Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



බොහෝ සෙයින් ගිලානව පැවති නව සිංහල කවි කෙත පසුගිය දිනවල සාධනීය කවි ලකුණැති නිර්මාණ එකතූන් කිහිපයක් මගින් අස්වැද්දුනු බව නිරීක්ෂණය කළ හැකිය. රෝහණ පොතුලියද්ද ගේ "අහස හැඩි වී ඇත", උපුල් සේනාධිරිගේ "සියොතුනට එනු පිණිස","වැසි දිය බඳුන්", නඳුන් යසිත දසනායක ගේ "බිම් ගෙයට සඳ ඇවිත්", ඉසුරු චාමර සෝමවීරගේ "තාණ්ඩව" යන කෘති සහ වෙසෙසින් මහින්ද ප්‍රසාද් මස්ඉඹුලගේ "හිරුත් හිම පියල්ලක" වැනි නිර්මාණ කෘති එයට දෙස් දෙයි.

නමුදු මා මෙහිදී සංවාදගත කිරීමට උත්සාහ ගන්නේ කෘති ලෙස නොව පුවත්පත් කවි පිටු සහ අන්තර්ජාල මිතුරු හවුල්, සාහිත්‍ය වෙබ් අඩවි බ්ලොග් අඩවි ආදිය තුල ප්‍රචලිතව පවතින නව කවියේ ඉදිරි ගමනට හතුරු එක් ප්‍රවණතාවයක් පිළිබඳවය.

මෙම කවි පශ්චාත්තාපී යුධ කවි ලෙස හැඳින්විය හැකිය.

යුධමය තත්වයක් අවසානයේ දී ඒ හා සම්බන්ධ ප්‍රස්තූත සහිත නවකතා, කෙටිකතා, සිනමා නිර්මාණ ආදී සාහිත්‍ය කලා නිර්මාණ බිහිවීම ලොව නන්දෙස සිදුව ඇත්තාක් මෙන්ම එය සහෘද දන මන කම්පිත කොට යුධ විරෝධී වීමට පෙළඹවීම සඳහා ද මහඟු මෙහෙවරක් ඉටු කොට ඇත. පෙරදිග සාහිත්‍යයේ දී රාම රාවණ යුධ කථාව පදනම් ව වාල්මිකී රාමායණය ලියූ බව සඳහන් වේ. මහා භාරතය වැනි කෘතියක් ද යුධ කතාවක් පදනම් වූවකි. ක්‍රි. පූ.5 වන සියවසේ පමණ සිදුවූ බව සැළකෙන මහා වහල් කැරැල්ල පදනම්ව පවා සාහිත්‍යාංග විශාල ප්‍රමාණයක් බිහි ව ඇත."ස්පාර්ටකස්"කෘතිය, 'කර්ක් ඩග්ලස්'නම් නළුවා ස්පාර්ටකස් ලෙස රඟපෑ "ස්පාර්ටකස්" සිනමාපටය ඒ ඇසුරින් බිහිවූ නිර්මාණය. තවදුරටත් දෙවන ලෝක යුද්ධයෙන් පසුව ඒ තුල ඍජුව පීඩාවට පත්වූවන් නිමැවූ කලා කෘති දැක්විය හැකිය. බෲනෝ ආපිට්ස් ගේ "Naked among wolfs" (වෘකයන් අතර නග්නව), ජුලියස් ෆුචික් ගේ "පෝරකයේ සටහන්"ඈන් ෆ්‍රෑන්ක් දැරිගේ දින සටහන් ආදී වශයෙන් බොහෝ ගණනකි. චිර ප්‍රසිද්ධ ලියෝ ටෝල්ස්ටෝයි ගේ "යුද්ධය හා සාමය" නවකතාව නැපෝලියෙන්ගේ රුසියානු ආක්‍රමණය පසුබිම් කර ගත්තක් බව ද සඳහන් වේ. කර්ට් වොනෙගට් නම් අමෙරිකානු කතුවරයාගේ MotherNight(මෙය ගාමිණී වියන්ගොඩ මහතා අතින් "රෑ මාතා"යනුවෙන් සිංහලයට පරිවර්තනය වී ඇත) එවැනි කතාවකි. රුසියන් විප්ලවය පදනම්ව වෙනම සාහිත්‍යයක් පවා බිහිවිය.

මෙහිදී ලාංකීය සන්දර්භය මෙයට වඩා වෙනස් ස්වරුපයක් ගනී. පොදුවේ සන්නද්ධ අරගල තුනක අත්දැකීම් ඇති සාහිත්‍ය සමාජය ඒවා ප්‍රතිනිර්මාණය කලේ ඉතා අඩුවෙනි. නිර්මාණය වූ බහුතරයක් ඒවා පවා එකී සංකීර්ණ අත්දැකීම් මතුපිට අත පත ගෑ ලාබ සිල්ලර ඒවාය. එබැවින් එකී අරගල වල කම්පිත හද ගැස්ම නොඇසුණු තරම්ය. අප ප්‍රස්තුත කාරණයෙහි ලා නන්දිකඩාල් කලපුවෙන් අවසන් වූ එල්.ටී.ටී.ඊ.ය සහ ශ්‍රී ලංකා හමුදාව අතර යුද්ධයද සෑම යුද්ධයක් මෙන්ම මහත් ජීවිත හානි, දේපල හානි, වස්තු හානි ගෙනදුන්නක් බව අවිවාදිතය. යුද්ධයක් යනු දේශප්‍රේමි ඈ නෙක ලේබල ඇලෙව්වද ම්ලේච්ඡ තුච්ඡ ක්‍රියාවලියකි. අපට මතක ආකාරයට මෙකී තත්වය ප්‍රස්තුත කර නිර්භයව පෑන මෙහෙයවා නිර්මාණ කළ කවීන් කිහිප පොලකි. සමහර අවස්ථාවන් වලදී නොඑකඟතාවයන් සහිතව අප බාර ගත්තද මංජුල වෙඩිවර්ධන වැනි කවියෙකු ඒ අතර සුවිශේෂ වේ. ඔහු විසින් 2002 තරම් ඈතක පළ කළ "පිළිහුඩුවී"කෘතියේ එන මෙම කව විමසන්න.

ටෙක්නිකල් මංසලේ මුරපොලේ දී ය

ඇසල සඳ පිපුණේ
අධිකරණ කඳු මුදුනේ
ටෙක්නිකල් මංසල
අන්ධකාරෙනි පිරුණේ

විනයක් නොමැති වාහන
ඉඳහිට යනෙන රෑ කල
බංකර් සොහොන තනි වුණ
රණවිරුවනේ පාළු ද ?

නිවී සැනහෙන සිහිනෙක
වෙලී පවනේ පාවෙන
ලන්තෑරුමේ රාගය
පෙනේ ඈතින් ඈතට

හදවත තෙමී නැහැවෙන
සල්ලාල සීතල
නිලැ'ඳුම් ඉරා දා ගෙන
අවදි කෙරුවෙද ආයුධ?

බංකර් සොහොන පාමුල
කළුගල් පවුරු යහනත
ගලන උණුහුම් ලේ මත
රැඳුණෙය සුනඛ කේසර

කිසිවෙක් නෑඳුනුව
හැඳුනුම් පතින් වෑහුණ
කඳුළින් දෑත සේදුව
රණවිරුවනේ ප්‍රීතිද?


පිළිහුඩුවී - මංජුල වෙඩිවර්ධන (2002)

මහේෂ් හපුගොඩ, අජිත් සී. හේරත් ආදී කවීහු මෑත යුධමය වකවානුවේ ප්‍රබල කවි ලියූහ. අජිත් සී. හේරත් කවියාගේ "මේ ලේ පිළී ගඳ" වැනි කවියක මැදිහත් වීම ඉතා ප්‍රබලය. උහු යුද්ධයට පෙර සිටම හා යුද්ධය දරුණු ලෙස ඇවිල ගිය වකවානුවේ පවා තම නිර්මාණ ජන ගත කළෝය. නමුත් වර්තමානයේ බිහිව ඇති මේ යුධ විරෝධී සමහර කවීහු යුද්ධය තදින් ඇවිල ගිය වකවානුවේ මල්ටි බැරල්, ෂෙල් වෙඩි මල් වෙඩි ලෙසින් හිස් මත පතිත වූ දින වල මෞන වෘතය පිරූවන් ය. එකල වෙබ් පිටු, විශේෂයෙන් පුවත්පත් කවි පිටු පෙරළා බැලීමෙන් මේ බව වටහා ගත හැකිය. සිනහවට කාරණය නම් තම අන්තර්ජාල මිතුරු හවුල් ගිණුම් වල ජාතික කොඩි දමාගෙන යුද්ධයට ආවැඩුවන් යුධ විරෝධී කවි වෙත එළැඹීමය. ජාතික චින්තන මතවාදය කරට ගනිමින්, මානෙල් මල් ව්‍යාපාර ආදිය නිර්මාණය කරමින්, පාසල් සිසුන්ට පවා යුධකාමය පතුරවා, මානෙල් මල් විකුණා හමුදා කටයුතු වලට ප්‍රදානය කරමින් යුද්ධය වෙත රටක් පෙළ ගැස්වූ ජනතා විමුක්ති පෙරමුණ වර්තමානයේදී උපයෝගිතාවය අනුව යමින් මරාදැමූ, මියැදුණු, සිරගත, කඳවුරු ගත දෙමළ ජනතාව වෙනුවෙන් කිඹුල් කඳුළු හෙළීම මේ හා සමපාත වේ.

මෙවැනි ව්‍යාජ දුක් ප්‍රාප්ති පශ්චාත්තාපී යුධ කවි බොහෝ ලියූ නූතන කවියෙකු කළ අදහස් දැක්වීමක දී හෙළිවූයේ ඔහු සැබෑවට දරන මතවාදය කවියෙන් පවසන අදහසට වඩා සපුරා වෙනස් එකක් බවය. ජනපති මහින්ද යුද්ධය අවසන් කිරීම හොඳ දෙයක් බවත් ඔහුට අවස්ථාවක් දිය යුතුය වැනි අදහසකි, ඔහු විසින් මතු කරනු ලැබුවේ.

මෙසේ වන්නේ ඇයි?

ප්‍රධාන අරමුණ නම් කාව්‍ය අවකාශයේ ඉඩක් පහසුවෙන් ලබා ගැනීමයි. කෙසේද යත් මෙකල කාව්‍ය අවකාශයේ මහින්ද රාජපක්ෂ ආණ්ඩු විරෝධී කවියට වැඩි ඉඩක් ලැබී ඇත. යුධ විරෝධය සහ ලාබ සිල්ලර වචන අහුරකින් මහින්දට දමා ගැසීම තුලින් එකී අවකාශ ගත වීම පහසුය. මේ ව්‍යාජ දුකවි විසින් පුරවාලන්නට උත්සාහ දරන්නේ එකී අවකාශයයි. එසේම යුද්ධයට ඡන්දයෙන්, නිහඬතාවයෙන් සහය දීම නිසා දැනෙන වරදකාරී හැඟීමද පශ්චාත්තාපී බව ද (පශ්චාත්තාපී යුධ කවි) ව්‍යාජ රැඩිකල් භාවයද මෙකවි වල උප්පත්තියට හේතු වූවා විය හැකිය.

ඕනෑම සමාජයක රජයන මහා මතවාදය එකී පාලක පංතියේ මතවාදය වේ. එහිදී සිහිපත් වන අතුරු කතාවක් ද තිබේ. දෙවන ලෝක යුද්ධ සමයේ ජර්මනියේදී මිලියන ගණනක් යුදෙව්වන්, අවුෂ්විට්ස් වැනි වධකාගාර වල ගෑස් කාමර තුල මිය යද්දී, දස වධ වේදනාවන්ට ලක් වෙද්දී සමස්ත සාමාන්‍ය ජර්මන් ජනතාව නිෂ්ක්‍රියව සිටියේ මන්ද යන්න මනෝවිද්‍යාඥයන් අතර පවා කතා බහට ලක්වූවකි. මෙම සමස්තය නතු වීම පිළිබඳව "මෝර්ටන් රේ "නම් ලේඛකයා සිය "රැල්ල" නම් (සිංහලට පරිවර්තනය වූවකි) නව කතාව තුලින් සංවාදයට ලක් කරයි. ලාංකීය යුධ වකවානුවේ සිදු වූයේද අනෙකක් නොවේ. එනයින් බලන කල මේ සියල්ලට හේතුව කොල්ලකාරී ධනවාදය මිස අන් කවරක්ද?

එහෙත් මේ බොහෝ කවි තුල ප්‍රශ්න කරනු ලබන්නේ සමස්ත සිංහල ප්‍රජාවයි. මේ මහත් ගැටළුවට සිංහල ප්‍රජාව වගකිව යුතු ප්‍රමාණයක් ඇත. එපමණක් නොව දෙමළ ප්‍රජාවද මුස්ලිම් ප්‍රජාවද වගකිය යුතු ප්‍රමාණ තිබේ. නමුදු සකලවිධ වරද වලට සිංහල ප්‍රජාවට ඇඟිල්ල දිගු කරන විට මේ සියල්ලටම සැබෑවටම වගකිය යුතු ජරපත් ධනේශ්වරය සහ එහි නියෝජිත පාලක රෙජිමය සුජාතකරණය වේ. එබැවින් මෙම පශ්චාත්තාපී යුධ කවි ව්‍යාජ කවි බවට පත් වේ. සිල්ලර මාධ්‍ය අවකාශයක් වෙනුවෙන් මතවාදී අංග විකලතා සහිතව බොහෝ කොට ලියැවෙන මේවා විසින් නව කවිය එක් ස්ථානයක සිරගත කොට ඇත. මේ ව්‍යාජ පශ්චාත් යුධ කවි ප්‍රවණතාවයෙන් ලාංකීය නව කවිය විතැන් විය යුතු කාලය පැමිණ ඇත. හෘදයාංගම, සැබෑ පණ ගැහෙන, තවමත් අනාථ කඳවුරක දරුවකුගේ ඇස ලියවී ඇති කවිය, පුතු අහිමි ව වළැපෙන මවකගේ දුක්බර නෙතක කවිය උත්පත්තිය ලැබිය යුතුය. එය කෙසේවත් අලස සුවයෙන් හාන්සි පුටුවක වැතිර ලිවිය හැක්කක් නම් නොවේ. පහත දැක්වෙන්නේ 1988-1928 කාලයේ එංගලන්තයේ ජීවත් වූ තෝමස් හාඩි නම් කවියාගේ යුධ විරෝධී කවියක ඡායානුවාදයකි.

ඔහු මරා දැමූ මිනිසා

කොතැනක හෝ
පැරණිව ගිය අවන්හලක
හමු වී නම් ඔහුත් මමත්
තිබුණි, අපට තොල ගාන්න
මධුවිත ගෙන ඇති පදමට..

එනමුදු අප මුණගැසුනේ
යුධපිටියක
දෙපල - දෙපිළ
ඔරවාගෙන
මුහුණට මුහුණ..

වෙඩි තැබුවෙමි මම ඔහු හට
වෙඩි තැබුමට පෙර ඔහු මට
හෙලීමි මම ඔහු දෙරණත
සතුරෙකි ඔහු මැරිය යුතුම..

ඉදින් සියල්ලම
පිරිසිදුයි පැහැදිලියි

නමුත්...

අප යමක් කළා පමණක් නොවේ ද?
නොකර සිටිනු නොහැකි නිසා
අපට අවැසි නැතිව වුවත්..

ඔව්..
කෙතරම් අරුමැසි
කෙතරම් පුදුමැති
දෙයක් ද යුද්ධය..

වෙනත් දිනෙක
අවන්හලක
මධුවිත ඔඩමක් පුරවන
මිතුරෙකු හට ගිනි බිඳිනා...

(ඉංග්‍රීසි ජාතික කවි තෝමස් හාඩිගේ The man he killed කවියේ ඡායානුවාදයකි)

සඳුන් ප්‍රියංකර විතානගේ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails