Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



ජාතියේ මුර දේවතාවන් ලෙස උත්කර්ෂයට පත් කරන ලද හමුදා සෙබළුන් ලංකාවේ සිවිල් සමාජයට ක්‍රම ක්‍රමයෙන් අනතුරුදායක හා භයානක කොටසක් බවට පත් වෙමින් සිටිති. මංකොල්ලකෑම්, කාම අපරාධ වලට සම්බන්ධ වන සෙබළුන්ගේ ප්‍රතිශතය ඉහල යමින් පවතී. පසුගියදා හමුදා සෙබලෙකු විසින් මහා මග ගමන් කරමින් සිටි 15 වියැති දැරියක සුසන භූමියකට ඇදගෙන ගොස් දුෂණය කල බවට මහියංගනය පොලිසියෙන් වාර්තා වේ. එසේම මාතර අකුරැස්‌ස විභාග සම්බන්ධීකරණ මධ්‍යස්‌ථානයකට පැමිණ සිටි දස හැවිරිදි පාසල් සිසුවියක මහ දවාලේ එම විදුහලේදී බරපතළ ලිංගික අතවරයකට ලක්‌ කළ බව කියන ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් පලා ආ සෙබළකු අකුරැස්‌ස පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නා ලදී. මෙම පුවත් වාර්තා කරන්නේ සැමදාම ලංකාවට එරෙහිව කුමන්ත්‍රණය කරන බටහිර ඒජන්තලා, මඩ ගසන චැනල් 4 හෝ කොටින්ගෙන් මුදල් ගෙන ආරක්ෂක හමුදාවන්ට අපහාස කරන රාජ්‍ය නොවන ආයතන වල ඉන්නා ඩොලර් කාක්කන් නොවේ. අපගේම ජාතික පුවත්පත් විසිනි. සත්‍ය වශයෙන්ම මේවා හුදු පුවත් පමණක් නොවේ. ඒවා පශ්චාත් යුද ශ්‍රී ලංකික සමාජය ගමන් කරන දිශානතිය පෙන්නුම් කරන විනාශකාරී වල්ගා තරුය.

ප්‍රභාකරන් නමැති පොදු සතුරා විනාශ කිරීම සඳහා ලංකාව විසින් විශාල යුද බලයක් ගොඩ නගන ලදී. එය ජාතික ආරක්ෂාව සඳහා අවශ්‍ය කෙරුණි. නමුත් මෙසේ විශාල හමුදාවක් ගොඩ නැගීමේදී එහි ගිණි බලය ගැන සිතුවා මිසක පශ්චාත් යුද කාලින සමයේ එහි කළමනාකරණය පිළිබඳව වගකිවයුත්තන්ට අවබෝදයක් නොවිය. පශ්චාත් යුද දුර්විපාක ශ්‍රී ලංකික සමාජය විසින් දරා ගත යුතු තරමට විශාල පීඩනයක් මිනිසුන් මත අතහැර තිබේ. ක්‍රමක් ක්‍රමයෙන් වර්ධනය වන මෙම පීඩනය සමනය නොකළහොත් එය තව නොබෝ කාලයකින් පුපුරා යනු ඇත.

දශක තුනක යුද්දය නිසා සොල්දාදුවන් ක්ෂිතිමය තත්වයන්ට පත් වූ බව සැබෑය. එමනිසා ජාතියේ මුර දේවතාවුන් ලෙස උත්කර්ෂයට පත් කරන ලද සෙබළුන්ගෙන් සෑහෙන ප්‍රතිශතයක් සිටින්නේ නිරවුල් මානසිකත්වයකින් නොවේ. ඔවුන් ඊලාම් යුද්ධය විසින් ඇති කල මානසික තුවාල සමග ජීවත් වෙති. රණවිරුවන්ට ගෙවල් ඉඩම් ලබා දෙන වගකිව යුත්තන් සොල්දාදුවන්ගේ තුවාල ලත් මනසට ප්‍රතිකාර කිරීමට සේවා ඇති කිරීමට උත්සුක නොවෙති. මෙහි වඩාත්ම විනාශකාරී තත්වය වුයේ යුද්ධයෙන් මානසික පීඩනයට පත්ව සිටි සොල්දාදුවන්ට ප්‍රතිකාර කිරීමට තිබු ප්‍රතිකාර ඒකකය යුද හමුදා රෝහලේ බ්‍රිගේඩියර් කමල් සුමනපාල නමැති වගකිවයුතු නිලධාරියාගේ අන්තනෝමතික තීරණය මත වසා දැමීමය. මේ නිසා ඊලාම් යුද්ධය විසින් ඇති කල මානසික තුවාල සමග ජීවත් වූ සොල්දාදුවන් කබලෙන් ලිපට වැටුණි. සමහරු නීති විරෝධී ක්‍රියා වෙත යොමු වුහ.

උදාහරණයක් ලෙස කහවත්තේ මහලු කාන්තාවන් ඝාතනය කල (එක් ප්‍රධාන සැකකාරයෙකු වන) අබාධිත සෙබලාගේ කතාව සලකා බලමු. ඔහු ඊලාම් යුද්ධය නිසා කායිකව සහ මානසිකව තුවාල ලැබූ අයෙකි. මොහු මුලින්ම ප්‍රතිකාර ගෙන ඇත්තේ යුද හමුදා රෝහලේ යුද ආතති ප්‍රතිකාර මධ්‍යස්ථානයේදී ය. එම ප්‍රතිකාර මද්‍යස්ථානය යුද හමුදා රෝහලේ බ්‍රිගේඩියර් කමල් සුමනපාල විසින් වසා දැමිමෙන් පසුව ඔහු ආයුර්වේද ප්‍රතිකාර කඩින් කඩ ගෙන තිබේ. පසුව ප්‍රතිකාර අතහැර තදින්ම මත්පැන් හා ගංජා පැනයට යොමු වී ඇත. පොලිස් ආරංචි මාර්ග පවසන අන්දමට මොහු විකෘතිභාවය නිසා මහලු කාන්තාවන් දුෂණය කොට මරා දමා තිබේ. නිල නොවන ආරංචි මාර්ගයකට අනුව එක් මහලු කාන්තාවක් මරා දැමීමෙන් පසුවද මොහු විසින් මිය ගිය කතව දුෂණය ලක් කොට තිරිසන් වින්දනයක් ලබා ඇත. මෙම සැකකරු අද අධිකරණය සහ ජනතාව ඉදිරියට එන්නේ බිහිසුණු අපරාධකරුවෙකු ලෙසටය. නමුත් ඔහුව විකෘති අපරාධකරුවෙකු බවට පත් කිරීමට නිලධාරිවාදයෙන් මත් වූ ඕලමොට්ටල නිලධාරියෙකුගේ ක්‍රියා කලාපය ඉවහල් වුයේ නැද්ද ? චෝදනා ගොනු කෙරෙන්නේ අපරාධකරුවාට පමණද ? ඔහුව එම තත්වයට පත් කල නිලධාරිවාදය අධිකරණය මගහැර යනවා නේද ? මෙවැනි සොල්දාදුවන්ගේ ක්‍රියා නිසා හානියට පත් සිවිල් ජනතාවට වග කියන්නේ කවුද ? අවසානයේදී ලංකාවේ සියලු සමාජ ප්‍රශ්න වලට පොදු සාධකයක් ලෙස දක්නට තිබෙන වගකීම් ගැනීමට හෝ වගකීම් දැරීමට කිසිවෙකු නැති හුදකලා ඕපපාතික සමාජ විපරීතයන් බවට ඒවා පත් වේ. නමුත් ප්‍රශ්නයේ සියලු පීඩනය බැර වන්නේ මහ ජනතාවගේ හිස් මතටය.

ශ්‍රී ලංකාවේ පශ්චාත් යුද ගිණි කන්ද පිපිරී යාමට පටන් ගෙන තිබේ. ඉදිරි කාලයේ ජාතියේ මුර දේවතාවන් විසින් සිදු කරන තව තවත් අපරාධ වාර්තා වනු ඇත. කහවත්තේ මාරයා වැනි නිල ඇඳුම් ඇඳි රෝගීන් තව බොහෝ සිටිති. නිරවුල් මානසිකත්වයෙන් තොර ප්‍රතිකාර මග හැරුණු සෙබළුන් දහස් ගණනක් අප සමාජයේ නිදහස්ව සහ නිරීක්ෂණයෙන් තොරව සිවිල් මිනිසුන් සමග සම්බන්ධ වෙමින් ජීවත් වෙති. අවස්ථාව ලැබුණු විටක ඔවුන් ඝාතන දුෂණ කරති. එවිට අපගේ ජාතික පත්තර විසින් ඒවා කුණු රසය වෑහෙන පුවත් බවට පෙරලා වැඩිපුර අලෙවියක් අපේක්ෂාවෙන් පාඨකයන්ට බෙදා දෙති. නමුත් මෙම සමාජ ගැටලුවට නිසි පිලියමක් කොහෙන්වත් ලැබෙන්නේ නැත. රණ විරුවන් ලෙස උත්කර්ෂයට පත් කරන ලද හමුදා සෙබළුන්ගේ මානසික පීඩනයද (යුද්දයේ බර කරට ගත්තාක් මෙන්) දැන් ජනතාව දරා ගත යුතුය.

අමිල ගුණරත්න



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails