Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



යොවුන් සාහිත්‍ය දරුවකුගේ පෞරුෂ වර්ධන කාර්යයේදී ප්‍රබල දායකත්වයක් සපයනු ලබයි. එනම් දරුවාගේ චින්තන, වින්දන ශක්තිය අවුලුවාලන්නට උසස් යොවුන් සාහිත්‍ය කෘතියකින් ලැබෙන පිටු බලය සුඟ පටු නොවේ. තතු එසේ වුවද ශ්‍රී ලංකාව තුළ ඊට වෙන්වන ඉඩහසර පිළිබඳව සතුටු විය නොහැකිය. හාත්පස වැඩෙන ගොරතර විභාග තරගයට ඇද දමා ඇති දරුවාට යොවුන් සාහිත්‍ය කෘතියක් රැගෙන දෙනු වෙනුවට විභාග ප්‍රශ්න පත්‍ර පොතක් ලබා දීම දෙමාපියන්ගේ පුරුද්ද බවට පත්ව තිබේ. හිරු ද ඇහැරවා ගෙන ගෙදරින් නික්මෙන දරුවා රෑ බෝ වී ගෙදරට එන විට දැඩි ලෙස හෙම්බත්ව සිටියි. ඔවුන් අසහනයට පත් කරන විභාග ඉලක්ක මිස ළමා විය සරසන කාල සටහනක් මේ දරුවාට උරුම නැත. යාන්ත්‍රික, අසංවේදී මිනිසෙකු අනාගත ලෝකයට බිහි කරන තිඹිරි ගෙය වන්නේ එයයි.

උක්ත පෙරවදනට නිමිත්ත සපයනු ලැබුයේ ජගත් ඡේ. එදිරිසිංහගේ "ඉස්කෝලේ කාලේ" යොවුන් සාහිත්‍ය කෘතියයි. මෑත කාලයේ මා පැය කිහිපයක් තුළ එකවර කියවා අවසන් කළ සාහිත්‍ය කෘති අතරට, "ඉස්කෝලේ කාලේ" ද අයත් වීම ඒ පිළිබඳව යමක් නොලියා බැරි තැනට මා පත් කළ බව කිව යුතුය. "ඉස්කෝලේ කාලේ" යනු ජගත් පාසල් අවධියේ විඳි අත්දෑකීම් ගොන්නක මියුරු පලයකැයි මට සිතේ. දශක කිහිපයක් ගෙවී ගියද ජගත්ගේ පරිකල්පන ලෝකය තුළ එම යුගය රමණීය සිතුවමක් සේ තැන්පත්ව ඇති අයුරු එය යොවුන් නවකතාවක් ලෙස රූපාන්තරණය කොට ඇති විලාසයෙන්ම පැහැදිලි වෙයි. නිර්මාණකරුවෙකු සුවිශේෂ වන්නේ එසේ තමන් විඳි අත්දෑකීමක් පොදු අත්දෑකීමක් බවට පෙරලීමට ඔහු තුළ වන අපූර්ව කුසලතාව නිසාවෙනි.

මෙම කෘතියේ ප්‍රධාන චරිතය වන්නේ "සමන්" ය. සමන්ට අමතරව එහි අපට මුණ ගස්වන සෙසු චරිත වන්නේ, අනුර, ගුණපාල ඉස්කෝලෙ මහත්තයා, අනුලාවතී ඉස්කෝලෙ හාමිනේ සමන්මලී ඉස්කෝලේ හාමිනේ හා පාසලේ විදුහල්පති වරයා ය. උක්ත චරිත කෘතිය තුළ ගොඩ නැගෙන සිදුවීම් මාලාවෙහි කේන්ද්‍රීය පාර්ශවකරුවන් වේ. කතාවක් විස්තර කිරීමේ ආකෘතියෙන් බැහැරවන ජගත් "සමන්" නම් වූ පාසල් සිසුවා මූලික කොට ගොඩ නැගෙන සිදුවීම් පෙලක් අපගේ අවධානයට ගෙන එයි. ඒවා අතර, වාර අවසාන විවිධ ප්‍රසංගය, සමස්ථ ලංකා කවි ගායනා තරග, සිරිසේන මාමාගේ වෙසක් කූඩුව යන සිදුවීම් ප්‍රධාන කොට සැලකිය හැකිය. මෙම සිදුවීම් මුල්කොට ගෙන උක්ත චරිත හැසිරෙන ආකාරය කෘතියෙන් ඉදිරිපත් කෙරේ. එම චරිත අතර "සමන්" නැමැති ප්‍රධාන චරිතය සිය අභියෝග වලට මුහුණ දෙන ආකාරයත් ඒවා ජයගන්නා ආකාරයත් සියුම් ලෙස විශද කරන්නට ජගත් සමත් වී තිබේ. අද්භූත ලොවක ළමයකුගේ ව්‍යාජ වීරත්වය හුවා දක්වනු වෙනුවට ළමයා ජීවත්වන මහ පොළව මත ඇති සැබෑ යාථාර්ථය ඥාණය කරීමට ඔහු හුරු කිරීම ජගත්ගේ අපේක‍ෂාව වී තිබේ. "ඉස්කෝලේ කාලේ" තුළ ඉන්ද්‍රජාලික ලෝකයක් මවා නැත. එහි ඇත්තේ සැබෑ ලොව දරුවාට හමුවන ගැහැනුන් හා මිනිසුන්ය. ඔහු ජීවිතය ඉගෙන ගන්නේ එම මිනිසුන් තුළ ඇති සංකීර්ණ චරිත ස්වභාවයන් හා ගැටෙමිනි.

ජගත් ඉතා අව්‍යාජ රීතියකින් දිග හරින එම චරිත තුළ ආදරය, කරුණාව, ඊර්ෂ්‍යාව, ත්‍රාසය, හාස්‍යය, ලිංගිකත්වය වැනි මිනිස් චරිත ස්වභාවයන් අපට හමුවේ. ළමයාගේ ජීවිත අවබෝධය වර්ධනය කරනු වස් පිටසක්වල ජීවීන් ඉදිරිපත් කිරීමට අවශ්‍ය නොවේ. ජගත් ගොඩ නගන සජීව සිදුවීම් තුළින් දරුවා ජීවිතය හොඳින් විඳිතැයි ද උගනිතැයි ද මම සිතමි.

ජගත් සිය අත්දැකීම් ඉදිරිපත් කිරීමට උපයුක්ත කොට ගෙන ඇති භාෂාව පිළිබඳව ද යමක් කිව යුතුව තිබේ. එය අතිශය සජීව බසකි. ගැමි පරිසරයට අනන්‍යව නිරුත්සාහයෙන් ගලා එන එම බස් වහර අදාල චරිතයන්හි විශාවසනීය බව විශද කරනු වස් ප්‍රබල දායකත්වයක් සපයයි. ජගත්ගේ ඇතැම් යෙදුම් ඔහු කවියෙකු බව අපට සිහිපත් කර දෙන්නේ ඒවායෙහි ඇති උත්ප්‍රාසය නිසාමය.

"මේ ළමය දකින්න ඇතිනෙ මම මේ ඉස්කෝලෙ හාමිනේගෙ අත අල්ලාගෙන එයාට සාස්තරයක් කියමින් ඉන්නවා......" ලොකු මහත්තයා මගේ සිහින ලෝකය අතර මැද කතා කළේ ය. "...........ඕක ඉතින් ඔය ළමයා එක එක අයට කියන්නෙ එහෙම නෑ.... තේරුණාද?" අන්තිම වචනය ඔහු කීවේ ටිකක් තදින් ය.

"නෑ මම කිව්වෙ ඕව..... ඒ කිව්වෙ මට අත බලා සාස්තර කියන්න පුඟවනිය කියලා එක එක අය දැන ගත්තහම මට හරිම කරදරයි. එහෙම නේද ඉස්කෝලෙ හාමිනේ... ?"
(උපුටා ගැනීම - පිටුව 60)


"මේ ළමයට තේරෙන්නෙ නෑ. මේ කාව්‍ය සාස්ත්‍රය කියන එක ළමයා හරියට ප්‍රගුණ කරන්න ඕනේ. .. අනෙක මට කවි සාස්තරේ පිහිටියේ මං පොඩි කාලෙ අපේ අම්මා මගේ දිවේ සරස්වතී තෙල් ගෑව නිසයි.. මේ ළමයා සරස්වතී තෙල් බීලා තියනවද ?" මම කල්පනා කළෙමි. සරස්වතී තෙල් නම් අපේ ගෙදර තිබුන බවක් මට මතක නැත. කැටවල තෙල් කියා ජාතියක් නම් තිබෙන නමුත් ඒ තෙල් ගාන්නේ අත පය තුවාල කරගත් විටය. ඒවා බොන්නේ නැත. ඒත් ඉතින් මේ මිනිහාට දෙවෙනි වන්නට මගේ සිත ඉඩ නොදෙයි.

"මම මෝර තෙල් බීලා තියෙනවා....." මම ජයග්‍රාහී ලෙස කීවෙමි.

"මෝර තෙල්.... ? ? ? මගේ උත්තරයෙන් කවි කාරයා කරකැවී ගියේය."
(උපුටා ගැනීම - පිටුව 93)


කෘතිය තුළ ගොඩ නැගෙන මෙවන් සංවාද බැලූ බැල්මට හාස්‍ය රසයක් ජනිත කළ ද එහි ඇති උත්ප්‍රාසය මිනිස් චරිත තුළ ඇති සංකීර්ණ මනෝගතීන් නිරාවරණය කරනු ලබයි. ඇතැම් විටෙක සාධු සම්මත සමාජ චරිත ප්‍රශ්න කරනු ලබයි.

ජගත් සිය කෘතිය තුළ ඉදිරිපත් කරන ගැමි පරිසරය පාඨක මනසෙහි වඩාත් සජීව දෘෂ්‍ය රෑප මවන්නට සමත් වී තිබේ. ඒ සඳහා ඔහු විවිධ පරිසර වර්ණනා ඉදිරිපත් කරමින් වචන වියදම් කරනු වෙනුවට එහි සිදු වීම් ඇසුරෙහිම ඊට උපයුක්ත පරිසරයේ අපූර්වත්වය කැටිකොට දක්වන්නට ජගත් දක්වන සමත්කම අපගේ පැසසුමට බඳුන් වෙයි.

"අපි බෝවිටියා සහ දං පඳුරු ඈත් මෑත් කර ගොඩැල්ලට ගොඩ වූවෙමු. පඳුරු අතර සිටි කුරුලු රෑන ඈතට ඉගිල ගියේ අපේ පා හඟට බියෙන් විය යුතුය. තණ බිස්ස මත අලසව වැතිර සිටි කබරගොයෙක් කඩිමුඩියේ වතුරට පැන ගත්තේය."
(උපුටා ගැනීම - පිටුව 36)


කෙසේ නමුදු මෙහි "තබ්ලා වාදකයා" යන හිසින් විරචිත පරිච්ඡේදය කෘතියට ඇතුළත් නො වූයේ නම් මැනවැයි මම කල්පනා කරමි. මන්ද එහිදී ජගත් තුළ වූ පෞද්ගලික අත්දෑකීම පොදු අත්දෑකීමක් ලෙස රූපාන්තය වී ඇති බවක් නොපෙනෙන බැවිනි. උක්ත පරිච්ඡේදය කෘතියේ හුදකලා පරිච්ඡේදයක් ලෙස දිස් වේ. එය සිදුවීම් දාමයක ලෙස කෘතිය හා ඒකාත්මික වන බවක් දැකගත නොහැකිය.

සයිබර් අවකාශය තුළ ලෝකය කියවන දරුවා වෙනුවට සජීව පරිසරයක අත්දෑකීම් විඳගන්නා දරුවකු මේ ලොවට වඩාත් පෙම් කරන්නකු වන බවත් මම විශ්වාස කරමි. ජගත්ගේ "ඉස්කෝලේ කාලේ" තුළ උස් මහත්වන දරුවන් අයිතිවන්නේ එවන් ඉහළ සංවේදීතාවක් සුපුෂ්පිත කරගන්නා පරපුරටය. ඔවුනට දේශ ප්‍රේමීන් වන්නට පන්ති පැවැත්විය යුතු නැත. ඔවුහු උපන් මහ පොළවට සැබෑ ලෙසම පෙම් බඳින්නෝ වෙත්. ඔවුනට සතා සීපාවාට ගහට වැලට පෙම් බඳින්නට උගන්වන වැඩමුඟ අවශ්‍ය නොවේ. මන්ද ඔවුහු ස්වභාවික පරිසරයේ පවිත්‍ර උනු නැවුම් සුවඳ සජීව ලෙස අත් විඳින පරපුරකට අයිති වූවෝ වන බැවිනි. තතු එසේ වුවද ජගත්ගේ "ඉස්කෝලෙ කාලේ" තුළින් හමුවන "සමන්"ලා නූතන මව් පිය පරම්පරාවේ අපේක්ෂාව නොවීමේ අභාග්‍ය අදට වඩා අනාගාත ලෝකය අත්විඳිනු ඇතැයි මට සිතේ. "ඉස්කෝලෙ කාලේ" තුළින් එම අභාග්‍ය සම්පන්න අනාගත දිනය කල් දමන්නට ජගත් ඡේ එදිරිසිංහ වැනි සාහිත්‍යකරුවන් දරන වෑයම අපගේ සතුටට හේතු වෙයි.

සමස්ථයක් ලෙස ජගත්ගේ අනෙක් සාහිත්‍ය කෘති පිළිබඳ සලකා බැලීමේදී "ඉස්කෝලෙ කාලේ" ඔහුගේ ලේඛන ජීවිතයේ සුවිසෙස් එළැඹුමක් ලෙස මම කල්පනා කරමි. මන්ද එම කල්පනාවට තුඩු දෙන නිර්මාණාත්මක ගුණ රුවින් මෙම කෘතිය සැරසී ඇති බැවිනි.

රවී සිරිවර්ධන



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails