
"උලකුඩය දේවියට
බබෙක් ලැබිලලු අන්න
සැළලිහිණියෝ උඹට
කොහොම සතුටක් ඇත් ද"
දැන් ඉතින් රජතුමා උඹට සලකයි හොඳට
පොත ලියූ හිමි නමට බොහොම ගරු සත්කාර
අද ඉඳන් දින හතක් කෝට්ටේ හැමතැනම
මහා සැණකෙළි රැසක් පැවැත්වෙයි එක දිගට
කවි පොතේ ඇති තරම් සොඳුරු නැත ඒ ගමන
කන්න නෑ බොන්න නෑ නිදියන්න තැනක් නෑ
ඔය කියන කිසි දෙයක් මගදි මං දැක්කේ නෑ
රාජකාරිය නිසා ඉටු නොකර බැරි කමට
කෝමහරි අන්තිමට පණිවිඩේ දුන්නා මම
විභීෂණ දෙයියන්ට
මේ අසාපන් මිතුර මං ගෙදර නැති අතර
ගැරඬි පතයෙක් ඇවිත් වනසලා මගෙ ගෙදර
පොඩි දුවගෙ පියාපත් බිම තිබුනි හැම තැනම
ඒ දුකට ළය පැලී මිය ගිහින් මගෙ සොඳුර
උලකුඩය දේවියත් - රජතුමත් - හිමි නමත්
සෝක පණිවුඩ තුනක් එවා තිබුනා මිසක
මගේ හිත හැදෙන්නට පුංචියට හරි යමක්
කියා යන්නට කියා ආවෙ නෑ මළ ගෙදර.....
රුවන් බන්දුජීව
KAVI BOONDIYA | සැළලිහිණියෝ උඹට කොහොම සතුටක් ඇත් ද? - [රුවන් බන්දුජීව]
Posted by
BoondiOnLine
7.26.2011



