Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers


2007 සැප්තැම්බරයේ දී ලියන ලද්දකි.

ජනතා විමුක්ති පෙරමුණට සිය පැවැත්ම සඳහා උග්‍ර අරගලයක නිරතවීමට සිදුව ඇති බව පැහැදිලිය. පාර්ලිමේන්තුවාදයෙන් ගොඩයාම සඳහා 1994දී ගනු ලැබූ තීරණය විසින් එහි සියළු විප්ලවකාරී ගූණයන් අහෝසිකර දමා තිබේ. කල්දමන ලද සහ මගහැර ගිය සැබෑ ප්‍රතිරෝධයන් වඩාත් තියුණු ලෙස මතු වෙමින් පවතී. ක්‍රමය විසින් අවශෝෂණය කරගත් දේශපාලන මතවාදයක් සහ ව්‍යුහයක් නඩත්තු කිරීම සහ ක්‍රමය විසින් සංතෘප්ත කළ නොහැකි දේශපාලන බලවේගයන් මත සිය ආධිපත්‍යය පවත්වාගෙන යාම අතර ප්‍රතිරෝධය ජවිපෙ මුහුණ දී ඇති ප්‍රධාන ප්‍රතිරෝධයයි. සිංහල බෞද්ධ අධිපතිවාදය තුල ගිලී යාම හේතුවෙන් දෙමළ ජනතාවට එරෙහි රාජ්‍ය මර්දනයට සහාය පල කිරීමට ජවිපෙයට සිදුව ඇති අතර අනෙක් අතට තමන් නියෝජනය කරන බලවේගයේ ආර්ථික අරගලය සහ එය මත දියත්ව ඇති රාජ්‍ය මර්දනය අතර ජනතා විමුක්ති පෙරමුණ සිරව සිටී.

හදිසි නීති විවාදයේදී ජවිපෙ එයට එරෙහිව හඬ නගයි. ඒ සඳහා ඡන්දය විමසන විට එයට පක්ෂව ඡන්දය ලබා දෙයි. ජනතාව මත බදු බර පනවන පනත් ගෙනෙන විට එයට එරෙහිව පාර්ලිමේන්තුව තුළ දැඩි ලෙස උද්ඝෝෂණය කරයි. නමුත් එයට එරෙහිව ඡන්දය පාවිච්චි කිරීම සඳහා පාර්ලිමේන්තුව තුළ සිටිනුයේ ඔවුන්ගේ මන්ත්‍රීවරුන් කීප දෙනෙකු පමණි. එම පනත්වලට පක්ෂය විරුද්ධබව ජනතාව හමුවේ ප්‍රකාශ කරන අතර පක්ෂයේ සෙසු මන්ත්‍රීන් එදින පාර්ලිමේන්තුවට නොපැමීණ එය සම්මත වීමට ඉඩහරී. රැවුළ සහ කැඳ දෙකම බේරා ගැනීමට ටිල්වින් සහෝදරයාට සිදුව ඇති බවක් පෙනී යයි.

මේ තත්ත්වය ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය 1994 දී පාර්ලිමේන්තුවාදය තුල ගිලීයාමට ගත් තීරණයේ තාර්කික ප්‍රතිඵලයයි.1989 මර්දනයෙන් පසුව ජනතා විමුක්ති පෙරමුණද සමස්ත ලාංකීය සමාජයද මුහුණ දී තිබූ දේශපාලන වටපිටාව කුමක්ද?

පළමුව ජනතා විමුක්ති පෙරමුණ ගැන අවධානය යොමු කළ හොත් එහි නායක රෝහණ විජේවීර සහ සියළුම දේශපාලන මණ්ඩල සභිකයන් අත් අඩංගුවට ගෙන මරා දමා තිබිණි. දිවිගැලවුනේ සෝමවංශ අමරසිංහගේ පමණක් වන අතර මධ්‍යම කාරක සභිකයන් කීප දෙනෙකු හැරෙන්නට සෙසු සියල්ලන්මත් මරා දමනු ලැබීය. එපමණක් නොව එහි සෙසු සියළු මට්ටම්වල සාමාජිකත්වය සහ හිතවතුන් ඇතුළු 60000කට ආසන්න පිරිසක් ඝාතනය විය. තවත් දහස් ගණනක් අත් අඩංගුවට ගෙන අමානුෂික වධබන්ධන පමුණුවා පොලිස් ස්ථාන, හමුදා කඳවුරු, බන්ධනාගාර, සහ රැඳවුම් කඳවුරුවල ගාල් කර තිබිණ. තවත් බොහෝ දෙනෙකුට දිවි ගලවා ගැනීමට රටින් පලා යාමට සිදු විය. ඇතැමුන් වනගතව සැඟවී සිටියහ. ඉතිහාසයේ දැවැන්තම සංහාරයකට මුහුණ දුන් දකුනේ සමාජය මර්දනයෙන් හිරි වැටී ගොස් තිබූ අතර උතුර ශ්‍රි ලංකා සහ ඉන්දීය හමුදාවන් සමග කළ යුද්ධවලින් දරුණු විනාශයකට පත්ව තිබිණ. මර්දනයට පක්ෂපාතීවීම සහ මර්දනය විසින් බිය ගැන්වීම යන සාධක මත විපක්ෂ දේශපාලන ක්‍රියාකාරිත්වය ඇණ හිට තිබිණ. මානව හිමිකම් ක්‍රියාකාරිකයන්, ජනමාධ්‍යවේදීන් ද මර්දනයේ ගොදුරු බවට පත්වීම හේතුවෙන් සිවිල් සමාජ ක්‍රියාකාරිත්වයක් මතුවූයේ ද නැත.

මේ 1990 වන විට පැවැති තත්ත්වයයි. 1990 මැද භාගය වන විට මේ තත්ත්වය යම් පමණකට වෙනස් වෙමින් පැවතිණ. රාජ්‍ය මර්දනයට එරෙහිව සිවිල් සමාජ ක්‍රියාකාරීත්වයක් මෝදු වෙමින් පැවති අතර ජවිපෙයේ විසිරී ගිය කණ්ඩායම් යළි සබඳතා ගොඩනගා ගනිමින් විවිධ ස්ථානවල සිට ප්‍රතිසංවිධානය වෙමින් පැවතිණ.

මහා සංහාරයනට ගොදුරු වූ සමාජයන්හි සමාජ සඥතාව ඉහළතලයකට ඔසවා තැබෙන දාර්ශනික සදාචාරාත්මක සහ දේශපාලනික වර්ධනයන් අත්පත් කරගැනීම බොහෝවිට සිදු වේ. පැසිස්ට්වාදයට ගොදුරු වූ යුරෝපයේ කලාවේ සහ දර්ශනවාදයේ සිදු වූ ගැඹුරු වෙනස් කම් ඊට නිදසුනකි. නිසැක ලෙසම සංහාරයෙන් පසුව දකුණේ සිංහල විඥානය තුල ගැඹුරු සමාජ වෙනසකට මග පෙන්වන්නා වූ සංවේදීතාවයේ සහ පරිකල්පනයේ කලලයන් පිලිසිඳ තිබිණ. නමුත් එය නිසිලෙස වර්ධනය වීමට අවස්ථාවක් නොවීය.

විනාශයට ලක් වූ නමුත් දකුණේ තරුණ පරපුරේ අපේක්ෂාවන් තවමත් නොනිවී තිබිණ. ඔවුන්ගේ ආත්ම ප්‍රකාශන මාධ්‍යය වූ කවිය, විවිධ මානයන්ගෙන් 89 න් පසු අත්කරගත් වර්ධනය එහිලා සළකා බැලිය හැකි එක් නිදසුනක් පමණි. හුදු දේශපාලන ප්‍රචාරකවාදයෙන් එය මිදෙමින් පැවති අතර පැරණි ආකෘතීන් සුමට ලෙස බිඳදමමින් සිටියේය. මානව ඛේදවාචකයන් විනිවීදීමෙහිලා තියුණු පරිකල්පනයක් එය තුළ දැකිය හැකි විය. යුද්ධයේ සහ මර්දනයේ කම්පනය ගෝත්‍රවාදයේ සීමාවන් ඉක්මවාගොස් ස්පර්ශ කිරීමේ හැකියාවක් සහ උවමනාවක් එය තුල විය. ඉතිහාසයේ වසුරු ඇසුරින් නොව රාජ්‍ය මර්දනය පිලිබඳ තමන්ගේම අත් දැකීම් ඇසුරෙන් උතුරේ යෞවනයාගේ ඉරණම තේරුම් ගැනීමේ සහෝදරාත්මක වෑයමක් ගොඩ නැගෙමින් පැවැති අයුරු මෙකල බොහො නිර්මාණයන් තුල අන්තර්ගත විය. වඩාත් වැදගත් දෙය මේ කවීන් බොහෝ දෙනෙකු ප්‍රාදේශීය රහසිගත සහ නීත්‍යානුකූල ප්‍රකාශන රාශියක් තැන්තැන්වල බිහිකළා වූ ජවිපෙ ක්‍රියාධරයන් හෝ හිතවතුන්ව සිටියවුන් වීමය. ජවිපෙ හෝ එය නොවන අනාගත දේශපාලන සහ සමාජ ව්‍යාපාරයක හෘදය සාක්ෂිය බවට පත් වීමට වරම් ලැබ සිටියේ මේ නිර්මාපකයන්ය. ලක්දිව පුවත්පත බිහිවීමත් සමගම රටපුරා විසිරී සිටි මේ තරුණ තරුණියන් ජාතික මට්ටමින් එක් රැස් කෙරිණ.

සමාජ සඥතාව අඛණ්ඩව වැඩෙමින් පැවති අතර හිරු පුවත්පත බිහිවනුයේ එහි ගුණාත්මක වර්ධනයේ එක්තරා අවධියකදීය. නිර්මාණයන් තුළ උතුරේ ඛේදවාචකය සහ අරගලයේ වීරත්වය පිලිබඳ සහෝදරාත්මක ආකල්පයන් පැවැතියද න්‍යායිකව ජාතික ප්‍රශ්නය විශ්ලේශණය කරගැනීමේ හැකියාව එය විසින් තවමත් අත්පත් කරගෙන නොතිබිණ. ජාතික ප්‍රශ්නය අරබයා විජේවීර විසින් කණින ලද මඩගොහොරුවෙන් එළියට ඒමේ නොහැකියාවත්, හෘදය සාක්ෂියේ අරගලයත් අතර ප්‍රතිරෝධය සෑම විටෙකම ප්‍රකාශයට පත් විය. කෙසේවුවද රාවය සහ යුක්තිය පුවත්පත් ලිබරල්වාදී සීමාව තුළ වුවද ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් දැරූ ස්ථාවරයන් සාපේක්ෂව නිරවුල්විය. රාජ්‍ය මර්දනයේ පීඩාවට ලක්වූ සෙසු සමාජ ස්ථරයන්ගේ ප්‍රකාශනයන් බවට පත්ව සිටියේ රාවය සහ යුක්තියයි. කෙසේ වුවද අතුරුදන් වූවන් සහ දේශපාලන සිරකරුවන්ගේ ප්‍රශ්නය ඇතුලු මානව අයිතීන් තේමාකොටගත් සමාජ ව්‍යාපාරයක් ගොඩ නැගෙමින් පැවතිණ.

මෙයට සමාන්තරව තවත් අපූර්ව දෙයක් සිදු වෙමින් පැවතිණ. එනම් රාජ්‍ය මර්දනයෙන් බේරී විදෙස්ගත වූ සිංහල තරුණයාට පිටුවහල් දමිල ප්‍රජාව සමග ඓන්ද්‍රීය අවබෝධයක් ගොඩනැගීමය. ජාතික ප්‍රශ්නය අරබයා වඩාත් තාර්කික සහ විචාරශීලී දෘෂ්ටි කෝණයකින් සිතීමට එවිසින් ඉඩකඩ විවරකර දුන්නේය. 1994ට පෙර ජවිපෙ ජාත්‍යන්තර උද්ඝෝෂණවලදී දෙමළ පෙදෙස්වලට බෝම්බ දැමීමට එරෙහි සටන් පාඨ මතුවනුයේ මේ අවබෝධය මත දියත් වූ අභ්‍යන්තර අරගලවල ප්‍රතිඵලයක් ලෙසය.

අනෙක් අතට මේ වනවිට රට පුරා බන්ධනාගාරවල, රැඳවුම් කඳවුරුවල වනාන්තරවල සිටි කොටස් අතර සබඳතා ගොඩ නැගෙමින් පැවතිණ. ඔවුන් ක්‍රමානුකූලව පොදු සමාජ ව්‍යාපාරයන් සමග බද්ධ වෙමින් සිටියහ. විශ්ව විද්‍යාල තුළ ජනතා මිතුරන්ගේ ජාතිවාදයට එරෙහිව ජවිපෙ හිතවාදී ශිෂ්‍ය කොටස් ගෙන ගිය අරගලය විසින් තවත් ඓතිහාසික ක්‍රියාදාමයක් සම්පූර්ණ වෙමින් පැවතිණ. මේ සියලු බලවේගයන්ගේ අන්තර්ක්‍රියාකාරීත්වය විසින් දියුණු සමාජ දේශපාලන ව්‍යාපාරයක් ලාංකීය පොළොව මත බිහි කිරීමට අවශ්‍ය සාධක සම්පූර්ණ කළේය.

නමුත් 1994 මහමැතිවරණය විසින් ක්‍රියාවලියේ ස්වභාවික විකසනයට ඉඩ නොදී එය ගබ්සා කරනු ලැබීය. ලිබරල් සමාජ ප්‍රජාතාන්ත්‍රික බලවේගයන් චන්ද්‍රිකා කුමාරණතුංග විසින් ගසා කා නන්නත්තාර කර දැමුනු අතර ජවිපෙය නියෝජනය කල බලවේගයන් සෝමවංශ අමරසිංහ විසින් පැරණි මඩවගුරෙහිම ගිල්වා දමනු ලැබිණ. මින් දෙවැනි කරුණ කෙරෙහි අවධානය යොමු කරමු.

සෝමවංශ අමරසිංහට පක්ෂයේ නායකත්වය හිමිකරගැනීම සඳහා එය නීත්‍යානුකූල පක්ෂයක් බවට පත් කරලීම පූර්ව කොන්දේසියක් වෙමින් පැවතිණ. තමන්ගේ පාලනයෙන් තොරව ගොඩ නැගෙන දේශපාලන ව්‍යාපාරයක් තුල තම ආධිපත්‍යය තහවුරු කිරීමට ඇති අවකාශය සීමා සහිත බව ඔහු වටහා ගැනීම ඊට හේතුවයි. පළමුවෙන් ඔහු තමා පක්ෂයේ සභාපතිවරයා බවට මැතිවරණ කොමසාරිස් ලවා සියුම් ලෙස නීතිමය පිලිගැනීමක් ලබාගත්තේය. එ තම පක්ෂයේ නමට සමාන නමකින් වාසුදේව නානායක්කාර පක්සයක් ලියා පදිංචි කරන්නේ යැයි කියමින් මැතිවරණ කොමසාරිස්ට ලිපියක් යවා එයට මැතිවරණ කොමසාරිස් යවන පිලිතුරු ලිපියේ තමා වෙත පක්ෂයේ සභාපති ලෙස ආමන්ත්‍රණය කරවා ගැනීමය. ඉන් පසු නීතීමය වශයෙන් පක්ෂයේ නායකයා ලෙස ඔහු තම අනුත්තර අධිකාරිය තහවුරු කර ගත්තේය. නමුත් මැතිවරණ ක්‍රියාදාමය තුළ ගොඩ නැගෙන පක්ෂයක හැරෙන්නට ඉන් පිටස්තර සංවිධානයක නායකත්වය ලබා ගැනීම ඔහුට අපහසු විය. එහෙයින් 1994 දී ඔහු ජවිපෙයේ සියළු බලවේගයන් මැතිවරන ක්‍රියාදාමයට නතු කළේය. ගොඩ නැගෙමින් පැවැති සමාජ දේශපාලන ව්‍යාපාරය ගබ්සා කල ඔහු එය නීතිගත පක්ෂයක් බවට පත් කළේය. මෙහිදී පැන නැගි විරෝධතාවන් පාලනය කළේ එක් එක් කණ්ඩායම් අතර ප්‍රතිරෝධයන් අවුළුවා එකිනෙකාට එරෙහිව යෙදවීම තුළිනි. පැරණි යන්ත්‍රයේ බලරටාවන් ස්ථාපිත කිරීමට ඇතැම් කොටස්වලට අවශ්‍ය වීම මෙහිලා ඔහුට වාසි සහගත තත්ත්වයක් විය. හිරු පුවත් පත වටා ගොඩ නැගෙනු බල වේගය සහ සෙසු බලවේගයන් අතර සියුම් අවිශ්වාසයක් ජනිත කර එය වර්ධනය කලේය. අවසානයේ සියල්ලන් එකිනෙකාට එරෙහිව තමන් මත රඳා පවතින තත්ත්වයක් ඇති කිරීමට ඔහු සමත්විය. අනුත්තර නායකයා බවට පත් වීමෙන් අනතුරුව ඔහු පක්ෂය තුළ ජාතික ප්‍රශ්නය අරබයා සංවාදයක් සඳහා වූ ඉඩකඩ අහුරා දැම්මේය අද දක්නට ලැබෙන පිරිහීම ආරම්භ වනුයේ එතැන් සිටය. පාර්ලිමේන්තුවාදයේ සියළු අවස්ථාවාදී ලක්ෂණයන් ජවිපෙයේ උරුමය බවට පත් විය. රාජ්‍ය වරප්‍රසාදයන්ට ගිජුවීම, රාජ්‍ය මර්දන යන්ත්‍රය සමග සම්මුති සහගතවීම, පිළිකුළ් සහගත මහජාතිවාදයට යටත් වීම, එම අවස්ථාවාදයේ ප්‍රමුඛ ලක්ෂණයන් විය.

අද ජවිපෙය මුහුණ දී ඇත්තේ නිල දේශපාලන පක්ෂයක් ලෙස පවත්නා ක්‍රමයට අනුගත වීමේ එනම් සෝමවංශවාදයට පූර්ණ ලෙස යටත් වීමේ ප්‍රතිවිපාකයන්ටය. 1994දී තෝරාගත් මාවතේ සෝමවංශ සහ අනුගාමිකයන් තවදුරටත් ඉදිරියට ගමන් කළද එය නියෝජනය කළ බලවේගයන් දැනටමත් එහි ඓතිහාසික දුර ගොස් තිබේ. 1994 දී නිෂේධනයක් සිදුවුවද එය ද්වන්දාත්මක බව දැනටමත් සිදුවන දෙයින් පැහැදිලිය.

2007.09.18

අජිත් සී හේරත්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails