Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



මේ මොහොත වූ කලී අප ජිවත් වූ ඉතිහාසයේ තීරණාත්මක ම මොහොතක් බව අමුතුවෙන් කිව යුතු නැත. දේශපාලනික, සාමාජයීය, සංස්කෘතික යන සියළු ප්‍රපංචයන් අන්ධකාරයේ ගිලී ඇති මේ මොහොත යනු ඔබට ඔබේ මුහුණ හරියාකාරව බලා ගැන්මට කැඩපතක් නැති තැනකි. සහෝදරත්වය පාවා දී ඇති අතර විශ්වාසය ඌරු කොටුවක ඇති මඩ ගොහොරුවක දැමූ ඉඳි කටුවක් සේ අන්ත්‍රස්ධාන වී ඇති නිමේශයකි. අද දිගුවන සහෝදරත්වයේ-

හස්තය හෙට බලය විසින් මවන අන්ධකාර රාත්‍රිය තුළ ආත්ම වංචාවේ සැඩ සුළඟ ට ගසා ගෙන යයි. තෙත සිඳී යා නොදී රැකුණු තණ පත් කිහිපයක් පමණක් මහ පොළොව බදා ගෙන හිඳිත්. ඒවා ද පරඬැල් වී අරලිය අරම ට කොයි මොහොතේ ගසා ගෙන යා දෝ හෝ යි නොදන්නා මහ පොළව යළි යළිත් දන්නා හඳුනන ලෙයින් තෙත් වෙමින් තිබේ. ඒ ලෙය වෙන්දේසි වෙමින් ද ගණු දෙණු වෙමින් ද තිබේ. දළ ඇතුන් සිවලුන් ලෙස ද සිහ රජුන් සුනඛයින් ලෙස ට ද රූපාන්තරණය වී ඉතිහාසය ද වර්තමානය ද මුසාවෙන් සායම් කිරිමේ බුද්ධිමය අරගලයේ නිරත වෙත්. එබඳු සාමාජයීය මොහොතක සැබෑ දේශපාලනික සංවාදයක් සමාජගත කොට පවත්වා ගෙන යාමේ ජීවිත කාලය යනු දේදුන්නක් පායා නිමවන ඇසිල්ලක් බවට පත් වෙද්දී අපි රිදුම් දෙන බලාපොරොත්තුවේ තටු මරණයේ කටු වලින් යළි යළි ත් පිරිමැදගනිමින් සිටින පිරිසක් හෙවත් වඩ වඩාත් සුළුතරය බවට පත්වෙමින් හිඳිමු.

පසුගිය 13 වන සඳුදා "අපේ කට්ටිය" විසින් මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ කැඳවන්නට යෙදුණු කටුනායක සිද්ධිය ඇතුළු මෑත කාලීන සමාජ දේශපාලන සිද්ධීන් ගැන සංවාදයේ දී අප වට කොට ගත් මේ වා සුළියෙහි හරස් කඩක් දක්නට ලැබුණි. ආරාධනා කොට තිබුණේ අරගලය අරඹන්නටය. එනිසාම ජවිපෙ , නසසප, එජාප නියෝජිතයින් ඇතුළු සැලකිය යුතු (50 කට අධික) පිරිසක් ඊට සහභාගී විය. දේශන පැවැත්වීමෙන් ශිරාල් ලක්තිලක, ලියනගේ අමරකීර්ති, වික්‍රමබාහු කරුණාරත්න, ජෝසප් ස්ටාලින්, විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ සංගමය නියෝජනය කරමින් සුමනසිරි ලියනගේ සහ සමාගම් සේවක සංගමයේ සභාපති ලෙස ජවිපෙ නියෝජනයක් ඇතුළු තවත් කිහිප පොළක් ම දායක විය. ඉන්න කට්ටි ටික එක තැනකට එකතු කර ගන්නට විදිහක් නැති වෙලාවක තවත් කට්ටියක් කරනන්ට තනන්නේ මොකක්ද යන සිතුවිල්ල මා ද එතැනට ඇදගෙන ගිය ද විවිධ පාර්ශවයන් එකම පොළොවක එකතු වීම ම සිත සුව සදන දසුනක් ම මවනු ලැබ තිබුණි.

එහෙත් ඛේදවාචකයක් ලෙස මතුවූ සුපුරුදු රෝග ලක්ෂණය අනාගත බලාපොරොත්තු මත කටු අනිනු පැහැදිලිව ම පෙණුනි. එකිනෙකාට කියා ගන්නා ඇනුම්පද වලින් ගහන දේශන, ඓතිහාසික චෝදනා කිරීම් නොකර හිඳිමට කිසිවෙකුට හැකියාවක් තිබුනේ නැත. " අපි විප්ලවයට පේටන්ට් ඉල්ලන්නෙ නෑ.. අපිට නායකයො නෑ’ වැනි අපරිණත හැඳින්විම් වලින් ඇරඹුණු සංවාදය බාහු ගේ සිහින වලින් වර්ණවත් කෙරුණි. බාහු ට අනුව මේ කම්කරුවන්ගේ මොහොතයි. මන්ද , මහින්ද මේ වන වන විට සිටින්නේ හොඳටම බියපත්ව ය. ඔහු අන්තර්ජාතික මුල්‍ය අරමුදල විසින් ද හෙළ අරුමයෙන් ද මහ ජන අරගල වලින් ද කලඹවනු ලැබ ඇත. පොලිසිය ද විකල්ප මතධාරීන්ට බය වෙමින් සිටියි. අහෝ බාහු! සතුරා අවතක්සේරු කිරීම තරම් මෝඩ කමක් අරගලකරුවෙකුට නොමැති බැව් ඉතිහාසය ලොවට උගන්වා බොහෝ කල්ය. ජවිපෙ සුදුරුදු පරිදි කීවේ ඔවුන් සෑම විට ම නිවැරදි තැන සිටගෙන ඇති බවයි. කොටින් ම කිසිවෙකු තුළ සංධානයක් සඳහා යාමට අවැසි වන ඓතිහාසික පසුතැවිල්ලක සේයාවකුදු නැත. විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ වැටුප් සටන ජනතාකරණය හෙවත් එහි විප්ලවීය බෞතීස්මය ද එහි දී සිදුවිය. මෙතෙක් ආණ්ඩුවේ න්‍යාය පත්‍රයන් එන්ඩෝස් කළ සුමනසිරි ලියනගේ ට අනුව ඔවුන් වැටුප් වැඩි කර ගන්නට තනන්නේ ක්‍රම විරෝධී සටනේ මූලාරම්භයක් ලෙසය. මේ මොහොතේ දී (ඇත්තම කිව්වොත් ) ආචාර්යවරුන් බොහෝ දෙනෙකුට එවැනි මහා වුවමනාවක් නැති වුව ද එබන්දක් කරා ඔවුන් රැගෙන යා හැකි බව ඔහු ඉතා සරලව කීවේ විදර්ශන කන්නන්ගර සබුද්ධිකව නැගූ පැනයකට පිළිතුරු ලෙසය. (මේ මහා අඳුර තුළ මිනිසුන් වෙනුවෙන් නොදැල්වුණු ආචාර්ය වරුන්ගේ සටන් පහන් සිල වැටුප් වැඩි කර ගත් විගස දැල්වෙනු ඇති බැව් ඔහුගේ විශ්වාසය යි.) මහා ආඛ්‍යානයක් අවශ්‍ය නැති බව ද එබන්දක් නැතිවාට පාඩුවක් නොවන බව ද ඔහු වැඩි දුරටත් කියා සිටියේ පොදු අරමුණක් පිළිබඳ විදර්ශනගේ යෝජනාවකට පිළිතුරු ලෙසිනි. අනෙක් අතට ඔහු එතැන සිටීම ගැන අප සියළු දෙනා සතුටු විය යුතු බවද ඔහු විසින් අවධාරණය කරන ලදි. කාටත් ඕනෑ මහින්ද පරදන්නට ය. සාරාංශ ලෙස ගතහොත් බොහෝ කථිකයින් සිය ආස්ථානයන්හි ම ස්වයං මෝහනය වී අනෙකාව ම හෙලා දකින්නා වූ ප්‍රතිපත්තියක් හෙවත් "මේ තමයි අපේ හැටි ? ඇයි මොකෝ?" වැන්නක් අනුගමනය කළා විනා "මේ මොහොත" නිවැරදිව කියවා අනෙකාගේ වෙනස් කම් ඉවසමින් පොදු කියවිමකට නැතහොත් විදර්ශන ම මතු කළ පරිදි "Common Slogan" එකකට යන සුබ ලකුණක්වත් දක්නට නොලැබීම ම සුපුරුදු අන්ධකාරය තවත් තීව්‍ර කරනවා මිස... ?

මිනිසුන් අසාධාරණයට එරෙහි විය යුතුය. අරගල කළ යුතුය. එහෙත් ඒ අරගල ජයග්‍රහණයන් කරා යා හැක්කේ පෞද්ගලික න්‍යාය පත්‍ර වලින් සහ ඇන්දිලි වලින් තොර වූ නිවැරදි දේශපාලන කියවීමක් සහිත මාවතක යන ගමනකින් පමණි. ඒ "මගේ" කෑල්ල ඔප්පු කර ගන්නට නොවේ. "අපේ" අරමුණක් තනා ගැනීමටය. වේදිකාවන් තැනෙමින් තිබේ. ඒ උත්සාහයන් අගය කළ යුතුය. අවශ්‍ය වන්නේ ඕනෑ ම පුද්ගලික කෑල්ලක ජනතා අරගලයේ සමර ගාගන්නන් නොව අවංක වුවමනාවෙන් යුතු මිනිසුන් ය. ඒ සඳහා අන්දන්නා වූ ද ඇන්දෙන්නා වූ ද මිනිසුන් ද ඇතුළු ව පුද්ගලයින් ද කණ්ඩායම් ද වෛරයෙන් තොරව එකිනෙකාට විවෘත ව එකම සමාජ දේශපාලනික අරමුණක් උදෙසා හමු විය යුතුව තිබේ. ඉතිහාසය සුමට පොතක් නොව කළු ගලකි. ඒ ගලෙහි ලිවිය යුතුය. පිටු ඉරා දමන්නට නොහැකි වන්නේ එවිට ය.

ආලෝක රණසිංහ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails