Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers


විකල්ප වෙබ් අඩවියෙන් උපුටා ගත් ලිපියකි.

කැටි කිරිල්ලීගේ කතාව

"දන්නවද කැටි කිරිල්ලී කියන්නෙ කව්ද කියලා, බට්ට් වගේම කෙනෙක්. ඉතින් දවසක් කැටි කිරිල්ලිගෙ දෙමව්පියො එයාට කතා කරලා ගෙදර තිබුණු අන්තිම හාල් හුන්ඩුවත් අතට දීලා කිව්වා, දරුවො උඹට දෑවැදි හොයන්නයි මිනිස්සු හොයන්නයි අපිට පුළුවන් කමක් නැහැ. උඹ කොහේ හරි ගිහිල්ලා උඹට ගැලපෙන කෙනෙක් හොයාගනින් කියලා. ඉතින් කැටි කිරිල්ලි ගමක් ගානෙ ඇවිදගෙන ඇවිදගෙන ගියා. කැමතිවෙන මිනිහෙක් හොයන්න. ඒත් කැටි කිරිල්ලි බඳින්න කිසිවෙක් හම්බවුණේ නැහැ. ඒත් කැටි කිරිල්ලි ඇවිදගෙන ඇවිදගෙන ගියා. ඔහොම යනකොට ඈත පිටිසර ගම්මානෙක වෙල් යායක කුඹුරු කොටන ගොවියො කට්ටියක් හම්බ වුණා. කැටි කිරිල්ලි එතනට ගියා. එතනට ගියාම එක ගොවියෙක් ඇරෙන්න අනික් ගොවියො කැටි කිරිල්ලිගෙ පැත්තවත් හැරිලා බැලුවෙ නැහැ. අර ගොවියා හයින් හාගතේ බඩගින්නෙ හිටියෙ. පොළොව කොටලා කොටලා දෙකට නැමිලා. කුදු වෙලා. හැබැයි කැටි කිරිල්ලිට හිතුනා මෙයා නම් මට ටිකක් කැමති වගේ කියලා. එහෙම හිතිලා එයා ළඟට ගිහිල්ලා කිව්වා, මං දෑවැද්දට හාල් හුණ්ඩුවකුත් අරගෙන ඇවිල්ලා තියෙන්නෙ. මුන්නැහේ මොකද කියන්නෙ කියලා. ගොවියට හරි සතුටුයි. එයා කිව්වා ආ එහෙමද? එහෙනම් බොහොම හොඳයි. අර ඈත පේන්නෙ මගෙ ගේ. ඒ ගෙදෙට්ට ගිහිල්ලා ඔය හාල් ටික ලිපේ තියෙලා බත ඉදෙනකොට මට කතා කරපන්, මං සුටුස් ගාලා එන්නම් කියලා. ඉතින් කැටි කිරිල්ලිටත් හරි සතුටුයි. එයා දුවලා දුවලා ගිහිල්ලා හාල් ටික ගරලා ලිපේ තිබ්බා. ඔන්න දැන් බත ඉදී ගෙන එනවා. දැන් මුන්නැහේට කන්න දෙන්න එපායෑ. එලියට බැහැලා කතා කරන්න බැලුවා. කෝ ඉතින් නම දන්නෙ නෑනෙ. හොඳ වෙලාවට අර කුදේ මතක් වුණා. මතක් වෙලා මහ හයියෙන් කෑගහලා කිව්වා, කුදෝ… කුදෝ… බත ඉදෙනවෝ කියලා. අනික් ගොවියන්ට හරි හිනා මේ කුදේ කතාව අහලා. ඒ වුණාට අර කුදාට හරියටම කේන්තියි. කේන්ති ගිහිල්ලා උදැල්ලත් උස්සගෙන දුවගෙන දුවගෙන ඇවිල්ලා කැටි කිරිල්ලිගෙ ඔළුවට ගැහුවා මැරිලම වැටෙන්න. ඉතින් කුදාට හොඳටම කේන්තියි, හිතේ අමාරුවයි. ඔය ඔක්කොමට එක්ක ගිහිල්ලා ඇඳේ හාන්සි වුණා. තාමත් අර බත ඉදෙනවා. ඉදෙන්නෙ කොහොමද? කුද හෝ… කුද හෝ… කිය කිය. කුදාට තවත් කේන්තියි. නැගිටලා දුන්නා පයින් පාරක් අර බත් හැලියට. බත් සී සී කඩ. ඔන්න කොහේද ඉඳලා ආපු කපුටෙක් දැන් බත් ඇට අහුලනවා. වරිගෙටත් කතා කරනවා. කුද කාක්… කාක්… කුද කාක්… කාක්… කියලා. තවත් කේන්තියි කුදාට, පයින් ගහන්න හිතුණාට කුදාට පයින් ගහන්න පුළුවන් කමක් තිබුණෙ නැහැ. කපුටා ඉගිලිලා ගිහින් වැහුවා වහලෙ උඩ. වහලෙ උඩත් වහලා කෑ ගහනවා. කුද කාක්… කාක්… කුද කාක්… කාක්… කියලා. ගොවියට තවත් හොඳටම කේන්තියි. හිටපන් උඹට හොඳ වැඩක් කරන්න කියලා. එක පාරටම වහලෙට ගිනි තිබ්බා. ඔන්න වහලෙ ඇවිලෙනවා කුද හෝස්… හෝස්… කුද හෝස්… හෝස්… කියලා. ගොවියට යක්ෂාවේස වුණා. සිහිවිකල්ලෙන් වගේ මේ කුදා අර ගිනි ජාලාවට පැන්නා."

වැලි තලාවක ඈතට ඈතට ගමන් කරන කාන්තාවකි. පසුබිමින් මහළු මිනිසෙක්ගේ හඬකි. දර්ශනය වැලි තලාවේ සිට මහළු මිනිසාගේ රූපයට ඡේදනය වෙයි. මහළු මිනිසා කුඩා දරුවාට කැටි කිරිල්ලීගේ කතාව කියයි. යුද්ධය තුළින් වේලුන භූමියක සිට අප ද කැටි කිරිල්ලීගේ කතාවට සවන් දී සිටියෙමු. ‛සුළඟ එනු පිණිස’ විශිෂ්ට සිනමා කෘතියක් වන්නේ කාන්ස් සම්මාන ලැබූ නිසා නොවේ. යුද්ධය පිළිබඳ ෆැන්ටසි, වීරෝධාර හැඟීම් ඉරා දැමූ නිසාය. යුධ විරෝධී සිනමා ධාරාවේ ආරම්භය සිදුවන්නේ ‛මේ මගේ සඳයි’ තුළිනි. උදේ පාන්දරම ඇසෙන්නට ගන්නා වීරෝධාර ගීත වූ කළි නිර්ධන පාන්තික රැකියා විරහිත තරුණයාව බාගැනීමේ උපක්‍රම බැව් පසක් කළේ ‛මේ මගේ සඳයි, සුළඟ එනු පිණිස’ වැනි සිනමා කෘති විසිනි. මව් බිමේ ජයග්‍රහණයන් යනු හුදෙක් ඔවුන්ගේ ජයග්‍රහණ මිස අපගේ ජයග්‍රහණ නොවන බැව් මතක් කර දුන්නේ මෙම සිනමා නිර්මාණයන්ය.

මොහුව එල්ලා මැරිය යුතුය

යුද්ධය පිළිබඳ වූ තම ෆැන්ටසිය බිඳ දැමීම දරාගත නොහැකි වූ බොහෝ පිරිස් ‛සුළඟ එනු පිණිස’ ට එරෙහි විය. මෙය දේශද්‍රෝහි ක්‍රියාවක් ලෙස අර්ථ දැක්වීය. මෙහිදී පෙරමුණ ගත්තේ රියර් අද්මිරාල් සරත් වීරසේකර නැමැති නාවික හමුදා නිළධාරියෙකි. මොහු මෙම චිත්‍රපටය පිළිබඳව ඉරිදා දිවයින පුවත්පතේ කළ සිනමා විචාරය අවසන් කරන්නේ විමුක්ති ජයසුන්දර එල්ලා මැරිය යුතු බව පවසමිනි. (හමුදාව සිනමා විචාරය කරන්නට පැමිණි පසු භාවිතා කරන විචාර ක්‍රමවේදයන් වල ස්වරූපය මෙසේ වීම ගැන පුදුම විය යුතු නැත.) ත්‍රස්තවාදය සාධාරණීයකරණය කිරීම, හමුදා භටයා අවමානයට පත් කිරීම, හමුදා බිරින්දෑවරුන්ගේ චරිත කෙලෙසීම, සිංහල ගැමි සංස්කෘතිය හාස්‍යයට ලක් කිරීම වැනි ක්‍රියා නිසා විමුක්ති යනු දේශ ද්‍රෝහියෙකු, ත්‍රස්තවාදියෙකු බව සිනමා විචාරක අද්මිරාල් පැවසීය.


අද්මිරාල්ලාගේ සිනමාව

කාලයක් ගත විය. බොහෝ දේ වෙනස් විය. දෛවයේ සරදමකට මෙන් එදා සිනමා විචාරකයෙක් වූ අද්මිරාල් අද සිනමාකරුවෙක් වී ඇත. ( හමුදාව අනික් හැමදේම කරනව නම් චිත්‍රපටි කළාම මොකද වෙන්නෙ? ) එදා යුධ විරෝධී සිනමාකරුවෙක් වූ විමුක්ති අද යුධවාදී චිත්‍රපටයක නළුවෙක් වී ඇත. මේ අප ගත කරන්නේ විමුක්ති සහ අද්මිරාල් එක මේසයක සිට සිනමාව පිළිබඳව කතා කරන මොහොතකය. අද්මිරාල් තවමත් පෙනී සිටින්නේ එදා තමා පෙනී සිටි දේ වෙනුවෙනි. නමුත් විමුක්ති එදා සිටි ස්ථාවරෙයන් මිදී අද්මිරාල්ගේ ස්ථාවරයට පැමිණ ඇත. එනම් විමුක්ති අද්මිරාල්ගෙන් සිනමාව ඉගෙන ගෙන ඇත. විමුක්ති පමණක් නොව බූඩි කීර්තිසේන ද අද්මිරාල්ගෙන් සිනමාව ඉගෙන ඇත. තිරගත වීමට නියමිත ‛මාතා’ චිත්‍රපටය තුළින් විමුක්ති සහ බූඩි අද්මිරාල්ගෙන් ඉගෙන ගත් දෑ අපට පෙන්වනවා ඇත. ඔවුන්ට අනුව මාතා යනු යුද්ධයේ සැබෑ කතාවයි. මේ සැබෑ කතාවට අනුග්‍රහය සපයන්නේ ආරක්ෂක අමාත්‍යාංශයයි. එසේ අනුග්‍රහය නොමැතිව මුලතිව් කැලයේ රූපගත කිරීම් වලට අවසර නොලැබෙනු ඇත. ඉතින් මේ ආරක්ෂක අමාත්‍යාංශය යුද්ධයේ සැබෑ කතාව ලෙස ඇත්තම කතාව පෙන්වයි කියා කවුරුන් හෝ බලා සිටිනවා නම් ඒ අයට කියන්නට ඇත්තේ ඊට වඩා සැබෑ කතාවක් ස්වාධීන රූපවාහිනියේ ප්‍රවෘත්ති වලදී බැලිය හැකි බවය.

ගාමණි

විමුක්තිව එල්ලා මැරූ අද්මිරාල් සරත් වීරසේකර මව්බිමේ විජයග්‍රහණය උදෙසා කැපවූවන්ගේ ප්‍රේමාන්විත සිනමා සිත්තම කර ඇත. "සුදු සළු පටින් ලොවම වසන් කළ මිලේච්ඡ ත්‍රස්තවාදයේ සැබෑ රුව හා සටන් කරන්නට, දේශයේ උත්තුංග භික්ෂුත්වය සතු මානව දයාව පෙරටු කරගනිමින්, යටගිය අධ්‍යාත්මික සටන් කලාව යළි අවියක් කොට පණපොවා, ගම් රැකවලුන් හතළිස් දහසක් අපූර්ව ව්‍යායාමයකට රැගෙන ගිය මව්බිමේ මහා විජයග්‍රහණයට උරදුන් ප්‍රේමාන්විතයන්ගේ ජීවාත්මක හාස්‍යයෙන් හා අනුවේදනීය සංසිද්ධීන්ගෙන් උද්වේගකර අපූර්ව සිනමා අත්දැකීමක්" යනුවෙන් විස්තර කර ඇත. හමුදාව සිනමාව කරන්නට පැමිණි පසු මෙවන් දේ බලාපොරොත්තු විය යුතුය. ලංකාවේ සිනමාව මේ යන්නේ කොහේද? රටක සිනමාව මීටත් වඩා පිරිහීමකට ලක් විය හැකිද? ‛ගාමණී’ යනු සත්‍යයක් නම් කාලයකට පෙර නැරඹූ මේ මගේ සඳයි, සුළඟ එනු පිණිස, ඉර මැදියම, සුදු කළු සහ අළු යනු පට්ටපල් බොරුද?


නළුවා යනු හුදු ශරීරයක් පමණක් නම්

එදා මේ මගේ සඳයි, සුළඟ එනු පිණිස නැරඹූ තිරයේම අද අපට මාතා, ගාමණී බලන්නට සිදු වී ඇත. එපමණක් නොව පුදුමය නම් එදා මේ මගේ සඳයි, සුළඟ එනු පිණිස චිත්‍රපට වල දුටු නළු නිළියන්ම අද ගාමණී බලන්නට ගිය විටද හමුවීමයි. යුද්ධයෙන් පීඩිත වූ, අපේක්ෂාභංගත්වයට පත් වූ හමුදා සොල්දාදුවාගේ චරිතයට පණ පෙවූ නළුවාම ජයග්‍රාහී, වීරෝධාර හමුදා සොල්ාදාදුවාගේ චරිතය නිරූපණය කරයි. මෙයින් පෙනෙන්නේ නළුවා පමණක් නොව ඔහුගේ සමස්ත දේශපාලනය ද වේශ නිරූපණය කර ඇති බවයි.

පසුගිය කාලයේ පශ්චාත් සුනාමි තත්වය අළලා ‛නැගෙනහිර වෙරළෙන් ඇසෙන’ යනුවෙන් නාට්‍යයක් නිර්මාණය විය. මෙය සුනාමියෙන් විපතට පත් අය රැඳී සිටින කඳවුරක් මූලික කොටගෙන නිර්මාණය වූවකි. මෙම කඳවුර පිහිටා තිබෙන්නේ ප්‍රදේශයේ පන්සලකය. මෙම කඳවුරේ සියළුම ජාතීන්, ආගම් වල ජනතාව එකට වෙසෙති. නමුත් එක් දිනක පන්සලේ පොඩි හාමුදුරුවන් බෞද්ධාගමික වැඩසටහනක් ශබ්ද විකාශන යන්ත්‍රයෙන් කඳවුරට ඇසෙන්නට සලස්වයි. එහිදී එතනට පැමිණෙන ලොකු හාමුදුරුවන් පොඩි හාමුදුරුවන්ගෙන් බීමට වතුර ස්වල්පයක් ඉල්ලයි. පොඩි හාමුදුරුවන් පිළිගන්වන වතුර පොල්කට්ට අත ඇතිව ලොකු හාමුදුරුවෝ අපූරු උපදේශයක් දෙයි. එනම් විටෙක අපගේ පිපාසය නිවන වතුරම තවත් විටෙක සුනාමියක් වී ජීවිත ගණනාවක් බිලි ගන්නා බවයි. වතුරට පමණක් නොව සිනමාවට ද ඒ දේ අදාල බව එදා ඒ ලොකු හාමුදුරුවන්ගේ චරිතය නිරූපණය කළ නළුවාට සහ අනෙක් නළුවන්ට මතක් කර දීමට කැමැත්තෙමු.



කලාව හා අවස්ථාවාදය

කලාකරුවා යනු දේශපාලන සත්වයෙකි. නමුත් අද ලංකාවේ නළුවාගේ දේශපාලනය වේශ නිරූපණයකින් පවා වෙනස් වෙයි. යුධ විරෝධී ජාත්‍යන්තර සිනමාකරුවන් කැමරාව වෙනුවට තුවක්කුව ගෙන මුලතිව් කැලයේ ෂූට් කරයි. සංගීතවේදියා, වෙඩිවර්ධනගේ යුධ විරෝධී කවි වලට තනු දමන ගමන්ම ‛ගාමණී’ චිත්‍රපටය සමග ගිවිසුමක් ගසයි. සිනමාකරුවන් විසින් එදා සිදුකළ දේශපාලනය අද පාවා දෙන විට, නළුවන් විසින් එදා කියූ දෙබස් වලට ප්‍රතිපක්ෂ දෙබස් අද කියන විට, සංගීතවේදීන් වෙඩිහඬට එරෙහිව වයන තනුම, වෙඩි හඬට පසුබිමින් වයන විට, එයින් හැඟෙන්නේ, ඔවුන් මෙතෙක් කලාව ලෙස උගෙන ඇත්තේ අවස්ථාවාදය පමණක් බවද?

කැරපොත්තා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails