Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



"දැං මේ වාර්තා හසුනට මොකද කරන්නේ?"

මහ රජතුමා සුදුමැලි වී ඇති සිය නළල මත කස්තුරි ආලේප කරමින් අග්‍ර පුරෝහිත වැතිරී සිටිනා සෝපාව දෙස බැලීය. අග්‍ර පුරෝහිත කැසබ්ලැන්කාවේ කැසිනෝ ව්‍යාපාරික ඔහුගේ දෙටු පුත් සමග ස්කයිප් ඔස්සේ කතා කරමින් සිටියේය.

"මහ රජතුමනි කලබල වීම අනවශ්‍යයි. කළ යුතු සියල්ල මා සංවිධානය කොට අහවරයි. "

අග්‍ර පුරෝහිත ස්කයිප් වැඩසටහන වසා දමා ලැප්ටොප් යන්ත්‍රය පාපිස්ස අස්සට සෙමින් තල්ලු කළේය.

"මොනවද අග්‍ර පුරෝහිත නුඹ සංවිධානය කොට ඇති දේවල්?"

"ස්වාමීනි. රටපුරා ජනපදිකයන්ගේ නියපොතු කපා විසාල කන්ටේනරයක් සූදානම් කිරීමට කටයුතු යොදා ඇත. ඒ නියපොතු මදිවුවහොත් ඇත් අස් රිය පාබල මිසයිල යනාදී වූ පංච මහ බලවේගවලට අයත් අයවලුන්ගේ ද නියපොතු සම මට්ටමට කපා සූදානම් කරනු ඇත."

"නියපොතු? මක්කටෙයි නියපොතු අග්‍ර පුරෝහිත?"

"ඇයි ස්වාමීනි මේ වාර්තා හසුන්කාරයින්ගේ අධෝභාග කැසීමට! ස්වාමීනි ඇයි තූෂ්නිම්භූතව? අප දන්නේ එබඳු කාරියක් පමණක් නොවැ පසුගිය අවුරුදු පන්සාලිස් කාලයක් තිස්සේ අප රටවැසියන් කරමින් සිටියේ ඔබතුමා ඇතුළු රජ පවුලේ පශ්චාත්භාග කැසීම පමණක් නිසා අපට පහසුවෙන් කළ හැකි එකම දේත් එය පමණයි. දැන් අපේ නියපොතු අම්බානක් ගෙවී ගොස් ඇති නිසා රට පුරා නියපොතු එකතු කර නියපොතු බැංකුවක් නිමවා මේ වාර්තාහසුන් කරුවන්ට නිසි පිළිතුරු ඔවුන්ගේ පශ්චාත්භාග කැසීමෙන් ලබා දීමට මම කටයුතු කරමි."

"හ්ම්.. හ්ම්... හොඳයි ...හොඳයි.... තව මොනවද අග්‍රපුරෝහිත නුඹ මේ වෙනුවෙන් සංවිධානය කර ඇත්තේ?"

"ස්වාමීනි. මම එසේ මෙසේ සංවිධායකයෙක් නොවෙමි. මෙවර මා ගාලුකොටුවේ විසිලක්ෂයක් ප්‍රතිමා පිහිටුවා ඔවුන් අතට විරෝධතා පත්‍රිකා දී අති දැවැන්ත උද්ඝෝෂණයක් පවත් වන්නට සියල්ල සූදානම් කොට ඇත්තෙමි. ඔබගේ නේප්‍රත්‍යාගාර මධ්‍යෙය් ඇති මහ විශාල කළු ගල කුඩා කැටිවලට කඩවා ඒවායෙන් ජනපදිකයන්ගේ ප්‍රතිමා නිර්මාණය කරවන්නට විසිදහසක ප්‍රතිමා ශිල්පකරුවන් පිරිසක් අතිකාල සහ අනෙකුත් සබ්සිස්ටැන්ස් යනාදී පහසුකම් දී රාජකාරී පවරා ඇත්තෙමි. ඔවුන්ගේ ප්‍රතිමා නිර්මාණය අහවර වූ විගස අපට එම ප්‍රතිමා ලව්වා ඇති තරම් උද්ඝෝෂණාදිය ඇවැසි තරම් කාලයක් කරවන්නට පහසුකම් ලැබෙන්නේය. ඉන්පසු අපට විරෝධතා වෙනුවෙන් අටකලම්පන්නයක් වියහියදම් නොවන්නේය. බස් පුරවා ජනපදිකයන් එතෙන්ට මෙතෙන්ට පොම්ප කරන්නට ඇවැසි නොවන්නේය. උන්ට බත්මුල් අරක්කු බෝතල් හෝ අතට මොණරකොල යනාදී දේ දෙන්නට සිදු නොවන්නේය. අපගේ සංවර්ධන සංග්‍රාමයේ දැවැන්ත මයිලයක් මේ ප්‍රතිමා කර්මාන්තයෙන් පසුව ලෝකයාට දකින්නට ද ලැබෙනු ඇති බැව් මගේ විශ්වාසයයි."

"අගෙයි පුරෝහිත හරිම අගෙයි! අති විශිෂ්ටයි!! ඉතිං.. ඉතිං... තව මොනවද සංවිධානය කරල තියෙන්නේ? කිව කිව මගේ ප්‍රීති ස්නායුව ජලකර බෝම්බයක් මෙන්
උද්ජ්වලිත වී ඇත."

"ස්වාමීනි.... මේ නම් අතිශය රහසකි. මෙය දැනට මා ඔබ වෙත ඉදිරිපත් කරන්නේ ඇත්ත වශයෙන්ම හෙට උදෑසන පුවත්පත් කතෘවරුන්ගේ සාකච්ඡා මේසයේදී ඔබ තුමා නිකම්ම නිකම් බබාපාට් දමන්නෙකු ලෙස ඔවුනට පෙනී යාම වලක්වා ගැනීමේ අභිලාෂයෙනි. මක් නිසාද යත් ඔතැනට එන නියපොතුකාරයන් ඔබතුමාගේ බබාටෝක් ඇසීමෙන් උන් ද උක්කුං පැටව් බවට පත් වී පුරු පුරු ගාමින් ඔබේ දෙපතුල සිට ගඳකිලිය දක්වා කසන්නට ගත් විට මගේ නියපොතු වලට රාජකාරි අඩුවන බැවිනි."

"අහා! පුරෝහිත කිව කිව සියලු රහස් මට කිව! පත්‍ර කතෘන්ගේ උදෑසන සාකච්ඡාව නිසා මගේ සෙම් කෝපයට ප්‍රත්‍යක්ෂ ඖෂධයක් ලැබෙන බැව් මගේ බඩියා ඩොට්ටර් කියා ඇති නිසාවෙන් නොවන්නට උන් හැත්තට උදේට උදේට පුවාලු ගිල්ලවන්නට මගේ කරණවෑමියාටවත් වියදම් නොදෙන්නෙමි."

"ස්වාමීනි මම 'ස්ලවෝ ජිජැක්' ගේ කුඩා පුතණුවන් යන මොන්ටිසෝරිය අන්තර්ජාලයෙන් සොයා ගත්තෙමි."

"මොකා? හාවො හිලක්? කොහෙද යකෝ හාවො හිල් තියෙන්නේ?"

"හාවො හිලක් නොවෙයි ස්වාමිනී ස්ලාවො ...ස්ලාවො ජිජැක්! අහල නැද්ද ස්වාමීනි? එයා කීවා කියල කීවොත් ඕන කුණුහබ්බයක් ඉහ මුදුනින් මුලු ලෝකෙම ඉන්න රාජ්‍ය නායකයන් පිළිගන්න බව අපේ රහස් පරීක්ෂක සමීක්ෂණ කණ්ඩායම ලිට්මස් පරීක්ෂණයක් කරල සොයා ගෙන තියෙනවා. ඉතිං මම ගැහැව්වා ප්ලෑනක්. ඒකයි මේ ඔබතුමාට කියන්න යන අතිශය විශ්මිත රහස...."

"හා... මන්දන්නෑ...ඕන පුකක් කියහං බලන්න තොපේ ඔය රහස. ඕකෙන්වත් වැඩකට ඇති වැඩක් වෙනවද කියල බලන්න...අම්මප තොපි සේරම මගේ බඩේ උපදින්න ඕන ලබන ආත්මේ...තොපිට කන්නයි- බොන්නයි- රෙන්නයි -ඇට බෝල ගහන්නයි මම අතදිග ඇරල වියදම් කොරන්නේ මේ සෙප්පඩ විජ්ජාවල් කරන්නද යකුණේ? තොපි සේරම මේ පාර මගේ සායම අරිනවා..."

"ස්වාමීනි බය වෙන්න එපා. මම ඊයේ වයර් දිගේ හංසයෙක් යැව්වා ඔය මොන්ටිසෝරියට. ඒකේ ජිජැක්ගේ පුතාට උගන්නන ටීචර්ව මෙහෙ ගෙන්ව ගන්නට සතියකට දෙකකට. තාම මේ එස්එම්මෙස් එකක් එනකං මේ බලං ඉන්නේ...එයා ආවොත් මහ රජතුමනි ගේම ගොඩ!"

"මොන්ටිසෝරී ටීචර් ගෙන්වන්න හංසයෙක් යැව්වා? තෝ බාබකියු දමන්නයි වටින්නේ...!! කවුද යකෝ හංස නෙට්වර්ක් එක පාවිච්චි කරන්නේ රාජ්‍ය තන්ත්‍රික වැඩ වලට?"

"අහා සොරි සොරි රජතුමනි. මේ හදිසියට කොරහෙත් අත දාගන්න බැරිව යනවා ස්වාමීනි. ඒක ප්‍රිංටිං මිස්ටේක් එකක්. අපි හංසයෙක් නොවෙයි යැව්වේ මහ රජතුමනි. වංසයෙක්. හොඳ වංසෙක එකෙක්... ඒකයි මට මේ අපැහැදිලි කමට දැක්කේ හංසයෙක් වගේ...හරි ස්වාමීනි."

"ඉතිං මොටද ඔය මොන්ටිසෝරි ටීචර් කෙනෙක් එහෙන් ගෙන්වන්නේ මෙහේ ඔය ඕන තරම් මොන්ටිසෝරි චීචර්ලා ඉන්නේ...යකෝ මගේ සල්ලි තොපි තවාං දමං වවං කනවද?"

"අපොයි ස්වාමීනි ඔබතුමාට මේක තවම තේරුණේ නැහැ. අපිට ස්ලාවො ජිජැක් වගේ කෙනෙක් මේ කපේදි අන්දන්න බෑ. අන්දන්න තියා අන්දන එක ගැන හිතන්නවත් බෑ. ඒ
හින්දා ඒ වගේ කෙනෙක්ගෙන් මේ වාර්තාවට උත්තරයක් බන්දවගන්න ලැබෙන්නේ නෑ. නමුත් නමුත්..."

"නමුත් නමුත් ඉතිං කියපිය..කටේ පිට්ටුද?"

"නමුත් ස්වාමීනි අපිට 'ලෝකල් ජිජැක්ලා' කීප දෙනෙකු හයර් කරල මේ වාර්තාවට උත්තරයක් විදියට තව වාර්තාවක් ලියවගෙන ඒකට අපි දානවා මේ මොන්ටිසෝරි චීචර්ගේ නමත් අයිනකින්...'ස්ලාවො ජිජැක්ගේ පුතාගේ මොන්ටිසෝරියේ ආචාර්ය ....' ඔන්න ඔහොම. එතකොට වාර්තාව දකින ඕන කෙනෙකුට පේන්නේ ස්ලාවෝ ජිජැක් කියන නම නොවැ ඉස්සෙල්ලම...වැඩේ ගොඩ යනවා. ස්ලාවො ජිජැක්ගෙ නම දැක්කම ඕන පකීර්කෙනෙක් නැට්ට දෙපරන්දේ ගහගන්නවා."

"අම්මප ඔය හාවෝ ජිජැක්ට උපදේශක කමක් දීලා මගේ සී මැදුරු කවුළුවේ කර්ට්න් එක අස්සෙන් තියා ගන්න බැරිද බං?"

"බැරි වෙන එකක් නෑ ස්වාමිනි. අපි ට්‍රයි එකක් දෙමු. ඒ හාදයා කියන කිසිම දෙයක් කාටවත් තේරෙන්නේ නෑ ස්වාමීනි. ඒ හින්ද මුලු ලෝකෙම ඉන්න අය හිටු කියල ඒ යකා ලියන පොත් අරගෙන කියවන්න ට්‍රයි කරනවා. අපෙත් ඉන්නවා ජිජැක්ට එහා අය මහ රජතුමනි. කොහෙද මහ රජතුමා භාණ්ඩාගාරේ දිහා බලං හූල්ලනවා මිසක් රටේ තොටේ ඉන්න එක මකබාවෙක් දිහා ඇහැක් ඇරලා බලනවයි..."

අග්‍රපුරෝහිතයා මාපටැඟිලි හතරම එකවර මුව තුළ ඔබාගෙන හුකු හුකු හඩින් නිවට ලෙස සිනා පෑවේය.

"මොනවා? ඒ වගේ මෙලෝ යකෙකුට නොතේරෙන දේවල් කියවන ඇවුන් මෙහෙත් ඉන්නව ද? මම හිතං හිටියේ උන් ටික සේරම මා ගාව උපදේසක කම් කරනවා කියලයි."

"ඔව් ස්වාමීනි. මම එයින් දෙතුන් දෙනෙකුට කතා කරලා බලලා තමයි මේ මොන්ටිසෝරි චීචර් මෙහෙ ගෙන්වන ප්ලෑන් එක ගැහැව්වේ...ස්වාමීනි.. මෙවුන් කතා කරන්න ගන්නවා අමුතු බාසාවක් ... අම්මප අත්ත මුත්ත කාලේකවත් අහපු නැති වචන සම්බාරයක් දමලා මොලේ කොලොප්පං කොරෝනවා... ස්වාමීනි මුං සෙට් එකක් දමලා මේ වාර්තාවට උත්තර බැංදොත් එහෙම නම් අපට නොබැල් සම්මානයකුත් ලැබෙනවා භෞතික විද්‍යාවට 2011!"

"යකෝ මට මේ ටික කලිං කියන්න එපැයි. කෝ දැං උන්දැල ටික? ගෙන්වනවා අද රෑට මගේ රාත්‍රී භෝජනයට"

"අපොයි ස්වාමීනි...උන් ටික රාත්‍රී භෝජනයට ගත්තම වාර්තාව ලියන්නේ කවුද?"

"බූරුවො! මම කීවේ රාත්‍රී භෝජනයට ආරාධනා කරන්නැයි කියල මාත් එක්කල සතුටු සාමිචියේ රෑ කෑමක් කන්න...තොට අන්තකයිප්පු කැවිලයි?"

********

"මෙහෙමයි මෙතන වෙලා තියෙන්නේ සංකේතීය ගැටුමක්. රියල් රියල් එකයි සිම්බෝලික් රියල් එකයි වෙන් වෙන තැනින් තමයි ඉමැජිනරි රියල් එක පොලා පනින්නේ. මේකේ මුල තියෙන්නේ පරිකල්පනීය අවකාශයේ. ඉමැජිනරි ස්පේස් එකේ. ඇත්තම කියනවා නම් ඊඩිපල් බැඳුම් ඔස්සේ ලිහි ලිහී එන ප්‍රාග් පූර්වජ පියා ගේ බලපෑම. එයා තමයි මහ පොලොව එහි ජීවත් වන සියලේම තනි භුක්තිකරු. ගැහැණු පිරිමි භවභෝග කිවිසුම් වාත බැක්ටීරියා වෛරස් මේ සියල්ලේ තනි අයිතිකරු. දෙවියන් කියලා නැවත පරාරෝපිත මේ සංකල්පයම තමයි බයිනරි ඔපෝසිෂන් වෙලා පරාවර්තනය වෙන්නේ උපවිඥානයේ. ඇත්තටම කියනව නම් අයින්ස්ටයින් ඉස්සෙල්ලම ෆොර්මියුලේට් කලේ අවකාශය වක්‍ර වෙන්නේ පදාර්ථය නිසා කියලයි. පස්සේ අයින්ස්ටයින්ම ඒක අනිත් පැත්ත ගැහැව්වා. එයා කියන්න ගත්ත අවකාශය වක්‍රයි ඒ හින්දා අපට පදාර්ථය කියල දෙයක් විශය වෙනවා කියලා. ඒ කියන්නේ පදාර්ථය අවකාශයේ වක්‍රබවේ ප්‍රතිඵලයක් මිසක් අවකාශය වක්‍ර වෙන්නේ පදාර්ථය නිසා නොවෙයි කියන එකයි. එතකොට ෆ්‍රොයිඩ් කළෙත් අන්න ඒ විදියේම කණපිට ගැහිල්ලක්. එයා කීවේ සයිකෝසියාව නිසා කෙනෙක්ගෙ සංකේත පිළිවෙල වෙනස්ව හැදෙනවා කියල නොවෙයි සංකේත පිළිවෙල වෙනස්වීම නිසා සයිකෝසියාවක් බවට එයාගේ වාග් අවකාශය වක්‍ර වෙලා ඩිස්ටෝට් වෙනවා කියන එකයි. මෙතන දී අපට මේ වාර්තා හසුන ගත්තයි කියල වෙනසක් නෑ. ඒකේ රිවර්සල් එක තමයි බයිනරි ඔපෝසිෂන් වෙලා එන්නේ. එතකොට සුපිරි අහම තමයි මේ සංකේතීය පිළිවෙල බිඳලා විනෝද වන ලෙස අණ කරන අතාත්වික තලයේ ක්‍රියාත්මක වෙන ආශාවේ වස්තුවේ ප්‍රතිබිම්බයේ පරාවර්තනයේ සංකේතනයේ......

මහරජුගේ දෙකංසයෙන් කස්තුරි දියවී වැක්කෙරෙන්නට විය.....!

"හා හා ඇති ඇති පුතා කන්න මේ රත්න මාලුවක්... බොන්න මේ සව් වීදුරුවක්. අග්‍රපුරෝහිත හරිගස්සහං මගේ සරමේ වළාපොට ඩිංගක්..."

මේ සියලු කතෝපකතනයන් රජවාසල පිළිකන්නේ සිට වැහිවතුර නලයක් ඔස්සේ සවන් දී සිට රාත්‍රී භෝජනාගාරයට හදිසියේම දුව ආ ඇක්සන් මල්ලී.....

"දෙන්නද මහරජ අයියේ කලාවෙනුත් මේ වාර්තාවට පිළිතුරක්?"

රොහාන් රණවීර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails