Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



නැවතිල්ලක් නැතුව අඬන ඇඬිල්ලට ඉකිබිඳිල්ල විවේකයද්ද නැද්ද කියල හිතාගන්ඩ බැරි උනාට නොකා නොබී දවස් ගානක් තිස්සේ කඳුළු වක්කරන අහස යංතං කට පියාගන්න කොට මිදුලෙ ගස් යට ඇහෙන ඉකිබිඳිල්ලෙ කටහඬ ගෙට වෙලා තලාඳයක් නැති වහලෙ එක එක මනස්චිත්‍ර ඇඳ ඇඳ ඉන්න හැමෝටම මාර සැනසිල්ලක් කියන්ඩ නං මං දන්නවා. ඔන්න ඉතිං අහස ආයිමත් අඬන්න ගත්තා. "පවතින අවපීඩන තත්වය තවදුරටත් පවතියි. උතුරු උතුරු මැද නැගෙනහිර මධ්‍යම හා ඌව යන පළාත් වල දිගින් දිගටම-

ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. එබැවින් මේ පළාත් වල බොහෝ ප්‍රදේශ අවදානම් කලාප ලෙස නම් කොට ඇත.... අනුරාධපුර වැව් අමුණු එකසිය පනස් අටකුත් පොළොන්නරුව හැත්තෑ පහකට ආසන්න ප්‍රමාණයකුත් අම්පාර හා මඩකලපුව යන ප්‍රදේශවල වැව් අමුණු රාශියකුත් අධික ජල මට්ටම හේතුවෙන් විනාශයට පත්ව ඇත.........

මේ ගම්මාන ආශ්‍රිත පීඩාවට පත් සාමාන්‍ය ජනතාව අනාරක්ෂිත ප්‍රදේශවලින් වහාම ඉවත් කරගනිමින් ඔවුන්ට අවශ්‍ය සහන කටයුතු හෙලිකොප්ටර් මගින් සැපයීමට ගුවන් සහන සේවා කණ්ඩායම් රාශියක් රජය විසින් යොදවා ඇත.........

දැන් දැයට කිරුළ විශේෂාංගය..."

"අම්මගෙ රෙද්ද...."

සිපිලිං ටීවි එකේ සුවිච්චෙකට ඇඟිල්ල තියල සුරේඛා ගැන විපරං කරන්ඩ හිතාගෙන සිමෙන්ති ගෙට එබුනා. සුරේඛා විලි රුදාවෙන් ඇඹරි ඇඹරී අම්ම මුත්ත මතක්කර කර කුණුහරුපෙන් කෑ ගහනව. සව්වාති අම්මා ඒකි සනසන්ඩ එතෙන්ඩ වෙලා මොනාදෝ හයියෙන් කිය කියා පවන් ගහනව. සිපිලිංගෙ හිතේ මතක කඳුලක් බේරෙන්ඩ ගන්නකොටම ඇස් ආපහු එතතින් උදුර ගත්තා.

දවල් තමන්ගෙ තදියමට ඉස්කෝලෙන් සුරේඛයි සව්වාති අම්මයි ඇදගෙන ආවෙ නැත්තං මෙලහකට කෙල්ල ඉස්පිරිතාලෙක වගකීමක් ඇතිව ඉන්නව නේද කියල හිතෙනකොටම තමම්ම හරි කියන්ඩ මිනිහ දවාලෙ වෙච්චි දේවල් මතක් කෙරුවා.

ඉස්කෝලෙ පුරාම කාගෙ හරි එල්ලිලා මොකක් හරි පොඩි උදව්වක් ඉල්ලගන්ඩ දඟලන ගෑණු මිනිස්සුන්ගෙන් පිරිල. සහනධාර පෝරමේ අස්සන් කරන පෝලිමෙන් අහරෙං මෙහෙං රිංගලා අමාරුවෙන් පෑන් ඉරි දෙක තුනක් ඇඳපු සිපිලිං සව්වාතියි සුරේඛයි හොයා ගෙන ඉස්කොලෙ පිට්ටනියට බැස්සා.

"අම්මටසිරි එතනනෙ යකො ගං හතම...." සිපිලිං ඉඩ පාද පාදා සුරේඛල හෙව්වා. එකසියගානක් දෙසියගානක් විතර පෝලිං ගැහිල ඉන්න ලෙඩ්ඩු අතර සුරේඛල හොයාගන්නෙකත් එච්චර ලේසි වැඩක් නෙමෙයි. සිපිලිං ඉස්සරහට ගියා. පෝලිමේ මුල්ම විසිතිස්දෙනා අතර ඒ දෙන්න ඉන්නව දැක්කම සිපිලිංට නිවන් ගියා වගෙ දැනුනා. පොල්මේ මුල්ම හරියෙ හිටියෙ වැඩිහරියක්ම බබ්බු හම්බෙන්ඩ ඉන්න ගෑණු. එකතැනකට වෙලා අම්මලා වෙන්ඩ පොරකන මෙච්චර ගෑණු පරාණ ගොඩක් මෙච්චචර වයසකට සිපිලිංගෙ ඇහැට මාට්ටුවෙලා තිබුන්නෑ.

මේ පාර ප්‍රාදේශීය සභාවට ඉල්ලන ලොකු සර්ගෙ පුතයි තව තරුණ ගුරුවරු ටිකකුයි එකතුවෙලා සහන කණ්ඩායමක් කියල එකක් හදාගෙන පිට්ටනිය මැදට ටයර් වගයක් ගෙනත් දාගෙන පුච්චනව. ඒක හෙලිකොප්ටරයකට බිමට බාන්න සපයන සංඥාවක්ලු. පොඩි එවුනුයි ලොකු උනුයි වෙනසක් නැතුව අහසට ඇස් උළුක්කරගෙන හිටියේ. අහස හයියෙන් ගුඩු ගුඩු ගගා දෙදරන්න ගත්තා.

"ආං... ආං... හෙලිකොප්පරේ" පොඩි එකෙක් අහසට අත් ඉස්සුවා.

"නෑ උඹට පිස්සු ඒ චොපර්රෙකක්" කියල තව එතන හිටපු පොඩි එකෙක් හෙලිකොප්පරේ කියපු පොඩි එකා එක්ක ගොහොරි උනා. සිපිලිං හෙලිකොප්ටරේ බානකල් ඉවසන්න පුරුදු උනා.

එකපාරටම පෝලිම මැදින් බඩ දරු අම්ම කෙනෙක් උස්සගෙන හෙලිකොප්ටරේ ළඟට අරගෙන ආවා. සෙනඟ බිලි බිලි කියල එතන නලියන්ඩ පටන් ගත්තා. කොහොමහරි මේ බඩ දරු අම්ම හිටියෙ මර ලතෝනි දෙමින්. වහාම හෙලිකොප්ටරයට ඇතුල් කරගත්තා. සායකුයි හැට්ටෙකුයි ඇඳගෙන හිටපු මිඩ්වයිට් නෝනත් කොහොමහරි ගොඩ උනා. මේ දෙන්න ඇරුනම තව ලෙඩ්ඩු දෙන්නෙකුට හෙලිකොප්ටරේ ඉඩ තිබ්බා. ඒකට සෙනඟ පොරකාපු පොරකෑමන දැක්කම සිපිලිංට සුරේඛා එතෙන්ට කිට්ටු කරන්ඩවත් හිතුන්නෑ. හෙලිකොප්ටරේ අහසට නැංගට පස්සෙ මිනිස්සු ආපහු ඉස්කොලෙට හේත්තු උනා. සිපිලිංගෙ යකා තවත් දරුණු උනේ ඡන්දෙ ඉල්ලන ලොකු සර්ගෙ කොල්ලගෙ කතාවට.

"ආයෙ සැරයක් හෙලිකොප්ටරේට මෙහෙ එන්ඩ පුලුවන් වෙන එකක් නෑ අද. මෙහෙ විතරක්යැ තව කී දිහාක මිනිස්සු අවතැන් වෙලාද? ටිකක් ඉවසල ඉඳල කොහොමරි හෙට දිහාට දොස්තර කෙනෙක් ගෙන්නමු මෙහෙට. සමහරවිට හෙලිකොප්ටරේ හවස් වෙනකොට තවපාරක් එන්ඩත් බැරි නෑ."

ඕනැ මල ඉලව්වක් වෙච්චාවෙ කියල සිපිලිං සව්වාතියි සුරේඛයි එක්කරගෙන ගෙදර එන්ඩ පිටත් උනේ ගමේ උන්ගෙ ගෙදර යන්ඩම එපා කියල පෙරැත්තකිරිලි- වලිකෑම් මැද්දෙමයි. මඟට එනකොටම ආරංචි උනා හෙලිකොප්ටරේ ඇතුලෙම අර කෙල්ලට බබා හම්බුනා අනූනමයෙන් මිඩ්වයිට් නෝනගෙ රත්තරංකමට බේරුනා කියල. එතකොටනං සිපිලිංට හිතුන තමන්ගෙ දෝණි ඒ බඩකඩිත්තුවට ගොඩකරපු නැති එකම හොඳයි කියල.

සිපිලිංට ආයෙමත් සුරේඛගෙ කෑගෑමන ඇහෙන්න ගත්තම දවාලෙන් මිදිල ඇවිත් වැව පැත්තට ගිහිං එන හිතිවිල්ලෙන් ඉස්තෝප්පුවක් වගෙ ඉස්සරහ කාමරෙන් එළියට බාගත්තු ටකරං මඩුවෙ අමුගඩොල් උඩ පිට ලෑලි උඩු බැල්ලෙන් තියල හදාගත්තු ඇඳ උඩ ඉඳගෙන විටක් මල්ල දිගෑරියා. තේ එකක්වත් බොන්ඩ සීනි තේ කොළ නැති අඩුවට වඩා සිපිලිංට විටක් මල්ලෙ අඩියට බැහැපු සවුත්තු අඩුක්කුට්ට හපන්ඩ සිද්දවෙච්චි එක ගැන තරහ ආවා. ඒ සවුත්තු අඩුක්කුට්ටත් එක්ක හංවෙච්චි තලාකොළ ටිකකුයි දුංකල කුඩිත්තකුයි කටට දාගෙන හුණු ටිකක් ඇඟිල්ලට ගත්තු සිපිලිං උදේ ඉඳල වරත්තු ගහල ඇවිත් ගෙට වෙච්චි පොඩ්ඩා බලන්ඩ දොර ටිකක් අඩවල් කෙරුවා.

කලු සුදු තිරේ බලාගෙන පොඩ්ඩා ස්වයං වින්දනේ යෙදෙනව දැකපු සිපිලිංගෙ ඉහමොල රත් වෙලා හීං දාඩියක් දැම්මා. සෙනසුරාදා නළු නිළි රැඟුම් ගැන ප්‍රසිද්ධ හිරිකිතේකුත් යටි හිතේ මෝදු වෙන ඇල්මකුත් සිපිලිංට තිබුණට මේ වෙලාවෙ ඒ ඔක්කොටම වඩා පොඩ්ඩගෙ කඩප්පුලිකම ගැන තරහ ආවා. සිපිලිංට මොකවත් කරගන්ඩ බැරිම තැන නන කැඩිච්චි කුඩේවත් ඉහලගන්නැතුව වැහි උල් ඇනි ඇනී එළියට බැස්සා.

වාන් ඇල ගොඩ වෙලා ඇවිත් වත්තෙ පොල් ගස් දෙකතුනකුත් අල්ලගෙන අලුත්ම සිංහල සිංදුවක තාලෙට නට නටා දුවන වතුර පාර දිහා බලාගෙන කල්පනා කරන්ඩ ගත්තු සිපිලිංගෙ ඔළුව හිල් කරගෙන ගිහිං සීතල වතුර ඉරි අඳින්න පටන් ගත්තා. දවස ගානෙ සැල්බිටමෝල් බිබී යන්තං හුස්මක් කටක් අරං ජීවත්වෙන සිපිලිංට මේක එච්චර හොඳ දෙයක් නෙමෙයි විත්තිය කල්පනා වෙන තරම් පොඩි මානසිකත්වක් මේ වෙලාවෙ නෑ. ඒ එක්කම යාන්තමට ඇහුණු බිළිඳෙක්ගෙ හඬින් මූණට ආපු හීං හිනාවක් එක්ක තදියමකින් සිපිලිං ගෙදෙට්ට දිව්වා. සුරේඛා ලේ කැටි කෙලි පැටික්කියක් වදලා.

සිපිලිං ඔළුව පිහගෙන වෙන සරමකට බැස්සෙ සෑහෙන වෙලාවක් ඒ දිහා බලාගෙන ඉඳල කිසිම නිශ්චිත හිතිවිල්ලකින් තොරව. ඒ ගමන් මිනිහ ඉස්තෝප්පු මඩුවෙ ලෑලි ඇඳට පැනල ටකරං වහලෙට වැක්කෙරෙන වැහිපොද මනින්ඩ පටන් ගත්තා. මේ වෙලාවෙ සිපිලිංගෙ ඇස් වහලෙ එහාට මෙහාට බැඳපු මකුළු දැලක පැටලෙන්නත් ගත්තා. හරියට තමන්ම වියපු දැලේ ඒ මකුළුවම පැටලෙනවයි ඔහුට දැණුනේ. ආයෙම සැරයක් ප්‍රවෘත්ති සිහියට ආවා. වෙලා තියෙන මෙලෝදේක කිසිගානක් නැතුව වැඩිහරියක් කියවන දැයට කිරුළේ අයිශ්චර්ය ගැන මතක් වෙනකොට සිපිලිංගෙ පපුව ගැහෙන්ඩයි ලේ නහර නලියන්ඩයි පටන් ගත්තා. සේරෝම අමතක කරල දාල ඩිංගක් නිදාගන්ඩ කියල එහාට මෙහාට හරි බරි ගැහිලා හොඳට වකුටු උනා.

වතුර.... සුරේඛා.... පොඩ්ඩා.... නළු නිළි රැඟුම්.... සහනාධාර.... චොපර් එක.... ප්‍රවෘත්ති.... දැයට කිරුළ.... සහන කණ්ඩායම්.... වැස්ස.... වතුර.... වතුර.... වැව.... බන්ටෙක.... වතුර.... වතුර.... වැස්ස.................... වතුර
සිපිලිං ලොකු වතුර පාරකට අහු උනා.

වැහිදඬු පහරින් බැට කකා ටකරං, පීලි අතරින් හීනියට වතුර කාන්දු කෙරුවා. ගුල්ලො ගහපු වෙලං උමං හෝදගෙන උකු දියරයක් සිපිලිංගෙ ඇඳට වැක්කෙරුනා. සරමට මූණයි අතපයයි රිංගවා ගෙන හිටපු සිපිලිං තව තවත් ඇස් තද කරගෙන සරමට ගුලි උනා නින්ද හොයාගෙන යන්ඩ.

*******

"ගුරයියලගෙ ගේත් යට වෙලාලු අරපැත්තෙන් වතුර අල්ලලා. මුළු බංඩියාවෙලම යට වෙන්ඩ කලියෙන් ගමේ එවුන් වැව කපන්ඩලු හදන්නෙ. අපිටයි පොඩීලටයි ගෙවල් වලින් අයින්වෙන්ඩ කියල ගියේ. කිව්ලේකඩ වැව කැඩිල මෙහිං අනික් පැත්තත් යට වෙලා. ඔයේ මල්ලිලත් ඇවිත් සේරම ඇතෑරලා දාලා ආං අක්කුලගෙ ගෙදර. අපිත් ඉක්මනින් මෙහිං ගියොත් හොඳයි."

සව්වාතිගෙ කටහඬේ සද්දෙට සිපිලිං සරමෙන් එළියට මූණ ගත්තා. ඒ වෙනකොටත් අහස කෑ මොර දෙනව ඉවසිල්ලක් නැතුවම. අඟුරු කෑල්ලක් හපල දෙහි ගහ යට හිඟුරු ගාලෙන් කෝට්ටක් කඩාගෙන කටේ ගහ ගත්තු සිපිලිං කක්කුස්සියට රිංගුවා. අහරෙං මෙහෙං මූණ කට හෝදගත්තු සිපිලිං වෙනද වගේ කේතලේ ළඟට නොයා ඉන්ඩ පරිස්සං උනා. වැව පැත්තෙ ගාටන්ඩ හිතාගෙන කමිසයක් දාගත්තා.

"බට්ටිකක් ඇති කාල යන්ඩ. මේං මං බෙදුවා."

ඊයේ හාල් හුංඩුවක්කත් නෑ කියපු ගෑණි කොහෙන්ද බත් තැම්බුවෙ කියල නාහ සිපිලිං වැටකොළු එක්ක බත් කෑවා.

"පොඩීලගෙ දිහායින් හාල් ටිකක් ඉල්ල ගත්තෙ. අර කිරි දෙන එකී බඩ ගින්නෙ තියන්ඩ බැරි කමට. පොඩීගෙත් හාල් උරේ උදේ වේලෙන් ඉවරයි."සව්වාති සිපිලිංගෙ මූණෙ ඇඳිච්චි ප්‍රශ්නාර්ථෙ මැකුවා.

"කොයි කෙල්ල"

"රෑ තිස්සෙම ඒකිට නින්දක් නෑ. දැන් ඩිංගක් වෙලා ඇස් පියවුනේ. ඔහෙ බුදියගත්තුදෙන්. වැව බලල ඇවිත්ම ඇහැරවගෙන උඩහට යනවා."

අවසාන බත්තුළු දෙකතුනත් සූප්පු කරපු සිපිලිං පිඟානට වතුර වැක්කෙරුව.

මී පැටියෙකුගෙ සරීරෙ මතක් වෙන කිරි කැටියා දිහා චුට්ටක් බලාගෙන හිටපු සිපිලිං වැව පැත්තට ඇදෙන්ඩ හිතාගෙන නන කැඩිච්චි කුඩේ හෙව්වා. සව්වාති දැනගත්තා කුඩේ තමයි හොයන්නෙ කියල.

"පොඩ්ඩා අදත් ඕං උදේ පාන්දරම කුඩෙත් ඉහලගෙන කොහෙ ගියාද නෑ. ආයෙ වරත්තු උනා හොඳටම. මට ඕකා තමයි විශ්සාස නැත්තෙ මොනා කොරගනීද කියල. ඊයෙත් වානට බැස්සලු."

සිපිලිං කරබාගෙන පොහොර උරේක මුල්ලක් අනික් මුල්ලට කවල ඔළුවෙ ඉඳල පොරවගෙන එළියට බැස්සා. "දැන්මම කෙල්ලටත් ඇහැරවගෙන අක්කුලගෙ දිහාට යන්ඩ"

සිපිලිං වැවට කිට්ටු කරනකොට සෙනඟ සෑහෙන්ඩ කල්ලි ගැහිල හිටියා. මිනිහ බන්ටෙක දිගේ ඇවිදගෙන වාන ලඟට ගියා. වානට යනකං බන්ටෙක මේ පැත්තෙනුත් එහා වානෙ ඉඳල වානට එනකල් බන්ටෙක එහා පැත්තෙනුත් සම්බන්ද කරල තියෙන සිමෙන්ති ගොන් දෙන්නගෙන් සෑහෙන හරියක් යට වෙලා. ඒ කියන්නෙ අඩි පහ හයකට කිට්ටුවෙන් වානෙන් වතුර පනිනවා. ගොඩ හොරොව්ව ළඟින් බන්ටෙක උතුරනවා. මිනිස්සු ලෑස්ති එතනින්ම බන්ටෙක කපන්ඩ.

"පල්ලැහැ ගෙවල් දෙක තුනක් යට උනා වගෙ නෙමෙයි බංඩියාවෙල ගෙවල් යට වෙලා. දැනටමත්."

"මෙතතනින් චුට්ටක් කැපුවට එච්චර වතුරක් බහින්නෑ. වැවට උහුලන ගානට ඉතුරු වෙයි."

"කැපුවෙ නැතත් පස් දියවෙලා ගිහිං මෙතතනින් බංටෙක කැඩෙයි."

"දැනටත් හෑරිල තියෙන්නෙ හොඳටම. මෙච්චර වතුර පාරකට ආයෙ ඉතිං ඕක කැඩෙන එක මොනාදෑ."

"පල්ලැහැ ගෙවල්වොල කට්ටිය ඔක්කොම ආවද දන්නෑ."

සුදු මහත්තයියා එක පැත්තකිනුත් ලොක්කයියා වැව පැත්තෙනුත් බන්ටෙකට උදුළු පාර ගැහුවා උතුරන තැනට සෑහෙන දුරක් මෙහායින්. දෙතුන්පාරක් කොටපු සුදුමහත්තයියා එකපාරටම උදැල්ල ගසල දැම්මා. "වැව කපල හිරේ යන්ඩ බෑ" කියමින් එතනින් යන්ඩම ගියා.

ඒ පාර හැමෝම වැව කපනවට විරුද්ද උනා එකෙක් දෙන්නෙක් ඇර.

"මේක කැපුව වගේ නෙමෙයි පල්ලෙහා වැව් ගැනත් හිතන්ඩ ඕනෑ"

"මේක කැපුවොත් ඉතිං පල්ලැහැ වැව් ටිකත් යනවා අහන්ඩ දෙයක් නෑ"

"වැව කපනවට වඩා හොඳයි වෙන දෙයක් වෙන්ඩ කියල හොරොව්ව අරින්ඩ තියෙන්නේ"

සිපිලිං කතාවක් බහක් නැතුවම ආපහු හැරුනා ගෙවල් දිහාවට.

"මඤ්ඤොක්ක අලයක්වත් තම්බමු" සිපිලිං කරපු යෝජනාව සව්වාති අම්මා දෙකක් නැතුව ඉස්තිර කෙරුවා.

"ඔව් කිරි දෙන එකීටත් හොඳයිනෙ"

සිපිලිං මඤ්ඤොක්ක ගස් දෙකක් උගුල්ලල පාරංකැත්තෙන් අල වෙන් කරගෙන ඇවිත් වැහි වතුරෙන් හේදුවා. මතකේ හිටපු නැති දවස් ගානක් එක දිගට වැහැපු ආකහේ දැන්නං තටු අකුලගෙන පල්ලං බැහැල හිටියෙ.

"අල මෝරල වගෙ හොඳටම" සිපිලිං කිව්ව.

"තැම්බෙයිද දන්නෑ"

"මේ අල තැම්බෙන කාලෙ. කෑලි වොලට කපල දාමු."

"හැබැයි දිය රහ එයි."

ඒ කියල නොකා නොබී ඉන්ඩයැ. අඟන්ඩ නැතත් සිපිලිංල හොඳට කාල බීල හිටපු මිනිස්සු. සව්වාති අම්මා අල පොතු ඇරලා කපන අතරේ සිපිලිං මුරුංගා රිකිලි ටිකක් කඩාගෙන ආවා. මඤ්ඤොක්කවොල විෂ කැපෙන්ඩ මුරුංග තමයි හොඳම අවුසදේ.

සව්වාති අම්මා අල මුට්ටිය ලිපේ තිබ්බා. ඉතුරු වෙලා තිබිච්චි සුදු මිරිස් කරල් ටිකකුයි කුණුවෙලාම ගිහින් අන්තිමේට දුම උඩ දාල තිබිච්චි බී ලූණු ගෙඩි දෙකකුයි කපල අරගෙන දෙහි බෑයක් මිරිකලා කෙළ උනන කට්ට සම්බලයක් හැදුවා. අල ඉක්මනින් බෙරි උනා.

වහල නැති මඤ්ඤොක්ක හැලියට හැඳි කූර ගහල අලයක් ඒකට අමුණගන්ඩ හැදුවට බෙරි අල හැඳි කූරේ ඇමිණුනේ නෑ. සිපිලිං පැත්තකට උනා.

සව්වාති අම්මා මුට්ටිය බාල නෑඹිලිය උඩින් තියල දොරකට ගිහින් මුට්ටිය ඇල කෙරුව වතුර බේරෙන්න. සිපිලිං ඉන්නම බැරුව මඩක්කුව අතට අරං දොරකඩට ගියා. අලයි කට්ට සම්බෝලෙයි පෑහුනා හොඳට. සිපිලිං අන්තිම අලේ අන්තිම කෑම වේල කනව වගෙ කෑවෙ බඩේ ගින්නට නිමෙයි. මඤ්ඤොක්කවොලට බඩ පිරුනට හිත තවත් ඉල්ලන හින්ද.

සිපිලිංට තදින් නින්ද ගියා.

ආයෙත් අහස වැක්කෙරෙන්ඩ පටන් අරං තිබුනෙ හොඳටෝම.

"ඕං ගොල්ල ඔක්කොම ඉස්කෝලෙ. සහනාධාර බෙදනවලු. යන්නැද්ද අක්කලා. කොයි අයියා?"

නින්ද පහු කරල ඇඳට ඇවිත් හිටපු සිපිලිංට පොඩීගෙ කටහඬ ඇහුනා. ඉස්සරල කියන්ඩ බැරි උනානෙ පොඩී කියන්නෙ සව්වාති අම්මගෙ ඒක්කුසේපන් නංගි.

"ඕ මෙලහකට ගමේ එවුන් ඔක්කොම පිරිල බලන්ඩ ඇති එතන. මටනං කැතේබෑ. සව්වාති අම්මා එහෙම කියල මෙහෙමත් කිව්වා.

"මට නං ඔය මොකවත් ඕනෙ නෑ පොඩියො සීනි තේ කොළ ටිකකුයි පොල් තෙල්... එතකොට ලුණු පට්ටෙකුයි වේලකට දෙකකටවත් හාල් ටික්කුයි තිබ්බනං ඇති."

"ඔය කිව්වට අපි මෙහෙමවත් ඉන්නව. සමහර ගංවොල ගොල්ලට බුදියගන්ඩවත් තැනක් නෑනි කියන්නෙ."

සිපිලිං නැගිටලා කමිසයක් පටලගෙන පොලට අරං යන විස්සෙ මල්ල එල්ලගත්ත. සිලි උර දෙකතුනකුත් මල්ලටම දාගෙන නන කැඩිච්චි කුඩෙත් ඉහලගෙන එළියට බැස්සා.

"ටිකක් හිටපං අයියෙ මාත් එනවා." පොඩිත් ටග්ගාල එළියට බැස්සා.

ඉස්කෝලෙ පේන මානෙදි පොඩී, "අඳෝ මට කියන්ඩ අමතක උනා අයිය අයිඩිං කාඩ්ඩෙක ගත්තද?"

"මං දන්නවැයි කියංඩෙපැයි ගෙදරින්. කමන්නෑ අපි අඳුරන්නැති මිනිස්සුයැ ඉතිං."

ආපදාකාරයො සෑහෙන්ඩ ඇවිත් හිටියා සහනාධාර ගන්ඩ ඉස්කෝලෙට. හෙලිකොප්ටරෙන් ගෙනත් බාපු සැමන් ටින්, හාල් මිටි, පොල් තෙල්, සීනි, ඉටිපන්දම් වගෙ දේවල් ටිකක් ඔෆිස්සෙක ළඟ මුල්ලක ගොඩගහල තිබුනා. මිනිස්සු ඒවට පොරකෑවෙ තන්නාසෙට ඔක්කොම අයිති කරගන්ඩ වගේ. එතැන ආරස්සාවට ගමේම තරුණ හාදයො තුන්දෙනෙක් හිටවල තිබ්බා. ගමේ උන් අඳුරන්නැති ටිකක් ජැන්ඩියට ඇඳගත්තු තව හාදයෙක් අර තුන්දෙනා මුර කෙරුවා. ආරච්චි මහත්තය ඇවිත් සෙනඟ පෝලිං කෙරුවා.

ආරච්චි මහත්තයා නම් කතා කරනකොට එක එක්කෙනා ඇවිත් අස්සන් කරල බඩු ගන්ඩෝනැ. මිනිස්සු ඒ විදිහට පෝලිමේ එන්ඩ උනා. බයාදුකමින් උනත් දෙන දෙයක් ගන්නකොට හැමෝගෙම ඇස් දිලිසුනා. සැමන් ටිංනෙකක්, සීනි ග්රෑම් තුන්සීයක්, හාල් කිලෝ තුනක්, පොල් තෙල් හුංඩුවක්, ඉටිපන්දමක්. මේ තමයි එක්කෙනෙකුට හම්බෙන ආධාර. සමහරක් වෙලාවට සමහරු පෝලිම තල්ලු කරනකොට ආරච්චි මහත්තයා කෑ ගැහුවා.

"යකෝ නං අඬගහලනෙ දෙන්නෙ. ටිකක් ඉවසලා හිටපල්ලා. කාටවත් අඩුවක් කොරන්නෑ. කෝකටත් සමානව බෙදනවා..... මගෙ මොකවත් අමාරුවකට මෙතන ඇවිත් නහින්නෑ."

"සිපිලිං....."

සිපිලිංගෙ වාරෙ ආවා. සිපිලිං කලබල උනා.

"මෙහිං මෙහිං එන්ඩ."

"අයිඩින්ටිය?"

සිපිලිං ආරච්චි මහත්තයගෙ නලලෙ රැලි ගණන් කෙරුවා. හිං සීරුවෙ උඩු රැවුලෙ කළු රැවුල් ගස් දෙකතුනක් ගණිනකොටම ආරච්චි රැවුල අතගෑවා.

"ඇයි? අයිඩින්ටිය ගෙනාවෙ නැද්ද?"

මිනිහා ඇඹරුනා නෑ කියන්ඩ බැරුව.

"දන්නෑ ආරච්චි මහත්තයො ගේන්ඩෝනැ කියල."

"හරි... හරි... තව පෝලිම සෑහෙන්ඩ දිගට තියෙනවනෙ. දැන්ම මේක ඉවරයක් කොරන්ඩ වෙන්නෑ. උඹට ගිහිං ආවැකි. ඉක්මනින් වරෙන්."

"ඉතිං අපි අඟරන්නැති මිනිස්සුයැ මහත්තය. අවිස්සාශ කොරන්ඩ තරම් දෙයක් නෑනෙ."

"නෑ නෑ මේක රාජකාරියක්. මගෙ දැනෑඟරුංකංවොලට මේව කොරල හරියන්නෑ. උඹලට මෙව්ව තේරෙන්නෑනෙ ඉතිං. ගිහිං අරං වරෙං සිපිලිං අයිඩින්ටිය."

සිපිලිං එතනින් ටිකක් ඈත් උනා. ආරච්චිය දිහා තරහින් බලාගෙන හිටියා. මිනිහ කිසි වගක් නැතුව මිනිස්සුන්ට සහනාධාර බෙදුවා. මලු වලට බඩු පුරවගෙන හිනා නාන උන් දිහාත් බඩු මලු දිහාට කෙල හල හල පෝලිමේ පොරකන තල්ලුවෙන මිනිස්සු දිහාත් බලාගෙන ඉන්නකොට සිපිලිංට තරහ හිඟල මේ මිනිස්සු ගැන අනුකම්පාවක් ඉපදුනා. ඊට පස්සෙ ඒ අනුකම්පාව දෙගුන තුන්ගුන වෙලා තමන් දිහාවට හැරුනා. අන්තිමේට ආපහු තරහ පිම්මෙ දුවගෙන එනකොට සිපිලිං එතනින් මාරු උනා.

ඇත්තටම සිපිලිංට ගෙදෙට්ට ඇවිල්ලා අරං යන්ඩ අයිඩිංටියක් තිබුන්නෑ. අක්කුලා, පොඩීලා, සව්වාතිලා විතරක් නෙමෙයි පවුලෙ උන් රොත්ත බුරුත්ත පිටින්ම දවස් දෙකතුනකට පොසොන් එකට මිහින්තලේ උයන්ඩ ගියපු සැරේක සිපිලිංට උනේ ගෙවල් දෙකතුන රස්සාකරන්ඩ. මිනිහා මේ ලැබිච්චි චාන්සෙකෙන් උපරිම ඵල කඩාගත්තා. එදා ටවුමට ගිහිං අයිඩිංටිය ඇපේට තියල ත්‍රිබලක් අරං ඇවිත් අක්කුලගෙ දිහාට වෙලා ඇතිපදං බැලුවා. ආපහු සීඩී එක ගිහිං දීල ඇපේ බේරගන්ඩ තරම් සිපිලිංට හිත හයියක් තිබුන්නෑ. මේ සිද්දිය දැන් මතක් වෙනකොට තමන් ගැන හිරිකිතයක් ලැජ්ජාවක් එක්ක පිහියෙන් ඇනගන්ඩ හිතෙන තරං පුදුම තරහක් ආවා.

සහනාධාර දාගෙන එන්ඩ අරං ගියපු විස්සෙ මල්ල හිස් වෙනකොට සව්වාති අම්මගෙ කටෙන් පනින දොස් මුරේට සිපිලිං ඈත තියා හිත හදා ගත්තා.

"කොහෙදෑ ඉතිං.... උරුට්ටුවක් තියෙන එකක්යැ අනිත් උන්ට වගේ."

සව්වාති අම්මට එහෙම කියන ගමන්ම ඇඬුනා. හැබැයි කියවිල්ල නතර කෙරුවෙ නෑ.

"යකෝ නිකං දෙන එක ගෙදට්ට ගේන්ඩ පින නැති හැටි. හැමදාම ඔහොම නෝන්ජලේට ඉඳල තමයි සේරමත් ඔළුවට අත හෝදන්නෙ. ......................... මං යන්නං." සව්වාති ගෙට ඇතුල් උනා.

සව්වාති කියවන්නේ මොනාද කියල සිපිලිංට ඇහුනෙ නෑ. හැබැයි මිනිහ හොඳටම කලකිරුනා. කොහොම උනත් මේ තරං සව්වාති අම්මා සිපිලිංට සෑහෙන කාලකින් ඔරොප්පු වෙලා තිබුනෙ නෑ.

"යකො කිරි දෙන අම්ම කෙනෙක් ඉන්නව කියලවත් මේ මිනිස්සුන්ට හිතෙන්නැති හැටියක්." සව්වාති අම්මා හවුස්කට්ටෙකට උඩින් චීත්තයක් පටලගෙන එළියට ආවෙ විස්සෙ මල්ලත් එල්ලගෙන.

මිනිස්සු කියල බහු වචනෙන් කෑ ගහන්නෙත් තමන්ටම කියල සිපිලිං දන්නවා. සුරේඛා ගැන පැහැදිලිව හිතල කල්පනා කරන්ඩවත් දුක් වෙන්ඩවත් කලින් ඉස්තෝප්පු අට්ටාලෙට වෙලා බුදියන කුම්බකරනයා දැකල වාවගන්ඩ බැරි තරහකින් එලියට බැස්සා.

********

ආපහු සිපිලිං ගෙදර එන්නෙ බංඩි කරුවලේ. පොඩ්ඩයි සව්වාති අම්මයි ටීවී එකේ ඇස් අලවගෙන.

"මේ පවත්නා අවපීඩන තත්වය ඉදිරියට තවදුරටත් වර්ධනය විය හැකි බව කාලගුණවිද්‍යා ආරංචි මාර්ග පවසයි. "

සිපිලිං ඇඳේ ඇලවුනේ වෙනදා රෝසපාට සැල්බිටමෝල් පෙත්තට ඇඟේ ඇතිවෙන වෙවිලීමට වඩා තද පපුවේ ගැස්මකින්. පොඩ්ඩා ටීවි එක නිමල ඇඳට වැටුනා. සව්වාති අම්මා සුරේඛා ලඟින්ම සිමෙන්ති ගේ පැදුරක් එලාගත්තා. සිපිලිංට නින්ද ආවෙ නෑ. එහාට මෙහාට ඇඹරෙනකොට උඩුබැල්ලෙන් බුදියන පිට ලෑලි ඔංචිලි පැද්දා. ඉස්සරින්දා රෑ අහුවෙච්චි වතුර පාරට ආයෙමත් සිපිලිං අහු උනා. හැබැයි මේ වෙනකොට වතුර පාරෙ සැර හොඳටම වැඩි වෙලා තිබුනේ.

වතුර.... සුරේඛා.... පොඩ්ඩා.... නළු නිළි රැඟුම්.... සහනාධාර.... චොපර් එක.... ප්‍රවෘත්ති.... දැයට කිරුළ.... සහන කණ්ඩායම්.... වැස්ස.... වතුර.... වතුර.... වැව.... බන්ටෙක.... වතුර.... වතුර.... වැස්ස..... වතුර..... ඉස්කෝලෙ...
සහනාධාර පෝලිම... ආරච්චි.... අයිඩිංටිය...........

සව්වාති අම්මා මේ ඔක්කොටම වඩා බරපතලෙට සිපිලිං පෑරුවා. සව්වාති අම්මා කියන නෝන්ජල්කමයි උන්දයි සේරෝම ගහගෙන යන්ඩ දිලා සිපිලිං ඇඳෙන් නැංගා. එළියට බැස්සා. කිසිදේකට හිත දැඩි උනේ නෑ. කුස්සියේ මැස්ස යටට ගිහිං මැහිතෙල් කුප්පිය අතට ගත්තා. නන කැඩිච්චි කුඩෙත් ඉහලගෙන වත්ත පල්ලැහැ වාන් ඇල පැත්තට ඇදුනා.

සිපිලිං මැහිතෙල් කුප්පිය කටට හලාගන්ඩ කලිං වාග් සංඥාවකට පෙරලන්ඩ බැරි රූ තේජසින් පිම්බෙන වාන් ඇල දිහා බලාගෙන හිටියා. මැහිතෙල් කුප්පිය කටට හලාගන්නකොටත් සිපිලිංට මැරෙන්ඩ උවමනාවක් දැනුනෙම නෑ. ඒක නිකං කිසිම බරප්පතලක් නැති හිතිවිල්ලක් විතරයි. මැහිතෙල් වලට සිපිලිං වෙරි වෙන්ඩ කලින් පැත්තම දෙදරගෙන කළුව දෙබෑකරගෙන මහ හයියෙන් සද්දයක් ඇහුනා මතකයි. සව්වාති අම්මට සුරේඛට පොඩ්ඩට ඇහැරුනේ නෑ. හැබැයි ගමේ උන් ගොඩදෙනෙක් මේ වෙනකොටත් බුදි නෑ. සිපිලිංට සිද්දිය ගැන හිතිවිලි අහුරක් පොදි ගහගන්ඩ වතුර පාර ඉඩ දුන්නෙ නෑ සිපිලිංව තල්ලු කරගෙන ගියා. සිපිලිංට කිසිදෙයක් කල්පනා කරන්ඩවත් මොනාහරි කෑ ගහල කියන්ඩවත් උවමනා උනෙ නෑ. දිගටම තමන් එක්කං පංවැල්ලෙ වැවටම යයි කියල සිපිලිං හිතුවෙ නෑ. සිපිලිං අරගෙන එච්චර දුරක් යන්ඩ හම්බුනෙත් නෑ වාන් ඇලට. එරමිණිය ගාලක් එකපාරට ඇවිල්ල සිපිලිංගෙන් බදාගත්තා. සිපිලිංගෙන් ආ ගිය තොරතුරු අහන්ඩ තරම් ඉස්පාසුවක නෙමෙයි එරමිණිය ගාල හිටියේ. සිපිලිංටත් කට පියාගෙන ඩිංගක් නිදාගන්ඩ විතරමයි ඕනැ උනේ.

උදේ වෙනකොට පල්ලෙහා වැව් දෙකත් අරගෙන වතුර පාර යාන් ඔයටම සින්නක්කර උනා. ගමේ මිනිස්සු සිපිලිං හෙව්වා. මිනිහට එරමිණියා තුරුලෙම නින්ද ගිහින් හිටියේ තදටම. කවුරුහරි මිනිහට නින්ද ගිය අතරේ සරමත් ගලවගෙන ගිහින් වෙන්ඩ ඕනැ. මොකද මිනිහ මෙච්චර සීතල තිබිලත් කමිසයක් විතරයි පොරවගෙන උන්නෙ.

සිපිලිංගෙ මරණෙම බලාපොරොත්තු වෙලා ආපු ගමේ උන්ට අමුතු හැඟීමක්- කම්පනයක් ගෙනාවෙ නෑ.

"මේ කුරුනෙල් ගෙන්නන්ඩ විදිහක් හොයන්නෙ කොහොමද?"

"පිස්සුද බං මේ වෙලාවෙ මොන කුරුනෙල්ලද? හෙලිකොප්ටරේකින්ද ගෙන්නන්නෙ?"

"අපි සබහපති හොයාගෙන සව්වාති නැන්දලගෙ ගෙදට්ට යමුකො ඉස්සරල"

"මිනිය..... ?"

"දෙතුන්දෙනෙක් මෙතන හිටපල්ලා."

"මොන යකා වැහිලා වැව කැඩිච්චි වෙලාවටම මුන්ද වත්තට ආවද දන්නෑ."

********

"එම්බාං කොරන්ඩවත් පෙට්ටි ගෙන්නන්ඩවත් කුරුනෙල් ගෙන්නන්ඩවත් කෙරෙමයක් නැති එකේ අපි වෙලාවෙ හැටියට පුලුවන් විදිහට වැඩේ ඉවරයක් කොරමු. සව්වාති අක්කා මොකදැ කියන්නෙ? එහෙම හොඳයිනෙ." මරණාධාර සමිතියේ සබහපති තීරණේ දුන්නා.

"වෙන කොරන්ඩ දෙයක් නෑනෙ." සව්වාති අම්මා ඇඬුවෙ නෑ. සුරේඛා නාඬ හිටියට කඳුළු ඇස්සොල බේරුනා. දරුවා උකුලෙ හිටියෙ නෑ. වරත්තතුවා වරත්තුවෙ නොගියට අමුතු දුකක්වත් වෙලාවෙ හැටියට මතුවෙන්ඩ ඕනැ කඩිසරකමක්වත් මතු උනේ නෑ. මිනිය ගෙනාවෙ අක්කුලගෙ ගෙදෙට්ට.

මළ ගෙදර සාමාන්‍ය මළ ගෙදරකට වඩා මලහෝන්තු මූසල පාලුවක් ඇඳගත්තා. ඒ ඇඳුම මළ ගේකට ඔබින්නැති මහ කබල් දුප්පත් එකක්.

ගෙදර දර මඩුවෙම තියාගෙන කොටසක් පෙට්ටියක් හදන්ඩ පටන් ගත්තා ඉරල දාල තිබුන කොස් ලෑලි වගේකින්. සබහපතිගේ වැඩේ එහාට මෙහාට ඇවිදින එක. ලේකමුත් මිනිහ පස්සෙන්ම හිටියා. එකා දෙන්නා තැනක දෙකක මොනා මොනා හරි කියව කියව හිටියා. හෙලිකොප්ටරේ ඇතුලෙදි හම්බුවෙච්චි බබා ගැන හුඟදෙනෙක් කතාකෙරුවෙ මිඩ්වයිට් නලලෙ තියාගෙන. ජයතිස්ස ඒ කියන්නෙ ලොකුසර්ගෙ මේ පාර ඡන්දෙ ඉල්ලන කොල්ලා. මිනිහට ගමේ උන්නං කියන්නෙ කුඹුරු තිස්සයා කියලා. කුඹුරු වලට හරි පෙරේතයා. මිනිහගෙ ඡන්ද ව්‍යාපාරෙට මෙතනින් ලකුණුපාරක් දාගන්ඩ මාර ට්‍රයි එකක් දෙනවා. සහනාධාර ගැනයි ලෙඩ්ඩුන්ට දොස්තරලා ගෙන්නලා බෙහෙත් අරංදීම ගැනයි තව එක එක සහන කටයුතු ගැන මිනිහ තමන්ගෙ සෙට්ටෙකත් එක්ක සෑහෙන පම්පෝරියක් ගැහුවා. එතනින් මිනිහට හදිස්සියෙම යන්ඩ උනා ඊළඟට එනව කියන හෙලිකොප්ටරේට බාන්ඩ ඉස්කෝලෙ පිට්ටනියෙ ටයර් පුච්චන්ඩ.

එකපාට්ටම සුරේඛගෙ මිනිහා තව යාළුවො කට්ටියක් එක්ක මළ ගෙදට්ට කඩා පැන්නා. තෙත ඇඳුම් පිටින් ගෙට ගොඩවෙච්චි මේ දැවැන්තයො පස්සයදෙනා දිහා ගම්මු බැලුවෙ සත් සමුදුර තරණය කරල ආපු උන් ගානට. ඇත්තටම ඒක ඒ වගෙ දෙයක් තමයි. යාන් ඔයෙන් මෙගොඩවෙන එකට වඩා අමාරු මහ වල ළඟින් පනින එක. කඹේක එක කොනක් පාරෙ පාලම් කොටේක ගැටගහල ඒක මෙහාපැත්තට ඇදල පංසල ළඟ පලු ගහේ මෙහා කොන ගැට ගහල තිබුනා. මෙතනින් පැනගත්තා කියන්නෙ එතනින් මෙහාට්ට වැඩි කරදරයක් නැතුව ආවැහැකි. සුරේඛගෙ මිනිහ ඉස්සර ආමිකාරයෙක්. යුද්දෙන් පස්සෙ පාරෙ වැඩ කරන්ඩයි හෙන් කොටන්ඩ එළවලු වවන්ඩයි බෑ කියල ඇබිසන්ඩ් උනා. ගමේ ඇවිල්ල වැඩි කාලයක් ඉන්ඩ මිනිහට හිත ඇල්ලුවෙ නෑ. කොළඹ පැන්නා. එහෙ නියම සිකුරිටි ජොබ්බෙකක් සෙට් උනා. තියෙන මරන්තෑඩිකමට මේ වගෙ ජොබ් ඉක්මනින් අල්ලලා යනවා මිනිහට. මෙතනත් ඉක්මනටම තැන හදාගත්තා.

හවස් වීගෙනත් ආවා. පෙට්ටිය කහපාට කොස් ලෑල්ලෙන් හුරුබුහුටියට නිම උනා. මිනිය දාලා වැහුවා. ඉස්තෝප්පුවට ගෙනත් පෙට්ටිය තැන්පත් කරනකොට හාමුදුරුවොත් වැඩම කෙරුවා. ආයෙ කාගෙවත් වැඩි කතා බතා ඕන නෑ දැනටමත් හොඳටම පරක්කුයි. සබහපති මහා සංඝයාට කටයුතු බාර කෙරුවා. හාහුදුරුවො සෙනඟ පංචශීලෙ පිහිටවපු ගමන් අනුශාසනේකට පාර කපන්ඩ පටන් ගත්තා. සබහපති හාමුදුරුවොන්ට රහසක් කිව්වා. අහස රතු උනා. හාමුදුරුවො මතක වස්තරේ පූජා කරල පැන් වැඩුවා.

ඉමං මතක වත්තං
...........................

ඉච්චිතං පච්චිතං තුයියං
............................

පෙට්ටිය කරගහන්ඩ සුරේඛගෙ මිනිහගෙ යාළුවො ඉස්සර උනාට ගමේ උන් තමන්ගෙ ගමේ එකාගෙ මිනිය කාගෙවත් කර උඩින් යවන්ඩ කැමති උනෙ නෑ. චිචිරි වැස්සෙ මඩේ ලිස්ස ලිස්සා පෙට්ටිය උස්සාගෙන යන ශෝකයට පත් පිරිස එක්ක තුනී මිනිස් ඇලක් කැරකොපුව පැත්තට ගහගෙන ගියා. වැඩි දුරක් යන්ඩ කලියෙංම මිනී පෙට්ටිය සිකුරුටි යාළුවොන්ගෙ කරට වැටුනා. ගිනිපෙල්ල අරගෙන රතිඤ්ඤා කරලෙ නුලට ගිනි තියල විසි කලේ පොඩි එකෙක්. පත්තු උනේ එහෙමත් එකක්. අනික්වා පුහු. වල ළඟට පෙට්ටිය ගෙනාවා. ආපහු සැරයක් කට්ටියට බලන්ඩ කියල පෙට්ටිය අරින්ඩ ඕනැ උන්නෑ. තුන්පාරක් වල වටේ උස්සාගෙන ගියා පෙට්ටිය. කොහු ලණු දෙකක් එළලා ඒ උඩින් පෙට්ටිය තියලා වලට බැස්සුවා. මේ වැහිකාලෙ නෙමෙයි නං සිපිලිං සෑයක පිච්චෙනව මිසක් වලක තැම්බෙන්නෑ. අවසාන වතාවට ගිනිපෙල්ලෙ ඔබලා විසිකරපු රතිඤ්ඤෙත් පුහු එකක්. මැටිපස් ගුලි හැම එකාගෙම අතින් වලට වැටුනා. මැටි ගුලි තස්තස්ගාල පෙට්ටිය බදාගත්තා. සිකුරිටි යාළුවෝ ගමේ උන්ට ඉස්සරින් උදුලු දෙකක් අරන් ඉහින් කනින් දාඩිය පෙරාගෙන වෙරි බහිනකං වල වැහුවා. වල උඩ තව පස් පෙට්ටියක් හදල හැමෝම එතනින් පිට උනා.

කැරකොපුවෙන් එළියට ආපු ගමන් සුරේඛගෙ මිනිහා වරත්තුවා දිහා බැලුවා.

"මල්ලි ගිහිං අක්කු අම්මලාගෙ ටැට්ටරේ අරං එනවකො."

පොඩ්ඩා ඒකට උත්තර නොදී ගෙවල් පැත්තට හැරුනා.

පොඩ්ඩා ටේලර පෙට්ටියෙන් හැන්ඩලේ අරගෙන ඇස්ලේටරේ රේස් කරල ඩකඩකං ගාල ලෑන්මාස්ටරේ ඉස්ටාට් කෙරුවා.

"කොහෙද යන්නෙ පොඩි මල්ලී? අයියලා කොයි?"

අක්ක අහපු එක ටැට්ටරේ ඩකඩකේට පොඩ්ඩට ඇහුනෙ නෑ. ඇහුනත් "අයිය ගේන්ඩ කිව්වා." එච්චරයිනේ.

සුරේඛගෙ මිනිහගෙ යාළුවෝ මේ වෙනකොට ගමේ දහංගලෙ තියෙන උන් එක්ක ජොයින්ටෙකකට සෙට් වෙලා උන් බුදු බොක්කවල් කරගෙන ඉවරයි. කට්ටිය ටැට්ටරේට නඟිනකොට කොහෙද යන්නෙ කියල පොඩ්ඩා ඇහුවෙ නෑ.

නැව ගිලුනත් බැන් චූන් සින්දුවක් ඉස්සරලම පටන්ගත්තේ සුරේඛගෙ මිනිහ. මේ ඉන්න ටිකේ....... අපි අද මැරෙයිද කියල දන්නෙ නෑ........ උලත් එකයි පිලත් එකයි අපි සැමදා ජොලියෙ ඉන්නවා........ දෙයියො දනි අපි නොදනී මැරෙන දවස කවුරු කියනවා... කිසි තේරුමක් අගක් මුලක් නැතුව සින්දු පොලමට හිටගත්තා. ඒ අස්සෙ වස්තුව ඉල්ලන කාශ්‍යප පුතුනේ අනික්වා පාගල නැගිට්ටා. ටැට්ටරේ පාගලා ගියා. සුරේඛගෙ මිනිහා අලුත් සින්දුවක් ඇල්ලුවා. අපි පාගල යාමුකො හැටේ.............

මේ වෙලාවෙ කුඹුරු තිස්සයා ඔරුවක නැගල වනජීවි හා ගොවිජන සේවා ඇමතිතුමා එක්ක වැව කැඩිල හැදිච්චි කඩවල දිහාවට පැද්දා. වතුර මට්ටම සෑහෙන දුරකට බැහැල තිබුනට ගස්කොළං අතරිං හීං ඉකිබිඳුං - කෙඳිරිලි ඇහුනා. සිරි සිරි වැස්සක් යාන්තං ඇමතිගෙ කමිසෙ පෙඟුවා. කඩවල ලඟ බන්ටෙකට මිනිස්සු රැස්වෙලා ඇමතිතුමා පිළිගන්ඩ පොරකෑවා.

සුදර්ශන සමරවීර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails