Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



අධ්‍යාපනය ලැබීම මගින් මිනිසාට නිදහස නැතහොත් විමුක්තිය ලැබෙනු ඇත. එනම් එමගින් අපගේ සිතුවිලි පරාසය පුළුල් කරන අතර සමාජය දකින්නට ඇති සීමාවන් අතික්‍රමණය කරයි. කියවීම වැඩිකරගත් විට ලෝකය අලුතින් දකින්නට ලැබෙන්නේ යැයි කියන්නේ ඒ නිසාය. අප තනාගත් සහ අපව තනන ලද ලෝක තරණය කිරීමට ඉන් ඉඩ ලැබේ. තීරණ ගන්නා අවධියේ දී පුද්ගලයාගේ අධ්‍යාපන මට්ටම සළකා බලන්නේ මෙම වියුක්තව සිතීමේ නිදහස් පුද්ගල බව නිසාය. නම්‍යශීලී මිනිසෙකු, අනෙකාට ඇහුම්කන් දෙන වියුක්ත මිනිසෙකු බිහිවීම අධ්‍යාපනයේ අරමුණකි. ප්ලේටෝ විසින් රචිත ජනරජය කෘතියෙහි රට කරවිය යුත්තේ ඔහු විසින් දක්වන තත්ත්ව මට්ටමෙහි ඉහළින්ම සිටින උගත් නැතහොත් දාර්ශනික පිරිස විසින් බව පෙන්වා දෙයි. මාක්ස්වාදී පර්යාවලෝකයකින් මේ පිළිබඳව සිතන කල්හි, ප්ලේටෝ පංති බෙදීම සාධාරණය කළ ප්‍රථමයා ලෙස විවේචනයට බඳුන් කළ හැකිය. එහෙත් ඔහු මෙහිදී දක්වන්නේ උගත් පිරිස රට කරවීමේ ඇති වැදගත්කමය. දාර්ශනිකයන් වියුක්තව සිතිය හැකි අය නිසාවෙන්, පවතින සමාජ ස්ථාරයනයන් අභිබවා යාමේ හැකියාව ඇති නිසාය. අවාසනාවකට අප රටෙහි නීතිය සාදන ස්ථානයට තරඟ කරන අයගේ අධ්‍යාපන මට්ටම සලකා බලන්නට කිසිඳූ නීතියක් නැත. එහෙව් පාලකයන් විසින් ගන්නා තීරණ පිළිබඳ විවේචන මිස, ඉන් අත්වන පලවිපාක මිස ලියන්නට යහපත් දේ ලබා නොදෙන්නේ ඒ නිසා විය හැකිය.

වර්තමාන අධ්‍යාපන ක්‍රමයට මුල් ගල් තැබෙන්නේ යටත් විජිතවාදී සමයෙහිය. ඊට බොහෝ විවේචන ඇතත් එමගින් තාර්කික මිනිසුන් බිහි කළෝය. බොහෝ සමාජ ස්ථරායනයන් වාර්ගික: සිංහල, දෙමළ, මුස්ලිම් ජනවර්ග පිළිබඳ සීමාවන්, ප්‍රාදේශීය, කුල ආදී සීමාවන් අතික්‍රමණය කොට තීරණ ගන්නට ඔවුනට මෙම අධ්‍යාපන ක්‍රමය පහසුකම් සැපයීය. රාජ්‍යයේ දේශපාලන බලයට තරඟ කරන්නට පෙර, අධ්‍යාපනය දුන් සමාජ චල්‍යතාවය අභිබවා ආර්ථීකය, සමාජ චල්‍යතාවයට ඉනිමං තැනූ අවධියක් එන්නට පෙර නිදහසේ සිතන මිනිසුන් එකල විය. පොන්නම්බලම් රාමනාදන්, පොන්නම්බලම් අරුනාචලම් සිය ජනවර්ග පිළිබඳ සිතා මුල් කාලීන දේශපාලන තීරණ ගත්තේ නැත.1921කොළඹ කවුන්සිලයට තරඟ කළ පොන්නම්බලම් රාමනාදන්ට අපේක්ෂා කළ ආසනය ආර්ථීකය මුල් කරගෙන ඉහළට පැමිණි පහත රට නිෂ්පාදන සමාගමේ සාමාජිකයෙකු වූ ඡේම්ස් පීරිස්ට දෙන්නට පෙර සිංහල දෙමළ අතර පසමිතුරු දේශපාලනයක් නොවූ බව ඉතිහාසය පිලිබඳ සටහන් විග්‍රහ කරයි.

ඉන් පෙර ඔවුහු එකතුව යටත් විජිතවාදී අනෙකාට එරෙහිව සංස්කෘතික, දේශපාලනික තලයේ අරගල කළෝය. මේවා දෙදරා යන්නේ රාජ්‍ය පාලනයට තරඟකාරීත්වයක් ඇති වීම සමග බව කිව යුතු කරුණක් නොවේ. එතෙක් මෙතෙක් මේ අරගලය සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනවර්ගයන්ට අහිතකර වූ අතර අද දවසේද අප අත්විඳින්නේ රාජ්‍ය බලයට කරන අරගලයෙහි ප්‍රතිවිපාකය. ඒ තීරණ තුළ අපට අහිමිව ගියේ මෙම තාර්කික වියුක්ත මිනිසාය. සීමාවන් අතික්‍රමණය නොකරන පවතින ව්‍යුහය පවත්වාගෙන යන අය මිස වෙනත් අය හමුවන්නේ කලාතුරකිනි. අධ්‍යාපනයට සම්බන්ධව ගන්නා ලද තීරණ ඒ අතර වැදගත් වේ. 1956 සිංහල භාෂාව රාජ්‍ය භාෂාව බවට පත්කළ අතර එහි ප්‍රතිවිපාක අවම වශයෙන් විශ්ව විද්‍යාල අධ්‍යාපනය හමාර කළ රැකියාවක් සොයා වෙහෙසෙන තරුණ තරුණියන් අත් විඳින බව ඔවුන් දන්නවා විය හැකිය. එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක ආසියාවේ රිදී සීනුව බවට පත්වූයේ සිංහලෙන් අධ්‍යාපනය හදාරා නොවේ. එහෙව් ඔහු, ගන්නා ලද තීරණයෙන් පසු ආසියාවේ රිදී සීනු තබා අප රටෙහි භාෂා ද්විත්වයෙන් හරඹ කරන රිදී සීනුවත් හමු නොවේ. මින් මා යටත් විජිත අධ්‍යපානය යහපත් බවත්, එය සාධාරණීකරණය කරන්නටත් අදහස් කරන්නේ නැත. එහෙත් එමගින් තාර්කික මිනිසෙකු බිහිකළ බව නොකිවමනාය. අධ්‍යාපනයෙන් නිදහස, විමුක්තිය ලබා දෙන්නේ යැයි මා කීවේ ඒ නිසාය.

අද දවසේ අධ්‍යාපනය මගින් බහුතරයක් බිහිවන්නේ එහෙයියන්ය. තාර්කික ශක්තිය, ප්‍රශ්න කිරීමේ හැකියාව ඔවුන් අමතක කර දමා ඇත. විශ්ව විද්‍යාලයේ අප ආචාර්යවරුන් මහාචාර්යවරුන් සමග බුද්ධිමය සාකච්ඡාවන් හි නොයෙදෙන තරම්ය. මේවාට විසඳුම් සෙවිය යුතුය. ඔවුන් ප්‍රශ්න නොකරන්නේ මන්දැයි සොයාබලා ඊට පිළියම් යෙදිය යුතුය. එහෙත් ඒ කිසිදු දෙයක් සිදු නොකොට, මිලිටරි නායකත්වය පුහුණූ වැනි තවදුරටත් එහෙයියන් බිහිකරන ව්‍යාපෘති හඳුන්වාදීම පිළිබඳව සිතා බැලිය යුතුය. මිලිටරි පුහුණුවකින් අණ දීමත්, අණ පිළිපැදීමත් ලබා දෙයි. අණ දුන් විට එය ප්‍රශ්න කරන්නට ඉන් අවකාශය ලබා දෙන්නේ නැත. බිහිකරන්නේ අණ පිළිපදින නායකයන්ය. රට පුරාම එවැනි අණ පිළිපදින තරුණ පිරිස් නගරයක් නගරයක් පුරා අඩු වැඩි වශයෙන් රඳවා ඇත. පොදු පෞද්ගලික දෙබෙදුම අහෝසි කොට සියල්ල එම නීතියට යටත් කරගන්නා මිලිටරි භටයන් රට පුරා රඳවා ඇත. අද මිලිටරිකරණය සාමාන්‍යකරණය වි ඇත්තේ එලෙසිනි. රටේ තීරණ ගැනීමේ තනතුරු බොහොමයකට හමුදා නිලධාරීන් පත් කර ඇත. ළමුන් සඳහා සෙල්ලම් භාණ්ඩ විකුණන කඩ සාප්පුවක පවා වැඩිපුරම දක්නට ලැබෙන්නේ හමුදා සෙබළු සහ යුධ භාණ්ඩය. මේ සාමාන්‍යකරණය වූ මිලිටරිකරණය යි.

විශ්ව විද්‍යාල සිසුන් සඳහා නායකත්ව පුහුණුව නාමයෙන් මේ සිදුකරනුයේ විශ්ව විද්‍යාලවලට මිලිටරිකරණය ගෙන ඒමය. මුළු රටම උතුරු නැගෙනහිර වඩාත් පෙනෙන ලෙස මිලිටරිකරණය කරගෙන යන අතර මෙය එහිම දිගුවකි. බලහත්කාරය ආයතනගත කිරීමකි. මේවා දිගුකාලීන දේශපාලන ව්‍යාපෘතීන්ය. ඉඳ හිට හෝ රජය ගෙන එන ප්‍රතිපත්තීන්ගේ අත්තනෝමතිකභාවය පෙන්වා දෙන්නට පාරට බහින්නේ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ විශ්ව විද්‍යාල සිසුන්ය. මෑතකාලීනව විශ්ව විද්‍යාල තුළින් බිහිකරන තාර්කික මිනිසා ඈත්වෙමින් පැවතිය ද, ඉන් බිහිවන සියල්ලෝම එලෙස යැයි කිව නොහැකිය. අරගල කරන්නට පාරට බහින විට ඒ පිළිබඳ දේශපාලන කියවීමක් නැති ඔවුන් කරන ලද ක්‍රියා නිසාවෙන් ඔවුන් දිගින් දිගටම සමාජය තුළ සිය විශ්ව විද්‍යාල ප්‍රතිරූපයට හානි කරගත්තේය. ඊට මාධ්‍ය ද විශාල සහායක් සැපයූවේ, බොහෝ විට ඒවාහි ආඛ්‍යාන තනන්නේ විශ්ව විද්‍යාලයට යාමට නොහැකිව ඇති වූ සිත් තැවුලෙන් සිටින්නන් නිසාද විය හැකිය. කෙසේ වුව ද විශ්ව විද්‍යාල වල සිසුන් වැඩිහිටියන් වුව ද ඔවුන් එයට පා තබන්නේ සිය දෙමාපියන්ගේ දෑතේ එල්ලීය. එවන් පිරිසක් බිහිවීමට හේතු සොයා බලා ආණ්ඩුව ඊට පියවර ගත යුතුය. සිදු කළයුත්තේ මිලිටරි පුහුණුවක් තුළින් ඔවුන්ගේ "එහෙයි" බව වැඩි කිරීම නොවේ.

මේ තුළින් පෞද්ගලික විශ්වවිද්‍යාල ඇති කිරීමේ ප්‍රයත්නය ද පිටුපසින් තිබිය හැකිය. විශ්ව විද්‍යාලයෙන් පිටත දෙනු ලබන නායකත්ව පුහුණුවකට, විශේෂයෙන් කඳවුරු තුළ දෙනු ලබන කුමන හෝ පුහුණුවකට ළමුන් එවීමට කොළඹ මුල්කරගත් , එසේම පිට පළාත්වලින් එන අධ්‍යාපනය සඳහා විකල්ප අවස්ථාවන්ට ඉඩ ඇති දෙමව්පියන් කැමති නොවනු ඇත. විකල්ප අවස්ථාවන්ට අවකාශය අහිමි බොහෝ දෙමාපියන් ළමුන් ඒ සඳහා එවනු ඇත්තේ ඊට කැමති නිසා නොව තම ළමයා වෙනුවෙන් විකල්ප අධ්‍යාපන අවස්ථාවන්ට ඉඩ කඩ නොමැති නිසා වනු ඇත. මින් සිදුවනුයේ පෞද්ගලික විශ්ව විද්‍යාල සඳහා අමතර ළමුන් පිරිසක් බිහිකර ගැනීම ද විය හැකිය. එසේම සංස්කෘතික කාරණා සමග ද මෙය සම්බන්ධ වේ. එනම් විශ්ව විද්‍යාලවලට එන මුස්ලිම් සිසුවියන්ට මෙය හානිදායක ලෙස බලපෑමට හැකිය. නායකත්ව පුහුණුව අනිවාර්ය කිරීම තුළ ඇති අහිතකර ප්‍රතිවිපාක ඔවුන් හා වැඩි වශයෙන් සම්බන්ධ වනු ඇත.

මිලිටරිකරණය සාමාන්‍යකරණය වී ඇති සමාජයක, අවම වශයෙන් ඒ පිළිබඳව සිතන්නට පුහුණුවක් දෙන අලුතින් ලෝකයක් පිළිබඳ සිතන්නට පුහුණුවක් දෙන විශ්ව විද්‍යාලයට ව්‍යුහාත්මක ලෙස මිලිටරි බව ඇතුල් කිරීම හරහා, රට කරවන්නන්ට ඔවුනගේ බොහෝ ව්‍යාපෘති පහසු කරවනු ඇත. සිතිවිලි මිලිටරිකරණය වූ විට අණ දීමත්, පිළිපැදීමත් හැරුණුකොට වෙනත් යමක් බලාපොරොත්තු විය නොහැකිය. එසේම අණ දීම සඳහා ඉතා ස්වල්ප පිරිසක් බිහිවන නිසාවෙන් මේ තුළ වැඩිවන්නේ අණ පිළිපදින අයයි.

අධ්‍යාපන අමාත්‍යවරයා කියා සිටියේ සහභාගීවන සියලු දෙනාට ජාත්‍යන්තර ලෝකය සමග සම්බන්ධ වීමට ලැප්ටොප් එක බැගින් දෙන බවයි. විශ්ව විද්‍යාල තුළ නායකත්ව පුහුණු වැඩමුළු ක්‍රියාත්මක කරයි. එහිදී මෙම ලැප්ටොප් බෙදා දිය හැකිය. මේ සඳහා වැය කරන මුදල විශ්ව විද්‍යාලවල ඇති අඩුපාඩුකම් සපුරාලීමට භාවිතා කළ හැකිය. දේශන ශාලා තුළ ඇති බොහෝමයක් භාවිතා කළ නොහැකි ලෙස අබලන් වී ඇති ආසන අලුත් වැඩියා කළ හැකිය. සිසුන්ගේ ඉංග්‍රීසි අධ්‍යාපනය වැඩි දියුණු කිරීමට ඉංග්‍රීසි විෂයයෙන් අධ්‍යාපනය දීමට පියවර ගැනීම සඳහා මූලික පියවරයන් ගත හැකිය. රටම මිලිටරිකරණය කරන එහි ආනිසංසයෙන් රට කරවන තැනැත්තන් තීරණ ගැනීමේදී සහ ඒවා ක්‍රියාත්මක කිරීමේදී අනෙකාට ඇහුම් කන් දීම වැදගත්ය. අවම තරමින් ඊට යටත්වන ප්‍රජාවගේ කැමැත්ත අකමැත්ත නැතහොත් ඔවුනගේ අදහස් පිළිබඳ සළකා බැලිය යුතුය. ඉහළ සිට පහළට ක්‍රියාත්මක කරන ප්‍රතිපත්තීන් දැන්වත් නතර කර බිම් මට්ටමින් නැතහොත් යථාර්තයට ආමන්ත්‍රණය කරන ප්‍රතිපත්තීන් හි අවශ්‍යතාවය මුළු රටේම අවශ්‍යතාවයකි.

මෙම තීරණ ගෙනෙන අයගේ අතීතය විමසා බැලූ කල්හි ඔවුන් වෙනසක් වෙනුවෙන් පෙනී සිටි අයයි. ඒ වෙනුවෙන් අරගල කළ අයය. වීරයා පාවාදීම දැන් විලාසිතාවකි. උසස් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් (71කැරැල්ලේ සාමාජිකයෙකි) කියා සිටින්නේ අලුතින් සිතන පිරිසක් මෙම වැඩමුළුව හරහා තනන බවයි. මේ අලුතින් සිතන්නට හුරුකරවන්නේ පවතින මතවාදය පවත්වාගෙන යන්නට සහ එය ප්‍රශ්න නොකිරීමටය. උසස් අධ්‍යාපන අමාත්‍ය (71 ලංකා ජාතික ශිෂ්‍ය සංගමයේ සභාපති) පවසා සිටින්නේ දැන් සිටින විශ්ව විද්‍යාල සිසුන් කාලකන්නි, පාරේ රස්තියාදු ගසන නිකමුන් බවයි. ඒ නිසා ඔවුන් විසින් "Cream of the Cream" සාදන්නට යන බවයි. විශ්ව විද්‍යාලවලට තේරෙන 5%ක් වැනි පිරිස ක්‍රීම් එක විය යුතුය. එහි ක්‍රීම් එක යනු මෙම වැඩමුළුව හරහා බිහිවන පිරිසයි. ඔහු උගත් අවධියේ මෙවන් වැඩ මුළු නොතිබූ නිසාවෙන් ඔහුගේම වචනයෙන් ඔහු ද කාළකන්නියෙකි. "Cream of the Cream" වීමට නොහැකි වූවෙකි.

මෙම දේශපාලන ව්‍යාපෘතියෙහි තවත් පැත්තක් වේ. එනම් මේ දිනවල සිදුවන ආචාර්යවරුන්ගේ පඩි වැඩි කිරීමේ උද්ඝෝෂණයට ආණ්ඩුව විසින් දක්වන නිර්දය ප්‍රතිචාරය ද මෙම දේශපාලන ව්‍යාපෘතියට අයත්ය. ආචාර්යවරුන්ගේ පඩි වැඩි කිරීම අරගලය තුළ පෞද්ගලික විශ්ව විද්‍යාලවලට ඔවුන් ඇදීයාමේ ප්‍රවණතාවක් ඇති විය හැකිය. මොවුන් මේ අන්දමින් කටයුතු කර පෞද්ගලික විශ්ව විද්‍යාල ඇති කළ පසු, එම ආචාර්යවරු ඊට ඇද ගැනීමත්, රාජ්‍ය පහසුකම් ලබන අධ්‍යාපනය දිගින් දිගටම කප්පාදු කිරීමත් මෙම ව්‍යාපෘතීන්හි අවශේෂව අපේක්ෂා කරන කැරණු වීමට බොහෝ ඉඩ කඩ ඇත. සාමූහිකව මෙම මතවාදී යාන්ත්‍රණයට එරෙහිව නැගී සිටීමක අවශ්‍යතාවයකි. හුදෙකලා සටන් අත්හැර ඒකරාශී වීමක් අවැසිය. මන්ද තවදුරටත් හුදෙකලා සටන් පවතින මතවාදයම පෝෂණය කරන්නකි. විශ්ව විද්‍යාල සිසුන් වෙනම අරගලයකත්, ආචාර්යවරු වෙනම අරගලයකත් සිටීමෙන් පලක් නැත. මන්ද හුදෙකලා සටන් නිශේධනය කිරීමට තරම් පවතින යාන්ත්‍රණය ශක්තිමත් නිසාවෙනි. සියල්ලන් එක් වී මීට පිළියම් සෙවිය යුතු වන්නේ රෝග නිධානය එකම තැනකින් හටගන්නා නිසාවෙනි.

ගීතිකා ධර්මසිංහ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails