Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



ලිංගික සංසර්ගය අවැසි වන්නේ සියලූ සත්වයන්ගේ ප‍්‍රජනනය සඳහා ද එසේත් නැත්නම් හුදු කායික තෘප්තිය සඳහා පමණක් ද යන්න නිරාකරණය කළ නොහැකි සංකීර්ණ ගැටළුවකි. එහෙත් මෙය මනුසතාට මෙන් ම අනෙකුත් සත්වයන්ට ද අත්‍යාවශය අංගයකි. මෙම ලිංගික කාර්ය ආරම්භයේ සිට අවසානය දක්වා වූ කාල සීමාව තුළ නිශ්චිත අවස්ථා තුනක් පසුකරයි. එය ආරම්භය උදෑසනකි. අතරමැද දහවලයි. උච්චතම අවස්ථාව සන්ධ්‍යාවයි. මේ උච්චතම සන්ධ්‍යාවේ සියල්ල පවතින්නේ අන්ධකාර මොහොතක යැයි ඔවුහු සිතති. තමන් මෙන්ම අනෙකා ද-

ගතකරන්නේ අන්ධකාර අවධියක් යැයි සිතති. අවට ලෝකයේ සිදුවන සියල්ල සීමාසහිත මොහොතක් තුළ මතකයෙන් උදුරා දමති. තමන්ගේ දෙනෙත් තමන් විසින් ම ආවරණය කරගන්නා මේ නිශ්චිත මොහොත පසුකොට ප‍්‍රකෘතියට පත්වන විට අවට බොහෝ දේ සිදුවී හමාරය. එහෙත් ඒ කිසිවක් ආපසු හැරවීමට හෝ නැවත ළඟාකර ගැනීමට කිසිවෙක් සමත් නොවන්නේ ය. අප දැන් පසුකරමින් සිටින්නේ එවන් මොහොතකි. ඒ මොහොත තුළ කුමක් සිදු වුව ද තව තවත් එවන් අවස්ථා පසුකිරිමට අපට සිදුවනු ඇත. ශුද්ධ භාෂාවෙන් හදුන්වන්නේ නම් මේ එළඹ ඇත්තේ "හැමනෙන හැන්දෑව" යි. මේ සඳහා යෙදිය හැකි ඉංග‍්‍රීසි දෙවදන "Fucking Evening" ලෙසින් හැඳින්විය හැකිය.

අප සැම ගතකරන මේ මොහොත නම් කළ හැකි සුදුසු ම දෙවදන මෙසේ සටහන්ව තිබෙනු දුටුවේ මහේෂ් කුමාර කවියාගේ "කවිය කම්බස්" කෘතිය තුළයි. ඔහු තම කෘතිය ආරම්භයේ දී මේ දෙවදන සටහන් කළේ සිතාමතා නොවන්නට පුළුවන. එහෙත් එය මේ මොහොත හැඳින්විය හැකි සුදුසු ම දෙවදන යි. කවියා තම කෘතියේ පළමු භාගය වෙන් කොට ඇත්තේත මා, ඔබ සහ අපි සියලු දෙනා වෙසෙන වත්මන් සමාජ වටපිටාව තුළ පවතින අර්බුදයේ යථාර්ථය විදහා දක්වන සිතුවම් ප‍්‍රදර්ශනයක් ලෙසයි. එහෙත් අප මෙය නැරඹුව ද එය අපට නොපෙනේ. ඒ අප ගෙවමින් සිටින මේ "හැමනෙන හැන්දෑව" අපේ දෙනෙත් අන්ධ කොට ඇති බැවිනි. එසේත් නැත්නම් "හැමනීමේ ආශ්වාදය" ලබා ගනු වස් අප වුවමනාවෙන් ම අපේ දෙනෙත් වසාගෙන ඇති බැවිනි.

සාහිත්‍යකරුවා කළ යුත්තේ පවතින සමාජ වටපිටාව පිලිබඳව ජනතාව දැනුවත් කිරීමයි. දැනුවත් කොට ඔවුන් පීඩනයට පත්කරනු ලබන බලවේග මොනවාදැයි පහදා දී එකී බලවේග පරාජය කිරිම සඳහා ජනතාව පෙළ ගැස්වීම යි. එය නවකථාව, කෙටිකතාව හෝ කවිය එසෙත් නැත්නම් වෙනයම් ලියැවිල්ලක් විය හැකිය. වෙනත් කලා නිර්මාණයක් වන්නට පුළුවන. මේ කුමන සාහිත්‍යාංගයක් හෝ කලා නිර්මාණයක් උපයෝගී කොටගෙන තමන්ගේ යුතුකම ඉටු කරන්නට සාහිත්‍යකරුවා පෙළඹෙන්නේ නම් වත්මන් මොහොතේ නිද්‍රාශීලීව සිටින ජන සමූහයා අවදි කළ හැකිවනු ඇත. මහේෂ් කුමාරගේ "කවිය කම්බස්" කාතිය මේ සඳහා සුභදායි ආරම්භයක් ලෙස සටහන් කිරීම නිවැරදි යැයි මා අදහස් කරමි. හුදු ප‍්‍රචාරකවාදී ආකෘතියෙන් මිදී බහුශ‍්‍රැත භාෂාවෙන් බැහැරව එහෙත් "කවිය" නමැති මාධ්‍ය අවතක්සේරුවට ලක් නොකරමින් තම හැකියාවන් හරහා යම් හෝ සමාජ සද්කාර්යයක් වෙත එළඹීම ප‍්‍රවීණ කවීන්ට ද ආදර්ශයකි.

තමන් අනු දක්නා දෑ කැටිකොට ගනිමින් පබැඳි කවි සමුච්ඡය තුළ කවියාගේ දේශපාලන මතවාදය මතු නොව විශ්ව සාහිත්‍ය හරහා තමන් ලබාගත් දැනුම, බෞද්ධ දර්ශනය තුළින් කවියා ලබාගත් දැක්ම සහ බයිබලය තුළින් තමන් ග‍්‍රහණය කොට ගත් දෑ ද එක මිටකට ගනිමින් එහි ඇති රසය වෙන වෙනම පාඨකයාගේ හද මනස තුළට කාවැද්දීමට කවියා සමත් වී ඇත.

කවියා තම කෘතියේ ඇතුළත් කවි 83 අතරින් මාතෘකා යොදා ඇත්තේ කවි 17කට පමණි. ඉතිරි කවි 66 සඳහා මාතෘකා නොයෙදීම තුළින් නන්විධ පාඨකයිනට තමන් රිසිසේ එකී කවි රසවිඳීමේ නිදහස උදාකර දී ඇත. කවියා තම යුතුකම් කොටස සපුරා, එහි අයිතිය පාඨකයාට පවරා ඇත. යම් ආකාරයකින් කවියා අදහස් කළ අරුතට වඩා හාත්පසින් ම වෙනස් අරුතක් කවිය කියවන්නාට දැනෙන්නට පුළුවන. එය කවිය රසවිඳින්නාගේ ඥානනය අනුව වෙනස්වීමට පුළුවන. විවිධ අරුත් ජනනය වුව ද කවියේ රසවින්දනයට ඉන් බාධාවක් නොමැතිවීම කවියා, පාඨකයා යම් රාමුවකට සීමා කරනු ලබන බැමිවලින් නිදහස් කිරිමකි.

පහත සඳහන් කවිය පිලිබඳ කවියාගේ දැක්ම කුමක් වුව ද කවියාගේ දේශපාලන මතවාදය බැහැර කරන්නාට ද එකී කව බෞද්ධ දර්ශනය මත තබා රසවිඳිය හැකිය. බෞද්ධාගම හරහා මතුවන යම් මතවාදයක් මත තබා රසවිඳිය හැකිය.

"අංගුලිමාල,
කොයිතරම් නම් කැපුව ද
මහපට ඇඟිලි
නවසිය අනූ නවය නම්
ඉක්මවිය නොහැකි ම ය
එක් ඇඟිල්ලක් එනවිට
මාලයට
එක් ඇඟිල්ලක් කුණුවී වැටෙයි
අංගුලිමාල,
මේ මාලය නම්
නිමකළ නොහැක්කේ ම ය
අංගුලිමාල,
මම නැවතුනෙමි.
ඔබ ද නවතින්න."

-පිටුව 31

නිමා කළ නොහැකි දුක් වේදනාවන් අබියස අසරණව, පීඩිතව සිටින ජනයා වෙත කරනු ලබන මෙම ආරාධනය ආගමික දර්ශනය සහ දේශපාලන දර්ශනය යන දර්ශන ද්වය මත තබා විවරණය කළ හැකි ගැඹුරු අරුතකින් හෙබි කාව්‍ය නිර්මාණයකි. මෙවැනි කාව්‍ය නිර්මාණ කීපයක් කෘතියේ අන්තර්ගතව ඇත. මේ එවන් අරුතක් ගැබ්ව ඇති තවත් කාව්‍ය නිර්මාණයකි. ‍

"බොහෝ විසිතුරු දේ
තිබිය හැකි මුත්
කුණු කන්ද
අත්හළ යුතුම වේ
අත්හළ නොහැකිව
තොරොම්බල් විසිතුරු
ඉහඳ ගහනා මේ කුණු ගොඩ
බදා
වැළඳ ගන්නා මා මිතුර,
නොපෙනේද?
ඉහඳ ගහමින් කුණුවෙනු
ඔබමද"

-පිටුව 40

මෙම කවිය කියවීමෙන් අනතුරුව මා සිහියට නැගුණේ පිදෙල් ක‍්‍රස්තෝගේ කියමනකි. මාධ්‍යවේදියෙකු පිදෙල්ගෙන් විවෘත ආර්ථිකය පිළිබඳ විමසීමේ දී පිදෙල් පවසා ඇත්තේ, "අප මේ සිටින කාමරයේ දොර විවෘත කළ සැණින් කාමරය තුළට ගලා එන්නේ පිරිසිදු වාතය පමණක් නොව අවට පරිසරයේ තිබෙන අපිරිසිදු වාතය ද ඒ සමග පැමිණේ. විවෘත ආර්ථිකය ද එවැන්නකි" යන්නයි.

කවියා තම දේශපාලන මතවාදය පාඨකයා වෙත සමීප කරවීම සඳහා මෙවැනි සරල එහෙත් ගැඹුරු උපමා රූපකයන් භාවිතා කොට ඇත්තේ මුහුකුරා ගිය කවිත්වයක් මතුකරලීමෙනි. කවිය කියවීමට, රසවිඳීමට මෙන් ම අරුත් වටහා ගැනීමට බහුශ‍්‍රැත භාෂා ඥානයකින් පිරිපුන් නොවූ පාඨකයකුට වුව ද, මෙම කාව්‍ය නිර්මාණය ඉවතලිය නොහැකි නිර්මාණයක් බවට පත්වන්නේ කවියාගේ දක්ෂතාව නිසාවෙනි.

සියල්ලට වඩා මුදල් ප‍්‍රමුඛත්වය ගන්නා වත්මන් ක‍්‍රමය තුළ 1986 සිට 2007 මෙරට කාන්තාවන්ගෙන් 52.77% මැදපෙරදිග වහල් සේවය සඳහා යොමුව ඇත. බිරිඳ විදේශගත වූ පවුල් සංස්ථාව තුළ මතුව ඇති ගැටළු අප පුවත්පත් තුළින් අනන්තවත් කියවා ඇත. කුඩා අවදියේ මලක් මෙන් රැකි තම දියණිය වෙතින් බිරිඳ නැති අඩුව පිරිමසාගන්නා පියවරුන් පිළිබඳ කවියා තම කවි සිත මෙසේ අවදි කරයි. (කවිය දීර්ඝ බැවින් මෙය ලිවීමේ ක‍්‍රමවේදය වෙනස් කළ බව සලකන්න)

Air Mail

මල් වගේ - කැකුළු කල
රැකබලන් - ඇති කළේ
පිපුණු කල - අනේ පෙති සිඳින්න ද
කාට මේ - අවනඩුව
කටක් ඇර කියන්න ද - ඉතිං මම
මලක් වී - තටු අගින්
පිපෙන දින - නොසිටි ළඟ
අම්මේ උඹ - ඇවිත් හෙට
දුවේ යැයි - කටක් ඇර
කියන්න ද - ඉතිං මට

-පිටුව 52

තම දියණියගෙන් මෙවන් ලිපි ලබන මවුවරුන් කොතෙක් නම් මැදපෙරදිග ඇද්ද යන වග කවියා ඉතාමත් සරල බසකින් මෙසේ ඉදිරිපත් කරන්නේ මෙතෙක් කවිය උදෙසා භාවිතා කළ යුතු යැයි ඇදහූ භාෂාවේ ද නව මානයක් ස්පර්ශ කරමිනි.

මෙම කෘතිය කොටස් දෙකක් ලෙස ඉදිරිපත් කළේ ඇයි ද යන්න තරමක් ගැටළු සහගත කරුණකි. පළමු කොටස කියවාගෙන යනවිට දැනෙන්නේ උක්දණ්ඩක් අගසිට මුලට හපනවිට දැනෙන රසයක් වුව ද දෙවන කොටසට එළඹීමේ දී පාඨකයා අතරමං වන තත්ත්වයකට පත්වනු ඇත.

දෙවන කොටසේ අන්තර්ගත බොහෝ කවි රචනා කොට ඇත්තේ ආදරය, යොවුන් පේ‍්‍රමය සහ එදා සහ අද පෙම්වතුන් පෙම්වතියන් අත්දකින්නා වූ ඛේදවාචකය බව පැහැදිලි ය. එහෙත් එම කොටසේ ඇතැම් නිර්මාණ තුළ පළමු කොටසේ තරම් සාර්ථක නිර්මාණ නොමැති බව ද පැවසිය යුතුය. මගේ පුද්ගලික හැඟීම නම් මෙම කෘතිය පළමු කොටසින් අවසන් කළා නම් වඩාත් සුදුසු බවයි.

දෙවන කොටසේ අඩංගු කවි 36 අතුරින් කවි හයක් හතක් හැර අනෙක් නිර්මාණ එතරම් අගය කළ හැකි නිර්මාණ නොවේ. ජංගම දුරකතන ව්‍යාප්තවීම පිළිබඳ කවියා තම දැක්ම මෙසේ සටහන් තබයි.

"බොහෝ කාලයක සිට පිරිමින්
ඔවුන්ගේ ලිඟු - අල්ලති
ඔබති - මැනබලති
සසඳති

දැන් ටික කලක සිට - ගැහැනුන්ට ද
මෙය බෝවී ඇත
ඔවුන් ඔවුන්ගේ ජංගම දුරකතන
අල්ලති - ඔබති
මැනබලති - සසඳති

අනාගතයේ දවසක ඔවුන්ගේ දරුවන්ට ද
දරුවන්ගේ දරුවන්ට ද
දැරියන්ට ද
මෙය පුරුද්දට යනු ඇත.

අපේ දරුවන් ගලවාගත මැනව"

-පිටුව 103

කවියෙන් කවිය ගෙන විමසුමට ලක් කළහොත්, බොහෝ කවි ගුණාත්මක බවින් ඉහළ මට්ටමක පවතී. ආදරය, පේ‍්‍රමය, සමාජ ගැටළු, දේශපාලනය, විප්ලවීය පණිවිඩ සහ කවියාගේ හැදෑරීම් තුළින් තෝරා බේරාගත් යම් යම් රසාලිප්ත කොටස් මුසුකොට නිම කොට ඇති "කවිය කම්බස්" කෘතිය තරුණ කවියෙකුගේ අපරිමිත උත්සාහයක් ලෙස හැඳින්විය හැකිය.

අරුත්සුන් නවකතා රාජ්‍ය සාහිත්‍ය සම්මාන ලබද්දී මෙවන් ආධුනික නිර්මාණකරුවන් තම කවීත්වය තුළින් හෝ අප වටකොට සිටින විනාශකාරී බලවේගයන් පිලිබඳව පාඨකයන් දැනුවත් කිරීම යුගයේ අවශ්‍යතාවකි. උගතුන්ගේ හෝ වියතුන්ගේ සම්මානයට පාත‍්‍රවන්නට නොහැකි වුව ද කවියාගේ උත්සාහය මතු පරපුරට ද ආදර්ශයක් වනු ඇත.

[2010-02-20]

ජයසිරි අලවත්ත



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails