Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers


ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය සමන් පුෂ්ප කුමාර [පේරාදෙණිය විශ්වවිද්‍යාලය] සමග රාවය කළ කතාබහ.

  • රටේ උසස් අධ්‍යාපනය සම්බන්ධයෙන් අද පවතින තත්ත්වය ඔබ කොහොමද විග්‍රහ කරන්නෙ?

  • මේ රටේ උසස් අධ්‍යාපනය තුළ කවදාවත් තිබිලා නැති විදිහේ සංකීර්ණ තත්ත්වයක් අද වන විට උදා වෙලා තියෙනවා. ඒකට ප්‍රධාන හේතුව තමයි මේ වෙන විට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේත් විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ගෙත් දෙගොල්ලගේම ප්‍රශ්න පැන නැගිලා තියෙන එක.

    අද ශිෂ්‍යයින්ට නායකත්ව පුහුණුව දෙනවා කියලා මේ රජය කරන්නේ මේ ළමයින්ගේ මනස තමන්ගේ දේශපාලන ව්‍යාපෘති ගෙනියන්න පහසු වෙන විදිහට හදන එක. ඇත්තටම විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ට නායකත්ව පුහුණුවක් දෙන්න ඕනෙනම් ඒක කරන්න පුළුවන්නෙ විශ්වවිද්‍යාල ඇතුළෙම. ඒකට හමුදා කඳවුරක් තෝරගත්තේ මොකටද? මේක මේ රටේ සෑම අංගයක්ම මිලිටරිකරණය කිරීමේ වැඩපිළිවෙළේ තවත් වැදගත් කොටසක් විතරයි. මේ රටේ විදුහල්පතිවරුන්ටත් මිලිටරි පුහුණුව දෙන්න ඕනෙ කියලා පසුගිය දවස්වල කථා කළා අපිට ඇසුනා.

    මේ වගේ පුහුණුවකදී වෙන්නෙ වෙන මොකුත් නෙමෙයි තමන් දිහා ඉහළ ඉඳන් කවුරුහරි බලාගෙන ඉන්නවා කියලා හැඟීමක් මේ ළමයින්ගේ ඔළුවට දාන එක. මෙච්චර කාලයක් එහෙම හැඟීමක් මේ ළමයින් තුළ තිබුණා නම්, ඒ තමන් දිහා එදිරිවීර සරච්චන්ද්‍ර බලන් ඉන්නවා කියලා, සිරි ගුනසිංහ බලන් ඉන්නවා කියලා, සේනක බිබිලේ බලන් ඉන්නවා කියලා වගේ හැඟීමක්. නමුත් මේ පුහුණුවෙන් පස්සේ ඔවුන් තුළ ඇති වෙන්නේ එහෙම හැඟීමක් නෙමෙයි. එතකොට මේ ළමයි හිතන්නෙ තමන් දිහා ආරක්ෂක අමාත්‍යාංශය බලාගෙන ඉන්නවා. තමන් දිහා හමුදාව බලාගෙන ඉන්නවා වගේ හැඟීමක්.

    ඉතින් මෙච්චර කාලයක් විශ්වවිද්‍යාලවල ළමයි මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, මහාචාර්ය සිරි ගුනසිංහ, මහාචාර්ය සේනක බිබිලේ වගේ අයට ගැළපෙන්න විශ්වවිද්‍යාල තුළ කටයුතු කරන්න උත්සාහ කළා නම් මෙතනින් පස්සෙ ඔවුන් කටයුතු කරන්නේ හමුදාවට ගැළපෙන විදිහට. ඒ එක්කම ඔවුන්ගේ මනස සැකසෙන්නේ කියන හැමදේම ප්‍රශ්න නොකර බාර ගන්නා අවිචාරි ස්වරූපයකින්.

    මට අනාවැකියක් විදිහට කියන්න පුළුවන් දෙයක් තමයි, මේ විදිහට මේ රට ගියොත් ආගමික පුහුණුවක් දෙන්න ඕනෙ කියලා මේ රටේ සියලුම ළමයින් පන්සල් ඇතුළට තල්ලුකරන එක සිදුවෙන්න වැඩි කාලයක් නෑ.

  • මේ පැනනැගිලා තියෙන ආචාර්යවරුන්ගේ ප්‍රශ්නයේ මූලික ස්වරූපය මොකක්ද?

  • මේ රටේ විශ්වවිද්‍යාල ආචාර්යවරු මේ රජයෙන් වැඩිමනත් දෙයක් ඉල්ලන්නෙ නෑ. ඔවුන් කියන්නෙ තමන්ගේ වැටුප් වැඩිකිරීම සඳහා විශ්වවිද්‍යාල කොමිසම විසින්ම මීට වසර ගණනාවකට පෙර සැකසූ නිර්දේශයන් ක්‍රියාත්මක කරන්න කියලා. රටේ උද්ධමනය කියන එක සාමාන්‍ය ජනතාවට විතරක් නෙමෙයි විශ්වවිද්‍යාල ආචාර්යවරයාටත් එකවගේ බලපානවානෙ. අද වන විට ඔහුට උදාවෙලා තියෙන්නේ තමන්ගේ එදිනෙදා ජීවන මට්ටමක් පවත්වාගෙන යන්න බැරි තත්ත්වයක්. ඔවුන් වෙනත් ව්‍යාපාර කරන්න, ටියුෂන් පන්ති කරන්න පටන් ගන්නෙ මේ තත්ත්වය උඩ. මේක රටේ උසස් අධ්‍යාපනය සම්බන්ධයෙන් කොහොමටවත් යහපත් තත්ත්වයක් නෙමෙයි.

    විශ්වවිද්‍යාල ආචාර්යවරු කියන අය ඉගෙන ගන්න කැමතියි, පර්යේෂණ කරන්න කැමතියි, උගන්වන්නත් කැමතියි. ඒ විතරක් නෙමෙයි රජයේ දේශපාලනයට හසු නොවී ස්වාධීන ලෙස කටයුතු කරන්නත් ඔවුන් කැමතියි.

    රජය පැත්තෙන් හැම වෙලේම කියන්නේ මේ අයට මේ ලැබෙන වැටුපත් වැඩියි. මේ අය දවසට පැය දෙක තුනයි උගන්නන්නෙ කියලා. නමුත් උගන්නනවා කියන එක ආචාර්යවරුන්ගේ වෘත්තියේ එක කොටසක් විතරයි. ඔවුන් උගන්නන එකට අමතරව ඉගනගන්න ඕනෙ. පොතපත කියවන්න ඕනෙ, ලිපි ලේඛන ලියන්න ඕනෙ. පර්යේෂණ කරන්න ඕනෙ, ළමයින්ගේ උත්තරපත්‍ර සහ නිබන්ධන බලන්නත් ඕනෙ. මේ ඔක්කොම අයිතිවෙන්නෙ ආචාර්යවරුන්ගේ රාජකාරියටම තමයි. විශේෂයෙන් උසස් අධ්‍යාපන අමාත්‍යවරයාට මේ පිළිබඳ හැඟීමක්වත් අවබෝධයක්වත් නෑ. ඔහු උසස් අධ්‍යාපනයට ප්‍රවිෂ්ට වුණුදා පටන් ආචාර්යවරුන් සහ ශිෂ්‍යයින් එක්ක ගනුදෙනු කරන්නේ මිනිසුන් එක්ක ගනුදෙනු කරන විදිහට වඩා වෙනස් විදිහකට.

  • උසස් අධ්‍යාපන අමාත්‍යවරයා බොහෝවිට ප්‍රකාශ කරන දෙයක් තමයි තමන්ට අවශ්‍ය මුදල් විශ්වවිද්‍යාලය තුළින්ම සම්පාදනය කර ගත යුතු බව?

  • අපි දන්න විදිහට ලංකාව ඇතුළෙ මෙතෙක්කල් ඉහළ දියුණුවක් ලබලා තිබුණේ සෞඛ්‍ය සේවය සහ අධ්‍යාපන සේවය විතරනෙ. ඒ දෙකම ලෝකයේ දියුණු රටකට ළංවෙන්න පුළුවන් තරමේ දියුණුවක් ලබලා තිබුණෙ. ඉතින් මේ දෙකම තම මූලික පරමාර්ථ පැත්තකින් දාලා මුදල් ඉපයීම තම මූලික පරමාර්ථය කරගත්තොත් ඔය කියන උසස් තත්ත්වයට මොකද වෙන්නෙ? එහෙම වුණොත් ඒ දෙකම පිරිහෙන එක නවත්වන්න කාටවත් බැරි වෙයි. අපි ඔක්කොම වැඩ පැත්තකට දාලා ශිෂ්‍යයින්ගෙන් සල්ලි එකතු කරන්න ගත්තොත්, වෛද්‍යවරුන් ඔක්කොම පැත්කට දාලා රෝගීන්ගෙන් සල්ලි එකතු කරන්න ගත්තොත් අධ්‍යාපනයෙයි, සෞඛ්‍යයෙයි පරමාර්ථවලට මොකද වෙන්නෙ.

    අනෙක් අතට මෙතෙක් කල් විශ්වවිද්‍යාල සඳහා කිසියම් මුදලක් ලැබුණු බාහිර උපාධි පාඨමාලා අත්හිටුවලා තියෙන්නෙත් මේ ඇමතිවරයාමයි. මේක හොඳද නරකද කියන එක ගැන නෙමෙයි මම කියන්නේ. බාහිර උපාධි පාඨමාලා ගුණාත්මක කරන්න ඕනෙ තමයි. එක පැත්තකින් සල්ලි හොයන්න කියන ඇමතිවරයා තවත් පැත්තකින් කරන දේවල් මොනවද කියලා මේකෙන්ම පේනවනෙ.

    විශ්වවිද්‍යාලවලිනුත් මුදල් හොයන්න ඕනෙ නම් ඇමතිවරයාට කරන්න පුළුවන් හොඳම දේ තමයි පේරාදෙණිය විශ්වවිද්‍යාලය හෝටලයක් කරන එක. මොකද ඒකෙ හෝටලයකට අවශ්‍ය සියලුම භෞතිකමය සහ සෞන්දර්යාත්මක දේවල් ඉතා ඉහළින් තියෙනවානෙ. ඊට පස්සෙ ඇමතිවරයාට පුළුවන් මුහුද අයිනෙ තියෙන රුහුණු විශ්වවිද්‍යාලය වගේ ඒවා මාළු මාර්කට් එකක් කරන්න. ඒ නිසා අධ්‍යාපනයේ පරමාර්ථ පැත්තක තියලා ඒවා මුදල් උපයන ක්‍රමවේදයන් බවට පත්කරන්න ඇමතිවරයා කියන මේ දේවල් නිකම් විහිළු කතා විතරයි.

  • විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ගෙන යන අරගලය එක් පැත්තකින් මේ රටේ සමස්ත උසස් අධ්‍යාපනයම අඩපණ කරලා තියෙනවා. එහෙම තියෙද්දි මේක ගණන් නොගෙන ඉන්න තත්ත්වයක් පෙන්වන්න රජය උත්සාහ කරනවා. තවත් පැත්තකින් ආචාර්යවරු ස්වේච්ඡා තනතුරු අතහැරීම බාර නොගත යුතු බව අධිකරණය තීන්දුකරලා තියෙනවා?

  • විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ගෙන යන මේ අරගලය වෘත්තිය සමිතියක් කේන්ද්‍රකරගත් අරගලයක්. මේ වගේ අරගලයක් අවස්ථාවේදී බොහෝ විට සිදුවන්නේ ආණ්ඩුව සහ වෘත්තීය සමිති අතර කිසියම් එකඟතාවක් ඇතිවෙලා ඒ ගැටලුව විසඳන එක. එහෙම නැතිව මේ වගේ අරගලයන් තුළින් විප්ලව කරන්න කවුරුත් යන්නෙ නෑනෙ. නමුත් වර්තමාන ආණ්ඩුව මේ වගේ වෘත්තීය ඉල්ලීම් සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වන ආකාරය දිහා බලද්දි පේන්නෙ ඒ අය හැම තැනම තමන්ගේ සතුරන් නිර්මාණය කරමින් ඉන්නවා මිසක් ඒවාට අව්‍යාජ විසඳුමක් දෙන්න ඔවුන්ට අවශ්‍යතාවක් නැති බව.

    උදාහරණයක් විදිහට අපේ මේ අරගලයේ මූලිකත්වය ගන්න බොහොමයක් විශ්වවිද්‍යාල ආචාර්ය, මහාචාර්යවරු මේ ජනාධිපතිවරයා හා රජය පත් කිරීමට ඉතා ඉහළ මට්ටමින් දායක වූ පිරිසක්. නමුත් අද වන විට ඔවුන් සියල්ලම ඉන්නේ රජය ගැන කලකිරිලා. රජය මේ වෘත්තීය අරගලය වෘත්තිය අරගලයක් විදිහට විසඳන්න උත්සාහ නොදරන තත්ත්වයක් තුළ අවසානයේ සිදුවන්නේ ඒවා දේශපාලනික ප්‍රශ්නයක් බවට පත් වෙන එක විතරයි.

    මොකද මේ ගැටලුව මේ විදිහට රජය විසින් නොසලකා හැරියහොත්, විපක්ෂයේ දේශපාලන පක්ෂ සහ සෙසු වෘත්තීය සමිති සමග ඒකාබද්ධව කටයුතු කරන්න ආචාර්යවරුන්ගේ සන්ධානයටත් සිදුවීම ඉතාමත් සාධාරණයි. ඒ නිසා මේ වෘත්තීය අරගලය දේශපාලන ප්‍රශ්නයක තත්ත්වයට යන්න නොදී එය වෘත්තීය අරගලයක් විදිහට විසඳන්න රජය කටයුතු කරන්න ඕනෙ. උසස් පෙළ ප්‍රශ්නපත්‍ර බැලීමේ කාරණයේදී වුණත් අප කවර කාරණයකදී වුණත් මේ ආණ්ඩුව හැමදාම කරන්න උත්සාහ කළේ වෘත්තිය අරගලයට විසඳුමක් නොදී තමන්ට හිතවාදී පිරිසක් මාර්ගයෙන් නඩු පවරා අරගල කරන වෘත්තීය සමිති නීතිය තුළ සිරකර තැබීමට උත්සාහ දරන එක. මෙතනදි සිදු කරලා තියෙන්නෙත් ඒක. එහෙම නැතිව කිසිම දවසක කිසිම ශිෂ්‍යයෙක් සූදානම් වෙන්නෙ නෑ තමන්ගෙ ආචාර්යවරුන්ට විරුද්ධව අධිකරණයේ නඩු පවරන්න.

  • මේ අරගලයේ අනාගතය මොනවගේ බලපෑමක් සිදු කරයි කියලද ඔබ කල්පනා කරන්නෙ?

  • ලංකාවේ අධ්‍යාපනය සම්බන්ධයෙන් තියෙන උසස්ම ආයතනයනෙ විශ්වවිද්‍යාලය. මේකෙ විශාල අවුලක් ඇතිවුණා කියන්නෙ ඒක අනිවාර්යයෙන් මෙරට පාසල් අධ්‍යාපනය පවා බිඳවැටීමට බලපාන කරුණක්.

    උසස් අධ්‍යාපන අමාත්‍යවරයා මේ ගන්න ප්‍රවේශය විශ්වවිද්‍යාල, විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ගේ ගෞරවය, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ගෞරවය, එතුමාගේ ගෞරවය විතරක් නෙමෙයි පොදුවේ සමස්ත අධ්‍යාපනයේම ගෞරවය නැති කරන එකක්.

    සිංගප්පූරුව ඊශ්‍රායලය වගේ රටවල් තමන්ගේ අධ්‍යාපන පද්ධතිය විප්ලවකාරී විදිහට දියුණු කළේ පිට රටවලින් ඉතා උගත් හා බුද්ධිමත් ආචාර්යවරුන් තම විශ්වවිද්‍යාලවලට ගෙන්වලා. ඒ සඳහා ඔවුන් වියදම් කළ මුදල අති විශාල එකක්. ලංකාවේ උසස් අධ්‍යාපනය තුළ දියුණු රටවලින් ආචාර්යවරුන් ගේනවා තියා මෙහේ ඉන්න ආචාර්යවරුන් ටිකවත් ආරක්ෂා කිරීමට උත්සාහයක් ගැනෙන්නේ නෑ.

    රටක් දියුණුවෙනවා කියන්නෙ පාලම් බෝක්කු හදන එක විතරක් නෙමෙයි. රටක් දියුණු රටක් වෙන්න මූලික වශයෙන් ඒවයේ අධ්‍යාපනය දියුණු වෙන්න ඕනෙ. මැද පෙරදිග කොච්චර ධනවත් සහ භෞතිකව දියුණු රටවල් තියෙනවාද? නමුත් අපි කවුරුත් ඒ රටවලට යන්නෙ නෑනෙ අධ්‍යාපනය ගන්න. ඉතින් මෙච්චර කල් අපේ අධ්‍යාපනයේ තිබුණු දියුණුකම ආරක්ෂා කර නොගනිමින් ඒක විනාශ කරන්න එක තමයි ලොකුම ප්‍රශ්නය.

    [රාවය| 2011.06.05]

    ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර



    මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
    Related Posts with Thumbnails