Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



මම අරමුණක් ඇතිව ඉදිරියට ඇදෙමින් සිටිමි. වියළි පාළු පාර මට සිහි කරවන්නේ A-9 මග දෙපස කටුක පාළුව සහ කිළිනොච්චිය යි. එක්වර ම කල්කටාවේ ඈත කෙළවරෙහි ළඳු කැලෑ අතර ඇවිද යමින් සිටින අපූ මට හමු වෙයි. භට්ටෝපාද්‍ය විස්තර කළ නිල්වන් වර්ෂා වනාන්තරය තුළ නොව කටු පඳුරු ගහණ තැන තැන වියළි කලාපයට ආවේණික මල් පිපුණු පඳුරු වලට මුවා වෙමින් ගිනි අව්වේ නැහැවෙමින් මුහුණ රතු කරගත්-

අපූ ගුජරාටයේ කෙළවරක දේව්පුර දක්වා දිවෙන මග දෙපස පෙනී නොපෙනී විත් මා හා සිනාසී දිව යයි. අධි වේගී මාර්‍ගයෙන් යාර කීපයක් මෙපිට ගමට දිවෙන කුඩා තාර පාරෙහි රෑ බෝවීමට කලින් නිවෙස් වලට යා ගනු පිණිස ට්‍රැක්ටරයක් හමුවෙන තුරු බලා හිඳින බලාපොරොත්තු දැල්වෙන මුහුණු ... ගැහැණු , පිරිමි , ළමුන්... පාර අයිනේ ඇණ තියාගෙන.. ගුජරාටයේ ඈත ආනන්ද් දිස්ත්‍රික්කයේ පිහිටි ඒ කුඩා ගම්මානය- දේව්පුර. මොහොතකින් හමුවන බාජ්රා යායවල් සිය සුදු කරල් හා සමග නැළවෙමින් මා හා නටයි. වියළි ලංකාවේ බඩ ඉරිඟු යායක් මැදින් යන්නාක් වැනි හැඟීමක් ඒවා ගෙනෙයි. වහළවල් බිමට ගෑවෙන කුඩා මැටි පැල්පත්... මැටි ගඩොල් කපන ඇතැම් තැනෙක ගඩොල් නොබැඳ ඒවා එකපිට තනා ගත් ආවරණයක හෙවත් නිවෙසක ගැහැණු හා ළමෝ අහර පිසිමින් සහ කෙළි සෙල්ලම් කරමින් එළඹෙන රැයට සූදානම් වෙති. බොහෝ නිවෙස් කුඩා වුව ද ගෙපිළ ඉඩ කඩ ඇති එකකි. ඇඳන් වලට සමාන ආසන කිහිපයක් සෑම ගෙපිළකම දක්නට ඇත. ඒවා මට සිහි කරවන්නේ ලංකාවේ මතකයෙන් මැකී යමින් තිබෙන පිලෙහි තබා තිබූ ලණු ඇඳයි. හරකුන් ද බල්ලන් ද එළුවන් ද කොළුවන් ද මිනිසුන් ද ගැහැණුන් ද පිලෙහි සහ මිදුලෙහි ලැග ගෙන කතා බහෙහි නිරත වෙති. සතුන් කණ් සහ හිස් වනන්නේ සංවාදයට රුකුල් දීමට මෙනි. දුහුවිල්ලෙන් නෑවුණු මග එක් පසෙක මිත්තණියගේ ඇකයෙහි ඇලුණු කුඩා බිළිඳියක සිය කුඩා දෑතින් ඇස් වසාගෙන බස් රථය දෙස හොරැහින් බලමින් සුන්දර දසුනක් මවයි. හැම වැඩ කරන අතක ම ඇඳි මෙහෙඳි රටාවක් ... හැම කුඩා ගෙපැළක ම කැරළි කෙස් සහ දේව දූත මුහුණු සහිත කුඩා දරුවන් පසු කරමින් අසීරුවෙන් බඩගාන පටු මාවත ඔස්සේ මම ඇදී යමි.

තැනෙක විසිතුරුව සැරසූ වීදියක් සහ තොරණකි. ඒ විවාහ මංගල්‍යයක් සඳහාය. ශබ්ද විකාශන යන්ත්‍ර දෙකක් පෙරටු කරගත් පිරිසක් පෙරහැරින් එනු පෙනෙයි. දීප්තිමත් ඇඳුම් වලින් ද ආභරණයෙන් ද සැරසුනු සියල්ලෝ සාම්ප්‍රදායික ඉන්දියානු නර්තනයක යෙදෙමින් ඒ වෙනුවෙන් විනෝද වෙති. මුළු වීදිය ම එකම නැටුමකි, හිස් ගොඩකි. හිරු අවරට ගොස් විවේක ගත යුතු වේලාව ද පසු වී ඇති මුත් එය තවමත් සිය කාර්යය නිමා කොට නැති සැටියෙකි. එනිසා ම දේවපුර ගමෙහි ඉපැරණි පාලම් ඇන්දෙහි ඉරි තැළුණු සිමෙන්ති ගැළවුණ තැන් පැහැදිළිව පෙනෙයි. බස් රථයට තවත් යා නොහැකි තැන මම පයින් ඇවිද යමි.. සිනිඳු පිටි වැනි දුහුවිලි තුළ දෙපා විළුඹ තෙක් එරෙයි. කුඩා පැළක් තුළින් අඩ අඳුරේ එළියට දිව එන දෑවුරුදුදක් තරම් වන කුඩාවෙක් නිරුවතින් ම ගසක වෙලී මඳ සිනා නගයි. ඉන් ඔබ්බට එළඹෙන ළඳු බිම දුගඳ මුසු පවනක් රැගෙන එන්නේ ගමෙහි සනීපාරක්ෂාව ගැන කියා පාමිනි. එනිසා‍ ම ඔබ ප්‍රවේශමින් පියවර තැබිය යුතුය. තැනින් තැන අහසෙහි කැටි වන වලාකුළු යටින් වියළි කටු පඳුරු සසලවමින් වැලි අවුස්සමින් සුළඟ දඟ කරයි. නිම්න භූමිය පසු කොට කණ්ඩියට නැගුණ පසු ඔබ නැගෙන්නේ ඔලිම්පස් වෙතය. එනම් එතැන් පටන් වියළි ලෝකය හරිතවත් වෙයි. සුවිසල් නුග රුකක්.. ඉන් එහා විසල් හරිතාගාර.. කුඩා නිවෙසක යුහුසුළුව අහර පිසින ගැහැණුන් මට පෙනෙයි. ඒ ඔවුන්ටත් මටත් අපටත් එළඹෙන්නට නියමිතව තිබූ හැන්දෑවයි.

සුහද පිළිගැනීම්.. නළලෙහි ගල්වන කුංකුම, සහල් , මුවට සකුරු ... අතට මල් .. ඉන් අනතුරුව වතුර බඳුනක්.. "පානී චහියේ?" .... ධූලි නම් දිරිය ගැහැණිය සහ තවත් ගැහැණුන් සායම් මැකුණ ද තවමත් වර්ණවත් ගුජරාටි සාරි වලින් ද මෙහෙඳි වලින් ද දහඩියෙන් ද සැරසී .... අපි නුග ගස යට සැකසූ පොළොවෙහි බිම හිඳගෙන සිටිමු. කිසිදා පාසල් නොගිය මුත් ඉතුරුම් කණ්ඩායමක් තුළින් එකමුතුව ආනන්ද් හි කෘෂිකර්ම සරසවියේ කෙටි කාලීන පාඨමාලාවක් හැදෑරීමට වරම් ලදුව දේවපුර ගමෙහි ඇළ අසබඩ හරිතාගාරයක් ඇරඹූ ධූලි ප්‍රමුඛ මේ ගැහැණුන් .... ධූලි නුග රුක යට හිඳගෙන සිය අමුතු උච්ඡාරණයෙන් ගුජරාටි බසින් වේගයෙන් කියාගෙන යයි. මහන්සියෙන් ගොඩ නගන ලද හරිතාගාරය සහ පැළ තවාන රජය විසින් නීති රීති පෙන්වා වසා දමනු ලදුව වසර ගණනාවක් පුරා පංචායත් සභාව සමග ද රජය සමග ද සටන් වදිමින් කරන ලද අරගල වල ප්‍රතිඵලයක් ලෙස මේ ඉඩම රජයෙන් බද්දට රැගෙන වසර දෙකක් පුරා පොළොව සකස් කොට පිහිටුවන ලද බව.... පැළ තවාන, හරිතාගාරය, ‍ඖෂධ උයන සහ එළවළු වගාව ඇගේ කතාවට දෙස් දෙයි. දහවලේ දී ලොවට තාක්ෂණය හඳුන්වා දෙන බවට මා දුටු දියුණු ඉන්දියාවේ තවත් වෙනස් කෙළවරක්... අවට කැළෑව තුළට රිංගා ගත් අඳුර නුග ගසෙහි එල්ලෙන වැල් අතරින් අප වෙතට බඩ ගායි.

බාජ්රා වලින් සැදූ රොටී, කහ පාට බත්, සුදු පැහැ හොද්දක් සහ අමු එළවළු සමග අල හොද්දක් මට අහර පිණිස ලැබී ඇත. කොළ පාට සාරියකින් සහ සිනහවකින් හැඩවුණු ගැහැණියක මට ඒවා බෙදයි. ගින්දර අසල තැම්බෙමින් සිය ශ්‍රමය අනා ගෙනා ඒ වෙහෙසෙහි ඵල මම බැතියෙන් වළඳමි. ජාතියකින් කුලයකින් භාෂාවකින් දේශ සීමාවකින් වෙන් කොට හඳුනාගත නොහුණු ඒ අඳුරේ විසල් නුග රුක යට අපි එක්ව ආහාර ගනිමින් සිටිමු.

ඒ සමුගැනීමේ හෝරාවයි . ගීත ගායනා, තුති පිදීම් , දෑතින් දෑත් වැළඳ ගැනීම්, "නමස්ගේ බේන්", "ආප්කෝ බොහොත් ෂුක්රියා"..... ගොම මැටි ගෑ සීතල පොළව මත අප උණුසුම් දෙපා පැකිළෙයි. මම නැවත හැරී ගොස් ඒ දෙනෙත් වලට එබෙමි. මතකය සවිමත් කර ගනු පිණිස... අඩ සියවසක් ඉළපත් වලින් ගෙමිදුල් අතු ගෑ අත්වල ඇඳි මෙහෙඳි රටාව මතක තබා ගනු පිණිස... කිසිදා අකුරක් ලියන්නට නූගත් එහෙත් ලොව බලවත් ම රජයක් හා අරගල කොට බදු බිමක් දිනා ගත් ඒ ගැහැණුන්ගේ දෑස්වල දිදුළන ධෛර්යය යළි දකිනු පිණිස...

ඔවුහු නිහතමානීව අවිහිංසකව මද සිනා නගති. මම එන්නට හැරෙමි. යළිත් කටු පඳුරු සහ දුගඳවත් මද පවන මැදින්.. මට ඉහළින් වෙසක් අහසේ අඩ සඳ එළිය වගුරුවයි. ඒ එළිය මා පිට ද ළඳු කැළෑව මත ද දුර සිට මා දෙස බලා හිඳිනා ධූලි සහ ඇගේ මිතුරියන් මත ද සෙනෙහසින් වැගිරෙයි.

12.05.2011 [අහමදාබාද්]

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails