Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers


අමෙරිකා එක්සත් ජනපදයේ මිනෙසෝටා විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ මහාචාර්ය ආනෝල්ඩ් රෝස් ගේ මෙම රචනාව 1961 දී The Race Question in Modern Science නමින් යුනෙස්කෝව විසින් ප්‍රකාශයට පත් කරන ලද ලිපි එකතුවක අන්තර්ගත විය. මෙම පොත පසුව ඩී. ජේ. ජිනදාස විසින් පරිවර්තනය කරන ලදුව සිංහලෙන් පළවිය. මෙහි යොදා ගෙන ඇත්තේ එම සිංහල පරිවර්තනය වන නමුත් බූන්දිය සඳහා සැකසීමේදී මෙහි ඇතැම් යෙදුම් නැවැත සංස්කරණය කර ඇත්තේ අධ්‍යයනයේ පහසුව සඳහාය. මෙය කොටස් වශයෙන් පළවනු ඇත.

පළමු කොටස කියවන්න- මෙතනින් යන්න.

බලය සඳහා වූ සටන හෝ ඇදහීම සඳහා පිළිබඳ වෙනස්කම් මුල් කරගෙන කාණ්ඩ අතර පැවැති ගැටුම්, වාර්තාගත ඉතිහාසයේ ආරම්භයේ සිටම දැකිය හැකි අතර, තුන්වැනි වර්ගය එනම්- ජාතිවාදය- බෙහෙවින්ම නූතන ප්‍රපංචයක් ලෙස පෙනී යයි. මුල්කාලීන ජෛව විද්‍යාවේ විපර්යාසයක් වශයෙන් ශතවර්ෂ දෙකකට අඩු කාල පරිච්ඡේදයක් තුළ එහි නවීන සංවර්ධනය ඇතිවන තුරු එය යටත් පිරිසෙයින් විරල වූ අතර, තවමත් මෙම නූතන ජාතිවාදය (මෙම ලිපිය රචනා කර ඇත්තේ රචනා කර ඇත්තේ 1956ට පෙර බව සළකන්න.) බටහිර රටවල් හැර සෙසු රටවල් කරා එතරම් ව්‍යාප්ත වී නැත.

මිනිස් කාණ්ඩ අතර ශාරිරික වෙනස්කම් පවතින බව සත්‍යයකි. අතීත සහ මධ්‍යකාලීන ඇතැම් පුද්ගලයෝ වෙනස් වූ ශාරීරික ලක්ෂණ සහිත අය, අප්‍රියදායක පුද්ගලයන් වශයෙන් සැළකූහ. (එනමුත් එකම යුගයේ ලෝකයේ වෙනත් ප්‍රදේශවල හෝ, එකම ප්‍රදේශයේ වෙනත් ඓතිහාසික වකවානු තුළ වෙනස්වන සංස්කෘතික සමාජ තත්ත්වයන් යටතේ දී, එක් අවස්ථාවක අප්‍රියජනක යැයි සැලකෙන ශාරීරික ලක්ෂණම තවත් අවස්ථාවකදී ප්‍රියකර ශාරීරික ලක්ෂණ ලෙස සැලකුන අවස්ථා බහුලය). එහෙත් සියලුම මිනිසුන්, ඔවුන්ගේ ශාරීරික ලක්ෂණ කුමක් වුවත්, සත්ත්වයන් නැමැති ජීවින්ගෙන් සම්පූර්ණයෙන්ම වෙනස් වූ මානවයන් (නොහොත් අයසට පත් දේවදූතයන්) ලෙස සලකන ලදි. දහඅටවැනි සිය වසේදී සහ දහනව වැනි සියවසේ මුල් භාගයේදී, ස්වභාව විද්‍යාඥයන් විසින් සත්ත්ව වර්ගීකරණය ආරම්භ කළ අවස්ථාවේදී, සත්ත්ව විශේෂ (species) මෙන් උසස් සහ පහත් වශයෙන් වර්ග කළ හැකි ජාතීන් (races) පහකට මිනිසාද වර්ග කළ හැකිය යන අදහසක් ඔවුන් විසින් ඉදිරිපත් කරන ලදි. මිනිස් වර්ගය එකම ප්‍රභවයකින් ඇති වූවක් බවත්, පසුව ලෝකයේ විවිධ ප්‍රදේශවලට පැතිර ගිය ගොස් ජාතීන් වශයෙන් හැඳින්විය හැකි මිනිස් සමූහයන් අතර දක්නට ලැබෙන කායික වෙනස්කම් පසුව වර්ධනය වූවක් බවත්, එබැවින් කිසිම ජාතියක් තවත් ජාතියකට වඩා උසස් හෝ පහත් යන මතයට ජෛව විද්‍යාත්මක පදනමක් නොමැති බවත් පෙන්වා දීමෙන් නූතන ජීව විද්‍යාඥයන් ඉක්මණින්ම ඉහත සාවද්‍ය මතය නිවැරදි කරන ලදි. එසේ වුවද ජාතීන් පිළිබඳ මෙම සාවද්‍ය මතය ග්‍රහණය කරගත් කණ්ඩායම් එය තවතවත් පුළුල් කිරීමෙන් ජාතිවා‍දය නමින් අද හඳුන්වන ලබන මිනිස් සමූහයන් අතර වෛරය සඳහා සම්පූර්ණ නව පදනමක් දමන ලදි.


වහල් වෙළඳාම පිණිස පළ කරන ලද දැන්වීමක්



ජාතිවාදය වූ කලී පහත සඳහන් කරුණු ඇතුළත්වන පොදු විශ්වාස පන්තියකි.

1. සමූහයන් අතර වෙනස් කම්- ශාරීරික සහ මානසික වෙනස්කම්- මේවා සියල්ලක්ම ඇතිවන්නේ ජීව විද්‍යාත්මක ආවේණිය හේතුවෙනි. කිසිම ආකාරයකින් ඒවා වෙනස් කළ නොහැකිය. උදහරණයක් වශයෙන් ගතහොත්, මෙම න්‍යායට අනුව, අප්‍රිකානු ජනයා සාමාන්‍යයෙන් සුදු මිනිසුන් තරම් බුද්ධිමත් නොවන්නේ නම් එයට හේතුව ඔවුන්ගේ ජීව විද්‍යාත්මක ආවේණියයි. ඔවුන්ගේ සමේ පැහැය මෙන්ම එයද කිසි ලෙසකින් වෙනස් කළ නොහැකි වන්නේය.

2. මෙම න්‍යායේ තවත් කොටසක් නම්, පුරුදු සහ සිරිත් විරිත්, ආකල්ප, ඇදහීම් සහ විශ්වාස සහ චර්යාවන් සහ අප විසින් ඉගෙනගනු ලබන සියලු දේ අපගේ උපතට පෙර සිටම අප වෙනුවෙන් තීරණය කරනු ලැබ ඇත. මේ අනුව යුදෙව්වන් තීක්ෂණ ව්‍යාපාරිකයන් වීම සඳහා උපදින අතර ජපන්නු උපදින්නේ ම වංකව ක්‍රියා කිරීම සඳහාය.

3. මහ ජාතියට අයත් මිනිස් සමූහයේ ප්‍රකට කරන කායික, මානසික හෝ සමාජ විද්‍යාත්මක ලක්ෂණවලට සාපේක්ෂව සුළු ජාතියකට අයත් මිනිසුන් සමූහයේ පොදු ලක්ෂණ නොදියුණු සහ පහත්භාවයේ ලක්ෂණ ලෙස සළකනු ලැබේ. මෙම සාමාන්‍ය න්‍යාය අනුව, යුදෙව්වන්ගේ ආගම, කතෝලික ආගම සහ අප්‍රිකානු ජනයාගේ ආගමික විශ්වාසයන් සෑම විටෙකම සුදු මිනිසාගේ රෙපරමාදු ආගමික විශ්වාසයන්ට වඩා පහත් වන්නේය.

4. සමූහයන් අතර ජෛව විද්‍යාත්මක වශයෙන් මිශ්‍රවීමක් සිදුවුව හොත්, එයින් හට ගන්නා දරුවෝ මුල් සමූහයන් දෙකටම වඩා පිරිහිණු තත්ත්වයකින් උපත ලබනු ඇත. පවුල් ජීවිතය, ආගම සහ සදාචාරය ඇතුළු ශිෂ්ටාචාරය නැතිවී ගොස් මිනිසා වනචර මෘගයින් බවට පත්වනු ඇත. ජාතීන් අතර විවාහ සිදුවුව හොත් එයින් අත් විය හැකි ප්‍රතිඵල පිළිබඳව ඇගයීම හුදෙක් පරිකල්පනය වෙත බාර දී ඇති අතර එය "සංකර වීම" නම් අමනෝඥ පදයෙන් විස්තර වේ. මෙම තත්ත්වය හේතුවෙන් සමූහයන් අතර සමාජ සම්බන්ධකම් ඇතිවීම වළක්වනු වස් සෑම පියවරක්ම ගත යුතු යැයි විශ්වාස කෙරේ. උදාහරණයක් වශයෙන් ගත හොත් අන්‍ය ජාතික තරුණියක සමග "සබඳතාවක්" පැවැත්වීමට යුදෙව් ජාතික තරුණයෙකුට දෙමව්පියන් අවසර දුනහොත් ඔවුන් දෙදෙනාටම විවාහ වීමට උවමනා වනු ඇත. එම විවාහයෙන් උපදින දරුවෝ මෙම න්‍යායට අනුව අතරමං වෙති. තවත් උදාහරණයක්, සුදු මිනිසුන් විසින් පරිහරණය කරන ලද භෝජනාගාරයක් පරිහරණය කිරීමට කළු මිනිසුන්ට ඉඩදුනහොත්, මෙම ජාතිවාදී න්‍යය අනුව කළු මිනිසුන් අනාගතයේදී සුදු මිනිසුන්ගේ දරුවන්ට විවාහ යෝජනා ගෙන ඒමට තරම් නිර්භය වනු ඇත.

මෙම ජාතිවාදී විශ්වාස, බටහිර රටවල බොහෝ මිනිසුන් අතර කොතරම් පතලව, නොදැනුවත්වම හා සම්ප්‍රදායානුගතව පවතින්නේද යත් ජාතිවාදය අද, අගතියේ සුවිශේෂි ප්‍රධාන සාධකයක් ලෙස සැළකිය හැක. මිනිස් වර්ග අතර පවතින ඇත්ත වශයෙන්ම තීරණාත්මත්මක එකම අගතිය මෙය යැයි කල්පනා කරන සමහර සමාජ විද්‍යාඥ‍යෝ, මෙම ලිපියෙන් සලකා බලන සියලු ම කරුණු හැඳින්වීමට "ජාතිවාදී අගතිය" යන පදය භාවිතා කරති. ජාතිවාදී විශ්වාස ඇති වූ කල්හි ඒවා, ආගමික සමූහයන්, ජාතික සමූහයන් කෙරෙහි මෙන්ම ජාතිවාදී කණ්ඩායම් කෙරෙහිද බලපවත්වනු ලබයි.

ජාතිවාද‍ය නවීන අගතියේ මුල බවට කෙසේ පත් වූයේදැයි වඩා හොඳින් වටහා ගනු පිණිස, රටවල් කිහිපයක එහි ඉතිහාසය විමසා බැලීම වැදගත්වන්නේය. එක්සත් ජනපදය, ජාතිවාදී අගතීන් බහුලව ව්‍යාප්තව වර්ධනය වූ රටකි. 19 වන සියවස ආරම්භයේදී අප්‍රිකානු ජනයා වහල් සේවයේ යොදවා ගැනීම එක්සත් ජනපදය තුළ හොඳින් ස්ථාපිතව තිබිණි. මෙම වහල්සේවා මගින් ලැබෙන ආර්ථික වාසියත් එය චිරාත් කාලයක් තිස්සේ පැවැත ඒමත් යන කරුණු හැරුණු කොට වහල් සේවය පවත්වාගෙන යාම යුක්ති සහගත කිරීමට වැඩි උත්සාහයක් නොදරන ලදි. ප්‍රජාතන්තුවාදයේ වර්ධනයත් සමග එය නොගැලපෙන බැවින් එය අහෝසි කිරීමට වහලුන් විශාල සමූහයන් අයත්ව සිටියවුන් ඇතුළු බොහෝ දෙනෙක් එකඟ වූහ. නිදහස් කරනු ලැබූ වහල් ජනයා බොහෝ දෙනෙක් ඔවුන්ගේ යෝග්‍යතාව අනුව සුදු ජාතිකයන් විසින් පිළිගනු ලැබූ නිසාත්, සුදු ජාතියට අයත් බොහෝ ධනවත් අය තම වහලුන් නිදහස් කළ නිසාත් වහල් සේවය ආශ්‍රිතව විශේෂ වශයෙන් ජාතිවාදී අගතිය නොපැවැතිණි.


පොදු වෙන්දේසියක දී වහලුන් විකිණීම


මෙම වකවානුවේදී පමණ වහලුන්ගෙන් විශාල වශයෙන් ලාභ ලැබිය හැකි නව මගක් සොයාගන්නා ලදි. කපු වලින් ඇට ඉවත් කිරීමේ යන්ත්‍රය සහ උක් වලින් සීනි ලබා ගැනීමේ ක්‍රමය සොයාගැනීමත් සමගම ඇති වූ ජාත්‍යන්තර වෙළඳාම සඳහා වන නව පහසුකම් හේතුකොටගෙන දකුණේ පිහිටා ඇති ජනපද විශාල වශයෙන් ධනය ඉපදවිය හැකි ප්‍රදේශ බවට පත් විය. මේ සඳහා කපු සහ උක් වගා කිරීමේ සහ නෙළීමේ අප්‍රියකර කාර්යයෙහි නියුක්ත කරවා ගත හැකි අඩු වැටුප් ගෙවන කම්කරු පිරිසක් අවශ්‍ය විය. ප්‍රමාණවත් නිදහසක් සහ යැපීම් මගක් ඇති මිනිසුන් මෙම අප්‍රියකර රැකියාවේ නියුක්ත නොවේ. මෙම සේවය සඳහා යුරෝපයෙන් විශේෂයෙන් ආගමනය කරවන ලද මිනිසුන් පවා එහි නියුක්ත කරවා ගත නොහැකි විය. එබැවින් (මේ වනවිට වහල් වෙළඳාම හා වහල් සේවය නීති වීරෝධී වූව ද) තව තවත් අප්‍රිකානු ජනයා වහලුන් වශයෙන් ගෙන එන ලදි. කපු වගා කරන ප්‍රදේශ විශාල වශයෙන් පුළුල් කරන ලද අතර බොහෝ දෙනෙක් ඉක්මණින්ම ධනවතුන් බවට පත් වූහ. එහි ඇති වූ සශ්‍රීකත්වය හේතු කොට ගෙන දකුණු ප්‍රදේශයට දේශපාලන බලය අතින් මුළු රටෙන්ම මුල් තැනක් හිමි විය. මෙම යුගයේදී වහල් සේවය අහෝසි කරනු සඳහා විවිධ බලපෑම් ඇතිවිය. මේ වන විට ලෝකයේ බොහෝ රටවල් වහල් සේවය අහෝසි කර තිබිණි. එය අශිෂ්ට සහ ම්ලේච්ඡ ක්‍රමයක් වශයෙන් සලකන ලදි. තවද රටේ දේශපාලන බලය සහ ධනය වහලුන් විශාල සංඛ්‍යාවක් හිමි අතළොස්සක් අතෙහි පැවතීම ගැනසමාජයේ පහළ පන්තීවල සුදු ජාතිකයන් අතරින්ද විරෝධතා මතුවෙමින් පැවතිණ. මෙම තත්ත්වයන් විසින් ජාතිවාදී අගතීන් ගේ වර්ධනය, ව්‍යාප්තිය සහ සාධාරණීකරණය බහුලව සිදුවිය. අප්‍රිකානු ජනයා ළමයෙකු මෙන් නොවැඩුන මනසක් ඇති ජාතියක් බවත්, ඔවුන්ව සේවයේ යොදා ගැනීමෙන් අප්‍රිකානුවන්ට ම විශාල සුගතියක් අත්වන බවත්, එමෙන්ම ශිෂ්ටාචාරයේ ආරක්ෂාව සහ පැවැත්ම වෙනුවෙන් ඔවුන් සැම විටෙම සමාජයේ පහලම පන්තීන්ගේ සුදු ජාතිකයන්ට වඩා පහළින් තැබිය යුතු බවත් ප්‍රකාශයට පත් කෙරිණි. මෙම ජාතිවාදී අගතිය එක්සත් ජනපදයේ දකුණේ මුල් බැස ගන්නා ලද අතර අද දක්වාම එහි පවතී.

බටහිර යුරෝපයේ 19 වන සියවසේ මුල් භාගය තුළ, ජාතිවාදය, ලේඛකයන් කිහිප දෙනෙකු පමණක් විසින් විස්තර කරන ලද ඉගැන්වීමක් විය. ඒ අවස්ථාවේදී ජාතිවාදී අගතීන් නොපැවැති බවක් මෙයින් අදහස් නොකෙරේ. එම යුගයේදී අගතිය ජාතිවාදී ස්වරූපයකට වඩා ආගමික සහ සංස්කෘතික් ස්වරූපයක් ඉසිලීය. පැරණි රදල මතවලට වඩා, ප්‍රජාතන්ත්‍රවාදී සහ මානුෂිකවාදී මත ප්‍රබලව පැවැති නිසා මුලදී ජාතිවාදය එතරම් ජනප්‍රිය නොවීය. එහෙත් වර්ෂ 1870 පමණ වන විට හීනවෙමින් යන තම බලය රැකගැනීමේ සහ පවත්වාගැනීමේ මාර්ග සහ සහායකයන් සොයමින් වියරු උත්සාහයක නිරත වුණු රදළයෝ ජාතිවාදය තම ගැලවුම් කරුවා ලෙස දුටුවෝය. ඒ අවස්ථාව වන විට පැරණි ආගමික පසමිතුරුකම් වල නොවැදගත් සහ දුබල අංගයක් වශයෙන් ශේෂව තිබූ ෂෙමික විරෝධය (යුදෙව් විරෝධී-anti Semitism) යොදාගැනීමෙන් තම දේශපාලන ශක්තිය ද තහවුරු කරගත හැකි බව ජර්මනියේ දේශපාලන පක්ෂ දෙකක් විසින් සොයා ගන්නා ලදි. මෙයින් එක් පක්ෂයක් රාජ්‍ය උපදේශක ස්ටැකර් හා වෙනත් "අපූර්ව" පුද්ගලයන්ගේ ප්‍රධානත්වයෙන් පැවතුණි. ඔවුන්ට උවමනා වූයේ නවීන පැසිස්ට්වාදයට බෙහෙවින් සමාන නව වර්ගයක ප්‍රතිගාමී සමාජ ක්‍රමයක් බිහි කිරීමයි. වැඩෙමින් පැවතුන ලිබරල් හා සමාජවාදී පක්ෂවල විරෝධතා යටපත් කරගෙන තම තනතුරු රැකගැනීමට උත්සාහ දරමින් සිටි චාන්ස්ලර් බිස්මාක්, අනෙක් පක්ෂයේ නායකත්වය දැරුවේය. මෙයින්, පසුව සඳහන් කරන ලද පක්ෂයෙහි යුදෙව් ජාතික නායකයෙක්ද සිටි අතර, පුද්ගලික වශයෙන් තමා යුදෙව් විරෝධීයෙකු නොවූවත්, යුදෙව් විරෝධය ප්‍රයෝජනවත් ප්‍රතිපත්තියක් බව බිස්මාක්ට පෙනී ගියේය. ඔහුගෙන් පසුව ජර්මනියේ බලයට පත් වූවන්ද, ‍යුදෙව් විරෝධය උපයෝගී කරගනු ලැබූ අතර එය සාමාන්‍ය සම්ප්‍රදායේ අංගයක් බවට පත් විය.

රුසියාවේ දූෂිත, මර්දනකාරී සහ අකාර්යක්ෂ සාර් රජයද ජාතිවාදය අනුගමනය කිරීමෙන් දේශපාලන වාසි ලබාගැනීමට යත්න දැරුවේය. වර්ෂ 1880 දී සාර් පොලීසිය විසින් යුදෙව් ජාතිකයන්ට විරුද්ධව ජාතිවාදී ප්‍රචාරක වැඩ පිළිවෙලක් ආරම්භ කිරීමෙන් යුදෙව්වන්ට එරෙහි අපරාධ රැසක පළමුවැන්නට අනුබල දෙන ලදි. ගොවි ජනතාව සහ නාගරික කම්කරුවන්, අවුරුදු ගණනාවකට තම දුෂ්කරතාවලින් අන් අතකටඅවධානය යොමු කරවීමටත් ඔවුන්ගේ සිය දූෂිත පාලනයට එරෙහිව ඔවුන් ගේ නැගිටීම වසර ගණනාවකින් කල් දමා ගැනීමටත් සාර් පාලනය සමත් විය. (එහෙත් අවසානයේදී සාර්පාලනය බිඳ දැමීමට ජාතිවාදයට එරෙහිව ජනතාව අතර ප්‍රචාරක කටයුතු සිදු කළ සමාජවාදීහු සමත් වූහ). ප්‍රංශයේ යුදෙව් විරෝධය දේශපාලන ආයුධයක් කරගත් ‍ඩ්රේෆස් (Dreyfus),සිද්ධිය ප්‍රකට උදාහරණයකි.


බ්‍රිතානීන් විසින් තේ සහ කෝපි වගාවන් සදහා ඉන්දියාවෙන් මෙරටට රැගෙන එන ලද දෙමල කම්කරුවන්ගේ ජීවන තත්ත්වය ශතවර්ෂයකට අධික කාලයක් නොවෙනස්ව පැවතීම කෙරෙහි ජාතිවාදී අගතීන් ගේ බලපෑම ප්‍රබලය.



මේ අනුව ජාතිවාදය පොදු සහ විශේෂ සම්ප්‍රදායයන් ඒකාබද්ධ වීමෙන් සෑදුන සංයුතියක් වන්නේය. එම සංයුතිය බටහිර යුරෝපයේ සමහර රටවල්වල සාමාන්‍ය සංස්කෘතියේ අංගයක් බවට පත් වූ අතර, සෙසු රටවලට එය එසේ නොවීය. ජාතිවාදය බලසම්පන්න වූ විට ජාතියක ජෛව විද්‍යාත්මක උත්තරීතරභාවය අනුව කල්පනා කිරීමටත් ඇතැම් සුළු ජාතික කාණ්ඩ කෙරෙහි සාහසික සහ අගතිගාමී ආකාරයෙන් ක්‍රියාකිරීමටත් එය විසින් මිනිසුන් පොළඹවනු ලැබේ. ජාතිවාදය එක්කෝ එය යටපත්ව ඇත, නැතහොත් වෙනස් ජාතීන් කෙරෙහි වන විරෝධතාවන්ගේ අප්‍රකට සෙසු පදනම් සමග සියුම් ලෙස මිශ්‍ර වී ක්‍රියාවට නැගෙයි.

අගතියෙන් වන හානිය නොදැන සිටීම අගතියේ හේතුවක් වශයෙන්

අගතියේ හානිදායක බලපෑම දැනෙන්නේ අගතියට ගොදුරුවන පුද්ගලයන්ට පමණක් යැයි බොහෝ දෙනා විශ්වාස කරති. රැකී රක්ෂා ලබාගැනීමේ ඉඩකඩ සීමා කිරීම, පොදුවේ මහජනයාගේ සේවය සඳහා ‍ඇතිකරන ලද (රජය හෝ පෞද්ගලික ආයතන සතු) පහසුකම්වලින් ප්‍රයෝජන ගැනීමට නොහැකි වීම, නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් තුළ පක්ෂපාතීත්වය සහ වෛරය පැවතීම සහ වෙනත් නොයෙක් ආකාරවලින් අගතිය පෙන්නුම් කිරීම, ඒවාට ගොදුරුවන පුද්ගලයන්ට කෙළින්ම බලපාන බවට සැකයක් නැත. එහෙත් බැලූ බැල්මට නොපෙනෙන නමුත්, අගතියේ ගොදුර බවට පත්වන පුද්ගලයා මෙන් ම සිය ක්‍රියාවන් මගින් අගතියේ බාහිර ප්‍රකාශනයවන විෂම ලෙස සැළකීම පවත්වාගෙන යන පුද්ගලයාද තමන්ගේම චර්යාවන්ගේ සහ ආකල්ප විසින් ඇතිකරන එක්තරා ආකාරයක ස්වයං පීඩනයක ගොදුරක් බවට පත්වේ. බොහෝ විට අගතිය පවත්වාගෙන යාමෙන් සිදුවන හානිය ගැන වැටහීමක් ඇති පුද්ගලයන් වුවද අගතිය පවත්වාගෙන යාමට කටයුතු කරන බැවින් අගතියේ ගොදුර බවට පත්වන පුද්ගලයාට එමගින් සිදුවන හානිකර බලපෑම අප විසින් පළමුව පිරික්සා බැලිය යුතුය.

පළමුකොටම මිනිස් ශ්‍රමයේ සම්පූර්ණ ඵලදායකත්වය සහ වෙළෙඳපොලෙහි උපරිම කාර්යක්ෂමතාව ප්‍රයෝජනයට නොගැනීමෙන් සෘජුවම සිදුවන ආර්ථිකමය නාස්තිය ගැන අවධානය යොමු කරමු. අගතිය නිසා දක්ෂතාව සහ සුදුසුකම් සහිත මිනිසුන් රක්ෂා රහිතව තබන තාක් නොහොත් ඔවුනට කළ හැකි කාර්යයට වඩා අඩු කාර්යයක ඔවුන් නියුක්ත කරවා තබන තාක් නාස්තිය සිදුවන්නේය. ලබාගත හැකි ඉතාම කාර්යක්ෂම කම්කරුවන් සේවයට නොගැනීමෙන් සෑම සේවා යෝජකයෙකුටම පාඩු සිදුවන අතර තමා මිලට ගන්නා ද්‍රව්‍යවලට වැඩිමිලක් ගෙවීමට සිදුවීමෙන් සෑම පාරිභෝගිකයෙකුටම පාඩු සිදුවන්නේය. සේවය කරන මිනිසුන්ගේ හිඟයක් පවතින විට මෙම පාඩුව පැහැදිලිව පෙන්නුම් කරන අතර සෙසු අවස්ථාවලදී ද එය පවතින බව වඩාත් හොඳින් පිරික්සා බැලූ විට දැකගත හැකිවනු ඇත. මෙය වක්‍රව සිදුවන ක්‍රියාවලියක් බැවින් බොහෝ දෙනෙකුට එය බැලූ බැල්මට පෙනී යන්නේ නැත. තවද අප විසින් මුලදී සඳහන් කළ පරිදි ඇතැමුන් අගතියෙන් කෙළින්ම ලාභ ප්‍රයෝජන ලබන බැවින් ඔවුනට එයින් විය හැකි හානිය නොපෙනී යාමට ඉඩ තිබේ. නැතහොත් අගතිය විසින් සිදු කරනු ලබන හානිය තමන්ට සෘජුව සහ ඉක්මණින් බල නොපාන බවට ඔවුන් තුළ ඇති වැටහීමද, එය විසින් ඇතිකරන දිගුකාලීන අහිතකර සමාජීය ප්‍රතිඵල ගැන ඔවුන් තුළ වගකීමක් හෝ සැළකිල්ලක් නොවීමද විසින් අගතියෙන් සිදුවන හානි ඔවුන් විසින් නොසළකා හරිනු ලබයි.

අගතිය හානි සිදුවීමේ නොයෙක් මූල හේතූන් අතරින් එකක් පමණක් වන අතර, ලෝකයේ විවිධ කලාපයන් හි ජීවත්වන මිනිසුන්ගේ පහත් ජීවන තත්ත්වයන් සමග එය සම්බන්ධ වී ඇති ආකාරය සළකා බැලීමේදී එය ප්‍රධාන සාධකයක් බව පෙනී යයි. එවැනි ප්‍රදේශවල ස්වාභාවික ඉපැයීම් මාර්ග බහුල වුවද, අධික ජනගහණයක් නොපැවතියද, අගතියේ බලපෑම හේතුවෙන් ඒක පුද්ගල නිෂ්පාදනය අඩු මට්ටමක පවතී. ඇමෙරිකා එක්සත් ජනපදයේ දකුණේ ජනපද මේ සම්බන්ධයෙන් හොඳම උදාහරණය වන්නේය.

අගතිය පවත්වාගෙන යාමෙන් බරපතල තත්ත්වයකට පත්කරනු ලබන සමාජ ප්‍රශ්න තුළින් පැන නගින හානිය, අගතියෙන් සිදුවන දෙවන වර්ගයේ ආර්ථික හානිය වන්නේය. මෙම හානියෙන් වැඩි කොටසක් රජයේ අයවැය ලේඛන මගින් දරනු ලබයි. අගතිය හේතුවෙන් සමාජීය සහ දේශපාලන ප්‍රශ්න පැන නගින විට එක්කෝ ඒවා මර්දනයට නැතහොත් සහන සලසා දීමට රජයකට සිදුවනු ඇත. අගතිය අත් නොහැර එයට එරෙහිව පැන නගින විරෝධතාවන් මැඩලීමට කටයුතු කිරීමේදී සිදුවන ජීවිත සහ දේපල හානියද අගතියේ සෘජු හානිකර බලපෑමක් වන අතර එහි දිගුකාලීන ආර්ථික සහ සමාජ පිරිවැය අගතිය පවත්වාගෙනයන්නවුන් විසින් අපේක්ෂා කරන වාසියට වඩා බොහෝ විට සිය දහස් ගුණයකින් අධිකවනු ඇත.

සංක්‍රාමික රෝග සහ වසංගත රෝග මර්දනය, පොලිසි සහ බන්ධනාගාර පවත්වාගෙන යාම, ස්වාභාවික විපත් සහ හදිසි අනතුරු සම්බන්ධයෙන් යම් ආරක්ෂාවක් සළසා දීම, සාගත තත්ත්වයන් පාලනය කිරීම සදහා අවශ්‍ය අවම ආහාර සහනාධාර ලබා දීමට කටයුතු කිරීම, අතිශයින්ම අගතිගාමී පුද්ගලයන් විසින් පාලනය කරනු ලබන රජයක් විසින් වුවද අවශ්‍යයෙන්ම කළ යුතුවන්නේය. අගතිය මගින් මර්දනය කරනු ලබන ජන කොට්ඨාසයකගේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය අගතිය පවත්වාගෙන යන පුද්ගලයන් සඳහාද අහිතකර ලෙස බලපානු ඇත. කිසියම් ජන කොට්ඨශයකට දක්වන විෂම සැළකිලි මගින් අධ්‍යාපන සහ රැකී රක්ෂා අවස්ථා කප්පාදු කරමින් ඔවුන් දිළිඳුභාවයේ තබාගැනීම මගින් එකී සමාජ‍යේ මතුවන අපරාධ සහ වෙනත් සමාජ කැළඹිලි වලට මුහුණපෑමට අගතිය පවත්වාගෙන යෑම අනුමත කරන ජන සමූහයන්ටද සිදු වේ.

සුළු ජාතික ජන සමූහයන් කෙරෙහි අගතිය පවත්වාගෙන යාම නිල ප්‍රතිපත්තිය බවට පත් කරගත් කවර රජයකට වුවද මහජාතියේ සැළකිය යුතු පිරිසකගේ අනුමැතිය නොමැතිව ද, ප්‍රජාතාන්ත්‍රික ආයතන අහෝසි කරලීමෙන් තොරවද දිගුකාලීනව අගතිය පවත්වාගෙන යාම කළ නොහැකි දෙයකි. මහජාතියේ සමාජ ස්ථරයන්ගේ අනුමැතිය ලබාගනු වස් සුළු ජාතීන්ට එරෙහිව ජාතිවාදී ප්‍රචාරයන් ගෙනයාමට අමතරව, සුළු ජාතීන්ට අහිමි කරනු ලබන අයිතීන් හෝ ඔවුන්ගෙන් උදුරාගනු ලබන දෙයින් යම් ප්‍රතිශතයක් මහජාතියේ පහල සමාජ ස්ථරයන්ට ලබා දීමට කටයුතු කිරීමෙන් හෝ එසේ කරන බවට පොරොන්දු දීමෙන් අගතිගාමී රජයන් සිය ප්‍රතිපත්තීන් උදෙසා මහජාතියේ පහල ස්ථරයන්ගේ අනුමැතිය ලබා ගනියි.

එහෙත් ඉහත කී පොරොන්දු තවදුරටත් ඉටු නොකළ හැකි තත්ත්වයකට රජයක් පත්වනවිට සහ අගතිගාමී ප්‍රතිපත්තීන්ගේ දිගුකාලීන දුර්විපාක මතුවීමට පටන්ගන්නා විට මහජාතියේ පහල සමාජ ස්ථරයන්ගේ අසහනය ක්‍රමානුකූලව රජයට එරෙහිව වර්ධනය වනු ඇත. මෙහිදී සුලු ජාතීන් කෙරෙහි අගතිය පවත්වාගෙන යෑම සඳහා ශක්තිමත් කරනු ලැබූ රජයේ මර්දනකාරී ආයතනයන් විසින් මහජාතියේ පහල සමාජ ස්ථරයන් වෙතද මර්දනය එල්ල කරනු ඇත. මෙය තවත් සමාජ කැළඹීම් වටයක් උත්පාදනය කිරීමට හේතුවන අතර සිදුවිය හැකි සෘජු ප්‍රතිඵල වන ජීවිත සහ දේපල හානියද වක්‍ර ව සිදුවන හානිකර ප්‍රතිවිපාකයන්ද සඳහාද සිදුවන ආර්ථික හා සමාජීය පිරිවැය දැරිය නොහැකි තරම් වනු ඇත.

[මතු සම්බන්ධයි]

සංස්කරණය- අජිත් සී හේරත්

-THE ROOTS OF PREJUDICE- by Arnold Rose

The Race Question in Modern Science: Race and Science. Contributors: Unesco - author. Publisher: Columbia University Press. Place of Publication: New York. Publication Year: 1961.

Professor of Sociology at the University of Minnesota, U. S. A.

මහාචාර්ය ආනෝල්ඩ් රෝස්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails