
අහසට අරක්ගත් දැඩි ගණඳුරක් වන්
මා වසාගත් රාත්රිය පරදවා
තුති පුදමි කවර හෝ දෙවිවරුනට
යටත් නොකළැකි මා ආත්මය උදෙසා
ඉරණමෙහි රුදු නිය පහර වැද
නොහැකිළුණෙමි, නොහැඬුවෙමි හඬ ගා
අවස්ථාවේ දැඩි මුගුරින් පහර විඳ
රුධිරය වැකුණුමුත් නොනැමුණිය හිස මා
වෙරෙන් කඳුළෙන් පිරුණු මෙතැනින් එහා
ඇත්තේ ගණඳුරෙහි භීතියම පමණකිය
එනමුදු මා නොබියව සිටින වග
පෙනෙනු ඇත වසර ගණනක් ඉකුත් වුව
ද්වාරය කෙතරම් පටුවුවද කම් නැත
පවු පොතෙහි දඬුවම් මහත් වුව කම් නැත
මාගේ දෛවයේ හිමියා මම ම වෙමි
මාගේ ආත්මයේ නියමුවා මම ම වෙමි
[විලියම් අර්නස්ට් හෙන්ලි (1849-1903)ගේ Invictus කවියේ පරිවර්තනයකි.]
විලියම් අර්නස්ට් හෙන්ලි
පරිවර්තනය - නිලූක කදුරුගමුව



