Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



මෝසම් වැසි සහ ඝන නීල තුරුලතා ගහන වියට්නාමය, පසුතලය කර ගත් 'ද සෙන්ට් ඔෆ් ග්‍රීන් පැපායා' චිත්‍රපටිය අපට කියන්නේ සින්ඩරෙල්ලා කථාවකි. එය යුරෝපීය සින්ඩරෙල්ලා කථාවක් නොව මෝසම් ආසියානු සින්ඩරෙල්ලා කථාවකි. දිය සීරාව, පැපොල් ගස් හා මැඩි, පළඟැටි සත්තු මේ සින්ඩරෙල්ලාගේ සොබාවික විශ්වයට ඇතුළත් වන අතර ඇගේ සමාජ විශ්වය නිමවනු ලබන්නේ දිළිඳුකම,-

පංති විෂමතාව සහ කටුක ළමා ශ්‍රමය මගිනි. චිත්‍රපටිය ආරම්භ වන්නේ මුයී නම් වූ දිළිඳු ගැමි දැරියක් බොහෝ දුරක් ගෙවා පයින් සයිගොන් (වර්තමාන හෝ චිං මිං නගරය) නගරයේ ධනවත් මැඳුරක මෙහෙකාරකමට පැමිණීමෙනි. එය ධනවත් පවුලක් වුවත් සිය පුද්ගලික පරිභෝජනය වෙනුවෙන් තිබෙන ධන අතිරික්තය කුඩා ය. එයින් පෙන්නුම් කරන්නේ චිත්‍රපටියට පාදක කරගෙන තිබෙන හතළිහ දශකයේ වියට්නාම් ධනවාදයේ හැඩරුව විය හැකි ය. නිවස දැවයෙන් තනා තිබේ.

කරුණාවන්ත සහ වේදනාබර ස්වාමිදුව සහ තවත් මෙහෙකාරියක යටතේ කුඩා දැරිය වැඩ කිරීමට පටන් ගන්නීය. ඉවුම් පිහුම් පමණක් නොව අතින් පොළොව මැදීම වැනි අලාමක වැඩවල නිරතවීමට ඇයට සිදු වේ. ඉවීම, පිරිසිදු කිරීම, ආහාර අනුභවය, නිදා ගැනීම වැනි මූලික මිනිස් ක්‍රියාවන් වෙත අවධානය යොමු කිරීම මගින් වියට්නාමයට ආවේනික සහල් සහ උණ බම්බු සංස්කෘතිය පිළිබඳ මනෝභවයන් අවදි කරන්නට චිත්‍රපටිය සමත් වෙයි. එය කැහැටු මිනිසුන් වෙසෙන, බට පැලැල්ලකින් මෙන් සමාජ ජීවිතය විනිවිද පෙනෙන දිළිඳු දේශයකි.

ස්වාමිදුව, රෙදි වෙළඳොමක නිරතව සිටින අතර සැමියා නිද්‍රාශීලීත්වයට විවේකයට සහ සුශිර සංගීතයට බර වුණු ජීවිතයක් ගත කරයි. පවුලේ ආර්ථීකය ශක්තිමත් නැත. සැමියා දෙබිඩි චරිතයකි. ඔහු තම බිරිඳගේ කනකර සහ මුදල් රැගෙන අතුරුදන් වෙයි. ස්වාමිදුව ගෙදර මෙහෙකාරියන් දෙදෙනාගේ කුස පුරවන්නේ අපහසුවෙනි.


මහ පවුලේ අධ්‍යාත්මික ලෝකය සැබැවින්ම දෙදරා ගොස් ඇති අතර පවුලේ අධ්‍යාත්මික ලෝකයේ නටබුන් ආරක්ෂා කැරෙන්නේ ස්වාමිදුව සහ ඇයගේ මහළු මව විසිනි. ඒ මහළු අම්මා මිය ගිය තම සැමියා වෙනුවෙන් ආගමික කටයුතුවල නිරත වී සිටින්නීය. නිවසේ මැණික ලෙස ජීවත් වුණු කුඩා දියණිය මිය ගොසිනි. මේ නිසා ස්වාමිදුවට සිය කුඩා මෙහෙකාරිය තුළින් පෙනෙන්නේ ද මියගිය තම සුන්දර දියණියයි.

සමාජ පරිසරය තුළ ඇත්තේ ශෝකාකූල විදග්ධභාවයකි. එය සිනමාත්මක වශයෙන් පමණක් නොව සාහිත්‍යමය වශයෙන් ද ගොඩනංවනු ලැබූවකි. ගාබ්‍රියෙල් ගාර්ෂියා මාර්කෝස්ගේ කොලරා කාලේ ආලය නවකථාවේ ෆ්ලොරොන්තීනෝ අරීසා වැනි මහලු පෙම්වතෙක් ස්වාමිදුවගේ මහලු මව කෙරෙහි අකාලික ඇල්මකින් ජීවත් වේ. එය පරාජිත මහලු ප්‍රේමයකි. ඒ මහලු පෙම්වතිය ඔහුගේ ෆර්මිනා ඩාසා ය. එනයින් ගාබ්‍රියෙල් මාර්කෝස්ගේ කොලොම්බියානු ලෝකයේ වියට්නාම් අනුවර්තනය චිත්‍රපටිය තුළ අපට දැකිය හැකිය. දකුණු ඇමරිකානු නිවර්තන කලාපය සහ ආසියානු නිවර්තන කලාපය අතර භෞමික සහ මානව සමතාවක් ගොඩ නැඟීමට චිත්‍රපටිය උත්සාහ කරයි. මේ කලාප දෙකම ඇමරිකානු ආධිපත්‍යයෙන් මෙන්ම යුරෝපීය අධිරාජ්‍යයන්ගෙන් ද පීඩාවට පත් රටවලින් සමන්විත බව කල්පනා කරන විට මේ සංසන්දනය තුළ සැඟවුණු දේශපාලන යථාර්ථයක් අපට හඳුනාගත හැකිය. මෙම චිත්‍රපටිය වියට්නාම් බසින් නිපදවන ලද ප්‍රංශ චිත්‍රපටියක් බවත්, වියට්නාම් ප්‍රභූ නිවසක් ප්‍රංශයේ ඉදි කොට රූපගත කර තිබෙන බවත් සිහිපත් කළ මනාය. මේ චිත්‍රපටියේ අධ්‍යක්ෂවරයා වන ට්‍රාන් ඇං හුං වියට්නාමීය - ප්‍රංශ පුරවැසියෙකි. 1975 දී සයියොන් නගරය වියට්කොං හමුදා සතු වූ විට ප්‍රංශයට පලා ගිය පවුලක සාමාජිකයකු වූ ඔහු තම වියට්නාම් බිරිඳ ද මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතය ලෙස යොදා ගෙන තිබේ.


පැපායා චිත්‍රපටිය අවසන් වන්නේ යටකී දැරිය එම නිවසට ආ ගිය ධනවත් සංගීතඥයකු සමග හාදවීමෙනි. ඇය එම නිවසේ මෙහෙකාර කමට යන අතර කූයෙන් නමැති එම සම්භාව්‍ය පියානෝ වාදකයා ඇගේ ඇසුර පතයි. ඔහු නිසා ඇය ගැබ්බර වන්නීය. ඔහු ඇයට අකුරු උගන්වයි. චිත්‍රපටිය අවසන් වන්නේ ඇය තම කුසේ සිටින දරුවාට ඇසෙන සේ පොතක් හඬ නඟා කියවීමෙනි.

කුරිරු යුද්ධයක් නිවී ගිය ගිනිදැල් මැදින් ඉපදුණු මේ වියට්නාම් සිහින කුමරිය පශ්චාත් - යුද වියට්නාමයේ ධනේශ්වර ෆැන්ටසිය බව කිව මනා නොවේ. මුළු චිත්‍රපටිය පුරා පංති විසමතාව සවිස්තරාත්මක ලෙස නිරූපණය වන අතරේ වියට්නාම් ගැහැනිය ඒ සියල්ල අතික්‍රමණය කරන්නීය. ඇය වියට්නාම් පිරිමියාගේ සිහින දෙව්දුවයි. ඔහුගේ සිහිනය වෙනුවෙන් ඇය ඔහුගේ මැදුරේ බැලමෙහෙවර කරයි. ගස්ලබු සුගන්ධය සහිත සොබාදහම් තුරුල්ලේ නිදයි. ඔහු හමුවන තුරු ඇය සාක්ෂරතාව පවා නැති හද්දා පිටිසර මෝඩියෙකි. එමෙන්ම පිවිතුරු කන්‍යාවියකි. මදුරු දැල යට නිදා ගන්නා නිසා ඇයට මදුරුවකුගෙන්වත් තුවාලයක් සිදු වී නැත. එනමුත් වියට්නාම් පිරිමියා ඇය වැන්නියක පතන්නේ ඔහුගේ සිහින ලෝකයේ දී පමණි. පහළ පංතික ගැහැනිය ඔහුට දැරිය නොහැකි වියදමකි. ඔහු ඡේන් ඔස්ටීන්ගේ ප්‍රයිඩ් ඇන්ඩ් ප්‍රෙජුට්ස් නවකථාවේ එන කර්නල් ෆිට්ස්විලියම් කෙනෙකි. එබැවින් පැපායා කුමරියක වියට්නාම් සිනමාව තුළට ප්‍රවිෂ්ට වන්නේ පශ්චාත් යුද සමාජයේ ධනේශ්වර පිරිමියා වෙනුවෙනි. ප්‍රාග්ධනය ඉදිරියේ පිරිමි පෞරුෂයේ ඒකාබද්ධතාව රැක ගැනීම සඳහා ඔහුට පැපොල් කුමාරියක වුවමනා වේ. ඇය නොමැති තැන ඔහුට ප්‍රාග්ධනය සහ ගැහැනිය සමග එක යහනේ රමණය කළ නොහැකිය. ප්‍රාග්ධනයේ කුමරිය අවාහ කර ගන්නා වියට්නාම් ධනේශ්වර කුමරා පැපොල් කුමරියගේ ෆැන්ටසිය තුළ සිය ලිංගිකත්වයේ ඉතිහාසය සටහන් කරයි. වියට්නාම් සිනමාවට ද ස්වකීය සිනමාත්මක ව්‍යුහය ගොඩනගා ගැනීම සඳහා පැපොල් කුමාරියක වුවමනා වේ. වියට්නාම් සිනමාවේ ලිබ්ඩෝ ආර්ථීකය මහ බැංකුව ඇයයි. ජනප්‍රිය සිනමාව තුළ කවදත් ජීවත් වූ ඇය මෙලෙස කලාත්මක සිනමාවට ද අවතීර්ණ වන්නේ ජාතික බුද්ධිමතාව ද ඇයගේ ෆැන්ටසි පහස වුවමනා බැවිනි. ඇය විසින් නියෝජනය කරනු ලබන්නේ පැරණි වියට්කොං දේශපාලනයේ ප්‍රතිවාදී චින්තනයය. ඇය ධනේශ්වර වියට්නාමයේ ස්ත්‍රී ප්‍රතිමාවයි.

[රාවය| චැප්ලින් කොලම]

එරික් ඉලයප්ආරච්චි



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails