Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



ඔහු මා දෙස දෑස් නොසොල්වා බලා සිටී. ඔහු ලියූ අකුරින් අකුර මා සමඟ දොඩමළු වෙයි. ඒ අතරින් මට ඔහු ව පෙනේ. කැරලිකාර ජීවිතය දරා ගෙන තදින් කැරළි ගැසුණු කොණ්ඩය සමඟ ඔහු මා ඉදිරියේ ඉඳ කථාව පටන් ගනී. ගැහෙන හදවත ඔහු මට ගලවා පෙන්වයි. නැවත ඔහු තුළම එය සඟවයි.

ඔහු මගෙන් ප්‍රශ්ණ කරයි.

මම කියවන්නේ කවිය යි. ඔහු කියවන්නේ මාගේ හෘදයේ ගැඹුරුම තැනයි, මගේ දෑසේ ගැඹුරුම අන්තයයි.

ඔහු මා ඉදිරිපිට සුදුම සුදු හිස් පුල්ස් කැප් කොළයක් තබයි. එහි මෙසේ ලියයි.

"මා ඉදිරියේ හිස්ම හිස් කඩදාසියකි.
ඒ මත ලේ පැල්ලමකි.
එය කවියකි.
ඒත් එය දෙමළෙනි.
සිහළුන්ට නොතේරෙන්නේ එබැවිනි. '
'

ඉන් පසු ඔහු යළිත් මගෙන් ප්‍රශ්ණ කරයි... ඉදින් අප, ලිවීම නවතා දැමිය යුතු ද?

ප්‍රශ්ණය මා මත තබා ඔහු අකුරු අතරම සැඟවෙයි. දැන් මම ඔහු වෙතට ලියමි. මම නැවත නැවත ඒ ප්‍රශ්ණයම මගෙන් අසමින් ඔහු වෙත ලියමි. මම ඔහුට ලියන මෙහි, මේ ලියමනේ අග මුල මැද ගැළපීම් නොසොයන්න. අගක් මුලක් නැති ජීවිත ගැන ලියද්දි, මොකටද මුල මැද අග එකට පිහිටා මුසාවට ලියන්නේ. උඹට හිතෙන තැනකින් කියවපං. මේ ලියමනම අයිති උඹට.

පිටුවහල් කවිය,

මම ආසයි උඹට සහෝදරයා කියනවට වඩා "මචං" කියන්න. උඹටයි මටයි එකට ගල් උගුරක් බී සිගරැට් උගුරක් අදින්න. ඒ ආමන්ත්‍රණය හදවතට කිට්ටුයි. සහෝදරයා කියන වචනය කීතු කීතු වලට ඉරා දැමුවා කලකට පෙර සහෝදරවරුම එක්ව. මට මතකයි උඹ ලියනවා මෙහෙම, ඒ සහෝදරයෙක්ට ම.

උදුල සඳ මඩළ සැතපුන හිරගෙදර
කඳුලු සියුමැලි ද රිදුණිද හද මඩළ
පතල අරගලය වියැකුණ රෑ කලෙක
දෙමළ සොහොයුරිය ගැන ඇයි කලබලය

සිහින පෙරමුණට හැබැහින් වෙඩිවැදුන
දාක කඳුළු පෙල ගැහුණයි මග දිගට
මහණ දමක් ලෙස රැකගත් රතු කොඩිය
කාගේ ලෙයින් රතු වී දැයි අමතක ද


ඒ කඳුළු වල දැන් අයිතිකාරයෝ ගොඩයි. කඳුළකට පොළොව බදා ගන්න දෙන්නෙත් නැති තරම්. බාස්කට් රැගෙන සහෝදරවරු බරට වැඩ, කඳුළු එකතු කරන්න. උඹේ පපුවයි, පෑනයි එකට කෑගසන හඬ දෝංකාර දෙනවා අකුරක් අකුරක් ගානේ කියවද්දි. ඒත් වැඩක් නෑ මා මිතුර, බොහෝ දෙනෙක් කට සහ කණට අගුලු ලා තවම. ඒත් උඹ දුක් වෙන්න එපා. කියවන එවුන් නැතුවාමත් නොවෙයි. කවි, උඹේ හෘද සාක්ෂිය. මේ ලිපිය, මගේ හෘද සාක්ෂිය. වෙලාවකට පිහියකින් හාරනවා හෘද සාක්ෂිය හොය හොයා මගේ හදවතේ ගැඹුරුම තැන්. ඊළඟ මොහොතේ උපරිමයි කවි ගතිය. බිඳුනු සිහිනය ගැන උඹ ලිව්ව කවිය, තවම මොර දෙනවා මගේ කරණශංඛයේ කොණක. මම ආසයි ඒ කවියේ අන්තිම පැදි පෙළ ආයේ උඹටම ලියන්න.

වේදනාවෙකි හදවත
කල්පනාවෙකි මුහුණත
බිඳුණු වැව පතුළත
නො බිඳුණු සිහින කැටපත....


සිහිනය බිඳගන්න එපා කිසි දිනක. මමත් තවමත් ආදරෙයි ඒ සිහිනයට. ඒත් සිහින දකින සමනලුන්ට මේ බිමේ ඉඩ නෑ. එහෙත් අතහරින්න එපා ඒ සිහිනය. ඒ නොමළ, නොබිඳි සිහිනය. උඹ දන්නවද සිහින දකින එවුන් ඔක්කොම පිටුවහල් කලා මෙ බිමෙන් සියලු දෙනා එකතුව. එකෙක් දෙන්නෙක් තවමත් ගුහාගතව ඉන්නවා, කෙහේ හරි මුල්ලක. දවසක වෙලාවක අපි එකතු වෙමු. ගල් බෝතලයක් දෙකක් අරගෙනම. බයිට් එකට උඹ මොනවද කැමැති? තියෙනවා බං කථා දහසක් කියන්න.

කනයා තවමත් එහෙමයි. ඌ තවමත් අපි එක්ක. ෂිකරැට් බාගේ අදින්න, උගේ ආයුෂත් අපිට පුදන්නයි සූදානම. කවුරුත් දැක්කද දන්නේ නෑ, උඹේ පොත් දෙද්දි උගේ අතට, කනයගේ ඇසේ කඳුලක් දිලිසෙනවා පැනගන්න බැරිව. ඌටත් ඕන වුනේ කෑගහල අඬන්න. ඒත් හැමදාම වගේ, කනයට වුණේ අනුන්ගේ හිනාවට ප්‍රීති හිනාවක් දෙන්න. උඹට කියන්නේ මොකටද ආයේ කනයා ගැන.
ඒ තමා කනයා.

අපිටත් මංච කියනා
අපිත් මචං ම කියනා
මචංවරයෙකි කනයා
ඌ අපිට පණ වුනත් දෙනවා ...
කියලා... ලියලා... පිදුවට කනයට, කිසි පවක් නෑ උඹට.

උඹ එවූ ලියමන වන්නියෙන් මටත් එව්වා. ඔහේ වගේ ශීත සෘතු නැති වුණාට මෙහෙට... මරණයේ හීතලට ඝණවෙලා මුළු වන්නියම. උඹේ කඳුළු ගලන අකුරු පද කියවන්න බෑ මට වෙලාවකට. බොඳ වෙනවා. මගේ ඇස්වල කඳුළු වලින් උඹේ අකුරු බොඳ වෙනවා. ඒත් උඹ කිව්වා වගේම,

වදන් වැල සැකෙවින් ගොණු කරන්නේ කොහොමද
නිවන් මඟ සැතෙකින් නො රිදවන්නේ කොහොමද
දුරින් හිඳ සැණෙකින් ළඟ රැදෙන්නේ කොහොමද
ඉතින් අපි සැබැවින් හමු නොවන්නේ කොහොමද


අපි හමුවෙයි බං... ගසට ගසක් මුණගැසෙන්න මොරටුවවත් තිබුණට, මිනිහෙක්ට මිනිහෙක් මුණ ගැසෙන්න එක බිං අඟලක් නැති එක තමයි අවුල. ඒත් අපි බලා ඉමු.

උඹට මහන්සිනම් කමක් නෑ, පස්සේ කියවපං. දඹකොල පටුන දැන් අයිති යකඩ සපත්තු රෑනට. උඹේ යාලුවාගේ ගෙදර විතරක් නොවෙයි, යාපනේ අඹ ගසත් නෑ. ඒක තිබුණත් වැඩක් වෙයිද මචං. (ඔන්න මම උඹට පළවෙනි පාරට මචං කිව්වා... හොඳ හුස්මක් ගනිං) ඒ අඹ ගහේ ගෙඩි වල රස, ලේ රහ වෙලා ඇති. ගෙපැල තිබුණු තැන දැන් මහා හෝටලයක්. දඹකොළ පටුන දොහොත් මුදුන් දී වැඳගන්න, දකුණෙන් එන ඇත්තන්ට හොඳ හැටි සැප ගන්න. යාලුවාගේ අප්පා එලොව ඉඳනුත් හොයනවා ඇති ඒ ගෙපැල. දාඩිය මහන්සිය යට කළ, දරුවන් ලොකු මහත් කළ ඒ ගෙපැල. කියා යවහං ලිපියක් යාලුවට මේ ගැන. වෙලාවක් තිබුණොත්.

දෙමළ ඔළුවලට සෙල්ලම වෙඩි තැබූ තරුණ සොල්දාදුවො ඇවිත් ගමට. උන් උජාරුවට කියවනවා එහේ කරපු වීරකං ගැන. මාතෘකාවක් නැති මාතෘ භූමිය ගැන උන් හදනවා කථා ලස්සනට. හිනා වෙලා එක්වරක් මුන්ගේ මේ විහිළු වලට, අඬනවා සියවරක් වෙඩි වැද මව්බිම ආදරයෙන් සිප වැළඳගත් උන්ව සිහිකර. මම උන් එක්ක කතාවට ගියත් නැතත්, දන්නවා, උන් තියනවා කොයිම මෙහොතක හරි, දෙමළ නොවුණට මගේ ඔළු ගෙඩියටත්. එහෙම වුණොත්, උඹටත් ආරංචියක් ලැබුණොත් ආයෙත් උඹ ලියලා එවපං අර කවිය බූන්දියට.

නිරුවතින් වෙඩි වදින
වැදී මව් බිම සිඹින
මිනිස් මුවෙකින් නැගෙන
අවසන් පැතුම තුළ
නිරුවතිනි යුධ ඇඳුම

දෙමළ ඔලු ගෙඩි වලට
සෙල්ලමට වෙඩි තියන
සොල්දාදුවෝ තරුණ
සියුමැලි ද ඔය අවිය


සියුමැලි වැඩී බං උඹලගේ, අපේ හිත්. ඒ නිසයි මේ තරම් දුක්. ඒත් හිනාවෙන්න පුළුවන් අපිටම, අපේ ඇතුළටම හැරිලා. උගස් නොකළ නිසාවෙන් තවමත් රකින හෘද සාක්ෂිය.

තවත් ලියන්න අමාරුයි මචං. කඳුළු උල්පත් පුපුරලා, දෑස්කෙමි බොඳ වෙලා. ඒ අතරින් අකුරුත් බොඳ වෙලා. ඒත් මචං, සිත්තන්ඩි කඳුළු තවම නොවියළී එලෙසම ගලනවා. ඒ කඳුළු උල්පත් හෑරූ විරුවන්, දකුණේ රජවරුන් සේ තවම වැජඹී සිටිනවා. අලුත් අවුරුද්දත් ඇවිත් පාස්කුවත් ගෙවි ගියා. පාස්කු පැමිණි බක්මහේ මරණීයව නිසල වූ වන්නි ගම්දොර තවමත් මර බියෙන් සසලයි. ඒත් උතුරු වසන්තය කොළඹට පෙරහැරයි.

ගින්දර සිසිල විඳි සුදර්ශණා කියවද්දි, පපුවක් තියෙන උන්ගේ පපු කැවුතු හිරවෙනවා. ඒත් බියකරු රාත්‍රිය තවමත් එහෙමමයි. ගොදුරු සොයන සොහොන් බල්ලන් අවදියෙන්.

සදාතනිකව
කුරිසිය ම
දෙවුරේ දරාගත්
ජාතියට ඇණ ගසන විට
උන් නඟන කඳෙිරිය
කොවුල් රණ ගී
සමඟ මුසු වී
කන වැකෙන විට
දරන්න බැරි තරම්
මෙතරම්
සතුටුද ඔබට


කියලා ඇහුවට මෙහේ කවුරුවත් නෑ. එහෙම මිනිස්සු අනිත් එකාගේ දුක අහන. 2500 ඉතිහාසයම කියවලා කියවලා මෙහේ හෘර්දයත් පාෂාණීභූත වෙලා. ගල්බෝර දැම්මත් බෑ මචං, ඒ ගල් හිත් හොලවන්න. දැන් උගුර හිරවෙලා. උගුර මැද්දේ ඉකියක් හිරවෙලා. කාටවත් නොපෙණුනාට, උඹ හඬනවා වගේ මමත් අඬනවා. දහස් ගණනක් මැද්දේ උඹ වගේම මමත් තනිවෙලා. සේකර කිව්වට හඳ එළියට ලෝකය එකම යායක් කියලා. හඳ එළියට දැන් තල් රුප්පාව නම්, එක යායට පේනවා. තල් කරටි සේරම කැඩිලා ගිය නිසා ෂෙල් වැදිලා.

අවසන් ලෙස උඹට ලියන්නම් මෙහෙම... උඹ ඔහොමම හිටපං... ශීත සෘතුව පැමිණි කළ උඹට උණුසුම දෙන්න, උඹේ හිතේ උණුසුම ඇති. එහෙම හිත් තියෙන ඔක්කොම මිනිසුන්ව මතක් කරා කියපං. කවද හරි දවසක අපි හමුවෙමු, කොහෙදි හරි. සෙල්ලමට ඔළුව කුඩුවෙන්න වෙඩි තියන්න කලින්. ස්ටීවන්ටත් එන්න කියමු. එකට ඉඳගෙන ගල් උගුරක් බොමු. කථා දහසක් තියෙනවා කියන්න. ඒ ඔක්කෝම එකින් එක කථා කරමු.

උඹට ජය!

-මාතෘකාවක් නැති මාතෘ භූමියේ තනි වූ, උඹේ මචංවරයෙක්....

කර්තෘ අඥාතයි



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails