Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



පසුගිය සඳුදා "අනිත් කට්ටිය" නමින් නමාකරණය වූ තරුණ කණ්ඩායමක් විසින් "අරගලය අරඹමු" යන මැයෙන් සංවාදයක් මහජන පුස්තකාලයේ දී සංවිධානය කර තිබුණි. වික්‍රමබාහු, වසන්ත සමරසිංහ, ලියනගේ අමරකීර්ති, සුමනසිරි ලියනගේ, ශිරාල් ලක්තිලක, සරත් ප්‍රනාන්දු , ජොසප් ස්ටාලින් යන විවිධ වූ දේශපාලනික ආස්ථානයන් වල පවුරු බැඳ සිටින ක්‍රියාධරයන් පිරිසක් සංවාදය සදහා සහභාගී වී සිටියහ. සංවාදයට ප්‍රස්තූතයන් වී තිබුණේ නොදෙන වැඩි වැටුප, බලෙන් දෙන විශ්‍රාම වැටුප, සරසවි සිසුන්ගේ මිලිටරි පුහුණුව සහ මානව හිමිකම් යන දෑය.

ලියනගේ අමරකීර්ති සංවාදය ආරම්භ කරමින් තමන්ගේ හෘද සාක්ෂිය සම්බන්ධ යම් හරවත් ප්‍රවේශයක් ගත්ත ද ඉන් පසු අනෙක් කථිකයන් සියල්ලෝ ම තමන්ගේ දේශපාලනික මත සංවාදය තුළ වෙන වෙනම ස්ථානගත කිරීමට, තමන් සතු හොඳම වදන් භාවිත කරමින් සිය කථා පැවත්වූහ. විටින් විට අනිත් කට්ටිය ද පැමිණ තමන්ට බොරැල්ල පොලීසියෙන් සිදුවූ හිරිහැරය හොද හැටි පට්ට ගසමින් එය තමන්ට ඇඩ් එකක් කර ගත්හ. කටුනායක බහුතරයක් මෙන්ම ඔවුන් ද හිතන්නේ මේ පොලීසිය තමන්ට වධ දුන්නේ තමන්ගේ හිතු මතේට බවයි. මහින්ද සේනාධිනායකයා බව ඔවුන් ද සබුද්ධිකව අමතක කර දමති. එසේ නොමැතිව වංගීෂ සුමනසේකර වැන්නන් මේවා නොදැන ඉන්නට තරම් බබාලා නොවේ.

ඔවුන් මුළු සංවාදය පුරාම ස්ථීර කරන්න උත්සහ කළේ මහින්ද ආණ්ඩුව තමන්ට දැවැන්ත මර්දනයක් මුදාහරින බව සහ එයට මුහුණ දීමට පීඩිතයන්ගේ අරගලයක් අවශ්‍ය බවයි. මේ කථා ගැන සබුද්ධිකව කල්පනා කිරීමේ දී යම් තැනකට අප කැඳවාගෙන එන්නාක් මෙන් ම සහ අප අභිමුව ප්‍රශ්න කීපයක් ද නිර්මාණය කරයි. ඉන් පළමු වැන්න මේ සියල්ලෝ ම මහින්ද පාලනයේ මර්ධනය වටහාගෙන ඇත්තේ මේ මොහොතේද??? අනෙක් ප්‍රශ්නය පීඩිතයින්ගේ අරගලය කඩා විසුරුවා සුණුවිසුණු කර දමන ලද්දේ කවුරුන් විසින් ද යන්නයි.

මහින්දව පාලන බලයට ගෙන ඒමේ ව්‍යාපෘතියේ අති දැවැන්ත කාර්යභාරයක් කළ මේ සංවාදයේ කථිකයන්ගෙන් බහුතරයක්, මහින්ද පැමිණනෙ ජාතිවාදී මාර්ගයේ අනාගත ඵලවිපාකයන් එදා දුටුවේ නැද්ද??? නැතිනම් ඔවුන් දැක කොලේ වසා සිටියාද යන්නයි. වැටුප් ප්‍රශ්නයක් එතතුරු විශ්ව විද්‍යාල ආචාර්යවරු සිටියේ කොහෙද??? දමිළ ජනයා දහස් ගණනක් ඝාතනය කරද්දී, ලසන්ත මහපාර මැද මරා දමද්දී, ප්‍රගීත් එකැනැලිගොඩ අතුරුදහන් කර දමද්දී, මහපාර මැද පෝද්දල ජයන්තගේ කකුල් කඩද්දී මේ පිරිසගේ ආස්ථානය වූයේ කුමක්ද?? වසන්ත තම කථාව ආරම්භයේදීම පැවසූ දෙයට මා තුළින් නැග ආ හිනාව මැඩගෙන සිටියේ ඉතාම අපහසුවෙනි. ඔහු කියන්නේ ජවිපෙ ඉතිහාසය පුරා ම හරි තැන හිටගත් බවයි. ඔවුන් ලකුණු කරගෙන සිටි හරි තැන දමිළ සංහාරයක් සිදුකිරීමට ආණ්ඩුවක් පත්කිරීම ද??? වරක් අන්තරයේ කැඳවුම්කරුව සිටි දුමින්ද අරංගල සමඟ කැලණි විශ්ව විද්‍යාලයේ නවක වදය සමබන්ධ සංවාදයකට ගිය අවස්ථාවක දී ඔහු දුන්නේ කදිම පිළිතුරකි. අපි කට්ට කාලා ආවේ.... මුනුත් ඒ කට්ට කන්න ඕනේ... එහිදී මාගේ ප්‍රශ්නය වූයේ වර්තමානය අතීතයේ කට්ට කන්න ඕනේ නම්, අතීතයේ දී ඔබලා කළ කාර්යභාරය කුමක්ද යන්නයි. ඉන්පසු අපට මුහුණ දෙන්නට වූයේ ඉතාම පහත් තත්ත්වයේ ප්‍රතිචාරයන්ටය. දමිළ සොහොයුරන්ගේ ප්‍රශ්න වෙනුවෙන් පෙනී සිටි අපට ඔවුන් දුන් නාමය වූයේ පර දෙමල්ලු යන්නයි.... මේ ජවිපෙ ඉතිහාසය පුරා සිටගත් "නිවැරදි තැන්"ය!

විශ්ව විද්‍යාල ආචාර්යවරු ද ආණ්ඩුවට දමිළ ජනයා සමූල ඝාතනය කිරීමට පටි තදකර ගත් යටත් පිරිසෙන් එක් කණ්ඩායමකි. එදා ඔවුන්ට ජීවන වියදම බරක් නොවුනි ද??? ඇත්තෙන්ම එදා හොඳ ද?? අරගල දෙකක අත්දැකීම් ඇති ජවිපෙ පීඩිතයින්ගේ අරගලයක් අවැසි බව දකින්නේ දැන්ද??? ඔවුන්ට අනුව උතුරේ අරගලය ධනපතියන්ගේ අරගලයක් ද??

අප ඉදිරියේ මෙවැනි ප්‍රශ්න මාගලක් නිර්මාණය වෙද්දී බාහු දැන් සිටින්නේ ඉහවහා ගිය ප්‍රීතියකිනි. ඔහුට අනුව මේ මොහොත කම්කරුවගේ මොහොත යි. ඒ නිසාම ඔහුගේ එදා කථාව ගැලරිය පිනවන විමල් වීරවංශගේ කථාවකට දෙවැනි නැත. ඇත්තෙන් ම බාහු කවදත් සිටින්නේ මේ මොහොත අමතක කරමිනි. පීඩිතයාගේ මොහොත උතුර තුළ විනාශ කිරීමෙන් පසු තවම ලංකාව තුළ කම්කරුවාගේ මොහොත පැමිණ නැත. ඒ මෙහොත නිර්මාල් රංජිත් දේවසිරි කියනා ආකාරයට මෙන් මෙය ඔහේ යන්න දී පැමිණෙන්නේ නැත. ඒ වෙනුවෙන් තව බාහුලා අත නොතැබූ වැඩ රාශියක් කිරීමට තිබේ. උදාහරණ ලෙස බාහුලාගේ ආමන්ත්‍රණ භාෂාව පවා වෙනස් කරගත යුතුව ඇත.

විශ්ව විද්‍යාල සිසුන් සඳහා වන පුහුණුවට තමන් යුධ යන වචනය පාවිච්චි නොකරන බව කියූ ශිරාල් ලක්තිලක තමන්ගේ උත්තම නායකයා වන සජිත් ප්‍රේමදාස සහ මහින්ද අතර වන අවබෝධතාවය එතැනදී ද රැකගත්තේය!

සමස්තයක් ලෙස ඔවුන් සියලු දෙනා සිටින්නේ යම් ප්‍රමෝදයකිනි. අනෙක් කට්ටිය සිටියේ ද ඒ ප්‍රමෝදයේ ගිලෙමිනි. ඒ ප්‍රමෝදය නිසාම මේ මොහොත අමතක කරමින් තමන්ගේ ආස්ථානයන් සපථ කරගැනීමේ ව්‍යාපෘතියක නියැලුනි. අරගලයක ආරම්භය පේනතෙක් මානයටවත් සංවාදය ගියේ නැත. මේ මොහොතේ අවැසි සංවාදය නම් උතුරේ අරගලය සමග දකුණේ අරගලය අමුණන්නේ කෙසේ ද යන්නයි. එයට අවශ්‍ය නැවුම් ක්‍රමවේදයන් සොයාගැනීමයි. නව දර්ශනයක් ඒ වෙනුවෙන් බිහිකිරීමයි. ඒ වෙනුවට සිදුවූයේ සියල්ලන් ම අනිත් කට්ටිය වී ප්‍රශ්නය තවම ගේට්ටුව ළඟ නිසා එයින් ප්‍රමෝද ගත වීමයි. නමුත් ඔවුන් නොදන්න දේ නැතහොත් දැක අහක බලා සිටිනා දේ නම් ප්‍රශ්නය තමන්ගේ දෙපතුලෙන් උඩටත් පැමිණ ඇති බවයි.

නිර්මාල් ඒකනායක



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails