Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



  • පශ්චාත් එල්ටීටීඊ සමයත් එක්ක ගොඩගැගුණ ලංකාවේ ගතිකයන් ඔබ කොහොමද දකින්නෙ?

  • මේ රටේ බොහෝ දෙනෙක් අදහස් කළදෙයක් තමයි පශ්චාත් එල්ටීටීඊ සමයත් එක්ක අපි අපේ ඉතිහාසයේ වඩාත් අවස්ථා බහුල තත්ත්වකට එළැඹිලා ඉන්නවා කියන එක. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් විශ්වාස කරනවා අපිට සංවර්ධනය කරා යන්න හොඳ ප්‍රස්ථාවක් උදාවෙලා තියෙනවා කියලා. ආණ්ඩුව අදහස් කරනවා වගේ භෞතික සංවර්ධනයක් විතරක් ඔවුන් එතනදි අපේක්ෂා කරන්නෙ නෑ. සංවර්ධනය කියන සංකල්පය තුළ මේ ප්‍රගතිශීලී ජනතාව භෞතික සංවර්ධනයට අමතරව ජාතියක් විදිහට සමාජීය අතින්, දේශපාලනික අතින් සහ සංස්කෘතික අතින් සංවර්ධනයක් සිදුවෙයි කියලා කල්පනා කරනවා.

    මම වුණත් කල්පනා කරනවා එහෙම සුළු අවස්ථාවක් අපිට තියෙනවා කියලා. නමුත් එච්චර සුබවාදී විදිහට මට මේක දකින්න බෑ. අවුරුදු තිහක යුද්ධය පිළිබඳ මේ රටේ බොහෝ දෙනා කල්පනා කළ දෙයක් තමයි යුද්ධය හැර මේකට වෙන විසඳුමක් නෑ කියන එක. ඉතින් ඔවුන් සාධාරණීයකරණය කරන්න උත්සාහ කරනවා එල්ටීටීඊ සංවිධානය ඉතා ප්‍රචණ්ඩකාරී ආකාරයට රජය විසින් පරාජය කළ එක. නමුත් මම හිතනවා මෙතන විශාල ප්‍රශ්නයක් තියෙනවා කියලා. මොකද මේක අපේ අතීතය පිළිබඳ ප්‍රශ්නයක් විතරක් නෙමෙයි තවත් අතකින් මේක අපේ අනාගතය පිළිබඳවත් ප්‍රශ්නයක්. අපිට සදාචාරාත්මක සමාජයක් විදිහට ඉස්සරහට යන්නනම්, අපි පසුගිය අවුරුදු පිළිබඳ බලන විදිහ සහ ඒ දේවල් අපි අනාගතයට යන්නේ කොහොමද කියන කරුණටත් ඉතා තදින් බලපානවා.

    මම හිතන විදිහට අපිට ප්‍රභාකරන්ව පරාජය කරන්න අවස්ථා ගණනාවක් තිබුණා. හැබැයි ඒ යුදමය වශයෙන් නෙමෙයි අවශ්‍ය නම් මේ රටේ රජයට අවස්ථා ගණනාවක් තිබුණා දේශපාලනික වශයෙන් ඔහුව පරාජය කරලා, ඔහුව ලෝකය තුළ සහ ලංකාව තුළ තනි කරලා එල්ටීටීඊ සංවිධානය සම්පූර්ණයෙන් විසිරෙන තත්ත්වයකට පත් කරන්න.

  • යුදමය ක්‍රියාදාමයෙන් තොරව එල්ටීටීඊ සංවිධානය පරාජය කරන්න දකුණේ රාජ්‍යයන්ට හැකියාව තිබුණා කියන එකෙන් ඔබ අදහස් කරන්නේ කුමන පිළිවෙතක්ද?

  • ප්‍රභාකරන්ව පරද්දන්න තිබුණු පළමු ක්‍රමය තමයි අද දක්වා විසඳිලා නැති, මේ රටේ දෙමළ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ප්‍රශ්න සඳහා ලෝකයටත් පේන එල්ටීටීඊ එකටත් පේන ඉතා සාධාරණ විසඳුම් ලබාදීම. අපි කවදාවත් මේ වගේ විසඳුමක් ලබා දෙන්න උත්සාහ කරලා නෑ. එහෙම උත්සාහ නොකර තමයි අපි කියන්නේ යුද්ධය හැර මේකට විසඳුමක් නෑ කියලා. යුද්ධය හැර මේ ප්‍රශ්නයට තිබුණු අනෙක් විකල්පයන් අපි ඉටු කරලා තිබුණා නම් අපිට බලන්න තිබුණා මොකක්ද වෙන්නේ කියලා.

    අපිට මතකයි චන්ද්‍රිකා රජයෙන් සාම ගිවිසුමක් ගේද්දි මේ රටේ දෙමළ ජනතාවගේ බලාපොරොත්තු කොතෙක් දුරට වැඩි වුණාද? ඔවුන් මේ ගැන කොච්චර උණුසුම් පිළිගැනීම් ලබා දුන්නද කියලා. මේ තත්ත්වය එල්ටීටීඊ එකටවත් පාලනය කරන්න පුළුවන් වුණේ නෑ. චන්ද්‍රිකා තම අවසන් යුගයේ ප්‍රකාශ කළ දෙය වුණෙත් මේක කෲර, අසාධාරණ යුද්ධයක් කියන එක. ඇය කිව්වා මේ යුද්ධයට කරන්න පුළුවන් හොඳම දේ තමයි ඒක නවත්වන එක කියලා. ඒ කතාවේ හැටියට යුද්ධය නවත්තලා පැහැදිලි විසඳුමකට ගියා නම් මේ රටේ දෙමළ ජනතාව කොච්චර දුරට ඒ නායකයා පිටුපස යයිද, ජාත්‍යන්තර ප්‍රජාව සහ ජාත්‍යන්තර සංවිධාන කොච්චර එකඟවෙයිද කියලා අපිට හිතාගන්න අමාරු නෑ. ඉතින් ඒ වාගේ තත්ත්වයක් ආවොත් ප්‍රභාකරන්ට කරගන්න දෙයක් නෑ. ඔහුගේ පැවැත්ම ඒත් එක්කම ඉබේම අහෝසිවෙලා යන්න තිබුණා.

    එල්ටීටීඊ සංවිධානය එක් අවස්ථාවක බිඳෙන්න පටන් ගත්තෙත් මේ වගේ සාම ක්‍රියාදාමයක ප්‍රතිඵලයක් විදිහට. ඒ විතරක් නෙමෙයි මේ තුළ දෙමළ විද්වතුන් විසින් ඉතා වැදගත් සංවිධාන පවා ගොඩනැගුවා. එහෙම වුණත් අපි අන්තිමට කළේ ඒ සියල්ල අතහැරලා මේකට තියෙන එකම විසඳුම යුද්ධය කියලා කියන්න පටන් ගන්න එක. අපිට තියෙන අවස්ථා සියල්ල මඟහරිමින් යුද්ධය මෙච්චරකල් දිග්ගැස්වීම සම්බන්ධයෙනුත් අවසන එය ඉතා ප්‍රචණ්ඩ අයුරින් පරාජය කිරීම සම්බන්ධයෙනුත් මේ රටේ දකුණේ ජනතාව හා දකුණේ රජයන් වග කියන්න ඕන.

  • ලෝකයේ විනයගරුක හමුදාව ඉන්නේ අපේ රටේ. ලෝකයේ මානුෂිකම මෙහෙයුම වුණේ මේ රටේ කියලා එක පැත්තකින් කියද්දි තවත් පැත්තකින් මේ රටේ යුද සදාචාරය ඉතා බරපතළ විදිහට ජාත්‍යන්තරය ඉදිරියේ ප්‍රශ්න කෙරෙනවා.?

  • දෙවැනි ලෝක යුද්දෙදි ලෝකයට අභිමුඛව ප්‍රධානත්වය අරන් කටයුතු කළ කෙනා වුණේ හිට්ලර්නෙ. ඒ මීට අවුරුදු හැටකටත් වඩා කලිං. මොවුන් ජපානය සහ ඉතාලිය එක්ක එකතුවෙලා අතිශය නාසිවාදී වැඩ පිළවෙළකින් මුළු ලෝකයම යටත් කරගැනීමේ ව්‍යායාමයක යෙදිලා හිටියේ. අවසානයේ හිට්ලර් පරාජය කළා. ඒත් අද වනවිට විද්වතුන් කථා කරනවා හිට්ලර්ව පරාජය කරන්නත් තව ක්‍රම තිබුණා කියලා.

    මොනව වුණත් මෙතනදි අවුරුදු පහක දරුණු යුද්ධයක් කරලා මිලියන ගණනාවක ජනතාව විවිධාකාරයෙන් ඝාතනය කෙරුණා. මේ යුද්ධයේ අවසාන මොහොතේ දී එක පැත්තකින් සෝවියට් දේශයත් අනිත් පැත්තෙන් ඇමරිකාවත් ජර්මනියට ඇතුළු වුණා. අන්තිමේදී හිට්ලර් ගෝරින් වගේ ඉහළම පිරිසක් සිය දිවි නසා ගැනීමත් ඝාතනය වීමත් තවත් පිරිසක් රට අතහැර පැනල යෑමත්, තවත් පිරිසක් අත්අඩංගුවට පත්වීමත් මේ මොහොතේ දී සිදුවුණා. නමුත් මෙසේ අත්අඩංගුවට පත් කිසිවෙක් ඝාතනය කළේ නෑ. ඔවුන් කළේ මේ පිරිස ජීවග්‍රහණයෙන් අල්ලලා නිවුරන්බර්ග් නඩුවිභාගයට ඉදිරිපත් කරන එක. මේ අනුව ෆැසිස්ට්වාදය නියම ආකාරයෙන් පරාජය වුණා. ඒ නඩු විභාගයත් එක්ක තමයි ජර්මන් ජනතාවත් නිවැරදි පරිදි සත්‍ය වටහා ගන්නෙ.

    ඔවුන් මෙසේ නඩු විභාගයකට ගෙන අතිශ්‍ය බුද්ධිමත් ලෙස ඔවුන්ට දඬුවම් නොදී ඔවුන් විනාශ කළා නම් හිට්ලර් වීරයෙක් කරගෙන ජර්මනිය තුළ තවත් ආකාරයේ නැගිටීමක් ඇති වෙන්න ඉඩ තිබුණා. මෙතනදි අපි අමතක කරන්න හොඳ නැති දේ තමයි මේ දේවල් වුණේ ලෝකයේ යුද්ධය පිළිබඳ අද තරම් ජාත්‍යන්තර යුද සදාචාරයන් පිළිබඳ ප්‍රඥප්ති ඇති වුණ යුගයක් නෙමෙයි. අඩුතරමේ එක්සත් ජාතීන්ගේ සංවිධානයවත් පිහිටුවලා තිබුණේ නෑ. නමුත් ශ්‍රී ලංකාව යුද්ධය මෙහෙයවන අද දවස එහෙම නෙමෙයි. මොනවා වුණත් ඒ වගේ බැඳීම් අඩු ලෝකයක් තුළ පවා හිට්ලර්ගේ අනුගාමිකයන් සම්බන්ධයෙන් ලෝකය කටයුතු කළ ආකාරය ඉතා ප්‍රසංශනීයයි.

  • ඔසාමා බින් ලාඩන් ඝාතනය කෙරුණු ආකාරයත් එක්ක එක පැත්තකින් මේ කියන සදාචාරය ප්‍රශ්නයකට නැගිලා තියෙනවා. තවත් පැත්තකින් ඒ සදාචාර විරෝධී බව සාධාරණීයකරණය කරමින් එය ශ්‍රී ලංකාවේ වාසියට ගැනීමට මේ රටේ බොහෝ පිරිසක් උත්සාහ කරනවා?

  • බින් ලාඩන් සම්බන්ධයෙන් අමරිකානු රජය ක්‍රියා කරපු ආකාරය කොහොමත්ම අනුමත කරන්න පුළුවන් කමක් නෑ. තමන්ට සියලු බලය තියෙනවා ඒ නිසා තමන්ට ඕනෙ දෙයක් කරන්න පුළුවන් කියන ආකාරයට තමයි දැන් දශක ගණනාවක ඉඳන් ඇමරිකාව කටයුතු කරන්නෙ. බැලූ බැල්මට බින් ලාඩන් අවසන් වුණත් මේ ඝාතනය එක්ක අනාගතයේදී ඇමරිකානු ජනතාවට විශාල වන්දියක් ගෙවන්න සිදුවෙයි කියන එක ඉතාමත් නිශ්චිතයි. මෙතනින් මම අදහස් කරන්නේ මේ කණ්ඩායම් නැවත මතුවෙනවා කියන එක නෙමෙයි. මේක්‍රියා පටිපාටිය නිසා තමන් හිටියාට වඩා සදාචාර වශයෙන් කොතරම් පිරිහිලාද කියන එක ඇමරිකානු ජනතාවගේ හෘදය සාක්ෂියෙන් මකන්න පුළුවන්කම කවදාවත්ම ලැබෙන්නෙ නෑ. අනෙක් අතට ඇමරිකාවේ විශාල බුද්ධිමත් පිරිසක් මේ කරුණ සම්බන්ධයෙන් ප්‍රශ්න කරන එක නවත්වන්ඩ බැරිවේවි. විශේෂයෙන් බරක් ඔබාමා වගේ ජනාධිපතිවරයකු බලයට ගෙනා දැවැන්ත ප්‍රගතිශීලී බලවේගයන් මීට විරුද්ධව කටයුතු කරයි.

    අපේ රටේ ප්‍රශ්නයත් ඒ වගේ තමයි. අවුරුදු පනහකට කලිං හිටියාට වඩා අධ්‍යාත්මික වශයෙන් අපි ඉතා පිරිහිලා ඉන්නේ කියන යථාර්ථය අපි කාටවත් මඟහැරලා යන්න බෑ. අපි මේ ක්‍රමය තුළ දේශපාලනයේ තියෙන අතිශය දුෂ්ඨ දේවල් සහ අතිශය අධම දේවල් සාධාරණීකරණය කරන්න හරි ඉවසන්න හරි පුරුදුවෙලා තියෙනවා. මේක රාක්ෂයයි පරාක්ෂයයි අතර සටනක් වගේ පරාක්ෂයා දිනලා තියෙනවා. නමුත් සංස්කෘතික වශයෙන් සහ අධ්‍යාත්මික අතින් අපි පැරදිලා ඉවරයි.

    දරුස්මාන් වාර්තාව ප්‍රතික්ෂේප කරන්න ඔබාමා පිළිබඳ ප්‍රශ්නය අපි කොහෙත්ම අදාළ කර ගත යුතු නෑ. මේ වාර්තාව තුළින් ශ්‍රී ලංකාවෙන් අහන ප්‍රශ්න ඉතා බරපතළයි. ඇත්ත වශයෙන්ම මේ වාර්තාව හැකිනම් සිංහල භාෂාවට සහ දෙමළ භාෂාවට පෙරළලා සමාජගත කරන්න අවශ්‍යයි. මොකද එල්ටීටීඊ එක සම්බන්ධයෙන් රජය විසින් හෙළිදරව් නොකළ කරුණු රාශියක් මේ මගින් ඉස්මතු වෙනවා.

    මේ සම්බන්ධයෙන් තියෙන දෙවැනි ගැටලුව තමයි, දරුස්මාන් වාර්තාවෙන් ඉදිරිපත් වෙන්නේ මාධ්‍ය සමාජය නොදන්නා කරුණු නෙමෙයි. මේ ඔක්කොම දේවල් අපි කලින්ම දැනගෙන හිටියා. මොළයක් තියෙන බුද්ධිමත් සමාජයක් සහ රජයක් කරන්න ඕනෙ බොරු විරෝධතා පවත්වන එක නෙමෙයි. ඇමරිකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ඇමරිකාව විසින් සිදුකරන ලද දේවල් ලෝකයේ අනෙකුත් රටවල් එක්ක එකතුවෙලා ප්‍රශ්න කරනවා, හැර ඒවා සාධාරණීකරණය කරමින් ඒක අපේ වාසියට ගන්න උත්සාහ කරන එක සම්පූර්ණ වැරදියි.

    එක්සත් ජාතීන්ගේ සංගමයට විරුද්ධව පඹයෝ ගිනි තියලා උද්ඝෝෂණ කරන එක ලෝකයේ කොහෙවත් රටක වෙන්නෙ නැති තරම් ප්‍රාථමික එකක්. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයෙක් විදිහට අපි කරන්න ඕනෙ එක්සත් ජාතීන්ගේ රාමුව රැකගන්න එක. ඒ නිසා පශ්චාත් යුද සමයේ අපිට සිදුකරන්න ඕනෙ වැදගත් කරුණු කාරණා ගණනාවක් තියෙනවා.

  • යුද කාලීන වශයෙන් මේ රටේ සාමය හා සංහිඳියාව පිළිබඳ කල්පනා කළ බොහෝ විද්වතුන් පෙන්වා දුන් ප්‍රධාන කරුණක් තමයි මේ රටට ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය බව. යුද්ධය අවසන් වීමත් එක්ක 18 වන ව්‍යවස්ථා සංශෝධනය ආවා. දැන් 19 වන සංශෝධනය පිළිබඳ සාකච්ඡා වෙනවා. මේවා ඒ විදිවතුන් අදහස් කළ බලාපොරොත්තු ඉටු කරන මට්ටමේ ඒවද?

  • ඇත්තටම ඒක දුරදිග කල්පනා කරන්න ඕනෙ ප්‍රශ්නයක් තමයි. මෙතනදි මතුවන මූලික කරුණ තමයි, රජය කියන්නේ ව්‍යවස්ථාවද නීති පද්ධතියද කියන එක. මම හිතන විදිහට ව්‍යවස්ථාව හා නීතිපද්ධතිය කියන එක රජය කියන එකේ තාක්ෂණික ස්වරූපය මිසක් රජය නෙමෙයි. රජය කියන්නේ මේ රටේ ජීවත්වන මිනිස්සු ලක්ෂ ගණනාවක් වැඩ කරන ස්වරූපය. මෙතනදි අපි බලන්න ඕනෙ ඒ අය වැඩ කරන්නේ ව්‍යවස්ථාවට අනුවද කියලා. එතනදි අපිට පේන්න තියෙනවා ඉතා විශාල පරතරයක්. ඔවුන් කිසිවෙක් වැඩ කරන්නේ නීත්‍යනුකූල විදිහට නෙමෙයි.

    ව්‍යවස්ථාව කොච්චර වෙනස් කළත් වැඩක් නෑ මේ පිළිවෙළ ක්‍රියාත්මක වෙන්නේ වෙනම විදියකට නම්. එහෙම බලද්දි මිනිස්සු කල්පනා කරන, හැදුණු වැඩුණු පිළිවෙළ, දෘෂ්ටිවාදී සමාජය වශයෙන් බෙදිලා තියෙන හැටි, සංස්කෘතික වශයෙන් හැඩ ගැහිලා ඉන්න විදිහ වගේ කරුණු ව්‍යවස්ථාවකට වඩා රටක ගමන කෙරේ බලපාන බව ඉතා පැහැදිලියි.

    අනෙක් පැත්තෙන් ගත්තාම අපේ ව්‍යවස්ථාව මූලික වශයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ජනතාවක් සහිත එකක් වෙලා තිබුණත් අපි ක්‍රමයෙන් ඒක වෙනස් කරලා අපේ රටේ දේශපාලන සංස්කෘතියට ගැළපෙන එකක් අපි හදාගෙන ඉන්නවා. එතනදි අපි මූලික ව්‍යවස්ථාවන් තුළ තිබුණු ප්‍රජාතන්ත්‍රවාදී විභවයන් හෙමි හෙමින් අතුගාලා දාන එකයි කළේ. අපේ රටේ ව්‍යවස්ථාව ඉන්දියාව වගේ වෙනත් රටක ව්‍යවස්ථාවක් එක්ක සන්සන්දනය කරලා බලද්දි ඉතා පැහැදිලිව පේන්නෙ අපි ශතවර්ෂ ගණනාවක් ආපස්සට ගිහින් ඇති බව.

  • මේ වගේ තත්ත්වයකින් ගොඩ ඒමේ මූලික පියවර විදිහට ඔබ කල්පනා කරන්නෙ මොකක්ද?

  • මූලික වශයෙන් අපි මේ වැටිලා ඉන්න තත්ත්වය අපේ රටේ හැම දෙනාටම ඉතා හොඳින් පැහැදිලි කරලා දෙන්න ඕනෙ. එතනදි මේ රටේ ඉන්න සංනිවේදකයෝ පස් වර්ගයක් ඉතා වැදගත් වෙනවා. ඒ තමයි, මාධ්‍යකරුවෝ, කලාකරුවෝ, ගුරුවරු, ආගමික නායකයෝ සහ ජනමත නායකයෝ. ඒ පිරිසට විශාල හැකියාවක් තියෙනවා මහජනයාට ඒත්තු යන විදිහට යම් බලපෑමක් කරන්න. මොකද ඒ අය තමයි මාධ්‍ය පවත්වාගෙන යන්නේ, ඒ අය තමයි කලාව නිෂ්පාදනය කරන්නේ ඒ අය තමයි පන්සලේ පල්ලියේ මිනිස්සු අමතා කථා කරන්නේ. ඒ නිසා මොවුන් අතරින් සමාජ වෙනස්වීමක වස්තූබීජ පැන නගින්න ඕනෙ. අපි පුනරුද ව්‍යාපාර කියලා සලකන්නේ ඒ වගේ දේවලට.

    ඒ නිසා පෙරමුණු බලවේගය හැටියට සමාජයේ විඥානය සකස් කිරීමට මේ කියූ පිරිසට තියෙන වගකීම ඉතා විශාලයි. එතනදි ඔවුන් මූලික වශයෙන් අලුතින් හිතන්න අවශ්‍ය වෙනවා. ඒ විදිහට අලුතින් හිතලා වැඩ නොකර හුදෙක් ව්‍යවස්ථාමය කඩදාසි වෙනස් කළා කියලා අපි මේ ඉන්න ශිෂ්ටාචාර අර්බුදයෙන් අපිට ගැළවෙන්න බෑ. නමුත් මේක ඉතා පහසුවෙන් සහ කෙටි කලකින් ජය ගන්න බෑ. එතනදි විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සහ ගුරුවරුන්ට තියෙන වගකීම ඉතාමත් වැදගත්. මොකද ඔවුන්ට තමයි පුළුවන් වෙන්නේ මේ ගොඩනැගෙමින් පවතින වැඩවසම් රාජ්‍යයට වඩා වෙනස් විදිහට හිතන අනාගත පරපුරක් ගොඩනගන්න.

    ඡායා - ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර
    [රාවය 14.05.2011]

    ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර



    මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
    Related Posts with Thumbnails