Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



තම දෙවැනි කාව්‍ය සංග්‍රහය සඳහා ඉසුරු චාමර සෝමවීර බැවහර කරන නම තාණ්ඩවයි. ඒ දළ, රළු සහ වේගවත් අංග චලනයෙන් යුතු පුරුෂ නර්තනයට අදාළ ඉසියුම් ගතිකයන් හැඟවුම් කිරීම සඳහා නර්තන සම්ප්‍රදාය තුළ භාවිත වන්නකි. ඉන් ප්‍රතිවිරුද්ධ ලක්ෂණයන්ගෙන් යුතු ස්ත්‍රී නර්තනය තුළ ඇති සියුම්කම හැඟවුම් කැරෙන්නේ ලාස්‍ය යන වදනිණි. ඉසුරුගේ පොතේ නම තාණ්ඩව වුවද එහි එන නිර්මාණයන් තුළින් බැලූ බැල්මට දිස්වන්නේ ලාස්‍යයට හිමි සියුම් ලක්ෂණයන්ය. ඔහුගේ කවිය ගලායන්නේත් එය අත්පත් කරගන්නේත් එකී ලාස්‍යයට අයත් රිද්මයයි. එසේ නම් මේ පොත සඳහා තාණ්ඩව යන නම යෙදීම අර්ථවත් වන්නේ කෙසේද? සැබැවින්ම එය සොයා ගැනීම සඳහා ඔහුගේ පොතෙහි මුද්‍රිත අක්ෂරයන්හි එන පඨිතමය අර්ථයන් ඉක්මවමින් එහි සියුම් තැන් හඳුනා ගැනීමට සහෘදයා ඉවසිලිමත් විය යුතුය.

උඩු තොලෙහි ඩහ බිඳු නැඟි
කළු කෙසඟ කෙල්ලන් දකිද්දී
තවමත්...
තිගැස්සෙනවා මගෙ හිත

වරදක් වුණා ඇත්තයි
මතකද ඒ දවස්වල
උහුලන්න බැරි හීතල
විසාලෙට පායපු හඳ

සිවි පැහැය රන්වන්
සම කුල මගෙ කුමාරි
යුගල යහනෙහි
තනිවම ගැඹුරු නින්දක

සිහිනෙන් දකිනවා ඇති ඇය
පැටියෙකු තුරුලු කර
නැඟ මැදුරු මතු මහලට
පහළ සිරි නරඹන හැටි

ඉඳහිට දැනුත් එබෙනවා
ඒ විසල් හඳ
කවුළුවෙන් කුටියට
අරගෙන සොහොන් පාළුව


තාණ්ඩව කාව්‍ය සංග්‍රහයේ එන ‘කුවේණි මට සමාවෙයන්’ නම් මේ නිර්මාණයෙහි පඨිතමය අර්ථය තුළ බැලූ බැල්මට ගලා යන්නේ කුවේණිය අතහැර සමකුල කුමරියක පාවාගත් විජයගේ හෘදය සාක්ෂියයි. නො එසේ නම් තම අතීතය සිහිවන විට ඔහු තුළ මතුවන අසීමිත පශ්චාත්තාපයයි. එසේ නමුත් එකී සංයුක්ත පුවත තුළ තම නිර්මාණයෙහි පඨිතමය අර්ථය පවා සිරකර තැබීමට කවියා සූදානම් නැත. එය එකී ඓතිහාසික හා සමාජ වපසරියෙන් උගුලා අද්‍යතන ලෝකයේ දිවි ගෙවන මානව මානවිකාවන්ගේ හෘදය සාක්ෂියද ඒ තුළ හකුළා දැක්වීමට කවියා යුහුසුලුවන්නේ එහෙයිනි. පුරුෂෝත්තමවාදී සමාජ ව්‍යුහයක් තුළ සමස්ත පුරුෂයා සතු හෘදය සාක්ෂිය ද සමස්ත ස්ත්‍රිය අත්විඳින අනවරත ඛේදවාචකය ද කවිය තුළ එකිනෙක පරයමින් ඉස්මතු වේ.

ඉඳහිට දැනුත් එබෙනවා
ඒ විසල් හඳ
කවුළුවෙන් කුටියට
අරගෙන සොහොන් පාළුව


නම් පද්‍ය ඛණ්ඩය තුළ කවියා හකුළා දක්වන්නේ එකී අර්ථයයි. නොඑසේ නම් එකී අර්ථය අත්පත් කරගැනීම සඳහා පාඨකයා පොළඹන ප්‍රධාන ප්‍රවේශ දොරටුව එකී පද්‍ය ඛණ්ඩයයි. ඒ විසල් හඳ තවමත් එබීම තුළ නිරූපණය වන්නේ ඓතිහාසික වශයෙන් කොතරම් පරිණාමයට පත්වුවද මානව චිත්ත සන්තානය, සමාජමය කථීකාවන් විසින් නිර්මිත ස්ත්‍රිය පිළිබඳ දෘෂ්ටිවාදයෙන් සහ එකී කඩතුරාවෙන් වැසී ඇති හෘදය සාක්ෂිය පිළිබඳ ගැටුමයි.

ස්මෘතිය නම් වූ ඒ විසල් හඳ එබෙන කවුළුව අන් කවරක්වත් නොව යම් යම් දේ දැකීම සඳහා සංස්කෘතිය විසින් නිර්මිත සංස්කෘතිමය කවුළුවයි. කුටිය වනාහි හෘදය සාක්ෂියයි.

කුවේණි මට සමාවෙයන් නම් තම නිර්මාණය සමස්තාර්ථය යටකී අරුත තුළ ගොනුකර තම තේමාත්මක ලුහුබැඳීම එතැනින් නතර කිරීමටද කවියා සූදානම් නැත. ඉනිදු නොනැවතෙන ඔහු තම නිර්මාණය තුළ ඇති සංකේතමය අරුත ලිහාගැනීම තුළ තමන් හැඟවුම් කරනා තේමාත්මක අර්ථයට තවත් මානයක් ලබාදීම සඳහා ඉවසිලිවන්ත සහෘදයා සඳහා තම නිර්මාණය තුළ තවත් ප්‍රවේශ දොරටු විවර කරයි.

උඩු තොලේ ඩහ බිඳු නැගි
කළු කෙසඟ කෙල්ලන් දකිද්දී
තවමත්...
තිගැස්සෙනවා මගේ හිත


යන්නෙහි එන කළු බව හා කෙසඟ බව තුළින් අද්‍යතන සිංහල සමාජයේ සංස්කෘතික මනස තුළ ඇති සංකල්පමය නැමියාවන් ප්‍රශ්න කිරීමට කවියා සමත් වේ. එකී සංස්කෘතිකමය බැවහරය තුළ කළු බවට සහ කෙසඟ බවට හිමි ඇගැයුම් ස්ථීතික වේ. ඊට අනුව කළු බව සහ කෙසඟ බව යනු දුප්පතාට මිස පොහොසතාට අයිති ලක්ෂණයක් නොවේ. දෙමළාට මිස සිංහලයාට අයිති ලක්ෂණයක් නොවේ. එකී කළු බව හා කෙට්ටු බව අශිෂ්ටයාට මිස ශිෂ්ටයාට හිමි ලක්ෂණයක් ලෙස පරිකල්පනය කිරීමට එකී සංස්කෘතිකමය මනස තුළ ඉඩ ප්‍රස්ථා නැත. දෙමළ මිනිසකු පරිකල්පනය කරන කුඩා දරුවකුට පවා ඔහු සාපේක්ෂ වශයෙන් සුදු (තළෙළු) මිනිසකු විය හැකියැ’යි පරිකල්පනය කිරීමට ඔහුගේ මනස තුළ ගොඩනැගී ඇති කථීකාමය දෘෂ්ටිවාදයන් ඉඩ සලසන්නේ නැත. දුප්පතකු පරිකල්පනය කරන විට ඔහු සුදු උස මහත පිරුණු කෙනෙකි’යි මොහොතකුදු පරිකල්පනය නොවේ. ‘උඩුතොලේ දහබිඳු නැගීම’ ඇය සතු අසරණභාවය සහ වහල්භාවය ඉස්මතු කිරීමට තවදුරටත් ඉවහල් වේ.

එසේ නම් මේ පද්‍යයෙහි දෙවැනි ඛණ්ඩය තුළ සඳහන් ඔහුගේ සිතේ තිගැස්ම තුළින් කවියා හැඟවුම් කරන්නේ කුමක්ද? ඔහු තුළ මේ තිගැස්ම ඇතිවන්නේ තමතින් සිදුවුණ වරද සිහිවීමෙන්ද? නොඑසේ නම් ඇයට ලබාදී ඇති මේ අන්‍යත්වය තමන් තවදුරටත් නොඉවසන හෙයින්ද? ‘තවමත්’ යන්න වෙනම ගෙන තිබීම තුළ සියුම් උත්ප්‍රාසයක් මතුකිරීමට කවියා දක්වන සවිඥානික චාතූර්යය ප්‍රසංශනීය වේ. ලෝකය මෙතරම් ඉදිරියට ගොස් තිබියදී මතවාදීමය වශයෙන් තවමත් එකතැන පල්වන්නකුගේ හෘදය සාක්ෂියේ බර දැක්වීමට එකී උපක්‍රමය පිටිවහල් සපයයි. නොඑසේ නම් අද්‍යතන ශ්‍රී ලාංකීය සමාජය අත්පත් කරගන්නා චින්තනමය සහ මතවාදීමය දරිද්‍රතාව ඉස්මතු කිරීමට එය ප්‍රබල උපක්‍රමයක් වේ.

කුවේණිය යන්න පශ්චාත් යුද ශ්‍රී ලංකාවේ වෙසෙන දෙමළ තරුණියක ලෙස පරිකල්පනය කර බැලුවහොත් (එය කවියේ මතුපිට අර්ථයෙන් සියයට සියයක් නොගැළපෙන බව සැබවි. නමුත් ස්ත්‍රිත්වය සහ සංස්කෘතිමය අන්‍යත්වය අතින් ඇය ස්ථානගත වන්නා වූ ස්ථානය විජය ඇතුළු ආර්යය පිරිස විසින් කුවේණිය ස්ථානගත කළ ආස්ථානයම හාත්පසින් විපරීත නැත.) තවමත් යන්න තුළින් කවිය හඟවන්නේ යුද්ධය අහවර වූ පසුවවත් එකී සංකල්පයන් අත්හැර ගැනීමට නොහැකි ශ්‍රී ලාංකික සංස්කෘතික මනස තුළ පවත්නා බෙලහීනභාවය පිළිබඳ උත්ප්‍රාසයද?

සංස්කෘතිමය වශයෙන් අන්‍යත්වයට පත්වූ ඇයට කවර වරදක් තම'තින් සිදුවුවද ඒ සඳහා අව්‍යාජ ලෙස සමාව ගැනීමට ඔහු සතු අධිකාරී ආත්මීය මනස ඉඩ නොදේ. වරදක් වුණා ඇත්තයි කියා මතුපිිටින් පවසා තම දෑත් පිසදා ගැනීමට ඔහු පෙළැඹෙන්නේ එහෙයිනි.

සිවි පැහැය රන්වන්
සම කුල මගෙ කුමාරි
යුගල යහනෙහි
තනිවම ගැඹුරු නින්දක


ඇයට ‘කුවේණිය’ ලෙස අමතන ඔහු සිවිපැහැය රන්වන් සමකුල බිරිඳට ‘මගේ කුමාරි‘ ලෙස අමතයි. ඔහුගේ සංස්කෘතිකමය ලෝකය තුළ කුමරියක වීමේ හැකියාවක් කුවේණියකට නම් කවරදාවත් හිමිවේද?

සිහිනෙන් දකිනවා ඇති ඇය
පැටියකු තුරුලු කර
නැඟ මැදුරු මතු මහලට
පහළ සිරි නරඹන හැටි


සමකුල කුමරිය සිහිනෙන් පවා දකින්නේ මතුමහලට නැගී පහළ සිරි නරඹන හැටිය. තමන් අත්පත් කරගෙන සිටින ආර්ථීකමය, සංස්කෘතිකමය සහ සමාජමය මතු මහල තුළට හැමවිටම අන්‍යත්වය පෙනෙන්නේ පහළ දෙයක් ලෙස පහළිනි. ඇය දකිනා සිහිනය කුවේණිය හමුවේ හෙළි කිරීම, සමකුල කුමරියක වන ඇය ඉන්නා තැන කුවේණිය නම සිහිපත් කිරීම සහ අඩුම තරමේ එවැනි ‘සිහිනයක්වත්’ දැකීමට තම ආත්මීයත්වය තුළ කුවේණියට ඉඩක් විවර නොවන බව අවධාරණය කරයි.

ඉඳහිට දැනුත් එබෙනවා
ඒ විසල් හඳ
කවුළුවෙන් කුටියට
අරගෙන සොහොන් පාළුව


මේ ගලා එන්නා වූ පාළුව එක්තරා අතකට තම හදවත තුළ ඇති දුකක් නිසා හෝ ආදරයක් නිසා ඇතිවන්නක් නොව, තම සංකල්පමය අධිරාජ්‍යය හෙවත් සංස්කෘතික ආත්ම කේන්ද්‍රීයත්වය තුළින් අන්‍යත්වය මිහිදන් කරනු ලැබුවා වූ සොහොනින් ගලා එන්නා වූ හෘදය සාක්ෂිමය කාන්සිය වේ.

තම කවිය තුළින් අත්පත් කරගැනීමට උත්සාහ කරන තේමාත්මක ලුහුබැඳීම සඳහා විජය සහ කුවේණිය කතා පුවත පදනමක් කොට තිබීම තවත් අතකින් කවියා සතු ඉසියුම් පරිකල්පනය සහ ප්‍රතිභානය තවදුරටත් විශද කරයි. මන්දයත් හිස බූගා රටින් පිටුවහල් කරන ලද චෞරත්වය සහ සල්ලාලත්වය යටපත් කරමින් විජය සතු සිවි පැහැය රන්වන් (?) ආරිය බව පමණක් උත්කර්ෂයට නංවමින්, එයම හිසමත තබාගෙන දිවිහරින ඔහුගේ මී මුණුබුරු අද්‍යතන ශ්‍රී ලාංකීය පරම්පරාවට සහ ඔවුන් සතු ආත්මීයත්වයට ඉන් ලබාදිය හැකි උත්ප්‍රාසාත්මක අතුල්පහර අතිවිශිෂ්ට වන හෙයිනි.

ඒ ඉසුරු චාමර සෝමවීරගේ පොතෙහි එන එක් කවියක් වන කුවේණි මට සමාවෙයන් නම් නිර්මාණයේ මූලික හැඩරුවයි. ඔහුගේ සමස්ත කවිය තේරුම් ගැනීමට එම කවිය තුළ ඔහු දක්වන ප්‍රතිභාගය හා චාතූර්යය පමණක් වුව ප්‍රමාණවත් වේ. ඔහුගේ නිර්මාණයන්හි පඨිතමය අරුත අත්පත් කරගන්නා ලාසස තුළින් තාණ්ඩවත් සොයා යෑමේදී තම කවිය පිළිබඳ ඉවසිලිසහගත කියැවීමක් කවිය, විසින් සහෘදයාගෙන් බලාපොරොත්තු වේ. මන්ද ඔහුගේ කවිය ගලා යන්නේ පඨිතමය ලාස්‍යය සහ ව්‍යංග්‍යාත්මක තාණ්ඩව ලක්ෂණයන්හි ගැටුම තුළින් මතුවන්නා වූ සැබෑ සමෝධානයෙනි. සැබැවින්ම ඔහුගේ කවිය පරිසමාප්තියට පත් කරනුයේ එකී දයලෙක්තිකයයි.

ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails