Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



කූඩාරම කොයි තරම් හොඳ තත්වයේ තිබ්බ එකක් වුනත් ඒක අටවගන්න තරම් හොඳ තැනක් හොයාගන්න අපි දෙන්නටම බැරි වුනා. අපි ගියපු හැමතැනකම භූමියේ පිහිටීම කූඩාරමක් අටවන්න තරම් සුදුසු තත්වයේ තිබුනෙ නෑ . අපි දිගින් දිගටම හොඳ තැනක් හොය හොයා ඇවිද්දා. කොයි වෙලාවේ හරි සමතලා භූමියක් අපි ඉස්සරහ මතුවෙයි කියල හිත, හිත අපි දෙන්න කූඩාරම කරේ තියාගෙන අවුරුදු තුනක් විතර මේ විදිහට ඇවිද්දා.

භූමියේ පිහිටීම විෂම වුනත් ටිකක් මහන්සි වෙලා බිම සකස් කළොත් ඒ වගේ තැනක වුනත් කූඩාරමක් අටවන්න පුලුවන් කියන එක අපි දෙන්නගෙම ඔලුවලට ආවෙම නෑ.

කෝම කෝමහරි අන්තිමට අපි හිතාගෙන හිටපු විදිහෙ භූමි ප්‍රදේශයකට අපි දෙන්න සේන්දු වුනා. එක පැත්තකින් ප්‍රපාතාකාර බෑවුමක් තිබුනත් කූඩාරමක් අටවන්න එතැන කියාපු තැනක්. එතෙන්ට ටිකක් නුදුරින් දොළ පාරක් ගලාගෙන යන සද්දෙ හිටන් ඇහෙනවා.

මෙච්චරකල් බරට බරේ කරේ තියාගෙන ආපු කූඩාරම අපි දෙන්න බිමින් තිබ්බා. මං අකුලල තිබ්බ කූඩාරම අටවන්න කියල හිතාගෙන ඒකෙ කෑලි වෙන වෙනම ඇදල ගත්තා. අන්න එතකොට තමයි මට තේරුනේ කූඩාරමේ ඇලුමිනියම් බට ඇතුලු ප්‍රධාන අවයව ටික අපේ කර උඩම කාලයත් එක්කම ගෙවිල ගිහින් කියලා. කූඩාරම් රෙද්ද වුනත් භාවිතයට නුසුදුසු තත්වයට පත් වෙලා තිබුනා.

ආපහු හිටපු තැනටම ගිහින් අලුතින් හොඳ තත්වයේ කූඩාරමක් අරගෙන එන්න ගියොත් වෙන කෙනෙක්ට ඒ භූමිය අයිති වෙන්න පුලුවන් කියල එයා කිව්වා . අර කලින් කිව්ව ප්‍රපාතාකාර බෑවුම දිගේ පහළට බැස්සනම් ලේසියෙන් වගේම ඉක්මණින් ආපහු නුවරට ගිහින් අලුත් කූඩාරමක් අරන් එන්න පුලුවන් නේද කියල මගෙ ඔලුවට ආවා . මං ඒක එයාට කිව්වා. එයත් ටිකක් වෙලා කල්පනා කරල ඒකට කැමති වුනා.

ඒ වෙනකොට හොඳටම හවස් වෙලත් තිබුනා . මං ඉණේ ගහගෙන හිටපු දඩයම් පිහිය ඇදල අරගෙන ඒකෙ තුඩෙන් එයා වටේට රවුමක් ඇන්දා . ඊට පස්සෙ ඒ පිහිය එයාගෙ අතටම දුන්නා. දැන් එයා ආරක්ෂිතයි කියන හැඟීම මට ඇතිවුනා . පස්සෙ මම උරහිසේ එල්ලගෙන ආපු හයිය තියෙන කඹේ අරගෙන ඒකෙ එක කොණක් එයාට අල්ලගන්න දුන්නා. ඒකෙ අනිත් කොණ අරගෙන එයා මගෙ ඉණ වටේ ගැට ගැහුවා.

මං දිගින් දිගටම ප්‍රපාතෙන් පහළට බහින්න පටන් ගත්තා. ඒක කොහොමටවත් ලේසි වැඩක් වුනේ නෑ. මීදුමෙන් මුළු පැත්ත පළාතම වැහිල තිබ්බ නිසා මට පල්ලෙහා කිසි දෙයක් පෙනුනෙත් නෑ. ප්‍රපාතෙන් බිමට බැහැගන්න මට මාස පහක් විතර ගියා . අලුතින්ම කියල කූඩාරමක් ගන්න තරම් වත්කමක් මේ වෙනකොට මට ඉතුරුවෙලා තිබුනෙ නෑ . ඒ හින්දම මං ප්‍රපාතෙන් බහින ගමන් නිතරම මගෙ ජීව දත්ත කැටිකරපු ඉල්ලුම් පත්‍ර බර ගාණක්ම සැරින් සැරේ ප්‍රපාතෙන් පහළට වීසි කළා. ඒවගෙන් එකක් පල්ලෙහා තිබ්බ කොන්ත්‍රාත් සමාගමක වැඩ බිමට වැටිල තිබිල කවුරුහරි ඇහිඳගෙන ගිහින් ඒකෙ ලොක්කට දීල තියෙනව. මං එතැන මාස හයක් විතර එක දිගට වැඩ කළා.

අලුත් කූඩාරමක් ගන්න තරම් වත්කමක් එකතු කරගත්තට පස්සෙ දවසක මං නුවර වීදියකට ගිහින් ඉස්තරම් වර්ගයේ කූඩාරමකුයි තව එයාට පුංචි ලා දම් පාට ගල් අල්ලපු කරාඹු දෙකකුයි අර ගත්තා . මේ ගතවුනු මුලු කාලෙ පුරාවටම අර මගෙ ඉණේ ගැටගහල තිබ්බ කඹේ එහෙම්මම තිබුනා.

දවසක් හුඟක් දීප්තිමත්ව ඉර පායල තිබ්බ උදේ වරුවක මං ඒ අකුලල තිබ්බ කූඩාරම අරගෙන මගෙ පිටේ එල්ලගෙන ආපහු අර ප්‍රපාතෙ දිගේ ඉහළට නගින්න පටන් ගත්තා . කාලයක් ගතවෙලා තිබුනත් කඹේ හොඳ හයියට තිබුනා. කූඩාරමේ බරත් උස්සගෙන ප්‍රපාතය නගින්න කොයිතරම් අමාරුද කියල මට ඉක්මණටම තේරුනා . කීප වතාවක්ම මං ලිස්සල වැටෙන්නම ගියා. එක පාරක් වැටෙන්න ගියපු වෙලාවක මං එයාට ගත්ත කරාඹු ජෝඩුවෙන් එකක මැද්දෙ අල්ලල තිබ්බ ලා දම් පාට ගලක් ගැලවිලා ප්‍රපාතෙට වැටිල මීදුම මැද්දෙන් අතුරුදන් වුනා.

ඝන මීදුම් ගුලි අත් වලින් අයින් කර කර මාස කීපයක්ම මං මේ විදිහට ප්‍රපාතෙ දිගේ ඉහළට බඩ ගෑවා. මුදුනට කිට්ටු වෙනකොට මං ප්‍රපාතෙ පැත්තක පිපිල තිබ්බ පුංචි කහ පාට කැළෑ මල් ටිකක් කඩාගෙන පොඩි මල් පොකුරකුත් හදා ගත්තා.

කෝමහරි මං ආපහු අපි අර හිටපු භූමිය මතුපිටට ආවා . ඒකත් මට මතක විදිහට එක්තරා සැන්දෑවක්. මං උඩට ආපු ගමන්ම හිතාගෙන හිටියෙ එයාව දකින්න වුනත් මං මුලින්ම දැක්කෙ භූමියෙ එක පැත්තකට වෙන්න තට්ටු දෙකට හදල තිබ්බ හුරුබුහුටි ගෙයක්.

සිද්ධ වෙලා තියෙන්න පුලුවන් හුඟක් දේවල් මං ඒ තට්ටු දෙකෙන් තේරුම් ගත්තා. ඒත් මගෙ ඉණේ ගැටගහල තිබ්බ කඹේ ඒ ගෙදර උඩ තට්ටුවෙ කවුළුවකින් ඇතුලට විහිදිල තියෙන එක හරියටම තේරුම් ගන්න මට බැරි වුනා. ඒ හින්දම මං ඒ ගෙදර වහලෙට යවල තිබ්බ මල් වැලක් දිගේ උඩට නැගල අර කවුළුවෙන් ඇතුලට ඔලුව දැම්මා.

එතකොටයි මං දැක්කෙ අපි දෙන්නගෙ නම් දෙකේ මුල් අකුරු කොටපු මිටක් හයිකරල තිබ්බ දඩයම් පිහියෙන් එයා මොනවද එළවළු වගයක් කපන හැටි. ඒ පිහිය දැක්ක ගමන්ම මං ඒක අදුන ගත්තා. එත් මං හිතන්නෙ එයා ඒකට අලුත් තලයක් හයි කරලා. ඒ තලේ වෙන කාගෙද පිරිමි නමක වාසගමක් කොටල තියෙනව මම දැක්කා . එයාගෙ අතේ අර කඹේ අනිත් කොණ තාමත් තියෙන හැටිත් මං දැක්කා . ඒ කියන්නෙ එයා කඹේ අත ඇරලත් නෑ. මං හිතන්නෙ කඹේ එයාගෙ අල්ලෙ මස් විදගෙන ගිහින් අල්ලටම ඇලිල වෙන්න ඇති. හැමදේම බොහොම ස්වාභාවික විදිහට සිද්ධ වෙල තිබුනා.

ඒ හැන්දෑව මට තාමත් හොඳට මතකයි. ප්‍රපාතෙ තිබ්බ මීදුම කපාගෙන හඳ එක පැත්තකින් උඩට මතුවුනා. මං අර කවුළුවෙන් හුඟක් වෙලා එයා දිහා දිගටම බලාගෙනම හිටියා . කාර් එකක් ඇවිත් හෝන් පාරක් ගහනකම්ම බලාගෙන හිටියා. එයා උඩ තට්ටුවෙන් පහළට තරප්පු පේලිය බහින සද්දෙ ප්‍රපාතෙන් අනිත් පැත්තෙ තිබ්බ කඳු වල හැප්පි හැප්පි දෝංකාර දුන්න හැටි මට තාමත් ඇහෙනවා.

මං අර පුංචි කරාඹු කුට්ටමයි කහ පාට පොඩි මල් පොකුරයි කවුළුව ළඟ තියල වහලෙන් බිමට බැහැගත්තා.

රුවන් බන්දුජීව



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails