටීමට හැකිවන ලෙස නීති ඇතිකර ගැනීමට සිහින දැක්කේය. මහින්ද රාජපක්‍ෂ ඒ සිහිනය සැබෑ කර ගත්තේය. අලූත් දේශපාලන ක‍්‍රමයක් ඇතිකිරීම කිසියම් දීර්ඝ කාලයක් ගත වන දුෂ්කර කි‍්‍රයාවකි. එවැනි සංකීර්ණ හා දුෂ්කර කාරියක යෙදෙනවාට වඩා ධූර කාලය සඳහා පනවා තිබෙන සීමාව ඉවත් කර සංශෝධනයක් මගින් ධූර කාල දෙකෙන් පසුව ඇතිවීමට නියමිත දේශපාලන වශයෙන් අවලංගු වම වලකා ගත යුතු යැයි කල්පනා කිරීම අස්වාභාවික නැත. තමන් සිහින දකින අභිලාෂ සපුරා ගැනීම සඳහා එසේ කි‍්‍රයා කිරීම වරදක් නොවේ යැයි සිතනවා විය හැකිය."
(රාවය 2010 සැප්. 12 දේශපාලන විග‍්‍රහය)

සමාජය තුළ මතු වන විරෝධයන් හීන කරවීම සඳහා සිය මුද්‍රිත අකුරු මත දේශපාලනයක නියැලෙන අයිවන් සමාජයේ ද මේ සඳහා බලවත් උවමනාවක් නොතිබූ බව පෙන්වා දෙයි.

"18වන සංශෝධනය මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ හොඳ තෝරාගැනීමක් නොවෙතත් වඩා හොඳ තෝරා ගැනීමක් සඳහා වන බලකිරීමක්ද සමාජයේ නොතිබුණි." (2010 සැප්. 12 කාලිංගේ විග‍්‍රහය)

මෙම සංශෝධන සඳහා රට තුළ පැවැති සියලූම ප‍්‍රබල විරුද්ධ පක්ෂ විරුද්ධ වූවා පමණක් නොව ආණ්ඩුව තුළ සිටි වාම යැයි කියාගන්නා පක්ෂ ද මුලින් ප‍්‍රබල විරෝධයක් මතු කළේ ය. ඊට අමතරව රටේ දැනුවත් වෘත්තීය සමිති, විද්වත් හා සිවිල් සංවිධානවල විරෝධය මතු විය. 18 වන සංශෝධනයේ සම්මත කර ගැනීම සඳහා රාජපක්‍ෂ රෙජිමය විසින් මෙරට ස්ථාපිත බඩජාරි, මුග්ධ දේශපාලනය මුළුමනින්ම ප‍්‍රයෝජනයට ගත්තේ ය. විපක්ෂ මන්තී‍්‍රවරන්ගේ පිල් මාරුවීම් සිදු වූයේ කෙසේ දැයි මෙරට දැනුවත් සෑම පුරවැසියෙක් ම දනී. නොදන්නේ විත්ටර් අයිවන් වැන්නෝ ම පමණි.

බොරු යුද වීරත්වයකින් මහජන මනස මොට කර ඇති තත්ත්වයක් තුළ 18 වන සංශෝධනයට එරෙහිව විශාල ජනතා උද්ඝෝෂණයක් රට තුළ මතු නොවුණත් සමාජයේ දැනුවත් කොටස්වලින් ප‍්‍රබල විරෝධයක් මතු වූ බව නොපෙනිය හැක්කේ කුමන වෙසින් පෙනී සිටියත් රාජපක්ෂ රෙජිමයේ බැල මෙහෙකරුවන්ට පමණි.

මහින්ද රාජපක්‍ෂලා හරි නොවේ නම් ඔවුන් පරාජය කළ යුත්තේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී භාවිතයක් හා සංස්කෘතියක් ඇති නායකයන් සහිත මහජන ව්‍යාපාරයක් තුළින් බව අයිවන්ලා පෙන්වා දුන්නත්, ප‍්‍රබල මහජන ව්‍යාපාරයක් ගොඩ නැඟීමේ එක් ප‍්‍රධාන බාධකයක් වී ඇත්තේ මුලදී බොරු විරෝධයක් දක්වා පසුව පාලකයන් තුරුලට ජනයා දක්කා ගෙන යාමට පත්තර පිටු මත එකී දේශපාලනය වෙනුවෙන් පෑන හසුරුවන අයිවන්ලා වැනි පත්තරකාරයනුත්, වාසුලා, ඩියුලා, තිස්සලා, වැනි ව්‍යාජ, අවස්ථාවාදී නිවට වම්මුත්, ධම්ම දිසානායක, දයාන් ජයතිලක, ගාමිනී සමරනායක, රංජිත් බණ්ඩාර, රජිව් විජේසිංහ, රෝහණ ලක්ෂ්මන් පියදාස හා ආරියරත්න ඇතුගල වැනි ආචාර්ය, මහාචාර්ය පදවිධාරී ධනේශ්වරයේ හොරිකඩ බුද්ධිමතුනුත් බව අප අමතක නොකළ යුතු ය. මෙම නඩය මහින්ද හෙජමනියට ජනතා කැමැත්ත රඳවාගැනීමට නොකරන දෙයක් නැත.

වික්ටර් අයිවන්ට අනුව මහින්ද රාජපක්‍ෂ පාලනයේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී භාවයට විරුද්ධ පක්ෂ ද වගකිව යුතු ය. "මහින්ද රාජපක්‍ෂ පාලනය කෙරෙහි දක්නට ලැබෙන රළු පරුෂ ස්වරූපය කෙරෙහි විරුද්ධ පක්ෂ ව්‍යාපාරය ිිආණ්ඩුවට එරෙහිව කි‍්‍රයාවට නගන ලද අරගලවල රළු පරුෂ ස්වරූපය ද බලපා තිබේ." (2010 ඔක්තෝ. 10 සරත් ෆොන්සේකා හිරේ දැමීම)

විරුද්ධ පක්ෂවල පැවැති විරෝධතා සියල්ල සාමකාමී ඒවා මිස ප‍්‍රචණ්ඩකාරී ඒවා නොවී ය. පිකටිං, පෙළපාලි, උපවාස, රැුස්වීම් යන ප‍්‍රජාතන්ත‍්‍රවාදී සීමාව තුළ පැවැති කි‍්‍රයා මිස හිංසාවාදී කි‍්‍රයා නොවේ. මෙවැනි ප‍්‍රජාතන්ත‍්‍රවාදී විරෝධයන් දැක් වූ දේශපාලන පක්‍ෂ, වෘත්තීය සමිති හා ශිෂ්‍ය සංවිධානවලට රාජපක්‍ෂ පාලනය හැම විටම නොවුනත් බොහෝ අවස්ථාවලදී ප‍්‍රතිචාර දැක්වූයේ දරුණු ප‍්‍රචණ්ඩ ස්වරූපයෙනි. නිල ආරක්ෂක හමුදාවන්ට අමතරව ආණ්ඩුවේ මැර කල්ලිවල ද දරුණු පහරදීම්වලට විපක්ෂ බලවේගවලට මුහුණදීමට සිදු විය.

රාජපක්‍ෂ පාලනයේ පවතින මෙම ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ස්වරූපය මටසිළුටු කිරීමට අයිවන් එහි වගකීමෙන් කොටසක් විරුද්ධ පක්ෂවල ඇෙ`ග් ද තැවරීමට උත්සාහ කරයි. ඇත්ත නම් රාජපක්ෂ රෙජිමයේ අත්තනෝමතික ප‍්‍රචණ්ඩ පාලනයට එරෙහිව විරුද්ධ පක්ෂ කළ ප‍්‍රබල අරගලයක් නැති තරම් ය යන්න ය. ජ. වි. පෙ. කිසියම් සටන්කාමී විරෝධයන් දැක්වූවත් ප‍්‍රධාන විපක්ෂය වන යූ. ඇන්. පී. යේ පැවැතියේ ඔතෑනි, ඇල් මැරුණු නොදැනෙන විරෝධය පෑම්ය.

අයිවන්ගේ ලෝකයේ පාලකයන්ගේ ත‍්‍රස්තවාදයට හා ප‍්‍රචණ්ඩත්වයට මිස පාලකයන්ගේ මර්දනයේ ගොදුරු බවට ඇද දමනු ලබන ව්‍යාපාරවල ප‍්‍රචණ්ඩත්වයට කිසිදු ඉඩක් නැත. එම ව්‍යාපාර ප‍්‍රචණ්ඩ මාවත ගතහොත් ඒවා මැඩලීමට පාලකයන්ට ඇති අයිතිය වෙනුවෙන් ඔහු පෙනී සිටියි. ඔහුට අනුව කිසියම් දේශපාලන ව්‍යාපාරයක් කොතරම් මර්දනයට හසු වුවත්, එයට මුහුණ දිය යුත්තේ අහිංසාවාදී ලෙස ය. ඉන්දියාවේ ගාන්ධි යටත් විජිත පාලනයට එරෙහිව සටන් කළ ක‍්‍රමය අයිවන්ගේ පිළිගැනීමයි. ගාන්ධියානු ක‍්‍රමය එකම සටන් ක‍්‍රමය විය යුතු ය යන අදහස සමග අප එක`ග නොවුව ද අහිංසාවාදී අරගලය නගා සිටු වූ ගාන්ධි අයිවන් මෙන් හිතවත් පාලකයින්ගේ තුරුලේ නැලවෙමින් අහිංසාවාදය දේශනා කළේවත් පාලකයින්ගේ දුෂ්ඨ පිළිවෙත් සාධාරණීය කළේවත් නැත.

අයිවන්ට ධනේශ්වර රාජ්‍යයේ ප‍්‍රචණ්ඩත්වය කෙරෙහි යම් විවේචනයක් නැතුවාම නොවේ. එහෙත් එයට වඩා සිය දහස් ගුණයක විවේචනයක් සටන්කාමී ප‍්‍රවේශයක් ගන්නා දේශපාලන ව්‍යාපාරවල ප‍්‍රචණ්ඩත්වය අරභයා ඔහුට තිබේ. මෙහි දී ඔහු පාලකයන්ගේ මර්දනයයට ප‍්‍රතිචාර වශයෙන් මතුවන ප‍්‍රචණ්ඩත්වයන්ට එරෙහිව පාලකයන්ගේ ප‍්‍රචණ්ඩත්වය සාධාරණය කරන්නට සූදානම් ය.

අයිවන්ගේ සිත්ගත් රසවින්දනාත්මක දේශපාලන සටන් ක‍්‍රමය එනම් ගහනවා වෙනුවට ගුටිකන, මරනවා වෙනුවට මැරෙන දේශපාලන සටන් ක‍්‍රම ගුවනේ මිස මහ පොළොවේ දේශපාලනයේ යෙදෙන දේශපාලන ව්‍යාපාරවලට කොතරම් දුරට ප‍්‍රායෝගික ද යන්න සලකා බැලිය යුතු ය.

1977 ආරම්භ වූ ජේ. ආර්. ජයවර්ධන පාලනය විසින් දේශපාලනය කිරීමේ අයිතිය තම පක්ෂයට හා ඊට හිතවත් කොටස්වලට පමණක් සීමා කළේ ය. ප‍්‍රචණ්ඩත්වය නීතිගත කළේ ය. විරුද්ධ පක්ෂ සියල්ල දරුණු මර්දනයකට භාජනය කළේ ය. ජනතා විමුක්ති පෙරමුණ කරලියට පැමිණියේ යූ. ඇන්. පී පාලනයේ මෙම ඒකාධිකාරී ප‍්‍රචණ්ඩත්වයට ප‍්‍රතිචාරයක් හා අභියෝගයක් වශයෙනි. ජවිපෙ ගත් මග අනුමත කරන්නට නොහැකි බව ඇත්ත නමුදු ඒ ප‍්‍රචණ්ඩත්වය එජාප පාලනයේ අත්තනෝමතික ප‍්‍රචණ්ඩ පාලනය සාධාරණය කරන්නට යොදා ගැනීම වැරදි ය.

දෙමළ ජනතාව ද ප‍්‍රජාතන්ත‍්‍රවාදී සීමාවේ තමන්ට ගමන් කළ හැකි උපරිම දුරක් ගමන් කළේ ය. නමුත් ඔවුන්ගේ ඉල්ලීම් වෙනුවෙන් කිසිදු වැදගත් යමක් රාජ්‍යයෙන් නොලැබුණි. මෙම තත්ත්වය තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදී බලවේග ඉවතට විසි වී ගොස් සටන්කාමී බලවේග ඉදිරියට පැමිණියේ ය. ඔවුන් ප‍්‍රචණ්ඩ දේශපාලනයට තල්ලූ කරන ලද්දේ ආණ්ඩුවේ ප‍්‍රචණ්ඩ දේශපාලනය විසිනි. එල්ටීටීඊයේ ත‍්‍රස්තවාදී දේශපාලනය අනුමත කරන්නට බැරි ය. එහෙත් ආණ්ඩු විසින් කි‍්‍රයාවට නගන ලද ත‍්‍රස්තවාදී දේශපාලනය ඊටත් වඩා අනුමත කරන්නට බැරි ය.

වික්ටර් අයිවන්ගේ වර්තමාන දේශපාලන භූමිකාව සිදුවන්නේ මුද්‍රිත අකුරු මත හා ඉඳහිට සංවාද වේදිකා තුළ පමණි. තනි පුද්ගලයෙකු ලෙස ඔහුට සිතෙන දෙයක් ලිවීමට හා කථා කිරීමට පුළුවන. එතැනින් එපිට ඔහුට දේශපාලන කි‍්‍රයාකාරීත්වයක් නොමැත.

නමුත් ප‍්‍රායෝගික තලයේ දේශපාලනයේ යෙදෙන බලවේගයන් යනු සාමුහික මිනිස් කි‍්‍රයාකාරකම් ය. එමෙන්ම ඒවා ධූරාගත සංවිධානමය කි‍්‍රයාකාරකම් ය. දේශපාලන පක්ෂයක් හෝ සංවිධානයක් තම තීරණ ගැනීම සිදු කරන්නේ ප‍්‍රධාන වශයෙන්ම මූලික කාරණා 02ක් පදනම් කර ගෙන ය. එනම්,
01. බලය
02. පැවැත්ම

බලය ජනපි‍්‍රය වීමට හෝ බලපෑම් කිරීමට දේශපාලනයේ යෙදෙන කොටස් හැරුණු විට ඕනෑම පක්ෂයක හෝ දේශපාලන සංවිධානයක අරමුණක් වේ. බලයකින් තොරව දර්ශනය හා වැඩපිළිවෙළ කි‍්‍රයාවට යෙදවිය නොහැකි ය. බලය ලබා ගැනීම සඳහා සංවිධානයේ පැවැත්ම අතිශයින්ම වැදගත් ය. සංවිධානයක දේශපාලනය තීරණය වන්නේ පවතින සන්දර්භය තුළ මිස හුදු මනස්කාන්ත කතාවල හෝ බලාපොරොත්තු තුළ නොවේ. වත්මන් ධනේශ්වර රාජ්‍ය යනු අතිශයින්ම සංවිධානාත්මක වූ ද අතිශයින්ම සන්නද්ධ වූ ද අතිශයින් ප‍්‍රචණ්ඩ වූ ද බලගතු උපකරණයකි. එයින් මුදාහැරෙන්නේ ද අතිශය දරුණු මර්දනයකි. සමාජ ප‍්‍රතිශෝධකයන් ලෙස කටයුතු කරන දේශපාලන බලවේගවලට කටයුතු කිරීමට සිදුවන්නේ මෙම ප‍්‍රායෝගික තත්ත්වය තුළ ය. සටන්ක‍්‍රම හා කි‍්‍රයාකාරීත්වයන්් තීරණය වීමේදී රට තුළ පවතින දේශපාලන සන්දර්භය අතිශයින්ම වැදගත් ය. ඊට අනුකූලව කටයුතු කිරීමට සිදුවේ.

විජේවීර, ප‍්‍රභාකරන්, බාහු බලයෙන් කි‍්‍රයාකිරීමට ගොස් ඇන ගත්තේය යන්න අයිවන්ගේ සරල තර්කයකි. එම පරාජයන් සඳහා බලපෑවේ සටන් ක‍්‍රම ප‍්‍රචණ්ඩ වීම ම නොවේ. මේ සඳහා කරුණු රාශියක් බලපෑවේ ය. එම කරුණු වෙනම විග‍්‍රහ කළ යුතු ය. නමුත්් ප‍්‍රධාන කරුණු කිහිපයක් පමණක් සඳහන් කළ හැකි ය. මෙම සංවිධාන දෙකම ජනතා විමුක්තිය තම සංවිධානවලට ලියා ගැනීමට උත්සාහ කළ අතර සෙසු සියලූ දෙනා ද්‍රෝහීන් ලෙස සැලකුවේ ය. ජාතිවාදය තම දේශපාලන ව්‍යාපාරය ව්‍යාප්ත කිරීමට විශාල ලෙස උපයෝගී කර ගත්තේ ය. මෙම සංවිධාන දෙක පෙනී සිටි අරමුණු එකිනෙකට වෙනස් වූවත් ඉහත කරුණු කිහිපය මෙම දෙකට ම පොදු ය. පුළුල් ජනතා සහභාගිත්වයක් ඇති සටන්කාමී ව්‍යාපාරවල ජයග‍්‍රහණ පිළිබඳ ලෝක ඉතිහාසයක් පවතී.

එම නිසා මීට සියවස් කිහිපයකට එපිට තිබුණු ගාන්ධිවාදී ක‍්‍රමය වත්මනයේ එකම සටන් ක‍්‍රමය නොවිය හැකි ය. අද ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩු ක‍්‍රමයක් පවතින රටවල ගාන්ධිවාදී ක‍්‍රම කිසියම් සාර්ථකත්වයක් අත් කර ගත හැකි වූවත් ව්‍යවස්ථාමය ඒකාධිපති ස්වරූපයක් පවතින ශී‍්‍ර ලංකාව හා අර්ධ මිලිටරි ක‍්‍රම පවතින මැද පෙරදිග රටවල්වලට එය අදාල නොවන බව වත්මන් මැද පෙරදිග ජනතා අරගල වලින්ම මතු වී ඇත. මෙම අරගල විශාල ලෙස මහජන සහභාගිත්වයක් ඇති නමුත් ප‍්‍රචණ්ඩ ස්වරූපයක් ගෙන ඇති ඒවාය. එසේ කි‍්‍රයා කිරීමට ජනතා බලවේගවලට සන්දර්භය නිර්මාණය වී ඇත්තේ මෙම මැද පෙරදිග රටවල පවතින අර්ධ මිලිටරි ස්වරූපයේ රාජ්‍යයන් නිසා ය.

වික්ටර් අයිවන්ට අනුව ශී‍්‍ර ලංකාව අල්ලස හා දූෂණය ඉහ වහා ගිය රටකි. මේ නිසාම රජයට ලැබිය යුතු විශාල ආදායමක් රජයට අහිමි වේ. මෙම තත්ත්වය තුළ ජනතාවගේ පොදු පහසුකම් වෙනුවෙන් රජයට යෙදවීමට ඇති මුදල් අඩුවනවා පමණක් නොව ජනතාව මත වැඩි වැඩියෙන් බදු බර පැටවීමට රජයට සිදුවේ.

එක්සත් ජාතික පක්ෂ පාලනය තුළ හා චන්ද්‍රිකා පාලනය තුළ පත්තර පිටු ගණන් රාජ්‍ය ආයතනවල හා ඇමැතිවරුන්ගේ දූෂණ හා වංචා ගැන ලියූ අයිවන්, ඒ වෙනුවෙන් උසාවි ගිය අයිවන්, පොත් ලියූ අයිවන් දැන් නිශ්ශබ්දව සිටින්නේ ඇයි, යුද්ධය දිනූ වීරයාගේ භූමිකාව රඟපාන මහින්දගේ පාලනය තුළ පැස්බරා න්‍යාය අනුගමනය කරන්නේ ඇයි, යනු ප‍්‍රශ්න කළ යුත්තකි.

මහින්ද රාජපක්‍ෂ කුරිරු යුද්ධයෙන් රට මුදා ගත් නායකයා ය. කුමන අඩුපාඩුකම් තිබුණත් කළ යුත්තේ ඔහුට එරෙහි වීම නොව ඔහු හදාගැනීමට කටයුතු කිරීම ය යනු අයිවන් ගේ සිතීම බව පෙනේ.

"කිසිම පුද්ගලයකු සර්වතෝභද්‍ර විය නොහැකි ය. රාජ්‍ය නායකයා වශයෙන් මහින්ද රාජපක්ෂ තුළ ද වැරදි හා අඩුපාඩුකම් තිබිය හැකිය. ඒ සියල්ල එසේ තිබියදීත් නිදහසින් පසු බලයට පැමිණි අන් ඕනෑම නායකයකුට වඩා ඓතිහාසික අර්ථයෙන් ඔහු කර තිබෙන දැවැන්ත කාර්යභාරය නිසා ඔහු නිදහසින් පසුව බලයට පැමිණි සියලූ නායකයන් අතුරින් දැවැන්තම නායකයා බවට පත්ව තිබෙන බවද අපි අමතක නොකළ යුතුය. පළමු කපොල්ල ජය ගත්තේ ඔහු ය. ඒ සඳහා අවශ්‍ය ප‍්‍රඥව දේශපාලන අධිෂ්ඨානය හා කාර්ය ශූරත්වය ඔහුට තිබුණේ ය. ඒ නිසා අවශ්‍ය නම් දෙවෙනි කපොල්ල ද ජය ගනිමින් ජයග‍්‍රහණය පරිපූර්ණ කිරීමේ හැකියාව ඔහුට තිබෙන බව අපි පිළිගත යුතු ය. අඩුම වශයෙන් ඒ හැකියාව ඔහුට ලැබේවා කියා ප‍්‍රාර්ථනා කරන තැනකට අප යා යුතුය. වසර හයකට වැඩි කාලයක් සඳහා ඔහුගේ දේශපාලන පැවැත්ම යථාර්ථයක් ලෙස සලකා දෙවෙනි කපොල්ල ජය ගැනීම සඳහා ප‍්‍රඥවෙන් කළ යුතු තිබෙන යුද්ධයටද සාර්ථක නායකත්වයක් දීමේ හැකියාව ඔහුට ලැබේවා කියන තැනට අප යා යුතුය... ඉතාම වැදගත් දේ පළමු ජයග‍්‍රහණයේ පසු ක‍්‍රමයෙන් මිලාන වෙමින් තිබෙන පළමු ජයග‍්‍රහණයේ උද්දාමය හා ආස්වාදය නැවත මතු කර ගනිමින් ඒ බලය දෙවැනි කපොල්ල ජය ගැනීමේ උත්සාහය වෙනුවෙන් ප‍්‍රශස්ත ලෙස යොදා ගත යුතුය." (රාවය 2010 අගෝ. 15 - කාලිංගගේ දේශපාලන විග‍්‍රහය)

අයිවන් ද ජනමාධ්‍ය නිදහස පිළිබඳව පෙනී සිටි පුද්ගලයෙකි. මුලදී අයිවන්ලා, ගාමිණී සුමනසේකරලා, සුන්දර නිහතමානී ද මෙල් ලා මෙහි ප‍්‍රබලයන් ය. නමුත් පසුකාලීනව ඔවුන්ව ද වේදිකාවෙන් ඉවතට විසි කරමින් සනත් බාලසූරිය, පෝද්දල ජයන්ත, වැනි තරුණ පත්තරකාරයෝ වේදිකාව ආක‍්‍රමණය කළෝය. මෙම තත්ත්වයන් පිළිබඳව අයිවන්ලා වැනි ජ්‍යෙෂ්ඨයින් යැයි කියාගන්නා මාධ්‍යවේදීන් සිටියේ දැඩි වෛරයකින් බව පෙනෙන්නට තිබේ. මෙම තරුණ පත්තර කාරයන්ගේ වැරදි අඩුපාඩු තිබූ බව ඇත්ත ය. දූෂිත මුදල් ගනුදෙනුවලට ද සමහර අය සම්බන්ධ යයි කියවෙන බව ද ඇත්ත ය. නමුත් ජනමාධ්‍ය නිදහස හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් ඔවුහු ද කිසියම් කාර්ය භාරයක් ඉටු කළෝ ය. නමුත් අයිවන් කිසි දිනක මොවුන්ගේ හොඳක් නොදැක්කේ ය. සිදු කළ එකම දෙය වූයේ ඔවුන්ට එලව එලවා පහර දීම ය.

ඉතිං අයිවන් වැනි පුද්ගලයන්ගේ සමස්ත විවේචන සියල්ල පදනම් වන්නේ කුළුගැන්වෙන ජනතා විරෝධයන් විසිර වීම සඳහා මිස එකතුකිරීම සඳහා නොවේ. මහින්ද රාජපක්‍ෂ හොඳ නැතිනම් ඔහු පරාජය කළ යුත්තේ වඩාත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී භාවිතයක් හා සංස්කෘතියක් ඇති නායකයන් ඇති ව්‍යාපාරයකින්ය යනුවෙන් අයිවන් ලියන ප‍්‍රකාශ නිකම්ම නිකං වාගාලාප මිස ඊට වඩා වැඩි වටිනාකමක් ඇති ඒවා නොවේ. එසේ නොලියා අයිවන්ට විකල්ප පුවත්පත් කර්තෘවරයෙකු ලෙස ගොඩ නගාගත් සිවිල් බලය රඳවාගත නොහැකි ය.

- පීපල්ස් මාච්

රජිත රාජපක්ෂ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails