Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers


රොෂේන් කම්කරු සහෝදරයාගේ ඝාතනය පිළිබඳ බූන්දිය ආශ්‍රිතව ඇති වූ සංවාදයට අදාළව දයා නැමති පාඨකයා දක්වා තිබූ ප්‍රතිචාරය (වැඩි දෙනෙකුගේ අවධානයට යොමු කිරීමේ අරමුණින්) මෙසේ නැවත උපුටා පළ කරමු. මාතෘකාව අපෙනි. - බූන්දි

රෝෂේන් ඝාතනය ගැන ලියැවුනු විරෝධාකල්ප නිර්මාණත් එකී නිර්මාණයන් අගයමින් බූන්දියේ පළ වූ අදහසුත් ගැන පොඩි අප්පුහාමි (අදාළ අදහස් කමෙන්ටු වශයෙන් පළකර ඇති නාමය) විසින් මතුකර ඇති කරුණු කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත්ය.ඔහුගේ අදහස් වල සාරාංශය මෙසේ දැක්විය හැකිය.

1. රොෂේන් මියගියේ ජනතා විමුක්ති පෙරමුණ විසින් උසිගන්වන ලද-

උද්ඝෝෂණයකට සහභාගී වීමෙනි. එහෙයින් එම ඝාතනයේ වගකීම ජනතා විමුක්ති පෙරමුණට පැවරේ.

2. පොලිසිය සහ හමුදාව යොදා උද්ඝෝෂණය මැඩපැවැත්වීමට රජයට අයිතියක් තිබේ.

3. හමුදාව සහ පොලිසිය අත ආයුධ සහ උණ්ඩ ඇති බැවින් ඔවුන් උද්ඝෝෂණයක් මැඩ පැවැත්වීමට මැදිහත්වන විට උද්ඝෝෂකයන් සහ පෙළපාළිකරුවන් තම උද්ඝෝෂණය හකුළාගෙන ගෙදර යායුතුය. එසේ නොමැති නම් සිදුවන විනාශය ගැන වගකීම බාරගත යුත්තේ උද්ඝෝෂණයට සහභාගී වන්නවුන් විසිනි.

පොඩි අප්පුහාමිගේ මේ තර්ක පසුගිය වකවානුවේ දෙමළ අරගලය මැඩපැවැත්වීමේදී කරනු ලැබූ මහා මිනිස් සංහාරය සහ සියළු අපරාධ යුක්තියුක්ත කරමින් සිංහල පීඩිතයන්ගේ සහයෝගය ලබාගැනීම සඳහා රාජ්‍යය සහ දකුණේ සිංහල සමාජයේ සියලුම දේශපාලන ප්‍රවණතා (ජවිපෙ ද ඇතුළු) විසින් බහුලව සහ සාර්ථක ලෙස යොදාගත් තර්කයන් තුළින් පැන නගින්නකි.

මෙහිදී අවධානය යොමුකළ යුතු කරුණ වන්නේ පොඩි අප්පුහාමි ඇතුළු මේ අයුරින් තර්ක කරන අයගේ මතය සේවය කරන්නේ කා හට ද යන්න ගැනයි. ‍ මෙම ගැටළුව ධනපති රාජ්‍යයේ “ඒකීය භාවය” යනු එහි එකම ස්වරූපය සහ අනන්‍යතාව ලෙස හඳුනාගෙන එය වෙනුවෙන් පෙනී සිටිමින් රාජ්‍ය මර්දනය අනුමත කරන්නවුන් හට අදාළ වන්නේ නැත. ඔවුන් අර්බුදයට පත්වනුයේ රාජ්‍ය මර්දනය තමන් කෙරෙහි එල්ලවන විට පමණි.

තමන්ගේ අයිතීන් දිනා ගැනීම සදහා සාමුහිකව කේවල් කීරීමේ අයිතිය විශ්ව මිනිස් අයිතියකි. වර්තමානයේ බොහෝ රටවල එම අයිතිය ව්‍යවස්ථාපිත අයිතියක් කර ඇත්තේ ඒ වෙනුවෙන් සිය රුහිරු වගුරමින් සටන් කල පීඩිතයන්ගේ අරගල හේතුවෙන් මිසෙක කිසිදු පාලක පංතියක අනුකම්පාව මත නොවේ. බොහෝවිට දියුණු ප්‍රජාතන්ත්‍රවාදයක් පවතී යැයි විශ්වාස කරන බටහිර රාජ්‍යයන්හි පවා විටින්විට මේ අයිතීන් පාලක පංතිය විසින් උල්ලංඝනය කරන නමුත් එවැනි රටවල ආණ්ඩු ඒවා මර්දනය කිරීමෙහිලා ලංකාව වැනි රටවල පාලකයන් පෙන්නුම් කරන ම්ලේච්ඡත්වයේ මට්ටම කරා යාම වළක්වන සමාජ යාන්ත්‍රණයන් ඒ රටවල යම් පමණකට හෝ ඉතුරුව ඇත. සිවිල් සමාජ ක්‍රියාකාරිත්වය, වැඩකරන ජනයාගේ සංවිධානවල ශක්තිමත් බව, සමාජ විඥානයේ ගුණාත්මක මට්ටම ඒ කෙරෙහි බල පා තිබේ.

දෙමළ ජනයාගේ අරගලය මර්දනය සදහා රාජ්‍යයේ ම්ලේච්ඡත්වය යුක්ති සහගත කළ සිංහල සමාජය අද එවැනි මානව, ප්‍රජාතාන්ත්‍රික සහ සිවිල් වටිනාකම් සිය කැමැත්තෙන් විනාශකරගත් සමාජයක් හෙයින් අපේ සමාජය තුළ වැරදිකරුවා ලෙස සැළකෙනුයේ සිය වෘත්තීන් අයිතීන් දිනාගනු සදහා විරෝධතා පෙලපාළියකට සහභාගී වූ නිරායුධ කම්කරුවා සහ ඔහු නියෝජනය කරන සංවිධාන මිසෙක නිරායුධ සාමකාමී පෙළපාළියක් ප්‍රචණ්ඩ බලය යොදා මර්දනය කළ පොලිසිය හෝ හමුදාවවත් ඔවුන්ට ඒ සදහා නියෝග දුන් පාලකයන්වත් නොවේ. “මගේ අතේ තුවක්කුවක් තියාගෙන මාත් එතැන හිටියා නම් මාත් කරන්නේ ඒ පොලිසිය කළ දේමයි” යනුවෙන් පොර ටෝක් දීමට පොඩි අප්පුහාමිලාට හැකිව ඇත්තේ අපගේ සමාජය පෙන්නුම් කරන දේශපානික සහ සදාචාරාත්මක පිරිහීම නිසාවෙනි.

ජනතා විමුක්ති පෙරමුණ අද දියත්වන මර්දනයට සහ එකී මර්දනය විසින් බිලිගනු ලබන ජීවිත සම්බන්ධයෙන් වගකිව යුතුය. ඒ ගැන හෝ ජවිපෙ අවස්ථාවාදී තක්කඩි දේශපාලනය ගැන හෝ විවාදයක් නැත.එහෙත් ජවිපෙ‍ ට මේ සිදුවන සිදුවීම්වල වගකීම පැවරෙනුයේ පොඩි අප්පුහාමි එය මතුකරන දිශාවෙන් නොව මුළුමණින්ම එයට ප්‍රතිපක්ෂ දිසාවෙනි. අද දක්වාම රජය විසින් සිංහල හෝ දෙමළ හෝ වෙනත් ජන කොටසක් හෝ මර්දනය කිරීමට යොදාගනු ලබන හදිසි නීතිය පසුගිය කාලයේ පාර්ලිමේන්තුව තුලදී සම්මත කිරීමටත් සමාජය තුළ එකී මර්දන නීතියට පිළිගැනීමක් ලබා දීමටත් ජවිපෙ කටයුතු කළේය. රොෂේන්ලා මරාදමන්නට ‍සහ මළකඳ පවා පැහැරගන්නට පොලිසියට සහ හමුදාවට බලය පැවරෙනුයේ එම හදිසි නීතිය විසිනි. පීඩිත ජනයා නියෝජනය කිරීමටයැයි කියමින් පීඩිතයන්ගේ ඡන්දයෙන් පාර්ලිමේන්තු ගිය ජවිපෙ මන්ත්‍රිවරුන්ට එහිදී ධනපති මර්දන නීතියකට පක්ෂව ඡන්දය දීමට ඇති දේශපාලනික හෝ සදාචාරමය අයිතිය කුමක්දැයි ප්‍රශ්න කිරීමට කිසිදු ජවිපෙ සාමාජිකයෙකුට මතක් නොවිණි. 1971 දී විසිදහසකුත් 1987-89 වකවානුවේ හැට දහසකුත් මරා දමනු ලැබුවේ මේ හදිසි නීතිය යටතේ බවද හැම වසරකම බක්මහ විරු සමරුවත් ඉල්මහ විරු සමරුවත් මහ ඉහළින් සමරන ජවිපෙ නායකයන්ට අමතකව තිබිණි. ( සැබැවින්ම පාර්ලිමේන්තුව තුළදී එක්වරක් හෝ මේ නීතියට පක්ෂව අත එසැවූවන්ට එම නීතිය විසින් මරා දමන ලද්දවුන් සැමරීමට කිසිදු අයිතියක් ද නැත.)

සිය පාලනයට එරෙහිව නැගී සිටින ඕනෑම අයෙකු ත්‍රස්තවාදීයෙකු ලෙස නම් කොට මරා දැමීම හෝ සිරගත කිරීම ඕනෑම පීඩාකාරී රාජ්‍යයක උපක්‍රමයකි. සාර්ට ලෙනින් ත්‍රස්තවාදීයෙකු ලෙස පෙනුණ අතර බැටිස්ටාට චේ සහ කස්ත්‍රෝ ත්‍රස්තවාදීන් ලෙස පෙනිණි. ජෝර්ජ බුෂ්ට හෝ ඔබාමාට පෙනෙනුයේ ඇමෙරිකන් අධිරාජ්‍යවාදයට එරෙහි සියළු දෙනා ත්‍රස්තවාදීන් ලෙසය. 1971 දීත් 1989 දීත් රාජ්‍ය විසින් ජවිපෙ සාමාජිකයන් සහ සමාජිකාවන් පමණක් නොව හිතවතුන්ද මරා දමන ලද්දේ “ත්‍රස්තවාදීන්” ලෙස හංවඩු ගැසීමෙනි. එදා එම නිර්වචනය ආණ්ඩු පාක්ෂිකයන් අතර මිසෙක පොදුවේ සිංහල සමාජය තුළ පිළි නොගැනිණි. ඒ මර්දනයට ලක්වූ යේ සිංහල සමාජය හෙයිනි. එහෙත් එලෙස මර්දනයට ලක් වූ ජනතා විමුක්ති පෙරමුණ පසුව සිදු කළේ දෙමල විමුක්තිකා‍මීන් ත්‍රස්තවාදීන් ලෙස හංවඩු ගසා මරා දමන විට එකී නිර්වචනය හිස් මුදුනින් පිළිගෙන එය සිංහල සමාජය තුළ තහවුරු කිරීමට කටයුතු කිරීමයි. සිංහල සමාජය අද වන්දි ගෙවමින් සිටින්නේ මර්දනකාරී රාජ්‍ය යන්ත්‍රයක් විසින් එහි පාලක පන්තියේ අවශ්‍යතාවන් මත සිදු කරන ලද නිර්වචනයන් පිලිගැනීමේ මාරාන්තික වරදටය. එකී නිර්වචනයන්ට අනුව වරදකරුවා වන්නේ පීඩනය පවත්වාගෙන යන්නා නොව එයට එරෙහිව සටන් වදින්නාය. අරගලයක් යටපත් කිරීම සදහා හිතාමතාම සිවිල් ජනයා බියගැන්වීම සදහා පීඩකයා විසින් සිදුකරන විනාශයටද වගකිව යුත්තේ පීඩකයා නොව එයට එරෙහිවන්නායි.

දැන් දකුණේ සිංහල සමාජය වෙත යළි කැරකැවෙමින් ඇත්තේ ජවිපෙ විසින් දෙමළ අරගලයට එරෙහි, පාලකයන්ගේ නිර්චචන යුක්තියුක්ත කරමින් තෙල් ගල්වන ලද මර්දනයේ චක්‍රයයි.

ජනතා විමුක්ති පෙරමුණ පසුගිය කාලවකවානුව තුළ සිදුකළ පාවාදීම් එපමණක් නොවේ. රාජ්‍ය පීඩිත දෙමළ ජනයාගේ අරගලය මහා සංහාරයක් දියත් කරමින් මර්දනය කරන විට එකී යුද්ධය කිසිදු ගැටළුවකින් තොරව කරගෙන යාම සදහා සිංහල සමාජයේ උපරිම සහයෝගය රාජ්‍ය වෙත ලබා දෙමින් එම වකවානුවේ වැඩකරන ජනයා සිය අයිතීන් වෙනුවෙන් අරගල දියත් කිරීමට සැරසෙන විට ජවිපෙ තම වෘත්තීය සමිති ක්‍රියාකාරිකයන් ලවා ඒවා කඩාකප්පල් කිරීමටත් දිය කරහැරීමටත් කටයුතු කළේය. සිය පක්ෂයේ ප්‍රචාරක යන්ත්‍රයේ ශක්තිය යොදාගනිමින් සෙසු වෘත්තීය සමිති අභිබවමින් අරගලයේ ප්‍රචාරක ආධිපත්‍යය ලබාගන්නා ජවිපෙය අනතුරුව සංවිධානාත්මක සහ දේශපාලන තලයන්හිදී එම අරගලයන් දිය කර හරිමින් රාජ්‍ය නායකයන් සහ මැති ඇමැතිවරුන් සමග “ඩීල්” වලට එලැඹුනු අයුරු බොහෝ දෙනා නොදනී. ඇත්තෙන්ම අද ජවිපෙ යනු පැරණි වමේ පක්ෂ මෙන්ම එහි විප්ලවීය විභවය ධනපති පාලක කල්ලි සමග සන්ධානවලට එළැඹ කරන ලද පාවාදීම් හේතුවෙන් අහිමි කරගත් සංවිධානයක් වන අතර එය කෙමෙන් දියව යාමට සහ කිසිවෙකුත් ශෝකයට පත් නොකරන දේශපාලන මරණයක් අත්පත් කරගැනීමට නියමිතය.

කටුනායක අරගලය හුදෙක් ජවිපෙ විසින් ම මෙහෙය වුවායැයි යන්න ද බොරුවකි. ඒ බව ලාල්කාන්ත සහ සෙසු නායකයන් විසින් රජයේ ප්‍රධානීන් වෙත දැනටමත් නොනිල ක්ෂමාලාපයන් ඉදිරිපත් කර තිබේ. ඇත්තටම ජවිපෙට මෙබදු අරගල අවශ්‍ය වනුයේ ඊළග මැතිවරණයේදී තම ඡන්ද පදනම වැඩි කරගැනීමෙහිලා යොදාගත හැකි ප්‍රචාරක ක්‍රියාකාරකමක් ලෙස මිසෙක පන්ති සටන් ක්‍රියාමාර්ගයක් ලෙස නොවේ.ඒ බව පාලකයන් ද දන්නා අතර ඔවුන්ට කිරීමට ඇත්තේ ඉඳහිට ජවිපෙට පොඩි තරවටුවක් ඉදිරිපත් කිරීමයි. ටිල්වින් හෝ සෝමවංශ යනු විජේවීර හෝ ගමනායක නොවේ. එමෙන්ම අනුර කුමාර හෝ බිමල් යනු කබ්රාල් හෝ උපාලි ජයවීරද නොවේ.තරවටුවේ කෙවිට සහ වරදාන මගින් වත්මන් ජවිපෙය පාලනය කළ හැකි ක්‍රමවේදයන් පාලකයන් සතුව ඇත. අද ඔවුන්ට පාර්ලිමේන්තුවාදයෙනුත් ඒනිසාම ජාතිවාදයෙනුත් ගැලවීමට නොහැකිය.

කටුනායක අරගලය මෙහෙයවූ සමිති අතර ජවිපෙ සමිති වූ බව සැබෑවකි. එමෙන්ම ඊට වඩා වැඩි දායකත්වයක් සැපයූ ස්වාධීන වෘත්තීය සමිති ද විය. එහෙත් එය මුළුමණින්ම සංවිධිතව මෙහෙයවන ලද උද්ඝෝෂණයක් ද නොවේ. ඇත්තෙන්ම එය අර්ධ වශයෙන් සංවිධිත සහ අර්ධ වශයෙන් ස්වංසිද්ධව පැතිරුණු උද්ඝෝෂණයකි.

එහෙත් ජවිපෙ වෘත්තී සමිති ද මෙම උද්ඝෝෂණයට සහභාගි වූ නිසාම රෝෂේන්ගේ මරණයට ජවිපෙ වගකිව යුතුයැයි යන්න පදනම් විරහිත තර්කයකි. එය එකී ඝාතනයේ සැබෑ අපරාධකරුවන් කවුද යන්න යටගැසීමට කරන වෑයමකි. ඇත්තටම මුලිනුත් පැවසූ පරිදි ජවිපෙ වගකිවයුත්තේ ඔවුන් මෙම අරගලයට දායක වීම නිසා නොව මෙම පෙළපාළිය මර්දනය කිරීමට රාජ්‍ය විසින් යොදාගත් මර්දන ආයතන ශක්තිමත් කිරීමට ඔවුහු මීට ඉහතදී දායක වූ හෙයිනි.

කටුනායක උද්ඝෝෂණ විසිරුවා හැරීමට උපරිම බලය පාවිච්චි කරන ලෙස නියෝග ආවේ ඉහළම රාජ්‍ය බලධාරී දෙබෑයන්ගෙනි. ඒ ජනාධිපතිවරයාගේ දැවැන්ත කටවුට් එකක් පෙළපාලිකරුවන් විසින් විනාශ කර දැමීමෙන් මේ දෙබෑයන් කෝපයට සහ බියට පත්වීම නිසාය. එය ප්‍රචණ්ඩ ස්වරූපයකට පත් වූයේ පොලිස් පහරදීම් ඇරඹීම හේතුවෙනි. යමෙකු අතේ තුවක්කුවක් සහ බැටන් පොලුත් තිබූ පලියට ඔවුන්ට සෙස්සන්ගේ ඔළු පැලීමට අයිතියක් නැත. කම්කරුවන් ප්‍රතිචාර දැක්වූයේ පොලිසිය විසින් ඉහළින් ලද උපදෙස් අනුව ඇරඹුණු මෙම ප්‍රචණ්ඩත්වයටය.

දයා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails