
දැනෙයි නම් ඔබට ඒ
ගොළු බවෙහි නිසල හඬ
වැලි මතින් සීරුවෙන් අඩි තබා
මේ නිහඬ වෙරළට එන්න
බිඳුණු බෙලි කටු ඇහිඳින්න
තිබෙයි නම් මඳ ඇසිල්ලක්
එන්න මෙතැනින් ඉඳගන්න
මේ වෙරළ ඔබ අද ඉන්න
වැලි බඳුව මිනිසුන් සැරුව
ලෝකයට සෙනෙහස බෙදුව
ගියේ හිත් වාවනු බැරුව
ගොළුව මේ නිදියන සයුර
රළ මතින් රළ බිඳ දැමුව
ගැඹුරු දිය කළඹා සැණින
මුතු ගෙනත් වෙරළත තැබුව
ඉඳහිටක අර කඳු මුදුන
විසූ දෙවිවරු මෙහි පැමිණ
තරු ගෙනෙන්නට දී පිළිණ
මුතු රැගෙන කඳු වෙත ඇදිණ
අහස වෙත නෙත් අයා සිටි මුත්
කිසිදාක තරු නොම ලදින්,
සොඳුරු වෙරළත ගිනි වැදිණ
සයුරු තෙර දියවර සිඳිණ
සුවහසක් ලේ බිඳු සැලී
තැබූ පිය සටහන් මැකිණ
ලියූ කව් ගී, ඇන්ද සිත්තම්
නොකියාම බොඳවී තිබිණ
ඉතිරි වී නම් යම් අයෙක්
සමු ගනුව වත් නොරැඳී ම
නිහඬවම නික්මී තිබිණ
දැන් ඉතිං මෙහි ඉඳගන්න
වැලි තලය මත වැතිරෙන්න
මුතු කඳුළු කැට වගුරන්න
දුක ම නම් ඔබ වැළපෙන්න
ඒ වුණත්,
මතකැතිව ඔබ නැගිටින්න
සැඟව ගිය කව් ඇහිඳින්න
මැකුණු පියවර සිප ගන්න
කවදාක හෝ මතුදාක,
ගොළු මුහුද රළ නංවන්න
නිහඬ වෙරළට පණ දෙන්න
2009 ඔක්තෝබර්
මාලතී කල්පනා ඇම්බ්රෝස්



