Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



සාධාරණ යුද්ධයට වඩා අසාධාරණ සාමය වටින්නේ යැයි කියමනක් තිබේ. එල්ටීටීඊ ය කිසි විටෙක එය තේරුම් නොගත් අතර අවසානයේ දී දැවැන්ත විනාශයකින් සහ නෑසූ විරූ පරාජයකින් ඊට වන්දි ගෙවූයේ ය. ශ්‍රී ලංකාණ්ඩුව රාජපක්ෂ පාලනය යටතේ එය පිළිගත්තේ ද නැත. දැන් ශ්‍රී ලංකාණ්ඩුවටද එහි ජනයාට ද එළඹ තිබෙන්නේ යුද්ධයේ ඇත්ත යථාර්තයට මුහුණ දීමේ අවස්ථාව යි. ශ්‍රී ලංකාවේ යුද්ධයේ අවසාන අදියරෙහි සිදු වූ බව කියන-

මානව හිමිකම් කෙළෙසීම් ගැන සෙවීමට ස්වාධීන පරීක්ෂණයක අවශ්‍යතාවය සම්බන්ධයෙන් ජනාධිපති රාජපක්ෂ සහ මහ ලේකම් බැං කී- මූන් ඒකාබද්ධ ප්‍රකාශණයක් මගින් එකඟ වුයේ යුද්ධය නිල වශයෙන් අවසන්ව සතියක් ගෙවීමටත් පෙර එනම් 2009 මැයි 25 දා ය. ශ්‍රී ලංකාණ්ඩුව ඒ අනුව යමින් ස්වාධින පරීක්ෂණයකට ඉඩ දෙනු වෙනුවට පත් කළේ තමන්ගේ රාජ්‍ය නිලධාරීන්ගෙන් සමන්විත කොමිසමකි. බැං කී- මූන් සිය කොමිසම පත් කළේ අන්තර් ජාතික පිළිගැනීමක් ඇති විද්වත් කමිටුවක් ලෙස ය.

යුද්ධයේ දී සිය හමුදා විසින් එකද සිවිල් වැසියකු හෝ නොමරන ලද බවට සහතික කළ නමුත් රාජපක්ෂ ආණ්ඩුව එජා මහලේකම් කමිටුවට ශ්‍රී ලංකාවට පැමිණ කරුණු සොයා බැලීමට ඉඩ දුන්නේ නැත. එම කමිටුව හමුවී තමන්ගේ කරුණු ඉදිරිපත් කළේ ද නැත. ඒ අතර ජනාධිපති රාජපක්ෂ පත්කළ කොමිසම ආණ්ඩුවේ ප්‍රචාරකයින් විසින් 2002 - 2004 සාම ගිවිසුමට එරෙහි වේදිකාවක් බවට හරවන ලදී. එජා මහලේකම් කමිටුව සිය වාර්තාව මගින් "ශ්‍රී ලංකාණ්ඩුව ද එල්ටීටීඊය ද මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ කර ඇති බවට පිළිගත හැකි කරුණු ඇති බවත් ඒවා සනාථ වන්නේ නම් යුද අපරාධ ගණයේ සැළකිය යුතු බවත්" කියා සිටියා ය.

එය මෙසේ කිය යි: "යුද්ධාවසානයෙන් දෙවසරකට පසුත් ශ්‍රී ලංකා ආණ්ඩුවේ ප්‍රයත්නයන් අන්තර් ජාතික ප්‍රමිතීන්ට වඩා බොහෝ පහත් ය .. එය ඒකාබද්ධ ප්‍රකාශණය හෝ ශ්‍රී ලංකාවේ නීතිමය බැදීම් ඉටු කිරීමට අසමත්ව ඇත... වගවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ වත්මන් ප්‍රවිශ්ඨය අන්තර් ජාතික ප්‍රමිතීන්ට අනුකූල නැත. .. වැලිත් සිය පුරවැසියනට දැවැන්ත හානියක් සිදුකළේ ය යන්න දිගටම ප්‍රතික්ෂේප කිරීම විසින් ආණ්ඩුව වගවීම අරභයා මහත් අවරෝධයක් ඇති කරයි"

ශ්‍රී ලංකාණ්ඩුව සම්බන්ධයෙන් පිළිගත හැකි යැයි එය විසින් දක්වා ඇති චෝදනා ප්‍රභේද පහකට අයත් අතර එල්ටීටීඊ ය සම්බන්ධයෙන් එම වෝදනා ප්‍රභේද හයකට අයත් ය. ප්‍රභාකරන්ගෙන් පසු එල්ටීටීඊ නායකත්වයට පත් කේ. පී නොහොත් සෙල්වරාසා පත්මනාදන් සහ ප්‍රභාකරන්ගේ නියෝජ්‍ය සන්නද්ධ නායකයා වූ කරුණා අම්මාන් නොහොත් විනායගමූර්ති මුරලිදරන් අද ශ්‍රී ලංකාණ්ඩුවේ කොටස්කරුවෝ වෙති.

සති දෙකක් ගතවීමෙන් පසුත් එජා මහලේකම්ගේ මෙම විද්වත් කමිටු වාර්තාවට විධිමත් පිළිතුරක් දී නැති ශ්‍රී ලංකාණ්ඩුව සිටින්නේ රට පුරා බැං කි- මූන් විරෝධි උද්ඝෝෂන පවත්වමිනි. මෙම වර්ධනය විසින් එකවරම පෙන්නුම් කරන්නේ අන්තර් ජාතික වශයෙන් ශ්‍රී ලංකාව පිළිබඳව පැන නැගී ඇති බරපතල ප්‍රශ්ණ වලට මුහුණ දෙනු වෙනුවට එම තත්ත්වය රට තුළ සිය බලය තහවුරු කර ගැනීමේ සහ විපක්ෂය දුර්වල කිරීමේ අවස්ථාවක් ලෙස රාජපක්ෂ පාලනය සළකන බවයි.

එජා කමිටු වාර්තාවේ සදහන් ප්‍රථම නිර්දේශය "ශ්‍රී ලංකාණ්ඩුව ස්වාධීන පරීක්ෂනයක් මගින් මෙම චෝදනා විමර්ශණයට ලක් කළ යුතු ය" යනු ය. එබැවින් දැන් ඉස්මත්තට පැමිණෙනු ඇත්තේ එම නිර්දේශයට සාධනීය ප්‍රතිවාරයක් දක්වා තමන් නිර්දෝශී නම් ඒ බව සනාථ කිරීමට රාජපක්ෂ පාලනය සූදානම් නැත්තේ මන්ද යන සාධාරණ ප්‍රශ්ණය යි.

මෙම වාර්තාව මගින් ඉස්මතු කරනු ලබන හිමිකම් කෙළෙසීම්වලට ලක්වූයේ මූලික වශයෙන්ම දෙමළ ජනතාවයි. එබැවින් අන්තර් ජාතික මෙන්ම දේශීය වශයෙන් ද වැදගත් වන්නේ සිංහල ජනයා විදී කරා ගෙනෙවිත් පවත්වන උද්ඝෝෂන නොවේ. දෙමළ ජනයා මෙන්ම ඔව්න්ගේ දේශපාලන පක්ෂ විශේෂයෙන්ම ආණ්ඩුවේ කොටස්කරුවන් නොවන දෙමළ දේශපාලන පක්ෂ දරන ස්ථාවරය යි.

දෙමළ ජනයා අතර වැඩිම ජන්ද බලයක් ඇති ආණ්ඩුව පවා දේශපාලන විසදුමක් සම්බන්ධයෙන් සාකච්ජා ආරම්භ කර ඇති දෙමළ ජාතික සංන්ධානය ප්‍රකාශයක් නිකුත් කරමින් මෙම වාර්තාව පිළිගත්තා පමණක් නොව එහි නිර්දේශ කි්‍රයාත්මක කරන ලෙස ද ඉල්ලා සිටියා ය. එය කියා සිටියේ දෙමළ සිවිල් ජනයා ආරක්ෂා කිරීමට තිබූ වගකීම නොසළකා රජයේ හමුදා දෙමළ ජනයා මත බෝම්බ හෙලු බව යි. කාලකුවක්කු සහ මල්ටි බැරල් ප්‍රහාර දියත් කළ බව යි. එමගින් දස දහස් ගනනාවක් දෙමළ ජනයාට මරණය සහ තුවාල ගෙන ආ බව යි.

දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ නායක ආනන්ද සංගරී ජනාධිපතිවරයා වෙත ලියුමක් යවමින් මෙසේ කීවේ ය: "යුද සමයේ දහස් ගණනාවක් ජනයා මිය ගිය බව කිසිවකුට ප්‍රතික්ෂේප කල නොහැක. ඊට බොහෝ කරුණු බල පෑවේ ය. එය එසේ සිදුවූයේ ඇයි? මේ සියළු කරුණූ හෙළිදරවි විය යුතු ය." යුද හමුදා ප්‍රහාර මගින් වන්නියේ රොහල්හි ප්‍රතිකාර ලබමින් සිටි ජනයා මිය ගියේ යැයි ද ඔහු එම ලිපිය මගින් කියා සිටී. රෝහල් මත ප්‍රහාර එල්ල කිරීම යුද සැළකෙන්නේ යුද අපරාධයක් ලෙස ය.

තවත් දෙමළ දේශපාලන පක්ෂ දෙකක් එනම් හිටපු පා. ම. එම්. කේ. සිවාජිලිංගම් නායකත්වය දරන දෙමළ ජාතික විමුක්ති සන්දානය සහ හිටපු පා. ම. ගඡේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් නායකත්වය දරන දෙමළ ජාතික මහජන පෙරමුණ ද පුවත්පත් ප්‍රකාශ නිකුත් කරමින් කියා සිටියේ තමන් එජා මහලේකම් වාර්තාව පිළි ගන්නා බවත් දෙමළ දේශපාලන පක්ෂ එකමුතුව මෙම අවස්ථාවට මුහුණ දිය යුතු බවත් ය.

මේ අතර සිය අත්සන් සහිතව ප්‍රකාශයක් නිකුත් කළ දෙමළ කිතුණු නායකයින් ප්‍රමුඛ කණ්ඩායමක් එජා මහලේකම් වාර්තාවෙහි එන කරුණු සනාථ කැරෙන සිය අත්දැකීම් දක්වමින් කියා සිටියේ "සත්‍ය කියා සිටීම මගින් ශ්‍රී ලංකාවේ පශ්චාත් යුද්ධ සංවර්ධනයට බාධා පැමිණෙන බවට ඇති තර්කය තමන් පිළි නොගන්නා බවත් සත්‍ය කියා සිටීම ඒ සඳහා අත්‍යවශය වන බවත් ය."

එක දෙයක් පැහැදිළි ය. ශ්‍රී ලංකාවේ බහුතරය වන සිංහලයින් මත පදනම්ව ඇති දේශපාලන පක්ෂ මහලේකම් වාර්තාව පිළි නොගන්නා අතර දෙමළ දේශපාලන පක්ෂ සහ සිවිල් සමාජය එය පිළි ගනී. පශ්චාත් යුද සමයේ වර්ධනය වෙමින් පවතින දේශපාලනයේ වාර්ගික ධ්‍රැවීකරණය මෙම වර්ධනය විසින් පැහැදිලිව පෙන්වාලයි. මෙරට දෙමළ ජනයා ද දෙමළ දේශපාලනය ද මෙම වාර්තාව සළකනු ඇත්තේ තමන් මත පතිත වූ භයංකර යුද්ධයේ පිටපතක් ලෙස මිස ව්‍යාජ වාර්තාවක් ලෙස නොවේ. අප එම සත්‍යට මුහුණ දිය යුතු ය.

1971 දී සහ 1987-89 දී දකුණේ සිදු වු ජන සංහාරයන් අත් දැක ඇති සිංහලයින් 2009 දී වන්නියේ එවැනි සංහාරයක් සිදු වන්නට ඇතැයි පිළිනොගන්නේ මන්ද? එම සංහාරයට ගොදුරු වූයේ දෙමළ ජනයා වීම නිසා ද? එසේ නැත්නම් රණකාමී යුද්ධ ඝෝෂාව විසින් මන්මත් කරවනු ලැබ ඇති නිසා ද? ඊට හේතුව කුමක් වුවත් එහි ප්‍රතිපලය වනු ඇත්තේ සිංහල දේශපාලනය කෙරෙහි දෙමළ ජනයා තුළ ඇති අවිශ්වාසය තහවුරු වීමයි.

1971න් පසු හෝ 1989න් පසු හෝ සිදුවු ජන ඝාතනයන් සම්බන්දයෙන් විදිමත් සොයා බැලීමකට සහ ප්‍රතිකර්ම සෙවීමකට අප සමාජයක් වශයෙන් ගමන් කළේ නැත. අවසන් යුද සමයේ ශ්‍රී ලංකාවේ එජා ප්‍රකාශක වශයෙන් සිටි ගොර්ඩන් වයිස් පෙන්වා දෙන්නේ එම පසුබිම තුළ 2009 සිදුවූ යුද අපරාධ පෙර දැකිය හැකිව තිබූ බව යි. කිසිදු නීතියක් නොසළකා මරා දැමීම 1971 සිටම ශ්‍රී ලංකා රාජ්‍යයේ පිළිවෙත බවට පැමිණ තිබූ අතර ජන ඝාතනයන් සම්බන්දයෙන් කිසිදු වගවීමක් තිබුණේ නැත.

යුද්ධයේ ඇත්ත ස්වභාවය දැක ගැනීමට නම් අප කළ යුත්තේ අද ශ්‍රී ලංකාවේ පවත්නා නීතියක් නැති පාලනය දෙස බැලීමයි. බලහත්කාර නගර පවිත්‍රකරණය දෙස බැලීමයි. පොලිස් මිනීමැරුම් දෙස බැලීම යි. යුද්ධවසානය විසින් ශ්‍රී ලංකාවට ප්‍රජාතන්ත්‍රවදය හෝ ආර්ථීක සමෘද්ධිය ගෙනැවිත් නැත. නීතියේ පාලනයට සහ ප්‍රජාත්නත්‍රවාදී පාලනයට මරු පහරක් වූ 18වන ව්‍යවස්ථා සංසෝධනය වරදක් බව අගවිනිසුරුවරයා පවා දැන් බීබීසී සන්දේශයට ප්‍රකාශ කර තිබේ.

මෑත පළ කෙරුණු ලෝක සමීක්ෂනයක් කියන්නේ තමන් ආර්ථීක වශයෙන් සංවර්ධනය වෙමින් සිටින බව කියා සිටින්නේ ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සියයට 5 පමණක් බවයි. සියයට 75ක්ම තමන් ජීවිතය ගැට ගසා ගැනීමට අරගල කරමින් සිටින බවත් සියයට 20ක් තමන් ඉතා දුක්බරව ජීවත්වන බවත් එම සමීක්ෂණයට පවසා තිබේ.

අවසන් යුද්ධයේ දී සිය හමුදාවෙහි 6000ක් මිය ගොස් 10,000ක් දරුණු තුවාල ලද බවත් 30,000ක් තරම් එල්ටීටීඊකරුවන් මිය යන්නට ඇති බවත් ආරක්ෂ ලේකම්වරයා පසුගිය දා ප්‍රකාශ කළේ ය. ඉන් පෙනෙනේනේ යුද වැදුණු පිරිස් ම 40,000ක් පමණ මිය ගිය බව යි. එජා මහලෙකම් වාර්තාව කියන්නේ සිවිල් ජනයා 40, 000 තරම් මිය යන්නට ඇති බවයි.

ඒ අනුව අවසන් යුද්ධය ජීවිත 80,000 පමණ බිලි ගෙන ලක්ෂ ගණනාවකගේ ජීවිත අපා දුකට ඇද දෑමූයේ ය. පශ්චාත් යුද්ධ ශ්‍රී ලංකාව ගමන් කරන්නේ ප්‍රජාත්ත්‍රවාදයෙන් පිටතට මය. අත්තනෝමතික පාලනයකට ය. සැබෑ දේශපාලන විසදුමක් ද නිදසක්ද නොලද දෙමළ ජනයා වඩ වඩා ශ්‍රී ලංකා රාජ්‍යයෙන් දුරස් වෙමින් සිටී. ශ්‍රී ලංකා ආණ්ඩුව ද (එල්ටීටීඊය ද) යුද අපරාධ චෝදනාවන්ට ලක්ව සිටී. දැන් අප යලිත් ඇසිය යුත්තේ මුලින් සදහන් ප්‍රශ්ණය යි.

ශ්‍රී ලංකාවට මෙම යුද්ධය සාකච්ජා මාර්ගයෙන් විසදා ගැනීමට අවස්ථාවක් තිබුණේ ම නැත් ද? දීර්ඝ කාලීන වුවත් සාම ප්‍රයත්නයක් මගින් ශ්‍රී ලංකාවට යහපත් අනාගතයක් ලබා දීමට ඉඩ නොතිබිණි ද? ප්‍රජාතන්ත්‍රවාදය සහ වගවීම කරා මාර්ගය තිබුනේ සාකච්ජා මාර්ගික විසදුමක් හරහා ද? යුද්ධය හරහා ද?

[පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්]
[රාවය 01.05.2011]

සුනන්ද දේශප්‍රිය



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails