Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



අපේ බණ්ඩා මහත්තයා ගැන මටනම් ඇත්තේ කියාගත නොහැකි හැඟීමකි. ඒ කියාගත නොහැකිවූත්, හිත තු‍ළ තෙරපි තෙරපී තිබෙන හැඟීම එ‍‍ළිදරව් කිරීම සඳහා ඉන් අංශු මාත්‍රයක ප්‍රමාණයක් මෙසේ අකුරු කරමි. කාලිදාස සුළඟින් යැවූ පණිවිඩය යැවීමට මං වෙබ් අවකා‍‍‍‍‍ශය යොදා ගනිමි. එක අතකට බණ්ඩා මහත්තයා මගේ මහප්පෙකුට සමානය. මන්ද ඔහු අපිට තාත්තා කෙනෙකු තරම් වන නිසාය. ජෛව විද්‍යාත්මකව තාත්තා යැයි ඇමතීම කළ නොහැකි නිසා ඔහුට මම මහප්පා ලෙස ආමන්ත්‍රණය කරන්නේ ඒ ආදරය හා කියාගත නොහැකි හැඟීම් ගොන්න නිසාය.

රටේ හිටපු අ‍ධ්‍යාපනය කරවපු පුත්‍රයින්ට (විශේෂණ පද යෙදීම ගැන වගකීම මා දරන්නේ නැත) පින්සිද්ද වෙන්න දැන් ‍රටේ පුරවැසියන්ට තමන් උගෙනගත් දේට බිංදුවක්වත් නොගැලපෙන රස්සා වලට යන්නට සිදුව ඇත. හොඳටම දන්නා දෙයක් නම් ජපන් භෂාව විශේෂවේදි උපාධියට හැදෑරූ අයෙක් මේ වන විට දුම්රිය ස්ථානාධිපති පත්වීම් ලැබ සිටීමයි. ටිකට් දෙන්නට කවුන්ටරේ ඉන්න මේ මනුස්සයා එන එන හැම මනුස්සයාටම ජපන් භාෂාවෙන් කුණු කුණු ගා යමක් කියයි. මේ අතර අපේ හත්මුතු පරම්පරාවේ පිනකට පහළවූ බණ්ඩා මහප්පා දැන් විස්ව විද්‍යාලවල යන එවුන්ව රොක් කරන්නට සැ‍ර‍සේ. මගේ තාත්තාට කොතරම් පෙරැත්ත කරත් අරං නොදුන්නු දේ මගේ අතටම දෙන්න අලුත් මහප්පා ලෑස්ති වි ඇත. එනම් ලැප්ටොප් එකකි. ඒ මදිවට ඩොන්ගල් එකක් ද ලබාදෙන බව ඔහු පවසා ඇත. අධ්‍යාපනයට ආපු ලොක්කං අතර මෙතරම් නැණවත් තීරණයක් සී.ඩබ් ඩබ්. කන්නංගර උන්නැහැවත් ගත්තාදැයි සැක සහිතය.

ලැප්ටොප් එකක් හා ඩොන්ගල් එකක් අතැතිව රටක් රාජ්‍යයක් අත්පත් කරගත් ආකාරයෙන් ඉන්නා ආකාරය මා පහුගිය දවසක රාත්‍රියේ හීනෙන් ද දුටිමි. ලැප්ටොප් එක බස්එකේ යන‍කොටත් දිගහැර ගනිමි. එතකොට මං කැම්පස් එකෙක් බව හැමෝම දැනගෙන බස්‍ එකේ සියල්ලන්ගේ අවධානය මට යොමුවෙනු ඇත. ඒත් පොඩි ප්‍රශ්නයකට ඇත්තේ බස් එකේ යනකොට ලැප් දිගහැරගෙන කරන්නට දෙයක් මා මතක් කරගත යුතු වීමයි. මන්ද ලැප් එකයි, ඩොන්ගල් එකයි එක්ක පාළු තැන්වල කරන දේවල් විතරයි තාම මගේ හිතට ඇවිත් තියෙන්නේ. අපේ තාත්තාට බස් එකේ ලැප් එක අරං යන කතාව කිව්වම තාත්තා කියනවා "යකෝ අනිත් එකාගේ කර උඩ ද ඒක තියන්නේ" කියලා. පස්සේ මටත් හිතුණා ලැප් අරං දුන්නට පස්සේ ලංකාවේ බස් අයිතිකාරයෝයි, බස්වල යන අනිත් මිනිස්සුයි කොච්චර අපහසුතාවයට පත්වෙයිද කියලා.

ඔය එකේක හාල්පාරුවෝ මොන මොන ජඩ කතා කිව්වත් බණ්ඩා මහත්තයාගේ ලැප්ටොප් අදහස තමයි මෙතෙක් ලංකාවේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් වෙනුවෙන් කොරන්ට යන හොඳම වැඩේ. කැම්පස් යන්න ඉන්න කොල්ලෝ වශයෙන් අපිට ඒක කොච්චර වැදගත් වෙනවද? ඩොන්ගල් එක ගහලා ඉන්ටනෙට් කනෙක්ට් වුණාම අපිට තව මොනවද හම්බවෙන්න ඕන. සුරසැප වෙන කොහෙද?

බණ්ඩා මහප්පා කියන ‍ලොකුම දේ තමයි "අලුත් පරපුර දැනුමෙන් සන්නද්ධ කරනවා" කියන එක. ඒකට ඉතිං කරන්න තියෙන හොදම දේ තමයි උන්නැහැ කරලා තියෙන්නෙ. ලෝකේ තියෙන ඕනම ගැටලුවක් ගූගුල් යන්තරේ ටයිප් කරාම උත්තර ලක්ෂ ගාණක් තත්ත්පර ගාණක් ඇතුලෙ පෙන්නනවනේ. ඔය කඩ්ඩ ටිකක් පොලිෂ් කරගත්තනම් සියළු දේවල් සම්පූර්ණයි. හතලිහ පැනලා ඇමතිත් වෙලා ඔක්කෝම වැඩ අස්සේ කඩ්ඩ ගොඩදාගන්න බණ්ඩා මහප්පාට පු‍ළුවන්නම් මෙච්චර දේවල් ලැබිලා තියෙන එකේ ඕක හදාගන්න එක කජ්ජක් යැ. අනික ලංකාවේ කඩුකාරයෝ දන්නේ බාගෙට හින්දා අපි වුණත් දේවල් භාගෙට තේරුම්ගත්තත් හොඳටම ඇති.

අපේ මිනිස්සුන්ට කොච්චර කළත් වැඩක් නෑ. තාත්තා හරහට අහපු ප්‍රශ්නෙට පොඩි සද්දයක් දාලා පැත්තකට කරලා තිබ්බට පස්සේ තව ටික වෙලාවකින් අම්මා අහනවා "දැන් ඉතිං උඹ ඔය යන්තරෙත් අරං උපාධිය කරලා ආවට පස්සේ ඒකෙන් මොකද කරන්නේ?" කියලා‍. මගේ ඉතිං ඇගේ මාළු ග‍ඟේ නටනවා එහෙම නක්කලේට ප්‍රශ්න අහනකොට. දැනුමෙන් සන්නද්ධ වෙලා ගූගුල් එකත් අත ලඟතියාගෙන ඉන්න මිනිහෙක්ට ලෝකේ කරන්න බැරි මොනවද?

ඇත්තටම ලැප්ටොප් එකයි ඩොන්ගල් එකෙනුයි උපාධිය ගත්තට පස්සේ මොනවද කරන්න පු‍ලුවන්? මටත් ඒක ප්‍රශ්නයක්. ඒත් සමහර විට අපිට ඒවා එක්ක වැඩකරලා පුරුදු නැති නිසා ඒ දෙවල් දන්නේ නැතුව ඇති. අවුරුදු තුන හතරක් ලැපයි නෙටුයි සෙට් වුනාම ලෝකෙම අපි ලගට එන නිසා කරන්න ඕන තරං දේවල් තියෙයි. කලා උපාධිය ගහන අපිට අයි ටී ෆීල්ඩ් එකේ ජොබ් කරන්න බැරි වුනාට නවීන ලෝකෙත් එක්ක වැඩකරන්න මෙකෙන් පුරුදු වෙයි. ඇත්තටම එහෙම නවීන රාජ්‍ය හෝ පුද්ගලික ආයතන ලංකාවේ තියෙනවද? එහෙම ඒවාට අපිව ගනීවිද? උපතින් කඩ්ඩ කතා කරන එවුන් එක්ක ඒවට තරග කරන්න අපිට පුලුවන් වෙයිද? එහෙම නැත්තං අපේ ගම්වල තියෙන පොඩි ‍පොඩි තැන්වල හරි ආන්ඩුවේ ජොබ් හරි කරන්න චාන්ස් එකක් ලැබෙයිද? ඒ කරන වැඩ වලට ලැප් එකෙන් ප්‍රයෝජනයක් තියේවිද? මේ වගේ ගැටලු ගොඩාක් තිබුණත් ඒවට නියම උත්තර බණ්ඩා මහප්පා ළඟ තියෙනවා කියලා අපි දන්නවා. ඒක හින්දා ඔය මොන හාල්පාරුවා කියන කතාවක්වත් මම ගණන් ගන්නේ නැහැ. බණ්ඩා මහප්පා මට ගහක් ගලක් වගේ විශ්වාසයි.

තව ඉතිං වෙන මොනවද? ලැප් එකයි, ඩොන්ගල් එකයි!!!

ගෝරා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails