Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



ආණ්ඩුව කාගේ පැත්තේද? යනුවෙන් ඇසීම බැලූ බැල්මට විකාරසහගත වුවත් එය මේ රටේ ජනතාව තුළ දිගු කලක සිට වැඩි වශයෙන් මතුවන්නට පටන් ගත් පැනයක් බැව් අමතක කළයුතු නැත. ආණ්ඩුව කාගේ පැත්තේද? දුරකතන සමාගම්වල පැත්තේද? නොඑසේ නම් තමන්ගේ පැත්තේද, පිටි සමාගම්වල පැත්තේද නැත්නම් තමන්ගේ පැත්තේද යනුවෙනුත්, ගෑස් සමාගම්වල පැත්තේද, නැත්නම් තමාගේ පැත්තේද? යනුවෙනුත් මෙරට මහජනතාව තුළ තෙරක් නොමැතිව මේ ප්‍රශ්නය හටගන්නට තරම් ආණ්ඩුවේ පැටිකිරිය ඉඩ ප්‍රස්තා ලබාදී ඇත.

ආණ්ඩුව කාගේ පැත්තේද යන්න අලුත් ස්වරූපයක් ලෙස නැවතත් මතුවන්නේ පරිගණක මෘදුකාංගවල නීත්‍යනුකූල පිටපත් භාවිත නොකර ඒවායේ ව්‍යාජ පිටපත් භාවිත කිරීම හෝ විකිණීම දඬුවම් ලැබිය හැකි වරදක් බව ජනමාධ්‍ය මගින් ප්‍රචාරය කරවීමටත් පරිගණක විකුණන ආයතන සඳහා ඇතැම්විට ඒ පිළිබඳ කිසියම් අනතුරු හැඟවීම් කිරීමත් සිදුකර තිබෙන තත්ත්වයක් තුළය.

නවීන වාර්තා පෙන්වා දෙන පරිදි ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ සාක්ෂරතාව 30% ඉක්මවයි. ඒ අර්ථයෙන් ගත් කල එය ඉතාමත් දියුණු සහ සැනසිලිදායක තත්ත්වයකි. රට ඒ තත්ත්වයට පත්වීමේ මූලික පියවර ඕනෑම මෘදුකාංගයක් එහි පිටපත් කිරීමේ වියදම පමණක් දී ඉතා අඩු මිලට ගතහැකිවීම නිසා පරිගණකයක් මිලදී ගැනීම තරමක් දුරට යථාර්ථයක් කරගත හැකි තත්ත්වයක් රට තුළ ස්ථාපිතව තිබීම මිස අන් කවරක්වත් නොවේ.

රට දැනුමෙහි කේන්ද්‍රස්ථානයක් බවට පත්කරමුයි එක් පැත්තකින් උදම් අනමින් අනෙක් අතින් එකී නිදහස් අයිතියට සීමා පැනවීමට රජය දායකවීම හේතුවෙන් සිදුවන්නේ තොරතුරු තාක්ෂණය පිළිබඳ රටේ තිබුණු මේ පිබිදීම ඇස් පනාපිට බිඳ වැටී සුනු විසුනු වී යෑමයි. නොඑසේ නම් තොරතුරු තාක්ෂණය වනාහි එක්තරා වරප්‍රසාදිත පන්තියක බූදලයක් පමණක් බවට පත්කිරීමයි.

මේ රටේ ගොඩක් මිනිස්සු දරුවන්ට කම්පියුටර් එකක් අරන් දෙන්නේ තමන්ට ඒ මාසෙ ගැටගහගන්න තියෙන සල්ලිවලින් කොටසක් මාසෙ අන්තිමට ඒ සඳහා යට කරලා. ඒ තමන්ගේ ළමයාගේ අධ්‍යාපනයට කොම්පියුටර් එකක් අරන් නොදීම බැරි හින්දා. මොකද මේ තාක්ෂණයත් එක්ක ඉස්සරහට යද්දි කම්පියුටර් පන්තියකින් හරි ඉස්කෝලෙන් හරි කරන පුහුණුව හොඳටම මදි.

අනිත් අතට මේ තාක්ෂණය දවසින් දවස ඉස්සරහට යද්දි ඒ ළමයට ඒ එක්ක ඉස්සරහට යන්න නම් ළමයාට අලුත් සොෆ්ට්වෙයාස් අරන් නොදී බෑ. මේ තියෙන ආර්ථීකයත් එක්ක අපිට අපේ එදිනෙදා ජීවිතය ගැටගහගන්න වෙලා තියෙන්නෙත් කොච්චර අමාරුවෙන්ද? එහෙම තියෙද්දි සොෆ්ට්වෙයාස්වලටත් ගෙවන්න සිද්ධ වෙනවා කියන්නේ ඒක හීනයක් විතරයි. එහෙම වුණොත් අපිට වෙන්නේ අරගත්තු කම්පියුටර් එකත් පැත්තකට දාලා ළමයගේ පරිගණක අධ්‍යාපනය ගැන නොහිතා ඉන්න එක විතරයි.

තම දරුවාගේ පරිගණක අධ්‍යාපනය වෙනුවෙන් වෙහෙස මහන්සි වන කේ. පී. අරුණ මහතා මේ සම්බන්ධයෙන් දක්වන අදහස්ය ඒ. සැබෑවක්මය. පරිගණක මෘදුකාංග සමාගම් තම මෘදුකාංග සඳහා නියම කොට ඇති මිල ගණන් දුප්පත් දෙමාපියකුට තබා අතමිට තරමක් හෝ සරු පුද්ගලයකුටවත් දරාගත හැකිද යන්න ගැටලුවකි.

ලංකාව තුළ බහුලව භාවිත වන පද්ධති මෘදුකාංගයක් වන වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය ලංකාව තුළ ලබාගත හැකි මිල ගණන් අදාළ මෘදුකාංගය අලෙවි කරන නියෝජිත ආයතනයක් හරහා අපට ලබාගත හැකි විය. ඒ අනුව එම මෙහෙයුම් පද්ධතියේ වින්ඩෝස් 7අල්ටිමේට් සංස්කරණය ලංකාව තුළ විකිණෙන මිල ඇමරිකානු ඩොලර් 226කි. එය ලංකා මුදලට හරවන්නේ නම් දළ වශයෙන් රුපියල්24747ක් පමණ වේ. එහි සැබෑ මිල එතනින්ද නොනවතී. මන්දයත් ඒ සඳහා එකතු කිරීමට 12%ක වැට් බද්දක් රජය විසින් ලබාදී ඇති හෙයිනි. මේ සියල්ල එකතු වූ කල වින්ඩෝස් මෘදුකංගය මිලදී ගැනීමට පමණක් වැය කළයුතු මුදල රුපියල් විසි අටදහසකට ආසන්න වේ. ඒ මුදල ගෙවා එම මෘදුකාංගය පරිගණකය තුළ ස්ථාපනය කළ ද ඉන් පරිගණකයක් මගින් සිදුකරන කිසිදු අමතර රාජකාරියක් සිදුකළ නොහේ. මන්දයත් එවන් පද්ධති මෘදුකාංග වනාහි සෙසු මෘදුකාංග ඒ මත ධාවනය කරන රේල් පීල්ලක් පමණක් වන හෙයිනි.

පරිගණකය මගින් කිසියම් ප්‍රයෝජනයක් ගැනීම සඳහා මූලික වශයෙන් තිබිය යුතු මෘදුකාංගයක් හැටියට මයික්‍රොසොෆ්ට් ඔෆීස් පැකේජය ගනිමු. යටකී නියෝජිත සමාගමේ මිල ගණන්වලට අනුව එහි හෝම් ඇන්ඩ් බිස්නස් 2010 නම් සංස්කරණය ලංකාව තුළ විකිණෙන මිල ඇමරිකානු ඩොලර් 189කි. එය ආසන්න වශයෙන් රුපියල් විසි දහස් පන්සීය ඉක්මවයි. එපමණක් නොව, එයට සියයට දොළහක වැට් බද්දක්ද ඇතුළත් විය යුතුය. ඡායාරූප සංස්කරණය කිරීම වැනි කටයුතු සඳහා බහුල වශයෙන් භාවිත කෙරෙන ඇඩෝබි ෆොටෝෂොප් මෘදුකාංගය මිලදී ගන්නවා නම් ඒ සඳහා වැය කළයුතු මුදල ඇමරිකානු ඩොලර් 1168කි. ශ්‍රී ලංකාවට ඇඩෝබි ෆොටෝෂොප් මෘදුකාංගය ගෙන්වන එක්තරා ආයතනයක් පෙන්වා දෙන පරිදි ඒ සඳහා ඇඩෝබි මෘදුකාංග රාශියක් අඩංගු(ඇඩෝබි ෆොටෝෂොප්, ඉලස්ට්‍රේටර්, ඉන් ඩිසයින්, ෆ්ලෑෂ්, ෆයර්වර්ක්ස්, ඇක්රොබැට්, බ්‍රිජ්ස්) ඇඩෝබි ක්‍රියේටිව් සූට් පැකේජය මිලදී ගතයුතු වන හෙයිනි. ඒ සඳහා දළ වශයෙන් වැයවෙන මුදල(බදුරහිතව) රුපියල් එක්ලක්ෂ විසිනව දහසකට ආසන්නය. තම පරිගණකය මගින් සංයුක්ත තැටියක් නිවැරදිව පිටපත් කිරීම වැනි සුළු කාර්යයවලදී පවා වෙනම මෘදුකාංගයක් පරිගණකය තුළ ස්ථාපනය කිරීම අත්‍යවශ්‍ය වේ. ඒ සඳහා ශ්‍රී ලංකාව තුළ බහුලව භාවිත කෙරෙන නීරෝ බර්න් මෘදුකාංගය ඇමරිකානු ඩොලර් 69.99ක් හෙවත් රුපියල් හත්දහස් හත්සියයට ආසන්න මුදලකි. තම පරිගණකය සඳහා අනිවාර්යයෙන් ස්ථාපනය කළයුතු වෛරස්ගාර්ඩ් මෘදුකාංගයක සාමාන්‍ය තත්ත්වයේ පිටපතක් ලංකාව තුළ විකිණෙන මුදල රුපියල් දෙදහසකට ආසන්න වේ. එදිනෙදා භාවිතය සඳහා බහුලව භාවිත නොකළත්, අද වනවිට ලංකාවේ බොහෝ පිරිසක් අධ්‍යයනය කිරීමට පෙළඹී ඇති, නිවාස සැලසුම් නිර්මාණය කිරීම සඳහා ගෘහනිර්මාණ ශිල්පීන් විසින් භාවිත ඔටෝකැඩ් 12 මෘදුකාංගයේ වෙළඳෙපොළ වටිනාකම ඇමරිකානු ඩොලර් 3995ක් තරම් ඉහළ අගයක් ගනී. එය ශ්‍රී ලංකා මුදලින් දළ වශයෙන් රුපියල් හාර ලක්ෂ හතළිස් දහසකට ආසන්න වටිනාකමකි. ඉහත සඳහන් මෘදුකාංග සියල්ලම තම පරිගණකය තුළ ස්ථාපනය කළද එදිනෙදා කටයුතු සාර්ථකව කරගැනීමට ඒවා කිසිසේත් ප්‍රමාණවත් නොවේ. ඒ සඳහා ලොකු කුඩා මෘදුකාංග රාශියක සේවය ලබාගැනීම අත්‍යවශ්‍ය වනවාට සැකයක් නැත. තත්ත්වය මෙසේ නම් තම දරුවාගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ඉතා අමාරුවෙන් හෝ රුපියල් දහපහළොස් දහසක් සොයාගෙන පැරණි පරිගණකයක් හෝ මිලදී ගැනීමට සිතන දෙමව්පියන්ට හෝ තම ව්‍යාපාර කටයුතු සඳහා පරිගණකයක් භාවිත කිරීමට සිතන ව්‍යාපාරිකයකුට ඊට අවශ්‍ය මෘදුකාංග මිලදී ගැනීම සඳහා අමතර වශයෙන් රුපියල් ලක්ෂ ගණනක් වැය කිරීමට සිදුවේ. නොඑසේ නම් ඔහුට මිලදී ගතහැකි වනුයේ කිසිවක් කළ නොහැකි හිස් පරිගණකයක් පමණි.

මේ තත්ත්වය මත ඍජුව හෝ වක්‍රව පරිගණකයක් භාවිත කරමින් රට තුළ සිදුකැරෙන සියලුම සේවාවන්හි මිල ගණන් ඉහළ යනු නොඅනුමානය. වෙනකක් තබා පරිගණක පන්තියක් මගින් හෝ තම දරුවාට පරිගණක අධ්‍යාපනයක් ලබාදීමට සිතන දෙමව්පියන්ට තම දරුවාගේ පන්ති ගාස්තුව ලෙස ගෙවිය යුතු මුදල පවා දරාගත නොහැකි මට්ටමින් ඉහළ යනු ඇත. මන්දයත් තම මෘදුකාංග සඳහා වැය කළ සියලු මුදල් ඒ ඒ සේවාව සපයන ආයතනය තම සේවාව ලබන්නාගෙන්ම අය කරගත යුතු හෙයිනි.

අපි කාටහරි ලියුමක් ටයිප් කරලා දෙද්දි ටෝනර් එකට යන වියදමයි, කොළවලට යන වියදමයි ගැන තමයි ගොඩක් වෙලාවට බලන්නේ. ඒ ඔක්කොම බලලා අපි දැන් පිටුවක් රුපියල් පනහට ටයිප් කරලා දුන්නත් අපිට සොෆ්ට්වෙයාවලට ලක්ෂ ගණනක් ගෙවන්න වුණොත් ඉන්පස්සෙ අපිට ඒ පිටුවක් ගහන්න රුපියල් එකසිය පනහක්වත් ගන්න වෙයි. සීඩී එකක් රයිට් කරන්න වුණත් එහෙමයි. මේක එක පැත්තකින් කස්ටමර්ට ලොකු පාඩුවක්. ඒ විතරක් නෙවෙයි ඒකට අපි එච්චර ගාණක් ගත්තොත් ඔහු කොම්පියුටර් ටයිප්සෙටින් අත්හැරලා තම අවශ්‍යතාව අතින්ම ලියලා ඉටුකරගන්න හරි වෙනත් ක්‍රමයකින් කරන්න හරි පටන් ගනීවි. එතකොට ඒක අපේ ජොබ් එකට වෙනම විදිහකින් බලපානවා.

මේ තත්ත්වය ඔඩු දිව්වහොත් එය තමා කෙරේ බලපාන ආකාරය මෙසේ දිගහරින්නේ තිසර විඡේරත්න මහතාය. ඔහු පරිගණක මගින් ලිපි සැකසීම, ඡායාරූප සැකසීම, සීඩී පිටපත්කිරීම සහ ලිපි ද්‍රව්‍ය විකිණීම තම ජීවන වෘත්තිය කරගත්තෙකි. මේ තත්ත්වය ගැන තමන්ගේම විචාරයක් සතු ඔහු එය අප හමුවේ තැබීමට නැවතත් උත්සුක වෙයි.

එක දවසක් මෙතනට ආපු සුද්දෙක් මගේ ඩෙස්ක්ටොප් එක දැකලා මට කියනවා උඹලා හරි වාසනාවන්තයි. උඹලා සොෆ්ට්වෙයා ගොඩක් දන්නවා කියලා. අද ඉස්කෝලෙ යන ළමයෙක් ගත්තාම ඒ අයට සොෆ්ට්වෙයා ගැන මාර දැනීමක් තියෙනවානෙ. එහෙම වෙලා තියෙන්නේ ඒ අයට මේවා ඕනෑතරම් නොමිලේ ගන්න තියෙන නිසා. ඇත්තටම මේ සමාගම් සොෆ්ට්වෙයා හදලා තියෙන්නේ අපිට විකුණන්න බලාගෙන නෙමෙයි. ඒ එය ඒවාගෙන් ඕනෑතරම් ලාබ ලබනවා ඒ රටවල විකුණලා. මේ කරන්නේ සමාගම්වලට නෙමෙයි. රටේ සොෆ්ට්වෙයා ගෙන්වන අයට වෙළඳෙපොළක් හදලා දෙන එක විතරයි.

අනික් පැත්තෙන් ව්‍යාජ කොපි අත්අඩංගුවට ගන්න කියලා පොලීසියට බලය දීපුවාම පොලීසියට ඒකෙන් වෙනම වාසියක් සැලදෙනවා. අන්තිමට වෙන්නේ සාමාන්‍යයෙන් වෙනවා වගේ උසාවි දන්නේ නෑ. අපිට කීයක් හරි දෙන්න කියන තැනට පොලීසිය හැදෙන එකයි. මේ දේවලින් ඇත්තටම වෙන්නෙ සමාජයට වාසි ලැබෙන එක නෙමෙයි වෙන වෙන අයට වාසි ලැබෙන එක. මෘදුකාංග පිළිබඳ මේ හිටිහැටියේ රට තුළට කඩාගෙන එන්නේ අලුත් නීති රෙගුලාසි සමූහයක් නොව,2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනතේ ඇති ප්‍රකාශන අයිතිය පිළිබඳ විධිවිධානයන් හිටිහැටියේ මීට අදාළව සක්‍රිය වීමය. අප කළ ප්‍රශ්න කිරීමේදී බුද්ධිමය දේපළ කාර්යාලයේ ඉහළ නිලධාරියෙක් ප්‍රකාශ කළ පරිදි අදාළ නීති ක්‍රියාත්මක වෙනවාද නැද්ද කියා තමන් නොවිමසන බවත්, අදාළ මෘදුකාංග සමාගම්වල සහ නියෝජිත සමාගම්වල වුවමනාව මත අද වනවිට ඒ විමසීම් සිදුවන බවත්ය. බුද්ධිමය දේපොළ කාර්යාලය ප්‍රකාශ කරන පරිදි යමෙක් නීත්‍යනුකූල පිටපත් භාවිත නොකර ව්‍යාජ පිටපත් භාවිත කිරීමට හෝ විකිණීමට එරෙහිව අදාළ ඒජන්ත සමාගම්වලට සිවිල් උසාවියේ තහනම් නියෝගයක් ගතහැකි බවයි. එපමණක් නොව, අදාළ සමාගම්වලට පොලීසිය මගින් මහේස්ත්‍රාත් උසාවියේ සාමාන්‍ය අපරාධයක් හැටියට නඩු පැවරීමක්ද කළහැක. එහිදී ලද හැකි දඬුවම මාස හයක සිරදඬුවමක් හෝ රුපියල් ලක්ෂ පහක දඩයක් හෝ විය හැක.

මේ විදිහට නීති විරෝධී සොෆ්ට්වෙයා තහනම් කළත් අපිට යන්න නිවැරදි විකල්පයක් නෑ. මොකද මේ වගේ තත්ත්වයක් අනාගතයේ එයි කියලා හැමෝම හිතුවත් ඒ සඳහා නිවැරදි විසඳුමක් සොයන්න රජය පැත්තෙන් හරි වෙනත් පැත්තකින් හරි දීර්ඝකාලීන සැලැස්මක් ඉදිරිපත් වුණේ නෑ. ඒ නිසා තමයි මේ ගැන විශේෂයෙන් රිසර්ච් කරන ආයතනයක් මේ රටේ කිසිම විශ්වවිද්‍යාලයකවත් ආරම්භ නොවුණේ. ඒ නිසා අපිට ඕපන් සෝස් මෘදුකාංග අරගෙන අපිට ඕනෙ විදිහට ඩිවලොප් කරන්න බැරිවෙලා තියෙනවා. මොකද ඒවා තියෙන විදියටම අරන් පාවිච්චි කරන එක එච්චර ප්‍රායෝගික නෑ. අනෙක් කාරණය තමයි මයික්‍රොසොෆ්ට් වගේ සමාගම් එක්ක මේ ගැන රාජ්‍යතාන්ත්‍රික වශයෙන් සාකච්ඡා කරන්න රජය පෙළඹිලත් නෑ. මට මතකයි කලින් සර්වෝදය වැනි ආයතනවල මැදිහත්වීම යටතේ කළ සාකච්ඡාව අනුව අපිට විශාල සහන ලැබුණා. පරිගණක අධ්‍යාපනය ලබාදෙන ආයතනයක් විදිහට අපි වාණිජ මට්ටමින් ඉස්සරහට යන නිසා. අපිට අද හෙටම මේ කියන නීත්‍යනුකූල පිටපත්වලට යන්න සිද්ධ වෙනවා. එතකොට වෙන්නේ ඒ මිලත් ළමයාගේ පිට පටවන එක විතරයි.

ඒ ඉන්ෆොටෙක් පරිගණක පුහුණු ආයතනයේ අධ්‍යයන අධ්‍යක්ෂ අජිත් ද අල්විස් මහතාය.

මෙසේ නීතිමය පියවර ගැනීමට එකඟ බොහෝ දෙනාගේ මූලික තර්කය වනුයේ අප රටේ කරන සොෆ්ට්වෙයා නිෂ්පාදන ආරක්ෂා කිරීමට නම් මෙසේ සිදුකළ යුතු බවයි. නොඑසේ නම් අපේ මෘදුකාංග සඳහා දේශීය වෙළඳෙපොළක් නිර්මාණය කිරීමටත් අනෙක් අතට අපේ රටේ මේ අයිතිය ආරක්ෂා නොකර අප අපනයනය කරන සොෆ්ට්වෙයාවලට ඒ අයිතිය ආරක්ෂා කිරීමට කටයුතු කිරීම සාධාරණ නොවන බවත් ඔවුන්ගේ මතයයි. ලොව පවත්නා දියුණු නීති රෙගුලාසි ලංකාවට හඳුන්වාදීමටත් ලංකාවේ ඇති නීති අකුරට ක්‍රියාත්මක කිරීමටත් අපගේ ආරෝවක් නැත. නමුත් එකී නීති රෙගුලාසි අදාළ කරගැනීමේදී සහ විවිධ ගිවිසුම්වලට එකඟවීමේදී ඒවා රටට කොතරම් වැදගත්දැයි ආපසු සිතා බැලිය යුතුය. මෙවන් ගිවිසුම්වලට කොන්දේසි විරහිතව එකඟවීමට ඉන්දියාව වැනි රටවල් කටයුතු කර නැත. එහෙයින් විවිධ මෘදුකාංග රට තුළ නිදහසේ සංසරණය වේ. අනෙක් අතට ඉන්දියාව වනාහි තොරතුරු තාක්ෂණික මෘදුකාංග නිෂ්පාදනය හා අපනයනය අතින් ස්ථාන ගතවනුයේ ලංකාවට වඩා ගව් ගණනක් ඉදිරියෙනි. ලොව පවතින ජනප්‍රිය මෘදුකාංග බොහොමයක නිර්මාණකරුවන් අතර ඉන්දීය ජාතිකයකුගේ නමක් දක්නට ලැබුණේ නැතිනම් ඒ ඉතා කලාතුරකිනි.

ඉන්දියාව තොරතුරු තාක්ෂණය අතින් මෙතරම් දියුණුවක් ලබා ඇත්තේත් බොහෝ දෙනා උදම් අනන ආකාරයට අපේ රටේ තොරතුරු තාක්ෂණය දියුණුව ඇත්තේත් මෙම මෘදුකාංග නිදහස් ලෙස රට පුරා ගලායෑම නිසාය. ඉන්දියාවේ නිෂ්පාදනවලට දේශීය වෙළඳෙපොළක් හදාගැනීමටවත් අපනයනයන්ට හානිවීමටවත් මේ ගලායෑම ඔවුන් බාධාවක් කරගෙන නොමැත. එවන් තත්ත්වයක් තුළ යටකී තර්කයන් අර්බුදයට ලක්වනු වැළැක්විය නොහැක. අනෙක් අතට නොමිලේ ලැබෙන ඕපන් සෝස් මෘදුකාංගවලට රටක් වශයෙන් එකවර නැඹුරුවීම කළ නොහැක. තවත් පැත්තකින් ඒවා සංවර්ධනය නොකර ගෙඩි පිටින් ගෙන භාවිත කිරීමද ප්‍රායෝගික නැත. ඒවා සංවර්ධනය කිරීමට අපේ රටේ නිසි ක්‍රමවේදයක්ද නැත. අනෙක් අතට මේවාට නිසි අයිතිකරුවකු සහ වගකීමක් නොමැතිකම නිසා ඒවාට නැඹුරුවීමට මිනිසුන් තුළ පවතින රුචිකත්වයද ඒවා පිළිබඳ ඇති විශ්වාසයද අල්පය. එහෙයින් තම හිතවත් ඒජන්තයන් රැකගන්නවාද ලංකාව තුළ පවතින තොරතුරු තාක්ෂණික පිබිදීම ඒ අයුරින්ම පවත්වාගෙන යනවාද යන්න ලංකාව නැවත සිතා බැලිය යුතුය. නොඑසේ නම් පරිගණකය වරප්‍රසාදලත් පන්තියක බූදලයක් වීම නොවැළැක්විය හැකිවනු ඇත.

[රාවය- 2011.06.18]

ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails