Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



මංජුල වෙඩිවර්ධනගේ නවතම කාව්‍ය සංග්‍රහය "මාතෘකාවක් නැති මාතෘ භූමිය හෙවත් දෙමළ කවි" එලිදැක්වීම නිමිත්තෙන් 2011 ජනවාරි 30 දින බූන්දි වෙබ් අඩවියේ ආරාධනයෙන් කොලඹ ජාතික පුස්තකාල සේවා මන්ඩලයීය ශ්‍රවනාගාරයේ දී පවත්වන ලද දේශනයෙහි සම්පින්ඩිත පිටපත:

කවිය කොයිබට ද?
ප්‍රවනතාමය කලාකරුගේ දිශානතිය


සහෝදරියනි, සහෝදරවරුනි, මිත්‍රවරුනි,

පලමුවෙන් ම, මේ දෙසුම සඳහා මට ඇරයුම් කරපු බූන්දි වෙබ් අඩවියටත් මගේ දායකත්වය ඉතසිතින් අනුමත කරමින් විදේශයක සිට දුරකථනයෙන් මා දිරිමත් කරපු මංජුල වෙඩිවර්ධන සහෝදර කවියාටත් මගේ ස්තුතිය පිරිනමනවා. මංජුල මගේ පරම්පරාවෙ - ‘අනූව පරපුරේ’ - කවියෙක්. ඒ හින්ද ම, මේ දේශනය මම බාර ගත්තෙ දැඩි උනන්දුවකින්. ඒ වගෙ ම, නව පරපුරක් නියෝජනය වෙන මේ සභාව අමතන්ට ලැබීමත් එක්තරා සතුටක්.

කවිය පිලිබඳව අපි මෙහෙම දොඩමලු වෙන්නෙ, සාහිත්‍ය කලා ක්ෂේත්‍රයට නොමැකෙන සේවාවක් ඉටු කරපු විචාරිකා පියසීලි විජේගුනසිංහ අපෙන් සමු අරගෙන යන්තම් පස් මාසයකට ආසන්න වූ තැන. මංජුලගෙ ම කවි බසින් කිව්වොත්:

‘.......
අවියත්
වාම මැඬියොත්
මෘත කලේබර කලා පුඟුළොත්
සිවල් ලොම් හැඳි කෙසරුත්
අකුරු බැරි ගුරු දෙබරුත්
කර ලී ය බියපත්
ඔබ කෙරෙන් හැමු සුළඟත්...

විසල් හිඩැස පුරවන්නෙ ද කෙබඳු විරූ
ඉතින් ආයුබෝවන් මව්තුමෙනි ගරූ’

(පියසීලි, බූන්දි වෙබ් අඩවිය, 2010 සැප්තැම්බර්)


සත්තකින් ම, ඇගේ අභාවයෙන් පැන නැගුනු රික්තය පුරවන්ට අප සමත් නොවුනත් මේ දෙසුම පියසීලි සහෝදරීගෙ කීර්ති නාමයට කැප කරන්ට මම කැමති යි.

කාව්‍ය විචාරය, ප්‍රවිශ්ට වෙන්ට මම අදහස් කර ගෙන හිටපු ක්ශේත්‍රයක් නෙවෙයි. ඒත්, වර්තමාන වෛශයික කොන්දේසි මගින්, මේ අඩවියට අත පොවන්ට අපට බල කෙරිල තියෙනවා. බූන්දියෙ දෘඩතර ඉල්ලීම ගලා ආවෙ මෙතැනින්. ඒ ඉල්ලීමට පිටුපෑම වගකීම පැහැර හැරීමක් ය කියල මට හිතුනා. බූන්දියෙ ක්‍රියාකාරකම් සමඟ දේශපාලනිකව අප මුලුමනින් එකඟ නොවුනත් සාහිත්‍යකලාදියේ උන්නතිය තකා ඔවුන් දරන වෙහෙස අගය කල යුතු ම යි.

මංජුල වෙඩිවර්ධනගෙ අලුත් කාව්‍ය සංග්‍රහය "මාතෘකාවක් නැති මාතෘ භූමිය හෙවත් දෙමළ කවි" මොහොතකට පෙර එලිදැක්කා. ප්‍රවනතාමය කවියට වඩාත් නැඹුරු කලාකරුවෙකු හැටියට යි අපි ඔහු අඳුනන්නෙ. මේ දැන් නිකුත් වුන කෘතිය පවා මුලුමනින් ම පාහේ දේශපාලනික පැදිවලින් සමන්විත යි. ‘ශුද්ධ කලාව’ වගෙ නෙවෙයි ‘ප්‍රවනතාමය කලාව’ උපතෙ ඉඳල ම මතභේදයට තුඩු දීපු, ප්‍රතිවිරෝධතා සහ ව්‍යාකූලතා ගහන ක්ෂේත්‍රයක්. මගේ කතාව ප්‍රවනතාමය කවියට සීමා කරන්ට මම කල්පනා කෙරුවෙ ඒ හින්දා. අවශේශ කවීන් මා සමඟ උරන නොවෙනවා ඇතැයි උදක් ම විශ්වාස කරනව. නමුත්, ප්‍රවනතාමය කලාවට වෙන ම විචාර ප්‍රවේශයක් තියෙන බවක් මෙයින් ඇඟවෙන්නෙ නෑ. මේ දෙසුමෙන් අඩක් අද්‍යතන සිංහල ප්‍රවනතාමය කවියා මුහුන දෙන දෘශ්ටිවාදීමය අර්බුදය විමසා බලන්ටත් ඉතිරි අඩ "මාතෘකාවක් නැති මාතෘ භූමිය" වෙනුවෙන් මිඩංගු කරන්ටත් මම බලාපොරොත්තු වෙනවා.

"දෙවියනි, ඔබ කොහි ද?" ඇහුව ම, "ආන්ඩු පක්ශයේ!" යනුවෙන් පිලිතුරු බඳින ඒ උත්ප්‍රාසමය විහිලුව ඔබ අහල ඇති. කවිය කොයිබට දැයි විමසුවා ම කිසියම් තැනැත්තෙක් "සයිබර් අවකාශයට!" කිව්ව. නමුත්, ප්‍රශ්නය කවිය කොහි පල වෙනව ද කියන එක නෙවෙයි, එහි දිශානතිය කවරේ ද යන්න යි. "කලාව යනු කුමක් ද?" යන පැනය වගෙ නෙවෙයි, "කලාව කොයිබට ද?" යන්න තරමක් ව්‍යාකූල සහ සංකීර්න ප්‍රශ්නයක්. මේ කාරනාව දෙන ලද යුගයකට සාපේක්ශ යි. වෙනත් විදියකට කීවොත්, මේ ප්‍රශ්නයට සැපයෙන පිලිතුර, අදාල යුගයෙ ඓතිහාසික සමාජ- දේශපාලන තතු මගින් නිර්නය වෙනවා.



දහනවවෙනි සියවසේ එක්තරා සිද්ධියකින් - ඉතිහාස ග්‍රන්ථයක ආරම්භක විස්තරයෙන් ප්‍රස්තුතය වෙත ප්‍රවේශ වෙන්ට මම අදහස් කලා:

1847 ජූලි මාසෙ දවසක දකුනුදිග ප්‍රංසයෙ පිටිසරබද කුඩා නගරයක අපූරු භෝජන සංග්‍රහයක් පැවැත්වුනා. නගර වාසීන් එය සංවිධානය කෙරුවෙ තමන්ගෙ භූමි පුත්‍රයෙකුට හරසර දක්වන්ට. හය දහසක් ජනයා ඊට සහභාගි වුනා. ලුවී පිලිප්පේගෙ රාජාන්ඩුව පොලිස් අවසරයක් නැතිව විසි දෙනෙකුට වඩා එක්රැස් වීම තහනම් කරල තිබුන වකවානුවක යි මේ සෙනඟ එහි ඇවිත් හිටියෙ. ඇත්ත වසයෙන් ම, ඒක හුදු භෝජනෝත්සවයක් ම නොවුන වග අමුතුවෙන් කියන්ට ඕන නෑ. එහෙම නම්, කවුද මේ උපහාරලාභියා? අල්පොන්ස් දි ලැමාර්ටින්(1790-1869). ඔහු තමයි එවක ප්‍රංසයෙ ජනප්‍රියතම කවියා. රැස්ව සිටි පිරිස අමතා ඔහු මෙලෙස ශපථ කලා. "එය බිඳ වැටෙනු ඇති. මා විශ්වාස කරන්න. රාජත්වය බිඳ වැටෙනු ඇති. ජනතා හෘදය සාක්ශියෙහි විප්ලවයක් සහ අවඥාවෙහි විප්ලවයක් ඔබට ලැබෙනවා ඇති." මේ වදන් ප්‍රංසය පුරා දෝංකාර දුන්න. ලැමාර්ටින් පෙර දැකපු විදියට ම, ඊලඟ වසරෙ විප්ලව මාලාවක් පුපුරා ගියා. ප්‍රංස ජනරජය බිහි වුනේ ඒ අන්දමට (ප්‍රිසිල්ලා රොබර්ට්සන්, Revolutions of 1848: A Social History" 1952 )

ලැමාර්ටින් ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදියෙක්. අත්තනෝමතික රාජාන්ඩුවට එරෙහිව තමන්ගෙ මුලු ශක්තියෙන් නැගී හිටපු තැනැත්තෙක්. ඒත්, ඔහු මොන වගේ කලාකරුවෙක් ද? බොහෝ දෙනා හිතන්ට ඉඩ තියෙනව, නිසැකව ම ඔහු තමයි ප්‍රංස විප්ලවයෙ කවියා කියල. නෑ මිත්‍රවරුනි, ඔහු කිසි දවසක ප්‍රවනතාමය කලාකරුවෙක් වුනේ නැහැ. ඔහු අද්භූතවාදී (රොමැන්තික්) කවියෙක්. ප්‍රංස ජනාධිපතිවරනයට පවා තරග වැදුන ලැමාර්ටින් අපූර්ව ප්‍රේම කාව්‍ය රචනා කෙරුවා.

ලැමාර්ටින් විතරක් නෙවෙයි, ජෝන් රීඩ් (1893-1920) සම්බන්ධයෙනුත් මේ කාරනාව අදාල යි. බොහෝ විට, ඔබ ජෝන් රීඩ් අඳුනන්නෙ ශ්‍රේශ්ඨ ඔක්තෝබර් විප්ලවය පිලිබඳ ඒ සියැසින් දුටු සාක්ශිය Ten Days That Shook The World (ලොව හෙල්ලූ දස දවස) සම්පාදනය කරපු සුප්‍රකට පත්‍ර කලාවේදියා ලෙස; නැතිනම්, අමෙරිකානු කොමියුනිස්ට් පක්ශයෙ නිර්මාතෘවරයා හැටියට. නමුත්, ඔබ දන්නව ද රීඩ් යස කවියෙක්. ඔහුගෙ හැම කවියක් ම මා අතට පත් වෙලා නැතත් මම දන්නා තරමින් ඔහුත් ප්‍රවනතාමය කලාවෙ නිරත වුනේ නෑ.

සමහරවිට ඔබ මවිතකරවනසුලු මේ කාරනාව මම සඳහන් කෙරුවෙ, නූතන ප්‍රවනතාමය කවිය කෙරෙහි සිත් යොමු කරන්ට කලින් පැරනි ආරාවුලක් පිලිබඳව අපේ ආකල්පය පැහැදිලි කිරීම යෝග්‍ය හින්දා. "ශුද්ධ කලාව ද? ප්‍රවනතාමය කලාව ද?" යන මේ ප්‍රශ්නය සමඟ මාක්ස්වාදීන් ගනුදෙනු බේරාගෙන බොහෝ කල්. ලංකාව ඇතුලෙත් මේක ඇති තරම් සාකච්ඡාවට භාජන කෙරිල තියෙනව. ඒත්, මේ යල් පැනපු විවාදය වත්මන් කලා රසිකයන් අතර යලිත් හිස ඔසොවමින් තියෙන බව පෙනී යන හින්ද මේ ගැනත් වචනයක් පවසන්නැයි බූන්දියෙ සහෘද කැල මගෙන් ඉල්ලා හිටියා.

ඇත්ත වසයෙන් ම, ලැමාර්ටින්ගෙ කි‍්‍රයා කලාපය යුක්ති සහගත දැයි යමෙකු ඇහුවොත් මම පුදුම වෙන්නෙ නෑ. එබඳු ප්‍රශ්න අපේ යුගයෙ පොදු ලක්ශනයක් නිසා. ‘යුගය පිරිහෙන විට සියල්‍ර ආකල්ප මනෝබද්ධ වෙතැ’යි ජර්මානු මහා කිවියර ගර්තේ පැවසුව. මෑත දී, ලෝක සමාජවාදී වෙබ් අඩවියෙ කලා සංස්කාරක, අමෙරිකානු ට්‍රොට්ස්කිවාදියෙකු වන ඩේවිඩ් වොල්ශ් ලියපු "Oscar Wild’s lasting significance" (ඔස්කා වයිල්ඩ්ගේ නොනස්නා අදාලත්වය) නමැති ලිපිය ඕස්ටේ‍්‍රලියානු පාඨකයෙකුගෙ දැඩි දෝශ දර්ශනයට ලක් වුනා. වොල්ශ් සිය ලිපිය තුල "කලාව උදෙසා කලාව" යන වාක්‍යාංශය යෙදීම ගැන යි ඔහුගෙ උදහස. "කලාව උදෙසා කලාව" යන මූලධර්මය මත පදනම් වී නම්, ඔස්කා වයිල්ඩ් බඳු කලාකරුවෙකුගෙන් වැදගත් සාහිත්‍ය කෘති, න්‍යායික ලිපි හා ‘සමාජවාදී’ ලමා කතා බිහි වුනේ කෙසේ දැයි ඔහු තර්ක කෙරුවා. සමාජ- දේශපාලනික කාර්යයකින් තොරව පවතින කලාවක් ඇත්තේ කොහි දැයි ඔහු අහනවා. ඔහු තමන්ගෙ සහායට කැඳවා ගත්තෙ වයිල්ඩ්ගෙ ම මිතුරෙක්: ජෝර්ජ් බර්නාඩ් ශෝ. මොකක් ද ශෝ දැරුව යි කියන අදහස? : "කලාව තෙමේ ඉක්මවා ගොස් මහජන මතය, මහජන ක්‍රියාකාරිත්වය හා මහජන දායකත්වය අවුලුවමින් ආචාරමය ප්‍රතිසංස්කරනයේ ක්‍රියාවක් බවට පත් විය යුතු ය." ඔස්ට්‍රේලියානු පාඨකයාට පිලිතුරු දෙමින් වොල්ශ් සඳහන් කරනවා, සමකාලීනයන් වූ පලියට ම, හිතමිතුරන් වූ පලියට ම, මිනිස්සු සමචින්තකයො නොවෙන බව. ඒ අනුව, වඩා දූරදර්ශී (මනෝරාජික සමාජවාදියා - ද. මේ.) ඔස්කා වයිල්ඩ් යුගයේ සාමාන්‍ය බුද්ධිමය ප්‍රවාහයට ඉහලින් සිටි අයුරුත් (ෆේබියානු සමාජවාදියා - ද. මේ.) බර්නාඩ් ශෝ වැඩිමනත්ව සමාජ ජීවිතයේ මතුපිටට අනුගත වූ අයුරුත් වොල්ශ් පෙන්වා දුන්නා (Oscar Wild and "art for art’s sake": an exchange with a reader, www.wsws.org, 1997. 08. 28). අනෙක් අතට, වයිල්ඩ්ගෙ ජීවිතය සැලකුවොත්, එවක සංස්ථාපිතය සමඟ ඔහුට අනේකවිධ ගැටුම් පැවතුනා. ඔහුව භිරේ විලංගුවෙ දැම්ම. පස්සෙ ඔහු දුඃඛිතයෙක් ලෙස පිටුවහලෙ දි මිය ගියා. කලාකරුවන් "කලාව උදෙසා කලාව" යන විශ්වාසයෙ එල්බ ගන්නෙ ඔවුන් තමන්ගෙ සමාජ පරිසරය සමඟ පිලිසකර කරන්ට බැරි තරමට ගැටෙන විට යයි ජෝර්ජි ප්ලෙහානොව් නිගමනය කෙරුවා (Art and Social Life 1912-13). ඉතින්" ඔස්කා වයිල්ඩ් "කලාව උදෙසා කලාව" වෙනුවෙන් පෙනී සිටීම අරුමයක් නෙවෙයි.

මෙරට සුලු- ධනේශ්වර ‘වාමගාමී’ කලා රසිකයාගෙ ආකල්පයත් හරියට ම අර ඕස්ට්‍රේලියානු පාඨකයගෙ ආකල්පය ම යයි කිව්වොත් නිවැරදි යි. මේකට මූලික වසයෙන් වග කියන්ට ඕන කලාව විශයෙ ලෝක පරිමානව පුහු ජනතාවාදය වපුරපු ස්තාලින්වාදියො. සත්තකින් ම, ප්‍රවනතාමය කවි නොදුන්න යි කියල ඒ හෝ මේ කලාකරුවා සමඟ අපි උරන වෙනව ද? නෑ. ලැමාර්ටින්ට දොස් නොකීව වගේ. මාක්ස්වාදියො ප්‍රවනතාමය කලාව අගය කරන්නෙ ශුද්ධ කලාවට පිටු නොපාන අතරෙ. මේ විවාදයෙ දි පැති නොගත යුත්තෙ ඇයි දැයි ලියොන් ට්‍රොට්ස්කි පැහැදිලි කෙරුවා. කවර මුහුනුවරකින් ඉදිරිපත් වුනත් කලාව එක් හෝ තවත් ආකාරයක සමාජ සේවාවක් ඉටු කරන බව ඔහු පෙන්වා දුන්නා (Literature and Revolution -1924). ඒ හින්දා, තමන් කැමති ඕනැ ම තේමාවක් ඇසුරු කරන්ට කවියාට ඇති අයිතිය දිවිහිමියෙන් ආරක්ශා කරන්ට අපි බැඳිල ඉන්නවා. කලා නිදහසේ මූලික කොන්දේසියක් ඒක. මුනිදාස කුමාරතුංගයන්ගෙ බසින් කිව්වොත්:

තෙරක් නොමැති කව් සසරේ
මහබඹු කවියා විතරේ
ඔහු රිසි යමතෙක හැසිරේ
මුළු ලොව ඒ අතට හැරේ!


අද දවසෙ, කෙනෙකු ‘ප්‍රවනතාමය කලාකරුවෙකු’ වෙන්නෙ ඔහු හෝ ඇය විද්‍යාත්මක (මාක්ස්වාදී) ලෝක දෘශ්ටියෙන් සන්නද්ධව, තමන්ගෙ කලාව තුල කම්කරු පන්තියෙ විමුක්ති අරගලය වෙනුවෙන් පෙනී හිටින විට. අපි එහෙම කියන්නෙ ඉතා පුලුල් අරුතින් මිසක් කලාව කිසිසේත් රලු දේශපාලන සැහැලි බවට පිරිහෙලීමෙ අරමුනින් නම් නෙවෙයි. නමුත්, මෙරට ප්‍රවනතාමය කලාව මුල ඉඳල ම ස්තාලින්වාදී ජනතාවාදයෙ බලපෑමට හසු වෙලා තිබුනා. මේ හේතුව නිසා ම, සමස්තයක් ලෙස, ‘හැත්තෑවෙ ප්‍රවනතාමය කවිය’ කලාත්මක පාර්ශ්වයෙන් හීන, හුදු ආවේගශීලී සටන් පාඨ හැටියට යි ප‍්‍රකාශයට පත් වුනේ.

නූතන සිංහල කවිය වඩා හරවත් ඉසව්වක් කරා රැගෙන ගිය කවීන්ද්‍රයා රත්න ශ්‍රී විජේසිංහ බව අවිවාදිත යි. බිය නොවන් අයියන්ඩි, වස්සානේ, සුබ උදෑසන, වංකගිරිය අරණේ ප්‍රමුඛ ඔහුගෙ කෘති තුල මාහැඟි ප්‍රවනතාමය නිර්මාන හමු වෙනව. සුනිල් ආරියරත්නයන්ගෙ දේශපාලනික ගී පදමාලා බිහි වුනෙත් මේ අවදියෙ. ඊලඟට, නන්දන වීරසිංහත් ‘ප්‍රවනතාමය’ මාවතට අවතීර්න වුනා (ඔවුන්ගෙ සත් කලාකෘති අන් තැනක විමසා බලන්ට මම අදහස් කරනවා). මෙහිලා මගේ වෑයම ඔවුන්ගෙ ඇතැම් නිර්මාන වලින් ප්‍රකට වෙන කම්කරු පන්ති විරෝධී දෘශ්ටිවාද කෙරෙහි අවධානය යොමු කරන්ට යි. සමාජවාදී යයි කියා ගත් විවිධාකාර රැඩිකල් දේශපාලන ව්‍යාපාරවල න්‍යාය පත්‍ර සමඟ අනන්‍ය වීමේ ප්‍රතිඵලයක් ලෙස, නම් සඳහන් කරපු ප්‍රවීන කවීනුත් ඇතුලුව ‘ප්‍රවනතාමය’ ධාරාවට පිවිසුන නව කවීන් බොහොමයකගෙ නිර්මාන තුල ප්‍රතිගාමී ප්‍රවනතා උත්කර්ශයට නංවන, ප්‍රතිගාමී දේශපාලන පක්ශ ඔජ වඩවන නැතිනම් ඒවායෙ ක්‍රියාකලාපයන්ට උඩගෙඩි සපයන දුර්ගුනය ගැබ් වුනා. මම සූදානම් වෙන්නෙ සහෝදර කවීන්ට දොස් පවරන්ට නෙවෙයි, ට්‍රොට්ස්කිගෙ වචනයෙන් කියනවා නම්, ‘ඊට වඩා වැඩි වැදගත්කමකින් යුත් ප්‍රශ්න’ කීපයක් ඉස්මතු කරන්ට යි.

රත්න ශ්‍රී විජේසිංහයන්ගෙන් ම පටන් ගනිමු. 1987-88 භීෂන සමය ආසන්නයෙ ඔහු ඉරිදා දිවයිනට ලියපු කවියක් මේ.

මිත්‍රවරුනි, ගස අඩි විසි පහක් ඇතී
පත්‍ර විතර ම යි ගෙඩි මල් කිසිත් නැතී
වෘක්ෂ දේවතාවොත් පිට මග ම යතී
මුත්‍ර කරන්නට විතරක් මුලට එතී

සාර සුබාවට ගස වැඩෙමින් රුවට
සාර සියක් අතු ඉති වැනුනත් අවට
බෝධි සත්වයින්ගේ හෙවණට ඉහට
බෝධි රාජයෙක් වනු බැරි විය ගහට

නීල වර්ණ නිල් චාමර කොළ තුරිනේ
මෝදු වුණයි රතු කැකුළක් ගස මුදුනේ
පාරමිතා මිණිමුතු වී මල පිපුණේ
යාළු, එයට ‘එරබදු’ යන නම ලැබුණේ

රනේ රුවට රන් කිරුළක අන්දමට
පෙනේ සුරත් මල ගහ උඩ තුන්යමට
මලේ වරුණ පවසන මහ පිංකමට
අනේ යෝධ බල ලැබියන් දරුවන්ට

ඉතින් යහළුවනි මල් පිපුණොත් ගසක
සැකක් නැතිය පලයක් හටගනු නිසැක
සිතින් අත නෑර මල්වල මුදු මෙලෙක
වරෙව් පරාගණයට රොද බැඳ හනික

(එරබදු, සුබ උදෑසන, 1988)


අවුරුදු උදාවට අමතරව, ‘එරබදු’ නමැති රූපකයට අපේ මෑත සමාජ ඉතිහාසය තුල නිශ්චිත අරුතක් හිමි වෙලා තියෙනවා - ජනතා විමුක්ති පෙරමුනේ ‘අප්‍රේල් කැරැල්ල’ ඉන් සංකේතවත් වෙනවා. ජවිපෙ කිසි විටෙක මාක්ස්වාදී පක්ශයක් ලෙස පැවතුනේ නෑ; පවතින්නත් බෑ. එය ආරම්භයෙ ඉඳල ම පීඩිත ගැමි ගොවීන් සහ ශිශ්‍යයන් මත පදනම් වුන සුලු- ධනේශ්වර, සිංහල ස්වෝත්තමවාදී පක්ශයක්. ඔවුන්ගෙ "මේ ජාතිවාදය ෆැසිස්ට්වාදයට තුඩු දෙන එකක් වන අතර ජනතා විමුක්ති පෙරමුන ලංකාව තුල බිහි කරන්නේ අනාගත ෆැසිස්ට් ව්‍යාපාරයකට හොඳින් උපයෝගී කර ගත හැකි කම්කරු විරෝධී බලවේගයකි" යි 1971 කැරැල්ලටත් කලින්, (සමාජවාදී සමානතා පක්ශයේ පූර්වගාමී) විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ එවක ප්‍රධාන ලේකම් කීර්ති බාලසූරිය පෙරදැක්කා (ජනතා විමුක්ති පෙරමුනේ දේශපාලනය සහ පන්ති ස්වභාවය, කම්කරු මාවත ප්‍රකාශන, 1970). අසූ ගනන්වල, මේක යථාර්ථයක් බවට පත් වෙනව අපි දැක්ක. 1989 දි, කීර්තිගෙ කෘතියෙ දෙවෙනි මුද්‍රනයට ප්‍රස්තාවනාවක් ලියමින් විකොස ප්‍රධාන ලේකම් විජේ ඩයස් ජවිපෙ ගුනාංගීකරනය කෙරුවෙ මෙහෙම:

"ලංකාව තුළ ජනතා විමුක්ති පෙරමුණ ලෙස ඉස්මතුව ආවේ සුවිශේෂ ජාතික ප්‍රපංචයක් නොවන (අතර) එය ලෝක පරිමාණ මධ්‍යම පන්තික සුළු- ධනේශ්වර රැඩිකල් ව්‍යාපාරයන්හි ‘ජාතික’ දෝංකාරය ලෙස වටහා ගනු ලැබුණි...

"මේ ව්‍යාපාරය තමන් ‘මාක්ස්- ලෙනින්වාදී’ ව්‍යාපාරයක් යයි හඳුන්්වා ගන්නා නිසාත්, ඔවුන් මාක්ස්/ලෙනින්වාදය තම අවස්ථාවාදී අරමුණුවලට අනුකූලව විකෘත කර ඇති නිසාත්, විශේෂයෙන් ම, ලංකාවේ කම්කරු පන්තිය ‘දේශප්‍රේමිත්වයේ’ රැහැනින් ධනේශ්වරයට ගැට ගැසීමට ක්‍රියාකාරී වන නිසාත් කම්කරු පන්තිය ධනවාදයෙන් ස්වාධීන කර ගැනීම සඳහා ගෙන යා යුතු සටනේ අනිවාර්ය කොටසක් බවට ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනයට විරුද්ධව කළ යුතු සටන පවතී."


මේ සටන, හැබෑ ප්‍රවනතාමය කලාකරුගේත් සටනක්. ‘පරාගනයට රොද බැඳ ආපු’ ගම්බද තරුනයන්ව ජවිපෙ කැඳවාගෙන ගියෙ මොන වගෙ ආවෘත අන්තයකට දැයි ඔබ හැම දන්නව. ඒ වගෙ ම, අද ඔවුන් ඉටු කරමින් ඉන්නෙ කාගෙ - කොයි පන්තියෙ - උවමනාවන් දැයි කියලත් ඔබ හොඳින් දන්නව. ඒ අනුව, ජවිපෙට ආවඩන මොනයම් නිර්මානයක් වේවා රමනීය කලාකෘතියක් බවට පත් වෙන්නෙ නෑ. මේ වර්ගයෙ කවි කීපයක් ම රත්න ශ්‍රී විජේසිංහයන් අතින් ලියැවුනා. ජවිපෙ පුනරාගමනය වර්නනා කෙරෙන තවත් කවියක් මේ:

රුවයි රතට අඟහරු තාරකාවා
ඉතින් අහස බැලූවා - නුඹ නොආවා
ඇවිත් ගංගොඩේ හද මඬල ගාවා
කෙවිල්ලියේ නුඹ හැඬලුව වෙලාවා

ඉද්ද පෙති දෙපෙති වද පෙති සුබාවා
සංහිඳේ නුගේ මල් මාළිගාවා
රත්තරන් පැළඳ නැඟුවා හිනාවා
නුඹේ හඬට බක් මහ ගෙදර ආවා

සක්වලාව ඉර මුදුනට ඇවිත් ඇතී
රුක් මුදුනේ ඈ රැක දෙන් වනස් පතී
වැද්දන් අත දුනු ඊතල ගණන් නැතී
මක් කරමු ද ඈ වැටුණොත් සරස්වතී?

ගෝමරින්ද හොට දෙකොණින් වැටෙන මුසා
කේජු කියා වළඳන දිවි රකින ලෙසා
නාකි කණ කොකුනි හඬවන සතර දිසා
නාඬ ඉඳිව් ඈ කිසි දින නොමළ නිසා

කෑළ මලට උණුහුම උවමනාවී
පාර බලා හිටියේ කෝකිලාවී
රෑට සීතලට තරු බය නොවේවී
තාම උණුයි නුඹෙ හඬ දේවතාවී

(පෙරළා පැමිණි කෙවිලිය, සුබ උදෑසන, 1988)


පරිකල්පන රූපවල අවිශද බව නිසා ම, ඕනැ ම රැඩිකල් ‘වාම’ ව්‍යාපාරයක් උදෙසා යොදා ගන්ට පුලුවන් ලක්ශන මේකෙ අන්තර්ගත යි. යලිත් ‘බක් මහ’ සහ ‘කොවුලා’ ගැන කියවෙන හින්ද මේකත් ජවිපෙ අලලා ගත් කවියක් හැටියට වටහා ගැනීම නුවනට හුරු යි.

මේ ජංජාලයට ම නන්දන වීරසිංහ කවියාත් මුහුන දුන්න. ජවිපෙ දේශපාලනයට අනුගත වීම නිසා ඔහුගෙ අපූරු කවිත්වය මුල දි අපතෙ ගියා. ජවිපෙ දෙවෙනි නැගිටීමට පස්සෙත් ඔහු මෙහෙම ලිව්ව:

‘.........
එරබදු අතු නැමී රෑ හුළ‍‍ඟේ හැපෙන
ගඟ බඩ නුඹේ උණු ලේ පුසුඹ ම ඉහෙන
හිමිහිට පුංචි රතු මල් පෙති දිග හැරෙන
මේ බක් මහෙත් ඉවුරෙන් අත වනනු මැන

අවියෙන් වනසන්ට බෑ උතුම් අරමුණු
හඬගා කියන නුඹෙ හඬ අහසේ හැපෙනු
ඇසුනා ඒ හ‍ඬේ නෑ මිය ගිය ලකුණු
මරණය සුන්දරයි සත්‍යය වෙත නැමුණු’

(බක් මහේ කටහඬ, කිරි සුවඳැති රාත්‍රිය, 1990)


‘........
දඩමං පුළුල් වී ලේ වැකි දත් දිලුණ
මහා මළගමට පසු ගොළුවුණු දෙරණ
සැහැසි අඳුර අවසන් නැති වග හැඳිණ
රතු දෙමලිති රෑන් ඇත නිදි ගත් ලෙසිණ

මූසල නිහැඬියාවෙහි වැළපුම් උඩින
නරි හූ හඬ පමණි අණසක පවත්වන
විපතින් උතුම් පාඩම් රැගත් ලොවකින
රණ හඬ යළි පතයි වන අඟන තැති ගෙන’

(රණ හඬ පතන වන අඟන, ලක්දිව, 1992.02.09)


බිහිසුනු මර්දනය හමුවෙ සටන්කාමිත්වය පහ කර ගත්තෙ නැතත් කවියා අඛන්ඩව විශ්වාසය රඳවන්නෙ එම ප්‍රතිගාමී බලවේගය කෙරෙහි ම යි. අපි මේ "අප්‍රේල් කවි" මොනිකා රුවන්පතිරන කිවිඳියගෙ සුන්දර කවියක් සමඟ සසඳමු:

පෙර කිසි බක් මහක නොදුටු
එරබුදු මල් සිය දහසක්
පසුගිය එක් බක් මහක දි
දුටුයෙමි බැලූ බැලූ හැම දෙස

හද මල් පිබිදුණු එ විගස
එම සතුටේ තනුව තුළින්
බක් මහ ගීතය ගයමින්
බැලූයෙමි එරබුදු මල් දෙස

මා දුටු එරබුදු මල් නැත
තැන තැන රතු ලේ බිඳු ඇත
මගෙ ගීතය ගොළු වී නැත
තනුවේ වෙනසක් වී ඇත

(කොහාගෙන් කවියක්, තහනම් දේසයකින්, 1972)


ජවිපෙ තාලයට මුල දි ගී ගැයූ කොවුලා, ආන්ඩුව අප්‍රේල් කැරැල්ල මැඬ පැවැත්වූවට පස්සෙත් උගෙ විප්ලවීය අභිලාශය අත් හරින්නෙ නෑ: ‘මගෙ ගීතය ගොළු වී නැත.’ ඒත්, ඌ තමන්ගෙ වැරදි තාලය අත්හරිනව: ‘තනුවේ වෙනසක් වී ඇත.’ නන්දන වීරසිංහත් මේ තතු පස්සෙ තේරුම් ගත් බව යි පෙනී යන්නෙ. ඔහුගෙ මෑත කෘති තුල එබඳු කවි හමු වෙන්නෙ නෑ. නමුත්, ඇතැම් තරුන කවීන් අදටත් මේ මුලාවෙ පැටලිල ඉන්න බව පේනව.

ඊලඟට, නව සමසමාජ පක්ශය වෙනුවෙන් රත්න ශ්‍රී ලියූ කව:

ගසක් නම් ඉහළට වැඩෙයි
සැඩ හිරුට නොබියව මුහුණ දෙයි
බහල පෘථීවිය විනිවිදියි
දිය සොයා ගෙන
මිස නොනවතියි

ගිමත් කල හාමත්ව යෙයි
කොළ දළු සලා
නිහඬව ඉඳියි
එහෙත් ඒ නිශ්ශබ්දතාවෙහි
අධිෂ්ඨානය කැටි ගැසෙයි
පොලෝ ගැබ සංචිතව යෙයි

වැලක් දුබලව වැදහෝන සඳ
වාරු කොට දෝතට වඩයි
දහක් සිරසට ගිම් තාපයට
සෙවණ වී සිහිලස සදයි
නැතක් දුක් මැද සෘජුව සිට
හර සොය සොයා අරටුව තනයි

බිඩලු ගලවාලා බලත්
හර මිසක බොරු නැති බව පෙනෙයි
කපත්, සිඳලත්, මඬිත් අත්පා
රතු ලෙය ම රූරා ගලයි
තෙළස් වසරක 'වාර්ෂික වට'
පෙනී දිවි තොරතුරු කියයි

ගසක් නම් ඉහළට වැඩෙයි
සැඩ හිරුට නොබියව මුහුණ දෙයි
අඳුර පිළිකෙව් කරයි
සඳ එළියෙනුදු සෑහී නොනවතියි
මලක් සිරසෙහි පැළඳ මිස
කිසිදාක සැතපෙන්නේ නොවෙයි

(ගස, හරය, 1990.12.28)


නව සමසමාජය කියන්නෙ, ට්‍රොට්ස්කිගෙ නම විකුනමින් කම්කරු පන්තිය මත ලැග ගත්තු, මුල ඉඳල ම පැබ්ලෝවාදයට යට වුන, අවස්ථාවාදී පක්ශයක්. ‘තෙළස් වසරක වාර්ෂික වට’ මගින් හෙලි වෙන්නෙ නසසපයෙ බංකොලොත් දේශපාලනය මිසක් වෙන මොනව ද? "චන්ද්‍රිකා [කුමාරනතුංග] සහෝදරී" කියාගෙන ධනපති ශ්‍රී ලංකා මහජන පක්ශය සමඟ එක පතේ බත් කෑව නසසපයෙ හැබෑ මුහුනුවර කවුද නොදන්නෙ? බලයට ආපු හැටියෙ ම මේ ‘සහෝදරීගෙ’ තරම අපි දැක්ක: නසසපය මත් ගුටි කෑව. පොදු පෙරමුනු ආන්ඩුව තමන්ගෙ සාමාජිකයන් අත් අඩංගුවට ගත්ත ම නසසපය කෙරුවෙ නිකම් කට බලියාගෙන ඉඳීම විතර යි. ‘බිඩලූ ගලවල බැලූව ම’ පේන්නෙ මේක වඳ පීදුනු ගහක් බව යි.

කලාකරුවා "දවසේ දේශපාලනය පසුපස ගාටන්නෙකු" බව හැබෑවක් වුනත්, ඩේවිඩ් වොල්ශ් වරක් පැවසුව ආකාරයට, අසාමාන්‍ය කලාකරුවා විසින්, ක්ශනික අරගලවලින් ඔබ්බට යන්නා වූ සත්‍යය දිවැසින් මෙන් දැක බලාගෙන අනාවරනය කරනු ලැබෙනව (බොල්ශෙවික්වාදය හා අසම්ප්‍රදායික පෙරටුගාමී කලාකරුවෝ, කම්කරු මාවත, 1993). නමුත්, මෙතෙක් අපි සාකච්ඡා කරපු කවි තුල සත්‍යය විකෘත වෙලා තියෙන හැටි ඔබ දැක්ක. කලාකරුවා තුල මේ වගෙ පරස්පර විරෝධතා හට ගන්නෙ ඇයි? ධනේශ්වර පීඩනයෙ තීව්‍රතාව හමුවෙ, පොට පාදා ගන්ට අපොහොසත් වීම නිසා. රත්න ශ්‍රී අන්තිමට ශ්‍රී ලංකා නිදහස් පක්ශයෙ නිල ගීය ලියන තැනට ම පත් වුනා. මීට විපරීතව, ප්‍රවනතාමය කලාකරුවා සම්බන්ධයෙන්, ඒකාබද්ධ විද්‍යාත්මක ලෝක දෘශ්ටියක් වර්ධනය කර ගැනීම අනිවාර්ය කොන්දේසියක් වෙනව.

[මතු සම්බන්ධයි]

දර්ශන මේදිස්


මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails