Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



රජයක් සිරිත් පරිදි යුද වියදම් ගණනය කරණු ලබන්නේ ඩොලර්වලින්, අහිමිවූ නිෂ්පාදනයන් මගින් හෝ මියගිය හෝ තුවාල ලැබූ සොල්දාදුවන් ගණනිනි. නමුත්, කලාතුරකින් හමුදාමය සංවිධාන මෙම යුද වියදම්, යුද්ධය හේතුවෙන් පීඩාවිඳින පුද්ගලයන් සම්බන්ධයෙන් මැනීමට කටයුතු කරයි.
-රිචඩ් ගේබ්‍රියල්

වියට්නාම් යුද්ධය හා ඊළාම් යුද්ධය අතර සමානතා හා අසමානතා බොහෝ වෙයි. නමුත් මේ දෙකම 20වන සියවසේ යුද්ධයක ඇති බිහිසුණුකම විදහා දක්වයි. වියට්නාම් යුද්ධය, ඇමරිකාව සම්බන්ධවූ දීර්ඝතම යුද්ධය වූ අතර එය 1963 සිට 1975 තෙක් වසර 12ක කාලයක් පැවතිණි. ඇස්තමේන්තුවලට අනුව පුද්ගලයන් මිලියන 2.5ක් මෙම යුද්ධය සඳහා දායකවී ඇති අතර 58,000 පමණ ඇමරිකානුවන් පිරිසකට ජීවිත අහිමිවී ඇත. තවත් 300,000ක් තුවාල ලබා ඇත. වියට්නාම් යුද්ධය අවසන්වූයේ ඇමරිකාව වියට්නාමය තුළදී පරාජය ලැබීමත් සමගය. නමුත් ඊළාම් යුද්ධයේදී ලාංකික හමුදාවට ජයග්‍රහණය හිමිවිය. වියට්නාමය තුළදී ඇමරිකන් හමුදාවල සම්පූර්ණ පරාජය විවාදාත්මකය. ඇතමුන් පවසන පරිදි “යුද්ධයේ අවසාන පරාජයේ වගකීම පැවරෙනුයේ සටන් කළ මිනිසුන් වෙත නොව, කොංග්‍රසයේ පුද්ගලයන් වෙතයි. (වියට්නාම් යුද්ධය, පසුවිපරම 2009)

ඊළාම් යුද්ධය ආසියාවේ දීර්ඝතම ආයුධ සන්නද්ධ ගැටුමයි. මෙය ආසන්න වශයෙන් වසර 30ක පමණ කාලයක් පැවතිණි. වියට්නාම් යුද්ධය මෙන් නොව ඊළාම් යුද්ධයට වසර සියගණනකට පෙර පැවති ජනවාර්ගික ගැටුම්වල ඓතිහාසික මූලයන් හේතුවෙයි. ඇතැම් ඉතිහාසඥයන්ට අනුව මෙය ක්‍රි. පූ. 205, එනම් දුටුගැමුණු රජ සමයේ සිදුවූ දකුණු ඉන්දියානු ආක්‍රමණය දක්වා විහිදෙයි. ජනවාර්ගික ආතතියක් බිහිවූයේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී පාලන සමයේදීය (1815-1948). මෙයට හේතුවූයේ “බෙදා පාලනය” කිරීමේ ප්‍රතිපත්තියයි. අතුරුඵලයන් ඉස්මතුවීම ආරම්භවූයේ 1948 නිදහසෙන් පසුවය. රජය හා දෙමළ සන්නද්ධ කණ්ඩායම් අතර ආතතිය 1970 ගණන්වල සිට මතුවෙමින් පැවති අතර මෙය ප්‍රධාන ආයුධ සන්නද්ධ අරගලයක් බවට වර්ධනය විය.

ලාංකික ආයුධ සන්නද්ධ ගැටුම සඳහා බොහෝ අර්ථකථන හා පහදාදීම් ඇත. ඇතමෙක් මෙය ත්‍රස්තවාදී ප්‍රශ්ණයක් ලෙස දකින අතර තවත් සමහරු මෙය විවරණය කරනුයේ ඉතා සංකීර්ණ ගැටලුවක් ලෙසය. යේල් විශ්වව්ද්‍යාලයේ ජොනතන් ස්පෙන්ස්ගේ අදහසට අනුව ලාංකික ගැටුම මෙසේ වෙයි.පසුගිය දශකයේදී ලංකාව දේශපාලනමය ඛේදාන්තයක ගිලී ගියේය. පිළිවෙලින් පැමිණි රජයන් බහුතර සිංහල ජන කොටසට පිළිගත හැකි ආකාරයෙන් දෙමළ සුලුතරයේ දුක්ගැනවිලි විසඳීමට අපොහොසත් වීම මෙයට හේතුවයි. (ලංකා ඉතිහාසය හා අරගල මූලයන්, ජොනතන් ස්පෙන්ස්.) කොළඹ විශ්ව විද්‍යාලයේ දේශපාලන අංශයේ සහකාර මහාචාර්ය කුමාරි ජයවර්ධන අවධාරණය කරනුයේ, ලංකාවේ ජනවාර්ගික අරගලයේ ඉතිහාසය මෙහි බහුතර ප්‍රජාව වන සිංහල ජන කණ්ඩායම, මෙහි ඇති බහුවාර්ගික බව ප්‍රතික්ෂේප කරමින්, සිංහල-බෞද්ධ ලෙස නැගී සිටීමේ ඉතිහාසයම බවයි. ලංකාවේ සුළුතර ජනකොටස් අතර මෙම විඥානය වර්ධනයවීම, ගැටලු පිලිබඳ අභ්‍යන්තර යෝජනාවලීන් අසාර්ථකවන තරමටම ප්‍රබල විය. (ලංකාවේ ජනවාර්ගික ගැටළුව හා කලාපීය ආරක්ෂාව-කුමාරි ජයවර්ධන )


ඊළාම් ගැටුම ආරම්භවූයේ, 1976 දී දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ වෙනම රාජ්‍යයක් පිලිබඳ යෝජනා කිරීමත් සමඟ ය. කෙසේ වෙතත්, 1976ට පෙර දෙමළ සටන්කාමීත්වය ඉස්මතුවූයේ උතුරේ තරුණ කොටස් ගොඩනගන ලද රහස් සංවිධානයක් ලෙසය. මෙම කුමන්ත්‍රණවල ප්‍රතිඵලයක් ලෙස යාපනයේ නගරාධිපති ඇල්ෆ්‍රෙඩ් දොරෙයප්පා මහතා 1975 දී ඝාතනය විය. එල්. ටී. ටී. ඊ. සංවිධානය 1976 පිහිටුවාගන්නා ලද අතර ඊළාම් යුද්ධයේ ප්‍රධාන භූමිකාව රඟ දැක්වූයේ ඔවුන්ය.

ඊළාම් යුද්ධය නිළ වශයෙන් ආරම්භවූයේ 1983 දී දිවයින පුරා පැවති වර්ගභේදවාදී ගැටුම් සමඟ ය. මෙය එල්. ටී. ටී. ඊ.යට පිරිස් බලය හා ජාත්‍යන්තර පිළිගැනීම ලබාදුණි. මුල් අවදියේදී, ඉන්දියාව විසින් මෙම ආයුධ සන්නද්ධ දෙමළ පිරිස් පුහුණු කිරීම හා ඔවුන්ට ආර්ථික ආධාර ලබාදීම සිදුකෙරිණි. මෙම කණ්ඩායම් අතර එල්. ටී. ටී. ඊ.ය බලවත් හා කාර්යශූර යුද යාන්ත්‍රණය බවට පත්විය. එල්. ටී. ටී. ඊ.ය ලාංකික හමුදාවලට එරෙහිව සටන් කිරීමට ඉතා සාහසික යුද උපක්‍රම යොදාගත්හ. මෙම සටන් බහුතරයක් උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල සිදුවිය. තවද, එල්. ටී. ටී. ඊ. සන්නද්ධ පිරිස් ඉතා ප්‍රබල මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයන් කොළඹට එල්ලකරමින් ලාංකීය සමාජයේ හදවත පීඩාවට පත්කළහ.

යුදමය ගැටුම වර්ධනය වීමත් සමඟ එල්. ටී. ටී. ඊ.ය ලංකාවේ උතුරු හා නැගෙනහිර විශාල භූමි ප්‍රදේශයක් අත්පත් කරගත්තේ ය. 2002 වසරේ සටන් විරාම කාලසීමාව වනවිට, එල්. ටී. ටී. ඊ.ය වර්ග කිලෝමීටර් 15,000ක පමණ භූමිභාගයක් පාලනය කල අතර එම ප්‍රදේශයේ ඔවුන්ටම ආවේණිකවූ බදු ක්‍රම, පාරවල් හා උසාවි පවත්වාගෙන යන ලදී. ඊළාම් යුද්ධය නඩත්තුකිරීමට විශාල මුදල් ප්‍රමාණයක් වැය විය. ලෝක දෙමළ ජනගහනයෙන් වැඩි ප්‍රමාණයක් ජීවත්වන්නේ ලංකාවෙන් පිටතය. මෙම බටහිර රටවල ජීවත්වන දෙමළ ඩයස්පෝරාව ඊළාම් යුද්ධය සඳහා ආර්ථික ආධාර සපයයි. මීට අමතරව එල්. ටී. ටී. ඊ.ය අසාධාරණ ලෙස සහ තැතිගැන්වීම් මගින් ලබාගන්නා මුදල් ආයුධ මිලදී ගැනීම සඳහා යොදවයි. ඇමරිකා එක්සත් ජනපදය, යුරෝපා සංගමය හා වෙනත් බොහෝ රටවල්වල ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස එල්. ටී. ටී. ඊ.ය තහනම් කර ඇත. ඇමරිකා එක්සත් ජනපද රාජ්‍යය දෙපාර්තමේන්තුව 1997 වසරේදී එල්. ටී. ටී. ඊ.ය ඔවුන්ගේ ත්‍රස්ත ලයිස්තුවට ඇතුළත් කර ඇත. 2008 ජනවාරි මාසයේදී කොංග්‍රසයේ පර්යේෂණ සේවය ප්‍රකාශ කළේ, මෑතදී විදේශ රටවල් සිදුකල ආර්ථික සහන කපාහරීම් නොසලකමින් එල්. ටී. ටී. ඊ.ය වාර්ෂිකව ඇ. ඩො. 200-300 අතර ඇස්තමේන්තුගත මුදලක් එකතුකරන බවයි.

2009 වර්ෂය දක්වා කෙටි සටන් විරාමයන් සමඟ ඊළාම් යුද්ධය පවත්වාගෙන යනු ලැබූ අතර, 2009 මැයි මාසයේදී ලාංකික හමුදාව විසින් එල්. ටී. ටී. ඊ.ය සමූලඝාතනය කිරීමට සමත්විය.100,000ට අධික පිරිසක් මෙම එල්ටීටීය ට එරෙහිව සටන් කළ අතර, 2009 මැයි මාසයේදී, ජයග්‍රහණය ලබාගැනීමටට සමත් වූහ. අවසානයේදී 2009 මැයි 17වන දින එල්. ටී. ටී. ඊ.ය පරාජය බාරගත් අතර, කැරැල්ලෙහි ජාත්‍යන්තර සම්බන්ධතා පිලිබඳ නායක සෙල්වරාසා පත්මනාදන් වෙබ් අඩවියකට ප්‍රකාශ කර සිටියේ, “මෙම යුද්ධය එහි අමිහිරි අවසානය කරා එළඹ ඇති බවය… අපි අපේ තුවක්කු නිහඬ කිරීමට තීරණය කළා. අපේ එකම කළකිරීම ජීවිත අහිමිවීම සම්බන්ධයෙනි. නමුත් අපිට තව දුරටත් මෙය පවත්වාගෙන යාම අසීරුයි.” (නිව්යෝක් ටයිම්ස් 2009, මැයි 18.)

ඊළාම් යුද්ධය වියට්නාම් යුද්ධය මෙන්ම ගරිල්ලා යුද්ධයකි. වියට්නාම් යුද්ධයට මුහුණුවර කිහිපයක් විය. වරක් එය අසල්වැසි රාජ්‍යයේ ආක්‍රමණයන්ට එරෙහිව ස්වදේශික ගරිල්ලා හමුදාවන් ගෙනගිය කැරැල්ලක් විය. එය ස්නයිපර් හා සැඟව සිට පහරදීම් අතර යුද්ධයකි. මෙම සටන ක්‍රියාත්මක වූයේ බහුතර ජනාවාස සහිත සහල් කූඩය ලෙස හැඳින්වෙන මීකොං ඩෙල්ටාවේ සිට ග්‍රාමීය කැලෑ සහිත කඳුකර ප්‍රදේශයක් වූ මධ්‍යම උස් භූමි ප්‍රදෙශයේය. මෙහිදී පාබල හමුදා කාණ්ඩ උත්සාහ කළේ කුඩා වියට්කොං කණ්ඩායම් ඉලක්ක කරගැනීමවූ අතර, සේනාංක මට්ටමේ මෙහෙයුම්, ප්‍රධාන බළඇණියවූ උතුරු වියට්නාම් හමුදා රෙජිමේන්තු හා හමුදාංශයන් ඉලක්ක කරගෙන සිදු කෙරිණි. (වියට්නාමයේ එක්සත් ජනපද හමුදා – වින්සන්ට් එච්. ඩෙමා) ඇමරිකන් හමුදා වියට්නාමය තුළදී බියකරු සටන් තත්ත්ව අනාවරණය කරගත් හ. එමෙන්ම ලාංකික සොල්දාදුවෝ ද උතුරු හා නැගෙනහිර ප්‍රදේශවලදී අප්‍රසන්න ප්‍රහාර අත්වින්දහ. 1987 විමුක්ති මෙහෙයුමේ සිට 2009 මැයි මස පුතුකුඩුඉරුප්පු අවසන් සටන දක්වා මහා පරිමාණයේ මෙහෙයුම් (1987-2009) 25ක් පමණ එල්. ටී. ටී. ඊ.ය විරුද්ධව මෙහෙයවා තිබිණි. මෙම මෙහෙයුම්වලදී ඉතා විශාල මිනිසුන් පිරිසක් (සටන්කරුවන්/ එල්. ටී. ටී. ඊ සාමාජිකයන්/ සිවිල් ජනතාව ) කායිකව හා මානසිකව තුවාල ලැබීය.

මිලියන 8.5කට අධික පුද්ගල පිරිසක් වියට්නාම යුද සමයේදී ඇමරිකානු හමුදාවේ සේවය කළහ. (1964-1973) අග්නිදිග ආසියාව නියෝජනය කරමින් සේවය කළ පිරිස ආසන්න වශයෙන් මිලියන 2.8 පමණ වේ. මෙම පසු සඳහන් පිරිසෙන් මිලියනයක් පමණ සක්‍රීය අරගලය දුටුහ. නැතිනම් විරුද්ධවාදීන්ට නතුවිය. එසේත් නොමැති නම් ජීවිත තර්ජනයට මුහුණ දුන්හ. (මානසික සෞඛ්‍ය පිළිබඳ ජනාධිපති කොමිසම 1978) ආසන්න වශයෙන් වසර 20ක පමණ කාලයකට පසුව 15.2% ඇමරිකානු හමුදා පසු යුද ආතති තත්වයට මුහුණ පෑහ. (කුල්කා සහ වෙනත් 1990) සමස්තයක් ලෙස වියට්නාම් යුද්ධයේදී ඇස්තමේන්තුගත මිලියන තුනකට අධික ජනතාවක් මියගිය අතර මිලියනයකට අධික ජනතාවක් තුවාල ලැබීය.

දීර්ඝ කාලයක් තිස්සේ පවතින සටන් වාතාවරණය සටන්කරුවන්ට ඉතා ප්‍රබල කායික හා චිත්තවේගාත්මක වෙනස්කම් ළඟාකරදෙයි. ස්වෑන්ක් හා මාචන්ඩ්ගේ දෙවන ලෝක යුද්ධ අධ්‍යනයේදී දින 60ක අඛන්ඩ කාලයකට පසු නෝමැන්ඩි වෙරළේ සිටි ඇමරිකානු හමුදා භටයන් අතුරින් දිවි ගලවාගත්තවුන්ගෙන් 98% පමණ මානසික ව්‍යාධීන් බවට පත්ව ඇත. දෙවන ලෝක යුද සමයේ දකුණු පැසිෆික් ප්‍රදේශයේ සිටි සාමාන්‍ය පාබල හමුදාව වසර හතරක් තුළදී දින 40ක වැනි අරගලවලට මුහුණදෙන ලදී. වියට්නාමයේ සිටි පාබළ හමුදාව වර්ෂයක් තුළ දින 240ක අරගලවලට මුහුණ දෙන ලදී. වියට්නාම් යුද්ධයේදී, විදේශවල සිට නැවත පැමිනෙන දිනය හඳුන්වාදෙන ලදී. ඔවුන්ගේ චාරිකාව මාස 12ක් පැවතිනි. නමුත් නාවිකයන්ට මෙය මාස 13ක කාලයක් විය. මෙම “ආපසු පැමිණීමට නියමිත දිනය කායික හෝ මානසික අනතුරකට වඩා ඔවුන්ට යුද්ධයෙන් මිදිය හැකි දිනය දැක්වෙන පොරොන්දුවක් විය. (කොමොස්, 1978 ) කෙසේ වෙතත්, ඊළාම් යුද්ධයේදී ක්‍රියාන්විතයේ සේවය කළ ලාංකික සොල්දාදුවන් සතුරු ආක්‍රමණවලට මාස 12ක් පමණ මුහුණදුන් අවස්ථා ඇත. බොහෝ අවස්ථාවලදී ඔවුන් ඉතා දීර්ඝ සටන්වල නිරතවූයේ මෙහෙයුම් නොකෙරෙන ප්‍රදේශවලට මාරුවීම් ලබාදෙන දිනයක් හෝ ක්‍රියාන්විත රාජකාරියෙන් නිදහස් කරන දිනයක් පවා නොදැනය. ක්‍රියාන්විතයේ සේවයේ නියුතු පිරිසගේ මවුපියන් අවිනිශ්චිතතාවකින් පසුවිය. වියට්නාමයේ මෙන් යුද්ධයෙන් ආපසු පැමිණීමට දිනයක් ඔවුන්ට නෛතිකව දක්වා නොතිබිණි. මෙහිදී පලායෑමේ ප්‍රතිශතය වියට්නාම් යුද්ධයට වඩා වැඩිවිය.


දෙවන ලෝක යුද සමයේ ඇමරිකන් හමුදාවේ පලායෑමේ ප්‍රතිශතය උපරිම වශයෙන් 6.3% නැතහොත් සොල්දාදුවන් 1000කට 63කි. සොල්දාදුවන් 21,049 දණ්ඩනයට යටත් විය. කොරියන් යුද්ධයේදී පලායෑමේ ප්‍රතිශතය 1000කට 22.5කි. ආසන්න වශයෙන් 50,000 පමණ ඇමරිකන් භටයන් වියට්නාම් යුද්ධයේදී පලාගියේය. 2003 වර්ෂයේදී පේරාදෙණි සරසවියෙන් කළ සමීක්ෂණයකට අනුව ලාංකික සොල්දාදුවන් 49,143ක්, නිළධාරීන් 623ක් ඇතුලත්ව පලාගියවුන්ගේ ලයිස්තුවලට අතුලත් විය. මෙය මුලු හමුදා ශක්තියෙන් 1/3ක් පමණ විය. 2003 වර්ෂයේදී ආරක්ෂක අමාත්‍යාංශය මගින් පලාගියවුන්ට පොදු සමාවක් ලබාදෙන ලදී. මෙහිදී සොල්දාදුවන් 50,000කට පමණ නීත්‍යානූකූලව හමුදාවෙන් ඉවත්වීමට හෝ නැවත හමුදාවට එකතුවීමට අවස්ථාව ලැබිණි. මොවුන් පසුගිය වර්ෂ 3ක කාලය තුළ පළාගිය අය බව ද, ඔවුන්ට විරුද්ධව අපරාධ චෝදනා නොමැති බවද උපකල්පනය කරන ලදී. (හැරිසන්, ෆ්‍රාන්සස් 2003, ලංකාවේ යුද හමුදාවෙන් පැනගියවුන් සඳහාවූ පොදු සමාව’ බී.බී. සී. මාර්තු 4 )

ලංකාවේ යුද්ධයෙහි අවසන් අදියරයන්හිදී ආසන්න වශයෙන් 2000,000ක පමණ හමුදා පිරිසක් (පොලිස් නිළධාරීන්ද ඇතුලුව ) ඒකරාශී කළ අතර බොහෝ දෙනෙක් ක්‍රියාන්විත සේවයේ නියුතුවිය. ලාංකික හමුදාවේ ගොඩබිම් බළකාය ලෙස හමුදාංශ 13ක් යටතේ 140,000ක් වූ (ක්‍රියාන්විතයේ 120,000) භට කණ්ඩායමක් සේවයේ යෙදවීය.ඊළාම් යුද්ධයේදී 90,000කට පමණ ජීවිත අහිමිවිය. දෙමළ සටන්කාමීන් 27,839 ද, 23,327කට අධික ලාංකික සොල්දාදුවන් හා පොලිස් නිළධාරීන් පිරිසක්ද, ඉන්දීය හමුදා භටයන් 1155ද දහස් ගණනින් සිවිල් ජනතාවද මේ අතර විය. යුද්ධයෙහි අවසන් කාලසීමාවේදී 280,000 පමණ පුද්ගලයන් පිරිසක් අවතැන් විය.

දෙවන ලෝක යුද්ධයේදී සටන්කළවුන්ගේ සාමාන්‍ය වයස් සීමාව අවුරුදු 26ක් වූ අතර වියට්නාම් යුද්ධයේදී එය 19ක් විය. ඊළාම් යුද්ධයේදී සාමන්‍ය වයස් සීමාව අවුරුදු 18-25 අතර විය. බොහෝ වියට්නාම් සටන්කාමීන් සමාජයේ පහළ ස්ථරවලින් පැම්ණියවුන් වූ අතර ඊළාම් යුද්ධයේදීද එය එසේම විය. අඩු අධ්‍යාපනයක් ඇති හා අඩු ආදායම් ලාභී බොහෝ තරුණ පිරිස් හමුදාවට එකතුවිය. ඔවුන්ගේ ප්‍රධාන අරමුණ වූයේ නිවාස සෑදීම හෝ බාල සහෝදර සහෝදරයන්ට ඉගැන්වීමයි. මෙම බොහෝ තරුණයින් සිවිල් ජනතාව ලෙස කිසි දිනක උතුරු ප්‍රදේශයට ගොස් නැත. පළමු වතාවට ඔවුන් එහි ගියේ හමුදා සෙබලුන් ලෙස සතුරාට එරෙහිව සටන් කිරීමටය.

යුද සෙබලුන් නැවත යථාතත්වයට පත්කිරීම පිළිබඳව 1983දී කොංග්‍රස් නියෝගයකට අනුව ඇමරිකානු රජය මගින් සංවිධානය කළ අධ්‍යයනයකදී වියට්නාම් යුද්ධයේදී ඔවුන්ට සිදුවී අති මානසික බලපෑම පිළිබඳව සොයාබලන ලදී. මෙම අධ්‍යයනය සිදුවනවිට, මෙම සොල්දාදුවන් ආසන්න වශයෙන් පුරුෂයන් 15%ක් ද ස්ත්‍රීන් 9%ක් ද ලෙස පසු යුද ආතති තත්වයට මුහුණපා සිටියහ. ආසන්න වශයෙන් 30% පමණවූ පුරුෂයන් ද, 27% පමණවූ ස්ත්‍රීන් ද මෙසේ පසු යුද ආතති තත්වයකට යුද්ධයෙන් පසුව ඔවුන්ගේ ජීවිතයේ කුමනහෝ අවධියකදී මුහුණපා ඇත. මෙම අධ්‍යයනය සිදුවන විට වියට්නාම් යුද්ධය හේතුවෙන් 479,000 පමණ පසු යුද ආතති තත්වයකට පත්ව සිටි අතර මිලියනයක් පමණ මුළු ජීවිත කාලය තුළම පසු යුද ආතතියට ලක්වූ සිද්ධි වාර්තාවී අත. (පසු යුද ආතති තත්වයට මුහුණපෑ යුද සෙබලු අනුපාතය, මැතිව් ටල්)

ඊළාම් යුද්ධය හේතුවෙන් ඉතා දරුණු හා නිදන්ගත මානසික සෞඛ්‍ය ගැටළු රැසක් නිර්මාණයවී ඇත. ලාංකික හමුදා භටයන් සම්බන්ධයෙන් සිදුකෙරුණු සවිස්තර අධ්‍යයනයන් නොමැති වුව ද දළ ඇස්තමේන්තු අනුව පසු යුද ආතති තත්වය 8-12% පමණ වනු ඇත.(ලාංකික යුද සෙබලුන් ආශ්‍රයෙන් යුද්ධය සම්බන්ධ පශ්චාත් ආතතිය, නීල් ෆනෑන්ඩු / රුවන් එම්. ජයතුංග)

වියට්නාම් යුද්ධය පැවති කාලයේ හා ඉන් පසුව ඇමරිකානු සෙබලුන්ට සාධනීය මානසික ආධාර සේවාවක් පැවතුණි. බොහෝ පසු යුද ආතති සමීක්ෂණ වියට්නාම් යුද්ධයෙන් පසුව සිදුවිය. ඊළාම් යුද්ධයට සාපේක්ෂව මනෝචිකිත්සක කටයුතු සාධනීය ලෙස සිදුවිය. අවාසනාවන්ත ලෙස ඊළාම් යුද්ධය සඳහා සටන් කළ සොල්දාදුවන් සඳහා මෙවැනි මානසික ආධාර ලබාදෙන සේවාවන් දැකගත නොහැකි විය. ලාංකික හමුදාවලට සම්පූර්ණයෙන් පුහුණු කළ මනෝවිද්‍යාඥයන් නොවූ අතර බොහෝ මානසික රෝගීන්ට නිසි ආකාරයෙන් පිළියම් කර නොමැත. යුද පෙරමුණෙහි මානසික ප්‍රථමාධාර සේවයක් නොමැතිවූ අතර වැඩි අවධානයක් යොමුකරන ලද්දේ කායිකව සිදුවූ තුවාල සඳහා ය. බොහෝ කාලයක් පුරා පසු යුද ආතති තත්වය පිළිගැනුනේ ලාංකික භටයන්ට අදාල නොවන ඇමරිකානු රෝගී තත්වයක් ලෙසිනි. මෙම මිථ්‍යාවෙන් ඊළාම් යුද්ධයේදී ප්‍රධාන සංකූලතවයන් සහිත බොහෝ මානසික රෝගීන් ඇතිවීමට හේතුවිය.

ඇමරිකානු මහජනතාව යුද්ධයට ඍජුව මුහුණ නුදුන්නේ එය සැතපුම් 12,000ක් පමණ දුරින් සිදුවුන බැවිනි. ඔවුන් මෙම බිහිසුනු යුද්ධයේ දෝංකාරය අත්වින්දේ යුද්ධය අවසානයේදී ය. නමුත් ලාංකික සිවිල් ජනතාවට මෙම යුද්ධය හේතුවෙන් ඉතා දරුණු ආතතියකට මෙන්ම බිහිසුණු අත්දැකීම් වලටද මුහුණපෑමට සිදුවිය. ලංකාවේ මෙම යුද වාතවරණය පැවති දීර්ඝ කාලයේ දී, උතුරේ හා දකුණේ සිවිල් ප්‍රජාව සාමූහිකව යුද කම්පන අත්වින්ද හ. එල්. ටී. ටී. ඊ. මරාගෙන මැරෙන බෝම්බ හේතුවෙන් දකුණේ ද ආරක්ෂාකාරී ප්‍රදේශ නොමැති විය.

වියට්නාම් යුද්ධය හා ඊළාම් යුද්ධය යන දෙකම විදහා දක්වන්නේ මානව ඛේදවාචකයන්ය. කෙසේ වෙතත් ළමා සොල්දාදුවන්ගේ ප්‍රපංචය වියට්නාම් යුද්ධයේ කොටසක් නොවූ නමුත් ඊළාම් යුද්ධයේදී එය හද කකියවන යථාර්ථයක් විය. ජාත්‍යන්තර ප්‍රජාවගේ විරෝධතා නොතකමින් එල්. ටී. ටී. ඊ.ය ළමා සොල්දාදුවන් බඳවාගන්නා ලදී. 1996 එක්සත් ජාතීන්ගේ වාර්තාවලට අනුව, අවු.10 පමණ ඉතා ලාබාල ළමුන්, ගම්බද ප්‍රදේශවල ගැහැනුන් හා ළමුන් ඝාතනය සඳහා යොදාගන්නා ලදී. 1990 ගණන්වලදී මියගිය එල්ටීටීයෙන් 40% – 60% අතර ප්‍රමාණයක් අවු. 18ට අඩු ළමුන්ය. ( හියුමන් රයිට්ස් වොච් වාර්තාව 2004 )

ප්‍රජාවිද්‍යාත්මකව වියට්නාම් යුද සෙබලුන් අයත්වන්නේ ඇමරිකාවේ ඉතා විශාල හා ඉතා වදගත් පරම්පරාවෙන් ඉතාමත් සුලුතරයකටය. (බැස්කිර් හා ස්ට්‍රෝස් ) නමුත් මෙහිදී ශ්‍රී ලාංකික යුද භටයෝ සමාජයේ ද ඉතා වැදගත් භූමිකාවක් නිරූපණය කරති. කලින් හමුදා නිළධාරීන්වූ බොහෝ දෙනෙකු වර්තමානයේදී දේශපාලන ක්ෂේත්‍රයේ හා රාජ්‍ය සේවයේ නිරත වෙති. 2010 ජනාධිපතිවරණයේදී ලංකා යුද හමුදාවේ හිටපු හමුදාපති ද තරඟකරුවෙකු විය.

දෙවන ලෝක යුද්ධ සෙබලුන් මෙන් නොව, වියට්නාම් යුද්ධයේදී සටන්කළ භටයින් තම මාතෘ භූමියට ඇතුල්වූයේ ජයග්‍රාහක වීරයන් මෙන් නොව ඉතා දුෂ්කරතාවයට හා වෙහෙසට පත්වූවන් ලෙසය. නමුත් යුද්ධයේ අවසාන දිනවල ලාංකික සෙබලුන්ව සමාජය පිළිගත්තේ වීරයන් ලෙස ආචාර සමාචාර දැක්වීමෙනි.

බොහෝ කම්පනයට පත් ලාංකික සෙබලුන්ට නිසි පුනරුත්ථාපනයක් හා මානසික සහයක් නොලැබුණි. මෙය සෙබලුන් විශාල පිරිසක් ආතති තත්වයක් දක්වා ගෙනයාමට හේතුවිය. තවද, යුද චක්‍රය නැවතීමට නම් හිටපු හමුදා සෙබලුන්ට පුනරුත්ථාපනය හා සමාජීය සමෝදායනය අත්‍යවශම වේ. මෙම ඉතා දීර්ඝ ඛේදනීය යුද්ධයෙන් මිදී රට යලිත් එකමුතු කිරීමට ලාංකීය සමාජයට අධිෂ්ඨානය, සමානාත්මතාව හා සාමය ගොඩනැගීමේ වැඩසටහන් අත්‍යවශ්‍ය වෙයි.

අධ්‍යයනයන් කීපයක්ම පෙන්වා දෙන්නේ දරුණු අරගලවලට මුහුණදුන් වියට්නාම් සෙබලුන් නැවත ගොඩනැගීමේ කාලය තුලදී වඩා ගැටලුකාරී රෝග තත්වයන් පෙන්නුම් කළ බවයි.( විල්සන් 1978, ස්ට්‍රැයර් හා එලන්හෝන්, 1975; කොමොස්, 1978; ශටන්, 1978; ෆිග්ලෙ, 1978b ) එසේම හිටපු ලාංකික හමුදා සෙබලුන් අතර ද මෙසේ යථා තත්වයට පැමිනීමේ ගැටලුකාරී තත්වයන්ට මුහුණ දෙන්නන් සැලකිය යුතු පිරිසක් වෙති. මෙම තත්වය අනාගතයේදී ක්‍රමිකව වර්ධනය විය හැක.

යුද්ධයන් දෙකෙහිම ද්‍රව්‍යමය වියදම අපරිමිත වෙයි. කෝනල් විශ්වවිද්‍යාලය සිදුකල අධ්‍යයනයකට අනුව වියට්නාම් යුද්ධය සඳහා වැයකල මුදල ඇමරිකානු ඩොලර් බිලියන 200කි. ඊළාම් යුද්ධය සඳහා වියදම් කළ මුදල රුපියල් ට්‍රිලියන 23කි. (2010 වසරේදී නියෝජ්‍ය මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගේ ප්‍රකාශයකට අනුව -ඇ. ඩො. 1 = රු. 114.15 – 2010 මාර්තු විනිමය අනුපාතය)

වියට්නාම් යුද්ධය ඇමරිකානු සාමාන්‍ය මහජනතාව දෙකට බෙදීමට සමත් විය. ඇතමුන් විවෘතව අග්නිදිග ආසියාතික යුද්ධය හෙලා දකින ලදී. වියට්නාම් යුද්ධයට එරෙහිවූවන් වීදි බැස විරෝධතා දැක්වීමට පවා පෙළඹුනේ යුද්ධයට එරෙහිව දේශපාලන මතයක් ගොඩනැගීමේ අපේක්ෂාවෙනි. ප්‍රසිද්ධ පුද්ගලයන් වන බොබී ඩලන්, ජෝන් ලෙනන්, ජේන් ෆොන්ඩර්, මොහොමඩ් අලි වැන්නන් ප්‍රසිද්ධියේම යුද්ධය ප්‍රතික්ෂේප කලෝය. මහජන උද්ඝෝෂණ දැඩිවූ අතර සාධාරණත්වය අපේක්ෂා කරන බොහෝ සිවිල් ස්වාධීන ව්‍යාපාර ඔවුන්ට ආධාර කළහ. වියට්නාම් යුද්ධයේදී වර්ගවාදී ආතතිය ඉතා තීව්‍රවූ අතර මෙය සුදු මිනිසාගේ යුද්ධයක් ලෙස හැඳින්විය. (වියට්නාම් යුද්ධයේදී මියගිය පිරිසගෙන් 86% සුදු ජාතිකයන් වූ අතර අප්‍රිකානු සම්භවයන් ඇති ඇමරිකානුවන් 12.5%ද, අනෙකුත් ජනවර්ග 1.2% ද විය. (සී.ඒ.සී.එෆ්. හා වෙස්ට්මෝලන්ඩ් පුවත්පත්.)

සමහර රාජ්‍යය නොවන ආයතන ඊලාම් යුද්ධයට එරෙහි විරෝධතා පැවැත්වූ අතර ඉන් මහජනතාවට විශාල බලපෑමක් සිදු නොවිණි. මහජනතාව විශ්වාස කළේ විදේශ ආධාර ලබන බොහෝ රාජ්‍ය නොවන ආයතන ලංකාවේ ස්වාධිපත්‍යටත්, ජාතික ආරක්ෂාවටත් තර්ජනයක් බවයි. යුද්ධයට එරෙහිව ගෙනගිය බොහෝ විරෝධතා හුවා දැක්වූයේ යුද්ධයේ එක් පැත්තක් පමණි. එවැනි උද්ඝෝෂණ මගින් රජයෙන් සිදුකරන ලද පහරදීම් හෙළාදක්නා ලද අතර එල්. ටී. ටී. ඊ.ය සිදුකරන ලද ක්‍රියාකාරකම් මතුකර නොදැක්වීය. සමහර යුද විරෝධී උද්ඝෝෂණවලට එල්. ටී. ටී. ඊ.යට ගැති සංවිධාන ආධාර කළ අතර, එම සංවිධාන පිළිබඳ මහජන විශ්වාසය බිඳී ගියේය. එවැනි රාජ්‍ය නොවන සංවිධානවල සැඟවුනු අභිප්‍රායන් සහ ඔවුන්ගේ සත්‍යය න්‍යයපත්‍ර පිළිබඳව ජනතාව ප්‍රශ්ණ කරන ලදී. ඉතා සුළු පිරිසක් යුද්ධයේ බිහිසුණුකම පෙන්වා දෙමින් ද මනුෂ්‍යත්වය හුවා දක්වමින් ද කතා කළහ. නමුත් දැඩි මතධාරී දේශමාමකයන් ඔවුන් දේශද්‍රෝහීන් ලෙස සැලකූ අතර ඔවුන්ගේ හඬ ජනතාව අතරට නොආවේය. ලංකාවේ මෙම අවුරුදු 30ක යුද්ධය තුළ, දකුණේ හෝ උතුරේ යුද්ධයට එරෙහි කිසිඳු සාධනීය විරෝධතාවක් සිදුනොවිණි.


1973 වියට්නාමයේ ඇමරිකන් හමුදාවල ඍජු මැදිහත්වීම අවසාන වනවාත් සමඟම ස්නායු මනෝචිකිත්සාවට අදාල ගැටළු සහිත සෙබලුන් ගණන ඉතා වේගයෙන් ඉහළ ගියේය. (1978 මානසික සෞඛ්‍ය පිළිබඳ ජනාධිපති කොමිසම.) වියට්නාම් යුද්ධය පාඩම් රැසක් ඉගැන්වීය. යුද්ධයේ බලපෑමට ලක්වූ සෙබලුන්ගේ මනෝවිද්‍යාත්මක කළමනාකරණය සම්බන්ධව පුරෝගාමීවූ වෛද්‍ය ඇල්බට් ග්ලාස්ගේ ක්‍රියාකළාපය හේතුවෙන් කොරියානු යුද්ධයේදී වියට්නාම් යුද්ධයට සාපේක්ෂව මනෝවිද්‍යාත්මක ගැටළු අවම විය. අවාසනාවන්ත ලෙස වියට්නාම් යුද්ධයේදී ඔහුගේ උපදෙස් පිළිබඳව තැකීමක් නොකරන ලදී. මේ හේතුවෙන් ඇමරිකන් සෙබලුන්ට හා ඇමරිකන් සමාජයට විශාල ලෙස වන්දි ගෙවීමට සිදු විය. ලාංකික සමාජයට ද අනිවාර්යයෙන්ම යුද ආතතියට මුහුණදීමට සිදුවූ අතර යුද්ධයට පසු ඇතිවූ නීරස අද්දැකීම්වලට මුහුණදීමට ද සිදුවී ඇත.

ඊළාම් යුද්ධයේදී සිදුවූ මනෝවිද්‍යාත්මක හානිය වියට්නාම් යුද්ධයට වඩා වැඩිය. ඇඩිලේඩ් සරසවියේ මනෝ වෛද්‍ය විද්‍යාව පිළිබඳ සහකාර සායන මහාචාර්ය වරයෙකුවූ දයා සෝමසුන්දරම් මහතා පෙන්වා දෙන්නේ ලංකාවේ දීර්ඝ කාලයක් තිස්සේ පැවති ආයුධ සන්නද්ධ ගැටුම බොහෝ මානසික සෞඛ්‍ය ගැටළු ඇතිකිරීමට හා 2004 ඇතිවූ සුනාමියේදීටත් වඩා මානසික බිඳවැටීම් අතිකිරීමට සමත්ව ඇති බවයි.

දශක 3 ක ලංකාවේ ජනවාර්ගික යුද්ධයේ යුද ආතති තත්වයන් ට ගොදුරුවූ පිරිස්වලට මානසිකව ද සාමාජිකව ද බලපෑම් එල්ලවී ඇත. මෙම බලපෑම පුද්ගලික වශයෙන් ද, පවුල් වශයෙන් ද, ප්‍රජාවක් ලෙසද දැකගත හැක. අධ්‍යනයනයන් පෙන්වාදෙන්නේ විශාල ලෙස පැතිරුණු ව්‍යාධීන්, විශාල ප්‍රමාණයෙන් දෛහික රෝගාබාධ, භීතිකා, විෂාධි, පසු යුද ආතති තත්වයන්, සබඳතා ගැටළු, මධ්‍යසාර නිසා ඇතිවන ගැටළු මෙයට අයත්වන බවයි. ප්‍රජා මට්ටමෙන් ගත්විට, භීතියේ සාමූහික බලපෑම, සාමූහික කම්පනය, අවිශ්වාසයට ඇති නැමියාව, ප්‍රයත්තතාව, නිහඬබව, ඉවත්වීම, අකර්මණ්‍යතාව හා උද්යෝගය නොමැතිවීම අයත්වෙයි. සමාජීයව සාරධර්ම හා සදාචාරයේ පහලයෑමක් ද ළමා හිංසනයේ ඉහළයාමක් ද, ස්ත්‍රීන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය, දැකගත හැක.

වියට්නාම් සහලක්ෂණය ඇමරිකාවට බලපෑ ආකාරයෙන්ම ලාංකික සමාජයට ද, යුද කම්පනයේ දෝංකාරයට අනිවාර්යෙන්ම මුහුණපෑමට සිදුවනු ඇත. වියට්නාම් යුද්ධය ඇමරිකාවට වැදගත් යුද්ධයකි. එය ඇමරිකානු භූමියේදී කිසි දිනක සිදු නොවිණි. නමුත්, ඊළාම් යුද්ධය ලංකාව තුළදී සිදුවූ අතර එහි මානසික බලපෑම වියට්නාම් යුද්ධයට වඩා ප්‍රබලය. සෞඛ්‍ය අධිකාරීන්, රජයේ ප්‍රතිපත්ති සම්පාදකයන්, දේශපාලන ධූරාවලීන් යන අය මෙම ආසන්නයේ පැමිණෙන තර්ජනය අවබෝධ කරගතයුතු අතර, මෙම ඊළාම් යුද්ධයෙන් ඇතිවන මානසික හානිය අවම කර ගැනීමට හා එය වලක්වා ගැනීමට කටයුතු කළ යුතුය.

[Based on the article - The Similarities and Differences between the Vietnam War and the Eelam War by Dr. Ruwan M Jayatunge. Translated by A.M Wicramasinghe]

වෛද්‍ය රුවන් එම්. ජයතුංග
පරිවර්තනය - ඒ. එම්. වික්‍රමසිංහ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails