Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



යටත් විජිතවාදී ඉතාලියෙන් සහ අයිඩ්‍රිස්ගේ රාජාණ්ඩු පාලනයෙන් ලිබියාව 1969 මුදවාගෙන ගඩාෆි විසින් ලිබියාවට කරන ලද සේවය ගැන 1983 සහ 1987 දී ලිබියාවේ ට්‍රිපෝලිහිදි පැවැත්වු සම්මන්ත්‍රණ දෙකකදී මෙම ලේඛකයා ප්‍රසාදයෙන් කතා කළමුත් පසුගිය වසර 15 තුල ඒ සමාජ විපර්යාස මධ්‍යයේම ගඩාෆිගේ දේශපාලන චර්ය්‍යාව ලිබියානු ජනතාවට එරෙහි අධිරාජ්‍යවාදයට ගැති මානව විරෝධී චර්ය්‍යාවකට පරිවර්තනය වීම නිසා ගඩාෆි විරෝධි සටන්කාමී ලිබියානු ජනතාව ගඩාෆිගෙන් මෙන්ම අධීරාජ්‍යවාදී මංකොල්ල කරුවන්ගෙන් ද, බේරා ගැනිමේ අවශ්‍යතාවය කරුණු සහ සංඛ්‍යාලේඛන (facts & figures) අනුසාරයෙන් පෙන්වා දීම මෙම ලිපියේ අරමුණයි.

පසුගිය මාස කිහිපය තුල සමස්ථ ලෝකයම දේශපාලනික කැළඹිමකට ලක්වෙමින් පවතී. 2009 වසරෙහි මුල සිට ඉස්මත්තට පැමිණි ආර්ථීක අවපාතය ධනවාදී පාලකයින් විසඳනු ලැබුවේ වැසුණු සමාගම්වලට සහ බැංකුවලට ඉතාමත් අමාරුවෙන් ඇප ලබාදීම (bailing-out) මඟින් සහ රැකියා, අධ්‍යාපන වියදම් සහ සහන සේවා කප්පාදු කිරිම් මඟිනි. සමස්ථ ලෝකය පුරාම ඒ ඒ රටවල රාජ්‍යයන්ට එරෙහිව උද්ඝෝෂණ දියත්වීම දෛනික ප්‍රපංචයක් විය. අප්‍රිකාවේන් සහ අරාබිකරයෙන් මතුවන්නේද මෙහිම දිගුවකි. ට්‍රියුනිසියාව, යේමනය, ඔමාන්, බහාරේන්, ඊජිප්තුව, අයිවරි කෝස්ට්, සහ ලිබියාව වැනි අරාබි සහ උතුරු අප්‍රිකානු රටවල කම්කරු ජනතාවගේත් ශිෂ්‍ය සමුහයන්ගේත්, වයස් හෝ තත්ත්ව තරාතිරම් නොසලකමින් සිවිල් සමාජයේ වැඩි දෙනෙකුන්ගේත් මෑත ඉතිහාසයේ පළමුවෙනි වරට අරාබි රටවල ස්ත්‍රීන්ගේ සහාභාගීත්වයෙනුත්, රාජකීය සහ ඒකාධිපති මිලිටරි පාලනයන් මළකඳන් සහ රුධිරය මතින් අභියෝගයට ලක්කරනු ලැබුහ. අදත් එය අඛණ්ඩව කෙරේ. ටියුනිසියාව ඊජිප්තුව සහ අයිවරි කෝස්ට් පාලකයින්ව පන්නා දැමීමට එරට පීඩිතයින්ගේ පිබිදීම් සමත්වීම පිළිබඳ මා තුළ අසම්පුර්ණ ප්‍රීතියක් ජනිත වුවද මෙම ලිපියේ අවධානය යොමු කරනුයේ ලිබියාවේ අර්බුදය කෙරෙහි පමණි.

යුරෝපයේ සහ අප්‍රිකා මහද්වීපවල බොහොමයක් රටවල් මෙන් නිරන්තරයෙන් ලිබියාව ද බලවත් රටවල ආක්‍රමණ වලට ගොදුරු වු රටකි. රෝම, අරාබි, ඔටෝමන් පාලනයන්ට ගොදුරුව සිට අවසානයට ලිබියාව ඉතාලියානු කොලනියක් ද විය. තෙල් සම්පතෙහි සිට සියල්ල සුරාකෑමකට ලක්විණි. ගඩාෆිගේ යෞවනයේදී අයිඩිරිස් මොහොමඩ් 1951 දි ලිබියාව රාජධානියක් ලෙසට හදුන්වමින් අධිරාජ්‍යවාදීන් කළාක් මෙන් ජනතාව පීඩාවට පත්කල අතර අයිඩ්රිස් ඊජිප්තුවේ සංචාරයක යෙදී සිටියදී හමුදාවේ සිටි ගඩාෆි, අයිඩ්රිස්ව පහකර බලය ලබා ගත්තේය. ගඩාෆි ලිබියාව හැදින්වුයේ "ජනතාවගේ රාජ්‍යය" යන අරුත් දෙන ජමහිරියා (Jamahiriya) නමිනි.

ගඩාෆි නැමැති ජනතා මිතුරා (1969 - 1989)

ගඩාෆි සත්‍ය වශයෙන්ම ජනතාවට සේවය කළ බවට අධ්‍යාපනය, සෞඛ්‍යය, කර්මාන්ත, කෘෂීකර්මය ආදි ක්ෂේත්‍රයන්හි සංඛ්‍යා ලේඛන සාක්ෂි දරති. සෑම අයෙකුම අධ්‍යාපනයට විවෘත කොට ඇත. විශ්වවිද්‍යාල සෑම ප්‍රධාන නගරයකම ඉදිකර ඇත. විදුලිය නැති ගෙදරක් ලිබියාවේ නැත. ජල ප්‍රවාහනය පුදුම එළවන සුළු අයුරින් වර්ධනය කළේය.

එහෙත් "ජනතා රජයක්" වුව ද, ගඩාෆි හමුදාකාරයෙකු වු නිසා සහ කුමන්ත්‍රණයකින් ලිබියාවේ පාලනයට පත්වු නිසා ඔහුගේ පාලනය හමුදා පාලනයක් විය. ලිබියාව ජමහිරියාවක් ලෙස හැදින්වුවද, කම්කරු සංවිධාන හෝ උද්ඝෝෂණ වලට එහි ඉඩක් නොවීය. අයිතිවාසිකම් පතා කරන උද්ඝෝෂන වලට පිළිතුර උන්ඩයයි. 1983 සහ 1987 ලිබියාවේ සම්මන්ත්‍රණ දෙකකට මා සහභාගි විය. කර්මාන්තශාලා කිහිපයකම ජායාරූප ගණනාවක් ප්‍රදර්ශනය කොට තිබුණු අතර එම ජායාරූප කම්කරු අයිතිවාසිකම් සඳහා සටන් කිරීමට පෙරමුණ ගත් අයට අත්වු ඉරණම කියාපෑ අතර අපට ඒ පිළිබඳ ප්‍රශ්න නොකරන ලෙසට අවවාද ලැබී තිබිණි. විරුද්ධවාදීන් රහසේ ඝාතනය කිරිම, අවම වශයෙන් ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ එකක් හෝ නොපැවැත්වීම, ඉස්ලාමිය රාජ්‍යයක් ගොඩනැගීම එකම අභිලාෂය කරගැනීම, අදහස් ප්‍රකාශ කිරිමේ අයිතිය ඔහුගේ "හරිත" ග්‍රන්ථයට (The Green Book) යහපත් ප්‍රතිචාරයක් දැක්වීමට පමණක් සීමා කිරිම, ආදිය නිසාවෙන් ඔහුගේ පාලනය පැසිස්ට්වාදී ලක්ෂණ වලින් අනුගත විය.

ගඩාෆිගේ දෙබිඩි බව

ගඩාෆි, අයිඩ්රිස්ගෙන් පාලනය 1969 දී කොල්ලකනු ලැබුවේ ලිබියාවට මානව මුහුණුවරක් දීමටය. ඔහු සමාජ වෙනස්කම් රාශීයක් කරනු ලැබුවද, ලිබියානු ජනතාවට අවශ්‍ය වුයේ රැකියා, හොඳ වැටුපක්, නිදහසක් මෙන්ම බියෙන් තොරව ජිවත් වීම ආදියයි. මේ සියල්ලම ගඩාෆි ජනතාවට අහිමි කළ අතර ඒ නිසාම ජනතාව ගඩාෆිට එරෙහිව නැගී සිටියෝය. ජනතාවට දුන් පොරොන්දු සහ ඔහුගේ දේශපාලනය දෙකක් විය.

ඇමරිකානු ජනාධිපතිව සිටි ඩොනල්ඩ් රේගන් විසින් 1979 දී, රාජ්‍ය ත්‍රස්තවාදියෙකු ලෙස ගඩාෆි හැදින්වූ අවස්ථාවේ සිට ගඩාෆි බටහිර ගැත්තෙකු වූ අතර, පසුගිය වසර 15 තුළ ඔහු කල සහ කී දෑ බලන කල වරෙක අධිරාජ්‍යවාදීන්ගේ හතුරෙකු වූ ඔහු පසුගිය වසර 15 තුල ඔවුන්ගේ සුරතලෙකු විය. ගජ මිතුරෙකු විය. අධිරාජ්‍යවාදීන් හමුවිම, ඔවුන් සමඟ විවිධ ගනුදෙනු අත්සන් කිරිම විටින් විට සිදුවිණි. 1993 දී විවෘත වෙළඳ පොලත් (open market) එයට අවශ්‍ය නීති සම්පාදනයත්, ඉන් අනතුරුව, පෞද්ගලීකරණයත් ඔහු ලිබියාවට හදුන්වා දුන්නා පමණක් නොව ප්‍රාග්ධන ආයෝජනකයින්ට සිය රටේ දොර විවෘත කර දුනි. අයිඩ්‍රිස් විසින් ජනතාව සුරා කෑමට විරුද්ධ වූ මුල් ගඩාෆි (ගඩාෆි 1) , 1969 සිට 1980 අතර කාලය තුළ ධනවාදි ආරාබින්ට සහ අධිරාජ්‍ය විරෝධින්ට එරෙහිවු ගඩාෆි (ගඩාෆි 2) , සහ 1990 සිට 2011 කාලයේ අධිරාජ්‍යවාදීන්ගේ අතිජාත මිතුරෙකු වූ ගඩාෆි (ගඩාෆි 3) , ආදි වශයෙන් පෞරුෂ 3 ක් ඔහු සතුව තිබිණි.

මේ පෞරුෂ තුන නොමැතිව ගඩාෆි හෝ ලිබියාව හෝ ලිබියාව තුල අධිරාජ්‍යවාදින්ගේ භුමිකාව හෝ තේරුම් ගත නොහැක. ඉතාලියානුන් ලිබියාව කොලනියක් කොට සිය සම්පත් සුරාකෑ සමයේ ඉතාලියට එරෙහිවු ගඩාෆි අද ඉතාලි අගමැති බර්ලුස්කෝනිගේ මිතුරෙකි. එසේම ප්‍රංශ ජනාධිපති සාකෝසිගේ මිතුරෙකි. (සාකෝසි ගඩාෆි එළවා දැමීමට අද යුද ආධාර දෙයි.) එසේම එදා ලිබියාවට සම්බාදක පැනවු අධිරාජ්‍යවාදි බ්‍රිතාන්‍ය ඒජන්තයා වු ටෝනි බෙලායා 2011 වන තෙක්ම ගඩාෆි සමඟ සම්බන‍ධකම් පැවත්වුවෙකි. ගඩාෆි ස්පාඤ්ඤයේ ජුවාන් කාලෝස්ගේ ආරාධනයෙන් ස්පාඤ්ඤයට චාරිකාවක් ද කලේය. අධිරාජ්‍යවාදීන් සමඟ ගඩාෆි මොන තරම් සුහද වුයේද යත්, එක්සත් ජාතීන්ගේ සංවිධානය 2008 දී ලිබියාවට පැන වූ ආර්ථීක සම්බාධක ඉවත් කලේය. එයට හිලව්වට ගඩාෆි ලිබියාවේ ව්‍යාපාර 400 කට වැඩි ප්‍රමාණයක් 2010 වන විට පුද්ගලීකරණය කිරිමට එකඟ විය. 2008 වනවිට ගඩාෆි මේ සම්බන්ධය මොන තරම් තහවුරු කර ගත්තේද යත්, ඇ. එ. ජනපදයේ රාජ්‍ය ලේකම්වරිය වු කොන්ඩලීසා රයිස් "ත්‍රස්තවාදයට එරෙහිව සටන් වැදීම සහ වෙළදාම" වැනි ක්ෂේත්‍ර වලදී ගඩාෆිට ඇමරිකාව සමඟ එකට වැඩකල හැකියැයි ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළාය. රේගන්ට එදා "රාජ්‍ය ත්‍රස්ත්‍රවාදියා වු" ගඩාෆි, ජෝර්ජ් බුෂ් සමඟ වැඩ කිරීමට තරම් රාජ්‍ය පාක්ෂික බවක් වර්ධනය කර ගත්තේය. එපමණක් නොව අප්‍රිකාවේ සහ ඉතාලියේ කුලී හමුදාවන් (mercenaries) ලවා ප්‍රජාතන්ත්‍රවාදය සඳහා අරගලයේ යෙදෙන ලිබියානුවන් ඝාතනය කිරිමට තරම් "ගඩාෆි මානව හිතවාදි වී" ඇත. තමන්ගේ ජනතාව ඝාතනය කිරීමට අවශ්‍ය ආයුධ ගඩාෆි මිළඳී ගත්තේද අධිරාජ්‍යවාදී ආයුධ වෙළෙන්දන්ගෙනි. දඩබ්බර ඊශ්‍රායලයේ ප්‍රධානම අරාබි මිත්‍රයා ඊජිප්තුවයි. ගඩාෆි ඊශ්‍රායල විරෝධි වුයේ මුත් ඊශ්‍රායලයේ සතුරා වන ඊජිප්තුව ගඩාෆිගේ මිතුරාය. මගේ හතුරාගේ හතුරා මගේ මිතුරා විය හැකි මුත් මගේ හතුරාගේ මිතුරා මගේ මිතුරා විය නොහැකිය. ගඩාෆිට ඉන් කම් නැත.

ලිබියාවේ තෙල් බල අධිකාරය ගඩාෆි සතුකර ගත යුතු වුවද, අද එහි බලය සතුව ඇත්තේ බහු ජාතික සමාගම් වලටය. British Petroleam, Exonn, Mobil, Total සහ Repsol මෙහි තෙල් බලයට උරුමකම් කියති. ගඩාෆි සමාජ සහන සේවා සපයනුයේ අධිරාජ්‍යවාදීන්ට තම රටේ ප්‍රබලතම විදේශීය විනිමය අධීරාජ්‍යවාදීන්ට හිමිකර දීමෙනි. ලාභ රේට්ටුව වැඩිකරගැනීමේ එකම අරමුණින් ක්‍රියාකරන මොවුන් ඔවුන්ගේ පාලනය යටතේ පවතින තෙල් නිෂ්පාදනාගාරවල දේශීය සහ විදේශීය කම්කරුවනට ගෙවනුයේ සුලු වේතනයකි. වෙන පිළිසරණක් නැති නිසාවෙන් ඔවුන් "කුණු කොල්ලයට" තම ශ්‍රමය බහු ජාතික සමාගම් වලට විකුණති. ණය බරිත වෙති. සුසුම්ලති. කරතියාගත නොහැකි නිසාවෙන් "අල්ලා" ගේ සරණ යති. දෙවියන් යදිති. එහෙත් පීඩිතයන්ගේ ආර්ථීකය යහපත් කිරිමට අභෞතික බලවේග වලට නොහැකිය. "ආගම පීඩිතයාගේ සුසුම්" ලෙස ක්‍රියා කරනුයේ මේ හේතුව නිසාය. ගඩාෆි ද, ලිබියානුන්ගේ ආගමික භාවයන් තේරුම් ගෙන දශක 4 ක් වර්ධනය සමඟ මර්ධනය මැනවින් කළමනාකරණය කළේය.

ඉතාලියානු පිඩනයට වසර ගණනාවක් මුහුණදුන් ලිබියාවේ ඉතාලි විරෝධීන් ("ඔමාර් මුක්තාර්" වැනි) ඉතාලියට එරෙහිව සටන් වැදුණු අතර ගඩාෆි ඉතාලියානුවන් 1970 දී ලිබියාවෙන් පිටමං කලේ ඉතාලිය ලිබියානු සම්පත් කොල්ල කෑ නිසාය. එහෙත් ඒ එදාය. මෑතදී ඉතාලියානු කාර් සමාගමක් වන Fiat ලිබියාවේ නිෂ්පාදනය කිරීමට ගඩාෆි අවසර දුන්නේය. ඉතාලි ධනපතීන්ගේ සුරාකෑමට ගඩාෆිගේ ආශිර්වාදය ලැබුණි. ගඩාෆි මෙම ප්‍රදානය කරනු ලැබුවේ ඉතාලිය ලිබියාවේදී එදා කල සම්පත් කොල්ලයට වන්දි ගෙවීමට පොරොන්දු වු හෙයිනි. ඉතාලිය සැනසු ගඩාෆි තම රටේ ඉතාලි කාර් නිෂ්පාදනයෙන් 5% ක වට්ටමක් ලබාගැනීමට තරම් අධිරාජ්‍යවිරෝධි ලිබියානුවෙක් විය. එදා ඉතාලියට හතුරු වුවද එය අමතක කර ගඩාෆි මෙදා ඉතාලියානු අගමැති බර්ලුස්කෝනීගේ ආරාධනය පිළිගෙන ඉතාලියට ගියේය. අරමුණ: "මිත්‍රත්වය පුලුල් කරගැනීම සහ වාණිජ කටයුතු එකලසක් කර ගැනීමය". "ගඩාෆි තවදුරටත් අධීරාජ්‍යවාදී සටනෙහි නැතැයි " බොලිව රාජ්‍යයේ මන්ත්‍රිවරයෙකු වූ Ade al. Zabayer කීවේ මේ නිසාය. අප එම මන්ත්‍රිවරයාගේ කතාව එක සිතින් අනුමත කරමු.

ඇත්තටම ගඩාෆි (1), (2) සහ (3) පසුගිය වසර හතලිහ තුළ තීරණාත්මක ලෙස වෙනස්ව ඇත. ඔහු සිය රට අධිරාජ්‍යවාදින්ට තාවකාලිකව උගස් කලේ අධිරාජ්‍යවාදීන් එහි අයිතිය සින්නක්කර ලියා ගන්නා බව නොදැන නොවේ. එහෙත් ගඩාෆි එය කලේය.

අධිරාජ්‍යවාදීන් සෑම රටක මෙන්ම ලිබියානු ජනතාවගේ ද ශ්‍රමය සුරාකෑවේය. මේ සියල්ලෙන්ම පෙනෙනුයේ, ගඩාෆි රෙජිමය ජනතා හතුරු- අධීරාජ්‍යවාදී මිතුරු පිළිවෙතක් අනුගමනය කළ බවය. ගඩාෆි සිය හමුදා බලයෙන් තම ජනතාව බිය වද්දා තිබීම නිසා වසර ගණනාවක ලිබියානු පීඩිතයින් නිහඩව සිටිමුත් පසුව ඔවුන් "දැන් නම් ඉතින් ඇති" (enough is enough) යන්න පෙරටු කොට ගෙන ගඩාෆි විරෝධී සටන ආරම්භ කළහ. රටේ තෙල් සම්පත හැරුණු කොට අධිරාජ්‍යවාදීන් සමග ගඩාෆි පැවැත් වූ සමීප සම්බන්ධය ආර්ථීක විනාශයකට ලිබියාව ඇද දැමීය. අඩු වේතන, රැකියා අහිමිකිරිම්, සහන කැපීම්ල 30% ක විරැකියාව, ජීව දත්ත දර්ශකයේ වැඩිවීම, මර්දනය, ආදියෙන් ලිබියානු ජනතාව දශක 2 ක් හෙම්බත්ව සිටියහ. ආහාර මිළ වැඩිවීමේ ප්‍රතිශතය 85% කි. යේමනයේ, ටියුනිසියාවේ , ඊජිප්තුවේ සහ අයිවරි කෝස්ට් හි මෑත පිබිදීම් වල සත්‍යයද මෙසේ වුවා සේ ලිබියාවේ ජනතා පිබිදීම් වල සත්‍යය ද මෙයයි.

මෙම නැගිටීම් වලින් බේරීම සඳහා ගඩාෆි කලේ තමාට එරෙහිව ආ අය මෙන්ම නිරායුධ සිවිල් වැසියන්ද ඝාතනය කිරිමයි. බෙන්ගාසි වල පමණක් 230 ක් යැයි මාර්තු මැද ගණන් බලා තිබුණද, ඉතාලියානු විදේශ ඇමතී ෆේරානනිට අනුව ඝාතනයන් 1000 ඉක්මවා තිබිණ.

අනිත් අතට ගඩාෆිගේ මිත්‍රයන් වු අධීරාජ්‍යවාදීන් 2011 දී ගඩාෆිට එරෙහි වන බලවේගයන්ට සහාය දී ගඩාෆි එලවීමට උත්සාහ කරනුයේ පිඩිත සටන්කාමීන්ට ආදරේට නොවේ. "ඇරත් ගඩාෆි විසින්ම ගෙන්වා කිරි පොවා ඇති දැඩිකල මෙම බහු ජාතික සමාගම් නියෝජනය කරන අධිරාජ්‍යවාදී බලවතුන් ප්‍රජාතන්ත්‍රවාදයේ මුවාවෙන් ලිබියාවට ඇතුලු වනුයේ ගඩාෆි පන්නා දමා දෙවනුව සටන්කාමීන්ට ද "කොකා පෙන්වා" තම අධිරාජ්‍යය ලිබියාව තුළ ස්ථාපිත කර ගැනීමටය. ලිබියානු ජනතාව එම වන්දිය ගෙවීමට පෙර ගඩාෆි සහ අධිරාජ්‍ය වාදින් ලිබියාවෙන් පිටමන් විය යුතුය."

මර්දනය ලිබියාව තුළ ගඩාෆිට පෙරත්, ගඩාෆිගේ පාලනය කාලය තුළත් අඩු හෝ වැඩි වශයෙන් තිබිණ. ගඩාෆි බටහිර බලවතුන්ට ළංවු අතර ගඩාෆිගේ සතුරු හමුදා ද ගඩාෆි ඵළවීමට බටහිර බලවතුන්ගේ සහාය පතති. මෙය වර්තමාන ලිබියානු දේශපාලන ප්‍රපංචයේ එක් උත්ප්‍රාසයකි. ගඩාෆි සිය රාජ්‍ය බේරාගැනීමට තමන්ගේ හමුදාව යොදන අතර සටන්කාමීන් ද ගඩාෆි ඵළවීමට ගඩාෆි විරෝධි හමුදා සහාය සහ NATO හමුදාවන්ගේ සහාය පතති. මෙය දෙවෙනි උත්ප්‍රාසයයි. ගඩාෆි සමඟ මිතුරුදම් පැවැත්වු එ. ජා. සංගමය මාර්තු 17 ගඩාෆිට එරෙහිව සටන්කාමීන්ට සහාය දීමට තීරණය කරයි. මෙය 3 වෙනි උත්ප්‍රාසයයි. මේ අනුව බලනවිට සියල්ල සිදු වනුයේ හමුදා බල ශක්තින් හරහාය. විකිණෙනුයේ මිනිස්නාශක අවීන්ය. ප්‍රහාරක ගුවන් යානාය. නැතිවනුයේ අහිංසකයින්ගේ ජිවිතය. වැටුප් ලබන සොල්දාදු මිනිස් ජිවිතය. වැජඹෙනුයේ ඒකාධිපති පාලකයින් සහ අධීරාජ්‍යවාදීන්ය.

කලයුත්තේ කුමක්ද? සහාය දීය යුත්තේ කාටද? "අල් ෆාටා විප්ලවය" (Al –Fatah Revolution) සාර්ථක ලෙස නිමවා ලිබියාව තුළ විශාල වෙනස්කම් කිහිපයක් කල, එහෙත් පසුව ලිබියානු සම්පත් සහ ජනතාව අධිරාජ්‍යවාදින්ට විකිණු ගඩාෆිට ද? නැතිනම් ගඩාෆිට එරෙහිව සටන් කරන ලිබියානු ජනතාවට උදව්කිරිමේ මුවාවෙන් ලිබියාව සුරාකෑමට එන අධීරාජ්‍යවාදින්ට ද? නැතිනම් ගාඩාෆිට එරෙහිව අවිගත් ලිබියානු විමුක්තිකාමින්ට ද?

මගේ ස්ථාවරය නම් ගඩාෆිටවත්, අධිරාජ්‍යවාදීන්ටත් නොව සහාය දිය යුත්තේ තම නිදහස පතා අවිගත්, දිවි පුදන, වෙන කිසිම වාණිජ හෝ පෞද්ගලික බලාපොරොත්තු වක් නොමැති, ලිබියාව හිමි, පිඩනයෙන් මිදීමට වෙර දරන, ලිබියානු සටන්කාමීන්ට පමණි. බල ලෝභිත්වයටත්, තම ඇවෑමෙන් තම පුතාව රජකරවීමටත්, අහිංසක ලිබියානු ජනතාව ඝාතනය කරනු ලබන සහ ලිබියානු සම්පත් අධිරාජ්‍යවාදීන්ට විකුණු ගඩාෆි සිය පාලනයෙනුත්, අධිරාජ්‍යවාදීන් ලිබියාවෙනුත් ඉවත් විය යුතුය. එහෙත් ලිබියානු විමුක්ති කාමින්ට සහ වෙනත් රටවල විමුක්ති කාමින්ට ද, තම අරමුණු ඉටුකර ගත හැක්කේ යුරෝපය, අප්‍රිකාව, ආසියාව සහ අරාබි රටවල වැඩ කරන ජනතාවගේ විප්ලවීය ධජය තුලට වැද විප්ලවය නොනවතින ජාත්‍යන්තර විප්ලවයක් (permanent revolution) කිරීම තුලින් පමණි.

මහාචාර්ය ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චි



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails