Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



The Japanese Wife සිනමා කෘතිය නැරඹූ මාගේ එක්තරා මිතුරියක පැවසූයේ "චිත්‍රපටිය ගැන කියන්නට තරම් දෙයක් තමන්ට නැති බව"ය. ඒ, චිත්‍රපටිය පිළිබඳ ඇයගේ අදහස වුවත් මට හැඟුණු/ හැඟෙන අයුරින් ඇය පැවසූයේ චිත්‍රපටිය පිළිබඳ අදහසකට වඩා චිත්‍රපටිය තුළ චලනය වන මිනිස් සබඳතා පිළිබඳ අදහසකි. එනම් The Japanese Wife චිත්‍රපටිය තුළ බොහෝ වශයෙන් චලනය වනුයේ මිනිස් සබඳතා මිස අනෙකක් නොවන අතර ම, මාගේ මිතුරිය ස්ත්‍රියක් වන බැවින් ද ඇයගේ බැල්ම නාභිගත වන්නේ මිනිස් සබඳතා අතරට වන බැවිනි. මාගේ මිතුරියට චිත්‍රපටිය පිළිබඳව අදහසක් නොමැති වූයේ (අදහසක් නොමැති වීම ද අදහසක් වුවත්) චිත්‍රපටිය තුළ පැල්මක්/ හිඩැසක්/ භාෂාවට නැඟිය නොහැකි ස්ථානයක් චිත්‍රපටිය තුළ නොමැති නිසාද? මක්නිසාද යත්, යමෙකුට යම් මිනිස් සම්බන්ධයක් ගැන කතා කිරීමට හැකිවන්නේ ඒ තුළ පැල්මක්/ හිඩැසක් ඇත්නම් පමණි. එනම් ඕනැම භාෂාවක්/ යථාර්ථයක් සජීවීව පවතිනුයේ එම භාෂාවෙන් එපිට අර්ථ යන්වා ගත නොහැක්කක් තිබුණහොත් පමණක් වන බැවිණි. එය එසේ වනුයේ භාෂාවෙහි උත්සාහය වනුයේ එම අර්ථ ගන්වා ගත නොහැකි දෙය අර්ථ ගන්වා ගැනීමේ ගුණයක් භාෂාව තුළ නෛසර්ගිකවම පවතින බැවිණි. අනෙක් අතට The Japanese Wife චිත්‍රපටිය තුළ ඇත්තේ රමණීය/සුන්දර ප්‍රේම කාවය්‍යයක් යැයි පවසන අදහස් තුළ ද ඇත්තේ මෙවැනිම ගැටළුවකි. එනම් එම රමණීයත්වයට එපිටින් එම රමණීයත්වය දෙපළු කරවන, දර්ශනය කරවන හිඩැසක්/පැල්මක් චිත්‍රපටිය තුළ නොමැතිද? චිත්‍රපටිය නැරඹූ විගස මා තුළ ඇතිවූ මූලික ගැටළුව වූයේ ස්නෙහමෝයි සහ මියාගි අතර සම්බන්ධය හමුවීමක් නොමැතිව කෙළවර වූයේ ඇයිද යන්නය. (චිත්‍රපටය තුළ දර්ශනය කරවන මූලික හිඩැස මෙය වන බවයි මාගේ අදහස) මෙතැන් සිට මෙම ලියවිල්ල දිග හැරෙනුයේ මෙම කේන්ද්‍රීය ගැටළුවට යම් පිළිතුරක් සපයා ගැනීමය.


චිත්‍රපටය සම්පූර්ණ වශයෙන් චලනය වනුයේ ස්නෙහමෝයි උසස් අධ්‍යාපනය ලබන තරුණ අවධියේදී මියාගි නම් ජපන් තරුණියක් සමග ඇති කරගන්නා පෑනේ මිත්‍රත්වයක් වසර 15 ක පමණ කාලයක් ඔවුනොවුන් එකිනෙකා හමු නොවී චලනය වන සිද්ධි දාමයකිනි. එනම් නූතනත්වය/ දේශීයත්වය ඉක්මවාලමින් සිටින කල්කටාව නම් නාගරිකත්වයේ සිට එම නාගරිකත්වය සුන්දර්බාන් තුළ දිවි ගෙවමින් වඩ වඩා පසුකරමින් සිටින ස්නෙහමෝයි ගේ ජීවන විලාශය යි. පෑනේ මිත්‍රත්වයෙන් අරඹන ස්නෙහමෝයි - මියාගි සම්බන්ධය පසුව එකිනෙකා හමුනොවී එය විවාහයක් බවට ද පත්වන නමුත් ඔවුන්ගේ සම්බන්ධය කිසිදු හමුවීමක් නොමැතිව කෙළවර වේ. ජාති/ආගම්/ කුල ආදී විවිධ සීමාකම් පවතින සුන්දර්බන් නම් ගම තුළ චලනය වන ස්නෙහමෝයිගේ ජාති/ ආගම්/ කුළ අදී විවිධ සීමාවන් ඔබ්බෙන් පවතින ජීවන විලාශයත්, ස්නෙහමෝයි - මියාගි අතර සම්බන්ධය කිසිදු හමුවීමක් නොමැතිව කෙළවර වීමත් අතර ඇති සම්බන්ධය කුමක්ද?

ස්නෙහමෝයි - මියාගි සම්බන්ධය දේශාපලන ආර්ථීක සන්දර්භය තුළ

ලෙනින් පැවසූයේ අධිරාජ්‍යවාදය යනු ධනවාදයේ අවසන් අදියර බවයි. එහි අදහස වන්නේ ප්‍රාග්ධනය දේශීය/ ජාතික/ ආගමික ආදී විවිධ සීමාවන් තරණය කරමින් සකළ ස්ථානයන් කරා ප්‍රසාරණය වෙමින් අපගේ ජන ජීවිතය වඩ වඩා පාලනය කරන බවය. ගෝලීය මූල්‍ය ආයතනයන් හි මෙන්ම බහු ජාතික සමාගම් හි උප්පත්තිය ඇත්තේ මෙහිය. ලෙනින් ගේ මෙම අදහසට නව අදහසක් එක් කරමින් අයිජාස් අහමඩ් නමැති පෙරදිග චින්තකයා පවසනුයේ ප්‍රාග්ධනය එසේ සියලු සීමා තරණය කරමින් සිටිනවා වූවද, මිනිස් ශ්‍රමය වඩ වඩා දේශීය/ ජාතික සීමාවන් තුළ ස්ථානගත කරවන බවයි. එනම් ප්‍රාග්ධනය වඩ වඩා ප්‍රවේගවත්ව සියලු සීමාවන් තරණය කරමින් සිටිනවා වුවත් මිනිස් ශ්‍රමය වඩ වඩා දේශීයත්වයන් තුළ, ජාතිකත්වයන් තුළ මන්දගාමී කරන බවයි ඔහුගේ අදහස. එය එසේ සිදුවනුයේ ප්‍රාග්ධනයේ තර්කනයට (සියලු සීමාවන් තරණය කිරීමේ තර්කනය) අත්‍යාවශ්‍ය නිසා මිස මිනිස් ශ්‍රමය නෛසර්ගිකවම මන්දගාමී මුහුණුවරක් උසුලන නිසා නොවේ. එනම් වෘත්තීයව හෝ අධ්‍යාපනිකව හෝ ස්ථීර පදිංච් වීම් සඳහා ජාතික/ දේශීය තලයන් තරණය කරන්නට මිනිස් ශ්‍රමයට හැකි වුවත්, එම තරණය කිරීම් සීමා කරනුයේද එම ජාත්‍යන්තරයන් විසින්ම ය. ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ගෝලීය මූල්‍ය ආයතන බොහෝ රාජ්‍යයන්ට දේශීය ව්‍යාපෘථීන් සඳහා මූල්‍යධාර ලබා දෙනුයේත්, ඒවා ක්‍රියාත්මක කිරීමට එම රාජ්‍යයන්ට බල කරනුයේත් මේ නිසාමය. මිනිස් ශ්‍රමය මෙසේ මන්දගාමී වුවත් මිනිස් චින්තනය වඩ වඩා දේශීය/ ජාතික සීමාවන් තරණය කිරීමක් මේ ප්‍රාග්ධනයේ තර්කනය ඔස්සේම අපට දැක ගත හැකිය. වර්තමානය වන විට එය ප්‍රවේගවත් වී ඇති අතර මිනිස් සබඳතා ද මෙම තර්කණයට සමගාමීව ක්‍රියාත්මක වෙයි. අන්තර්ජාල සබඳතා, විද්‍යුත් තැපල් සබඳතා, දුරකථන සබඳතා මිනිස් සබඳතාවයන් බවට පත්වී ඇත.


අයිජාස් අහමඩ්ගේ ඉහත ප්‍රවාදය තුළින් අපි දැන් ස්නෙහමෝයි - මියාගි සම්බන්ධය කියවමු.

ස්නෙහමෝයි - මියාගි පෑනේ මිත්‍රත්වය යනු ස්නෙහමෝයි පාර්ශවයෙන් කල්කටාව නම් ප්‍රාදේශීයත්වය ඉක්මවූ ආදරයේ ආරම්භක මොහොතය. (ඔවුන් මිත්‍රත්වය ඇරඹෙන්නේ ගෝලීය සඟරාවක් මාධ්‍ය කොටගෙනය) ස්නෙහමෝයි - මියාගි අතර ලිපි, දුරකථන පණිවුඩ හුවමාරු වුවත් එනම්, ඔවුන්ගේ සම්බන්ධය දේශීයත්වය, ජාතිකත්වය ඉක්මවාලූවත් චිත්‍රපටිය තුළ ස්නෙහමෝයි පාර්ශවයෙන් අපට පැහැදිළිවම පෙනී යන්නේ ඔහුගේ ඉඳීම වඩ වඩා දේශීයත්වය තුළ, ප්‍රාදේශීයත්වය තුළ ස්ථානගත කරවන බවයි. ඒ අනුව දිනෙන් දින ව්‍යාප්ත වන ගෝලීය ධනවාදයෙහි චින්තන ආර්ථීකය දිගේ වඩ වඩා යමින් ස්නෙහමෝයි සිය ප්‍රාදේශීයත්වය තරණය කළ ද, ඔහුගේ ශාරීරික ඉඳීම (ශාරීරික ශ්‍රමය) වඩ වඩා දේශීයත්වය තුළ, ජාතිකත්වය තුළ ස්ථානගත කරවයි. මෙම සන්දර්භය තුළ සූරාකෑම ක්‍රියාත්මක වනුයේ කිසිදු විරෝධයක් නොමැතිව වන අතර ප්‍රාදේශීයත්වය ශාරීරිකව තරණය කළ නොහැකි ස්නෙහමෝයි ගෝලීය දුරකථන සමාගම්වලට තමාගේ ශ්‍රමයට ලැබෙන වැටුපෙන් (ගුරුවරයෙකු වශයෙන් වැය කරන ශ්‍රමයට ලැබෙන වැටුපෙන්) ගෙවයි.

ස්නෙහමෝයි - මියාගි අතර සම්බන්ධය මානසික සන්දර්භය තුළ


ස්නෙහමෝයි ලිපි වලින් මෙන්ම දුරකථන පණිවුඩ වලින්ද සෑම විටම මියාගිට තමාව හඳුන්වාදෙනු ලබන්නේ "මම ඔබේ ස්වාමියා" යනුවෙනුයි. චිත්‍රපටියේ කුමන අවස්ථාවක දී හෝ තම නොදුටු බිරිඳව හුම වීමට කිසිදු උත්සාහයක් නොදරන ස්නෙහමෝයිගේ මෙම තමාවම හඳුන්වාදීම අප වටහා ගත යුත්තේ කෙසේද? ආදර සම්බන්ධයකදී ඕනෑම අයෙක් අනෙකා වෙත ඇතුළු වනුයේ තමන්ගේ කාංසාබරිත අඩුව හෙවත් හිස්තැන අනෙකා වෙතට ප්‍රක්ෂේපණය කරමිනි. ඒ අනුව ඔහුගේ පැත්තෙන් ඔහු ඇය දකිනුයේ එම හිස්තැන තුලින් මිස ඊට පිටතින් නොවේ. ඉන් පසු ඇයගේ කාර්යය බවට පත් වනුයේ තමන් වෙත ප්‍රක්ෂේපිත ඔහුගේ අඩුව වෙත වඩ වඩා ඇතුළු වීම හෙවත් ඔහුගේ අඩුව වඩ වඩා හොඳින් පිරවීමය. නමුත් තමන් අමතනුයේ මියාගිට යැයි හොඳාකාරවම දැන දැන "මම ඔබේ ස්වාමියා" යනුවෙන් පවසනුයේ මියාගිට ප්‍රක්ෂේපණය කළ ස්වකීය අඩුව වෙත අයට ඇතුළු වීමට ඉඩ නොදී/ පමා කරමින්/ හමු නොවී තමන් විසින් එම අඩුව පිරවීමක් ය. එනම් මියාගි සත්‍ය වශයෙන්ම බිරිඳ වීම වෙනුවට "මම ඔබේ ස්වාමියා" යනුවෙන් පැවසීමෙන් ස්නෙහමෝයි එම අඩුව ඔහු පුරවා ගනී. වෙනත් අකාරයකට පවසන්නේ නම් "මම ඔබේ ස්වාමියා" යනුවෙන් පවසන වාක්‍ය ස්නෙහමෝයිගේ ද දෙසවන් තුළට ඇතුළු වන නිසා තමන් සත්‍ය වශයෙන්ම මියාගිගේ ස්වාමියා යැයි ඔහුට හැඟේ. මෙම තත්ත්වය තුළ ස්නෙහමෝයි තුළින් අපට දැක ගත හැකි වන්නේ මියාගි වෙත ප්‍රක්ෂේපණය කළ ස්වකීය අඩුව තුළට ඇතුළ වීමට ඉඩ දෙන, තමන්ගේ අඩුව පිරවීමට ඇයට ඉඩ දෙන වෙහෙසෙන්නෙකු වෙනුවට අධිකතර වශයෙන් ස්වකීය අඩුව වෙත ඇයගේ ඇතුළු වීම වඩ වඩා පමා කරන, තමන්ගේ අඩුව පිරවීමට ඇයට ඉඩ දීම පමා කිරීමට දරන වෙහෙසෙන්නෙකුය.


අනෙක් අතට ඕනෑම ස්ත්‍රියක් තමන් යම් පිරිමියෙකුගේ ආශාවේ වස්තුවක් බැව් දැනගත් සැනින් ඇයගේ උත්සාහය වනුයේ ඔහුගේ ආශාවේ වස්තුවට වඩා වස්තුවක් වීමට ය. එනම් ඔහු වටා සිටින සියළු ස්ත්‍රීන්ට වඩා ස්ත්‍රියක් වීමට ය. The Japanese Wife චිත්‍රපටිය පසු ආවර්තිතව කියවීමෙන් මෙය වඩා හොඳින් වටහා ගත හැකිය. ස්නෙහමෝයි මිය ගියාට පසු මියාගි බෙංගාලය වෙත ඇතුළු වනුයේ ස්වකීය ස්වාමියා මියගිය පසු සිටින බෙංගාල ස්ත්‍රියගේ විලාශයට වඩා විලාශයෙනි. එනම් සාම්ප්‍රදායික වැන්දඹුවන් වළලු නොපැළඳීම සිරිතක් වුවත් මියාගි හිස බූ ගා, සුදු සාරිය හැඳ වළලු පැළඳීම එම ස්ත්‍රියට වඩා ස්ත්‍රියගේ විලාශය පෙන්වන අවස්ථාවයි. කොටින්ම මෙම අවස්ථාවේ මියාගි යනු බෙංගාල වැන්දඹුවට වඩා වැන්දඹුවකි. එබැවින් ජාතික/ ආගමික/ ප්‍රාදේශීය සීමාවන් තරණය කරමින් ස්නෙහමෝයිගේ සදාතනික අඩුව/ හිස්තැන ජපානය කරා ප්‍රක්ෂේපණය වුව ද එය තුළට ඇතුළු වීම මියාගිට ඉඩ නොදෙමින්, එය වඩ වඩා පමා කරනුයේ මියාගි ස්වකීය අඩුව වෙත ඇතුළු වෙමින් එය ජාතික/ ආගමික/ කුල/ ප්‍රාදේශික යනාදී සීමා කිරීමක් බවට පත් කරනු ඇතැයි ස්නෙහමෝය තුළ ආත්මීය බියක් පැවති නිසා නොවේද? නොඑසේ නම් ඔහු එය කළින් දුටු නිසා නොවේද?

ඒ අනුව ස්නෙහමෝයි සම්බන්ධයෙන් අපට දැන් මෙවැන්නක් පැවසිය හැකිය. එනම් ස්වකීය අඩුව වෙත ඇතුළු වීමට නොදී, එය වඩ වඩා පමා කරනුයේ තමන්ම ඊට බාධාවක් වෙමිනි. වෙනත් අකාරයකට එය මෙසේ ය. එනම්, මියාගිගෙන් තම අඩුව පුරවා ගැනීමට නොහැකි වීමේ, තම අඩුව වෙත ඇතුළු නොවීමේ, සරල ලෙස ආදරය වඩ වඩා අහිමි වීමේ වේදනාව උදෙසා (වේදනාව නම් අතිරික්තය උදෙසා) තමන් තමන්වම සූරාකමින් සිටිනා බවයි. The Japanese Wife හි ස්නෙහමෝයි තුලින් අප දිගින් දිගටම දකිනුයේ තමන් විසින් ම උපදවා ගන්නා මෙම වේදනාත්මක අතිරික්තයෙන් වඩ වඩා තෘප්ත වන්නෙකු නොවේද?

මේ අනුව දේශපාලන ආර්ථීක සන්දර්භය තුළ ස්නෙහමෝයි වඩ වඩා ඉඳීමක් අපේක‍ෂා කරනුයේ (ශාරීරිකව) ජාතික/ ආගමික/ ප්‍රාදේශික සීමාවන් තුළ වුවත්, මානසික සන්දර්භය තුළ ඔහු වඩ වඩා අපේක‍ෂා කරනුයේ ජාතික/ ආගමික/ ප්‍රාදේශික සීමාවන්ගෙන් වඩ වඩා ගැලවීමට (මෝෂිට හා සන්ධ්‍යාට වඩා ජාතික වන්නට නියමිත, ප්‍රාදේශීය වන්නට නියමිත, වැන්දඹු වන්නට නියමිත, ප්‍රත්ෙක‍ෂ්පිත තම අඩුව වෙත මියාගිගේ වඩ වඩා ඇතුළු වීම නම් සිදුවීම වඩ වඩා පමා කිරීමය) ය.


ගෝලීය සන්දර්භය තුළ ස්ත්‍රිය වැන්දඹු වීම පිළිබඳ

නූතනත්වය තුළ ස්ත්‍රිය වැන්දඹු වූයේ ඔවුන්ගේ ආදර පිරිමින් ජාතික/ ආගමික/ ප්‍රාදේශික ගැටුම් වලට මැදි වීමෙනි. ලෙඩ, දුක්, වසංගත වලට හසු වීමෙනි. නොඑසේනම්, සතුරු යුධ පෙරමුණු ඉදිරියේ මිය යෑමෙනි. එහිදී ඔවුන්ගේ මිය යෑමේ 'හේතුව' අපට දැක ගත හැකි වුවත්, ඊට හේතුව ඇත්තේ පිටත යැයි සාක්ෂාත් වුවත්, ජාතිකත්වය, ප්‍රාදේශියත්වය, නූතනත්වය ඉක්මවූ වත්මන් සන්දර්භය තුළ ස්තීන් වැන්දඹු වනුයේ/ වැන්දඹු වීමට නියමිත වනුයේ ඔවුන්ගේ ආදර පිරිමින් විසින් තමන්ගේ සතුරා බවට තමන්වම පත් කරගන්නා තත්ත්වයකිනි. එනම් ඩ්‍රැකියුලා තම ගොදුර අන්තිම ලේ බිඳුව තෙක් උරා බොන ආකාරයෙන් තමන් තමන්වම අන්තිම සාරය දක්වා වෙහෙස නොබලා සූරාකමිනි.

The Japanese Wife හි ද්විත්ව සන්දර්භය තුළින් මතුවන චලනය මෙයාකාරයි නම් The Japanese Wife පිළිබඳ තමන්ට කිසිවක් ප්‍රකාශ කරන්නට දෙයක් නැතැයි පවසන්නේත්, එය අතිශය රමණීය/ සුන්දර ප්‍රේම කාව්‍යයක් යැයි පවසන්නේත් The Japanese Wife තුළින් හොඳාකාරවම පෙනෙන පරතරය (මියාගිව හමුනොවී එය පමා කිරීමට ගන්නා උත්සාහය) ස්නෙහමෝයි - මියාගි අතර වූ සදාතනික පරතරය) නොදුටුවා සේ අතහැර දමා යන්නේ ඇත්ත වශයෙන්ම ඔවුන් එය නොදුටු නිසාද? නැතිනම් ඔවුන් එය හොඳාකාරවම දැක දැක නොදුටුවා සේ යමින් සිටින නිසාද? (එහෙම ඉන්න එක මේ යුගයේ සැප පහසුම ඉඳීම බවට පත්ව ඇති නිසාද?) මක්නිසාද යත් අප සියල්ලන්ද ජාතික/ ආගමික/ ප්‍රාදේශීය සීමාවන් තරණය කරමින් සිටින බැවිණි. එබැවින් හිස්තැන්, පරතර අත්හැර යමින් ඊට හේතු දක්වන අදහස් තුළ ඇත්තේ කුහකත්වයක් නොවේද?



ප්‍රභාත් හේමන්ත කුමාර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails