Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers


-ආචාර්ය සාලිය කුලරත්න | පේරාදෙණිය විශ්වවිද්‍යාලය

  • ජනශ්‍රැතිමය වශයෙන් ජාතක කතාවක සම්භවය පිළිබඳ අතීතයට යෑමේදී පේන්න තියෙන්නේ මොනවාද?

  • සැදැහවත් බෞද්ධයන් ජාතක කථාව කියන එක සලකන්නේ බුදුන් වහන්සේගේ පෙර උපන් කථා කියලා. ඇත්ත වශයෙන්ම බලපුවාම හැම ජාතක කථාවකම අතීතකථාව වර්තමාන කථාව ආදී වශයෙන් ඒ විදිහට කල්පනා කරන්න පුළුවන් ව්‍යුහාත්මක අංගලක්ෂණ තියෙනවා. නමුත් විදිමත් ලෙස මේ කථාවන් විග්‍රහ කරලා බැලුවොත් අපිට පේන්න තියෙන දෙයක් තමයි මේවා එක්තරා ඉන්දියානු ජනකථා සම්භාරයකට අයිති වෙන බව. අපිට කාල වශයෙන් නිර්ණය කරන්න බැරිතරම් ඈත ක්‍රිස්තු පූර්ව යුගයක, මිනිසාගේ ජන ජීවිතයේ නොයෙක් සංසිද්ධීන් සමග බැඳී පැවතිලා නිර්මාණය වුණ කථා විශේෂයක් තමයි ඒ කියන ජනකථා. මේවා මූලික යුගය තුළ හොඳින් වැඩිලා තිබුණේ නෑ. ඒ යුගය තුළ ඒවා තියෙන්න ඇත්තේ තරමක් ප්‍රාථමික වශයෙන්.

  • ජාතක කථාව වැනි දෙයක සම්භවය න්‍යායාත්මකව තේරුම් ගැනීමේ කාර්යය තුළ 'බහු උපත් සිද්ධාන්තය'වගේ දේවල් ජනශ්‍රැති පර්යේෂකයින් අතින් ඉතා වැඩි වශයෙන් භාවිත වනු දක්නට ලැබෙනවා?

  • ඔව්, ඒක ඇත්ත. මොකද අපි ජනකථා පිළිබඳ ඉතා සියුම්ව සොයා බැලුවොත් ඉතා පහසුවෙන් පේන්න තියෙන දෙයක් තමයි එක කථාවක තියෙන එකම සංසිද්ධිය තවත් බොහෝ කථාවල පුනර්පෝෂණය වෙලා තියෙන එක. උදාහරණයක් විදිහට ගත්තාම අපේ ඉතිහාසයේ සඳහන් උන්මාද චිත්‍රා පුවත හෙවත් පණ්ඩුකාභය පුවත ඉන්දියානු ජනප්‍රවාදවලත් දක්නට ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි උන්මාද චිත්‍රා පුවත අපේ ගත ජාතක කථාවේ පුවතට ඉතාමත් සමීපයි. ඒකෙ ඉන්නෙත් උන්මාද චිත්‍රාව වගේම එක් ටැම් ගෙයක රැඳ වූ දේවහරහා කියන කුමාරිකාවක්. ඇය එක්ටැමක රඳවන්නේ උන්මාද චිත්‍රා කථාවේ මෙන් ඇයට උපදින දරුවකු අනාගතයේ සහෝදරයකුට විරුද්ධ වනවා කියලා. ඒ වගේම ඔය කථාවට ඉතාම සමාන ග්‍රීක කථාවකුත් දක්නට ලැබෙනවා.

    ඒ නිසා අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ සමහරවිට එකම මානව සංසිද්ධිය එකම මානව ඇම්බැහිකම, එකම මානව ක්‍රියාකාරීත්වය සංස්කෘතික සහ සම්බන්ධතා නැතිව වුණත් ලෝකය තුළ විවිධ තැන්වල හටගත හැකියි කියන ඔබ කියූ බහු උපත් සිද්ධාන්තයේ මූලික හරය තමයි ඒක. ඊට අමතරව ලෝකය තුළ යම් කිසි සිද්ධිමලාවක් ඇතිවීමත් පසුව, ඒ සිද්ධිය කිසියම් ආකාරයේ තිසරණයක් තුළින් ලොව තුළ ව්‍යාප්තවීමට ඉඩ තියෙනවා. සමහරවිට ඒ කටින් කට වෙන්න පුළුවන්. පරම්පරාවෙන් පරම්පරාව වෙන්න පුළුවන් නොයෙක් ආකාරයේ දේශාඨකයින් සහ වෙළෙන්දන් හරහා වෙන්නත් පුළුවන්. ඒ තත්ත්වය ජනශ්‍රැති විද්‍යාව තුළ හඳුන්වන්නේ බහු උපත් න්‍යායට වඩා වෙනත් ක්‍රමවේදයක් විදිහටයි. මොනවා වුණත් මේ දෙවිදියටම අයත් පුවත් ජාතක කථා සංග්‍රහය තුළ තියෙන්න ඉඩ තියෙනවා. ජාතක කථාව කියන එක පසෙකට තියලා අපි ආයෙත් පණ්ඩුකාභය පුවතට ගියොත් අපිට ඊට සමාන කථා මහා භාරතය වගේ පොත්වල පවා දක්නට ලැබෙනවා. උදාහරණයක් විදිහට ශ්‍රී ක්‍රිෂ්ණ කථා පුවත දකින්නට පුළුවන්. ශ්‍රී ක්‍රිෂ්ණ කියන්නේ තම මාමාවරුන් විසින් ද්වේශ කරනු ලැබූ දරුවෙක්.

    ට්‍රෝජන් කථාව වැනි පුරාණ ග්‍රීක කථාවක් දිහා බලද්දී ඒ කථාවට සමාන ජාතක කථාවක් පවා තියෙනවා. ඒ ජාතක කථාවේ ට්‍රෝජන් අශ්වයා වෙනුවට ඒ වගේම අලියෙක් ඇතුළට සොල්දාදුවෝ දාලා ඒ අලියා සතුරු දේශයට යවනවා. ඒ විතරක් නෙමෙයි මේ ට්‍රෝජන් කථාවේ ඇතැම් සිද්ධිවලට සමාන සිද්ධි සමපාතවීමත් මහා භාරත ආඛ්‍යානයේත් දක්නට ලැබෙනවා.

    ඉන්දියාවේ මහා කාව්‍ය ආදිය සඳහා බෞද්ධ ජාතක කථා පදනම් වූ අවස්ථා අපිට දක්නට ලැබෙනවා. රාමායන මහාකාව්‍ය පිළිබඳ පුවත මේ සඳහා හොඳ උදාහරණයක්. අපේ ජාතකකථා සංග්‍රහයේ එන දශරථ ජාතකය මේ සඳහා වාල්මිකීට වස්තුබීජ සපයලා තියෙනවා. දශරථ ජාතකයේ තියෙන්නේ අයෝධ්‍යා දේශයේ රජකරන දශරථ කියන රජ කෙනෙකුගේ පවුලේ කථාවක්. ඔහුට ඉන්නවා රාම ලක්ෂ්මන් භාරත කියලා පුතාලා තුන් දෙනෙකුයි, සීතා කියන එක් දුවෙකුයි. දශරථ රජුගේ එක දේවියක් තම දරුවා ඉපදෙද්දී රජුගෙන් වරයක් ඉල්ලනවා වැඩිමල් පුතා වන රාමට රජකම නොදී බාල මලනුවකුට රජකම ලබාදීමට. එහිදී දශරථ රජු රාමට මේ පුවත කියලා තියෙනවා. රජමාලිගාවේ නුඹ සිටීම සුබ නෑ. ඒ නිසා වහාම කැලේට යන්න කියලා. මේ නිසා රාම වනගත වෙනවා. අවසන දශරථ රජු මියගිය පසු රාම නැවතත් තම රටට එනවා. ඒ ආවත් ඔහුගේ සොහොයුරා ඔහුව ආදරයෙන් පිළිගන්නවා. ඔහුට රාම පිළිබඳ ප්‍රශ්නයක් නෑ ඔහු රාමව සලකන්නේ තම පියෙක් විදිහට. ඒ විතරක් නෙමෙයි ඔහු රට පාලනය කරන්නේ පවා රාමගේ මිරිවැඩි සඟල සිංහාසනයේ තබලා.

    මේ මූලික යුගය තුළ අන්තර් ගෝත්‍රික විවාහ ක්‍රම සිදු වුණේ අඩුවෙන්. ඒ නිසා එක පවුලේ සොහොයුරා සහ සොහොයුරිය අතර විවාහ සිදුවුණා. සිංහබාහු කථාවේ සිංහබාහු සහ සිංහසීවලී එකිනෙකා අඹුසැමියන් වශයෙන් වාසය කරනවා. ශාක්‍ය වංශයේ උපතට තුඩුදුන්නායැයි පිළිගැනෙන කථාවේ තියෙනවා එක්තරා පුවතක් තමාගේ වැඩිමල් සොහොයුරිය බිරිඳ වශයෙන් තබාගෙන සොහොයුරන් සියල්ල එක්තරා සම පාලනයක් අරගෙන ගිය බවට.

    පසුකාලීනව වාල්මිකී ඉතාමත් රමණීය ලෙස රාමායන මහාකාව්‍ය ගොඩනගන්නේ මේ දශරථ පුවත අරගෙන. ඔහු හදන විදිහට සීතා ජනක නම් වෙනත් රජකුගේ දියණියක්. රාවණා සීතාව පැහැරගෙන එනවා තම රාජ්‍යයට. ජාතක කථාවේ සිදුවන සියලුම සිද්ධිදාම රාමායනයෙත් සිදුවනවා. ඊට අමතරව රාවණ, හනුමාන් සුග්‍රීව වගේ චරිත කිහිපයක් වාල්මිකී යොදා ගන්නවා. මේ රාවණ ආදී පුරාවෘත්ත ඇතැම්විට එරට පැවැති වෙනත් පුරාවෘත්ත එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. වාල්මිකී කරන්නේ මේ පුරාවෘත්ත අරගෙන අතිරමණීය විදිහට ගලපන එක.

    වෙනකක් ඕනෙ නෑ. දැන් බලන්න අපේ විජය කථා පුවතේ සහ ජාතක කථා සංග්‍රහයේ එන වලාහකස්ස ජාතකය අතර තියෙන සමානත්වය. විජය පුවතෙන් කියවෙන්නේ ක්‍රි. පූ.6 වෙනි සියවසේ දී පමණ ඉන්දියාවේ සිට ලංකාවට පැමිණි පුද්ගලයෙක් ගැන. ඔහු ගේ නම විජය. ඔහු සිංහබාහු රජුගේ පුත්‍රයා. ඔහුගේ නොහික්මුණුකම නිසා ඔහුට ඔහුගේ පෙම්වතියන් සමග රටින් පිටුවහල් කරනවා. අන්තිමේට විජය ලංකාවට ඇවිත් කුවේණිය නම් රාක්ෂස රැජිණ සමග වාසය කරනවා. ඔහුගේ පෙම්වතියන් මහිලාදීප් කියන වෙනම රටකට ගොඩ බහිනවා. කුවේණිගේ සනුහරය ඝාතනය කරමින් ඇය සමග වාසය කරන විජය එම කථා පුවත තුළ අවසන කුවේණිය සහ ඇගේ දරු දෙදෙනාද පළවා හරිමින් පසුව බද්දකච්ඡායනා නම් ශාක්‍ය වංශික කුමරියක් ඉන්දියාවෙන් ගෙන්න ගන්නවා.

    වලාහකස්ස ජාතකයේ කථා පුවතත් මීට ගොඩක් සමානයි. ඒකෙ විස්තර වන්නේ සිංහල කියලා කුමාරයෙක් ගැන. ඔහු ඉන්දියාවේ සිට ලංකාවට වෙළඳොමේ පැමිණ රාක්ෂයන් විසින් අධිගෘහිත ප්‍රදේශයකට එනවා. එතකොට ඒ රටේ ඉන්න රාක්ෂ කුමාරිකාවන් සුන්දර තරුණියන් විදිහට වෙස් අරගෙන සිංහල කුමරා ඇතුළු පිරිස සමග එන පිරිස හා මිත්‍ර වෙමින් ඔවුන් සමග අඹු සැමියන් විදිහට ගත කරනවා. එසේ නමුත් ඔවුන් අතර කිසියම් ගැටලුවක් ඇතිවුණ දවසට ඒ පිරිස මරාගෙන අනුභව කරන්න මේ යක්ෂණියන් කටයුතු කරනවා. අන්තිමේට බෝසතාණන් වහන්සේ මේ පිරිසට කරුණු වටහා දීලා ඉන්දියාවට අරන් යනවා. බෝසතාණන් වහන්සේ මේ කථාව තුළ පියාඹන අශ්වයෙක්. වලාහකස්ස ජාතකය තවදුරටත් දීර්ඝ වුවත් මෙහි මූලික පුවත අපේ විජය කථාවට ඉතාමත් සමීපයි.

    හෝමර්ගේ ඔඩිසි කථා පුවතෙත් තියෙනවා මීට සමගාමී කථාවක්. මේකෙදි වෙන්නේ ඔඩීසියස් එක්තරා දූපතකට ගහගෙන ගිහින් සර්සි කියලා යකින්නක් මුණගැහීම. සර්සි කරන්නේ ඔසීසියස් සමග එන පිරිස කෝටුවකින් තට්ටු කරලා ඌරන් බවට පත් කිරීම. කුවේණි කථාවෙත් කුවේණි විජයගේ පිරිස කිසියම් තැනක හංගන බව සඳහන් වෙනවා. එතනින් පස්සේ එන සිදුවීම් සියල්ලත් අපේ විජය පුවතේ එන සිදුවීම්වලට ඉතා සමානයි. මේ තුළින් අපිට ඉතා පැහැදිලි වෙනවා අපේ ජාතක කථා සංග්‍රහයත් ලෝකයේ පැවති ඉපැරණි ජනශ්‍රැතීන් ආශ්‍රයෙන් නිර්මාණය වුණු බව. මේ කථාවල මූලික ආරම්භය කවදා කොතැනකදී සිදුවුණාද කියලා නිශ්චිතව කියන්න බෑ.

    ඒ නිසා බුදුන් වහන්සේ ඇතුළු භික්ෂූන් වහස්සේලා තමන් වහන්සේලාගේ අතීත ස්මරණ ජනශ්‍රැති සමග ගළපා ජාතක කථා තුළ ගොනු කරන්න ඇති. ඒ ස්මරණ ඇතැම්විට අන්තර්ඥානය තුළින් පසක් කළ ඒවා වීමට හෝ විචක්ෂණව සමාජමය වශයෙන් ගැලපූ සිද්ධි වෙන්න පුළුවන්. මෙතනදි ඉතාම වැදගත් වෙන්නේ වර්තමානයේ තමන්ට ආචාරධර්මීය ලෙස විසඳන්න තිබුණු ප්‍රශ්න සඳහා අර කියූ අතීත පුරාවෘත්තීන් ඉතා හොඳින් ගැළපීම. අනෙක් කරුණ තමයි ඒවා සියයට සියයක් ගැළපෙන පරිදි ප්‍රතිනිර්මාණය කරන්න බුදුන් වහන්සේ ඇතුළු ශ්‍රාවක පිරිස ඉතා විචක්ෂණශීලී වීම.

  • මේ කියන විචක්ෂණශීලීත්වය ඇතැම් විට සමකාලීන යුගය ඉක්මවා ගොස් නූතන යුගය කරා පවා කොන්දේසි විරහිතව බද්ධ වීමට තරම් පුළුල් එකක් නේද?

  • ඇත්ත වශයෙන්ම ඔව්. මේ කියන විචක්ණශීලීත්වය තියෙන්නේ ජාතක කථාව තුළ විතරක් නෙමෙයි. දැන් බලන්න අග්ගඥ සූත්‍රයේ දී බුදුන් වහන්සේ දේශනා කරන දේ. එහිදී මිනිස් සම්භවය පිළිබඳ බුදුන් වහන්සේ කියන කථාව ලෝකෙටම වලංගු වුණු එකක්. එතනදි බුදුන් වහන්සේ දේශනා කරන්නේ මිනිසුන් වනාහි එක්තරා යුගයකදී ඈත ග්‍රහලෝකයකින් මේ ලෝකයට සංක්‍රාන්ත වුණු පිරිසක් කියලා. අද වන විට ඇතැම් විද්‍යාඥයින් මේ තත්ත්වය පරීක්ෂණ මගින් ඔප්පු කරලා තියෙනවා. ඒ අතර ආචාර්ය විලියම් ගොඩ්වින් වැනි විද්‍යාඥයින් ප්‍රමුඛ වෙනවා. විලියම් ගොඩ්වින් ඉතා පැහැදිලිව ඔප්පු කරලා තියෙනවා මිනිස් ශිෂ්ටාචාරය වසර හතළිස්දාහකට එහා දිවෙන්නෙ නෑ කියලා. එතනින් එපිට සිටි සත්වයා ජානමය වශයෙන් අපරිනත වානර ලක්ෂණ සහිත පුද්ගලයෙක්. ඔහුට මිනිස් ලක්ෂණ තිබිලා තියෙනවා. නමුත් දියුණු නෑ. ඔහු පිටසක්වලකින් පැමිණි එක්තරා දියුණු ජීවියෙක් සමග මිශ්‍ර වීමෙන් පසුව දියුණු මිනිසා ගොඩ නැඟුණු බව තමයි මොවුන්ගේ අදහස. මේ මතය ගොඩනගන්න ඔහු පරිණාමවාදය සහ මෑත ඉතිහාසය වැනි දේවල් ඉතා දැඩි ලෙස සැලකිල්ලට ගෙන තිබෙනවා.

    අද යුගයේ ඉංජිනේරු ශිල්පය පවා පුදුම කරවන සුලු මිනිස් ශිෂ්ටාචාරයක් අතීතයේ එක්තරා යුගයකදී ගොඩ නැගෙන්න මේ තත්ත්වය බලපාලා තියෙන බව ඒ අනුව ඉතා පැහැදිලි වෙනවා. විද්‍යාඥයින් පවසන්නේ ලෝකයේ අර්බුදයට පත් ග්‍රහලෝකයක සිටි දියුණු ජීවීන් පිරිසක් විශ්වය පුරා විසිර යන්න ඇති බවත්, ඉතා දියුණු මානුෂික හැකියාවක් තියෙන ඔවුන්ගේ කොටසක් පෘථීවියට ඇවිත් එහි වාසය කළ නොදියුණු ජීවීන් සමග මිශ්‍ර වන්න ඇති බවයි. බුදුන් වහන්සේ අග්ගඥ සූත්‍රයේදී දේශනා කරන, ආපස්වර බ්‍රහ්ම ලෝකයෙන් දීප්තිමත් ජීවීන් පිරිසක් ඇවිත්, ඒ අයගේ ශරීර ටික ටික රලු වීමෙන් ඔවුන් මිහිතලයේ වාසයට හුරු වුණා කියන දෙය මේ තත්ත්වයත් එක්ක ඉතා තදින් සාම්‍යය වෙනවා. මේවා බුදුන් වහන්සේ ප්‍රකාශ කරන්නේ විද්‍යාවේ භාවිත වන තාක්ෂණික වචන භාවිත කරමින් නෙමෙයි. සාමාන්‍ය සමාජයේ ඉන්න නූගත් මිනිසුන්ට පවා තේරෙන සරල භාෂාවෙන්. මේ අතර තියෙන්නේ ඒ භාෂාමය වෙනස විතරයි.

    ඒ නිසා ජාතක කථාව වගේ විශිෂ්ට ආඛ්‍යානයන් ගත්තාම, මේවා කොයි කාලයට අයත්ද, ඇත්තටම මේවා බෝධි සත්වයින්ගේ ආත්ම ප්‍රකාශනද නැත්ද කියන කරුණු නෙමෙයි අපිට වැදගත් වෙන්න ඕන. අපිට වැදගත් වෙන්න ඕනේ මනුෂ්‍යත්වය පිළිබඳ සමාජයේ ඇති නොයෙක් අගාධ නිරවද්‍ය කිරීම සඳහා ඒවා කොයිතරම් දුරට සූක්ෂ්ම ලෙස භාවිතයට ගෙන තියෙනවාද කියන එක.

  • මානව චිත්ත චෛතසික සන්තානයන් විවරණය කෙරෙන ආඛ්‍යානයක් හැටියට ජාතක කතාව සතු නූතන වලංගුතාව ඔබ කොහොමද විග්‍රහ කරන්නෙ?

  • මාර්ටින් වික්‍රමසිංහ වගේ වියතෙක් ගත්තාම ඔහු ප්‍රකාශ කරන දෙය තමයි නූතන මනෝවිද්‍යාවේ පියා ලෙස අපි සලකන සිග්මන් ප්‍රොයිඩ් කථා කළ බොහෝ සංකල්ප ඔහු කථා කරන්න ශතවර්ෂ ගණනාවකට කලින් ජාතක කථාව තුළ නිරූපණය කරලා තියෙනවා කියන එක. බොහෝ ජාතක කථා පිළිබඳ විමර්ශනශීලීව බලනකොට වික්‍රමසිංහ මහතා මේ කියන ප්‍රකාශය සත්‍ය බව ඉතා පහසුවෙන් තහවුරු වෙනවා. ජාතක කථාකරුවා ඒ දේවල් ප්‍රකාශ කළේ ඔහු නූතන මනෝ විද්‍යාත්මක සංකල්ප ගැඹුරින් දැනගෙන නෙමෙයි. ඔහුගේ නිර්මාණ තුළ මේ සංකල්ප හඳුනාගන්න පුළුවන් වෙන්නේ ඔහු මිනිස් සිත පිළිබඳ ධර්මතාවන් ගැඹුරින් හදාරලා තියෙන නිසා.

    උදාහරණයක් විදිහට නූතන මනෝවිද්‍යාව තුළ විග්‍රහකෙරෙන පරපීඩා කාමුකත්වය, හිංසක කාමුකත්වය සහ කාමුක සහජාශ්‍රය වගේ සංකල්ප ගත්තාම මේ කරුණු පිළිබඳ ගැඹුරින් විග්‍රහවන කථා ඕන තරම් ජාතක පොතේ දකින්නට තියෙනවා. කාමුක සහජාශ්‍රය හෙවත් ලුබ්ධිය කියන තත්ත්වය පිළිබඳ නූතන මනෝවිද්‍යාවේදී සරලව විග්‍රහ කෙරෙන්නේ මිනිසා කොතරම් වයසට ගියත් ඔහුට කාමය පිළිබඳ සහජාශ්‍රයක් තියෙන බව. අපිට අද පුවත්පත් වගේ මාධ්‍යවලින් නිතරම දක්නට තියෙනවා ඉතාමත් වයස්ගත පුද්ගලයින් විසින් විවිධ ලිංගික අපරාධ සිදුවෙන තත්ත්වයක්. මේ කරුණු තුළ පිරිමි අය ප්‍රමුඛයි. නමුත් කාන්තාවන් තුළත් මේ තත්ත්වය ඉතාම තදින් දක්නට තියෙනවා.

    ජාතක කථා සංග්‍රහයේ එන අසාතමන්ත්‍ර ජාතකය මේ කියන ලිංගික සහජාශ්‍රය කියන කරුණ සම්බන්ධයෙන් දක්වන්න පුළුවන් ඉතාම වැදගත් උදාහරණයක්. ඒ ජාතක කථාව තුළ කියැවෙන්නේ දිසාපාමොක් ඇදුරුතුමාගේ මහලු මව පිළිබඳ පුවතක්. දිසාපාමොක් ඇදුරු තුමාගේ මේ ඉතාමත් මහලු මව සඳහා උවටැන් කරන්නේ දිසාපාමොක් ඇදුරුතුමාගේම තරුණ ගෝලයෙක්. මේ මහලු මව ඒ තරුණයාගෙන් නිතර අහනවා පුතේ උඹට උඹේ ගුරුවරයා අසාතමන්ත්‍ර ඉගැන්නුවේ නැද්ද කියලා. මේක මේ ශිෂ්‍යයා දිසාපාමොක් ඇදුරුතුමාට ප්‍රකාශ කළාම ඔහු කල්පනා කරනවා තම ශිල්පයේ තම මව කියන ආකාරයේ මන්ත්‍රයක් නැති බව. අන්තිමේට දිසාපාමොක් ඇදුරුතුමාට කල්පනා වෙනවා මැය මේ කියනවා ඇත්තේ ස්ත්‍රීන්ගේ කාමුකත්වය පිළිබඳ ගැඹුර උගන්නන්න කියලා වෙන්න ඇති කියලා. අන්තිමේට දිසාපාමොක් ඇදුරුතුමා කල්පනා කරනවා මේක උගන්නන්න මම මගේ මවම උදාහරණයක් කොට ගන්න ඕන කියලා.

    ඔහු තම ගෝලයාට කියනවා තම මවට හොඳින් උවටැන් කරලා ඇයව හොඳින් නාවලා ඇගේ තරුණ කාලේ රූපය ගැන වර්ණනා කරන්න කියලා. දැන් වයසට ගියත් ඔබගේ රූපය ඒ විදිහටම තියෙනවා කියලා ඇයට නිතර කියන්න කියලා දිසාපාමොක් තම ශිෂ්‍යයාට උපදෙස් දෙනවා. ශිෂ්‍යයා මෙසේ තම ගුරුවරයාගේ උපදෙස් අනුව කටයුතු කරනවා. එතකොට මේ මහලු කාන්තාව කල්පනා කරන දෙය තමයි මේ තරුණයා තමා සමග ලෝකාස්වාද රතියෙහි යෙදෙන්න කැමති ඇති කියලා. ඇය මේ තරුණයාගෙන් අහනවා තමං සමග ලිංගිකව එක්වෙන්න කැමතිද කියලා. මේ තරුණයා ප්‍රකාශ කරනවා මම කැමතියි. නමුත් ඔබේ පුතා වන මගේ ගුරුවරයා මේකට බාධාවක් කියලා. අන්තිමේ මේ මැහැල්ල සියුම් ආයුධයක් අරන් තම පුතාව ඝාතනය කරන්න ඔහුගේ සයනය ළඟට ගිහින් ඇනගෙන ඇනගෙන යනවා. තම මවගේ සියුම් හැසිරීම දැනගෙන සිටි දිසාපාමොක් ඉතා සූක්ෂ්ම ලෙස තම ඇඳ මත දර ගොඩක් තබලා ඔහු ඉවත්ව බලාගෙන සිටිය නිසා ඔහුගේ ජීවිතය බේරෙනවා. නමුත් තමා මේ ඇන්නේ දරගොඩකට කියලා දැනගත් ඔහුගේ මව මේ පශ්චාත් තාපය නිසාම මිය යනවා.

    අද සමාජයේ වුණත් තම අතදරුවා ගඟට දාලා හරි, ඔහුගේ බෙල්ල මිරිකලා හරි වෙනත් සැමියන් සමග පලා යන මව්වරුන් ඕනෑ තරම් දක්නට ලැබෙනවානෙ. අසාත මන්ත්‍ර ජාතකයෙන් විග්‍රහ වෙන්නේ මේ තත්ත්වය. මේක කාන්තාවන් තුළ තියෙන පොදු තත්ත්වයක් නෙමෙයි. ඉතා දුර්ලභ මානසික තත්ත්වයක්.

    ක්ෂාන්තිවාදී ජාතකය වගේ කථාවක් ගත්තාම පරපීඩා කාමුකත්වය වගේ නූතන මනෝවිද්‍යාත්මක සංකල්ප මේ තුළින් ඉස්මතු වෙන බව පේන්න තියෙනවා. අනුන්ට පීඩා කිරීමෙන් කාමුක තෘප්තියක් ලැබීම මෙහි මූලික හරය. ක්ෂාන්තිවාදී ජාතකයේදී තියෙන්නේ තම පරිවාර ස්ත්‍රියට ධර්මය දේශනාකරන ක්ෂාන්තිවාදී තවුසා කෙරේ ඉරිසියාවක් ඇති වෙලා බ්‍රහ්මදත්ත රජු ඔහුගේ අත් පා කපා දැමීම. තමා කාමුකව එක්වන ස්ත්‍රීන්ගේ හික්මීම පිළිබඳ තවුසා බණ දෙසීම නිසා තමාට ඒ තෘප්තිය නැතිවෙයි කියලා බියකුත් තමා සමග යහන් ගතවන ස්ත්‍රින් තාපසයා ඉදිරියේ හික්මී ඔහුට කීකරු වී දණින් වැටී සිටිනු දුටු විට සියුම් ඊර්ෂ්‍යාවකුත් රජු තුළ ඇති වෙනවා. අන්තිමේදී ක්ෂාන්තිවාදී තවුසාගේ අත්පා කැපීම තුළින් රජු තම වෛරයත්, පරපීඩා කාමුකත්වයත් එකවර පිරිමහගන්නවා.

    මීට අමතරව අසනග ජාතකය වගේ කථාවක් තුළ මිනිසාගේ මේ ලිංගිකත්වය පිළිබඳ තමන් මනෝවිද්‍යාත්මක උදාහරණත් දක්වනවා. කාන්තාවන් අප්‍රිය කිරීම නිසා තම මවගෙන් කිරි බීම පවා ප්‍රතික්ෂේප කරන එක කුමාරයෙක් තරුණයෙක් වුණාට පස්සෙත් කොතරම් රූමත් කුමරියක් දැක්කත් මුණට කෙළ ගහලා ඉක්මනට ඈත් වෙනවා. අවසන මේ තරුණයාට රජ කමේ උරුමය පවරන්න බැරිවෙයි කියලා කල්පනා කරන පිය රජු මොහුව ස්ත්‍රීන් කෙරේ පොළඹවාගන්න පුළුවන් කෙනෙක් හොයනවා. අවසානයේ එක ස්ත්‍රියක් විවිධ මායම් දාලා බොහොමත් අපහසුවෙන් මොහු ලිංගික කටයුත්තක් සඳහා පොළඹවා ගන්නවා. අවසන ස්ත්‍රීන් සමග තමා ලැබූ වින්දනය කෙරේ ඇලීමත්, මෙතෙක් කල් මේ දේ තමාට නොදීම පිළිබඳ පිරිමින් කෙරේ වෛරයකුත් මොහුට හටගන්නවා. අවසන ඔහු කඩුවක් අරන් වීදියට බැහැලා මම හැර වෙන කවුරුත් ස්ත්‍රියකගෙන් මේ සැපත ලැබිය යුතු නැතැයි කියමින් දකින දකින පිරිමියා මරන්න පටන් ගන්නවා. ඇත්ත වශයෙන්ම මේ කථාව තුළින් මිනිස් ලිංගිකත්වය පිළිබඳ දක්වන්නේ සංකීර්ණ අදහසක්. එය නූතන මනෝවිද්‍යාවේ ඉගැන්වෙන හිංසක කාමයට හොඳම උදාහරණයක්.

    ඒ අනුව මිනිස් මනසේ තියෙන සාමාන්‍ය උපරි තලවලට වඩා අභ්‍යන්තරික ගැඹුරු තල විනිවිදීමට ජාතක කතාකරුවා දක්වන සුවිශේෂී චාතුර්යය අතිශය ප්‍රශංසනීයයි.

  • උත්තර ධාර්මීය සහ මනෝ චෛතසික තත්ත්වයන් පමණක් නොව ඒ ඉක්මවා ගිය පුළුල් සමාජ දේශපාලනික ආඛ්‍යානයන් ජාතක කථා සංග්‍රහය තුළ ඕනෑ තරම් දක්නට ලැබෙනවා?

  • ජාතක කථාවක් කියන්නේ ඔබ කියූ පරිදි උත්තර දහම් පැහැදිලි කරන ධර්ම ආඛ්‍යානයක් හෝ මනෝ විද්‍යාත්මක ආඛ්‍යානයක් පමණක් නෙමෙයි. මේවා අති සංකීර්ණ විෂය පරාසයකට බෙදන්න පුළුවන් තරම් බොහෝම පොහොසත් ආඛ්‍යාන.


    ආචාර්ය සාලිය කුලරත්න


    ජාතක කථාව තුළ තියෙන සමාජ දේශපාලනික කරුණු විග්‍රහ කරන්න හොඳම උදාහරණයක් තමයි උම්මග්ග ජාතකය. උම්මග්ග ජාතකයේ මුළු කථාව ගත්තාම ඒක මිනිස් සමාජයේ හැම දෙයක්ම වගේ විග්‍රහ කරනවා. ඒ කථාවට පසුබිම් වෙන්නේ යව මැදුම්ගම මහෞෂධ පඬිවරයාගේ ළමා කාලයේ සිට පුවත පෙන්වීම. අවසන ඔහු වේදේහ රජුගේ උපදේශකයෙක් වෙනවා. වේදේහ රජු කියන්නේ කිසිම විචාරයක් නැති අයෙක්. සේනක, පුක්කුසාදි අනෙක් පඬිවරු ඇවිත් යම් දෙයක් රජ්ජුරුවන්ට කිව්වොත් ඔහු කිසිම විචාරයක් නැතිව ඒ දේ සිදුකරනවා. වේදේහ රජුව බොහෝ අතුරු අන්තරාවලින් බේරාගන්නේ මහෞෂධ පඬිවරයා. නමුත් රජු ඔහුගේ ජීවිතය විනාශ කරන්න පවා පෙළැඹෙනවා. අන් අය කියන දේ පිළිගනිමින්. ඒ අනුව බලද්දී වේදේහ රජු වර්තමාන ශ්‍රී ලංකාවේ අවිචාරවත් දේශපාලනයේ ඉතා හොඳ ප්‍රතිමූර්තියක්. මේ දේශපාලනය තුළ කවදාවත් තම සැබෑ හිතෛෂීන්ගේ වැදගත්කම දකින්නේ නෑ. එහෙම දේවල් අතීතයේ තිබුණත් ඒවා විනාශ කරලා දාලා ඒ වෙලාවට වාසියි කියන පුද්ගලයින් සහ දේවල් මේ දේශපාලනය තුළ වැළඳගන්නවා. අනෙක් අතට මහෞෂධ ඉතා වැදගත් උදාහරණක් ශ්‍රේෂ්ඨ රාජානුශාෂකයකුට. ඔහු අවස්ථාවාදී වළ ඉහගෙන කන, මහාපරිමාණ හොරමැරකම්වලට සම්බන්ධ කපටි උපදේශකයින් අතර කැපී පේනවා. අනෙක් අතට මහෞෂධ රජුට වුණත් අනවශ්‍ය විදිහට පක්ෂපාතී වන ගැත්තෙක් නෙමෙයි.

    සමාජ දේශපාලන කරුණු ඉදිරිපත් කිරීම අතින් ජාතක කථා සංග්‍රහය තුළ තියෙන ඉතා වැදගත් කථාවක් තමයි මහා සුපින ජාතකය. සුපින ජාතකය දිග හැරෙන්නේ හුදු කේවල ආඛ්‍යානයක් ලෙස නෙමෙයි. ඒක දිගහැරෙන්නේ කොසොල් රජු දුටු සිහින දහසයක් පිළිබඳ. බුදුන් ආනිසංශ සහ ආදීනව දේශනා කිරීම තුළ. අනෙක් පැත්තෙන් මේ ජාතකය වැදගත් වෙන්නේ ඒ ප්‍රකාශ කරන සිහින පලාඵල එදා සිදු වූ ඒවා නෙමෙයි. සමහර සිහිනවල ඵල ලැබෙන්නේ ඊට ශතවර්ෂ ගණනාවකට පසුව එලැඹෙන අද වගේ දවසක වෙන්න පුළුවන්.

    ඒ යුගය අම්ල වැසි වැටුණු, ඉඩෝර ඇතිවුණු, පරිසර විපත් සිදු වුණු යුගයක් නෙමෙයි. නමුත් අද සිදුවන පරිසර විපර්යාසයන් අමතන ව්‍යංගයන් එහි තියෙනවා. කොසාල් රජු දකිනවා බත් මුට්ටියක එක පැත්තක් ඉදෙනවා. අනික් පැත්ත ඉදෙන්නේ නෑ. බුදුන් වහන්සේ කියනවා මේකෙන් පේන්නේ පරිසරයේ එකපැත්තකට වහිනව. අනික් පැත්තට ඉඩෝරය. එක පැත්තකට බාගෙට වහිද්දී අනිත් පැත්ත ජලයෙන් යටවෙනවා. එහි කරුණු කියලා ඒ විතරක් නෙමෙයි බුදුන් වහන්සේ දේශනා කරනවා මේක ඒ යුගය නෙමෙයි ඊට ශතවර්ෂ ගණනාවකට පසුව සිදුවන දෙයක් කියලත්. කොසොල් රජු දකිනවා සඳුන් ගැටයකට කුණු මෝරු හුවමාරු කරගන්නවා. සමහර භික්ෂුන් සඳලුතල පාමුල ඉඳන් බණ කියද්දී රජු උඩ ඉඳන් අහන් ඉන්නවා වගේ තත්ත්වයන් තමයි මේකෙන් පෙන්නන්නේ. ඒ කියන්නේ භික්ෂූන් ඇතුළු පිරිස සුළු ලාභයක් උදෙසා තම ආත්මය වුණත් කැප කරන්න අනාගතයේදී සූදානම් වග. සමහර චීවරධාරීන් තමන්ගේ ආත්ම ගෞරවය, භික්ෂූත්වය, සිල්වත්කම උගස් තියලා තමාට ලැබෙන යාන වාහන සහ සිව්පසට ළැදි වෙන තත්ත්වයක් අද තියෙන්නේ. ඒ නිසා සමහර භික්ෂූන් මහා සුපින ජාතකයෙන් බණ කියන්නත් අද කැමති නෑ.

    [රාවය 2011.06.12]

    ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර



    මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
    Related Posts with Thumbnails