Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



සමාජ ක්‍රියාකාරිණියක වන ශානිකා විජේසිංහ සමග සම්මුඛ සාකච්ඡාවකි.

  • ලංකාවේ කාන්තා සංවිධාන සම්බන්ධයෙන් ඔබේ අදහස කුමක්ද?

  • ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන වශයෙන් සහ ප‍්‍රාදේශීය මට්ටමින් කාන්තා සංවිධාන බොහොමයක් තියෙනවා. නමුත් මේකෙන් සියයට 90ක් -95ක් ම කරන්නෙ කාන්තාව කේන්ද්‍රීයව කෙරෙන සංවර්ධන කටයුතු. ඒත් මේවා කොච්චර හොඳ වුණත්-

    මේවයෙන් කාන්තාව පිළිබඳ ආකල්පමය වෙනසක් සිදුවෙනව අඩුයි. මේක තමයි කරන්න අමාරු ම සහ කරන්න අවශ්‍ය ම දේ. මේ දෙපැත්තම සමබරව තියෙන්න ඕන කියලයි මගේ අදහස වෙන්නෙ. මොකද කාන්තාව ආර්ථික ශක්තියෙන්, රැකියාවෙන්, තනතුරු දැරීමෙන් කොච්චර හොඳ ඉහළ තත්ත්වයක හිට්යත් තීරණ ගැනීමේ කි‍්‍රයාවලිය තුළ දී ඇයට අවස්ථාවක් හිමිවෙන්නෙ නැහැ. අඩු තරමින් තමන්ගේ ජීවිතය ගැනවත් තීරණ ගැනීමේ අයිතිය ඇයට හිමි නොවන අවස්ථා බොහොමයක් තියෙනවා.

  • ලාංකීය ස්ත‍්‍රියගේ "භෞතිකය" හඳුනගන්න මේ සංවිධානවලට හැකියාවක් තියෙනව කියල ඔබ විශ්වාස කරනව ද?

  • අපි නිතරම කතා කරනව කාන්තාව ආරක්ෂා කරගනිමු කියල, ප‍්‍රචණ්ඩත්වයෙන් ඇයව රැකගන්න නීති අණ පණත් ගෙන එන්න ඉල්ලීම් කරනවා, නමුත් මේ වචන පාවිච්චි කිරීම තුළින් ම කාන්තාව සදාකාලික ගොදුරක් බවට පත්වෙනව කියලයි මගේ පුද්ගලික අදහස. කාන්තාව කියන්නෙ රැක බලාගත යුතු, ආරක්ෂා කරගත යුතු දුර්වල කෙනෙක් බවට නිතැතින් ම පත් වෙනවා. මේ දේවල් තුළින් කාන්තාව තවත් පහළ මට්ටමකට වැටෙනවා. එහෙම කරපුවහම එතැනින් එහාට එයාගෙ ජීවිතය වෙනුවෙන් හඬක් නගන්න හයියක් එයාට නැති වෙනව. අපි ඒ ශක්තිය එයා තුළ ගොඩනගන්න ඕනෑ. ඒ හින්ද මට හිතෙනව අපි යන්නෙ වැරදි පාරක කියල. අපට නීති පද්ධතියක් අවශ්‍යයි. ඒත් ඒක විතරක් මදි. කාන්තාව පිළිබඳ ආකල්පමය වෙනසක් ඇති කරන්නත් උත්සාහ කරන්න ඕනෑ. ඒකට ගැහැණු පිරිමි දෙගොල්ලන්ගෙම සහය අවශ්‍යයි. අනිත් එක අපි පාර්ලිමේන්තුවට කාන්තා නියෝජනය වැඩි කරන්න කියල ඉල්ලනව. කාන්තාවත් මේ සමාජයේ යම්කිසි ජන කොට්ඨාසයක් විදිහට සලකල නියෝජනයක් දීම වැදගත්. උදාහරණයක් විදිහට දෙමළ ජනකොටසට නියෝජනයක් දීම වගේ, තරුණයින්ට නියෝජනයක් දීම වගේ. නමුත් මම දකින්නෑ ඒකෙන් කාන්තාවගේ තත්ත්වය වැඩි දියුණු වීමක් වෙනව කියල. තියෙන ක‍්‍රමය නඩත්තු කිරීමක් තමයි මේ දේවල් වලින් වැඩිපුර වෙන්නෙ. ඒකෙන් කාන්තාව පිළිබඳ ආකල්පමය වෙනසක් සිද්ධ වෙන්නෙ නෑ. ඒ ක‍්‍රමය තුළම ඒ කාන්තාවත් ගොදුරක් වෙනව විතරයි වෙන්නෙ.

  • ඔබ කාන්තා සංවිධානයක ක‍්‍රියාකාරිණියක් හැටියට "ලාංකීය ස්ත‍්‍රිය" දකින්නේ කුමන ආකාරයකටද?

  • ලංකාවේ කාන්තාව ආසියානු කලාපයේ අනෙක් රටවල කාන්තාවන්ට වඩා ආකල්පමය වශයෙන් ඉදිරියෙන් ඉන්නව, ඇය ඉතාමත් ශක්තිමත්. ඒත් මම දකින දෙයක් තමයි අපි කොපමණ ස්වාධීනව කටයුතු කළත් අවසානයේදී ‘මම ගැහැණියක්නෙ’ කියල හිතනවා - සවිඥානිකව හෝ අවිඥානිකව එහෙම හිතෙනව. වඩාත් නිවැරදිව කිව්වොත් අපිට එහෙම හිතන්න පුරුදු කරලා තියෙනවා. මෙන්න මෙහෙම අමුතුවෙන් ගැහැණුයි කියල හිතුව ගමන් අපේ සංස්කෘතියෙ නැති දේවල් අපේ ඔලුවට අරගෙන අපි අපිට ම සීමා පනවගන්නවා. අපි අපිව ම බාධාවක් කරගන්නව. මේ හින්ද ගැහැණුන් තමන්ට කියල අභිමානයක් ඇති ආකාරයට ආත්ම ශක්තිය ගොඩනගා ගන්න ඕනෑ. මුලින්ම හිතන්න ඕනෙ තමන් මනුෂ්‍යයෙක් කියලා. මනුෂ්‍යයෙක් විදියට පොළොවේ පය ගහලා ස්වාධීනව ජීවත් වෙන්න ශක්තිය ඇති කර ගන්න ඕනෑ.

  • ඔබ කාන්තා සංවිධානයකට සම්බන්ධ වෙන්න කලින් සමාජ සංවිධානයක අධ්‍යයනයන්වල නියැලුනු කාන්තාවක්. ඔබේ අත්දැකීම්වලට අනුව ලංකාවේ සමාජ - දේශපාලන සංවිධානයන් තුළ ස්ත‍්‍රියගේ භූමිකාව කුමන ආකාරයකටද ක‍්‍රියාත්මක වෙන්නෙ?

  • මම එම සමාජ කණ්ඩායමට අවුරුදු 6ක් විතර සම්බන්ධ වෙලා හිටිය. මම පිළිගන්නව ඒ තුළින් අපේ ජීවිතවලටත් සමාජටත් සාධනීය යමක් එකතු උනා කියල. අද මම ඉන්න තත්ත්වයට එන්න හැරවුම් ලක්ෂ්‍යයක් ඒක. ඒක තනි පුද්ගලයෙකුගේ උත්සාහයක් නෙවෙයි, සාමූහික උත්සාහයක ප‍්‍රතිඵලයක්. නමුත් කාන්තාවන් සම්බන්ධව ඔවුන්ගේ ආකල්පය හරිම ගැටළු සහගතයි. එයාල ඉගැන්වීම් වලදි නිතර ම කියපු දෙයක් තමයි ගැහැණිය කියල දෙයක් නෑ. ඒක පිරිමියාගේ ෆැන්ටසියක් කියල. නමුත් කවුරු හරි එයාලව අභියෝගයකට ලක්කරානම් - ගැහැණියක් හෝ පිරිමියෙක් හෝ වේවා- ඒක ඔවුන් ඌණනය කළේ ගැහැණියගේ ලිංගිකත්වයට. මේක මෙහෙම උනේ ගැහැණියක් නිසා ගැහැණු ලිංගිකත්වයක් නිසා කියල. එහෙම කියලා ගැහැණියක්ව වරදකාරයෙක් කරලා චෝදනා කරනවා. මම අහන්නේ ගැහැණිය පිරිමියාගේ ෆැන්ටසියක් නම් මේ චෝදනා එල්ල වෙන්න ඕනෙ කාටද කියල.

    ඇත්තට ම ගැහැණියගේ ලිංගිකත්වයට ඔවුන් පුදුමාකාර ලෙස බයක් දැක්වූවා. මෙවැනි ම ලක්ෂණ මූලධර්මවාදී සංවිධානවලත් දකින්න පුළුවන්. සමාජයීය වශයෙන් ම ගත්තමත් කාන්තාවගේ ලිංගිකත්වයට බයක් දක්වනවා. මෙමඟින් කරන්නේ කාන්තාව භයානක සත්ත්වයෙක් විදියට සලකලා ඇයව පාලනය කරන්න උත්සාහ ගැනීමක්. මෙන්න මේකත් කාන්තාව ගොදුරක් වශයෙන් නිර්මාණය කිරීමේ තවත් මතයක්.

  • ජාතික මට්ටමේ කාන්තා ව්‍යාපාරයක් පිළිබඳ ඔබේ අදහස පැහැදිලි කරන්න.

  • මෑත අතීතයේ දී ජාතික මට්ටමේ කාන්තා ව්‍යාපාරයක් ලංකාවේ බිහි වෙලා නැහැ. මම දකින්නෙ කොළඹ කේන්ද‍්‍රීය කාන්තා සංවිධානවල ජාලයක් විතරයි. මේ ජාලයට කොළඹින් බාහිර සංවිධාන කීපයකුත් එකතුවෙලා ඉන්නවා. නමුත් ජාතික තලයේ ව්‍යාපාරයක් දක්වා ගොඩනගන්න තරම් ප‍්‍රබල නායකත්වයක්, පැහැදිලි දැක්මක්, දිගුකාලීන සැලැස්මක් තවමත් ඇති වෙලා නැහැ කියලයි මට දැනෙන්නෙ. අගනුවරින් පිට බහුතරයක් කාන්තා සංවිධාන ඉතාමත් ඉහළ ක‍්‍රියාකාරී මට්ටමක හිටියත් එයාලට ආත්ම විශ්වාසයක් ගොඩනැගිලා නැහැ මේ සඳහා නායකත්වයක් දෙන්න. එයාල බලාගෙන ඉන්නවා කොළඹ කේන්ද‍්‍රීය කාන්තා සංවිධාන මෙයට මුලපුරනකල්. එයාලට දැනුමේ නායකත්වයක් අවශ්‍යයි. ඒ නිසා දැනුමත් ක‍්‍රියාකාරීත්වයත් එකතු කරලා පැහැදිලි සැලැස්මක් ගොඩනගන්න පුළුවන් නව නායකත්වයක් අවශ්‍යයි.

    [රන්දිව 03.04.2011]

    සමර පරණවිතාන



    මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
    Related Posts with Thumbnails