Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



"යුධ පිටියේ මිය යන සොල්දාදුවන් දිව්‍යලෝකයේ නැවත උපදිනවාදැයි එක් යුධ වීරයෙක් විසින් බුදු රජාණන් වහන්සේගෙන් විමසයි. ඊට පිළිතුරක් නොදුන් බුදුන් වහන්සේ නිහඬව සිටිසේක. පිළිතුරක් නොලද හෙයින් නැවත වරක් එම යුධ වීරයා විසින් එම ප්‍රශ්ණයම බුදුන් වහන්සේගෙන් අසනු ලබයි. ඒ අවස්ථාවේද උන්වහන්සේ නිශ්ශබ්දව සිටි‍ සේක. තෙවැනි වරද එම ප්‍රශ්ණයම විමසන ලදුව බුදුන් වහන්සේ විසින් පිළිතුරක් ලබාදෙන ලදී. යුධ පිටියේ මියයන සොල්දාදුවන් දිව්‍යලෝකයේ උපත නොලබයි. ඊට හේතුව යුධපිටියේ මියයන සොල්දාදුවන් විසින් මියයන මොහොතේදී වැළැක්විය නොහැකි ලෙස වෛරයත්, වේදනාවත් හැඟීම් දරණ නිසාවෙන් ඒ හැඟීම් වලට අනුව ඔවුන් අපායේ උපත ලබන බව උන්වහන්සේ දේශනා කළ සේක." (සංයුක්ත නිකායේ XLII වැනි යෝධාජීව සූත්‍රය.)

මානව සමාජය තුළ වඩාත් ව්‍යූහගතව පැතිරුණු සංවිධානාත්මකව ආයතනය "ආගම" යැයි කීවාට වරදක් නැත. ජීව විද්‍යාත්මක මිනිසා මෙහෙයවන ප්‍රධානතම සංස්කෘතික මෙ‍වලම "ආගම"යි. ලෝකය පුරාවට විහිදුණු ආගම් 4200 ක් පමණ ඇතැයි සැලකෙන අතර ඉන් වඩාත් විහිදුණු ආගම් අතලොස්සක් පමණක් ලොව ප්‍රධානතම ආගම් ලෙස පිළිගැනේ.

ආගම යන්න වඩාත් පුළුල් හැඳින්වීමකට භාජනය කළ යුතු වුවත් එමඟින් මිනිසාගේ සදාචාරය, ආචාර ධර්ම නිර්වචනය කොට මනුෂ්‍යයාගේ මනුෂ්‍යත්ව විශ්වාස හා අගයන් පිළිබඳව නිශ්චිත දැක්මක් සිය භක්තිකයන් හට ලබාදෙන්නක් යැයි කිව හැක. මාක්ස්වාදී සරල අර්ථදැක්වීමට අනුව "ආගම යනු අබින්" යැයි දක්වා තිබීම පසුපස ඇති අර්ථය නම්, මිනිසා භෞතිකව පෙළනු ලබන පීඩාවන් ආගම මඟින් වෙනත් දෘෂ්ඨිවාදයක් ගෙනහැර දක්වමින් එහි සැබෑ භෞතික හේතූන් වසන් කිරීම නිසා සැබෑ සමාජ ප්‍රතිරෝධය මඟහැරවීමට හේතුවන්නාක් බවයි. උදාහරණයක් ලෙස ‍භෞතික සමාජ අසාධාරණත්වය හේතුකොට ගෙන පීඩාවට පත්වන පුද්ගලයෙකු එහි සැබෑ හේතු වලට එරෙහිව කටයුතු කරනවා වෙනුවට "කර්මය" "පාපය" "දේවකැමැත්ත" වැනි දෘෂ්ඨිවාදයන් කරණකොට ගෙන නිශ්ක්‍රීයව කටයුතු කිරීමට පෙළඹීම ය.

ආගම හා මානව පරිණාමය දෙස බැලූ විට "ආගම" යනු ස්වභාවික භෞතික තත්ත්වයන් නිර්වචනය කරගැනීම සඳහා නිර්මාණය කොට ගත් මනෝමූලික ක්‍රමවේදයක් යැයි කිව හැක. එය ආයතනිකගත වීම හා බල දේශපාලනය හා සම්බන්ධ වන්නේ මානව සමාජය තුළ "ආගම" විසින් අත්පත්කරගත් ප්‍රබල ස්ථානය නිසාමය. "ආගම" යනු නිරතුරුවම මානව යහපත, සදාචාරය, මානූෂීය අගයන් ආරක්ෂා කිරී‍ම වැනි පාර්ශවයන් නියෝජනය වන සංකල්පයක් යැයි හඳුනාගනු ලැබුව ද ලෝක ඉතිහාසය තුළ සිදුවූ අතිශය දරුණු අමානුෂික ක්‍රියාවන් සඳහා "ආගම" මූලික වීම පුදුම එළවන සුළුය. ජීවිත බිලියන ගණනක් ආගම් වෙනුවෙන් සිය ජීවිත කැපකොට ඇත. විවිධාකාරයේ දෘෂ්ඨිවාදයන් ඔස්සේ අන්තගාමීන් ලෙස ක්‍රියාකරන පිරිස් වර්තමානයේදී ද අතිශය ප්‍රබල බලපෑමක් සිද්ධ කරමින් සිටිති. රුසියාව බිඳවැටීමත් සමඟම ලෝක බලදේශපාලනයේ සමතුලිතතාව බිඳී ගිය ද, අනෙක් අතට විකල්ප බලය ගොඩනැංවීමක් සිදුවූයේ ආගම මත පදනම් වූ බෙදීම නිසා බව නිරීක්ෂණය කළ හැක.

ප්‍රචණ්ඩත්වය හා ආගම පිළිබඳව වන කතිකාවන්හීදී ප්‍රධානකොටම කියැවෙන්නේ ක්‍රිස්තියානි කතෝලික, ඉස්ලාම්, යුදෙව්, හින්දු වැනි ආගම්ය. ඒවායේ ඓතිහාසික ක්‍රියාකාරීත්වයත්, එකී ප්‍රචණ්ඩකාරී ඉතිහාසය පිළිබඳව ඇති ජනප්‍රිය ඉතිහාසයත් මේ සඳහා හේතු වී ඇති බව පෙනේ. ඒ අතර "බුදු දහම" පිළිබඳව කියැවෙන්නේ අවිහිංසාව හා සාමය රැඳි ආගමක් ලෙසටය.

ආගම් අධ්‍යයන පිළිබඳව සහාය මහාචාර්යවරයෙකු ‍වන මයිකල් ජෙරීසන් [Michael Jerryson] හා කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යාව හා ගෝලීය අධ්‍යයන පිළිබඳ මහාචාර්යවරයෙකු වන මාක් ජූවගන්ස්මියර් [Mark Juergensmeyer] විසින් සංස්කරණය කරන ලදුව ඉදිරිපත් කර ඇති "Buddhist Warfare" නම් කෘතිය තුළ ලෝකයේ බුදුදහම අදහන රටවල් කිහිපයක ආගමික සංස්ථාවන් විසින් යුද්ධ හා ප්‍රචණ්ඩත්වය හිංසාව සඳහා සිදුකරන ලද දායකත්වය පිළිබඳව විමසීමක් කරනු ලබයි.

මෙම කෘතිය තුළට ‍එකිනෙකට වෙනස් ලේඛකයන් විසින් පළකරන ලද පර්යේෂණ ලිපි අටක් ඇතුලත්ව තිබේ. ඒවා මඟින් එකිනෙකට වෙනස් රටවල, ජනකොටස්වල එකිනෙකට වෙනස්‍ බෞද්ධාගමික ප්‍රචණ්ඩත්ව යොමුව පිළිබඳ සටහන් තබා ඇත. ආගම තුළින් සිය බැතිමතුන් තුළ මුල්බැස ඇති ව්‍යූහාත්මක ප්‍රචණ්ඩත්වයන්ගේ මූලයන් වන මූලික බෞද්ධ ඉගැන්වීම් පමණක් නොව ආගම විවිධාකාර සන්දර්භයන් තුළදී එකිනෙකට වෙනස් ලෙස ආගම අර්ථදැක්වීමට තුළින් ප්‍රචණ්ඩත්වය කරා මෙහෙයවී ඇති අවස්ථා ද මෙහි ඇතුලත්ය. බෞද්ධ දාර්ශනික ඉගැන්වීම් තුළින් ප්‍රචණ්ඩත්වය, හිංසාව සඳහා මෙහෙයවෙන බෞද්ධ ඉගැන්වීම් පිළිබඳව ගැඹුරු විග්‍රයන්ද මේ තුළ ඇතුලත් කිරීමට සංස්කාරකවරුන් කටයුතු කර ඇත.

මෙහි එන ප්‍රථම ලිපිය ලියා ඇත්තේ Paul Demiéville විසින් 1957 වසරේදීය. එය ප්‍රංශ භාෂාවෙන් ලියවූවක් වන අතර Michelle Kendall විසින් ඉංග්‍රීසියට පරිවර්තනය කර ඇත. ජපානයේ සිටින වීර භික්ෂූන් [Warrior Monks] විසින් යුධ කාලයන්හීදී දක්වන ලද දායකත්වය මෙම ලිපියෙහි සටහන්ව ඇත. විශේෂයෙන්ම බුදුදහම ඇසුරුකොටගෙන යුද්ධයට මෙම භික්ෂූන්ගේ දායකත්වය දැක්වූ ආකාරය මෙම ලිපියෙහි ඇතුලත්ව ඇත. Stephen Jenkins විසින් ලියා ඇති දෙවන ලිපියෙහි බුදුදහම දර්ශනය පිළිබඳව ලියැවී ඇති ඓතිහාසික ග්‍රන්ථ ඇසුරුකොට ගෙන ඉන් වන ප්‍රචණ්ඩත්ව නැඹුරුව පිළිබඳව විමසීමකට ලක්කරයි. ඓතිහාසික සිදුවීම්, ඒවායේ අර්ථදැක්වීම් හා බුදුදහමේ ක්‍රියාකාරීත්වය පිළිබඳව දාර්ශනික විමසීමක් දක්වා සිය කරුණු ඉස්මතු කිරීමට ලේඛකයා උත්සාහ දරා ඇත. Derek Maher විසින් දාහත්වන සියවසය තුළද ටිබෙටයේ හා මොන්ගෝලියාව ආශ්‍රිතව පැවති යුධ වාතාවරණය පිළිබඳව පස්වැනි දලෙයි ලාමා වරයාගේ සටහන් උපයෝගි කොට ගෙන සිය සටහන් තබා ඇත. බොදු දහම දේශපාලන රාමුවක් වෙත විතැන් වීම හා රාජ්‍ය වෙනුවෙන් බුදුදහමේ පෙනීසිටීම කරණකොට ගෙන යුද්ධය සාධාරණීකරණය කරලීම සඳහා ආගම භාවිතා කිරීම මෙම පර්ච්ඡේදය තුළ සාකච්ඡාවට ගෙන ඇත.

Vesna Wallace විසින් මෙම කෘතියේ සිව්වන රචනාව තුළින් මොංගෝලියාව ඇසුරුකොට ගෙන බුදුදහම හා රාජ්‍යත්වය මුසුවීම සමඟ ඇතිවූ ප්‍රචණ්ඩත්වය සාකච්ඡා කොට ඇත. විශේෂයෙන් අනෙකුත් ආගම් යටපත් කිරීමට රාජ්‍ය බලය යොදා ගැනීමත්, මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට යොමුවීමත් එහි වැදගත් ලක්ෂණය. Brian
Victoria විසින් ඉදිරිපත්කර ඇති ජපානයේ "සෙන් නැමැති සෙබළා" නැමැති සංකල්පය භාවිතය (මෙහි "සෙන්" යනු "සෙන් බුදුදහමයි") හා එමඟින් යුද්ධය සාධාරණීකරණයක කිරීම වෙනුවෙන් දෘෂ්වාදීමය සහයෝගය ලබාගැනීම පිළිබඳව විවරණයක යෙදේ.

Xue Yu විසින් මෙම කෘතියේ හයවැනි පරිච්ඡේදය තුළ 1951 – 1953 කොරියානු යුද සමයේදී චීනය විසින් ඊට සහයෝගය දැක්වීමත් බෞද්ධ භික්ෂූන් විසින් ඊට ලබාදුන් සහායෝගය පිළිබඳවත් ලියැවී ඇත. විශේෂයෙන් කොමියුනිට්ස්වාදයේ ව්‍යාප්තියත් සමඟම බෞද්ධ භික්ෂූන්ගේ භාවිතාවේ ඒ වෙනුවෙන් වු නැමියාවත්, යුද්ධයට සහයෝගය දැක්වීම සඳහා චීන බෞද්ධ භික්ෂූන් විසින් සිය ජාතිකවාදී අදහස් මෙහෙයවීමත් මෙහි අන්තර්ගතව ඇත.

ඩැනියෙල්. ඩබ්. කෙන්ට් විසින් ලියා ඇති රචනය තුළ ශ්‍රී ලංකාවේ බෞද්ධ භික්ෂුවක් විසින් දමිළ එල්ටීටීඊ සංවිධානය හා යුධවැදී සිටින රජයේ හමුදාව වෙත ධෛර්ය පළකරමින් සිය ධර්ම දේශනා පවත්වන ආකාරය සඳහන්ව ඇත. විශේෂයෙන් බුදුදහම සිංහල ජාතිකවාදය වෙත ලඝුකිරීමත්, හිංසාව වක්‍රාකාරයකින් සාධාරණීකරණය කිරීම මෙහි නිරීක්ෂණය කොට ඇත.

මෙම ලිපි එකතුවේ අවසාන රචනාව "බුදුදහම මිලිටරිකරණය: දකුණු තායිලන්තයේ හිංසනය" නමින් මයිකල් ජෙරිසන් විසින් ලියා ඇත. ඉස්ලාම් ධර්මය හා බුද්ධ ධර්මය අතර දිනෙන් දින තියුණු වන ආගමික ගැටුම් වලට සමගාමීව තායි බුදුදහමේ මිලිටරි යොමුව පිළිබඳ නිරීක්ෂණයන් මෙම ලිපිය තුළ අන්තර්ගතය. බෞද්ධ භික්ෂුන් සෘජුවම හමුදා පුහුණුව වෙත යොමුවීමත්, ඒ හරහා බෞද්ධ හමුදාකරණය පිළිබඳවත් මෙම රචනාව තුළ නිරීක්ෂණය කොට ඇත.

බුදු දහම රාජ්‍ය පාලනය දක්වා විතැන් වීමත්, එහි ජාතිකවාදී මුහුණුවර වඩ වඩාත් ව්‍යාප්ත වීමක් පිළිඳව කතිකාවන් බහුල සමයෙක "බුදුදහම හා මිලිටරිකරණය" පිළිබඳව විද්වත් කතිකාවකට ඉඩසලසන මෙවැනි කෘතියක් කාලීනව ශ්‍රී ලාංකික පාඨකයාට වැදගත් ඉසව්වක් අනාවරණය කරන්නේ යැයි කිව හැකිය. ආගමේ ජාතිකවාදී මුහුණුවරක් ගැනීම ලංකාවට පමණක් සීමා වූවක් නොවන බව මෙම කෘතියේ එන රචනා මඟින් පැහැදිලිව ඔප්පු කොට ඇත.

එක් පසෙකින් ආගමික සදාචාරය නීතිගත කිරීමට උත්සාහ ගන්නා අතරතුර, තවත් පසෙකින් බෞද්ධ සදාචාරයට එරෙහි බාහිර සතුරෙකු පිළිබඳව වන භීතිකාවක් නිර්මාණය කරමින් රටවැසියා වඩාත් පටු මානසික මට්ටමක් දක්වා පෙළගස්සමින් සිටී. සැබැවින්ම විවිධ සන්දර්භයන් තුළ සමාජ විද්‍යාත්මක විග්‍රහයක යෙදෙන එක සමාන ලක්ෂණයන්ගෙන් යුතු භාවිතාවන් බහුලව මෙම කෘතිය තුළින් ඉදිරිපත් කොට ඇත.

සමස්තයක් ලෙස බුදුදහම හා හිංසනය පිළිබඳව එකිනෙකට වෙනස් දිශාවන් ගණනාවක් ආමන්ත්‍රණය කොට ඇති මෙම ලිපි පෙළ වැදගත් කතිකාවක් සඳහා ඉඩහසර ලබා දේ. ලේබල් ගත කොට ඉවත දැමීමට නොව විද්වත් ක්‍රමවේද මඟින් ඉදිරිපත් කෙරෙන මෙම තත්ත්වයන් දෙස විවෘත මනසකින් යුතුව විමසා බැලීම වඩා යහපත් සමාජයක් උදෙසා වන කතිකාවකට තවත් සහයෝගයක් වනු ඇත.

සංඛ කිරිඳිවැල



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails