Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



ආචාර්ය නිව්ටන් ගුණසිංහ 1984 මැයි මස දී Lanka Guardian සඟරාවට අනර්ඝ ලිපියක් ලිවීය. එහි මාතෘකාව "May Day after July Holocaust"නම් විය. සමාජයීය විද්‍යාඥයින්ගේ සංගමය විසින් ප්‍රකාශයට පත්කොට තිබෙන නිව්ටන් ගුණසිංහගේ තෝරාගත් ලිපි එකතුවෙහි මෙම ලිපිය ද අන්තර්ගතය). එය හුදෙක් ශාස්ත්‍රාලීය නිබන්ධනයක් පමණක් නොව,1983 ජූලි කෝලාහලයෙන් පසුව ලාංකේය දේශපාලනයේ සිදුවෙමින් පැවති තත්කාලීන පරිවර්තනයන් පිළිබඳ වාමාංශික ක්‍රියාකාරිකයෙකුගේ හා-

න්‍යායවේදියෙකුගේ දැක්මෙන් කරන ලද විශ්ලේෂණයක් ලෙස ද සැලකිය හැකිය. පවත්නා තත්ත්වය විග්‍රහ කිරීමෙන් ඔබ්බට ගිය නිව්ටන් වාමාංශය විසින් ද පුළුල් ප්‍රජාතාන්ත්‍රික බලවේගයන් විසින් ද අනුගමනය කළ යුතු උපායික හා උපාය මාර්ගික ප්‍රවේශයන් පිළිබඳ අදහසක් ද එම ලිපියෙන් ඉදිරිපත් කළේය. ඉන්පසුව ගත වූ වසර 25කාල පරිච්ඡේදය තුළ නිව්ටන්ගේ විශ්ලේෂණය මඟින් සලකුණු කළ ඉදිරි දැක්ම ඔස්සේ ලාංකේය බොහෝ වාමාංශික පක්ෂ, සංවිධාන සහ NGO සිවිල් සමාජය ගමන් කළ බව පැවසීම ද එක් අතකට සාධාරණය. මන්දයත්, ඔහුගේ ප්‍රධාන තර්කය වූයේ 1983 ජූලි සිද්ධීන්ගෙන් පසුව ජනවාර්ගික ප්‍රතිවිරෝධතාව ලාංකේය දේශපාලනය අධිනිශ්චය කරන ප්‍රධාන සාධකය වී ඇති බවත් වාමාංශය දැන් මෙම ගැටළුවට ප්‍රමුඛත්වය දිය යුතු බවත් ය. නිව්ටන්ගේ අවාසනාවන්ත අකල් මරණය නිසා ඔහුට දැකගත නොහැකි වුවද ඉන්පසුව ගත වූ දශක දෙකක කාලපරිච්ඡේදය තුළ දී ලාංකේය වාමාංශය ජනවාර්ගික ගැටළුවට කොතරම් ප්‍රමුඛත්වයක් දුන්නාද යත් වාමාංශිකයෙකු වනවාය යන්නෙහි නිර්ණායකය බවට 'දේශපාලන විසඳුම'සහ 'බලය බෙදාහැරීම'යන කාරණාවලට වාර්ගික නොවන පදනමක සිට සහාය දැක්වීම පත්විය. දේශපාලන සැකසුම පිළිබඳව අසූව දශකය මුල දී ඔහු කළ විශ්ලේෂණය 2009 මැයි වන තුරු වලංගුතාවක් සහිත එකක් බවට එතරම් සැකයක් නොවීය.

නමුත් LTTE සංවිධානයේ සමූලික පරාජයත් සමඟ තිස්වසරක වාර්ගික යුද්ධය අවසන් වූයේ ලාංකේය දේශපාලනයේ "නිව්ටෝනියානු යුගය" වශයෙන් අවශ්‍ය නම් අපට නාමකරණය කළ හැකි ඉහත කී කාල පරිච්ඡේදය ද නිමා කරමින්ය. මෙම ලිපියේ අරමුණ 1984 සිට 2009 දක්වා කාල පරිච්ඡේදය තුළ බොහෝ දුරට වලංගු වූ නිව්ටෝනියානු විග්‍රහය ලාංකේය දේශපාලනයේ "පශ්චාත් නන්දිකඩාල් අවධිය"ලෙස අපට හඳුනාගත හැකි වර්තමාන තත්ත්වය වටහා ගැනීම සඳහා කොතරම් දුරට වලංගු වේද, නැතිනම් එය කවර නම් වෙනස්කම්වලට භාජනය කළ යුතුව තිබේද යන්න කෙටියෙන් විමසා බැලීමයි.

අධිනිශ්චය පිළිබඳව නැවත සිතා බැලීමක්

මෙහිදී ප්‍රථමයෙන්ම නිව්ටන්ගේ විග්‍රහයේ කේන්ද්‍රීය සංකල්පය වන අධිනිශ්චය (Over–Determination) යන්න න්‍යායිකව පැහැදිලි කර ගැනීම අවශ්‍යය. ඔහු මෙම සංකල්පය උපුටා ගත්නේ ලුවී අල්තුසර්ගේ ව්‍යුහාත්මක මාක්ස්වාදී (Structural Marxism) බුද්ධිමය සම්ප්‍රදායෙන් බැව් පැහැදිලිය. නමුත් නිව්ටන් මෙම සංකල්පය භාවිතා කර ඇති ආකාරය ප්‍රවේශමෙන් විමසා බැලූ විට පෙනී යන්නේ අල්තුසර්ගේ න්‍යාය ඔහු යම් වෙනසකට ලක්කොට ඇති බව, නැත්නම් වෙනස් ආකාරයකට කියවා ඇති බවය. නිව්ටන් අධිනිශ්චය යන්න නිර්වචනය කොට තිබෙන්නේ "යම් කිසි කාලයක, යම්කිසි සමාජ සැකසුමක් තුළ පවත්නා ප්‍රතිවිරෝධතා මත අධිපතීත්වය උසුලන ව්‍යුහය" (Structure of Dominance) ලෙසය. ඒ අනුව 1980 දශකයේ මුල භාගයෙන් පසුව ලාංකේය සමාජ සැකසුම තුළ අධිපතීත්වය උසුලන්නේ ජනවාර්ගික ව්‍යුහය බවට ඔහු තර්ක කරයි. ජනවාර්ගිකත්වය අධිපතීත්වය උසුලනවාය යන්නෙහි අරුත නම්, සෙසු සමාජයීය, ආර්ථීකමය, දේශපාලනික යනාදී ප්‍රතිවිරෝධතා ජනවාර්ගිකත්වයේ බලපෑමට ලක්වන බවත්, එකී ප්‍රතිවිරෝධතාවලට පැවතිය හැකි/ක්‍රියාත්මක විය හැකි අවකාශය තනන්නේ ජනවාර්ගික ගැටුම විසින් බවත්ය. විශේෂයෙන් පංති දේශපාලනයට අදාලව ඔහු තර්ක කරන පරිදි, පශ්චාත් -83දේශපාලන මොහොත තුළ පංති ප්‍රතිවිරෝධතාව අධිනිශ්චය කරන්නට ජනවාර්ගික අරගලය සමත් වේ. එනම් පංති සබඳතා, පංති අරගලය සහ පංතිමය සන්ධානයන්ගේ ස්වරූපය මත නිශ්චිත බලපෑමක් කරන්නට ජනවාර්ගික ගැටුම සමත් වේ. මෙහි ප්‍රතිඵලය ලෙස, කලින් නොදකින ලද ආකාරයේ නව දේශපාලන සන්ධාන, පෙරමුණුගත වීම් සහ බෙදීම් යනාදිය ලාංකේය දේශපාලනය තුළ දක්නට ලැබේ යැයි ඔහු පෙන්වා දුන්නේය. නිව්ටන්ගේ අභාවයෙන් සුළු කලකට පසුව, එනම් 1987 ජූලි ඉන්දු- ලංකා ගිවිසුම පසුබිම් කරගෙන ඇතැම් මාක්ස්වාදී පක්ෂ දක්ෂිණාංශික ඡේ.ආර්. ජයවර්ධන බලාධිකාරිය සමගත් ජ.වි.පෙ. ඇතුළු සෙසු වාමාංශික පක්ෂ සහ කණ්ඩායම් ශ්‍රී.ල.නි.ප.ය සමගත් සංධානගත වනු අපි දුටුවෙමු. මෙකී දේශපාලන චලනයන් න්‍යායිකව පෙර දැකීමේ අරුතින් නිව්ටන්ගේ විශ්ලේෂණය විශිෂ්ට වුවත්, ඒ තුළ යම් න්‍යායික ගැටළුවක් ද අන්තර්ගත වීය යන්න මගේ අදහසයි.

මන්දයත් අධිනිශ්චය පිළිබඳ අල්තුසරියානු සංකල්පය මගින් හැඟවෙන්නේ "හුදෙක් යම් සමාජ ව්‍යුහයක් සෙසු සමාජ සබඳතා මත අධිපතීත්වය උසුලනවාය" යන කාරණයම නොවන බැවින්ය. අල්තුසර්ගේ ප්‍රතිවිරෝධතා හා අධිනිශ්චය(Contradictions and over-determination), පිළිබඳ විශ්ලේෂණය යම් ප්‍රතිවිරෝධතාවකින් සෙසු ප්‍රතිවිරෝධතා නිශ්චය කරනවාය යන්නෙන් වෙනස්ය. ඔහුට අනුව හෙගලියානු දර්ශනයෙන් මාක්ස්වාදය වෙනස් වන්නේ පළමුවැන්න සරල නිශ්චයවාදයක් වන අතර දෙවැන්න අධිනිශ්චය පාදක කරගන්නා බැවින් ය. අධිනිශ්චය යන්නෙන් මෙහිදී අදහස් වන්නේ යම්කිසි ඉතිහාසයීය මොහොතක, යම්කිසි සමාජ සැකසුමක් තුළ ප්‍රතිවිරෝධතා රාශියක් පවතින අතර, එකී ප්‍රතිවිරෝධතා සමාජ සැකැසුමේ විවිධ තලයන් සහ ධාරාවන්ගෙන් එකවිටම නිශ්චය කෙරෙන බවත්, පෙරළා නිශ්චය- කාරක වන බවත්ය. පවත්නා දේශපාලන මොහොත නිශ්චය කෙරෙන්නේ තනි ප්‍රතිවිරෝධතාවකින් නොව ප්‍රතිවිරෝධතා රාශියකින්ය යන්න මෙහි සරල අදහසයි.

ඉහත කාරණය අල්තුසර් රුසියානු විප්ලවය පිළිබඳ ලෙනින්ගේ විග්‍රහය ඇසුරින් පහදයි. 19වන සියවසේ අගභාගයේදී සහ 20වන සියවසේ මුල් භාගයේදී දෙවන ජාත්‍යන්තරයේ පැවති අධිපති වටහා ගැනීම වූයේ ධනවාදයේ ඉහළ වර්ධනයක් නොතිබූ රුසියාව තුළ සමාජවාදී විප්ලවය ඉක්මනින් අපේක්ෂා කළ නොහැකි බවය. මන්දයත් ගතානුගතික මාක්ස්වාදීන් විශ්වාස කළ පරිදි විප්ලවය විය හැක්කක් වනුයේ ධනවාදයේ වර්ධනීය අවධියක් තුළදී ධනවාදී නිෂ්පාදන බලවේග (Forces of Production) සහ නිෂ්පාදන සම්බන්ඳතා (Relations of Production) අතර ඇතිවන ප්‍රතිවිරෝධය මගින් ය. අල්තුසර්ට අනුව මෙය මාක්ස්ගේ නමින් ප්‍රකාශ වුවද හෙගලියානු සරල නිශ්චයවාදයම ය. නමුත්, ඊට වෙනස්ව ලෙනින් රුසියාවේ විප්ලවය විය හැක්කක් බවට තර්ක කළේ පැවති සියලුම ඓතිහාසික ප්‍රතිවිරෝධතා(එනම් ඉඩම් හිමියන් සහ ගොවීන් අතර, ධනවාදය සහ වැඩවසම්වාදය අතර, කම්කරුවන් සහ කර්මාන්ත හිමියන් අතර, සාර් ආණ්ඩුව සහ ජනතාව අතර යනාදී වශයෙන්...,) රුසියාව නමැති තනි රට තුළ රාශීභූත වී පැවතීමත්, එකී ප්‍රතිවිරෝධතා "ඛණ්ඩනීය ඒකත්වයකට"(Ruptural Unity) ගොනුවීමත් ඇසුරින්ය. මින් කියැවෙන්නේ පවත්නා සංයුක්ත දේශපාලන මොහොත එක් විටම ප්‍රතිවිරෝධතා රැසකින් නිශ්චය වූ බවය.

අල්තුසර් අධිනිශ්චය සංකල්පය උපුටා ගත්නේ ෆ්‍රොයිඩියානු මනෝවිශ්ලේෂණයෙනි. මනෝ විශ්ලේෂණය තුළ මෙම සංකල්පයෙන් අදහස් වන්නේ සිහිනයක් වැනි තනි ප්‍රතිඵලයක් එක් විටම බහුවිධ හේතූන් හෝ කරුණු කාරණා රැසකින් නිශ්චය කෙරෙන බවයි. හෙගලියානු සරල නිශ්චය කිරීමත්, මාක්ස්වාදී අධිනිශ්චයත් අතර අල්තුසර් දකින සංකල්පීය වෙනස එයයි.

ඉහත කළ පැහැදිලි කිරීම අනුව පෙනී යන්නේ හුදෙක් ජනවාර්ගික ගැටුම නමැති අධිපති ව්‍යුහයෙන් ලාංකේය සමාජයේ සෙසු ප්‍රතිවිරෝධතා නිශ්චය කෙරෙනවාය යන අරුතින් අල්තුසර්ගේ අධිනිශ්චය සංකල්පය යෙදීම ගැටළු සහගත බවයි. නමුත් හුදෙක් ශාස්ත්‍රාලීය බුද්ධිමතෙකු පමණක් නොව සක්‍රීය දේශපාලන ක්‍රියාකාරිකයෙකු ද වූ නිව්ටන් ගුණසිංහ 1983 කළු ජූලියේ බලපෑම මත යළි සැකසෙමින් තිබූ දේශපාලන තත්ත්වය වටහා ගැනීමේදී ජනවාර්ගික ගැටුමේ තීරණාත්මක වැදගත්කම අවධාරණය කිරීම අපට වටහා ගත හැකිය එසේම නිව්ටන්ගේ සෙසු අනර්ඝ විශ්ලේෂණයන් දෙස බලන විට පෙනී යන්නේ ලාංකේය සමාජ සැකසුමේ ප්‍රතිවිරෝධතා බහුලත්වය සැලකිල්ලට ගන්නට අන් කිසිදු තත්කාලීන බුද්ධිමතෙකුට වඩා ඔහු සමත්ව ඇති බවය. විශේෂයෙන්ම "විවෘත ආර්ථීකය හා එය ජනවාර්ගික ගැටුමට බලපාන අන්දම" සම්බන්ධයෙනුත් "1956දේශපාලන පරිවර්තනය තුළ ලාංකේය පශ්චාත්- යටත් විජිත රාජ්‍යයේ පංති සන්ධානයේ ඇති වූ වෙනස" සම්බන්ධයෙනුත් ඔහුගේ විශිෂ්ට රචනා සමූහය ඔහුට කරන ගෞරවයක් වශයෙන් මෙහිදී සඳහන් කළ යුතුමය. නමුත් ප්‍රතිවිරෝධතාවන්ගේ බහුලත්වය සම්බන්ධයෙන් ඒසා විශිෂ්ට විශ්ලේෂණයන් කළ මාක්ස්වාදී බුද්ධිමතා අධිනිශ්චය පිළිබඳ කියැවීමේදී ගතානුගතික මාක්ස්වාදයෙන් එතරම් මිදී නොමැත යන්න මගේ හැඟීමයි.

අල්තුසරියානු අරුතින් ගත්කළ අප කළ යුතුව ඇත්තේ බහු විධ සමාජ ප්‍රතිවිරෝධතාවලින් සහ එම ප්‍රතිවිරෝධතා පවතින්නේ කුමන පැවැත්මේ තත්ත්වයන් යටතේද, එම තත්ත්වයන් වලින් සමකාලීන දේශපාලන මොහොත එක්විට නිශ්චය කෙරෙන්නේ - එනම් අධිනිශ්චය කෙරෙන්නේ - කෙසේද යන්න විශ්ලේෂණය කිරීමයි. නමුත් නිව්ටන් සහ ඔහුගේ පසුකාලීන බුද්ධිමතුන් සිදු කොට තිබෙන්නේ එක්කෝ පංතිමය ප්‍රතිවිරෝධතාව විසින් නැතහොත් ජනවාර්ගික ප්‍රතිවිරෝධතාව විසින් සෙසු සමාජ සබඳතා නිශ්චය කෙරෙන්නේ කෙසේදැයි - හෙගලියානු ගතානුගතික මාක්ස්වාදී ප්‍රවේශයෙන් - පැහැදිලි කිරීමයි. මෙම ප්‍රවේශයේදී මගහැරී යන්නේ පවත්නා සංයුක්ත දේශපාලන මොහොතට අදාල සමාජ ගතිකයන්ගේ සහ පැතිමානවල බහුලත්වය සහ එම බහුවිධ කරුණු කාරණා සුසම්බන්ධ (Articulation) වීමෙන් යම් අනන්‍ය - සාධාරණ (Unique) ඒකත්වයක් නිර්මාණය වී ඇත්තේ කෙසේද යන්නයි.

නිව්ටෝනියානු වාමාංශය : 1983 සිට 2009 දක්වා

1983 ජූලි මාසයෙන් පසුව ලාංකේය දේශපාලන සැකසුම නිව්ටන් ගුණසිංහ සංකල්පගත කළේ එතෙක් පැවති දේශපාලන සමතුලිතය (Equilibrium) බිඳී ගිය නමුත් නව සමතුලිතයක් ඇති නොවූ තත්ත්වයක් ලෙසය. ඔහුගේ විශ්ලේෂණයෙන් හැඟීයන පරිදි පැවති සමතුලිතය පංතිමය ප්‍රතිවිරෝධතාව කේන්ද්‍රකොටගත් එකක් බවද, ඇතිවන්නට නියමිත නව සමතුලිතතාව ජනවාර්ගික ප්‍රතිවිරෝධතාව කේන්ද්‍රකොටගත් එකක් බවද ඔහු අදහස් කළ බව පෙනේ. ඔහු එසේ ලියන්නේ සංක්‍රමණීය මොහොතකය. එක් අතකින් ඓතිහාසිකව වැදගත් දේශපාලන ප්‍රකාශනයක් ලෙසින් ද සැලකිය හැකි නිව්ටන්ගේ ලිපියේ වාමාංශික ක්‍රියාකාරීන් හට ඔහු උදක්ම කියා සිටින්නේ ජනවාර්ගික ගැටළුව "කාපට් එක යට සඟවා","ආරක්ෂිත"පංති සටන්පාඨ ඉහළට එසවීම අඥාණ ප්‍රතිපත්තියක් බවත්, ජනවාර්ගික ගැටළුව අමතක කළ පමණින් එය අතුරුදහන් වී නොයන බවත්ය. ඔහු වාමාංශික කණ්ඩායම්වලට යෝජනා කළ උපාය මාර්ගය වූයේ ජනවාර්ගික ගැටුමට වඩාත් ප්‍රජාතාන්ත්‍රික, බලය බෙදීමේ විසඳුමක් සඳහා අරගල කළ යුතු බවත්, එමගින් අන්තවාදී දක්ෂිණාංශික සහ ජාතිවාදී කඳවුර දුර්වල කළ යුතු බවත්ය. ඔහුගේ අපේක්ෂාව වූයේ ජනවාර්ගික ගැටුමට එවන් විසඳුමක් ලබාදීම මගින් පංති අරගලය ජනවාර්ගික ප්‍රතිවිරෝධතා විසින් නිශ්චය වීම (ඔහුට අනුව අධිනිශ්චය වීම) අවම කළ හැකි බවත්, තීව්‍ර වන ආර්ථීක අර්බුදය හමුවේ පංතිමය අරගලය යළි ඉස්මත්තට පැමිණෙනු ඇති බවත්ය. මෙහිදී ගතානුගතික මාක්ස්වාදය අනුව යමින් ඔහු පංති ප්‍රතිවිරෝධතාව සමාජයේ නිසඟ නිශ්චිත ප්‍රතිවිරෝධතාව ලෙසත් ජනවාර්ගික අරගලය යනු සැබෑ පංති අරගලයෙන් ඉවතට නිර්ධනයන් හරවන ද්විතීයික පැන නැගීමක් ලෙසත් සලකන බව පෙනේ.

කෙසේ වුවත් නිව්ටන්ගේ ලිපිය හෝ ඔහුගේ බලපෑමට වඩා වෙනත් කරුණු කාරණා රැසක් පාදක කරගෙන ලාංකේය වාමාංශයෙන් විශාල කොටසක් 1984න් පසුව ගමන්කොට ඇත්තේ ඔහු ඉහත සලකුණු කළ මාර්ගයේ ය. එකී කාල පරිච්ඡේදය තුළ ජනවාර්ගික ගැටුම සහ ජනවාර්ගික පසමිතුරුතාව ලාංකේය සමාජ සහ දේශපාලන සමතුලිතය තුළ පොදුවේත්, වාමාංශික දේශපාලනය තුළ සුවිශේෂීවත් කේන්ද්‍රීය වැදගත්කමක් හිමි කරගත්තේ ය. පංතිමය අරගලයේ දෘෂ්ටියෙන් ගත් කල්හි අපේක්ෂා කළ නොහැකි සහ පෙර දැකිය නොහැකි අන්දමේ දේශපාලන සන්ධානයන්ට වාමාංශික පක්ෂ සහ සංවිධාන අවතීර්ණ විය. 1987සිට 1990දක්වා කාල පරිච්ඡේදය තුළ ජ.වි.පෙ. සිංහල දේශප්‍රේමයේ නාමයෙන් යළි අවි අතට ගත් අතර පැරණි වාමාංශික පක්ෂ ජයවර්ධන බලාධිකාරයේ සන්නද්ධ ප්‍රවේශයට වරෙක වක්‍රව ද වරෙක ඍජුවම ද සහාය දැක්වීය. 1994 දීත්, ඉන්පසුවත් චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ නව පාලන බල හවුලට සහාය දැක්වීමට සෑම ප්‍රවණතාවකම වාමාංශික පක්ෂ ඉදිරිපත් වූ අතර "ජනවාර්ගික ගැටුමට සාකච්ඡා මාර්ගික සහ ප්‍රජාතාන්ත්‍රික විසඳුමක් ඉදිරිපත් කිරීම" යන තේමාව එහිදී බොහෝ වාමාංශික කණ්ඩායම් විසින් සාධනීයව සැලකිල්ලට ගත් කාරණයක් විය. රාජපක්ෂ බලාධිකාරය විසින් කළ අවසන් එල්.ටී.ටී.ඊ. විරෝධී යුද්ධයේදී ජ.වි.පෙ. සිංහල සහ රාජ්‍ය දේශප්‍රේමයේ ප්‍රකාශකයෙකු බවට පත්වන විට පැරණි වාමාංශික කණ්ඩායම් සහ ලිබරල් සිවිල් සමාජය බොහෝ විට එහි අනෙක් අන්තය තෝරා ගත්තේය. ඔයින් මෙයින් නිව්ටන්ගේ ලිපිය පළ වූ 1984සිට හරියටම වසර 25ක කාලයක් ඉකුත්ව ගියේය.

ඉහත කී සියලු නාට්‍යමය පෙළ ගැසීම් 2009 මැයි 18 වනදා එල්.ටී.ටී.ඊ.යේ සමස්ත පරාජයෙන් (පැරණි වාමාංශයේ සහ ලිබරල් සිවිල් සමාජයේ ගණන් බැලීම අනුව අනපේක්ෂිත ලෙස) කුළු ගැන්විණ. මෙය එක්තරා ආකාරයකින් ලාංකේය සමාජ සැකසුමේ "නිව්ටෝනියානු සමතුලිතය" බිඳී යාමකි. න්‍යායිකව නිව්ටන් ඔහුගේ "May Day after" ලිපිය රචනා කළ මොහොත වැනිම නමුත් ඓතිහාසික සන්දර්භය අතින් එයට වඩා වෙනස් - තවත් සංක්‍රමණීය මොහොතකට අපි දැන් එළැඹ සිටිමු. මෙම නව සමතුලිතය(නැත්නම් ගොඩනැගෙන්නට යන නව සමතුලිතය) තුළ ද කලින් අපේක්ෂා කළ නොහැකි අන්දමේ නව සන්ධානගතවීම්, දේශපාලන බෙදීම් සහ පෙරමුණු නිර්මාණය වෙමින් තිබේ. නිදසුනක් ලෙස සිංහල රණකාමීත්වයේ වීර චරිතයක් වූ සරත් ෆොන්සේකා හට දෙමළ සන්ධානය සහය දැක්වීම, උතුරේ මානව අයිතීන් කඩවීම පිළිබඳ දකුණේ ප්‍රධාන උද්ඝෝෂකයෙකු බවට ජ.වි.පෙ. පත්වීම, 18වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පක්ෂව පැරණි වාමාංශික නියෝජිතයන් අත් එසවීම, ජ.වි.පෙ. , එ.ජා.ප. සහ දෙමළ සන්ධානය 18වන සංශෝධනයට එරෙහිව කඳවුරු බැඳීම යනාදී කිසිවක් "නිව්ටෝනියානු සමතුලිතය" තුළදී අපේක්ෂා කළ නොහැකි දේ විය.

සරළ නිශ්චයෙන් අධිනිශ්චයට

දැන් අප හමුවේ ඇති ගැටළුව නම් අපට "පශ්චාත් නිව්ටෝනියානු සමතුලිතය" ලෙස අවශ්‍ය නම් නාමකරණය කළ හැකි වත්මන් දේශපාලන මොහොත සංකල්පගත කළ හැක්කේ කෙසේද යන්නයි. මෙය හෙගලියානු සරල නිශ්චය කිරීමට අනුව "ජනවාර්ගික අධිනිශ්චයෙන්" යළිත් "පංතිමය අධිනිශ්චය" කරා ගමන් කිරීමක් ලෙස වටහා ගත හැකිය. නමුත් නිව්ටන් ගුණසිංහ පවා අනුගමනය කළ එම විග්‍රහ මාදිලියේ ඇති ගැටළුව මම ඉහත පැහැදිලි කළෙමි. ඒ වෙනුවට අප අල්තුසරියානු අධිනිශ්චය සංකල්පය භාවිතා කරන්නේ නම් ලාංකේය සමකාලීන දේශපාලන මොහොත දේශපාලන - ආර්ථීක, දේශපාලනික, දෘෂ්ටිවාදීමය යනාදී ප්‍රතිවිරෝධතා සහ පසමිතුරුතා රාශියකින් එක් විට බලපෑමට ලක් වී ඇත්තේ සහ එනයින් නැවත හැඩගැසෙමින් පවතින්නේ කෙසේදැයි අධ්‍යනය කළ යුතුය. ඒ අරුතින් මෙය වාමාංශික සංවිධාන, කණ්ඩායම්, බුද්ධිමතුන් සහ සිවිල් සමාජ ක්‍රියාකාරීන් යනාදී සියල්ලන්ටම නව බුද්ධිමය අභියෝගයන් ද මතු කරන්නා වූ, කද්රි ඉස්මයිල්ගේ වචනයෙන් කිවහොත් "නව ඥාණමීමංසාමය නිමේෂයක්" ද වේ.

වාමාංශිකයන් හට මෙහිදී අධිනිශ්චය සංකල්පය වැදගත් වන්නේ "නිව්ටෝනියානු සමතුලිතය" තුළ වම විසින් ගත් තීරණාත්මක ප්‍රවේශයක් පුනරාවර්තනය නොකරනු පිණිසය. එනම් එතෙක් කල් වමට හුරු පුරුදු වූ පංතිමය ඌනිතවාදය වෙනුවට තවත් ඌනිතවාදයක්, එනම් "ජනවාර්ගික ඌනිතවාදය"කරා මාරු වීමය. මෙය ඌනිතවාදයක් යැයි මා පවසන්නේ එල්.ටී.ටී.ඊ.ය විසින් අනුගමනය කළ අධිපතිවාදී සහ මානව - විරෝධී ප්‍රවේශය පිළිබඳව උතුරේ සිවිල් සමාජයේ යම් යම් කොටස් (නිදසුනක් ලෙස යාපනයේ ආචාර්යවරුන්ගේ සංගමය) තරම්වත් විවේචනාත්මක වීමට ඇතැම් වාමාංශිකයන් අසමත් වීමත්, සෙසු සියලු ගැටළු ජනවාර්ගික පීඩනයේ දෘෂ්ටිවාදීමය ප්‍රිස්මය තුළින් පමණක් බැලීමෙන් වාර්ගික ගැටුම විසින් තමන්වම ප්‍රති- නිර්වචනය වීමට ඉඩ දීමත් නිසාය. මෙම නව ස්වරූපයේ ඌනිතවාදය සඳහා බලපෑ කතිකාමය තත්ත්වයන් දීර්ඝ වශයෙන් විශ්ලේෂණය කළ යුතුව පවතී. කෙසේ වුවද මගේ අදහස නම් 1989බර්ලින් තාප්පය බිඳවැටීමත්, විසිවන සියවසේ කොමියුනිස්ට් රාජ්‍ය පද්ධතිය අර්බුදයට යාමත් හමුවේ ලාංකේය සන්දර්භය තුළ වාමාංශිකයන් හට "පීඩිත ජාතියේ විමුක්ති අරගල තිසීසය" වඩාත් ආකර්ශනීය දෘෂ්ටිවාදීමය ආදේශකයක් වූ බවයි. මීට සමාන්තරව NGO සිවිල් සමාජයේ ප්‍රාදූර්භූත වීම, එමගින් ලිබරල් ව්‍යවස්ථා අධ්‍යයනය, ගැටුම් නිරාකරණය වැනි නව අධ්‍යයන තේමා හඳුන්වාදෙනු ලැබීම, වාමාංශික දේශපාලන කතිකාව මෙකී NGO ලිබරල්වාදයෙන් පුනර්- අර්ථකථනයට ලක් වීම යනාදී කාරණාද අප සැලකිල්ලට ගත යුතුය. කෙසේ වුවද වැදගත්ම සහ තීරණාත්මක කාරණය නම් ඉහත කී වාමාංශික ලිබරල් කතිකාව දේශපාලනිකව අසමත් වී නම් ඒ කුමක් නිසාද, ඔවුන්ගේ දේශපාලන ගණන් බැලීම් වැරදී ගියේ කුමක් නිසාද, ජාතිකවාදී දෘෂ්ටිවාදයේ හෙජමොනික ශක්‍යතා පිළිබඳ ඔවුන්ගේ වටහා ගැනීම්වල සීමාවන් මොනවාද යනාදිය යළි විමසා බැලීමට තරම් එඩිතර හා බුද්ධිමය ලෙස අවංක වීමයි. ජ. වි. පෙ. තුළ ඔවුන්ගේ අතීත දේශපාලන ගමන් මග පිළිබඳව නව සංවාදයක් ඇතිවී තිබෙන බව පෙනෙන්නට තිබුණ ද "ජනවාර්ගික ඌනිතවාදයේ සිට පංති ඌනිතවාදය දක්වා" යළි ගමන් කිරීමේ ගතානුගතික මාක්ස්වාදී ප්‍රවේශය ඒ තුළ බලවත් වෙමින් පවතින බව ද පෙනී යයි.

මෙහිදී යළිත් මඟ හැරී යාමට ඉඩ ඇත්තේ පංතිමය - නොවන සමාජ පීඩනයන් සහ අසමානතාවලට එරෙහිව පුළුල් ප්‍රජාතාන්ත්‍රික සහ බහුවිධ අරගලයන්ගේ වැදගත්කමයි. නිදසුනක් ලෙස උතුරේ කුල පීඩනය පිළිබඳ ගැටළුව ද, දකුණේ ගොවි කම්කරුවන්ගේ ගැටළු ද, සමස්ත රටේම ස්ත්‍රීන්ගේ දේශපාලන නියෝජනය පිළිබඳව ද, ජනවාර්ගික අසමානතාවන් සහ ජීවන තත්ත්වයන්ගේ සමස්ත පිරිහීම පිළිබඳ ගැටළු ද යනාදී සියල්ල සැලකිල්ලට ගන්නා විශ්ලේෂණයක් සඳහා සරල නිශ්චයවාදයේ සිට අධිනිශ්චය දක්වා වන න්‍යායික පරිවර්තනයක් වුවමනා වේ. දෙමළ සහ මුස්ලිම් ජනයාගේ වාර්ගික පීඩනය පිළිබඳ ගැටළු උතුරේත්, දකුණේත් නිර්ප්‍රභූන්ගේ දෘෂ්ටියෙන් යළි සංකල්පගත කරන ප්‍රජාතාන්ත්‍රික විමුක්ති කතිකාවක් ගොඩනැගීමට කාලය එළැඹ ඇත. නිව්ටන් ගුණසිංහ ඔහුගේ බුද්ධිමය/දේශපාලනික ජීවිතය පුරාම යළි යළිත් අවධාරණය කළ පරිදි න්‍යායික භාවිතය සංයුක්ත දේශපාලනයෙන් වෙන්ව පැවතිය හැක්කක් හෝ පවතින්නක් නොවේ. ඔහුගේ ශ්‍රේෂ්ඨ උරුමය පෙරට ගෙන යාම සේම එය විවේචනයට සහ පුනර්- අර්ථකථනයට ලක් කිරීම ද සමකාලීන වාමාංශික බුද්ධිමතුන් විසින් අත් නොහළ යුතු වගකීම්ය.

සුමිත් චාමින්ද



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails