Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



මම දන්නවා, ඔබ දැනටමත් හිම වැටෙනවා දකින්න ඇති. ඒ අත්දැකීම අත්දකින්න ඇති. අඩුම තරමින් ඔබ මේ ගැන අහලා ඇති. හිම පතනය වෙද්දී, ඒ කාලය ඇතුළත ඔබට සීතල දැනෙන්නෙ අඩුවෙන්. ඉන් පස්සෙ හිම වල ඝනත්වය, මම කියන්නේ.. හිම වල සීතලේ තරම, ඔබ සිතින් එකතු කරගන්න සීතල ට සමාන වෙනවා. ඔබට තේරුණා ද මන්දා. හිම සීත ට, සිත සීතත් එකතු වෙලා, ඔබට සීත දැනෙන්න ගන්නවා. හැබෑවට ම දැන් ඔබට-

සීතල වැඩියෙන් දැනෙන්න ගන්නවා. හිතන්න, ඔබේ අත පය පවා, මේ ඔරොත්තු නොදෙන තරම් සීතල ට ගල් ගැහිලා. හිරි වැටිලා. එහෙම වෙන්නෙ හිමාංකනයට ම නෙමෙයි.
හිතේ..., හිත පතනයටත් සාපේක්ෂවයි.

පොඩ්ඩක් හිතන්න. අපි දැන් ඉන්නෙ මඳ අඳුරට සියොළඟ ම බද්දට දුන්නු, කොස් නාරටිය ට යාන්තමට එළිය වැටී ගෙන එන, අඳුර පහන් වන යාමයේ, නුවරඑළියෙ සීතල ම සීතල ගම් මැද්දාවක. පේනවද..? සීතලත් හිරි වැටිලා. යාන්තමට නැඟෙන, ඉර අව්වට ප්‍රාණවත් වෙන මේ, උදෑසන අරුණළු මුළු පළාතම ප්‍රබෝධමත් කරන හැටි. සීතල දැන් අවදි වෙලා. උද්යෝගය දැක්කම මුළු දවසම වාසනාවන්ත වුණා වගෙයි. හිත පිරෙන්නෙ උණුසුම් සිතුවිළි. ඇතාගල කන්ද වගේ. ඇතාගල කන්ද මුදුන හරි ආඩම්බර ඒ හින්දයි. දන්නවා ගල මත්තට පය තිබ්බම කවුරුත් මවිතයට පත් වෙන බව. කුරුණෑගල!, ඇහෙද්දි නම් පුදුමාකාර රස්නයක් දැනෙන ප්‍රදේශයක් වගේ. ඒත් සශ්‍රීක පළාතක්. කොහෙන් ඒ සිතුවිල්ල ආව ද මන්දා. ඔන්න! සීතලත් මහා ආඩම්බරයක් පුරෝ ගත්තා. පරිසරයෙ අසිරිය ඇරෙන්න, සීතලට මොකක්ද තියෙන හේතුව, ඒ තරම් ම ආඩම්බර වෙන්න?

රෑ ගෙවිලා ගියේ, පිනිපත් තටු සළ සළා ටකරන් වහල මත්තට වෑහෙන ගානට. උදේ රැයින්, පින්න තමයි මුලින් ම ඇහැ ඇරියෙ. හරියට, මල් පැල වලට වතුර දාන්න තිබිලා, අමතක වෙලා ගියා වගේ හදිස්සියකින්.

අවුරුදු 28 කට කලින් දවසක් දා හැන්දෑවක, හැන්දෑවක කිව්වට, රෑක. හිටි හැටියෙ ම හඳ කඩා වැටුණා. ඇඳ උඩ ට. හඳ! ඇඳ! ඇඳ උඩ ට හඳ!! හිතපුම නැති වෙලාවක. කවි පොතක් බල බලා උන්නු මං, උඩ විසි වෙලා, වහලය ළඟට ම. ඇද වැටුණෙ ආයෙම ඇඳ උඩ ට. රිටි පනිද්දි, මෙට්ටය උඩ ට වැටිලා, ගැස්සිලා, ඉස්සිලා විසි වෙලා ගිහින් ආයෙම මෙට්ටය උඩ ට වැටුණා වගේ.
හඳ ළඟ ට.
පොත!
පොත මා ළඟ ට. නැගිට ගන්නවත් ඉඩක් ඉතුරු වෙලා තිබුණෙ නෑ. ඇඳේ කකුල් හතරම වෙව්ලනවා. පිච්චෙනවා විතරයි මට දැණුනෙ. කවි ටික පොඩි වෙලා ගියා. පිච්චිලා ගිය හිත අස්සේ, ඉතුරු වෙලා තිබුණු අළු අස්සේ, කවි ගොළු වුණා. අත පය පිච්චිලා රතු පාට ට, හැම තැනම ලේ.

සඳ,
දඩයමේ යන ගමන්.
පස්සෙ දැන ගත්තෙ.

පස්සෙ මට මතක් වෙන්න ගත්තෙත්. මං කියව කියවා උන්නු කවි පොත! කෝ ඒක? ලේ වලට බොඳ වෙලා තිබුණා අකුරු පොකුරු පිටින්. ඒකෙ තිබුණෙ සඳ ට ලියපු අනන්ත අප්‍රමාණ වූ කවි කප්පරක්. ''සඳ වරුණාව''. සඳේ සිසිලස, සෞම්‍ය කාන්තිය, සඳ එළියෙ හැඩතල. පිවිතුරුකම!

ගෝවා, නෝකෝල්, සලාද, රාබු.. කොයි තරම් සරුවට වැඩිල ද? ප්‍රමෝදයයෙන් ඉතිරිලා, සතුට දෝරෙ ගලනවා. බෝංචි, මෑ අර බලන්න, උඩ ඉඳලා පහළට දිගේලි වෙන ලස්සන. හිතට වෙන කිසිම දෙයක් හිතා ගන්න බෑ. මේ සෞන්දර්යය මේ තරම් ම පමා වුණේ ඇයි? දකින්න. විඳින්න.

වශීකෘත ව උන් දැහැන බිඳ දමමින්, මල් යායක්ම ගවුම පුරා ඉහිරෝගෙන, බාබන්ඩේසියා, රෝස, ඇන්තූරියම් හිනා පොකුරකුත් අතින් පුරෝගෙන චූටි කෙල්ලක් දුවන් ආවා..

''න්ආ.. .. නැන්ද ට!''

මල් වල හිනාව තිබුණෙ කෙළි පොඩ්ඩිගේ මූණෙ එතිලා. පුංචි ඇස් දෙකෙන් කිව්වා, ඒ තත්පරේ ට කතා දාහක්. සුවඳ ගැලුවෙ අහසට තරම්.
පොඩ්ඩිව තුරුළු කර ගන්නවා ඇරෙන්න වෙන කරන්න දෙයක් තිබුණෙ නෑ මට.

මං,
අම්මා කෙනෙක් වුණා සසර කල්පයක ට.
මොහොතක ට.

''ලස්සනයි නේද?'' ඈ හුරතල් වුණා.
''හුඟක්..'' මං ඇගේ නළලත සිම්ඹා. මේ මගේ දරුවා.

''පුතා ඉස්කෝලෙ යන්නෙ නැද්ද?'' තත්පර, පැය ගණනින් ගෙවෙන්න පටන් ගත්තා.
අනේ ! කෙල්ල ගෙ මූණ පර වෙලා. හවසක පෙති හකුළ ගන්න මලක් වගේ. මන්දාරම කඩා හැලෙන්න ගත්තා හැම පැත්තෙන් ම.

''නැන්දා එනව ද, අපේ ගෙදර යන්න?'' හුඟාක් වෙලාවකට පස්සෙ පුංචි නෙත් කතා කළා, බර වෙච්ච ඇඬුමක් තලා දමා ගෙන.

''යං'' මං, වචන බැර කර ගත්තා, හිර වෙච්ච හිත අස්සෙ ගුලි වෙච්ච, ඉතිරි කිරීමේ ගිණුම ට.

*****

කාලය ගෙවිලා ගියේ ගාර්ඩා වැව වගේ, නිසොල්මනේ. පොළොවෙන් මහා පදාසයක් අයිති කරගෙන. නිල ට නිලේ දිලිසි දිලිසි උන්නට, දිය සරැළි සැර සුළඟකටවත් සෙළවුණේ නෑ. හිනා වුණෙත් නෑ. මහ ජල කඳ ම, ගොලුවෙක් වගේ අහස දිහා ඔහේ බලන් හිටියා. ඒ වගේ, කාලය ඔහේ ගෙවිලා ගියා. හීනෙන් පේන්න ගත්තෙ, ඉර සේවය ඇස් ඉරා ගෙන කිඳා බහින හැටි, මහ මුහුද ට. නෑයොත්, නො නෑයොත් අඩු වෙලා යන හැටි. ජීවිතෙ හිස් වෙවී, දිය වෙවී යන හැටි.

පිං පිරෙව්ව පැන් කළයෙන්, වතුර ටිකක් අරන් බිව්වා අපි, ඇවිදන් යන කොට හති වැටි වැටී. මාර ගස් සෙවණ තරම් සැපතක් තිබුණෙ ම නෑ, හිත මුවා කරලා තියා ගන්න, සැනසිල්ලෙ.

''හැපී බර්ත් ඩේ නැන්දා !'' විඩාපත් නින්දෙන් මුදව ගෙන, ඈ මල් කළඹක් දෝත පෑවා. බාබන්ඩේසියා, රෝස, ඇන්තූරියම් හිනා පොකුරකුත් එක්ක. නිවාඩු නොයන වෛද්‍යවරිය, අද නිවාඩු ගිහින්.

හඳ!
නිවාඩුවට ගමේ ගිය හඳ!
කෝ??

''නැන්දා...., අපි අද නුවරඑළි යමු, අත්තම්මා බලන්න?'' ඈ, සිහින තටාගය කළත්තලා දැම්මා.

''යං'' මං කිව්වේ ඇස් අස්සෙන්. අභිනයෙන්.

*****

මට, තේ තිබහවක් හැදිලා තිබුණෙ. මං ඇතුගල ගල මත්තෙ අපූර්වත්වයවත්, නුවරඑළියෙ සීතලේ මිහිරියාවවත් කවදාකවත් මෙහෙම අත්විඳලා තිබ්බෙ නෑ. හිම වල ඝනත්වය දිය වෙලා ගිහින් තිබුණා හෙමිහිට හිත ඇතුළෙ ම. මල් පිපුණා ඇස් අස්සෙන්. තුරු මුදුන් දිගේ ගලා ගෙන ආවේ, රෑ අහස අඬාපු, අඬලා අඬලා එවාපු, කඳුළු පොදිය.

මං හැදුවෙ හඳ මරලා දාන්න.
ඒත්.. මං මැරිලා වැටුණා,
ඇඳ පල්ලෙන්.
එදා.

කහඹිලියා, නිවිති, තම්පලා වගේ උයලා ගත්තම පුදුම රසයි. කොස් ඇට ටිකක් තම්බලා, දැම්ම ම, මෑ කරල් උයද්දි වගේ. තව රස යි. ගාලට තිබුණට කොළ ටිකක් කඩා ගන්න එක තමයි වැඩේ.

පෝච්චියක හිටෝපු නිවිති පැළ, කොළ පුරෝගෙන, ඇටත් හදා ගෙන රිකිළි පුරා ම, දම් පාට ට ඉදෝගෙන. සුදෝසුදු බත් පිඟාන මැද ට, යකඩ පුරෝගෙන ඇවිත් !

සඳ මෝරන කාලෙට තරු අහකට විසි වෙනවා. කොච්චර වුණත්, තරු වලට ලැජ්ජාවක් ඇත්තෙ ම නෑ. ආයෙම දිලිසෙන්න පටන් ගන්නවා, සඳ දඩයමේ ගියාම. අහස කළුවර වුණාම. ඇත්තට ම ලෝකෙ ගෝලාකාර ද? එතකොට අග්ගිස්සෙ ඉන්න අයට ගුරුත්වාකර්ෂණය බලපාන්නේ කොහොම ද? ඇදේ ට ද? පුදුමයි. මට නම් හිතන්නෙ ම, ලෝකෙ පැතලි යි කියලා. ජීවිතේ වගේ. රවුම් නම්, මිනිස්සු මැරෙන්න විදියක් ඇත්තෙ ම, නෑ. නොමැරී ම ජීවිතේ පටන් ගන්න වෙනවා ආයෙම. නෑ නෑ, ලෝකෙ හරියට පැතලියි. සිතියමේ වගේ. ජීවිතේ වගේ.

සුදු කෙස් ගස් අස්සෙන්, තළෙළු සම, පේන්න පටන් අරන්. කොහෙද තාප්පයක තිබුණා කුරුටු ගීයක් ඒ ගැන. මතක නෑ හරියට ම. වැරදුණා. තාප්පයක නෙමෙයි. එහෙම වුණා නම් තාප්ප ගීයක් වෙනව නෙ. කුරුටු ගී තියෙන්නෙ බිත්තියක නෙ. එහෙම කිව්වට, ඒකත් වැරදියි. එහෙම නම් බිත්ති ගී වෙන්න ඕන නෙ. කුරුටු ගී ඕනම තැනෙක කුරුටු ගාන්න පුළුවන්. තාප්පයක වුණාම මොකද? එහෙම කිව්වම මතක් වෙනවා. අමරදේව මාස්ටර් ගෙ ගීතයක්. ''කොළොම් තොට නැත මහළු වී''. ඒකෙ අන්තිම... ''කුමන අරුම ද නර කෙසත් පැහිලා..'' මට ඔය පදය හැමදාම ප්‍රශ්නයක්. ''නර කෙස'' කියන්නෙ සුදු කෙස් නෙ. සුදු කෙස් වලට ම කෙස් පැහිලා කියනවා. ඒ කියන්නෙ පැහිච්ච කෙස් ගහ ආයෙම පැහිල ද? දෙ පාරක් පැහිල ද? අඳබාල මගේ කුඩා මොළේ ට තේරුණ් යන්නෑ ඒක. හැමදාම මම, මම එක්ක තර්ක කළා. නර කියන්නේ මනුෂ්‍යා කියන අර්ථයෙන්, පස්සෙ දි මං හිතන්න ගත්තා.

කකුළෙ අමාරුව දැන් හොඳටෝ ම වැඩි යි.
ඇවිද ගන්න බෑ.

සඳ, ඉබාගාතේ යන්න ඇති. වියපත් වෙන්න ඇති. වියපත් සඳ ඉබාගාතේ යන්න ඇති. ආරංචි වූණා අනුරාධපුරය පැත්තෙ දි, ලෙඩ වෙලා, ඇඳ උඩ ම මියැදිලා උන්නු බව. හිරේ විලංගුවෙ වැටුණු කාලෙ මතක් වෙන්න ඇති, පණ යන්න කලියෙන්. කරපු අපරාධ! පන්සලක්, පල්ලියක් ඇහැ ගැටෙන්නවත් ගිය මිනිහෙක්යැ.

*****

කුරුළු පාර වෙන දා තරම් කලඑළියක් නෑ. බට්ටි බටිත්තන්ගේ දැඟලිල්ලත් නෑ. මලිති බටිති කාගෙත් කිචිබිචියත් නෑ. මහා පාලුවක් ඒක. දරාගන්න බැරි තරම් වස පාලුවක්. අඩුම තරමින් වෙන දා වගේ කුරුළු රණ්ඩුවක්වත් ! මහා තාප්පයකින් වට වෙච්ච මාලිගාවක් වගේ ගෙයක් ඉස්සරහා තාප්පයත් පැන ගෙන මහමඟට බර වෙච්ච ඇඹරැල්ල ගහ පැතිරෙව්වෙත් මොකක්දෝ වේදනාවක්. හදවතේ දැවිල්ලයි, ලතැවිල්ල යි, ඇඹරැල්ල ගෙඩි අස්සෙන් පැන පැන ආව ඇඹුල් රසය යි, පාර දිගට ම වැක්කෙරිලා තිබුණා. හෙවනැල්ල පයට පෑගිලා, පොඩි වෙලා ගියා. ඇඹරැල්ල ගහේ ගෙඩි එහෙම ම, අතු රිකිළි බරට උස්සා ගෙන. සෝකෙන් බර වෙච්ච මූණක් වගේ, බිමට බර වෙලා. එහා මෙහා වෙවී වෙනදාට දඟළන කුරුළු යාලුවො මළගමකට ගියා වගෙයි. හීන් හුළඟෙන් ඇහෙන්නෙ මොකක්දෝ විලාපයක්. ඒ විලාපය ඇහෙන විලාසය කන් අඩි පුපුරලා යනවා වගේ දැනෙන්න ගන්නවා. කණගාටුවක් හිතේ නළියන්න පටන් ගත්තා හීන් සීරුවෙ.

එයා එතරම් ම නපුරු නෑ. මං හිත හදාගන්නයි බැලුවෙ. සහනය ගෙනාව සයනය එදා, ඇවිළිලා, ගිනිගත්ත දුම්රොටු එක්ක ම, අඳුරු පැහැ වුණු බව ඇත්ත. ෆූජියාමා කන්ද පුපුරලා ගියා වගේ. තැන තැන ගල් ගැහිච්ච, ඉතුරු වෙච්ච අඟුරු කෑලි ඇඳ යට ට අතුගාලා දැම්මා ඒ දවස් වල ම මං.

ඊට කාලෙකට පස්සෙ අපි කෑවෙ බිව්වෙ එකට. යන එන තැන, ආවෙ ගියෙ එකට. දරදඬු අතපය මූණ හරහා ගියේ, කම්මුලේ ඇඟිළි සළකුණු තියා ගෙන. සඳ දඩයමේ යන එක නතර කරලා නෑ කියලා දැනගත්තෙ, මාත් එක්ක බද්ධ වෛරයෙන් හිටපු එකියක ගෙන්. ඒකි හරිම ලෙන්ගතුකමකින් ඒ පුවත වාර්තා කළා. ඊර්ෂ්‍යාවක් ගෑවිලාවත් තිබුණෙ නෑ ඒ වචන වල. පරිස්සම ට යි එහෙම කියලා තිබුණෙ මට. ''මං මේක කියන්නෙ ඔයාට තියෙන හිතවත්කම ට'', එහෙමයි එයා කිව්වෙ.

මං ඇකිළුණා ආයෙම පාරක්,
ජීවිතේ ඇතුළෙ.
පුංචි වුණා පුංචියට ම.
අහස මට පෙනුණෙ බැදපු බිත්තරයක් තරම් පොඩිය ට.

''මිනිස්සු විශ්වාස කරන්න එපා'' පැතිරිලා ගිය කණගාටුවක ට, අනුකම්පාව මුහු කරලා ඈ අඩියට දෙකට යන්න ගියා, සුසුමක් අල්ල මැද්දෑවෙ පුපුරවා ගෙන, ආත්මයේ සළු පට ඇතුළෙන් ජයග්‍රහණය හංග ගෙන..

*****

වසන්තයෙ දලු දාලා පීදුණු අංකුර පවා, වැඩිමහළු කරන ගිම්හානය, ගෙවී ගෙන යන්න යනවා. වියළි, කර්කශ ස්වභාවය ඉහිරවලා දසත ගිලගන්න මාන බලනවා. මං අහලා තියෙනවා, කවි කියවලා තියෙනවා සරත් කාලය ගැන. තුරුපත් කහ පාට ට, තැඹිලි පාට ට හැරී ගෙන, පරිසරය අමුතුම සිරියකින් සරසන බව. ඒ කවි එක්ක, කවදාකවත් දැකපු නැති හිම කන්දරාවක් ඇස් පිට දිගෑරෙනවා. හැබෑවට වගේ ම, හිම ඉහෙන්න ගන්නවා. ඉර තද රත් පැහැයට හැරිලා ගිලෙන්න යද්දි මොන තරම් හැඩට තියේවි ද, අහස? මට දරා ගන්න බැරි වෙද්දි, පින්සල දුවනවා, කැන්වසය හරහා හිත ඇතුළෙන්. අපූරු සිතුවමක් මතු වෙනවා ඇස් පතුළෙන්.

''හෙට අනිද්ද ට සිසිර ය.
තද සීතල.
හිම වැටෙන්න ගත්තම, රෑ විදුලි පහන් යට! එහෙමත් අසිරියක්. කබායකට මුලු සර්වාංගයම රිංගවා ගෙන, අත් මේස්, බූට් සපත්තු ඇඳ ගෙන, ලිස්ස ලිස්සා ඇවිද ගෙන යද්දී, කල්ප කාලාන්තරයක සීතල හදවතින් දැනෙන්න ගන්නවා. සැර සුළං පහරින් උල් වෙච්ච හිමකැටි ඇස් වලට අනින්න ගන්නවා. දෙසවනින් පිට වෙන්නෙ ගිනි ජාලා.

ඉක්මණින් අඳුරු වෙනවා.
සිසිර ය.
දුෂ්කර ම, ස්වේත වර්ණ සිසිර අසිරිය අයිනෙන් ආයෙ ම පීදෙන්න ගන්නෙ වසන්ත ය ! ''

අලුත් ම නවකතාවක මුල් පේළි පටන් ගන්නෙ එහෙම.

......

ඇඳ උඩට හඳ කඩාගෙන වැටුණු දවසෙ ඉඳලා
මම
විරූපී, ගෑනියෙක් වුණා.
කවුරුවත් ම මං දිහා බැලුවෙ නෑ.
මං වෛර කරන විදිහ ඉගෙන ගත්තා, ඊට පස්සෙ.
කොයිතරම් දිග කාලයක් ද?

අර පොඩී එකීගෙ ඇස් වල තිබුණෙ ගැඹුරු පතුලක හිරවෙච්ච, කාටවත් ම නොකී කතාවක්. එතැන ඉඳලා මං ආදරය කරන්න පටන් ගත්තා. මට යි පොඩි එකීට යි. අමාවක හරි හැඩට පේන්න ගත්තෙ ඊට පස්සෙ ඉඳලා. ඇත්තට ම කළුවර තරම් මොනවත් ම ලස්සන නෑ. ගැඹුරු නෑ.

''නැන්දා ලෑස්ති වෙලා ඉවර ද?'' මං හිටියෙ ආපහු එන්න බැරි විදියට හේනක, ගිනිමද්දහනෙ දැලිකුණු ගා ගෙන, දෑත ඒවයෙන් හැඩ කර ගෙන. ගැස්සිලා, නෙත්පටළ බිඳ ගෙන සතුට එළියට පැන්නා, වසං කරගෙන ම.

කොරටුවක මැස්සක් බඳින, වියපත් මිනිහෙකු ගෙ ඇස් වලින් වෑහුණේ, දයාබරිත කරුණාවක්.

''යං ! ''

25.05.2011

තුෂාරි ප්‍රියංගිකා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails