Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



"කෝ තමුසෙගේ අඩි සද්දේ?"

බූපති නලින් දවසක් පත්තරේට ලියන ලිපියකින් මගෙන් අසා තිබුණි. විදූ ගැන ලියූ රචනාවක මාතෘකාව ලෙස ඔහු එසේ යොදාගෙන තිබුණේ, "ඉතිහාසෙ හැප්පිලා දෝංකාරේ දෙන මගේ අඩි සද්දෙට තමුසෙලා බයයි නේද?" කියන අක්ෂරය චිත්‍රපටයේ එන දෙබස් ඛණ්ඩයක්, උත්ප්‍රාසයෙන් යුතුව පරිහරණය කරමිනුයි.

බූපති මාව ප්‍රශ්න කරන සන්දර්භයෙන් බාහිර සන්දර්භයක් තුළ අද මම මෙසේ කියමි.

"මගේ අඩි සද්දය ඇහුණේ නැත්තේ මම ඇවිද්දේ නැති නිසා." (මා වෙනුවට බොහෝදෙනෙකු මඩ ගොහොරුවක අඩි හප්පන හඬ පසුගිය වකවානුව පුරාම අසා සිටියෙමි.)

අනෝමා ජනාදරී විසින් සිය චරිතාපදානයයැ'යි කියා පළකරන්නට යෙදුණු පොතක් නිමිතිකරගෙන පවත්වන සම්මුඛ සාකච්ඡා මාලාවක් ඇතැම් ජනමාධ්‍ය ඉතා උනන්දුවෙන් පළකරනු සහ විකාශය කරනු කියවන්නටත් දකින්නටත් ලැබුණි.

ඒවා බොහෝ විට ඉලක්ක වී තිබුණේ, ඇගේ පොත පිළිබඳ කරුණු හඳුන්වා දීමකට වඩා මගේ නිර්මාණ ජීවිතයේ කන්‍යාභාවය ප්‍රශ්න කිරීමටය. ඒවාට පිළිතුරු නොදී නිහඬව සිටින්නේ ඇයිදැ'යි, මගේ නිර්මාණ රස විඳින හැඟීම්බර සහෘදයන් කිහිපදෙනෙකුම මගෙන් කිහිප විටක් ප්‍රශ්න කරද්දීත්, මා නිහඬව සිටියේ අපට කිසියම් සදාචාරයක් සහ ආත්ම ගරුත්වයක් ඇති හෙයිනි.

නිහඬබව වඩාත් ප්‍රබල සන්නිවේදන මාධ්‍යයක් බැවිනි. එහෙත් වසර 6 කට අධික කාලයක් තිස්සේ වූ අපගේ නිහඬකම, නෝංජල්කමක් ලෙස වරදවා වටහාගෙන ඇති බවක් පෙනෙන්නට ඇති හෙයින් ද, අපගේ නිර්මාණවලට දායකවීමෙන් අත්පත් කරගත් කීර්ති නාමයෙන් ම බැබලෙමින්, ඒවාට අවමන් කරමින් එම නිර්මාණවල ඇති දේශපාලනික සහ සෞන්දර්ය වටිනාකම් කෙලෙසන ආකාරයට කටයුතු කරමින් සිටින අනෝමා යොදාගනිමින් එම නිර්මාණ සැහැල්ලුවට ලක්කරන දුෂ්ඨ ව්‍යාපෘතීන් ක්‍රියාත්මක වන බැවින් ද එකී නිර්මාණවල ආරක්ෂාව සඳහාවත්, කෙටියෙන් හෝ මේ පිළිබඳ කරුණු දැක්වීමක් කිරීම සුදුසු බව සිතුණි.

මගේ නිර්මාණ ජීවිතය ඇරඹුණේ අනෝමා මගේ ජීවිතයට සම්බන්ධවීමට දස වසරකට පමණ පෙරය. එමෙන්ම ඇය මගේ ජීවිතයෙන් ඈත් වූවාට පසුව ද මගේ නිර්මාණ ජීවිතය ඇණහිට නැත. ඇය මගේ ජීවිතයට සම්බන්ධව සිටි කාලයේ මගේ බොහෝමයක් නිර්මාණවලට ඇය සම්බන්ධ වූ බව කවුරුත් දන්නා ඇත්තකි. ඇය මගේ බිරිඳ වීම නිසා ඒ නිර්මාණවලට රංගන ශිල්පිනියක ලෙස තේරීමේ සූත්‍රයේ දී ඇයට වැඩි භාරයක් යෙදවුණු බවද ඇත්තකි. එය මගේ නිර්මාණවලට සම්බන්ධ වුණු කෞශල්‍යා, මල්කාන්ති, සකුන්තලා, මාලි, ගයනි, හංසමාලා ආදී රංගන ශිල්පිනියන්ට වඩා ඇය ලත් වරප්‍රසාදයකි.

නිර්මාණකරණය යනු මට ආදායම් උපදවන ආර්ථීක ක්‍රියාකාරකමක් නොවේ. ඒ වෙනුවට මගේ කුටුම්බය නඩත්තු කිරීම වෙනුවෙන් මා කරන රැකියාවෙන් මා ලබන ආදායමින් සැලකිය යුතු ප්‍රමාණයක් ගිලගන්නා ක්‍රියාකාරකමකි. ඒ නිසා මා නිර්මාණයකට අතගසන්නේ ඒ වෙනුවෙන් කිසියම් වියදමක් පුද්ගලිකවම වියදම් කරන්නට සුදානමින් මිස ඉන් ආදායමක් ලැබීම අරමුණු කරගෙන නොවේ. මගේ නිර්මාණ සඳහා මුදලින් දායක වූවෝ ද ඒ අවදානම දරන්නට සුදානම්ව ඒ කටයුත්තට අතගැසුවෝ වෙති. ඒ බව හොඳින් දැනසිටි අනෝමා මගේ නිර්මාණවලට එකඟ වූයේ මුදල් බලාගෙනයැ'යි මා මෙතෙක් දැන සිටියේ නැත. අනෝමා පමණක් නොව සමහර අවස්ථාවල සමහර ශිල්පීන් ශිල්පිනීන්ට ද ඒ අවබෝධය තිබුණි. මගේ නිර්මාණවලට ශිල්පීන් ලෙස සම්බන්ධ වුණු අය, එකී නිර්මාණයන්ට මුදලින් දායක වූ අවස්ථා ද ඕන තරම් තිබෙයි. අපගේ නිර්මාණ ව්‍යාපෘතීන් සෑම විටම සාමූහික එකක් වූ අතර, එහි අරමුණ මුදල් ඉපයීම ඉක්මවා ගිය යහපත් එකකි.

මා සමග විවාහ ජීවිතයක් ගත කරන අවධියෙහි රංගනයෙන් ඇය මගේ නිර්මාණයන්ට සම්බන්ධ වූයේ වේතනයක් බලාපොරොත්තුව බව මට දැනගන්නට ලැබුණේ ඇය මගෙන් වෙන් වූවාට පසුවය. එය මට ජුගුප්සාව උපදවන අලුත් දැනුමකි. අතීතයේ නොතිබුණු ගිවිසුමක් වෙනුවෙන් අද ගෙවීමක් කරන්නට මට නොහැකිය. අනෝමා මගෙන් වෙන්වූවාට පසුව ද මම නිර්මාණකරණයේ යෙදුණෙමි. මේ පාරෙන් එන්න, නැගෙනහිර වෙරළෙන් ඇසෙන, අක්ෂරය සහ විදූ මා ඉන්පසු මෙතෙක් කළ නිර්මාණ ය. ඉදිරියට ද තව නිර්මාණ කිරීමට බලාපොරොත්තු වෙමි. යම් හෙයකින්, එකී නිර්මාණයන් වෙනුවෙන් ඇය රංගනයෙන් දායක කරගැනීමට මා තීරණය කළහොත් ඒ වෙනුවෙන් අනෙකුත් රංගන ශිල්පීන්ට මෙන් ගෙවීමක් කිරීමට මට හැකිය.

අනෝමාගේ තර්කයටම අනුව, මගේ නිර්මාණ වෙනුවෙන් ඈ සම්බන්ධ කරගැනීම හරහා ඈ තුළ එක්රැස් වූ සංකේත ප්‍රාග්ධනයට මට ද හිමිකමක් ඇත. ඒ ඒවා එක්රැස් වූයේ මගේ "අධ්‍යක්ෂණයෙන්" බැවිනි. පසුකලෙක ඇගේ අලුත් "අධ්‍යක්ෂ" යටතේ සැලසුම්කළ ව්‍යාපෘතිවලට අරමුදල් රැස්කිරීම වෙනුවෙන් විදේශීය තානාපති කාර්යාලවලට සහ අනුග්‍රාහක සමාගම්වලට ඉදිරිපත් කළ ව්‍යාපෘති වාර්තාවල විකිණුනේ මගේ වටිනාකම්ය.

මා සමග ගත කළ ජීවිත කාලය තුළ මගේ නිර්මාණ තුළ ඈ රඟපෑ චරිත පමණක් නොව ඇගේ ජීවිතය ද මා විසින් අධ්‍යක්ෂණය සහ කළමනාකරණය කළ බව ඇත්තකි. 2003 වසරේ සිංගප්පූරු සිනමා උළෙලේ හොඳම නිළිය ලෙස අභිෂේක ලබන තෙක් නිළියක ලෙස ඈ ආ ගමන ඇගේ රංගන දිවිය කළමනාකරණයෙහි ප්‍රතිඵලයකි. වසර 13 ක් පමණ වූ ඒ වකවානුව තුළ දුන්හිඳ අද්දර, චන්ද කින්නරී, දිය කැට පහණ, සින්තටික් සිහින, මේ මගේ සඳයි, තනි තටුවෙන් පියාඹන්න කෘතීන් තුළ විදහා දැක්වූයේ එසේ කළමනාකරණය වූ කෘතහස්ත රංගනයකි. ඇගේ ජීවිතය එසේ කළමනාකරණය නොකළා නම්, එහි හැඩය කුමක්වනු ඇත්දැ'යි දැනගන්නට කැමති අයට ඇගේ චරිතාපදානය කියවා එය පරිකල්පනය කරගත හැකිවනු ඇති. වර්තමානයේ ඇගේ දිවිය කළමනාකරණය කරන්නාගේ අවසරය, අධීක්ෂණය හා අධ්‍යක්ෂණය යටතේ බිහි වූ නිර්මාණ සොයා බලා දැනගැනීම මේ සටහන කියවන ඔබට අභ්‍යාසයක් ලෙස පවරමි.

නිර්මාණකරුවකුගේ පුද්ගලික ජීවිතයේ ක්‍රියාකාරකම් ද මෙහෙයවනු ලබන්නේ නිර්මාණ ජීවිතයේ හැඩරුව අනුවය.

නිර්මාණකරණය හුදු විනෝදාංශයක් හෝ ආදායම් මාර්ගයක් නොවී වගකීම් සහගත සමාජීය ක්‍රියාකාරමක් වූ විට එකී නිර්මාණ වෙනුවෙන් පුද්ගලික ජීවිතය තුළ යම් යම් කැපකිරීම් කිරීමට සිදුවෙයි. නිර්මාණ හරහා අප සමාජය තුළ වටිනාකම් ලෙස තහවුරු කෙරෙන දෑට පටහැනිව ජීවත්වීමට නිර්මාණකරුවකුට සදාචාරාත්මක අයිතියක් නැත. එය නිර්මාණකරුවකුගේ හික්මීමයි. කලාකරුවකුගේ මෙම හික්මීම යනු ඊනියා සංස්කෘතික පරාමිතීන් අනුව තීරණය කෙරෙන්නක් නොවේ. මනුෂ්‍යත්වය පදනම් කොටගත්තකි. උදාහරණයක් ලෙස ඇත්ත සමාජයේ ස්ත්‍රී දූෂකයෙකු සිනමාවේ හෝ වේදිකාවේ සුදුවතින් සැරසි මහත්මා ගාන්ධිට ඇන්දාට, ප්‍රේක්ෂකයා තුළ ඒ රූපණය පිළිබඳ විශ්වාසයක් ගොඩනැගෙන්නේ නැත. ගැහැනියකගේ කුසට දරුවකු දී එහි වගකීම බාරගන්නට පෞරුෂයක් නැති අයෙකුට වේදිකාව මත හෝ සිනමා තිරයක් මත හෝ පත්තර පිටු අතර ස්ත්‍රීවාදියෙකු වන්නට නොහැකිය.

"තනි තටුවෙන් පියාඹන්න" චිත්‍රපටයේ ඈ කළ භූමිකාවට වටිනාකමක් ලැබුණේ එවකට ඇගේ පැවැත්ම සහ පිළිවෙතෙහ තිබූ ගෞරවනීය බව නිසාය. එම වටිනාකම බඩගෝස්තරවාදී නපුංසක ව්‍යාපෘතිවල තුට්ටුදෙකට සැහැල්ලු වුණාට පසු තවදුරටත් එම රංගනයෙහි ගෞරවනීය බවක් නොමැත. ඉතා රැඩිකල් ස්ත්‍රීවාදිනියක ලෙස පෙනීසිටින ඇය "නිරුවත යනු ගැහැනියකගේ ජීවිතය"යැයි කියයි. මේවා හතරබීරි කතාය. "තනි තටුවෙන් පියාඹන්න" චිත්‍රපටයේ සමස්ත රංගනයේ වටිනාකම එහි එන නිරුවත් දර්ශනයට ලඝුකරන ඇය, තනිතටුවෙහි මෙන් පිරිමියකු ලෙස වෙස්වලාගත් ගැහැනියගේ ගැහැනු ලිංගය දකින්නට ගිජු දෑස් දල්වා සිටින පිරිමි සමාජයෙහිම ගොදුරක් බවට පත්ව ඇති අයුරු කනගාටුදායකය.

න්‍යෂ්ටික බෝම්බයක තරම් ශක්තියක් කැටිවුණු එම රංගනය තමා විසින්ම පුස්වෙඩිල්ලක් බවට සැහැල්ලු කරගත් අයුරු අතිශය ඛේදජනකය.

අනෝමා සිය චරිතාපදානයේ පළවෙනි කොටස ලියා පළකර ඇත. එය ප්‍රබන්ධයක් බවට සාක්ෂි එම පොතම සපයයි.

උදාහරණයක් ලෙස තනි තටුවෙන් පියාඹන්න යනු මා විසින් පිටපත ලියා අධ්‍යක්ෂණය කළ කෘතියක නම නොවේ. ඇගේ පාසල් වියේ පෙම්වතකු සමග සංවාදයක දී මතුවුණු සංකල්පනාවකි. වර්තමානයේ සිට කෙනෙකුට තමන්ගේ ම අතීතය පිළිබඳ සිහින ප්‍රබන්ධය ගොඩනැගිය හැක.(සමන් වික්‍රමාරච්චිට අනුව මෙය මනෝවිද්‍යාව හදාරන කෙනෙකුට වැඩබිමකි.)

සුනේත්‍රා රාජකරුණානායකගේ හෝ සුමිත්‍රා රාහුබද්ධගේ හෝ පොතක් එළි දැක්වීමටවත් නොලැබුණු මාධ්‍ය ආවරණයක් මේ පොත එළිදැක්වීම වෙනුවෙන් ලැබුණි. ඒ එහි ඇති සාහිත්‍යමය වටිනාකම නිසාවත් තොරතුරුමය වටිනාකමක් නිසාවත් නොව, ඒ තුළ ගැබ් වූ කුණු ඕපාදූප රසයක් හේතුවෙනි.

වසර දහතුනක් පමණ කාලයක් මගේ අධීක්ෂණය සහ කළමනාකරණය යටතේ ගොඩනැගුණු අනෝමාගේ පැරණි රංගන ජීවිතයේ සංකේතීය වටිනාකම් තවදුරටත් විකුණනන්ට නොහැකි වූ තැන ඇගේ ජීවිතයට සමීප චරිත වූ දෙමාපියන්, සහෝදර සහෝදරියන් සහ නෑදැ හිතවතුන්ගේ ආත්මයන් විකිණීම තෙක් එම ජඩ ව්‍යාපෘතිය විස්තාරණය කරගෙන ඇත.

ඊළඟට එහි දෙවැනි කොටස එළි දක්වන බව කියැවේ. පළවෙනි කොටස සඳහා වන මේ මහා මාධ්‍ය රංගනය දෙවැනි කොටස සඳහා වන ප්‍රචාරක පටය හෙවත් Trailer එකය.

අනෝමාට හෝ වෙන කවරකුට හෝ සිය චරිතාපදානයයැ'යි ඕනෑම බහුබූතයක් ලියා පළ කළ හැක. එහෙත් ඒවාට අවශේෂ චරිත ලෙස මා හෝ මගේ දරුවන් හෝ මගේ වෘත්තීය සහ පුද්ගලික ජීවිතයට සම්බන්ධ කවරෙකු හෝ ඈඳාගෙන තිබුණහොත්, ඇගේ ද, ඇයව දැන් "අධ්‍යක්ෂණය" කරන ගාන්ධිලාගේ ද ඒ ව්‍යාපෘතියට සම්බන්ධ අවශේෂ සියලු චරිතවල ද "චරිතාපදානයන්" අධිකරණ ශාලාවල එළිදක්වන්නට සිදුවනු ඇත.

අනෝමාගේ චරිතාපදානයේ තුන්වෙනි කොටස එවිට ලියැවෙන්නේ අධිකරණ සටහන්වලය.

අනෝමා සමග එකට ගෙවුණු අවුරුදු දහතුනක් වූ මගේ නිර්මාණ ජීවිතයට සාක්ෂි දරන්නට එකී නිර්මාණ ද, ඒවාට දායක වූ වෘත්තීය සගයන් ද ඉදිරිපත්වනු ඇති අතර, මගේ ගෘහ ජීවිතය පිළිබඳ හොඳම සාක්ෂිය තවමත් මා සෙවණේ සිටිමින් මට අසීමිත ලෙස ආදරය කරන, දැන් දැනුම් තේරුම් ඇති ගැටවරියන්ව සිටින මගේ දරු දෙදෙනා විසින් දරනු ඇත.

[රාවය| 2011.05.22]

අශෝක හඳගම



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails