Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



රජරට වකුගඩු රෝග වලට මෙන්ම අනිකුත් ලෙඩරෝග වලටද මුල් වන යැයි සැලකෙන ආසනික් ලෝහය සහල් වල සහ ජලයේ ඇති බවට විවාදාත්මක මෙන්ම අපැහැදිලි සාක්‍ෂි මගින් මතුකරනු ලැබීය. මෙය අද ඊයේ මතුවු අනතුරක් හෝ බලධාරීන් නොදැන සිටි සිද්ධියක් නම් නොවේ. මේ වු කලි සමස්ත කෘෂි කාර්මික පද්ධතියේ ම ඇති තිරසාර නොවන දැක්ම හා අන්ත දූෂිත ක‍්‍රියාවලියක එක් පැති කඩක් අහම්බෙන් නිරාවරණය වීමක් පමණි. මේ සම්බන්ධයෙන් වැඩිදුර විශ්ලේෂණය කිරීමට පෙර ඉතාමත් සරල ප‍්‍රශ්න කිහිපයක් ගෙන හැර බලමු.

• අප පරිභෝජනය කරන සහල් වල ඇති අනතුර සැබවින්ම ආසනික් ද?
• පළිබෝධනාශක හා වල් නාශක සඳහා ආසනික් හෝ බැර ලෝහ සහිත කෘෂි රසායන ම අවශ්‍ය ද?
• සියළු පර්යේෂණ කණ්ඩායම් ඒකබද්ධව නියමිත ක‍්‍රමවේදයකට අනුව ගත් නියැදි (samples) යොදාගෙන මෙම පර්යේෂණය නොකරන්නේ ඇයි?
• රසදිය සහිත කීර පලා වර්ග, කැඩ්මියම් සහිත එළවළු, ජාන වෙනස්කල අර්තාපල් පරිභෝජනය කරන අප, ආසනික් සහලේ බත් විතරක් ප‍්‍රතික්ෂේප කරන්නේ ඇයි?

හරිත විප්ලවය හරහා දියුණු වෙමින් පවතින රටවලට විශේෂයෙන් පැමිණුන කෘෂි රසායන සතුන්ට පමණක් නොව මිනිසාට ද අතිශයින් විෂදායක වු බව අපි දනිමු. ඒවායේ නිර්මාණාත්මක මුලධර්යමයෙන් ම කාලයක් සමග ඊට හැඩගැසෙන කෘමීන් හා ක්‍ෂුද්‍ර ජීවින් මර්ධනය කිරීමට ඒවායේ මාත‍්‍රාව (Potency) වැඩි කිරීමට සහ විෂ භාවය (Dosage) වැඩිකිරීමට නිෂ්පාදකයින්ට සිදුවේ. එවිට ආසනික් නොව සයනයිඩ් වුව යෙදීමට ඔවුන් පසුබට නොවේ. ඒ කෘෂි රසායන වෙළඳාමේ ස්වභාවයයි. මනුෂ්‍ය ජීවිත වල වටිනාකම හෝ පරිසරය පිලිබඳ කිසිඳු මනුස්සයෙක් වෙළඳ දැන්වීම් වලින් පිටත බලාපොරොත්තු වීම උගහටය‍. නමුත් බොහෝ ගොවීන්ගේ පැත්තෙන් එය හෙරොයින් භාවිතා කිරීමට සමාන වේ. ශරීරය කෙතරම් දිරාපත් වුව ද ජීවය රැකගැනීමට නම් තව තවත් හෙරොයින් ම මිස වෙනත් විකල්පයක් පහසු නැත. ශ‍්‍රී ලංකාවට කෘෂි රසායන ගෙන්වීම සම්බන්ධයෙන් නියාමනය කිරීමට ආයතන 3-4 ක් පැවතිය ද මොනක්‍රොටපස් වැනි අතිශයින් විෂ සහිත (Red Label) වසර 20 කට පමණ පෙර තහනම් කරන ලද කෘෂි රසායන පවා වෙළෙඳපොලේ පහසුවෙන් සොයාගත හැකි වීමෙන් ම එම ආයතනවල ක‍්‍රියාකාරීත්වය පැහැදිලි වේ. පළබෝධනාශක හෝ වල් නාශක වලින් පැමිණෙන ආසනික් ගැන මෙතරම් උනන්දු වුව ද රසායනික පොහොර හරහා එන විෂ ප‍්‍රමාණය මෙයට වඩා බෙහෙවින් අධික විය හැකිය. අක්කරයකට ලීටර් 2 ක් ක් පමණ කන්නයක දී යොදන පළිබෝධ නාශක වලට වඩා අක්කරයකට කිලෝ 125 ක් පමණ යොදන රසායනික පොහොර අධික විෂ ප‍්‍රමාණයක් පසට හා ජල මුලාශ‍්‍ර වලට මිශ‍්‍ර වීමේ හැකියාවක් තිබේ. බර ප‍්‍රතිශතය අනුව ශ‍්‍රී ලාංකිකයන් දිනකට වැඩියෙන්ම අනුභව කරන ආහාරය බත් නිසා එහි ඇති විෂ සංඝටක වැඩි මාත‍්‍රාවකින් ශරීරගතවීම නොවැලැක්විය හැකි කරුණකි. එහි ප‍්‍රතිඵලයක් ලෙස මහරගම පිළිකා රෝහලට අමතරව අනුරාධපුරයේ හා නුවරඑළියේ පිළිකා රෝහල් ඇති කිරීමට ද සිදු වී තිබේ.

රජය විසින් රුපියල් මිලියන 50,000 කට අධික වියදමක් දරමින් පෙහොර සහනාධාරය සපයමින් මෙම ගොවිතැන් ක‍්‍රමයට ඉදිරියට ගෙන යන්නේ අති විශාල ගොවි ඡන්ද නිසා හෝ ජාතික ආහාර නිෂ්පාදනය අඛණ්ඩව පවත්වා ගැනීමට පමණක් නොවේ. වී වගාවට පොහොර අවශ්‍ය නමුත් තව කොතෙකුත් විකල්ප ක‍්‍රම තිබියදී අඩු තරමින් මෙම පොහොර ප‍්‍රමාණය ක‍්‍රම ක‍්‍රමයෙන් අඩු කිරීමටවත් පියවර නොගන්නේ එහි ඇති දහසකුත් එකක් ආකර්ෂණීය හේතු රැස නිසාමය. රුපියල් 60 බත් පැකට් එකෙනුත් කොමිස් ගහන රටේ රුපියල් මිලියන 50,000 ක් ඉහළම තැන්වල සිට ගොවියා තෙක් සංසරණය වීමේදී සිදුවන දේ ගැන කතා නොකිරීම හැම අතින්ම යහපත්ය. වී වගාව සඳහා බිත්තර වී නිෂ්පාදනයෙන් 90% කටත් වඩා සිදුකරන්නේ පෞද්ගලික අංශය (ප‍්‍රධාන වශයෙන් බහු ජාතික සමාගම්) මගිනි. ඔවුන් ලබා දෙන බිත්තර වී සඳහා පොහොර, පළිබෝධනාශක, වල් නාශක, වර්ධක උත්තේජක ආදිය සම්පූර්ණ පැකේජය ම නැතිව හොඳ අස්වැන්නක් (වියළි කලාපයේ නම් අක්කරයට බුසල් 120 ක් පමණ) ගැනීම සිහිනයකි. නමුත් පස සම්පූර්ණයෙන්ම විෂ කරන, ජල මුලාශ‍්‍ර දූෂණය වන, මිනිසාගේ සෞඛ්‍යයට අහිතකර සමස්ත පද්ධතියම ව්‍යාකූල කරන එහෙත් සුළුතරයකකට පමණක් අවශ්‍ය මෙම ක‍්‍රමවේදයට රජයේ කෘෂිකර්මික ප‍්‍රතිපත්තිය හා තීන්දු තීරණ සැම විටම හිතකර හා නම්‍යශීලිය. නිරන්තරයෙන් මාරුවන අමාත්‍යාංශ හා ඇමතිවරු අතර තිරසාර කෘෂිකර්මාන්තයක් වෙනුවෙන් පෙනී සිටින දැක්මක් අවබෝධයක් ඇති ඇමතිවරයෙකු හමුවෙතැයි සිතීම ද විහිළුවකි.

අන්ධයන් අලියාගේ හැඩරුව කියුවා වැනි විවිධ නියැදි වලින් ගත් ප‍්‍රතිඵල ඇසුරින් නිගමන ප‍්‍රකාශ වීම ද විවිධ විද්වතුන් පරස්පර අදහස් දැක්වීමද මෙම ඛේදවාචකයේ ම තවත් පැතිකඩකි. විවිධ ගුරුකුලයන්ට, කණ්ඩායම් වලට වී තම මතවාද පෙරටු කරගනිමින් කටයුතු කරන විද්වතුන්ගෙන් ජනතාවට ඇති යහපත අල්පය. තිරසාර ගොවිතැන් කරා යන ගමනේ දී හමුවන මෙම විවිධ කණ්ඩායම් නිසා නිශ්චිත මගක මතයක පිහිටා රටක් ලෙස දිගු දුරක් යාමට නොහැකි වී තිබේ. ජනතාවට කෙළින්ම දැනෙන මෙබඳු ප‍්‍රශ්නයක් දෙස අව්‍යාජව බලා කළ යුත්තේ කුමක්දැයි තීරණය කෙරෙන වැඩ පිළිවෙලකට යාම පසෙකලා රසායන විද්‍යා තර්ක දමමින් ද තම දේශපාලන මතිමතාන්තර හා විශ්වාසයන් අනුව යමින් ද සිදුකරන විශ්ලේෂණ අවසන් වන්නේ බිය සහිත ගැටළුවක් පමණක් ජනතාවට ඉතිරිකර තැබීමෙනි.

පසුගිය දශකයේ ශ‍්‍රී ලංකාව පුරා දේශීය වී ප‍්‍රභේද ගණනාවක් කිසිඳු කෘෂි රසායනයක් හෝ රජයේ පොහොර සහනාධාරයක් නොගෙන වගා කළ බව අප දනිමු. ඖෂධීය ගුණයෙන් සපිරි එම සහල් ප‍්‍රචලිත කිරීමට කොතෙකුත් උත්සහ ගත්ත ද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ප‍්‍රමුඛ අදාල ආයතන වල කුඩම්මාගේ සැලකිල්ල නිසා එම වස විසෙන් තොර වී වගාව තවමත් කෙරෙන්නේ සුළු පරිමාණයෙනි. දේශීය වී ගොවිතැන් අස්වැන්න සාපේක්‍ෂව අඩු වුවද උතුරු පළාතෙන් එන අධික අස්වැන්න සමග ජාතික ආහාර නිෂ්පාදනය තුලනය කරගත හැකි බව අපගේ අදහසයි. කෙසේ වෙතත් යුද්ධය පැවති සමයේ ඉතා හොඳින් අවම යෙදවුම් තුළින් සාරවත් වී වගාවක් කරගෙන ගිය උතුරේ දමිළ ගොවියාට ද නොමිලේ පොහොර සහනාධාරය හා බීජ ලබා දීමෙන් ඔවුන්ව ද අර පැකේජය තුළටම ඇද දමා තිබේ‍. ගොවියා විසින් ම සකස් කර ගත් හීනැටි, රත්දැල්, සුවඳැල් වැනි වී වර්ග පස සරුකරන කාබනික පොහොර යොදා වගා කරන ස්වයංපෝෂිත වී ගොවිතැනක දී කෘෂිකර්ම අමාත්‍යාංශයේ ටයි දමාගත් මහත්වරුන්වත් ප‍්‍රාඩෝ වලින් ක්ෂේත්‍රයට එන බහුජාතික සමාගම් නියෝජිතයින්වත් අවශ්‍ය නොවේ. ඉතින් තිරසාර වගාවන් සමග නිසි බලධාරීන් උරණ වීමේ අරුමයක් ද නැත.

කරුණු කාරණා මෙසේ සිදුවෙද්දී, අධි සාන්ද්‍ර කෘෂි රසායන යොදා දින 2 කට වරක් අස්වනු නෙලන පලා වර්ග අපි අනුභව කරමු. හෝමෝන හා වර්ධක උත්තේජක යෙදු බ්‍රොයිලර් කුකුල් මස් ආකාරයට ගනිමු. එළවළු වගාවෙන් නොනැවතී අස්වනු ගෝනියට පවා දිලීර නාශක රවුමක් ගසා එවන එළවළු පරිභෝජනය කරමු. සිරුරට අහිතකර රසායනික කාණ්ඩ ගණනාවක් පෙරී සුදු පැහැයෙන් අප දකින පාන් පිටි වලින් සෑදු පාන්, බනිස් අනුභව කරමු.

මෙයට කෙටි කාලීන විසඳුමක් නොමැති බව අපගේ අදහසයි. දශක කිහිපයක් තිස්සේ වර්ධනය වු මෙම පිළිලය ඉතා ප‍්‍රවේශමෙන් විනාශ කිරීමට නම් මානවවාදී දැක්මක් ඇති සැබෑ ගොවීන්ට, සියළු බුද්ධිමතුන්ට, විද්වතුන්ට තම ගුරුකුල, මතිමතාන්තර රාමු වලින් එළියට විත් විවෘතව අව්‍යාජව වැඩකිරීමට සිදුවනු ඇත. කුඹුරු හා වගාබිම් වස විසෙන් නහවමින් මාධ්‍යවලින් මනුස්සකම ගැන පාරම්බාන බහුජාතික සමාගම් වල මුදලින් යැපෙන නළුවන්, ක‍්‍රීඩකයින්, මාධ්‍යවේදීන් ගායකයින් හා අනිකුත් වැදගත් යැයි කියන සියළු දෙනා ආපසු හැරී බැලිය යුතු කාලය එළඹ තිබේ. තම රටට වස විස කැවීම සුළු පටු අපරාධයක් නොවේ.

වරුණ රත්නභාරතී



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails