Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා පත් කල උපදේශන කමිටුවේ වාර්තාව සමඟ පැරණි නාටකයක් පැරණි තාලයටම කරලියට පැමිණ ඇත. තම තමන්ගේ පුද්ගලික වෙලඳ ව්‍යාපාර වල යෙදෙමින් සිටි ආන්ඩුවේ දේශපාලකයින් හදිසියේ ම අවදි වී රණ විරුවන්ගේ මයිල් ගහකටවත් අත තබන්ට නොදෙන බවට මයිල් කෙලින් වෙන සේ අපට පවසති. ආන්ඩු පක්ෂයත් විපක්ෂයත් කතා දෙකක් සේ එකම කතාව කියන නිසා ඉන් ප්‍රේක්ෂකයාට අමුතු ආනන්දයක් ලැබේ. දේශීය හා විදේශීය ජනමාධ්‍ය හා සිවිල් සංවිධාන පැරණි කතා පැරණි ලෙසම පවසන විට එකම දේ හැම දාම අලුත් දේ හැටියට දැකීමේ වාසනා ගුණය ඇති ජාතියක් වන අප ඒවා උද්යෝගයෙන් අසා සිටිමු.

කෙසේ හෝ වේවා විටෙක යථාර්ථවාදී ලෙසත් විටෙක අධියථාර්ථවාදී ලෙසත් ජාතික හා ජාත්‍යන්තර තලයේ දිගහැරෙන මෙම නාටකය අවසානයේ-


ලංකාව තුල සරල සහසම්බන්ධ ප්‍රතිපක්ෂයකට ඌනනය කල හැකි බව පෙනේ. ප්‍රජාතන්ත්‍රවාදය නිදහස/දේශප්‍රේමය ජාතිකවාදය! ආන්ඩුවේ හැසිරීම විසින් එය පිහිටන්නේ කොන්දේසි විරහිතව දකුණු පැත්තේ ය. එනම් දේශප්‍රේමය හා ජාතිකවාදය මත ය. අල් ජසීරා හා ලංකා ඊනිව්ස් වැනි දෙස් විදෙස් ජනමාධ්‍ය විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය හා හියුමන් රයිට්ස් වොච් වැනි සිවිල් සංවිධාන පිහිටන්නේ වම් පැත්තේ ය. එනම් ප්‍රජාතන්ත්‍රවාදය හා නිදහස මත ය. උත්ප්‍රාසජනක ලෙස විපක්ෂය පිහිටන්නේ කුමන පැත්තේ දැයි දැකිය නොහැකි ය. මක් නිසාද යත් එය මැද ඇති හරස් ඉර මත පිහිටා සිටින නිසා ය. නමුත් ඉඳ හිට කාගේ හෝ ඔලුවක් මෙම ඉරෙන් වමට හෝ දකුණට පනිනු දැකිය හැකි ය. උදාහරණයකට සජිත් ප්‍රේමදාසගේ ඔලුව වරක් මතු වූයේ දකුණූ පැත්තෙනි.

දැන් බහුතර ලාංකීය ජනතාව හිඳිනු ඇත්තේ කුමන පැත්තේ ද? පසුගිය මැතිවරණත් සැලකිල්ලට ගෙන සාධාරණ ලෙස අනුමාන කල හැකි වන්නේ ඔවුන් ද දේශප්‍රේමය පැත්තේ හිට ගනු ඇති බව ය. අප හැමෝම දන්නා පරිදි පසුගිය මැතිවරණ වල දී ප්‍රජාතන්ත්‍රවාදය හා නිදහස වෙනුවෙන් වන සටන් පාඨ ජය ගත්තේ නැත. මතවාදී අවකාශය සකස් වී ඇති ආකාරය අනුව දේශප්‍රේමී වන අතරම නිදහස හෝ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටීමට නොහැකි ය. මෙම ආන්ඩුවේ මතවාදය කාලයක් තිස්සේ රඳවා ගත් යාන්ත්‍රණය එයයි. මේ නිසා ජනතාව දේශප්‍රේමීන් බවට පත් වන විටම ඔවුන් නිදහසේ හා ප්‍රජාතන්ත්‍රවාදයේ සතුරන් බවට පත් වෙයි. යුද්ධයක් (හෝ ව්‍යතිරේකී තත්වයක්) නොමැතිව පවා හදිසි නීතියෙන් පාලනය වීමට කැමති 18 වන ආන්ඩු ක්‍රම ව්‍යාවස්ථා සංශෝධනය ගැටලුවක් කර නොගත් උතුරට බලය බෙදීමේ දේශපාලන විසඳුමක් අනවශ්‍ය බව සිතන ජනතාවක් බවට බහුතර ලාංකිකයන් පත් කිරීමට මේ නිසා වත්මන් ආන්ඩුවේ මතවාදී යාන්ත්‍රණය සමත් වී ඇත.

නමුත් අප ඉදිරියේ ඇති ගැටලුව නම් දේශපාලන නූතනත්වයේ ආදර්ශයන් වන නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය වැනි සටන් පාඨ නොසලකා හැරීමට හැකි ජාතියක් බවට අප පත් වීම හුදු වත්මන් ආන්ඩුවේ මතවාදී යාන්ත්‍රණයේ සමත් කමක් පමණක් ද යන්නයි. මර්දිත රාජ්‍යයක් සතුටින් ඉවසීමට අපට ඇති ශික්ෂණයට රාජපක්ෂ රෙජීමයට වඩා පැරණි ඉතිහාසයක් තිබිය නොහැකි ද? මෙම ලිපිය උත්සාහ කරන්නේ අපට සමීප තැනකින් මෙම ගැටලුවට පිලිතුරක් සොයා ගැනීමටට ය. ඒ සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය හෝ ජාත්‍යන්තර නීතිය වැනි කර්ණ කටුක වාග් මාලාවන්ගෙන් ඉවත් වී රොමාන්තික ප්‍රේමය හා ජනප්‍රිය සංසකෘතිය වැනි මිහිරි වචන ඇති දිසාවකට හැරෙමු.

ජනප්‍රිය සංස්කෘතිය හා රොමාන්තික ප්‍රේමය

දැන් අප උත්සාහ කරන්නේ ජනප්‍රිය සංස්කෘතියේ අංගයන් වන ටෙලිනාට්‍ය චිත්‍රපට හා රොමාන්තික නවකතා දශක ගනනාවක් තිස්සේ ප්‍රේමය නිරූපනය කරන ආකාරය සලකා බැලීමට ය. සමීපව නැරඹුවහොත් පෙනෙනු ඇත්තේ සියවසකට ආසන්න කාලයක් තිස්සේ ලංකාවේ පෙම්වතුන් මුහුණ දෙන ප්‍රධාන ගැටලුව වන්නේ තමන්ගේම පවුලෙන් එල්ලවන බාධාවන් බවයි. බහුතරයක් ප්‍රේමය වටා ගෙතුනු නිර්මාණ සිය සංවාද ගැටලුව බවට අද වන තෙක් පත් කර ගෙන ඇත්තේ රොමාන්තික ප්‍රේමය හා පවුල අතර ගට්ටනයයි. මෙම පවුල අප න්‍යෂ්ඨික පවුල ලෙස හඳුන්වන දෙමාපියන් දූදරුවන් සහිත පවුලට වඩා සමහර විට පුලුල් ය. ඒ නිසා මෙය ඥාතිත්තව ව්‍යුහය ලෙස හැඳින්වීම වඩා සාධාරණ විය හැකි ය. දැන් අප ඉදිරියේ ඇති ගැටලුව වන්නේ සියවසකට ආසන්න කාලයක් පුරා ප්‍රේමය නිරූපනය කරන නිර්මාන පෙම්වතුන් හා ඥාතිත්ව ව්‍යුහය අතර ගැටුමක් හෝ සහසම්බන්ධයක් බවට ඌනනය වන්නේ ඇයි ද යන්න යි. එසේම අවධාරණය කල යුතු වන්නේ ජනප්‍රිය සංස්කෘතිය තුලින් යම් කිසි ගැටලුවක් අඛන්ඩව පුනරාවර්තනය වන විට එය අදාල සමාජ යථාර්ථය හා සම්බන්ධයක් නොදක් වන්නේ යැයි බැහැර කිරීම අසාධාරණ බව ය.

උදාහරණයක් ඔස්සේ තත්වය වඩාත් පැහැදිලි කර ගනිමුග මේ දිනවල විකාශය වන අමන්දා, බොඳ මීදුම්, ආදරණීය චංචලා වැනි තවත් බොහොමයක් ටෙලිනාට්‍යය තුල ප්‍රේමය නිරූපනය වන්නේ පවුල හා ප්‍රේමය අතර ගැටුමක් ලෙස යි. නමුත් විකාශය වී අවසන් වූ ආදරණීය පූර්ණිමා ඔස්සේ ගමන් කිරීම අපට පහසු විය හැකි ය. දැන් මා වැනි අවර රසිකත්වයක් නොමැති ආදරනීය පූර්ණිමා නොබලූ පාඨකයන් වෙනුවෙන් එහි කතාව සරලව හඳුනා ගනිමු. මෙම නාට්‍යයේ මූලික සංවාද ගැටලුව වන්නේ රොමාන්තික ප්‍රේමය හා ඥාතිත්ව ව්‍යුහය අතර ගට්ටනයයි. මෙය ලාංකීය ප්‍රේම කතා සාහිත්‍යයේ ජනප්‍රියතම හා බහුලතම ගැටලුව ද වන බව අපි ඉහත සඳහන් කලෙමු. මෙම නාට්‍යයේ කේන්ද්‍රීය කතාව දිවෙන්නේ පාරම්පරික වෙද පවුලක දියනියක වන පූර්ණිමා සහ පාරම්පරික රදල පවුලක පුතෙකු වන අසංක අතර ඇති වන රොමාන්තික ප්‍රේමයට අසංක ගේ පවුලෙන් එල්ලවන විරෝධයන්ගේ දෝලනය ඔස්සේ යග මෙම ප්‍රධාන යුවලට අමතරව තවත් පෙම්වතුන් යුවල කිහිපයක් කතාව තුල හමුවෙයි.

කෙසේ හෝ වේවා පූර්ණිමා හා අසංක ද ඇතුලු මෙම තරුණ තරුණියන්ගේ ජීවිත වලට ඇත්තේ එක ප්‍රශ්නයකි. එනම් තම ප්‍රේමයන් සිය විස්තෘත පවුලේ සිරිත් විරිත් වලට ගැලපෙන ලෙස විවාහය දක්වා රැගෙන යා හැකි ද යන්න යි. මෙම නාට්‍යයේ අපට හමුවන වැඩිහිටි චරිත වලට ඇති ගැටලුව වන්නේ සිය දරුවන්ගේ ප්‍රේමයන් සිය ඥාතිත්ව ව්‍යුහය තුලට අවශෝෂනය කර ගැනීමට සුදුසු ද ඒ කෙසේ ද යන්න යි.

මේ ගැටලු දෙක විසින් සිත්ගන්නා සුලු නව ගැටලුවක් නිර්මාණය කිරීමට අපට බල කරනු ලබයි. එනම් රොමාන්තික ප්‍රේමය යනු කුමක් ද යන්න යි. සමාන්‍ය කතා බහ ලෝකය තුල රොමාන්තික ප්‍රේමය සර්ව කාලීන විශ්වීය දෙයක් ලෙස සලකනු ලබයි. නමුත් සමාජ විද්‍යාව තුල එයට කාලයක් හා ස්ථානයක් තිබේ. ඒ අනුව රොමාන්තික ප්‍රේමය සමාජයීය ප්‍රපංචයක් ලෙස වර්ධනය වන්නේ 18 වන සියවසේ අගභාගයෙන් පසුව ය. වෙනත් වචන වලින් කියන්නේ නම් එය නව සමාජ සිද්ධියකි. එය බිහි වන්නේ කාර්මික ධනවාදයේ හා නූතනත්වයේ ක්‍රියාන්විතය ඔස්සේ වෙනස් වන සමාජ වටපිටාවෙහි ය. මින් අදහස් වන්නේ ලිංගික ආකර්ෂනය මත පදනම් වූ මානව බැඳීම් මින් පෙර නොපැවතුනා ය යන්න නොවේ. නමුත් විවාහය හෝ එක්ව ජීවත් වීම අපේක්ෂා කරමින් ගැහැනියකට හෝ පිරිමියෙකුට ආදරය කිරීම සමාජ සිදුවීමක් බවට පත් වන්නේ පසුකාලීනව යන්නයි. පූර්ව නූතන ලෝකය තුල විවාහ වීමේ පදනමක් ලෙස අදාල පුද්ගලයන් එකිනෙකා කෙරෙහි ඇති ආකර්ෂණය නොසලකන ලදිග විවාහයන් යෝජිත ඒවා වූ අතර එහි පදනම් කුලයල ගෝත්‍රය, ඥාතිත්වය, ලබ්ධිය, ජනවර්ගය යනාදී වශයෙන් විවිධ විය.

මෙම පදනම් වල අදහස කුමක් ද? එයින් අදාල පුද්ගලයා පිලිබඳ ලැබිය හැකි අවබෝධය කුමක් ද? මේ පදනම් වලින් අදාල පුද්ගලයා නියෝජනය කරන සාමූහික අනන්‍යතාවයන් ඉදිරිපත් කෙරෙයි. මෙයින් ලැබිය හැකි අනිවාර්ය නිගමනය නම් පූර්ව නූතන සමාජයන් විවාහයේ දී සාමූහික අනන්‍යතාවයට ප්‍රමුඛත්වය දෙන ලද බවයි. එසේම වැදගත් වන තවත් කරුණක් වන්නේ මෙම සාමූහිකත්වයන් ලෞකික නොවන කේන්ද්‍රයකින් පාලනය වන කිසියම් ආකාරයකට ප්‍රශ්ණ කල නොහැකි නිර්මිතයන් වීම යි. ආර්ථීක සාධක ද වැදගත් තැනක් ඉසිලූ බව නොරහසකි. එහෙත් විවාහය සහ දේපල අතර සම්බන්ධය ඉක්මවා යමින් සමහර අවස්ථා වල මෙම අලෞකික සාමූහිකත්වයන් ඉදිරියට පැමිණෙයි. ගම්පෙරළිය නවකතාවේ එන කයිසාරුවත්තේ පවුල විසින් පියල් වෙනුවට ජිනදාස තෝරා ගැනීම ඒ සඳහා උදාහරණයකි.

රොමාන්තික ප්‍රේමය හා පුද්ගලත්වය

දැන් රොමාන්තික ප්‍රේමය අලුත් දෙයක් යැයි කියන විට එහි ඇති අලුත් කම නම් එය මෙම ලෞකික නොවන සාමූහිකයට සහ ආර්ථීක සාධක වලට එරෙහිව පුද්ගලයා ඉදිරියට ගෙන ඒමයි. පුද්ගලයාට මෙම ලෞකික නොවන සාමූහිකයෙන් මිදීමට අවශ්‍ය ඉඩ නිර්මානය වන්නේ ධනවාදයේ වර්ධනය හා නූතනත්ව ව්‍යාපෘතිය මඟින් සමාජයේ ඇති කරවන පරිවර්තනයන් ඔස්සේ යග ලාංකීය සමාජය මෙම පරිවර්තනයන්ට නිරාවරණය වන්නේ යටත් විජිත කරනයේ ප්‍රතිඵලයක් ලෙස යි. 1833 කෝල්බෲක් ප්‍රතිසංස්කරන හරහා රාජකාරි ක්‍රමය අහෝසි කිරීමේ සිට සර්වජන ඡන්ද බලය හිමි වීම දක්වා වන විවිධ බල ව්‍යාපෘතීන් ඔස්සේ ක්‍රමිකව සමාජයේ පිලිවෙල සහ මිනිස් සිතීමේ ආකෘතීන් යලි සැකසිනග අධ්‍යාපනය ක්‍රමිකව සකස් වීම හා එය සමාජය තුල හොඳින් විසරනය වීම මේ අතර කේන්ද්‍රීය වැදගත් කමක් උසුලයි. මුද්‍රණය ව්‍යාප්ත වීම හා එහි බලපෑම සාක්ෂරතාවයේ වර්ධනය සමඟ බලවත් වීම ද තවත් අතකින් සිදු වෙයි. බටහිර වෛද්‍ය විද්‍යාවේ දැනුම ඔස්සේ මිනිස් ශරීරය හා ව්‍යාධීන් පිලිබඳ වූ අදහස් වෙනස් වන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වර්ධනය සමඟ යග ප්‍රවාහනයේ හා මාර්ග පද්ධතීන් ගේ ඇති වන පරිවර්තනයන් ඔස්සේ කාලය හා අවකාශය පිලිබඳ ස්ථාපිතයන් වෙනස් වෙයි. උසාවි සහ පොලීසි වල සිට දහසකුත් එකක් නිලධාරි තන්ත්‍රයන්ගෙන් සමාජය උඩු යටිකුරු කෙරෙයි. එසේම එක් අතකින් අධ්‍යාපනයත් අනෙක් අතින් යටත් විජිත ආර්ථීකයත් කුල ගොත් නොතකා සමාජයේ ඉදිරියට යාමේ හැකියාව යම් ආකාරයකට සහතික කරයි. මේ ආදී වශයෙන් වූ සංකීර්ණ ක්‍රියාවලිය විසින් අප ඉහත සඳහන් කල ලෞකික නොවන සාමූහිකත්වයන් යම් ආකාරයකට ලිහිල් කරනු ලැබී ය.

නූතන පුද්ගලත්වය නම් වූ ප්‍රපංචය ලාංකීය සමාජය තුල ගොඩනැඟීම අපට දැක ගත හැකි වන්නේ මෙම ක්‍රියාවලියට ලාංකීය මිනිස් විෂය අභිමුඛ වීමේ ප්‍රතිඵලයක් ලෙස ය. එසේම නූතන රොමාන්තික ප්‍රේමය මිනිස් සම්බන්ධයක් ලෙස ලාංකීය සමාජ දේහය මත වර්ධනය වන්නේ මීට සමාන්තරව යැයි තර්ක කල හැකි ය. ගුණදාස අමරසේකරගේ ඉනිමගේ ඉහලට නවකතාවේ මෙවැනි දෙබසක් තිබේග "ප්‍රේමය කියන එක අපිට අලුත් දෙයක්. අපේ පරපුර තමයි පලමු වරට ඒක ඇඳින ගත්තෙ. ඒක අපිට තාම සුන්දර කවි සිතිවිල්ලක්." ඉහත නවකතාවේ චරිතයක මුවගට මේ වචන නැෙඟන්නේ ප්‍රබන්ධ කාලයට අනුව නම් 1960 ගණන් වල දවසක ය. ඔවුන් කතා බහ කරමින් සිටින්නේ පේරාදෙනි ගුරුකුලය මඟින් වර්ණනා කරන ලද නවකතාවක් වන යලි උපන්නෙමි පිලිබඳවයි. (මෙම සන්දර්භය තුල දී එය පේරාදෙනි සාහිත්‍ය යුගය තුල ඉහලට එසවුනු නවකතා බහුතරයක් නියෝජනය කරන පදයක් ලෙස ද ගැනීම අසාධාරණ නොවේ.) මෙම සිදුවීම තුල සංවාදයට භාජනය වන්නේ යලි උපන්නෙමි නවකතාවේ ප්‍රධාන චරිතය වන රණතුංගගේ ප්‍රේමය අසාර්ථක වීමට ඔහු හැදී වැඩුනු සංස්කෘතික පරිසරය (සිංහල බෞද්ධ ගැමි) සහ එය විසින් ඇති කරන මානසික අගතීන් බලපාන්නේ ද යන්න යි. උක්ත ප්‍රකාශය කරන සිරිපාල දැඩිව ප්‍රකාශ කරන්නේ පේරාදෙනි ගුරුකුලය අවධාරනය කරන සංස්කෘතික ව්‍යාධිය මායාවක් බවත් ප්‍රේමය අසාර්ථක වන්නේ එය මෙම පරපුරට අලුත් අත්දැකීමක් වන නිසාත් බව යි.

කෙසේ හෝ වේවා විසිවන සියවසේ මුලභාගයේ ලංකාව තුල වර්ධනය වන නව සමාජ ප්‍රපංචයක් වන රොමාන්තික ප්‍රේමය විසි එක් වන සියවසේ ඩිජිටල් යුගය තුල දී ආදරණීය පූර්ණිමා ආකෘතිය තුල ඉදිරිපත් වීම විශ්මය ජනක නොවන්නේ ද? කෙනෙකු පූර්ණිමා හෝ අමන්දා හෝ බොඳ මීදුම් වැනි උදාහරණ හුදු සමාජ දේහය හා සම්බන්ධයක් නොමැති ප්‍රබන්ධ ලෙස බැහැර කරන්නේ නම් මෙවැනි ටෙලි නාට්‍ය වල රඟපාන නලු නිලියන් ගේ සාකච්ඡා වලට අවධානය යොමු කිරීම වැදගත් ය. වරක් නවක නිලියක වන නදීෂා යාපාගේ ගෙන් දෙරණ රූපවාහිණිය ප්‍රශ්න කරන්නේ ඔබ විවාහයේ දී කේන්දරයට මුල් තැනක් දෙනවා ද යනුවෙනි. ඇගේ පිලිතුර ඔව් යන්නයි. ලංකාවේ රූ රැජිනක වූ අනූෂා රාජපක්ෂ තමන් කැමති යෝජිත විවාහයකට බව පුවත් පතකට කලකට ඉහත ප්‍රකාශ කර තිබිණ. කේන්දර හෝ යෝජනා හෝ මේ සියල්ල බැඳී ඇත්තේ ඥාතිත්ව ව්‍යුහය සමඟ ය. එසේම බොහෝ නලු නිලියන් තමන් රඟපාන චරිත සිය පුද්ගලික ජීවිතයට සම්බන්ධ බව නිතර ප්‍රකාශ කරයි. උදාහරණ දෙකක් ඉක්මනින් මතකයට නැගෙයි. බොඳ මීදුම් හි සංසලා ගේ චරිතය රඟපාන උදාරි වර්ණසූරිය ඉන් එකකි. හැත්තෑව දශකයේ නවකතාවක් වන ගැහැණු ලමයි ඇසුරෙන් නිර්මාණය කර මෑතක විකාශය වූ මෙගා ටෙලිනාට්‍යයේ කුසුම් ගේ චරිතය රඟපෑ නිලුක්ෂි ප්‍රනාන්දු පවසා තිබුනේ කුසුම් ඇයට බොහෝ සමීප බව ය.

සමකාලීන ප්‍රේමය පාදක කරගත් බටහිර චිත්‍රපට වල සමහර විට පෙම්වතුන්ගේ පවුල් පිලිබඳ කිසිදු තොරතුරක් ඉදිරිපත් නොවෙයි. ගැටුම් ඇති වන්නේ පෙම්වතුන් අතර ය. එකිනෙකාගේ රුචි අරුචිකම්ල නොගැලපීම්, විනෝදාංශ, මිත්‍ර සම්බන්ධතා, ආශාවන් යනාදී වශයෙන් වූ පුද්ගලයා පවුලෙන් ඉවත් වූ පසු ජීවිතය රැඳෙන හේතු සාධක පෙම්වතුන් ලෙෂ වටහා ගන්නේ හෝ දරා ගන්නේ කෙසේ ද යන්න මත බොහෝ ජනප්‍රිය චිත්‍රපට ටෙලි නාට්‍ය හා නවකතා නිර්මාණය වී ඇත. රොමාන්තික ප්‍රේමය යනුම දෙදෙනෙකු එකිනෙකාගේ පුද්ගලත්වයන් ආශ්වාදනය කිරීම යි.

රොමාන්තික ප්‍රේමය හා දේශපාලන නූතනත්වය

මේ නිසා රොමාන්තික ප්‍රේමයට සමාජය හා එහි පිලිවෙල වැදගත් යග නමුත් ලංකාවේ පෙම්වතුන් මුහුණ දෙන හෝටල් කාමර වලට පොලිසිය පැමිණීම හෝ මුහුදු වෙරලෙන් හිටි ගමන් කුදලගෙන ගොස් පොලිස් කූඩුවේ දැමීම වැනි සමාජයීය සම්බාධක ගනනය කල නොහැකි තරම් සුලු දේ බවට පත්ව තිබෙන්නේ ජනප්‍රිය සංස්කෘතියේ වරදක් නිසා නොවේ. ඇත්තටම ලංකාවේ දී ප්‍රේමයට සමාජය මුනනොගැසෙන නිසා ය. ජනප්‍රිය සංස්කෘතිය නැවත නැවතත් රොමාන්තික ප්‍රේමය හා ඥාතිත්ව ව්‍යුහය අතර ගැටුම ඉදිරිපත් කිරීමේ රහස ක්‍රමයෙන් හෙලිදරව් වීමේ දී අපට එය පෙනෙයි.

අප ඉහතින් නූතනත්ව ව්‍යාපෘතිය හා ධනවාදයේ වර්ධනය ලංකාවේ සන්දර්භය තුල සරලව සාකච්ඡා කර ඇත. එහෙත් එතැන සඳහන් නොකරන ලද කරුණු කිහිපයක් මෙම ගැටලුවට අදාලව කෙටියෙන් මතු කිරීම වැදගත් ය. ධනවාදය යටත්විජිත ව්‍යාපෘතියේ කොටසක් ලෙස ලංකාවේ වර්ධනය වන විට එය විසින් පැවති පූර්ව නූතන සමාජ සම්බන්ධතා ව්‍යුහයන් සම්පූර්ණයෙන් පෙරලා දැමීමට සමත් වූයේ නැත. ඒ වෙනුවට යටත් විජිත රාජ්‍යයේ හා ප්‍රාග්ධනයේ ආධිපත්‍යය යටතේ මෙම පූර්ව නූතන සමාජ සම්බන්ධතා සුරක්ෂිත වූ ආකාරය ලංකාවේ සුවිශිෂ්ට සමාජ විද්‍යාඥයෙකු වූ නිව්ටන් ගුණසිංහ පෙන්වා දී ඇත. යටත්විජිත රාජ්‍යයේ ප්‍රාග්ධන සංකේන්ද්‍රණ උවමනාවන් සාර්ථක කර ගැනීමට එක් අතකින් මෙම පූර්ව නූතන මිනිස් සබඳතා ව්‍යුහයන් පවත්වාගෙන යාම පහසුවක් විය. අනෙක් අතට මෙම ඌන සංවර්ධිත හා අසමතුලිත ධනේෂ්වර නිෂ්පාදන මාදිලිය විසින් ජනනය කරන අවවර්ධිත මානව සම්බන්ධතා ස්වරූපයන් අපේකම ලෙස උත්කර්ෂනය කිරීමට යටත්විජිත විරෝධී කතිකාවත් ඉන් පැන නැඟී අද දවසේ බෑන් කීන් මූන්ගේ පඹයන් ගිනිතබන ජාතික වාදයත් එදා සිට සැදී පැහැදී සිටියේ ය. මේ නිසා ලංකාව තුල වර්ධනය වන නූතන පුද්ගලත්වය යනු සාපේක්ෂව දුර්වල එකකි. එය අලෞකික සාමූහිකයන්ගෙන් ගැලවී හේතුව මත පදනම්ව තමන් වෙනුවෙන් තීරණ ගන්නා මනුෂ්‍යයෙකු බිහිනොකරයි. වඩාත් නිවැරදිව පැවසිය යුතු වන්නේ මෙම පුද්ගලයා සිටින්නේ හේතුවත් අලෞකිකත්වයත් අතර නිරන්තර දෝලනයක බව ය. උදාහරණයක් හැටියට චම්පික රණවක අමාත්‍යවරයා මේ දින වල පාන පෙලහර ද කෙනෙකුට දැන් නැවත සලකා බැලිය හැකි ය.

මෙම ඌන සංවර්ධිත ධනවාදය හා එයින් ජනිත අවවර්ධිත සමාජ සබඳතා 1977 විවෘත ආර්ථීකය අබිමුව අභ්‍යන්තරිකවත් බාහිරවත් විපරිවර්තනය විය. ඒ පිලිබඳව විස්තරාත්මක අධ්‍යයනයකට යාමට මෙම ලිපිය තුල ඉඩක් නැත. කෙසේ වෙතත් මේ සියලු විපරිවර්තනයන් සිදු වන විට පවා වසර සියයක් පමණ මුලුල්ලෙහි රොමාන්තික ප්‍රේමය පිලිබඳ අප මුලින් සඳහන් කල ප්‍රශ්නය සුලු වෙනස් කම් සහිතව නැවත නැවතත් උච්චාරණය කෙරෙයි.

රොමාන්තික ප්‍රේමයට සේම නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය යන ප්‍රපංචයන්ට ද පුද්ගලත්වය තීරණාත්මක සාධකයකි. රොමාන්තික ප්‍රේමය සේම නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය යනු නූතනත්වයේ සංරචකයන් යග සමාජයීය නිදහසෙහි වැදගත්කම දැනෙනු ඇත්තේ පුද්ගලයන්ට යග පුද්ගලයා යනු ධනවාදයේ හා නූතනත්වයේ බලරටා වලට හසු වී ඥාතිත්ව පවුල් පදනම් ලිහී හුදෙකලා වූ මිනිසෙකි. ඔහු හෝ ඇය පෙම්වතෙක් හෝ පෙම්වතියක් සොයයි. මිතුරෙකු හෝ මිතුරියක සොයයි. තම පැවැත්ම පොදු නීතියෙහි සලකුණු වීම අපේක්ෂා කරයි. පොදු ජන අවකාශය සිය ආලින්දය කර ගැනීමට උත්සාහ කරයි.

18 වන ආන්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හා හදිසි නීතිය පිලිබඳව මෙතැන දී නැවත කියවීම වැදගත් ය. 18 වන ආන්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යනු ජනාධිපති රාජාන්ඩුවකට මග විවර කරන නෛතික ප්‍රතිපාදනයකි. හදිසි නීතිය යනු නීතිය විසින්ම නීතිය ඉවත් කිරීමේ ක්‍රමවේදයකි. ජාතික රාජ්‍යයක් තුල දේශපාලනය හා පොදුජන නීතිය අතර සමීප සම්බන්ධයක් සේම මනා සහපැවැත්මක් ඇත. නමුත් මෙම සහපැවැත්ම දේශපාලනය පැත්තෙන් තව දුරටත් පවත්වා ගත නොහැකි සිවිල් යුද්ධ හෝ කැරලි අවස්ථාවන් හි දී ස්වාධිපතියාට ව්‍යතිරේකී තත්වයක් ඇති කිරීමේ හැකියාව පවතී. අත්‍යවශ්‍යතාව මත ඇති කරන හදිසි නීතිය යනු මෙම ව්‍යතිරේකී තත්වයයි. එය නීතියක් නොව දේශපාලනය හා නීතිය අතර ඇති අඳුරු අපැහැදිලි තීරයකි. එය විසින් පුරවැසියෙකු සතු නෛතික පැවැත්ම අභියෝගයට ලක් කරයි. නූතන මිනිස් ජීවිතය යනු එක් අතකින් නිල තන්ත්‍රයන් මත කෙටුනු නෛතික පැවැත්මකි. අද උපදින දරුවා ගේ සිට ඊයේ මියගිය මහල්ලා දක්වා මෙය අදාල ය. උප්පැන්න සහතිකයේ සිට මරණ සහතිකය දක්වා වන සහතික හුදු කරදාසි නොවන්නේ එහෙයිනි. එහෙත් ඉහත සඳහන් කල දේශපාලනය හා නීතිය අතර වන අඳුරු අපැහැදිලි තීරයේ දී සහතික නොකල මරණ හමුවිය හැකි ය. දින කිහිපයකට පෙර යාපනයේ මල්ලාකම් හි නව උසාවි සංකීර්ණයකට අත්තිවාරම කපද්දී මිනී හිස්කබල් හා ඇටකටු හමුවීම මේ පිලිබඳ බිහිසුනු උපමා රූපිකයකි. 1971 සිට අද දක්වා ලංකාව පාලනය වන්නේ නීතිය විසින්ම නීතිය පහ කර හරින නීතිමය ආකෘතියක් නැති හදිසි නීතිය ලෙස හැඳින්වෙන මෙම අඳුරු බිහිසුනු තීරයෙනි.

දැන් බෑන් කීන් මූන්ගේ වාර්තාව ගැන යලිත් සලකා බලමු. එය කිසිසේත්ම ලාංකික දේශපාලකයන් හා හමුදා නායකයන් විදුලි පුටුවට ගෙන යාමේ අධිකතර උවමනාවෙන් යුතුව අධිරාජ්‍යවාදීන් විසින් අටවන ලද උගුලක් නොවේ. වසර තිහක සිවිල් යුද්ධය අවසන් වීමෙන් පසුව වත් නූතන දේශපාලන සභ්‍යත්වයක් ඇති කර ගැනීමට ලාංකා රජයට බල කිරීම වෙනුවෙන් අටවන ලද උගුලකි. එය කිසිසේත් අහිංසක අපේක්ෂාවක් නොවේ. මක් නිසාද යත් ධනවාදය ක්‍රමයක් ලෙස සාර්ථකව වර්ධනය කිරීමට නූතන දේශපාලන ශික්ෂණය තරමක් දුරට හෝ තුන්වන ලෝකයේ රටකට අවශ්‍ය බව එක්සත් ජාතීන්ගේ සංවිධානය දන්නා නිසා ය.

අප මෙම ලිපිය ආරම්භයේ මතු කල ගැටලුව වන්නේ මර්ධිත රාජ්‍යයක් සතුටින් ඉවසීමට ලාංකිකයන් ලෙස අපට ඇති ශික්ෂණයට රාජපක්ෂ රෙජීමයට වඩා වැඩි ඉතිහාසයක් තිබේ ද යන්න යි. එයට පිලිතුරක් ගොනු කිරීම සඳහා අපි රොමාන්තික ප්‍රේමය හා ජනප්‍රිය සංස්කෘතිය ඔස්සේ ගමන් කලෙමු. පලමු ගැටලුවට පිලිතුරක් ගොනු කිරීමේ ගමනේ අප මුහුණ දුන් දෙවන ගැටලුව ජනප්‍රිය සංස්කෘතිකාංග ප්‍රේමය නිරූපනය කරන විට එය හැම විටම ඥාතිත්ව ව්‍යුහය අතර ගැටුමක් ලෙස ඉදිරිපත් කරන්නේ ඇයි ද යන්නයි. එහි දී අපට නව ගැටලුවක් අභිමුඛ විය. එනම් රොමාන්තික ප්‍රේමය යනු කුමක් ද යන්න යි. රොමාන්තික ප්‍රේමය යනු නූතනත්වය හා ධනවාදයේ ප්‍රතිඵලයක් ලෙස වර්ධනය වන නව සමාජ ප්‍රපංචයක් බව අපි දැන ගතිමු. පූර්ව නූතන සමාජයේ විවාහයන් තීරණය කල අලෞකික සාමූහික අනන්‍යතා ධනවාදයේ හා නූතනත්වයේ ක්‍රියාන්විතය තුල දිය වී පුද්ගලත්වය ඉදිරියට පැමිණෙන බවත් රොමාන්තික ප්‍රේමය යනු දෙදෙනෙකු සිය පුද්ගලත්වයන් ආශ්වාදනය කිරීම බවත් අපි පැවසුවෙමු. ප්‍රේමය සේම නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය යනු ද නූතනත්වයේ අංග බව ඉන් අනතුරුව කියැවින. අලෞකික සාමූහිකයන් දිය වී හුදෙකලා වූ පුද්ගල විෂය සමාජයීයව සුරක්ෂිත කිරීමට නූතන සමාජ දේශපාලන පිලිවෙලෙහි අවශ්‍යතාව ද අවධාරණය කෙරින. නමුත් ලංකාව තුල දියත්වන ඌන සංවර්ධිත ධනවාදය හා නූතනත්ව ව්‍යාපෘතිය විසින් ජනනය කරන පුද්ගලත්වය දුර්වල එකක් බව අපට පෙනින.

මේ නිසා බහුතර ලාංකිකයන් යනු ඉහත සඳහන් කල අලෞකික සාමූහිකයෙන් ගැල වී සමාජයේ පිලිසරණ පතන හුදෙකලා පුද්ගලයන් නොවේ. ප්‍රේමයේ දී සේම මෙම අවවර්ධිත පුද්ගලයාට අනෙකුත් අවස්ථාවන් හි දී ද සමාජයීය ආරක්ෂණය එතරම් තීරණාත්මක නොවේ. (1994 සමයේ දී නිදහස පිලිබඳ අදහස් යම් ආකාරයකට ජනප්‍රිය වූයේ 88/89 බිහිසුනු මතකය නිසා යග දකුණට සමාජ නිදහස වැදගත් සටන් පාඨයක් විය හැක්කේ එවැනි හිංසනීය මතකයකට පසුව පමණ ද?) බහුතර ලාංකිකයාට නීතිය හා පිලිවෙල යම් තාක් දුරකට වැදගත් වන අතරම ආගම, දෙවියන්, යකැදුරන්, සාත්තරකරුවන් හා සිය ඥාතිත්ව සාමූහිකයන් තීරණාත්මක වෙයි. ලංකාව තුල ඇති මෙම ක්ෂුද්‍ර අලෞකික සාමූහිකයන් මහේක්ෂ අලෞකික සාමූහිකයක් බවට පත් කරන අද දවසේ මතවාදී යාන්ත්‍රණය සිංහල-බෞද්ධ ජාතිකවාදය හා දේශප්‍රේමයයි.

පුද්ගලත්වය නිශේධනාත්මක ලෙස බැහැර කරන ලංකාවේ වාමාංශික කතිකාව ලෞකික සාමූහිකයක් කෙරෙහි වන මාක්ස් ගේ නොස්ටැල්ජික සිහිනයේ පුද්ගලයාට හිමි තැන වටහා නොගත්තේ ය. අලෞකික සාමූහිකයේ සිට අනාගත ලෞකික සාමූහිකයක් දක්වා ගමන් කිරීමේ සුවිශේෂී අතර මැද සලකුනු කරන්නේ පුද්ගලත්වය විසිනි. නිර්ධනයා යනු පුද්ගලයෙකි. ලිපිය අවසන් කිරීම සඳහා මානව විද්‍යාඥයෙකු වන ක්ලිෆර්ඩ් ග්රීට්ස් කරන ප්‍රකාශයක් මේ සන්දර්භය තුල නැවත ලිවිය හැකි ය.

මනුෂ්‍යයෙක් වීම ම යනු පුද්ගලයෙකු වීම යි.

කෞශල්‍ය කුමාරසිංහ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails