Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



අදාල දේශනය සඳහා මට ආරාධනා කරන ලද්දේ ගොඩගේ සාහිත්‍ය කමිටුව වෙනුවෙන් මහාචාර්ය ජයන්ත අමරසිංහ විසිනි. දේශපාලනඥයෙකු මෙවර සහභාගි නොවන බව කීවේ ඔහු ය. මා කවරෙකු දැයි -- මගේ දේශපාලන ආස්ථානය හා ප්‍රතිපත්ති කවරේ දැයි ඔහු හොඳාකාරව ම දනී. මගේ කඳුලු මිටියාවත කාව්‍ය සංග්‍රහය එලිදැක්වූ අවස්ථාවෙහි එක් දෙසුමක් පැවැත්වූයේ ද ඔහු ය. පසුගිය වසර දහයක පමන කාලය තුල අප අතර සමීප ඇසුරක් නොපැවතිය ද සැක කිරීමට හේතුවක් නොවී ය (කලා ක්ශේත්‍රයෙහි නියැලී සිටින සැවොම සමචින්තකයන් නොවන බව කිවමනා නොවේ).

ගොඩගේ ආයතනයෙන් මා වෙත එවන ලද ලිඛිත ඇරයුම සහිත ලිපියෙහි ද ඒ වගක් සඳහන්ව නොතිබින. අනෙක් අතට, සහභාගි වන්නෝ කවරහු දැයි ගොඩගේ සම්බන්ධීකරන නිලධාරී ලහිරු කරුනාරත්න මහතාගෙන් විමසූ විට ඔහු කීවේ, මහාචාර්ය සුරවීර මුලසුන දරන බවත් නුහුමාන් මහතා දෙමල දේශනය පවත්වන බවත් ඉංග්‍රීසි දෙසුම සඳහා කථීකයෙකු ලැබී නැති බවත් වෙනත් ආරාධිතයන් නොමැති බවත් ය. මහාචාර්ය රත්නසිරි අරංගල ද මා ඇමතූ නමුත් ඔහු ද රාජ්‍ය සහභාගිත්වයක් ගැන සඳහන් කලේ නැත. තදනන්තරව, ඔවුන් විසින් පල කෙරුනු සවිස්තරාත්මක පුවත්පත් නිවේදනයන්හි පවා රාජ්‍ය සහභාගිත්වය ගැන කිසිදු සඳහනක් නොවූ බව පාඨකයෝ දනිති.

උලෙල වර්ජනය කිරීමේ පූර්වාපේක්ශාවක් මට නොතිබින. සම්මාන පොරය සමඟ මගේ දෙසුමට නෑකමක් නොවූ බැවිනි. සැප්තැම්බර් 05 සඳුදා දින පෙරවරුවේ දේශන පිටපත පවා ඊ තැපෑලෙන් ගොඩගේ ආයතනය වෙත යැවීමි. එදින ම, ගොඩගේ ආයතනයේ පෙර කී කරුනාරත්න මහතා අමතමින් පොල්තෙල් පහන දැල්වීමේ චාරිත්‍රයක් වේ නම් එයට මා සහභාගි කර නොගන්නා මෙන් ද, වේදිකාව මත නොව ශ්‍රාවක පිරිස අතර අසුන් ගැනීමට මට ඉඩ දෙන ලෙස ද ඉල්ලා සිටියෙමි. ඇමතිවරයාගේ පැමිනීම ගැන මා දැන ගත්තේ මෙවිට ය (නිල ආරාධනා පත්‍රය මට තැපෑලෙන් ලැබුනේ උත්සවයට පසු දින ය!).

ඉන්පසු ගොඩගේ ආයතනයේ කලමනාකරු නාරද කරුනාතිලක මහතා මා ඇමතී ය. ඔහු පැහැදිලිව ම කීවේ, ඇමතිවරයෙකු ගෙන්වීමට මෙවර සැලසුම් කෙරී නොතිබුනු බවත් මෙය සිරිසුමන ගොඩගේ මහතාගේ හදිසි තීරනයක් බවත් ය. හේතුව වසයෙන් දන්වා සිටියේ නගර සභාවෙන් ඉටු විය යුතු සේවාවන් නිසි පරිදි ලබා ගැනීමට පහසුවක් වන බවකි. කිසිදු කරදරයක් වීමට ඉඩ නොතබන බවත් ඇමතිවරයා දෙසුමට කන් දෙන එකක් පවා නැති බවත් ඔහු කී ය. එවිට, මට ඇත්තේ බියක් නොව පිලිකුලකැයි කීමි. මේ මහත්වරු දෙදෙනා ම මට සිදු වූ අපහසුතාව ගැන සමාව අයැද සිටියහ. දෙසුම පවත්වන මෙන් බැගෑපත් වූ ඔවුන්ගෙන් ''මගේ සහභාගිත්වය ඔතරම් වැදගත් නම් ඇමතිවරයාගේ පැමිනීම නතර නොකරන්නේ මන්දැ''යි විමසීමි. එය ඉටු නොවන බව පෙනී ගිය නිසා උත්සවයට සහභාගි විය නොහැකි බව ඒ අවස්ථාවේ දී මම ඔවුන්ට දැනුම් දුන්නෙමි.

අනතුරුව ජයන්ත අමරසිංහට කතා කිරීමට උත්සාහ දැරුව ද දෙදිනක් තිස්සේ ඔහු මගේ දුරකථන ඇමතුම්වලට ප්‍රතිචාර දැක්වීමෙන් වැලකී සිටියේ ය. මගේ ප්‍රකාශයක් රැගත් පත්‍රිකාවක් බෙදා හැරීමට සිදු වූයේ මේ කිසිත් නොදැන දේශනය අපේක්ශාවෙන් පැමිනෙන සහෘදයන් වෙනුවෙනි. මාධ්‍යයට මුදා හැරුනේ මෙම පත්‍රිකාව ය. ජයන්ත අමරසිංහ විසින් ම ප්‍රධාන දෙසුම පවත්වන ලදැයි පසුව සැල විය. සමස්ත ක්‍රියාවලිය තුල, මා උගුලකට හසු කර ගැනීමේ කුමන්ත්‍රනකාරී වෑයමක් පැවතී ඇති සෙයක් හැඟී යයි.

අවසන් මොහොතේ වුව මා ගත් මූලධර්මාත්මක ආස්ථානය සමඟ අනන්‍ය වූ සැමට මගේ ආචාරය!

-දර්ශන මේදිස්
2011-09-13



ඊයේ (සැප්- 07) පැවත්වුණු 2011 ගොඩගේ සාහිත්‍ය සම්මාන උළෙලේ ප්‍රධාන දේශනය වර්ජනය කිරීම සම්බන්ධයෙන් දර්ශන මේදිස් සහෝදරයා අප වෙත යොමු කළ ප්‍රකාශය.
-බූන්දි
2011-09-07

ප්‍රකාශය යි!

අද (2011 සැප්තැම්බර් 07 බදාදා) දින කොලඹ ඡේ ආර් ජයවර්ධන සංස්කෘතික කේන්ද්‍රයීය පරිශ්‍රයෙහි දී පැවැත්වෙන ගොඩගේ ජාතික සාහිත්‍ය උලෙලේ ප්‍රධාන දෙසුම පැවැත්වීම සඳහා මම ඇරයුම් ලැබ සිටියෙමි. එහෙත්, මෙම සම්මාන ප්‍රදානෝත්සවය ධනේශ්වර රාජ්‍ය තන්ත්‍රයේ නිල සහභාගිත්වය සහිතව සිදු කෙරෙන බව හදිසියේ (පෙරේදා) දැන ගන්නට ලැබුනි.

2011 ගොඩගේ සාහිත්‍ය දේශනය සඳහා ලද ඇරයුම මා සතුටින් භාර ගත්තේ එය රාජ්‍ය සාහිත්‍ය උලෙලෙට විකල්පව පැවැත්වෙන්නකි යන පදනම මත ය. කලා දඩයමක, අදහස් ප්‍රකාශනයට විලංගු දැමීමක, සහ පොදුවේ ප්‍රජාතන්ත්‍ර අයීතීන් කප්පාදුවක යෙදී ගත් සංස්ථාපිතය සමඟ කිසිදු දේශපාලන ගනුදෙනුවක් මට නැත. එහෙයින්, මේ අවස්ථාවට සහභාගි නොවීමට මම තීන්දු කලෙමි. දේශනය අපේක්ශාවෙන් පැමිනි සහෘද ශ්‍රාවකයන් වෙත බලවත් කනගාටුව ප්‍රකාශ කර සිටිමි.

තව ද, පැවැත්වීමට සූදානම්ව සිටි දෙසුමෙහි මාතෘකාව "තොල්ස්තෝයි: පුනර්- කතිකාවක්" යන්න යි. ඔබ දන්නා පරිදි, ලියෝ තොල්ස්තෝයි වූ කලි ප්‍රජා පීඩක පාලනයේ ප්‍රගාඪ විරුද්ධවාදියෙකි. සංස්ථාපිතය පෙරටුකොටගෙන ඔහු පිලිබඳ සාකච්ඡාවකට එලඹීම තරම් ශ්‍රේශ්ඨ ලේඛකයාට කල හැකි තවත් නිගරුවක් තිබේ ද?

මගේ වර්ජනයට හේතුව මෙය යි. තීන්දුවක් ගැනීම ඔබේ අයිතිය යි.

-දර්ශන මේදිස්
2011.09.07

දර්ශන මේදිස්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails